මහ බැංකු අධිපති ආර්ථිකය කඩා වැටීමක අද්දර පවතින බවට අනතුරු අඟවයි

සමන් ගුනදාස විසිනි, 2018 පෙබරවාරි 27

පසුගිය පෙබරවාරි 21දා ඇම්චෑම් (ශ්‍රී ලංකා-ඇමරිකානු වෙලඳ මන්ඩලය) වෙලඳ සම්මන්ත‍්‍රනයේදී කතා කරමින් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආන්ඩුවට අනතුරු ඇඟවූයේ මෙතෙක් කරගෙන ගිය අයුරින් කප්පාදු වැඩ පිලිවෙල දිගටම ක්‍රියාත්මක නොකලහොත් ආර්ථික කඩා වැටීමක් නොවැලැක්විය හැකි බවයි.

කුමාරස්වාමිගේ උපදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) හඬ දෝංකාර නංවන අතර ඔහු කනස්සල්ලට තුඩුදී ඇත්තේ පසුගියදා පැවති පලාත් පාලන මැතිවරනයෙන් ආන්ඩු පක්ෂ ලැබූ පරාජයන්ට තුඩුදුන් මහජන විරෝධය සමහන් කර ගැනීම සඳහා යම් මවා පෑමක නිරත වීමට ආන්ඩුවේ තැතනීම ප‍්‍රකාශයට පත්වීමත් සමගය.

එලඹෙන පලාත් සභා හා මහ මැතිවරන එල්ල කරගනිමින් ආන්ඩුව ජාමුඅ විසින් නිර්දේශිත කප්පාදු වැඩ පිලිවෙල ලිහිල් කරතැයි යන්න පිලිබඳව ධනපති පාලක ප‍්‍රභූවේ අවධානයට යොමුව ඇත. “ජනප්‍රිය භාවයද, ආර්ථික ස්ථාවරත්වයද” යනුවෙන් කතුවැකියක් ලියන පසුගිය ඉරිදා සන්ඬේ ටයිම්ස් පුවත්පත ආන්ඩුවේ ඉහලම තැන්වල පවතින දේශපාලන වංචාවන්ගෙන් රටට සෙතක් සිදු නොවනු ඇතැයිද දේශපාලන අස්ථාවරභාවය මත රුපියලේ අවප‍්‍රමානය වීම රට තුල ප‍්‍රාග්ධන ආයෝජනයන්ට හා වෙලඳාමට ද දරුනු පහරක් වී ඇති බවද කියා සිටියි.

ආන්ඩුව අස්ථාවර වීම පිලිබඳව කනස්සල්ල පල කල කුමාරස්වාමි “දේශපාලන ස්ථාවරත්වය, සාර්වත්‍රික ආර්ථික ස්ථාවරත්වය හා නීතියේ පාලනය” සංවර්ධනය සඳහා අවශ්‍ය බව කියා සිටි අතර රටේ ආර්ථිකය යහපත් වීමට නම් දේශපාලන ස්ථාවරත්වය හැකිතාක් ඉක්මනින් තහවුරු කර ගත යුතු බව පැවසීය.

පලාත්පාලන මැතිවරනයෙන් පසු දින 10ක් තිස්සේ ආන්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙක එකිනෙකාට දෝෂාරෝපනය කරමින් කුලල් කා ගැනීමක යෙදී සිටියත් ඇමරිකාවේ හා ඉන්දියාවේ බලපෑම මත ආන්ඩුව හවුල ඉදිරියට ගෙන යාමට බල කෙරුනි.

“මැතිවරනයේදී ජනයා දුන් පනිවිඩයට ප‍්‍රතිචාර දනවමින්” ආන්ඩුව වෙනසක් ගන්නා බව පෙන්වීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහගේද අනුමැතිය සහිතව එක්සත් ජාතික පක්ෂයට (එජාප) සම්බන්ධ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ විෂය සංශෝධනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බලකිරීම මත පසුගිය ඉරිදා සිදු කෙරුනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ඇමති මන්ඩලයේ ද වෙනසක් කරන බව සිරිසේන පවසා තිබේ. මේ උප්පරවැට්ටිවලින් ආන්ඩුවේ අර්බුදය ආවරනය කර ගත නොහැකිය. .

සඳහන් නොකලත්, කුමාරස්වාමි අවධානයට ලක්වන්නට ඇත්තේ ගොවීන්ට දෙන පොහොර සහනාධාරය කිලෝ ග්?ම් 50 ක බෑගයක් සඳහා රුපියල් 2,500 සිට 3,000 දක්වා වැඩිකරන බවට කෘෂිකර්ම ඇමති කල ප‍්‍රකාශය හා ඉහල රාජ්‍ය නිලධාරීන් සඳහා බදු කප්පාදු කල වාහන ලබා දෙන චක‍්‍ර ලේඛයක් මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් වන බවට කෙරුනු ප‍්‍රකාශයන්ට ය.

කුමාරස්වාමි විසින් පසුගිය කාලය තුල ආන්ඩුවේ ප‍්‍රධාන ජයග‍්‍රාහී ආර්ථික පියවරයන් ලෙස නම් කලේ සියයට 15 දක්වා වැට් බද්ද ඉහල දැමීම හා නව බදු පනත සම්මත කිරීමය. මේවා ජාමූඅ හි ප‍්‍රධාන නිර්දේශ වීය. අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වීමට නියමිත නව බදු පනත යටතේ වයස 18ට වැඩි සෑම පුද්ගලයෙකු සඳහාම බදු ලිපි ගොනුවක් විවෘත කෙරේ. මෙම නව බදු නීති මගින් කුඩා ව්‍යාපාර, ස්වයං රැකියා කරන්නවුන්, වෘත්තිකයන් හා කම්කරුවන් ඇතුලු සමාජයේ සෑම කොටසක්ම සෘජු බදු වලට යටත් කෙරෙනු ඇත.

“‘ජනප්‍රිය’ පිලිවෙත්වල පිලිසරන පතා නොගියහොත්” අප්‍රේල් මස බදු පනත ක්‍රියාත්මක වීම ආරම්භ වීම සමග වඩා හොඳ අයවැය ප‍්‍රතිපල කරා ගමන් කරනු ඇති බව කුමාරස්වාමි පැවසීය. පසුගිය වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.2 ක් පමන යැයි ගනන් බැලෙන අයවැය හිඟය 2020 වනවිට 3.5 දක්වා අඩු කල යුතු බව ජාමූඅහි නිර්දේශයයි.

වත්මන් දේශපාලන කොන්දේසි අනුව රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තියේ සකසුරුවම්කම ලිහිල් වීමට තුඩු දුන හොත් මහ බැංකුව විසින් මුදල් ප‍්‍රතිපත්තිය දැඩි කරනු ඇති බව ඔහු කියා සිටියේය. එහි අර්ථය නම් උද්ධමනය ඉහල යාමට සැලැස්වීම මගින් “සහන” කප්පාදු කිරීමට මහ බැංකුව ක්‍රියාත්මක වන බවයි. මෙමගින් ඉස්මතු වන්නේ සිරිසේන හා වික‍්‍රමසිංහගේ කැබිනට් සංශෝධන මෙන්ම ඊනියා සහන ද වැඩ කරන ජනයාගේ ඇස් වලට වැලි ගැසීමට වඩා වැඩි දෙයක් නොවන බවයි.

2015 දී ආන්ඩුව පිහිටවූ තැන් පටන් ගතවූ කාලය තුල වැඩ කරන ජනයා හට එල්ල කල කප්පාදු වලට තමන්ගේ වගකීමෙන් බේරෙන්නට සිරිසේන ප‍්‍රකාශ කලේ ආර්ථික වැඩ පිලිවෙලට ඔහු අත නොගැසූ බවයි. සිරිසේන දැන් ඔහු යටතේ තිබෙන ජාතික ආර්ථික සභාව මගින් සියලු ආර්ථික තීන්දු ගන්නා බව ප‍්‍රකාශ කර තිබේ. අගමැතිගේ ප‍්‍රධානත්වයෙන් පවතින ආර්ථික කලමනාකරනය පිලිබඳ කැබිනට් කමිටුවේ තීරන ක්‍රියාත්මක කිරීමට පෙර ජාතික ආර්ථික සභාවේ අනුමැතිය ගතයුතු බව සිරිසේන අවධාරනය කර ඇත.

කෙසේ වෙතත් එම ආර්ථික සභාවේ පලමු තීරන ලෙස ප‍්‍රකාශයට පත්ව ඇත්තේ පාසැල් සිසුන්ට ටැබ් පරිගනක ලබා දීමේ පොරොන්දුව හා මධ්‍යම අධිවේගී මාර්ගය තැනීම සඳහා නය ප‍්‍රතිපාදන අත් හිටුවීමයි. “මට අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය හැසිරවීම පිලිබඳව නොව බත් පැකට්ටුවේ මිල අඩු කරන්නේ කෙසේද යන්නයි” යනුවෙන් ජාතික ආර්ථික සභාව අමතා සිරිසේන ප‍්‍රකාශ කල බව වාර්තා විය. මේ ප‍්‍රකාශ වලින් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුවේ හා සිරිසේන වැටී ඇති මංමුලා සහගත තත්වයයි.

ආන්ඩුව මුහුනදී සිටින නය අර්බුදය පිලිබඳව කුමාරස්වාමි විසින් දිගින් දිගටම අනතුරු අඟවා තිබේ. මෙම වසර තුල ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක්ද 2019 දී බිලියන 4.2ද 2020 සිට 2022 දක්වා බිලියන 3.6 බැගින්ද නය වාරික හා පොලී ගෙවීමට සිදුව ඇති තත්වය තුල සමස්ත ආර්ථිකය ඇත්තේ තියුනු අර්බුදයකය. විගනකාධිපති විසින් ප‍්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ලංකාවේ ඒක පුද්ගල නය ප‍්‍රමානය 2016 අවසන් වනවිට රුපියල් 417,913.00 දක්වා ඉහල ගොස් ඇති බවයි.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කඩා වැටීම මගින් මෙම නය බර තව තවත් ඉහල යාමේ තර්ජනයට ලක්ව තිබේ. ජාත්‍යන්තර පොලී රේට්ටු ඉහල යාමේ තර්ජනය නිසා රටෙන් පිටට විදේශ මුදල් ඇදී යාමේ හැකියාව පිලිබඳව ද කුමාරස්වාමි අනතුරු ඇඟවීය. අපනයනයන්ගේ හා විදේශ සෘජු ආයෝජන ආදායම සුලු වශයෙන් ඉහල ගොස් ඇති නමුත් සංක‍්‍රමනික කම්කරුවන්ගෙන් ලැබෙන මුදල් පහත වැටී ඇති අතර සංචාරක කර්මාන්තයේ වර්ධන වේගයද පහත බැස ඇත.

“අපට සීමාන්තරයක් නැත, අපට මූල්‍ය ඉඩකඩක් ඇත්තේ නැත, අපගේ බාහිර ගිනුමේ බෆරයක් ඇත්තේ නැත, - එනම් අප ඉන්නේ අග්ගිස්සේ”යැයි කුමාරස්වාමි පැවසීය.

මෙම පසුබිම තුල සහනාධාර කප්පාදුව, රාජ්‍ය දේපල විකිනීම, පුද්ගලීකරනය හා වැඩකරන ජනයා මත බදු බර පැටවීම ඇතුලු ප‍්‍රහාර මුදාහැරීම හැර වෙනත් විකල්පයක් ධනපති ආන්ඩුවට නැත. ආන්ඩුව යොමුවනු ඇත්තේ මෙම ප‍්‍රහාරවලට එරෙහිව නැගී එන කම්කරුවන්ගේ හා දුගීන්ගේ විරෝධය මැඩීම සඳහා පොලිස් රාජ්‍ය ක‍්‍රමවේද වෙතය.

Share this article: