ශ්‍රී ලංකාවේ ජනාධිපති නව කැබිනට්ටුව පත්කරද්දී කන්ඩායමික කාකොටා ගැනීම දිගට ම පවතී

Factional acrimony continues as Sri Lankan president appoints new cabinet

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 දෙසැම්බර් 22

දෙසැම්බර් 17 දාට යෙදී තිබූ අවසන් දිනයෙන් දින තුනකට පසුව ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවසානයේ දෙසැම්බර් 20 දා 28 දෙනෙකුගෙන් යුක්ත නව කැබිනට්ටුවක් පත් කලේ ය.

ඇමතිවරුන් තෝරාගන්නා ලද්දේ දෙසැම්බර් 16 දා සිරිසේන විසින් අකමැත්තෙන් යුතු ව අගමැති ධූරයට පත්කරන ලද රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන පාලක එක්සත් ජාතික පෙරමුනෙනි (එජාපෙ). ඔක්තෝබර් 26දා සිරිසේන විසින් වික්‍රමසිංහ නෙරපා හරිනු ලැබුවෙි ඔහුගේ ආන්ඩුව දූෂනයේ ගිලී ඇති බවත් “යහපාලන සංකල්පය” විනාශ කර තිබුනු බවත් ප්‍රකාශ කරමිනි.

නව කැබිනට්ටුව පත්කිරීම සිරිසේන විසින් ප්‍රමාද කිරීම මගින් කොලඹ දේශපාලන ප්‍රභූව ඇතුලත කන්ඩායමික අරගලය දිගට ම පවතින බව පෙන්නුම් කෙරෙන අතරම, දිවයින තුල ධනේශ්වර පාලනයේ අස්ථාවරත්වය පෙන්වා දෙයි.

ඔක්තෝබරයේ වික්‍රමසිංහ නෙරපීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කල සිරිසේන නව කැබිනට්ටුවක් පත්කලේ ය. එහෙත් සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රනය අසාර්ථක විය. පාර්ලිමේන්තුව තුල බහුතරයක් දිනාගැනීමට රාජපක්ෂ අසමත් වූ අතර, ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරවීම ව්‍යවස්ථා-විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරනය නිගමනය කලේ ය.

චීනය කෙරෙහි රාජපක්ෂගේ දේශපාලන දිශානතිය හේතුවෙන් ඔහුට ආන්ඩුවක් තැනීමට ඉඩ නො දෙන බව ද එක්සත් ජනපදය හා එහි සගයෝ පැහැදිලිව පෙන්නුමි කල හ. කලාපය තුල චීන-විරෝධී න්‍යාය පත්‍රයට කිසිදු අයුරකින් බාධාවීමක් වොෂින්ටනය ඉවසන්නේ නැත. එය වික්‍රමසිංහ යලි අගමැති ධූරයට පත්කරන ලෙස සිරිසේන මත දැවැන්ත පීඩනයක් යෙදුවේ ය.

වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කල නම් 30 න් දෙකක් ප්‍රතික්ෂේප කරමින් සිරිසේන බ්‍රහස්පතින්දා ඇමතිවරු 28 ක් පත්කලේ ය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති සන්නද්ධ හමුදා තුනෙහි ප්‍රධාන අනදෙන්නා මෙන් ම ආරක්ෂක ඇමති ද වේ. වික්‍රමසිංහ නෙරපීමෙන් පසු සිරිසේන තමා අත තබාගත් ඇමති තනතුරක් වන නීතිය හා සාමය පිලිබඳ ඇමති ලෙස තමන් ව ම පත්කරගෙන ඇත. වඩා වැදගත් රාජ්‍ය බලයන් සිරිසේනගේ අතේ ම තබාගැනීම ඔහුට අවශ්‍ය බවට මෙය තවත් ඉඟියකි.

මාධ්‍ය වාර්තාවන්ට අනුව සිරිසේන අකමැත්තෙන් මාධ්‍ය අමාත්‍යාංශය එජාපෙ වෙත බාරදුන්නේ ප්‍රධාන මාධ්‍ය ආයතනයන්ට ඔහුගේ දේශපාලන ආධාරකරුවන් පත්කිරීමට එජාපෙ එකඟවීමෙන් පසුව යි. ඇමති තනතුරුවලට පත්කිරීම සඳහා තමා අනාගතයේ සිරිසේන සමග සාකච්ඡා කරන බව වික්‍රමසිංහ මාධ්‍ය වෙත කීවේ ය.

ශ්‍රී ලංකාවේ ධනවාදය මුහුන දෙන දේශපාලන හා ආර්ථික අර්බුදය පිලිබඳ ව හොඳින් දන්නා වික්‍රමසිංහ තමන්ගේ බලය ශක්තිමත් කරගැනීමට උත්සාහ දරමින් සිටී. ඔහුගේ ආන්ඩුවට පාර්ලිමේන්තුව තුල විශාලතම මන්ත්‍රී සංඛ්‍යාව සිටියත් සරල බහුතරයක් සඳහා තවත් මන්ත්‍රීන් 10ක් අඩුවන අතර දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) මන්ත්‍රීන් 14 දෙනාගේ සහයෝගය මත රඳා සිටී.

එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දෙන එජාපෙට සිංහල ස්වෝත්තමවාදී ජාතික හෙල උරුමය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය හා වතුකරය පදනම් කරගත් දෙමල ප්‍රගතිශීලී සන්ධානය (ටීපීඒ) ඇතුලත් වේ. ටීපීඒහි සාමාජිකයන් වන්නේ ජාතික කම්කරු සමිතිය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන හා කඳුරට ජනතා පෙරමුන යි. අස්ථාවර සභාගය එක්ව තබාගැනීම සඳහා ටීපීඒ හි බොහෝ නායකයන්ට කැබිනට්, රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමති තනතුරු ප්‍රදානය කරන ලදී.

අනෙකුත් සංවිධාන ද එජාපෙට ඇතුලත් කරගෙන එය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුන (එන්ඩීඑෆ්) ලෙස එය යලි නම්කිරීම සඳහා වික්‍රමසිංහ කල ආයාචනයට එජාප කෘත්‍යාධිකාරී මන්ඩලය ඊයේ අනුමැතිය දුන්නේ ය. “ප්‍රජාතන්ත්‍රවාදය දිරිමත් කිරීමට හා ආරක්ෂා කිරීමට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුන අවශ්‍ය යි. මෙහි සිටින සියල්ලන්ගෙනුත් පලල් මහජනයාගෙනුත් ඊලඟ මැතිවරනයේ දී අපට තුනෙන් දෙකක බහුතරයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා” යයි සඳුදා පැවති රැලියක දී වික්‍රමසිංහ කීවේ ය.

රාජපක්ෂ, සිරිසේන හා අනෙකුත් දේශපාලන පක්ෂ මෙන් වික්‍රමසිංහ හා ඔහුගේ එජාපය ද කම්කරු පන්තියේ හා දුගීන්ගේ වියදමින් ධනේශ්වර ලාබ පද්ධතිය පමනක් “ආරක්ෂා” කරන බව ඓතිහාසික වාර්තාව පෙන්වා දෙයි.

සඳුදා පාර්ලිමේන්තුව යලි රැස්වූ විට කථානායක කරූ ජයසූරිය ප්‍රකාශ කලේ රාජපක්ෂ විපක්ෂ නායක ධූරයට පත්කිරීමට තමන් තීන්දු කර ඇති බව යි. දැනට සිටින විපක්ෂ නායකයා වන ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් එම තනතුරෙන් ඉවත් කලේ මන් ද යන්න ගැන පැහැදිලි කිරීමක් කලේ නැත.

එජාපයේ හා ටීඑන්ඒ හි නායක මන්ත්‍රීහු රාජපක්ෂගේ පත්වීමට විරෝධය පලකරමින් හිටපු ජනාධිපති හා ඔහුගේ සගයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයන් වන බවත් ඔවුන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් ලෙස බවත් පෙන්වා දුන් හ. 19වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පක්ෂය වෙනස් කරන මන්ත්‍රීන්ට පාර්ලිමේන්තු අසුන අහිමි වේ. කථානායක ජයසූරිය නියෝගයක් නිකුත් කරන තෙක් මෙම කරුන මත වන කන්ඩායමික අරගලය ඉදිරියට ඇදෙනු ඇත.

පාර්ලිමේන්තුවේ කන්ඩායමික උපාමාරුවල ක්ෂනික ප්‍රතිඵලය නො තකා පසුගිය මාස දෙකේ කටුක ගැටුම නිර්මානය කල මූලික සාධකයන් එලෙස ම පවතිනු ඇත. ආන්ඩුව අතිශයින් අස්ථාවර වන අතර, ආර්ථික අර්බුදය ගැඹුරු වෙමින් හා වැටුප්, රැකියා හා කප්පාදු පිලිවෙත් අරබයා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ විරෝධය වැඩෙමින් තිබේ.

සියයට 100ක වැටුප් වැඩිකිරීමක් ඉල්ලා වතු කම්කරුවන් සියදහස් ගනනක් මේ මාසයේ දියත් කල අඛන්ඩ වැඩ වර්ජනය වතු වෘත්තීය සමිති විසින් අවසන් කලේ ය. එම කාර්මික ක්‍රියාව තමන්ගේ පාලනයෙන් ගිලිහී යතැයි බිය වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නිලධාරීන් කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් විසඳීමට සිරිසේන පොරොන්දු වූ බව ව්‍යාජ ලෙස කියාසිටිමින් වර්ජනය අවසන් කලේය. මෙම පොරොන්දුව මුලුමනින් ම ව්‍යාජ ය.

රජයේ දුම්රිය කම්කරුවන් ද දීර්ඝ කාලයක් නො විසඳී පවත්නා වැටුප් ඉල්ලීම් මත වර්ජනය ක්‍රියාමාර්ගයක් සඳහා කැඳවුම් කර සිටී. වතු වෘත්තීය සමිති ප්‍රධානීන් මෙන් දුම්රිය වෘත්තීය සමිති නිලධරයෝ ද සිරිසේන ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට පොරොන්දු වූ බව කියමින් තම සාමාජිකයන් ව නැවත වැඩට යැවූ හ.

ඊයේ වික්‍රමසිංහ ආන්ඩුව “අතුරු සම්මත ගිනුම්” යෝජනාවක් සම්මත කලේ සම්පූර්න අයවැයක් ඉදිරිපත් කිරීමට මාස හතරක කාලයක් ලබාගනිමිනි. යලි පත්කල මුදල් ඇමති මංගල සමරවීර අයවැය ජනතාවට ආර්ථික සහන සලසනු ඇතැයි ප්‍රකාශ කලේ ය.

ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු නියෝග ක්‍රියාවට දැමිය යුතු නිසා මෙම පොරොන්දු පුස්සක් වනු ඇත. කොලඹ කන්ඩායමික ගැටුම මධ්‍යයේ “දේශපාලන අවිනිශ්චිතතාව” අවසන් වන තෙක් ජාමූඅ එහි නවතම ඩොලර් බිලියන 1.5 ක නය දීමනාවෙන් ඩොලර් මිලියන 500ක අවසන් වාරිකය අත්හිටුවී ය.

“ජාමූඅ මෙම නය කල්දැමීම හෝ අවලංගු කිරීම පවා විදේශ සංචිත හා නය ආපසු ගෙවීමේ හැකියාව මත නරක ලෙස බලපානවා පමනක් නො වේ” යයි පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් ආර්ථික තීරුලිපි රචකයෙක් අනතුරු ඇඟවී ය. එය “ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල හා ආයෝජකයන් අතර” ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තභාවයට වලකපනු ඇත. ආන්ඩුව ලබන මාසයේ ඩොලර් බිලියන 1ක ද අප්‍රේල් මාසයේ තවත් ඩොලර් මිලියන 500ක ද නය ආපසු ගෙවීමකට මුහුන දී සිටින බව කතුවරයා පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මන්ඩලයේ සභාපති රුවන් එදිරිසිංහ, නව කැබිනට්ටුව සාදරයෙන් පිලිගන්නා අතර ම මහ ව්‍යාපාරික මන්ඩලය කවර ආන්ඩුවක් බලයේ සිටින්නේ ද යන්න “නො තකන” බව නග්න ලෙස කියාසිටියේ ය. “දවසේ බලයේ සිටින ආන්ඩුවෙන් අපට අවශ්‍ය කරන්නේ රටෙහි ආර්ථික වර්ධනය කෙරෙහි වගකීම දැරීම” -එනම් සංගත ලාබ නො නැවතී වැඩීම යි.

ආන්ඩුව “ජනතාවගේ පැත්තෙන් බලා බඩු මිල අඩුකල යුතු යි. අප මේ තත්ත්වය වෙනස් කල යුතු යි. ජනතාව විශාල දුෂ්කරතාවන්ට මුහුන දී සිටිනවා. අපි ආන්ඩුව බාරගත්තේ නැත්නම් රටට ප්‍රන්සයේ හෝ ග්‍රීසියේ වැනි තත්ත්වයකට මුහුන දෙන්න සිද්ධ වෙනවා” යයි රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේ දී කීවේ ය.

රාජපක්ෂ කතාව හිස් දෙඩවිල්ලකි. 2015 තෙක් ඔහු බලයේ සිටි සමයේ ජාතික හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝග පැටවීම සඳහා දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය ඔහු විසින් යොදාගත්තේ ය.

ඔහු ආන්ඩුවට දුන් “උපදේශය”, සමාජ හා ජීවන කොන්දේසි එල්ල කරන ප්‍රහාර අරබයා කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන කෝපය කෙරෙහි සමස්ත ධනපති පන්තියේ සංවේදීතාව පිලිබඳ ඉඟියකි. අනිවාර්යයෙන් පුපුරා යන මහජන අරගල මර්දනය කිරීම සඳහා පාලක පන්තිය සමස්තයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වෙනුට ආඥාදායක පාලන රූප දෙසට හැරෙමින් සිටී.

Share this article: