ශ්‍රී ලංකාව: ඇබොස්ලී වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව ආරම්භක රැස්වීම පවත්වයි

Sri Lanka: Action committee of Abbotsleigh Estate workers holds inaugural meeting

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 දෙසැම්බර් 18

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන සහයෝගය සහිත ව වතු කම්කරුවන් විසින් ගොඩනගන ලද ඇබොස්ලී වත්තේ ක්‍රියාකාරී කමිටුව එහි නිල ආරම්භක රැස්වීම දෙසැම්බර් 16දා සවස පැවැත්වී ය.

ඇබොස්ලී තේ කර්මාන්තශාලාව අසල ශාලාවක පැවති රැස්වීමේ ප්‍රධාන අරමුන වූයේ කමිටුවේ අරමුනු, ක්‍රියාකාරී කමිටුවක් හා වෘත්තීය සමිතියක් අතර වෙනස සාකච්ඡා කිරීම හා වැඩි වැටුප් ඉල්ලා වතු කම්කරුවන් දසදහස් ගනනක් නිරත වූ වැඩ වර්ජනයේ පාඩම් උකහා ගැනීම යි. ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) දෙසැම්බර් 12දා වර්ජනය අවසන් කල ද දින දෙකක් යන තෙක් විරෝධතා අඛන්ඩ ව පැවතුනි.

රැස්වීම හා එයට සහභාගි වන්නන් පිලිබඳ තොරතුරු වතු කලමනාකාරීත්වයට හා පොලීසියට ලබාදෙන බවට තර්ජනය කරමින් ජාතික කම්කරු සමිතියේ (එන්යූඩබ්ලිව්) ප්‍රාදේශීය නායකයෙකු වන බී. මුන්නුසාමි රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කලේ ය. ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන (ඩීපීඑෆ්) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) සමගින් එන්යූඩබ්ලිව් සමිතිය ද වැඩ වර්ජනයට එකහෙලා විරුද්ධ වුවත් ඒවායේ බොහෝ සාමාජිකයෝ වැඩ නතර කල හ. වර්තමානයේ රුපියල් 500ක දරිද්‍ර මට්ටමේ දෛනික වැටුපක් ලබන වතු කම්කරුවන්ගේ කැරලිකාරීත්වය පිලිබඳ ව සීඩබ්ලිව්සී ඇතුලු සියලු වෘත්තීය සමිති බියපත් ව සිටී.

ඔක්තෝබර් 26දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ව්‍යවස්ථා-විරෝධී ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් නෙරපා එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීමෙන් පසු දිගහැරුනු දේශපාලන අර්බුදය, වර්ජනය මඟින් බොහෝ සෙයින් තීව්‍ර කලේ ය. ඒ හෝ මේ ප්‍රතිවිරුද්ධ ධනේශ්වර කන්ඩායම් සමග පෙලගැසී සිටින දේශපාලන පක්ෂ ලෙස ද ක්‍රියාත්මක සියලු වතු වෘත්තීය සමිති, කම්කරු පන්තියේ ඕනෑම ස්වාධීන ව්‍යාපාරයකට ගැඹුරින් ම හතුරු ය. සීඩබ්ලිව්සීය වර්ජනය කැඳවූයේ වැටුප් හා කොන්දේසි අරබයා කම්කරුවන් ගසන කැරැල්ලක් පෙරලොප් කිරීමට ය.

එන්යූඩබ්ලිව්හි සමාගම්-ගැති භූමිකාව දෙසැම්බර් 16 රැස්වීමේ දී සසප හෙලිදරවු කල අතර, එහි ප්‍රකෝපකාරියාට පසුබැසීමට බලකෙරුනි. තර්ජන නො තකා ඇබොස්ලී වත්තේ කම්කරුවන් ගනනාවක් සසප සාමාජිකයන් හා ආධාරකරුවන් සමග රැස්වීමට සහභාගි වූ හ.

සුන්දරලිංගම්

ඇබොස්ලී වත්තේ කම්කරුවකු වන සුන්දරලිංගම් රැස්වීමේ මුලසුන දැරී ය. ඒකමතික ව සම්මත කරන ලද රැස්වීමේ ප්‍රධාන වාර්තාව සසප දේශපාලන මන්ඩල සාමාජික පානි විජේසිරිවර්ධන විසින් ඉදිරිපත් කරන ලදී. එය එම්. දේවරාජා විසින් දෙමල බසට පරිවර්තනය කලේ ය.

වතු කම්කරුවන්ට හා ඇබොස්ලී ක්‍රියාකාරී කමිටුවට සසප හා ලෝසවෙඅහි උනුසුම් විප්ලවවාදී සුභපැතුම් ගෙන ආ විජේසිරිවර්ධන ඔවුන්ගේ අධිෂ්ඨානවත් අරගලය අගය කලේ ය. සාධාරන වැටුප් සහ යහපත් සේවා හා ජීවන කොන්දේසි සඳහා සමාගම් හා ආන්ඩුවට එරෙහි ව ඔවුන් ගෙනයන අරගලයට සසප අඛන්ඩ ව දේශපාලන සහයෝගය ලබාදෙන බවට ඔහු පොරොන්දු විය.

වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය, වෘත්තීය සමිති, ආන්ඩු, සංගත හා සමස්ත ධනපති සංස්ථාපිතයන්ට එරෙහි ව ජාත්‍යන්තර පරිමාන ව කම්කරු පන්තිය අතර වැඩෙන කැරලිකාරීත්වයේ කොටසක් බව කථිකයා කීවේ ය.

“එක්සත් ජනපදයේ ඩිට්රොයිට්හි පසුගිය ඉරිදා පැවති ප්‍රසිද්ධ රැස්වීමක දී ජෙනරල් මෝටර්ස් සමාගමේ කම්හල් වැසීම්වලට එරෙහි ව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට යෝජනාවක් සම්මත කලා. ප්‍රන්සයේ ඇරඹුනු ‘කහ බැනියම්’ ව්‍යාපාරය දැන් යුරෝපය පුරාත් මැද පෙරදිගටත් පැතිරෙමින් තිබෙනවා. ඉන්දියාවේ කම්කරුවන් පන්ති අරගලවල නිරත ව සිටිනවා” යයි ඔහු කීවේ ය.

ගෝලීය පන්ති අරගල ඒකාබද්ධ කිරීමේ දී ලෝසවෙඅහි භූමිකාවට විජේසිරිවර්ධන අවධානය යොමුකලේ ය. වතු කම්කරු වර්ජනය ආවරනයට ප්‍රතිචාර ලෙස, වෘත්තීය සමිතිවලට විරුද්ධ ව ක්‍රියාකාරී කමිටුවක් බිහිකිරීමට ඇබොස්ලී කම්කරුවන් ගත් ආරම්භකත්වය උනුසුම් ව පිලිගනිමින් ලෝසවෙඅ පාඨකයන්ගේ අදහස් කිහිපයක් ඔහු උපුටා දැක්වී ය.

“හැටන් නගරයේ ෆෘට් හිල් හන්දිය අසල ඔබ උද්ඝෝෂනය කරද්දී කුඩා කම්කරුවන් කන්ඩායමක් වන ඔබලා ලෝකය මත බලපෑමක් සිදුකරන බව නො සිතන්නට ඇතත්, ඔබ එවැනි බලපෑමක් කර තිබෙනවා.”

රැස්වීමට සහභාගි වී තිබූ සීමිත සංඛ්‍යාව පිලිබඳ උත්සුකයන්ට අවධානය යොමුකරමින් “එය සංඛ්‍යාව පිලිබඳ ප්‍රශ්නයක් නො වේ” යයි කථිකයා කීවේ ය. අර්ථභාරී වන්නේ ස්වාධීන ව හා පන්ති සවිඥානික ව සංවිධානය වීමට කම්කරුවන්ට පවතින අධිෂ්ටානය යි. කම්කරුවන් තමන්ගේ ම අරගලවලින් පාඩම් උකහා ගැනීමේ අවශ්‍යතාව අවධාරනය කල ඔහු, වෘත්තීය සමිති විසින් මර්දනය කිරීමට දැරූ උත්සාහයන්ට විරුද්ධ ව වර්ජන ව්‍යාපාරය මතුවීමම විමසා බැලීය.

පානි විජේසිරිවර්ධන රැස්වීම අමතමින්

වෘත්තීය සමිති තුල කම්කරුවන්ට අවස්ථාවක් නැති බව විජේසිරිවර්ධන පෙන්වා දුන්නේ ය. “වතු සමාගම් සමග හොර රහසේ සියලු තීන්දු ගන්නා සමිති ඉන්පසු ඒවා ඔබලා මත පටවනවා.” ගෝලීය නිෂ්පාදනයේ කොන්දේසි යටතේ ලොව පුරා වෘත්තීය සමිති හාම්පුතුන්ගේ හා ආන්ඩුවල උපකරනයක් බවට පත් ව ඇති බව ඔහු විස්තර කලේ ය.

“ශ්‍රී ලංකාවේ ඔබ වැඩි වැටුප් ඉල්ලා වර්ජනය කරද්දී, ඔබ නිරත ව සිටින්නේ හුදෙක් වතු සමාගම්වලට පමනක් නො ව මෙම ගෝලීය නිෂ්පාදන ජාලයට හිමිකම් කියන මහා සංගතවලටත් විරුද්ධ සටනක යි. අප ජාත්‍යන්තර පන්තියක් ලෙස සංවිධානය වීම අවශ්‍ය වන්නේ ඒ නිස යි. වෘත්තීය සමිති මෙම එකමුතුවට විරුද්ධ යි” ඔහු කීවේ ය.

කතාව අවසන් කරමින් විජේසිරිවර්ධන මෙසේ කීවේ ය: “වෘත්තීය සමිතිවලට විපරීත ව ක්‍රියාකාරී කමිටුවක් තීන්දු කරා එලඹෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා හරහා යි. වඩාත් වැදගත් දෙය වන්නේ ධනවාදයෙහි සමහන් කල නො හෙන අර්බුදය හඳුනාගෙන ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මත පදනම් වීම යි.”

රැස්වීම යෝජනා දෙකක් ඒකමතික ව සම්මත කලේ ය.

“ධනේශ්වර ආන්ඩුවල හා හාම්පුතුන්ගේ ප්‍රහාර පරාජය කරනු” යන පලමු යෝජනාව “රැකියා ආරක්ෂා කරගැනීමටත් සාධාරන වැටුප් හා සේවා කොන්දේසි සඳහාත් කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක්” වෙනුවෙන් කැඳවුම් කලේ ය. වෘත්තීය සමිති හරහා තවදුරටත් කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරගත නො හැකි බව හඳුනාගනිමින් එම යෝජනාව, සියලු වතු, කම්හල් හා වැඩපොලවල කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා කැඳවුම් කලේ ය. ධනපති ආන්ඩු හා හාම්පුතුන්ගේ ප්‍රහාරයට විරුද්ධ ව කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සඳහා අරගලය සංවිධානය කිරීමට මෙම කමිටු ආරම්භකත්වය ගතයුතු ය.

“කහ බැනියම්” ව්‍යාපාරයේ නිරත ප්‍රන්ස කම්කරුවන් සමග සහෝදරත්වය ප්‍රකාශ කල දෙවන යෝජනාව, උතුරු ඇමරිකාවේ 15,000ක් වන ජෙනරල් මෝටර්ස් කම්කරු රැකියා ආරක්ෂා කරගැනීමට එක්සත් ජනපදයේ සසප ගෙනයන අරගලයට සහාය පලකලේ ය. බොරු නඩු අටවා සිරගත කරන ලද ඉන්දියාවේ මරුති-සුසුකි කම්කරුවන් නිදහස් කරගැනීමට ජාත්‍යන්තර කම්කරු පන්තියේ කාර්මික ශක්තිය බලමුලුගැන්වීම සඳහා එය කැඳවුම් කලේ ය.

සාකච්ඡාවේ දී අදහස් පලකල, ක්‍රියාකාරී කමිටුව ආරම්භ කිරීමට සහාය දුන් සිවපාකියම් නමැති කම්කරු කාන්තාව, වතු කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් අඳගොවි තත්ත්වයට පත්කරමින් වෘත්තීය සමිති හා සමාගම් විසින් පැටවීමට උත්සාහ දරන “ආදායම් බෙදාගැනීමේ” ක්‍රමය ගැන කතාකලා ය.

“වැටුප් ප්‍රශ්නය පිලිබඳ ව සාකච්ඡා කරන බව කියන වෘත්තීය සමිති, විසඳුමකට එලැඹීමට නො හැකි වුවහොත් වත්ත කම්කරුවන් අතර බෙදාදෙන බව අපට කියා තිබෙනවා. දැනට වතුවල නඩත්තු කටයුතු කරන්නේ පිටස්තර කම්කරුවන්, ඒත් මේ ආදායම් බෙදාගැනීමේ ක්‍රමය හඳුන්වා දුන්විට එම කටයුතුත් සිද්ද කරන්න වෙන්නේ අපට. මේ නව ක්‍රමය හරහා අපට මාසයකට රුපියල් 80,000ක් හම්බ කරගත හැකි යයි කියන කතාවට අපි රැවටෙන්නේ නැහැ” යයි ඇය කීවා ය.

හොඳ ජීවිතයක් සඳහා අවශ්‍ය වැටුප තීන්දු කිරීමේ දී සාධක ගනනාවක් සැලකිල්ලට ගතයුතු බව සිවපාකියම් කීවා ය. දැනට, තමන්ගේ දරුවන් වාර්ෂික පාසල් චාරිකාවට යවන විට කම්කරුවන්ට ආහාර වේල් කැපකරන්න සිදු වේ. කාන්තා කම්කරුවන් ද ක්‍රියාකාරී කමිටුවට සහභාගි විය යුතු බව ඇය අවධාරනය කලා ය.

රැස්වීමෙන් පසු සුන්දරලිංගම් ලෝසවෙඅ වෙත කීවේ: “මම වසර 20ක් 25ක් තිස්සේ වෘත්තීය සමිතිවල වැඩ කලා. ඒත් ප්‍රජාතන්ත්‍රවාදී ව තීන්දු ගන්න, කම්කරුවන්ට දේශපාලනික අධ්‍යාපනය ලබාදෙන මෙවැන්නකට මම කවදාවත් සහභාගි වෙලා නැහැ. ධනේශ්වර සූරාකෑම කියන්නේ මොකද්ද කියල මම ඉගන ගත්තා. ධනපතියා අපේ වැටුප් තීරනය කරන්නේ ඔහුගේ ලාබය ගැන හිතා මිස අපට හොඳ ජීවිතයකට අවශ්‍ය වන්නේ මොකද්ද කියා හිතලා නෙවෙයි. ඔහු ඒකට කියන්නේ එකඟතාවක් කියලා. ලෝකයේ කම්කරුවන් එකමුතු විය යුතු යි, එවැනි එකමුතුවකින් තොර ව අපේ ඉල්ලීම් දිනාගන්න බැහැ.”

Share this article: