ග‍්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් කම්කරුවන් හත්දෙනෙකු මියයයි

නවීන් දේවගේ සහ ඒ. ශාන්තකුමාර් විසිනි , 2018 පෙබරවාරි 17

ඇඩම් ගෲප් සමාගම් සමූහයට අයත් කොලඹ, ග‍්‍රෑන්ඩ්පාස්හි බබාපුල්ලේ මාවතේ පිහිටි ඇඩම් එක්ස්පෝර්ට් ආයතනයේ ගොඩනැගිල්ල කඩාවැටීමෙන් පෙබරවාරි 13 දා සිදු වූ අනතුරින් සත් දෙනෙකු මියගිය අතර තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා කොලඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිති. ඇඩම් එක්ස්පෝර්ට් යනු තේ, කුලුබඩු සහ කැපූ පොල් අසුරා අපනයනය කරන ව්‍යාපාරික ආයතනයකි.

මිය ගිය අය අතර එහි හිමිකරු ඇතුලු පිරිමි තිදෙනෙක් සහ කාන්තාවන් හතර දෙනෙක් වෙති. පොලිස් වාර්තාවලට අනුව සිද්ධියෙන් මියගොස් ඇත්තේ, ආයතනයේ හිමිකරු තාහිර් අබ්බාස් ගුලාම් හුසේන් (51), වැඩ පරීක්ෂක කසුන් ධනංජය (19), පිරිමි කම්කරුවෙකු වූ ජයරාම් සුජීව ආනන්ද (42) හා කාන්තා කම්කරුවන් වූ නූර් කලීමා (63), දොරේරාජා ලලිතා(41), එල්ලාපන් රාජේස්වරී (46), සෙල්ලයියා (55) යන අයයි.

ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ බදාදා සවස 3 ට පමනය. ඒ වන විට පුද්ගලයන් විසිදෙනෙකු පමන ගොඩනැගිල්ල තුල සිටි බව වාර්තාවේ. ඉතිරි අය සෙවීමේ හා සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු ඊයේ වන විටත් සිදුවෙමින් පවතින අතර ඒ අනුව මියගිය සංඛ්‍යාව තවත් ඉහලයාමට ඉඩ ඇත.

අනතුරට ලක් වූ ගොඩනැගිල්ල වසර 150 කට වඩා පැරනි එකකි. කඩා වැටීම පිලිබඳ මූලික පරීක්ෂන සිදුකල ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසන්නේ අනාරක්ෂිත අයුරින් කඩා ඉවත් කරමින් තිබු අසල ගොඩනැගිල්ලක කොටසක් වහලය මතට කඩා වැටීමෙන් ඇඩම් එක්ස්පෝර්ට්ස් ගොඩනැගිල්ල බිඳවැටී ඇති බවයි. බිඳවැටීම පිලිබඳ පරීක්ෂනයේ පූර්න වාර්තාව ලබන සඳුදා ග‍්‍රෑන්ඩ්පාස් පොලීසියට භාර දීමට නියමිතය. එතෙක් බිඳ වැටීමට නිශ්චිත හේතු කිව නොහැකි බව පොලීසිය කියයි.

අනතුරෙන් බේරුනු ආයතනයේ ආරක්ෂක නියාමකයා ඩේලි මිරර් පුවත්පතට මෙසේ පවසා ඇත: “අපේ ස්ටෝරුවෙ මැනේජර් මහත්තයට වහලෙ තහඩු ඇඹරෙන සද්දෙ ඇහිල බොස් (ස්ටෝරුවේ හිමිකරු) ටයි මටයි අඬ ගැහුවා. අපි ස්ටෝරුවට ඇතුලු වෙන කොටම දැක්ක වහල කඩා වැටෙනව. මුලු ස්ටෝරුවම දූවිල්ලෙන් වැහිල ගියා. මම එලියට දුවල ගිහින් ජීවිතය බේර ගත්ත. කඩා වැටීම ඉවර වුනාට පස්සෙ සිද්ධ වෙච්ච දේ බලන්න තවත් කීප දෙනෙක් එක්ක මම ඇතුලට ගියා. සුපවයිසර් මහත්තය මැරිල හිටිය. බොස්ට හොඳටම තුවාල වෙල තිබුන. ඒ තුවාල නිසා පස්සෙ එයා නැතිවුනා.”

ඔහුට අනුව අනතුර සිදු වූ අවස්ථාවේ ගොඩනැගිල්ල තුල කම්කරුවන් නව දෙනෙකු පමන සේවයේ යෙදී සිට ඇත.

මෙම ඉපැරැනි ගොඩනැගිල්ල නවීකරනය කිරීම අත්‍යවශ්‍යව තිබූ නමුත්, වරින්වර කරන ලද තාවකාලික පිලියම් හැර එහි පැවති අන්තරායකාරී තත්වය ඉවත් කිරීමේ කවර හෝ ස්ථිරසාර පියවරක් නොගැනුනු බව එහි කලින් සේවය කල කම්කරුවෙකු පැවසූ බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

මෙවන් අනතුරු සිදුවියහැකිබව දැන හෝ නොදැන, දිවි ගැටගසා ගැනීමට අන් මගක් නොමැති බැවින් ආන්තික ශ‍්‍රම සූරා කෑමට ලක් වෙමින් ඒවායේ සේවයේ යෙදෙන දහස් ගනනක් කම්කරුවන්ගේ ජීවිත වලට අත්වන ඉරනම පිලිබඳ මෑතම උදාහරනය ග‍්‍රෑන්ඩ්පාස් අනතුරයි.

අනතුරෙන් මියගිය කම්කරුවන් කීප දෙනෙකුගේ නිවෙස් වලට ගොස් ඔවුනගේ පවුල්වල සාමාජිකයන් සහ හිතවතුන් හමුවූ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට දැන ගන්නට ලැබුනේ, ඔවුන් සේවයේ යෙදෙමින් සිටියේ රුපියල් 550 ක හෝ 600 ක ඉතා අවම මට්ටමේ දෛනික වැටුපකට බවයි.

අනතුරෙන් මියගිය සෙල්ලයියා වෙල්ලම්මා ට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඇගේ සැමියා බොහෝ කලකට පෙර ඔවුන් හැරගොස් ඇත. කොලඹ පිටකොටුවේ බරඋසුලන්නෙකු ලෙස දිවි ගැටගසා ගන්නා, වෙල්ලම්මාගේ බාල සොහොයුරා මෙසේ පැවසුවේය: “අවුරුදු 10 ක් වැඩ කරල තියෙනව ඒත් ඊපීඑෆ් (අර්ථ සාධක අරමුදල්) තිබුනෙ නෑ. ඒවා දෙන්න ගත්තෙ ගිය මාසෙ ඉඳලා. උදේ 8 ඉඳන් සවස 5.30 වෙනකං වැඩ කරනවා. දවසක පඩිය රුපියල් 550 යි. සතියට දවස් 6 ක් වැඩ කරනවා. සතියේම වැටුප එක විට සතියකට වරක් ගෙවනවා.”

අනතුරෙන් මියගිය ලලිතා ගේ දේහය

අනතුරෙන් මියගිය දෙදරු මවක් වන ලලිතා ගේ සැමියා වන ශාන්ත කුමාර් රුපියල් 1000 ක දෛනික වැටුපකට කොන්ත‍්‍රාත් පදනම මත සේවය කරන වරාය කම්කරුවෙකි. ඔහු මෙසේ පැවසීය: “එයා රුපියල් 600 ක දවසෙ පඩියට අවුරුදු 4ක් එතන වැඩ කලා. වන්දි ගැන තවම කතා කරල නෑ. අයිතිකාරයත් මැරුනනෙ. එන අලුත් අයිතිකාරය එක්ක තමයිලු වන්දි එකඟතාවකට එන්න ඕන. මාර්තු 07 මේ ගැන කථා කරන්න අධිකරනයට එන්න කියල තියෙන්නෙ.”

ශාන්ත කුමාර්ගේ නැගනිය වන දීපා පැවසුවේ ඇඩම් එක්ස්පෝට් ආයතනය විසින් අවමංගල්‍ය කටයුතුවලට කවර හෝ ආධාරයක් නොකල බවයි. “අයිතිකාරයා මැරුනු එක නිදහසට කරුනක් කරගෙන ආයතනය ඇඟ බේරා ගන්න හදන බවක් තමයි අපට හැඟුනෙ” යැයි දීපා පැවසුවාය.

ශාන්ත කුමාර් සහ දියනියන් දදෙනා

කම්කරුවන්ට මරු කැඳවන මෙවන් අන්තරායකාරී ඉපැරැනි ගොඩනැගිලි සුවිසල් සංඛ්‍යාවක් කොලඹ නගරයේ මෙන්ම අනෙකුත් නගර වලද පවතී. තම ලාභය උපරිම කරගනු වස් බොහෝ ව්‍යාපාරිකයන් මෙම අබලන් ගොඩනැගිලි තුල තම ව්‍යාපාර පවත්වාගෙන යයි.

ඒවායේ තත්වය පරීක්ෂා කොට පිලියම් යෙදීමක් රජයෙන් හෝ අදාල පලාත් පාලන ආයතන මගින් සිදු නොකෙරෙයි. මෙයින් ඉතා පැහැදිලිව ප‍්‍රකාශයට පත් වන්නේ එම කම්කරුවන්ගේ සහ ඒවාට යාබදව ජීවත්වන තවත් දහස් ගනනක් දුගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් ධනපති පාලක පන්තියේ තුච්ඡ නොතැකීමයි. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා සඳහා අනුප‍්‍රාප්තික ආන්ඩු මගින් ගෙන යන ඊනියා නගර සංවර්ධන ව්‍යාපෘතීන්ට දුගී මහජනතාව මුහුන දෙන මෙම ප‍්‍රශ්න කිසිවක් අදාල නොවේ.

නව ගොඩනැගිලි ඉදිකිරීමේදී ද මෙම අන්තරාය පවතී. තම ලාභය උපරිම කරගනුවස් ඉදිකිරීම් සමාගම් විසින් ප‍්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය සහ වැරදි තාක්ෂනයන් යොදා ගැනීම මෙන්ම ඉදි කිරීමෙන් පසු නිසි නඩත්තුවක් නොමැතිවීම හේතුවෙන් ඉදි කෙරෙන බොහෝ ගොඩනැගිලි අන්තරායකාරී වෙයි.

අනෙක් අතට, ලාභ අරමුන හේතුවෙන්ම, ගොඩනැගිලි ඉදිකිරීමේදී මෙන්ම කඩා ඉවත් කිරීමේදී ද, මෙම සමාගම්, තමා යටතේ සේවය කරන කම්කරුවන්ගේ සහ අසල්වැසියන්ගේ ආරක්ෂාව සඳහා වන වියදම් කපා හරී. බහුතරයක් සමාගම් නිසි ආරක්ෂක ක‍්‍රමවේදයන් සහ අදාල නවීන තාක්ෂනයන් යොදා නොගැනීම පිටුපස පවතින්නේ මෙම ලාභ අරමුනයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ ව්‍යාපෘති කලමනාකරන අධ්‍යක්ෂිකාව වන කුමුදිනී ජයවර්ධන ඩේලි මිරර් පුවත්පතට ප‍්‍රකාශ කොට ඇත්තේ, ග‍්‍රෑන්ඩ්පාස් අනතුරේදී ඇඩම් එක්ස්පෝට් ආයතනයේ වහල මතට ඇද වැටුනු බිත්ති කැබැල්ල අයත්ව තිබූ යාබද ගොඩනැගිල්ලේ කඩා ඉවත් කිරීම් කටයුතු සිදු වෙමින් පැවතියේ, එවැනි කඩා ඉවත් කිරීමකදී පිලිපැදිය යුතු “නිශ්චිත නියාමනයන්” අනුව නොවන බවයි. එපමනක් නොව, ඒ සඳහා අත්‍යවශ්‍ය කෙරෙන නවීන තාක්ෂනයන් සහ යන්ත්‍රෝපකරනයන් යොදා නොගෙන ඇති බවද ඇය පවසයි.

මහජනයාගේ ජීවිත කිසිසේත්ම නොතකා කෙරෙන මෙවන් සාපරාධී ක්‍රියාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරවද සිදු වෙමින් පවත්නා ව්‍යසනයන් සීඝ‍්‍රයෙන් වැඩි වෙමින් පවතී. පසුගිය මැයි මාසයේ 18 වෙනිදා වැල්ලවත්තේ ඉඳිකරමින් තිබු පස් මහල් ගොඩ නැගිල්ලක් කඩා වැටීම නිසා කම්කරුවන් තිදෙනෙක් මිය ගියහ. එහිදී තවත් 23 දෙනෙකුට බරපතල තුවාල සිදුවිය. පසුව කෙරුන පරීක්ෂන වලින් තහවුරු කෙරුනේ ඉදි කිරීම නිසි ප‍්‍රමිතියට අනුව සිදු නොකිරීම නිසා අනතුර සිදු වූ බවය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය 2014 නිකුත් කල වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික සාමාන්‍ය කාර්මික අනතුරු සංඛ්‍යාව 4,000 ක් වන අතර මියයන ගනන 80 කි. ඉන් බහුතරයක් ඉදි කිරීම් කර්මාන්තයට සම්බන්ධ කම්කරුවන් ය. නිසි ආරක්ෂක උපකරන නැතිකම අනතුරුවලට ප‍්‍රධාන හේතුව ලෙස සඳහන් වේ.

කොලඹ ජාතික රෝහලේ සංඛ්‍යා ලේඛන වලට අනුව වැඩ පොලවල හදිසි අනතුරු නිසා 2016 දී දිනකට ඇතුලත් කල රෝගීන් ගනනේ සාමාන්‍යය 30 කි. එම වර්ෂය තුල වැඩපොල අනතුරුවලින් ජාතික රෝහලට ඇතුලත් කල එවන් රෝගීන් සංඛ්‍යාව 12,000 කි.

ජනවාරි 21 වෙනිදා ඉන්දියාවේ නව දිල්ලියේ බවානා කාර්මික කලාපයේ ප්ලාස්ටික් කම්හලක් ගිනි ගෙන කඩාවැටීමෙන් 17 දෙනෙක් මරනයට පත්වූ අතර බංග්ලාදේශයේ රානා ප්ලාසා කම්හල 2016 මැයි මාස යේ ගිනිගෙන කඩා වැටීමෙන් කාන්තා හා පිරිමි කම්කරුවෝ 1,138 ක් මිය ගිය හ. පකිස්තානයේ ලාහෝර් හි රාජ්පුත් පොලියෙස්ටර් කම්හල 2015 නොවැම්බර් මාසයේ බිඳ වැටීමෙන් මිය ගිය කම්කරුවන් ගනන 29 කි. කම්කරුවන්ගේ ජීවිත හා ආරක්ෂාව පිලිබඳව නොතකමින් සිදු කෙරෙන මෙම විනාශයන්, අර්බුදගත ධනපති ක‍්‍රමය තුල ශ‍්‍රම සුරාකෑම තීව‍්‍ර කරමින් මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ උත්සුකතාවයන් ආරක්ෂා කිරීම සඳහා ධනපති ආන්ඩු ක්‍රියාත්මක කරන පිලිවෙත් වල සෘජු ප‍්‍රතිපලයකි.

ග‍්‍රෑන්ඩ්පාස් ව්‍යසනයෙන් යලිත් වරක් තහවුරු කොට ඇත්තේ, මනා කාර්මික ආරක්ෂාවක්, යහපත් සේවා කොන්දේසි සහ ගුනාත්මක දිවි පැවැත්මකට සරිලන වැටුප් සහිත රැකියාවන් සුරක්ෂිත කර ගැනීමට නම්, කම්හල්, වතු සහ බැංකු, කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට නතු කර ගනිමින්, ලාභය සඳහා වන නිශ්පාදනය අහෝසි කොට, මානව අවශ්‍යතා පදනම් කොටගත් නිශ්පාදන ආර්ථිකයක් ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමේ දැවෙන අවශ්‍යතාවයයි.

Share this article: