හුආවේ විධායක මෙන්ග් අත්අඬංඟුවට ගැනීමෙන් වෙලඳපොල කැලඹේ

Huawei executive Meng’s arrest sparks market turbulence

නික් බීම්ස් විසිනි, 2018 දෙසැම්බර් 7

ඇමරිකානු අධිකරන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සම්බාධක කඩකරමින් ඉරානය සමඟ වෙලඳාම් කිරීම පිලිබඳ චෝදනා යටතේ චීන අධි තාක්ෂනික සන්නිවේදන සමාගමක් වන හුආවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී මෙන්ග් වෙන්ෂෝ කැනඩාවේදී අත්අඩංඟුවට ගෙන එරටට බාරදීමට කටයුතු කිරීමත් සමඟ යුරෝපයේ හා ආසියාවේ කොටස් වෙලඳපොලවල් කැලඹීමට පත්වුනු අතර 6දා වෝල් වීදියේ දැඩි පැද්දීම් ඇති කලේය.

වෝල් වීදියේ කැලඹීම හටගත්තේ, අනාගත තොග වෙලඳාම උදෑසන ඇරඹීමත් සමඟ එය මෙහෙයවන සීඑම්සී සමූහ ව්‍යාපාරය ”අස්ථාවරත්වය නිසා” කෙටි වේලාවකට වෙලඳාම නතර කිරීමත් සමඟය.

වෙලඳාම පටන්ගැනීමත් සමඟ දෙපැයක් තිස්සේ වෙලඳපොල බිඳවැටුනු අතර පසුව එය යථා තත්වයට පත් වුනේ ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 80න් පහත අගයක් සලකුනු කරමිනි.

ඊට පෙර ආසියානු වෙලඳපොලවල් සියයට 2.5-3 අතර ප්‍රමානයකින් පහත වැටුනේ, මෙන්ග් අත්අඬංඟුවට ගැනීමේ ප්‍රවෘත්තිය පලවීමත් සමඟ ඇමරිකාව හා චීනය අතර වෙලඳ යුද්ධයේ සටන් විරාමය සුන්වී යාමේ තර්ජනය මතු කරමිනි. ඉන් පසුව යුරෝපීය වෙලඳපොලවල් ද සියයට 3න් පමන පහත වැටුනි. යුරෝපීය ස්ටොක්ස්600 දර්ශකය සියයට 3.1න් පහත ගියේය. එය 2016දී බි්‍රතාන්‍යය යුරෝපීය සංඟමයෙන් ඉවත්වීමට ඡන්දය දීමෙන් පසුව දිනක් ඇතුලත සිදුවූ වැටීම ද ඉක්මවා ගියේය. බි්‍රතාන්‍යයේ ෆුට්සි දර්ශකය සියයට 3.2න් පහත වැටුනේ දෙවසරකට පසුව එලඹි නරකම දිනය සටහන් කරමිනි.

ඉන් පසුව වෙලඳපොල කැලඹීම වෝල් වීදියට පැතිර ගිය අතර දහවල් වන විට ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 784න් පිරිහුනි. ඊට පෙර දිනයේ ඒකක 800 වැටීමත් සමඟ ගත් කල මුලු වැටීම දින එකහමාරක් තුල ඒකක 1500කි. හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ අවමඟුල නිසා එදින වරුවකින් වෙලඳපොල වසා දැමීම නිසාය ඒ.

පසුව, එලඹෙන වසරේ පොලී අනුපාත වැඩි කිරීම පිලිබඳව තත්වය කිරා මැන බැලීමේ ප්‍රවිෂ්ටයක් ගැනීමට ෆෙඩරල් මහ බැංකුව සලකා බලමින් සිටින බව වෝල්ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කිරීමත් සමඟ, පසුගිය දෙමස තිස්සේ ඇතිව තිබූ වෙලඳපොල අස්ථාවරත්වය ප්‍රකාශ කරමින් වෙලඳපොලේ නැඟීමක් ඇති විය. වාර්තාව සඳහන් කල පරිදි, මේ මාසයේ පොලී අනුපාතය සියයට 0.25න් වැඩි කිරීමෙන් පසුව කුමක් කරන්නේදැයි බැංකු නිලධාරීන් දැන නොසිටී. බලාපොරොත්තු පලව තිබුනේ මහ බැංකුව 2019 වසර තුල ද පොලී අනුපාත වැඩිකරනු ඇති බවටය. එහෙත් මේ නිසා ආර්ථික පසුබෑමක් ඇති විය හැකි බවට වැඩෙන කනස්සල්ලක් පැවතුනි. පසුගිය මාසයේදී බැංකු අධිපති ජොරොම් පවල් ඇඟවුම් කලේ, බැංකුවේ පාදක අනුපාතය උපරිමයට පැමින ඇති බවටය. එහි අර්ථය අනාගතයේ වැඩිවීම් මන්ඳගාමී වියහැකි බව හෝ මුලුමනින්ම නතර වියහැකි බවයි.

එසේම වෙලඳපොල ඇට්ලන්ටා ෆෙඩරල් බැංකුවේ සභාපති රෆායෙල් බොස්ටික් 6දා කල කථාවෙන් ද උත්තේජනයක් ලැබීය. ඔහු පැවසුවේ මහ බැංකුව මන්දගාමිත්වයේ “හූ හඬක දුරින් ඇති” බවය. එහි අර්ථය අනුපාතයේ උත්තේජනයක් හෝ ආර්ථිකයේ මන්දගාමිත්වයක් ඇති නොවන බවයි.

මෙන්ග් අත්අඬංඟුවට ගැනීමත් ඇමරිකාවට බාරදීමේ උත්සාහයක් ඇති බවටත් වාර්තා පලවූනේ, ඇමරිකාව හා චීනය වෙනස්වූ අර්ථකථනයන් ඉදිරිපත් කල ට්‍රපම්ප් හා සී අතර පැවති සාකච්ඡාවල සැබෑ එකඟත්වයන් පිලිබඳ ව්‍යාකූලත්වයක් පවතිද්දීමය.

හුආවේට එරෙහි පියවර වෙලඳාමට සෘජු ලෙසකින් සම්බන්ධ නැත. මක්නිසා ද යත්, එය පදනම් වුනේ සමාගම ඉරානයට එරෙහි ඇමරිකානු සම්බාධක උල්ලංඝනය කලේය යන චෝදනාව මත වීම නිසාය. එසේ වුවහොත් එය ක්ෂනිකවම වෙලඳ ගිවිසුමක් ඇතිවීම වලක්වනු ඇත.

ආයෝජන බැංකුවක් වන ජෙෆ්රීස්හි ව්‍යාපාර වස්තු මූලෝපායඥ ලබාන් යූ ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසුවේ, “චීනයේ ජාතික ප්‍රමුඛයෙකුට විරුද්ධව වෙලඳපොල සම්බාධක හා පරීක්ෂන පැවැත්වීමෙන් චීනයට දඬුවම් කිරීමකි මෙය, අපි හිතන්නේ ප්‍රධානම මූල්‍ය නිලධාරියා අත්අඬංඟුවට ගැනීම එරට නොඉවසනු ඇති බවයි.” එක්සත් ජනපදය පිලිවෙත වෙනස් නොකරන්නේ නම් “වෙලඳ සාකච්ඡා බරපතල ව්‍යසනයකට මුහුන දෙනු ඇත.”

හුආවේ සමාගමට එරෙහි පියවර සලකුනු කරන්නේ, ගැටුම වෙලඳාම මුල්කරගත්තක් නොවන බවයි. එය මුල්බැස ඇත්තේ, සිය ගෝලී අධිකාරයට තර්ජනයක් ලෙස ඇමරිකාව විසින් සලකනු ලබන අධි තාක්ෂනික වර්ධනයේ ඇමරිකානු ප්‍රමුඛත්වය තබාගැනීමේ ව්‍යායාමය තුලය.

ඇමරිකාවේ හා ලෝකයේ කොටස් වෙලඳපොලවල කැලඹීමට එකම කාරනය ගැඹුරුවන ඇමරිකා-චීන ආර්ථික යුද්ධය නොවේ. කෙටි කාලයකට වර්ධනයේ “ස්ථාවරත්වයක්” ඇතිවූ 2017න් පසුව ලෝක ආර්ථිකය මන්දගාමී වන බවට ඇති පැහැදිලි සලකුනු හමුවේ එය වෙලඳපොලවල වැඩෙන කැලඹීම්වල ප්‍රධාන සාධකය වන්නේය.

මන්දගාමිත්වය පිලිබිඹු කරමින් ලෝක තෙල් මිල ගනන් පසුගිය දෙමසක කාලයක් තිස්සේ තියුනු ලෙස පහත වැටුනි. සැපයුම ඉල්ලුම අභිබවා ගියේය. ඔක්තෝබර් මුල පටන් බොරතෙල් පාදක මිල බැරලයකට ඩොලර් 86ත් වැඩියෙන් පහත වැටුන අතර 6දා වන විට මිල පැවතුනේ බැරලයකට ඩොලර් 58ක් ලෙසය. එය තවදුරටත් පහත වැටෙනු ඇති බවට පුරෝකථනය කෙරේ.

ඔපෙක් යන තෙල් කාටලය, වියානාහි පැවති රැස්වීමේදී නිෂ්පාදනය කපා හැරීමේ එකඟත්වයක් ඇතිකර ගැනීමට අසමත් වීමට ප්‍රතිචාර වශයෙන් වෝල් වීදියේ ඇමරිකානු ෂෙල් තෙල් සැපයුම්කරුවන්ගේ කොටස් අගය පහත වැටීම කැපී පෙනුනි. ඔපෙක් සාමාජිකයෙකු නොවන රුසියාව ද ඇතුලු රටවල තවදුර සාකච්ඡා අද දිනයේදී ද පැවැත්වෙන අතර එකඟත්වයකට පැමිනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එහෙත් මිල පහත යාම දැනටමත් ඇමරිකානු නිෂ්පාදකයින් මත දැඩි බලපෑමක් කර තිබේ. 6දා ඔවුන්ගේ කොටස් අගය සියයට 6-9 අතර ප්‍රමානයකින් පහල වැටුනි. පිරිහීම ලාභ කපාහැරියා පමනක් නොව, ෂෙල් ව්‍යාපෘති වලට මූල්‍ය සම්පාදනයේදී යොදාගන්නා අබලි බැඳුම්කර වෙලඳපොල තුල නය සිරකිරීමකට ද මුහුනපා ඇත. අබලි වෙලඳපොලේ ගෙවන පොලී අනුපාතය ඇමරිකානු භාන්ඩාගාර බිල්පත්වලට ගෙවන පොලිය හා සසඳන කල දැන් සියයට 5.5ක පරතරයක් ඇතිව තිබේ. එය වසර එක හමාරකට පසු ඉහලම මට්ටමය.

ප්‍රතිලාභ වක්‍ර ය සමතලා වීම ඇඟවුම් කරන පරිදි, අවධමනයක් පිලිබඳ බියට ද වෙලඳපොල ප්‍රතිචාර දක්වයි. එනම් රජයේ කෙටිකාලීන බැඳුම්කර පොලී අනුපාතය හා දිගුකාලීන සුරැකුම්පත් ප්‍රතිලාභ එකිනෙක සම්පාත වීමයි. මේ සතිය මුල, වසර දෙකේ හා වසර දහයේ භාන්ඩාගාර බිල්පත් අතර පරතරය, වසර 11ට පසුව එහි පහතම මට්ටමට ලඟාවිය. 6දා වසර තුනේ භාන්ඩාගාර බිල්පත් ප්‍රතිලාභ වසර පහේ බැඳුම්කර ප්‍රතිලාභ ඉක්මවා ගියේය. එය ඇතුලට නැමුනු ප්‍රතිලාභ වක්‍රයක නැඹුරුව ඉහල නැංවීය. එය පුලුල් ලෙස සලකනු ලබන්නේ පසුබෑමක සලකුනක් ලෙසය.

Share this article: