ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරනය අවලංගු කරයි

Sri Lankan Supreme Court rules against President Sirisena’s decision to dissolve parliament

දීපාල් ජයසේකර විසිනි, 2018 දෙසැම්බර් 14

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසිරවීමට ගත් තීරනය ව්‍යවස්ථා-විරෝධී බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය දෙසැම්බර් 13දා සවස තීන්දු කලේ ය. රටෙහි ඉහල ම අධිකරනයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව අගවිනිසුරු නලීන් පෙරේරා විසින් කියවනු ලැබී ය.

මෙම තීන්දුව සිරිසේනට තවත් ප්‍රහාරයකි. ඔක්තෝබර් 26දා සිදුකල පාර්ලිමේන්තු කුමන්ත්‍රනයකින් අගමැති රනිල් වික්‍රමසිංහ ධූරයෙන් නෙරපා එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කල සිරිසේන, ලබන මාසයේ මහ මැතිවරනයක් පැවැත්වීමට ඉලක්ක කරගෙන සිටියේ ය.

උසාවි තීන්දුව දිවයිනේ ධනේශ්වර පාලනයේ දේශපාලන අර්බුදය විසඳනවා වෙනුවට වැඩිදුර ගැඹුරු කරනු ඇත.

මෙම තීන්දුව රාජපක්ෂ හා ඔහුගේ කැබිනට්ටුව නීති-විරෝධී ලෙස පත්කිරීම අවලංගු කලේ නැත. රාජපක්ෂගේ ආන්ඩුව අත්හිටුවමින් අභියාචනාධිකරනය දුන් තීන්දුවකට එරෙහි ව ඔහු ශ්‍රේෂ්ඨාධිකරනයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, එම නඩුව අද දින ඇසීමට නියමිත ය.

ඊයේ දුන් තීන්දුවේ දී අධිකරනය කියා සිටියේ, පාර්ලිමේන්තුව පත් වී වසර හතරහමාරක් ගතවීමට පලමුව එය විසිරවීමට සිරිසේනට අවශ්‍ය නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් යෝජනාවක් සම්මත කරගත යුතු බව යි.

2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරනයෙන් පසුව බලයට පත් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් පාර්ලිමේන්තුවේ සම්මත කල 19වන ව්‍යවස්ථා සංශෝධනය, පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට ඇති බලතල මත එම සීමාව පැනවී ය.

ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රනයෙන් පසුව, රාජපක්ෂට අතයට ගනුදෙනු හරහා පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගැනීමට අවශ්‍ය ඉඩකඩ ලබාදීම පිනිස සිරිසේන එය කල්තැබී ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමති ධූර හා අල්ලස් ලබාදීම ඇතුලු විවිධ ක්‍රම මගින් බහුතරයක් අටවා ගැනීමට රාජපක්ෂ උත්සාහ කලේ ය. එම ප්‍රයත්නය ව්‍යර්ථ වූ පසුව පාර්ලිමේන්තුව විසිර වූ සිරිසේන නව මැතිවරනයක් කැඳවුම් කලේ ය.

රාජපක්ෂගේ භාරකාර ආන්ඩුවක් යටතේ මැතිවරනය පැවැත්වීම, ඔහුට රාජ්‍ය සම්පත් යොදාගත හැකි වීමේ වාසිය ලබාදෙනු ඇතැයි සිරිසේන ගනන් බැලී ය. තව ද පෙබරවාරියේ පැවති පලාත් පාලන මැතිවරනයෙන් රාජපක්ෂගේ කන්ඩායම සැලකිය යුතු වාසි ලබාගෙන තිබුනු නිසා ඡන්ද දායකයන් ඔහුට පාර්ලිමේන්තුවේ ද බහුතරයක් ලබාදිය හැකි වීමේ තත්ත්වයක් තිබුනි.

එහෙත්, වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප), සිංහල අන්තවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) යන විරුද්ධ පක්ෂ ද “සිවිල්” සංවිධාන කිහිපයක් ද සිරිසේන පාර්ලිමේන්තුව විසිරවීමට ගත් තීරනය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකලේ ය.

සිරිසේනගේ පාර්ලිමේන්තුව විසිරවීමේ තීරනයට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරනය මුල දී අතුරු තහනම් නියෝගයක් දුන්නේ වික්‍රමසිංහගේ කැබිනට්ටුවෙන් තොර ව පාර්ලිමේන්තුව රැස්වීමට ඉඩ ලබාදෙමිනි.

ඊයේ ලබාදුන් ඒකමතික තීන්දුව, නොනවතින කන්ඩායමික ගැටුම ධනේශ්වර පාලනය සමස්තයක් ලෙස අපකීර්තියට පත්කරනු ඇතැයි පාලක ප්‍රභූව ඇතුලත පවතින වැඩෙන උත්සුකයන් පිලිබඳ පැහැදිලි ඉඟියකි. සියලු ප්‍රජාවන්ට අයත් වැඩකරන ජනයා, තරුනයන් හා ගම්බද පීඩිතයන් අනුප්‍රාප්තික ආන්ඩු විසින් ක්‍රියාවට දමන කප්පාදු පියවරයන්ට එරෙහි අරගලවලට ඇදගනු ලැබෙමින් තිබේ.

දේශපාලන අර්බුදය පුපුරා ගියේ, එක්පසෙක එක්සත් ජනපදය, බටහිර බලයන් හා ඉන්දියාව ද අනෙක් පස චීනය ද සිටිමින් දිවයින හා සමස්ත දකුනු ආසියාව වෙලාගන්නා වැඩෙන භූ-දේශපාලන ආතතීන්ගේ සන්දර්භය තුල ය. 2008 මූල්‍ය අර්බුදයේ පටන් ගෝලීය ආර්ථික අර්බුදය ද තීව්‍ර වී ඇත.

සිරිසේනගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියා පිලිබිඹු කරන්නේ, සමස්ත පාලක පන්තිය ම වැඩෙන සමාජ විරෝධය මැඩීමට ආඥාදායක් පාලන රූප කරා වැඩිදුර තල්ලු වීමකි. සිරිසේන-රාජපක්ෂ කන්ඩායම වේවා වික්‍රමසිංහගේ එජාපය වේවා පාලක ප්‍රභූවේ කිසිදු කන්ඩායමක්, ඔවුන් කියා සිටින පරිදි මූලික ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කරන්නේ නැත. කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා ගොවීන්ගේ අරගල තලාදැමීමේ දී එජාපය හා වික්‍රමසිංහ රුදුරු ලෙස ක්‍රියාකර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව එක්සත් ජනපදය හා එහි සගයන් විසින් රාජපක්ෂ පත් කිරීමට එරෙහි ව සිරිසේන මත යොදන පීඩනය තීව්‍ර වීම පිලිබඳ පැහැදිලි ප්‍රතිචාරයක් ද වේ. ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් ආරක්ෂා කිරීම පිලිබඳ ව මෙම බලයන්ට ද උත්සුකයක් නැත.

ශ්‍රී ලංකාව, චීනයට එරෙහි ව එක්සත් ජනපදය නායකත්වය දෙන මිලිටරි-මූලෝපායික ප්‍රහාරය තුලට ඒකාග්‍ර කරගැනීම පිනිස රාජපක්ෂ ඉවත් කොට සිරිසේන බලයට දමමින් 2015 සිදුකල තන්ත්‍ර-මාරු මෙහෙයුමකට වොෂින්ටනය අනුග්‍රහය දුන්නේ ය. රාජපක්ෂ බීජිනය සමග සමීප සබඳතා ගොඩනගාගෙන තිබුනි. ඉන්දියාව ද ඇතුලු එක්සත් ජනපදය නායකත්වය දෙන බලයන්, රාජපක්ෂ යලි බලයට පත්වීම වික්‍රමසිංහ යටතේ ගොඩනගා ගත් මිලිටරි සබඳතාවන්ට වලකපනු ඇතැයි උත්සුක ය.

ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව උත්කර්ෂයට නැංවූ වික්‍රමසිංහ, “ජනාධිපතිවරයා තීන්දුවට නිසිපරිදි ගරුකරනු ඇතැයි තම පක්ෂය විශ්වාස කරන” බව කීවේ ය. ඔහු ට්විටර් පනිවුඩයක කීවේ: “ව්‍යවස්ථාදායකය, අධිරකනය හා විධායකය ප්‍රජාතන්ත්‍රවාදයේ එක හා සමාන ව වැදගත් කුලුනු වන අතර, ඒවා සම්පාදනය කරන හරිවැරදි බැලීම් පුරවැසියන්ගේ ස්වෛරීත්වය තහවුරු කිරීමේ දී තීරනාත්මක වේ.”

විනිසුරුවරු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන් ය යන මාරාන්තික මිථ්‍යාව වගාකිරීමට උත්සාහ දරමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ද උසාවියේ තීන්දුව උත්කර්ෂයට නැංවී ය. ඒ අතර ම යථාර්ථයේ දී ජවිපෙ සමීප ව පෙලගැසී ඇති එජාපයෙන් එය දුරස්ථ බව පෙන්වීමට ද තැත්කලේ ය.

දිසානායක මෙසේ කීවේ ය: “මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනා ම ක්‍රියාකර ඇත්තේ ව්‍යවස්ථා-විරෝධී ව හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ව ය. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාත්නත්‍ර-විරෝධී උපායන් ද අපි අමතක නො කරමු.”

පාලක පන්තියේ කඳවුරු දෙක කෙරෙහි ම පලල් ව පැතිර පවතින මහජන විරෝධය පිලිබඳ ව හොඳින් දන්නා ජවිපෙ, එයට ම වඩා විශාල දේශපාලන භූමිකාවක් අත්පත් කරගැනීම පිනිස මෙම අතෘප්තිය ගසාකෑමට මාන බලමින් සිටී.

සිරිසේනගේ ව්‍යවස්ථා-විරෝධී ක්‍රියා හරහා ප්‍රකාශයට පත්වුනු ආඥාදායක පාලන රූප දෙසට වන මාරුව මගින් නිර්මිත වූ, කම්කරු පන්තිය, තරුනයන් හා පීඩිත ජනයා මුහුන දෙන අන්තරායන් ඊයේ දුන් උසාවි තීන්දුව මගින් කිසි ලෙස පහත හෙලන්නේ නැත.

රාජපක්ෂ හා ඔහුගේ කැබිනට්ටුව අත්හිටුවමින් අභියාචනාධිකරනය දුන් අතුරු නියෝගයෙන් පසුව, ඉහල ම රාජ්‍ය නිලධරයන් හා මිලිටරි නායකයන් සමග ඍජු ව වැඩකරමින් හා පාර්ලිමේන්තු අධීක්ෂනය පසෙකට දමමින් සිරිසේන සියලු අමාත්‍යාංශවල බලතල ඔහු අතේ සංකේන්ද්‍රනය කරගෙන තිබේ.

දේශපාලන ව්‍යාකූලත්වය ආරම්භයේ පටන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු ඇඟවූ දෙය මෙම වර්ධනයන් මගින් බලගතු ලෙස සනාථ කෙරී ඇත. පාලක ප්‍රභූවේ යුදවැදී සිටින කිසිදු කන්ඩායමකට කම්කරු පන්තිය සහයෝගය නො දිය යුතු ය. ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය මත පීඩිත ජනයා රැලි කරගනිමින් කම්කරු පන්තිය අර්බුදය තුලට තමන්ගේ ම මැදිහත්වීම කල යුතු ය.

දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන පලල් අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට කරන අරගලය අවධාරනය කරමින්, කම්කරු පන්තිය එම ස්වාධීන දේශපාලන වැඩපිලිවෙල මත බලමුලුගැන්වීමේ දේශපාලන අරගලය සසප විසින් තීව්‍ර කරමින් සිටී.

Share this article: