වෙලඳ සාකච්ඡාවල ප්‍රතිඵල ගැන එක්සත් ජනපදය හා චීනය ප්‍රතිවිරුද්ධ අදහස් දක්වති

US and China put divergent spin on outcome of trade talks

නික් බීම්ස් විසිනි, 2018 දෙසැම්බර් 4

සති අන්තයේ පැවති ජී20 සමුලු රැස්වීමෙන් පසු නිකුත් කෙරුනු එක්සත් ජනපද - චීන වෙලඳ යුද්ධයේ තාවකාලික සටන් විරාමයෙන් පසුව වෝල් වීදියේ ඩව් දර්ශකය ඒකක 300 ඉක්මවා යෑමත් සමඟ 3දා, ලෝකය වටා කොටස් වෙලඳපොලවල් ඉහල නැඟුනි.

කෙසේ නමුත්, ජනාධිපති ට්‍රම්ප් හා ජනාධිපත් සී ජිංපිං අතර සාකච්ඡාවල ප්‍රතිඵල ගැන දෙපාර්ශ්වයේ ප්‍රකාශන විභාග කර බැලීමේ දී “යුද්ධයේ දුමාරය” නම් වැකිය සිහියට නැඟේ. නිල ප්‍රකාශනයක් අත්සන් නො කෙරුනි, සිදු වූයේ කුමක් ද හා එකඟ වූයේ කුමක් ද යන්න පිලිබඳ වාර්තාවල වෙනස්කම් පෙන්නුම් කරයි.

එක්සත් ජනපද පිටපතට අනුව “අතිශයින් සාර්ථක යි”යනුවෙන් ද චීන පිටපතට අනුව “බොහෝ සාර්ථක යි” යනුවෙන් ද විස්තර කරමින් දෙපැත්ත ම සාකච්ඡාවල ප්‍රගතියක් ඇති වී තිබුන බව පැවසීය. එහෙත් පසුව ඔවුන් සැලකිය යුතු ලෙස දෙපැත්තට යන අතර වාර්තා පිලිබඳ ඒකාබද්ධ ප්‍රකාශනයක් නොමැති තරම්ය. දෙපැත්ත ම තමන්ගේ ම අදහස් හා ප්‍රතිඵල ඉදිරිපත් කරති.

වඩා වැදගත් වෙනස කේන්ද්‍රගත වන්නේ, එක්සත් ජනපදය තම ප්‍රමුඛ ආර්ථික තත්වයට තර්ජනයක් ලෙස සලකන අධිතාක්ෂන සංවර්ධන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සිය ආර්ථිකය තුල දුර දිග යන “ව්‍යූහාත්මක” වෙනස්කම් චීනය විසින් සිදු කල යුතු ය යන වොෂින්ටනයේ ප්‍රධාන ඉල්ලීම මත ය.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් සේරා සෑන්ඩර්ස්ගේ ප්‍රකාශනයට අනුව, “බලහත්කාරී තාක්ෂන මාරුව, බුද්ධිමය දේපල ආරක්ෂාව, බාධක නොවන තීරුබදු, සයිබර් විනිවිදීම් හා සයිබර් සොරකම ද කෘෂිකර්මය සම්බන්ධයෙන් ව්‍යූහයමය වෙනස්කම් ගැන ද වහා ම සාකච්ඡා පැවත්වීමට ජනාධිපති ට්‍රම්ප් හා ජනාධිපති සී එකඟ වී ඇත. මෙම කටයුත්ත දින 90ත් ඇතුලත සම්පූර්න කිරීමට උත්සාහ කරන බවට පාර්ශ්ව දෙකම එකඟ වී ඇත. මෙම කාලපරිච්ඡේදය අවසානයේ දී, පාර්ශ්වයන් එකඟත්වයකට ලඟා වීමට අසමත් වන්නේ නම්, සියයට 10 තීරු බදු සියයට 25දක්වා වැඩි කරනු ඇත.”

එක්සත් ජනපදය “ව්‍යූහයමය වෙනස්කම්” ලෙස හඳුන්වන්නේ කුමක් ද යන්න හෝ “මෙම කාරනය මත එකඟත්වයකට පැමිනීමට නො හැකි වන්නේ නම් දින 90ට පසු බදු” වැඩි කිරීම ගැන හෝ චීන ප්‍රකාශනය සඳහන් කර නොමැත. “සියලු අතිරේක තීරුබදු ඉවත් කිරීම හා දෙපැත්තටම වාසිවන ප්‍රතිඵල ලැබෙනු ඇති සංයුක්ත එකඟත්වයකට ලඟා වීමට සියලු සාකච්ඡා කඩිනම් කිරීමට” දෙපාර්ශ්වය ම එකඟවී ඇති බව” පමනක් එය පවස යි.

සිදුවීම් පිලිබඳ එක්සත් ජනපද අනුවාදය චීන පාර්ශ්වය එක්සත් ජනපද මෝටර් රථ අමතර කොටස් මත බදු අඩු කිරීමට එකඟ වී අති බවට ඉරිදා ට්වීටර් පනිවිඩයක ට්‍රම්ප් කල ප්‍රකාශ මගින් ප්‍රශ්නයට බඳුන්ව ඇත. මෝටර් රථ සමාගම්වල කොටස් මිල ගනන් ඉහල නංවනු ඇතැයි සලකන තීරුබදු කපාහැරීම, සාකච්ඡාව පිලිබඳ එක්සත් ජනපද හෝ චීන ප්‍රකාශනය තුල සඳහන් නො කෙරුනි.

ප්‍රකාශය පැහැදිලි කිරීමට තැත් කරමින් ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශක ලැරී කුඞ්ලෝව් පැවසුවේ, බදු කපාහැරීම, “කැපවීමක්” මිස අවශ්‍යයෙන් ම වෙලඳ ගිවිසුමක් නොවන බව යි. ඔහු මෙසේ ද පැවසී ය, “ඔවුන් ඒවා නීරීක්ෂනය කිරීමට සූදානම් වෙමින් සිටිනවා ද හා අනුමාන වසයෙන් ක්‍රියාත්මක කරනවා ද යන්න වැදගත් නැත.” ප්‍රකාශනයන් දෙකෙන් එකක් හෝ මෝටර් රථ බදු සඳහන් නො කලේ මන් දැ යි අසන ලදු ව, කුඞ්ලෝව් නිකම්ම කාරනය ප්‍රතික්ෂේප කලේ ය. “මම ඒක එක්ක එකඟ වන්නේ නෑ” යි ඔහු පැවසී ය.

එහි වෙනත් ප්‍රතිවිරෝධයන් ද විය. එක්සත් ජනපද ප්‍රකාශනය මෙසේ පැවසී ය, චීනය“තවමත් සැලැසුම් නො කෙරුව ද, වෙලඳ අසමතුලිතාව අඩු කිරීමට එක්සත් ජනපදයෙන් කෘෂිකාර්මික, බලශක්ති, කාර්මික, හා වෙනොත් නිෂ්පාදන සැලකියයුතු ප්‍රමානයක් මිලි දී ගැනීමට එකඟ වනු ඇති” අතර “ඉක්මනින් ම අපගේ ගොවීන්ගෙන් කෘෂිකාර්මික නිෂ්පාදන මිල දී ගැනීම ඇරඹීමට” චීනය එකඟ වී ඇත.

චීන ප්‍රකාශනය සඳහන් කලේ චීනය වැඩිපුර එක්සත් ජනපද භාන්ඩ ආනයන කරනු ඇතැයි යන්න පමනි.

ප්‍රධාන දේශපාලන ප්‍රශ්න දෙකක් ගැන ද වෙනස්කමක් ඇත. තායිවාන් ප්‍රශ්නය ගැන සී චීන ආස්ථානය යලි අවධාරනය කල බවත්, “එක්සත් ජනපද පාර්ශ්වය තනි චීන ප්‍රතිපත්තිය දිගට පිලිගැනීමට පොරොන්දු වූ” බවත් චීන ප්‍රකාශනය පැවසී ය. එක්සත් ජනපද වාර්තාවේ මෙය සඳහන් නො කෙරේ.

“එක්සත් ජනපදය තම රට තුල අධ්‍යාපනය ලැබීමට චීන සිසුන් සතුටින් බාර ගන්නා” බව ට්‍රම්ප් කියා තිබුන බව චීන ප්‍රකාශනයේ සඳහන් වන නමුත් මෙය එක්සත් ජනපද පිටපතේ සඳහන් නො වුනි.

චීන ශිෂ්‍යයින් හා පර්යේෂකයින්, විශේෂයෙන් ම අධිතාක්ෂනික ශ්‍රේනියේ අය චීන ආන්ඩුවේ ඔත්තුකරුවන් යැයි එක්සත් ජනපදය තුල වැඩෙන උද්ඝෝෂනය හේතුවෙන් මෙම කාරනය ඉතා වැදගත් ය.

කල් පවත්නා කවර හෝ ගිවිසුමක අතරමග ප්‍රධාන බාධකයක් පෙන්වා දෙන වාක්‍යයක් ද චීන ප්‍රකාශනයට ඇතුලත් ය. “අන්‍යෝන්‍ය වසයෙන් ඵලදායි හා වාසිදායක ප්‍රතිඵල උපලක්ෂනය කරන සංයුක්ත ගිවිසුමක්, චීන පාර්ශ්වයෙන් එක්සත් ජනපදයට යොමු කරන කවර හෝ සාධනීය පියවරක පදනම වන්නේ ය” යනුවෙන් එය පැවසී ය.

වෙනත් වචනවලින් පවසතොත්, එක්සත් ජනපද ඉල්ලීම් ඉටු කිරීමට හිලව් වශයෙන් චීනයට ද ප්‍රතිලාභයක් තිබිය යුතු ය. නමුත් එක්සත් ජනපදය පාර්ශ්වයෙන් මෙය මේ වන විටත් ප්‍රතික්ෂේප කෙරී ඇත. පසු ගිය මැයි මාසයේ තම මූලික ආස්ථානය ඉදිරිපත් කරන ප්‍රකාශනයක, ආපසු කිසිවක් ප්‍රදානය නො කරම ට්‍රම්ප් පාලනාධිකාරිය ඉල්ලුවේ, තම “චීනයේ නිපදවනු” වැඩසටහන යටතේ කාර්මික හා තාක්ෂනික සංවර්ධන වැඩසටන හකුලා ගැනීමට චීනය පියවර ගත යුතු බව යි. එනම් විරුද්ධත්වය පෑම හෝ එකටෙක කිරීම නොමැතිව හුදෙක් එක්සත් ජනපද තීරු බදු පිලි ගනු යන්න යි.

ඩොලර් බිලියන 250ක් වටිනා චීන භාන්ඩ මත තීරු බදු පැනවීම හා එක්සත් ජනපද සමාගම්වලින් වැදගත් උපාංග ආනයනය කිරීමේ අවශ්‍යතාවෙන් පෙලෙන අධිතාක්ෂන සමාගම් මත සීමා පැනවීමත්, “ආරක්ෂක” පදනම මත, 5ජී දුරකතන ජාල සංවර්ධනයේ දී තම සහචරයන් චීන හුආවේ සමාගම යොදා නො ගැනීම සහතික කිරීමට වොෂින්ටනය විසින් ගෙන යන උද්ඝෝෂනයක් සමග බද්ධ වෙමින්, පසු ගිය මාස හයේ දී එම තත්වය වඩා උග්‍ර වී ඇත.

ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය දැක් වූ පරිදි ජනාධිපති සීට , එක්සත් ජනපදය විසින් ඉල්ලන “චීන ආර්ථිකයේ දුර දිග යන වෙනස්කම් ක්‍රියාත්මක කිරීම හෝ එකඟ වීම පවා” “සැබවින් ම අපහසු” නිසා, “2019 පෙබරවාරි අවසාන වන විට පලිගැනීම් සහිත වෙලඳ යුද්ධය ඇරඹෙනු ඇති බව මුලුමනින් ම පාහේ නිශ්චිත ය.”

විකල්පය ලෙස චීනය වඩාත් කැමැත්ත දක්වන භාන්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් වෙනුවට, චීනය සම්බන්ධයෙන් ප්‍රමුඛ දැඩි මතධාරියෙකු වන ධවල මන්දිර වෙලඳ උපදේශක පීටර් නවාරෝ ද එක්සත් ජනපද වෙලඳ නියෝජිත රොබට් ලයිට්තයිෂර් ද එක්සත් ජනපද සාකච්ඡා කන්ඩායම මෙහෙවනු ඇතැ යි තීරනය කිරීම, ඊ ලඟ දින 90 තුල පැවැත්වෙනු ඇති සාකච්ඡාවල දිසාව පිලිබඳ ප්‍රධාන ඇඟවුමකි.

මැයි මාසයේ සිට පවතින තත්වය අනුව, ලයිට්තයිෂර් සාකච්ඡාවන්හි ප්‍රධානියා බවට පත්ව ඇති අතර, කැබිනට් සාමාජිකයෙකු වක මුන්චින් නාමික වසයෙන් ප්‍රධාන තැන උසුලා ඇත. ලයිට්තයිෂර්ට ප්‍රතිවිරුද්ධව මුන්චින්, චීනයට වඩ වඩාත් එක්සත් ජනපද අපනයන සහතික කර ගැනීමට පක්ෂ අයෙකු ලෙස සැලකේ. චීනය සහාය දීමට සූදානම් ය. චීන තාක්ෂනික වර්ධනය වැලක්වීම ප්‍රධාන කාරනයක් බව ලයිට්තයිෂර් අවධාරනය කර යි. නමුත් බීජීනය ප්‍රයෝජනයට ගැනීමට බලාපොරෙත්තුව සිටින්නාවූ කුමන හෝ කපොල්ලක් වී නම් වසා දමා ඇති බව ලයිට්තයිෂර්ගේ පත් කිරීම පෙන්නුම් කර යි.

ට්‍රම්ප්-සී සාකච්ඡා පැවත්වූ තන් සිට මුන්චින් අවධාරනය කර ඇත්තේ, එක්සත් ජනපද පාර්ශ්වය තුල එකමුතුවක් තිබෙන බව යි. “මෙය සැබෑ ගිවිසුමක් වීම අවශ්‍ය වන බව අපගේ ආර්ථික කන්ඩායමේ සියයට 100ක ඒකමතික අදහස” වන බව ඔහු ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයට පැවසී ය. “චීනයෙන් ලිහිල් කැපවීම් තිබෙන්න ඉඩක් නෑ. නිශ්චිත දින, නිශ්චිත කාර්ය වකවානු අවශ්‍යයි.”

වෙනත් වචනවලින් කියන්නේ නම්, එක්සත් ජනපද ඉල්ලීම් සැපිරීමට චීන පාර්ශ්වය විශේෂ, විවිධ පියවර, විශේෂයෙන් ම “ව්‍යූහමය” වෙනස්කම් නො ගන්නේ නම්, තීරු බදු හා හැකි අනෙකුත් උපායන් තීව්‍ර කෙරෙනු ඇති බව යි.

Share this article: