වික්‍රමසිංහ යලි ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්කිරීම එක්සත් ජනපදයේ පැසසුමට ලක් වේ

The US hails Wickremesinghe’s reinstatement as Sri Lankan prime minister

වසන්ත රූපසිංහ විසිනි, 2018 දෙසැම්බර් 20

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙසැම්බර් 16දා එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක රනිල් වික්‍රමසිහ යලි අගමැති ධුරයට පත්කිරීමෙන් පසු එක්සත් ජනපදය හා එහි සගයන් විසින් කොලඹට සුභපැතුම් වැසි වස්සවා ඇත. සිරිසේනගේ තීරනය ඔක්තෝබර් 26දා ඔහු විසින් ව්‍යවස්ථා-විරෝධී ලෙස එජාප නායකයා ඉවත් කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ධුරයට පත්කිරීම ආපසු හැරවී ය.

සිරිසේනගේ තීරනය ආපසු හැරවීමේ ක්‍රියාවට ක්ෂනික ව හා උද්‍යෝගිමත් ව සහාය පලකිරීම, වික්‍රමසිංහ යලි පත්කිරීම සඳහා එක්සත් ජනපදය විසින් තිරයෙන් පිටුපස සිට යෙදූ ඒකායන පීඩනය පිලිබඳ තවත් ඇඟවුමකි.

“පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්, ව්‍යවස්ථාව හා නීතියේ පාලනය” අනුයන ලෙස එක්සත් ජනපදය කොලඹට දුන් “උපදේශය” සරල ව ම ඉන්දු-පැසිෆික් කලාපය තුල එහි භූ-දේශපාලනික න්‍යාය පත්‍රය වහංගු කිරීමේ ආවරනයක් පමනක් විය.

පසුගිය ඔක්තෝබරයේ සිරිසේන විසින් වික්‍රමසිංහ නෙරපා දැමුවේ කොලඹ දේශපාලන ප්‍රභූවේ තියුනු දේශපාලනික බෙදීම්වලට ප්‍රතිචාර වසයෙනි. ගැටුමට ඉන්ධන සපයන ලද්දේ, එක්සත් ජනපදය හා චීනය අතර වර්ධනය වන ආතතීන්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වැඩී එන අර්බුදයක් හා සියල්ලට ඉහලින් ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තර වත් කම්කරුවන්ගේ සටන්කාමී අරගල පුපුරා යාම විසිනි.

එක්පසෙක සිරිසේන හා රාජපක්ෂ නායකත්වය දෙන කන්ඩායම ද අනෙක් පස වික්‍රමසිංහගේ එජාපය හා එහි සගයන් ද යන ශ්‍රී ලංකාවේ දේශපාලන කඳවුරු දෙක අතර කටුක ගැටුම පවත්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නියෝග කරන කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා වැඩෙන මහජන විරෝධය සමග වඩා හොඳින් ගනුදෙනු කරන්නේ කෙසේ ද යන්න අරබයා ය.

එක්සත් ජනපදය හා එහි කලාපීය සගයා වන ඉන්දියාව උත්සුක වූයේ, චීනය සමග තීව්‍ර වන ඔවුන්ගේ ගැටුමේ කොටසක් ලෙස සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ පාලන සමය තුල කොලඹ සමග ගොඩනගාගත් සමීප මිලිටරි සබඳතාවන්ට රාජපක්ෂ ආන්ඩුවක් විසින් වලකැපෙනු ඇත යන්න යි.

ඉරිදා දිනයේ වික්‍රමසිංහ යලි පත්කිරීම “ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික හා ව්‍යවස්ථාමය සම්මතයන් අනුගමනය කිරීමේ” තීරනයක් යයි ට්විටර් පනිවුඩයක් තුල ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් විසින් සාදරයෙන් පිලිගත්තා ය. ශ්‍රී ලංකාව “ඉන්දු-පැසිෆික් කලාපය තුල වටිනා පාර්ශ්වකරුවෙක් වන අතර මේ රටේ ආන්ඩුව හා මහජනයා සමග අපගේ සබඳතාව දිගට ම පවත්වාගෙන යාම අපගේ අපේක්ෂාව” -එනම්, චීනයට එරෙහි යුද්ධය සඳහා එක්සත් ජනපදයේ මිලිටරි සූදානම් වීම් තුලට කොලඹ හවුල්වීම ගැඹුරු කිරීම- යයි ඇය වැඩිදුරටත් එකතු කලා ය.

“පොදු අවශ්‍යතා සහිත ද්වි-පාර්ශවික හා කලාපීය කටයුතුවල දී අගමැති වික්‍රමසිංහ හා ඔහුගේ කැබිනට්ටුව සමග සාමූහික ව ඉදිරියට කටයුතු කිරීම අපි අපේක්ෂා කරමු” යයි සඳහන් කල රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක රොබට් පැලඩිනෝ ටෙප්ලිට්ස්ගේ ට්විටර් පනිවුඩය ප්‍රතිරාවය කලේ ය.

ශ්‍රී ලංකාවේ “ප්‍රජාතාන්ත්‍රික හා ව්‍යවස්ථාමය සම්මතයන්” කෙරෙහි වොෂින්ටනය අංශු මාත්‍රයක් තරම් වත් උත්සුක නැත. රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී විධික්‍රමයන්ට හා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි එහි ලේවැකි යුද්ධයට එක්සත් ජනපදය මුලුමනින් පිටුබලය දුන්නේ ය. එහෙත් කොලඹට මිලිටරි දෘඩාංග හා මූල්‍ය ආධාර සපයන ප්‍රමුඛයෙකු ලෙස චීනය ඉස්මතු වූ විට, චීනයෙන් රාජපක්ෂ ආන්ඩුව ඈත් කිරීම සඳහා ඔහු මත පීඩනය යෙදීමේ උත්සාහයක් ලෙස වොෂින්ටනය ක්ෂනික ව මානව හිමිකම් “සොයාගත්තේ ය.”

රාජපක්ෂගේ විදෙස් පිලිවෙත් දිශානතිය වෙනස් කිරීම සඳහා ඔහු ව පොලඹවා ගැනීමට මෙම පිලිවෙත් අසමත් වූ විට, වික්‍රමසිංහ හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආධාරය සහිත වූ වොෂින්ටනය 2015 ජනාධිපතිවරනයේ දී සිරිසේන බලයට ගෙන් ඒමේ තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමුවේ ය.

ඉන් බලයට පත් සිරිසේන-වික්‍රමසිංහ පරිපාලනය ශ්‍රී ලංකාව ක්ෂනික ව චීනයෙන් ඉවතට හරවමින් ශ්‍රී ලංකාවේ මිලිටරිය එක්සත් ජනපද මිලිටරියට සමීප ව ඒකාග්‍ර කිරීම ඇරඹුවේ ය.

නිමිට්ස් පන්තියේ ගුවන්යානා ගෙනයන නෞකාවක් වන යූඑස්එස් ජෝන් සී. ස්ටෙනිස් විසින් නැගෙනහිර ශ්‍රී ලංකාවේ ත්‍රිකුනාමලයේ ස්ථාපිත කර ඇති තාවකාලික සැපයුම් කේන්ද්‍රය මගින් රටවල් දෙක අතර සමීප මිලිටරි සබඳතා පිලිබිඹු කරනු ලැබේ. එක්සත් ජනපද නාවික හමුදාවේ වෙබ් අඩවිය දෙසැම්බර් 6 දා පලකල ලිපියකට අනුව “මෙම කේන්ද්‍රය ඉන්දියන් සාගරය තුල ක්‍රියාත්මක එක්සත් ජනපද නාවික හමුදාවේ නෞකාවන්ට සැපයුම් සම්පාදනය කරයි.”

යූඑස්එස් ජෝන් සී. ස්ටෙනිස් නෞකාවේ තොග පාලන අංශයේ නිලධාරී ලුතිනන් බ්‍රයන් ඕටිස් විස්තර කල පරිදි: “මෙම මෙහෙයුමේ ප්‍රමුඛ අභිප්‍රාය වන්නේ ඉන්දියන් සාගරය හරහා ගමන් කරන හා එහි ක්‍රියාත්මක වන එක්සත් ජනපද නාවික හමුදා නෞකාවන්ට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා සම්පාදනය කිරීම යි. ඊලඟ අභිප්‍රාය වන්නේ වැදගත් එක්සත් ජනපද නෞකා සැපයුම් මධ්‍යස්ථාන නොමැති වෙරලවල තාවකාලික සැපයුම් මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ ලා එක්සත් ජනපද නාවික හමුදාවට ඇති හැකියාව ප්‍රදර්ශනය කිරීම යි.”

සබඳතා “සවිමත්” කරගැනීම සඳහා දෙසැම්බර් 14 දා දකුනු හා මධ්‍යම ආසියානු එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම් ඬේවිඞ් ජේ. රාන්ස් ශ්‍රී ලංකාව හා මාලදිවයින වෙත සංචාරය කලේ ය. සංචාරය සිදුවූයේ මාලදිවයිනේ මෑත දී සිදුකල එක්සත් ජනපද-හිතවාදී තන්ත්‍ර මාරුවෙන් පසුව හා වික්‍රමසිංහ යලි පත්කිරීමට යන්තමින් පෙර යි.

වික්‍රමසිංහ නෙරපීමේ පෙර තීන්දුව පිලිබඳව “යලි සලකා බලන්නැයි” ජාමූඅ යෙදූ පීඩනයට ද සිරිසේන මුහුනපෑවේ ය. කොලඹ “දේශපාලන අවිනිශ්චිතතාව” විසඳෙන තෙක් ශ්‍රී ලංකාවට ලබාදෙන නයෙහි අවසන් වාරිකය නවත්වන බව නොවැම්බරයේ ජාමූඅ විසින් නිවේදනය කලේ ය. ශ්‍රී ලංකාව සඳහා ලබාදෙන සහස්‍ර ආධාර වැඩපිලිවෙල එක්සත් ජනපදය විසින් කල්තැබීම හා එක්සත් ජනපදයේ සහචර ජපානය දිවයිනට ලබා දෙන ආධාර හා ආයෝජන ව්‍යාපෘති ප්‍රමාද කිරීම මගින් අමතර පීඩනය යොදනු ලැබිනි.

වොෂින්ටනයේ සහස්‍ර ආධාර වැඩපිලිවෙල කල්දැමීම ගැන සඳහන් කරමින් එක්සත් ජනපද තානාපතිනි ටෙප්ලිට්ස් කොලඹ පලවන ඬේලි එෆ්ටී වෙත දෙසැම්බර් 10දා මෙසේ කීවා ය: “අපගේ සාකච්ඡා යලි අරඹා ඉදිරියට යා හැක්කේ කෙසේදැයි සාකච්ඡා කිරීමට පෙර (ශ්‍රී ලංකාවේ) අර්බුදය විසඳා ගන්නේ කෙසේදැයි අපි බලාසිටිමු. ...අපගේ සමහර ද්වි-පාර්ශවික අවස්ථාවන් මත නිසැක ව ම අර්බුදයේ බලපෑමක් තිබෙනවා.”

වික්‍රමසිංහ යලි පත්වීම ඉන්දියාව වහා ම අගය කලේය. “ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය විසඳීම ඉන්දියාව සාදරයෙන් පිලිගන්නා” බව කී ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රවීෂ් කුමාර්, “ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා දිගට ම ඉහල යන පෙතක පවතිනු” ඇතැයි මෝදි ආන්ඩුවට විශ්වාස බව ප්‍රකාශ කලේ ය. ශ්‍රී ලංකාව හා අනෙකුත් දකුනු ආසියානු රටවල් තම පිලිකන්න ලෙස සලකන ඉන්දියාව, කලාපය තුල චීනයේ අනුහස වර්ධනය වීමට හතුරු ය.

“ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල ව දේශපාලන අර්බුදය සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳාගැනීම” සාදරයෙන් පිලිගත් යුරෝපා සංගමයේ ප්‍රකාශයක් “ජාතික සංහිඳියාව හා සියල්ලට සමෘද්ධිය සඳහා දිවයිනේ උත්සාහයන්ට” අඛන්ඩ ව සහයෝගය දීමට පොරොන්දු විය. ඔක්තෝබරයේ සිරිසේන විසින් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපූ විට, ශ්‍රී ලංකාවට දෙන ජීඑස්පී බදු සහන “යලි සලකා බැලීමට” සිදුවන බවට යුරෝපා සංගමය තර්ජනය කලේ ය.

ශ්‍රී ලංකාවේ “දේශපාලන තත්ත්වය සමහන් වීම” සාදරයෙන් පිලිගනිමින් නාම-මාත්‍රික ප්‍රකාශයක් නිකුත් කල චීනය, නව ආන්ඩුව හා සියලු ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ සමග “දෙරට අතර සහයෝගිතාව” දිරිමත් කිරීම සඳහා ක්‍රියාකරන බව ප්‍රකාශ කලේ ය. වික්‍රමසිංහ යලි පත්වීම කොලඹ තුල චීනයේ තත්ත්වයට වලකපන බව මෙම ප්‍රතිචාරය මගින් සැඟවිය නො හැක.

ශ්‍රී ලංකාවේ යුදවැදී සිටින පාර්ශව දෙක ම ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ගේ සරන පැතූ හ. මෙම බලයන්ට එරෙහි “විරෝධයක් නැති” බවත් “අප කෙරෙහි ඔවුන්ගේ ආකල්පය වෙනස් කිරීම සඳහා තම පක්ෂය පියවර ගනිමින් සිටින” බවත් රාජපක්ෂ අවධාරනය කලේ ය.

මෙම ජාත්‍යන්තර පීඩනයන් හා වෘත්තීය සමිතිවල පාලනයෙන් පිටස්තර ව පැනනැගුනු වතු කම්කරුවන් දසදහස් ගනනකගේ අඛන්ඩ වැඩ වර්ජනය තුල තියුනු ලෙස ප්‍රකාශිත වූ වැඩෙන පන්ති අරගලය කෙරෙහි භීතිය, සිරිසේනට වික්‍රමසිංහ යලි පත්කිරීමට බල කල මූලික සාධකයන් විය.

ඉරිදා දිවුරුම් දීමේ උත්සවයෙන් පසුව, “ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ දී දෘඪ ලෙස ක්‍රියාකරමින්” ව්‍යවස්ථාව හා “ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනය තහවුරු කල” අයට වික්‍රමසිංහ ගර්වයෙන් යුක්ත ව ස්තුතිය පලකලේ ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හා ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ පීඩනය අඛන්ඩ ව පැවතියදී තීව්‍ර වනු ඇති ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ අර්බුදය වික්‍රමසිංහගේ යලි පත්වීම විසින් අවසන් නොකෙරෙනු ඇත. ඔහුගේ අධිරාජ්‍යවාදී හාම්පුතුන් මෙන් වික්‍රමසිංහ හා ඔහුගේ එජාපය ද “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා” නො කරන අතර ඉමහත් වේගයෙන් සමස්ත කොලඹ සංස්ථාපිතය ම ආඥාදායක පාලන රූප කරා තල්ලු කරමින් සිටී.

වික්‍රමසිංහගේ පරිපාලනය යටතේ මිලියන 20ක් වන ශ්‍රී ලාංකික ජනයා ව ජාමූඅ නියෝග කරන වඩා කටුක කප්පාදු පියවරයන්ට භාජනය කරමින් මහා බල ප්‍රතිමල්ලවතාවේ හා එක්සත් ජනපද යුද ධාවනයේ වාසුලිය වෙත තවදුර ඇදගෙන යනු ඇත.

Share this article: