ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයේදී දෙමල ජාතිකවාදීහු ඇමරිකානු පිටුබලය ලත් පිලට සහය දෙති

Tamil nationalists support US-backed factions in Sri Lankan political crisis

කේ. නේෂන්, 2018 නොවැම්බර් 10

මහින්ද රාජපක්ෂට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය (එජාප) පාර්ලිමේන්තුවේදී ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව තමන් ඡන්දය ලබාදෙනු ඇතිබව නොවැම්බර් 3 දා දෙමල ජාතික සන්ධානය (දෙජාසං) නිවේදනය කලේය. දෙජාසං නිල ප්‍රකාශයක විස්තර කෙරුනේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති ධූරය දැරූ එජාපයේ රනිල් වික්‍රමසිංහ බලයෙන් පහකර මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කිරීම, “නීතිවිරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී” ක්‍රියාවක් ලෙස මෙන්ම “පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ප්‍රජාතන්ත්‍ර විරෝධී” ලෙස කෙලෙසා දැමීමක් ලෙසයි.

දෙජාසංයේ ප්‍රබල පාර්ශවයක් වන ෆෙඩරල් පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා දින හතරකට ඉහතදී සඳහන් කලේ, ඉදිරියේ එලඹෙන අර්බුදයේදී සහයෝගය දක්වන්නේ කාටදැයි සන්ධානය විසින් තීරනය කරනු ඇත්තේ “ජාත්‍යන්තර ප්‍රජාවෙන්” සහ ඉන්දියාවෙන් උපදෙස් ගැනීමෙන් පසුව බවයි.

වික්‍රමසිංහට සහයදැක්වීමට දෙජාසං ගෙන ඇති තීරනයට, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නැත. සැබැවින්ම 2015 දී සිරිසේන සහ වික්‍රමසිංහ බලයට ගෙනඑනු ලැබූ ඇමරිකානු පිටිබලය ලත් තන්ත්‍රමාරු මෙහෙයුමට, දෙජාසංයේ සහයෝගය පලකෙරුනු අධිරාජ්‍යගැති ගමන්මගේම ඔවුහු ගමන්කරමින් සිටිති. එම මෙහෙයුමෙන් ඉලක්ක කෙරුනේ, වොෂින්ටනයේ චීනයට එරෙහි යුද සූදානම හා පෙලගැසෙමින් කොලඹ ඇමරිකාවට හිතැති ආන්ඩුවක් ඇටවීමයි.

දෙමල ජාතිකවාදී සහ අනෙකුත් මධ්‍යම පන්තික “වාම” සංවිධාන වලට එරෙහිව එම තන්ත්‍රය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බිහිකරනු ඇතැයි යන ව්‍යාජ ප්‍රකාශ ප්‍රතික්ෂේප කල එකම දේශපාලන පක්ෂය, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. සසප, ඇමරිකාව මෙහෙයවන යුද්ධයක තර්ජනය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් බලපවත්වන සමාජ කප්පාදු ප්‍රහාරය ගැන අනතුරු අඟවමින්, කොලඹ තන්ත්‍රයට එරෙහි අරගලය සඳහා සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් ඒකාබද්ධ කිරීමට දේශපාලන වැඩපිලිවෙලක් සම්පාදනය කලේය. මෑත සිදුවීම් සුපැහැදිලි ලෙස සසපයේ නිරවද්‍යතාව සනාථකර ඇත.

සිරිසේන ජයග්‍රහනය කිරීම, “ප්‍රජාතන්ත්‍රවාදයේ නව පුබුදුවක්” ජනිත කරවනු ඇති බව අවධාරනය කරමින් 2015 දී සම්බන්ධන් ඔහු වෙනුවෙන් උද්ඝෝෂනයේ යෙදුනේ ය. සිරිසේන දැන් ඒකපාර්ශවිය ලෙස අගමැති බලයෙන් පහකර පාර්ලිමේන්තුව විසුරුවා ඇති විට, දෙජාසං නැවත වරක් “ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා වූ ශුද්ධවූ සංග්‍රාමයකට එලඹ සිටිති - මේ වතාවේදී, ඒ ඔවුන් ශ්‍රී ලංකාවේ අංක එකේ “ප්‍රජාතන්ත්‍රවාදියා” ලෙස කිරුල පැලඳ වූ පුද්ගලයාට එරෙහිව ය. දෙජාසංයේ ආස්ථානයේ වෙනස්වීම තුල ගැබ්ව පවතින්නේ, ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ ඕනෑඑපාකම් සමඟ පවතින සිය සමීප දේශපාලන පෙලගැසීම ඉදිරියට ගෙනයාමට දෙමල ධනේශ්වරයේ කැපවීමයි.

1983 – 2009 වකවානුවේ ලංකාවේ සිවිල් යුද්ධයෙන් පසු, වොෂින්ටනය සහ දෙජාසං යන දෙපාර්ශවයම, “මානව හිමිකම්” සුරැකීමේ ව්‍යාජ බැනරය යටතේ කොලඹ තන්ත්‍රයට පීඩනය දැමීම සඳහා දෙමල කම්කරුවන් හා පීඩිත මහජනතාවන්ට එරෙහි රාජ්‍යයේ විසකුරු මර්දනය යොදාගැනීමට මං සොයයි.

රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීමෙන් පැය 24ක් ගතවන්නට මත්තෙන්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුනු සහ මධ්‍යම ආසියානු කාර්යාංශය පලකල ට්විටර් පනිවුඩයක මෙසේ සටහන් විය: “ලංකාවේ ආන්ඩුව මානව හිමිකම්, ප්‍රතිසංවිධාන, වගවීම,නීතිය සහ සංහිඳියාව සම්බන්ධ ජිනීවා හී පොරොන්දු වලට බැඳී සිටිනු ඇතැයි අප අපේක්ෂා කරමු”.

ට්විටර් පණිවුඩය විසින් අඟවනු ලැබුවේ රාජපක්ෂ අගමැති ලෙස පත් කර චීනයට හිතැති ප්‍රතිපත්තියක් කරා ගියහොත්, වොෂින්ටනය නැවත වතාවක් 2009 දෙමල සංහාරය සම්බන්ධයෙන් යුද අපරාධ විමර්ශන යොදාගෙන කොලඹ ආන්ඩුවට තර්ජනය එල්ල කරනු ඇති බවයි - එම තර්ජන 2015 දී රාජපක්ෂව ඔහුගේ ධුරයෙන් ඉවත්කිරීමට යොදාගත් ඒවාය.

දෙජාසං ප්‍රකාශයන්, පෙනෙන පරිදිම බටහිර බලයන් ලංකාවේ “ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීම ගැන කරන ප්‍රකාශයන්ගෙන් වෙන්කර හඳුනාගත නොහැකිවීම අහම්බයක් නොවේ. දෙජාසංයේ නායකයෙකු වන එම්.ඒ සුමන්තිරන්, පක්ෂ හමුවකදී “තීරක සාධකය අපියි” යනුවෙන් පැවසුවේ, 2015 දී රාජපක්ෂ පරාජය කිරීමට “බලවේග” රැස්කිරීමෙහි ලා දෙජාසංහි ප්‍රමුඛ කාර්යභාරය අවධාරනය කරමිනි.

සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක, ප්‍රමුඛත්වය ගත් එම පක්ෂයේ නියෝජිත පිරිසක් සහ සුමන්තිරන් අතර මෑතක පැවැති රැස්වීම, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහ 2009 සිට දෙමල මහජනතාවට එරෙහි මර්දනයට විරුද්ධව සටන් කිරීම ගැන දෙජාසංයේ නරුම සැඳහුම් හෙලිදරව් කලේ ය.

සිරිසේන වෙත ප්‍රහාර එල්ලකරමින්, සුමන්තිරන් ප්‍රකාශ කලේ , “එවැනි අනීතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවන්ට විරුද්ධ සියලුදෙනා සමඟ අත්වැල් බැඳගෙන එම පියවරයන්ට ප්‍රතිරෝධය දැක්වීමට දෙජාසං සහ ජවිපෙ” තීරනය කල බවයි. අනිත් අතට දිසානායක පැවසුවේ, “ජවිපෙ වශයෙන් අපත්”, උතුරේ මිනිස්සුත් ප්‍රජාතන්ත්‍ර විරොධී වාතාවරනය නිසා එකම ප්‍රතිවිපාක විඳින” බවයි.

මෙම මවාපෑමට ලංකාවේ කම්කරුවන් අතර විශ්වසනීයත්වයක් නැත. 1966දී ජවිපෙ පිහිටුවීමේ සිට, ජවිපෙ, දෙමල ජනතාව ඉලක්ක කරගත් වර්ගවාදී දේශපාලනයේ කප්පිත්තන් ය. 1971 දී කොලඹ පාලන තන්ත්‍රය අතින් දහස්ගනනක් සිංහල තරුනයන් ලේ වැකි අන්දමින් මරාදමනු ලැබ අවසන් කෙරුනු ඔවුන්ගේ ප්‍රථම සන්නද්ධ නැගිටීම අතරතුර, ජවිපෙ, දෙමල වතුකම්කරුවන් ඉන්දියනු ව්‍යාප්තවාදයේ පස්වන කුලුන ලෙස හෙලා දුටුවේය. සිවිල් යුද්ධය අතරතුර දෙමල ජාතිකවාදී බලයන්ට එරෙහිව ලංකාවේ මිලිටරියට සිය සක්‍රීය සහයෝගය දැක්වීම සහ සසපය ද ඇතුලු ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි මිනීමරු දේශපාලන ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් ජවිපෙ කුප්‍රකට විය.

ඇමරිකානු අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය සමග පෙලගැසෙන වර්ගවාදී ජවිපෙ සහ දෙමල ජාතිකවාදීන්ගේ සන්ධානය කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. මෙම පක්ෂ, ලංකාවේ පාලක ප්‍රභූවේ ඒකාධිපතිත්වය කරා යන ධාවනය සමග මුලුමුනින් බද්ධ වී ඇති අතර කම්කරුවන්ට රුදුරු ලෙස සතුරුය.

සිරිසේන - වික්‍රමසිංහ තන්ත්‍රයට දෙජාසංය දැක්වූ අවුරුදු තුනක සහයෝගයේ ශේෂ පත්‍රය කුමක්ද?

දෙජාසං පාර්ලිමේන්තු මන්ත්‍රීහු, කම්කරු පන්තිය ඇතුලු මහජනතාවගේ ජිවන කොන්දේසි උග්‍ර ලෙස නරක අතට හැරවූ ජාමුඅ කප්පාදු අනට යටත් ආන්ඩුවේ අයවැයට ඡන්දය දුන්හ.

2015 දී සිරිසේනගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ වික්‍රමසිංහගේ එජාපය එක්ව දෙමල ජාතික ගැටලුවට විසඳුම් දෙනු ඇති බවට දෙජාසං පොරොන්දු දුන් නමුත්, ලංකාවේ සිවිල් යුද්ධයේ එකදු ප්‍රතිවිපාකයකට හෝ අවධානයට යොමුකෙරුනේ නැත.

දෙමල දේශපාලන සිරකරුවන් මුදා හැරුනේ නැත, යුද අපරාධ පිලිබඳ කිසිදු විමර්ශනයක් සිදුවුනේ නැත, අතුරුදන්වුවන් කොහේ සිටීද යන්න තවමත් නොදන්නා අතර, මිලිටරිය අත්පත්කරගත් පුද්ගලික ඉඩම් තවමත් ආපසු පවරා දී නැත. යුද්ධයෙන් විනාශභාග් කර දැමූ පවුල් යලිගොඩනැගී නැතුවා මෙන්ම, යුද්ධයෙන් තුවාල ලැබුවෝ සහ වන්දඹුවෝ තවමත් පිහිටක් නොමැතිව විඳවති.

“දිගු ගමනක් පැමිනි පසු කෙනෙකුට කඩිමුඩියේ ආන්ඩුවෙන් කැඩෙන්න බැරි” බව පවසමින්, 2016 දී සම්බන්ධන් දෙමල මහජනතාවගේ තත්වය අරභයා වර්ධනය වෙමින් තිබූ මහජන වෛරයට පයින් ගැසුවේය.

පසුගිය මාසයේ දේශපාලන කුමන්ත්‍රනයෙන් පසු, වහාම, සිරිසේන නිවේදනය කලේ, ඔහු දෙමල ජාතිකයන්ට කිසිඳු සහනයක් නොදෙන බව සහ දෙමල බහුතරයක් වෙසෙන පෙදෙස් “ඒකාබද්ධ කරමින් ලංකාව පෙඩරල් රාජ්‍යයක් කිරීමට” කිසිදා ඉඩ නොදෙන බවයි. එවැනි බලය බෙදීමක් ක්‍රියාත්මක කරන්නේ නම්, ඊට පෙර තමන්ව “මරා දමන්නට සිදුවනු” ඇතැයි ඔහු පැවසුවේය.

තතු එසේ වුවත්, සම්බන්ධන්ගේ නායකත්වයෙන් දෙජාසං නියෝජිත කන්ඩායමක් නොවැම්බර් 7දා සිරිසේන හමුවීමෙන් පසු, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ටීඑන්ඒ නායකයා පැවසුවේ, “ජනාධිපති විසින් සියලු දේශපාලන පක්ෂ සමඟ ඒකාබද්ධව රටේ දේශපාලන තත්වය ස්ථාවර කිරීම සඳහා අනාගතයේදී තබන පියවරයන් සම්බන්ධයෙන් පූර්න සහය දෙමින් ඉදිරියට යන” බවයි.

දෙජාසංයේ දෙමල ජාතිකවාදී විවේචකයෝ එම සංවිධානයේ පාර්ලිමේන්තු උපාමාරු වලට සහයෝගය දෙමින්, වොෂින්ටනය සහ අනෙකුත් බලවතුන් ලවා දෙමල ධනේශ්වරයේ ආසක්තයන් ආරක්ෂා කරගැනීමට, වඩා සවිස්තරාත්මක පොරොන්දු වෙනුවෙන් කැඳවුම් කරති.දේශපාලන විශ්ලේෂකයෙකු වසයෙන් එස්.ඒ. ජෝතිලිංගම් යාපනයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කීවේ, “මහින්ද රාජපක්ෂට චීනයේ සහාය ලැබෙන අතර, බටහිර රටවල් රනිල් වික්‍රමසිංහට සහාය දෙති. මෙම තත්වයේදී කලහැකි හොඳම දෙය වන්නේ මෙම රටවල් සාක්ෂිකරුවන් වසයෙන් තබා ගනිමින් මෙම පක්ෂවලින් ලිඛිත පොරාන්දු ලබා ගැනීම ” බව යි.

ශ්‍රී ලංකාවේ සෑම ජනවර්ගයකම කම්කරුවන් අතරින් වැඩෙන විරෝධතාවන් හා උද්ඝෝෂන ව්‍යාපාරයට ප්‍රතිචාරය ලෙස පාලක පක්ෂ තියුනු ලෙස දකුනට හැරෙමින් සිටී. සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රනයට දින දෙකකට පෙරාතුව, 5,000ක් පමන සිංහල, දෙමල හා මුස්ලිම් තරුන කම්කරුවන්, වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා දෙගුනකින් වැඩි කරන ලෙස ඉල්ලා ගෝල්ෆේස් ග්‍රීන්හි විරෝධතාවේ යෙදුනෝ ය. දෙමල බහුතරයක් වෙසෙන උතුරු හා නැගෙනහිර නගර කිහිපයකම කම්කරුවෝ හා තරුනයෝ ස්වයංක්‍රීයවම වතු කම්කරුවන්ට සහය දෙමින් වීථි විරෝධතාවලට ඒකාබද්ධවූහ.

පසුගිය වසර තුන යලිවතාවක් සනාථ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දෙමල ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අරමුනු සඳහා ජාතික මාවතක් නොමැති බව යි. දෙමල ජාතිකවාදීන් අධිරාජ්‍යවාදීන් සමග අත්වැල්බැඳ ගැනීම ගලා එන්නේ, කම්කරුවන් සහ පීඩිත මහජනයාට සතුරු හා ඔවුන් නියෝජනය කරන ධනපති පන්තික අවශ්‍යතාවලිනි.

පන්ති අරගලයේ නැගීම මධ්‍යයේ එකම ඉදිරි මාවත වැටී ඇත්තේ, සමාජවාදී හා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් මත සියලු වාර්ගිකත්වයන් නියෝජනය කරන කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමට සමාජවාදී සමානතා පක්ෂය විසින් ගෙනියන අරගලයේ පදනම මත ය. කොලඹ වර්ජනය හා විරෝධතාවන් සඳහා උතුරු හා නැගෙනහිර දෙමල කම්කරුවන්ගේ සහයෝගය පලකිරීම සහ උතුරේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ වසරක දීර්ඝ විරෝධතාවලට සිංහල කම්කරුවන්ගේ සහානුභූතිය, කම්කරු පන්තියේ වැඩෙන එක්සත්භාවය පෙන්නුම් කරයි.

Share this article: