ලංකාවේ ශාස්ත‍්‍රාලිකයන් හා කලාකරුවන් කන්ඩායමක් ජවිපෙ මැතිවරන ව්‍යාපාරයට ආවඩයි

කේ. රත්නායක විසිනි , 2018 පෙබරවාරි 05

නිර්මාල් රංජිත් දේවසිරි, හරිනි අමරසූරිය, ලියනගේ අමරකීර්ති ඇතුලු විශ්වවිද්‍යාල ශාස්ත‍්‍රාලිකයන්ගේ ද කලාකරුවන් කීපදෙනෙකුගේ ද කන්ඩායමක් “වෙනසක ඇරඹුම” නමින් එලඹෙන පලාත්පාලන මැතිවරනයේ දී ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) ඡන්දය ඉල්ලන ව්‍යාපාරයක් දියත් කර ඇත. මෙම ව්‍යාපාරය ඊට සම්බන්ධිත මධ්‍යම පන්තික උගතුන් කන්ඩායමේ ධනපති ගැති අරමුනු ද බුද්ධිමය බංකොලොත්කම ද ප‍්‍රදර්ශනය කරයි.

සිය උද්ඝෝෂනයේ කොටසක් ලෙස ජනවාරි 25 දා මෙම කන්ඩායම මහරගම තරුන සේවා සභා ශ‍්‍රවනාගාරයේ දී ජවිපෙට වේදිකාව සකස්කර දෙමින් රැස්වීමක් පැවැත්වූයේය. එහි ආරාධිත කථිකයා වූයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකයි. ජවිපෙ ඊනියා දූෂන විරෝධී ව්‍යාපාරයේ දේශපාලනය ගැන අපි දැනටමත් ලියා ඇත්තෙමු. මෙම ශාස්ත‍්‍රාලිකයන්ගේ ආස්ථාන පැහැදිලි කිරීමට පලමුවෙන්ම ඔවුන්ගේ කථාවල් සැකෙවින් ගෙන උපුටා දැක්වීම අවශ්‍ය ය.

ආචාර්ය දේවසිරි ජවිපෙට චන්දය දීමට පවතින සුදුසුකම ගැන මෙසේ පැවසුවේය: “2015 ජනවාරි 8 දා තැබූ වැදගත් පියවර ඉදිරියට ගෙන යාමට ඊට දායකවූ බලවේග අතරින් සුජාත අයිතියක් තිබෙන එකම සංවිධානය ජනතා විමුක්ති පෙරමුනයි. ඒ නිසා මම කිසිදු සැකයක් නැතිව ජනතා විමුක්ති පෙරමුනට චන්දය දිය හැකියි කියන ස්ථාවරයේ ඉන්නවා. දෙවන කරුන නම් ප‍්‍රභූ පිරිස අතිශයින් දූෂිතයි. ඒ අතරින් වැඩිම ප‍්‍රකාශනය දකින්නට ලැබෙන්නේ පලාත්පාලන ආයතන මට්ටමේ. එනිසා දූෂිත ප‍්‍රභූ තන්ත‍්‍රය පලවා හැරීමේ පලමු පියවර තැබිය යුත්තේ පලාත්පාලන ක්ෂේත‍්‍රයේ. ඒ සඳහා අපට විකල්ප කන්ඩායමක් අවශ්‍යයි” කී ඔහු ජවිපෙ තිබෙන විශේෂත්වය ගැන සඳහන් කරමින් එහි සාමාජිකයන් විනය ගත පක්ෂයකින් මෙහෙයවෙන නිසා ඔවුන්ට දූෂිත වීමට තිබෙන ඉඩ අඩු යයි කීවේය.

“මේ පක්ෂයේ ඉන්නේ හොරු නොවෙයි, මෙය පාරිශුද්ධ විශ්වාසය තැබිය හැකි පිරිසක්” යන අදහස මහජනයාට පවතින බව දේවසිරි පැවසුවේ මහාචාර්ය වරයෙකු නිසා ඔහුට තිබෙන අදහස මහජනයාගේ අදහසක් ලෙස ඉදිරිපත් කල හැකිය යන උද්ධච්චයෙකු ලෙසය. ජවිපෙ මෙම ආයෝජනයෙන් “ප‍්‍රයෝජන ගතයුතුයි” පැවසූ දේවසිරි එම පක්ෂයෙන් පත්කරගන්නා අය ද “දූෂිත ක‍්‍රමයට අනුගත විය හැකි නමුත් ඒ සඳහා සෑහෙන කලක් ගත වන හෙයින් ඒ අවකාශයෙන් අපට මේ සමාජයේ යම්කිසි වෙනසක් කර ගත හැකි ය” යි අවධාරනය කලේ ය.

ආචාර්ය හරිනි අමරසූරිය ඇයට “හිරිකිතයක් නැතිව චන්දය දිය හැකි පිරිසක්” ලෙස ජවිපෙ හඳුන්වා දෙමින් රැස්වීමට පෙර දිනයේ ගාල්ලේදී දේවසිරි ඇතුලු කන්ඩායමක් සමග “මේ අවස්ථාවේ අපි ජවිපෙ ප‍්‍රයෝජනයට ගන්නට ඕන අපට අවශ්‍ය වෙනස කරගන්න” යයි සාකච්චා කර තීන්දුකල බව සඳහන් කලාය. “2015 අප බොහෝ දෙනෙක් සංවිධානය වුනේ වෙනසක් බලාපොරොත්තුවෙන්. සිරිසේන ගැන විශ්වාසයක් තිබු නිසා නොවෙයි. සිරිසේනට චන්දය දීම ඒ අවස්ථාවේ තිබු තත්වය අනුව කරන්න වුනා. සිවිල් බලවේග වලට ආන්ඩු මාරු කරන්න බෑ. අපිට ජවිපෙ ගැන විවේචන තියනවා. මම ඒකේ සාමජිකයෙකුත් නොවෙයි සාමාජිකත්වය ගන්න බලාපොරොත්තුවකුත් නෑ. ඉන් අපේ ප‍්‍රගතිශීලි ගමනට අවකාශය ලැබෙනවා,” යයි කියා සිටියාය.

ඔවුන් දෙදෙනාම සඳහන් කරන්නේ “දූෂිත නැති පාරිශුද්ධ විශ්වාසය තැබිය හැකි” පක්ෂයක් නිසා දූෂිත ක‍්‍රමය වෙනස් කිරීමට “හිරිකිතයක් නැතිව චන්දය දීල බලවත් කර ජවිපෙ ප‍්‍රයෝජනයට ගැනීමට ඔවුන් දැනුවත්ව තීරනය කර ඇති බවයි. තවද එ මගින් දූෂනය දුරු කොට යහ පාලනයක් ඇති කර ගැනීමෙන් තමන්ට “ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක්” ලබා ගත හැකි බව ද ඔවුන් කියා සිටී.

එම අදහස අනුමත කරමින් කලාකරුවන්වන චන්න පෙරේරා, නදීක ගුරුගේ හා සුනිල් පෙරේරා ද සඳහන් කලේ සිරිසේන බලයට ගෙන ඒම මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකරගැනීම පිලිබඳව තමන් දුටු “සිහිනය බොඳවී” ඇති නිසා එම සිහිනය “යථාර්ථයක් කරගැනීමට” ජවිපෙ හරහා හැකි වන බවකි.

ජවිපෙ පාරිශුද්ධත්වය ගැන දේවසිරි සහ අමරසූරිය ප‍්‍රමුඛ පිරිස වර්නනා කරන්නේ එහි නායකයන් හා සාමාජිකයන් පගා ගැනීම් මගඩිවල යෙදීම ඇතුලු දූෂිත ක්‍රියාවල යෙදෙන්නන් නොවන බවට ඔවුන්ට ඇති සහතිකයක් නිසා විය යුතුය. මෙය මහජනයා නොමග යැවීමට ගොතන දේශපාලන පචයකි. මන්දයත්, ජවිපෙ ලංකාවේ පවතින දේශපාලනිකව අතිශයින්ම දූෂිතම සංවිධාන අතර එකක් වන හෙයිනි.

සිය අරමුන ඉටුකර ගැනීම සඳහා ද ධනපති ක‍්‍රමය රැකීම සඳහා ද ජවිපෙ -සිය වර්ගවාදී දැක්ම නිසා පමනක්ම දෙමල හා මුස්ලිම් පක්ෂ හැර- ලංකාවේ පවතින සෑම දේශපාලන පක්ෂයක් සමග ම සන්ධානවලට ගොස් ඇත. ජවිපෙ එම පක්ෂ සහ ආන්ඩුවල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා ජීවන තත්වයන්ට කෙටීමට ගත් පියවරයන්ට සහයෝගය දුන් පක්ෂයක්ය යන සත්‍යය ආවරනය කිරීමට මෙම ශාස්ත‍්‍රාලිකයන්ට හා කලාකරුවන්ට නොහැක.

ජවිපෙට චන්දය දී බලවත් කරන ලෙස මෙම කන්ඩායම ඉල්ලන්නේ එය තම අරමුනු සඳහා ප‍්‍රයෝජනයට ගන්නට මිස එහි දේශපාලනය පිලිගැනීමක් නිසා නොවන බව ආචාර්යවරු පුනපුනා කීහ. ජවිපෙට ඊට උරනවීමට කිසිදු හේතුවක් නොවී ය. රැස්වීමට මෙහෙයවාගෙන සිටි වැඩි පිරිස වන ජවිපෙ සාමාජිකයෝ එම ප‍්‍රකාශවලට අනුමැතිය පල කරමින් අප්පුඩි ගැසුහ. අනෙක් අතට, ජවිපෙද මෙම කන්ඩායම් තම ප‍්‍රයෝජනයට ගනිමින් සිටියි.

ආචාර්යවරුන් ජවිපෙ ප‍්‍රයෝජනයට ගන්නට යන්නේ කුමක් සඳහා ද?

2015 ජනවාරි 8දා යහපාලනයක් සඳහා ඉතා වැදගත් පරිවර්තනයක් සිදු වූ නමුත් “අවාසනාවකට” එම ජයග‍්‍රහනය මතින් බලය ඩැහැගත් පක්ෂ හා කන්ඩායම් ඉතාම නින්දිත ආකාරයකට “තමන්ගේ සීමිත න්‍යාය පත‍්‍රයකට අනුව එම ජනවරම විනාශ කලා,” “පාවාදුන්නා” යයි දේවසිරි අකම්පලා විය.

දේවසිරි, අමරසුරිය, ලියනගේ ඇතුලු පිරිස තොත්ත බබාලා නොවෙති. ඔවුන් දැනුවත්වම සිරිසේන වටා පෙලගැසුනේ උවමනාවන් දෙකකට ය. පලමුවැන්න, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අධිපතිවාදී පාලනයට එරෙහිව යහපාලනයක් ඇතිකිරීමේ නමින් සිරිසේන පිටුපස මෙම “සිවිල් ක්‍රියාකාරිකයන්” හා ව්‍යාජ වම රංචු ගැසුනේ තමන්ට “ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක්” අත්කර ගැනීම සඳහාය. ඔවුන් “ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය”, “යහපාලනය” නම්වූ වචන හරඹ කරන්නේ කුහක උවමනාවන් ආවරනය කර ගැනීමටය.

රාජපක්ෂ පාලනය යටතේ කොන්වූ ධනපති පන්තියේ සැලකිය යුතු කන්ඩායමක ද මධ්‍යම පන්තියේ ඉහල සථරයක ද කෝපයට හේතුවී තිබුනේ ඔහු වටා එක්වූ පාලක පන්තියේ ප‍්‍රභූන් කන්ඩායමක් හා හමුදා ප‍්‍රධානීන් ද ඇතුලු තුනී ස්ථරයක් වරප‍්‍රසාද, ඥාති සංග‍්‍රහ ආදිය සමග ආර්ථික ප‍්‍රතිලාභ ගසාකෑමයි. ඔවුහු මානව අයිතීන් රැකීමේ නමින් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් පෙරට දැමූ ව්‍යාපාරයට හුරේ දැමූහ.

රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට හා දෙමල ජනතාව මඩිමින් ගෙන ගිය යුද්ධයට මුලුමනින් සහාය දුන් වොෂින්ටනයේ උවමනාව වූයේ චීනය සමග සමීපවූ ඔහුගේ පාලනය පෙරලා දමා ලංකාව තම මූලෝපායික උවමනාකම් සමග පෙලගස්වා ගැනීමයි. වික‍්‍රමසිංහගේ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ උදවු ඇතිව සිරිසේන මතුකර ගැනුනු දේශපාලන කුමන්ත‍්‍රනයකින් ඇමරිකාව කොලඹ පාලන තන්ත‍්‍ර මාරුව ක්‍රියාවට දමා ගත්තේය. “සිවිල් ක්‍රියාකාරිකයන්” හා ව්‍යාජ වම තමන්ට කොන්දේසි හදා ගැනීම සඳහා අධිරාජ්‍යවාදී කඳවුරට මාරුවූහ.

මෙම කන්ඩායමේ දෙවන හා තදබල උවමනාව නම්, ධනපති පන්ති පාලනයට අර්බුදයක් නිර්මානය කරමින් රාජපක්ෂ පාලනයට එරෙහිව වැඩෙමින් පැවති සමාජ පිපුරුමක කොන්දේසි වලක්වා මෙම මහ ජනතාවන් අවමංගත කිරීමයි. මොවුන්ගේ උදවු ඇතිව සිරිසේන ගසාකෑවේ මෙම මහජන විරෝධයයි.

සිරිසේන බලයට පත් කර ගැනීමේදී ඔවුන්ට පැවති “ප‍්‍රාර්ථනා” බිඳ වැටී ඇත. ඔවුන් දැන් දකින්නේ සිරිසේන හා වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ ද තමන්ගේ ප‍්‍රාර්ථනා සුන්වීමකි. ඒ වෙනුවට තම බලයට ගෙනා ආන්ඩුව යටතේ ධනපති ප‍්‍රභූව පල නෙලා ගන්නා ආකාරයයි. තම පංගුව සැබවින්ම ලබාගන්නේ කෙසේද? ඉහල මධ්‍යම පන්තික කොටස්වල ප‍්‍රධාන ප‍්‍රශ්නක් වන්නේ එයයි. එහෙත්, ඒ සියල්ලටමත් වඩා මෙම කන්ඩායම තැති ගැනී සිටින්නේ ධනපති අර්බුදයේ බර පටවමින් තම ජීවන, සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දමන තතු තුල වැඩකරන ජනතාව හා තරුනයන් අතර විරුද්ධත්වය යලි බලගතුව වැඩෙමින් ඒම ගැනයි.

ඔවුන් දැනුවත් තීන්දුව ගෙන ඇත්තේ ජවිපෙ ලේ හා කුනු සෝදා කෙසේ හෝ ශක්තිමත් කරගෙන පාලක ආන්ඩුවට බලපෑම් දැමීමේ හා බල කිරීමේ උපකරනයක් ලෙස යොදා ගැනීමට යි. දූෂිත ක‍්‍රමයට එරෙහි ව්‍යාපාරයක් ලෙස ජවිපෙ හුවා දක්වා මහජනයා හිරකිරීමේ වියරු වෑයමක ඔවුහු යෙදී සිටිති.

ජවිපෙ පමනක් නොව එය සමග තරඟයට සිරිසේන, වික‍්‍රමසිංහ හා රාජපක්ෂ ද දූෂන විරෝධී ප‍්‍රචාරයක් ගෙන යනු කම්කරුවන් තරුනයන් හා දුගීන් මේ දිනවල අත්දකිති. ධනපති පන්තියේ මංකොල්ලකාරයන් රොත්ත ගෙන යන කන් බිහිරිකරවන ප‍්‍රචාරයේ එල්ලය අන්කිසිවක් නොව වැඩකරන ජනතාව තලාපෙලා දමමින් ගෙනයන ප‍්‍රහාරයන්ගේ සැබෑ මූලය ධනේශ්වර ක‍්‍රමය බව ආවරනය කිරීමයි. ජවිපෙ සංස්ථාපිතයේ අනෙකුත් පක්ෂ සමග විරසක බව මවා පෙන්වමින් මෙම ප‍්‍රචාරය ගෙනයාමට අප‍්‍රකාශිත පෙරමුනකට එකතුවී සිටියි. දේවසිරි, අමරසූරිය, ලියනගේ ඇතුලු කන්ඩායම මෙම පෙරහැරේ කසකරුවන් නඩයකි.

ලංකාවේ ධනපති පන්තිය එරී සිටින්නේ අතිමූලික ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදයකය. එම අර්බුදය උග‍්‍ර වෙමින් ඇත්තේ, ලංකාවේ ආර්ථිකය අත්‍යන්තයෙන් ගැටගැසී පවතින ගෝලීය ධනවාදයේ ආර්ථික කඩාවැටීම් නිසාය. ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයෝ ලෝකය මත ආධිපත්‍යය පිහිටුවා ගැනීම සඳහා යුද්ධවලට හැරෙමින් ලෝක යුද්ධයක කොන්දේසි නිර්මානය කරමින් සිටිති.

මෙම තතු තුල තමන්ගේ මොනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ ප‍්‍රශ්නයක් වත් ධනපතික‍්‍රමය තුල විසඳා ගැනීමට නොහැකි බව කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන් අතර හිතනමතන කොටස් තේරුම් ගැනීමට නැඹුරුවෙමින් සිටිති. වැඩකරන ජනතාවට ඇති එකම විකල්පය සමාජවාදය සඳහා සටන් කිරීමයි. ඒ සඳහා කම්කරු පන්තිය එජාප, ශ්‍රීලනිප, පොජපෙ, ජවිපෙ, දෙජාස ඇතුලු ධනපති පක්ෂවලින් බිඳී අවශේෂ පීඩිතයන්ගේ නායකයා ලෙස නැගීසිට ධනවාදය පෙරලා දැමීමට මෙහෙය විය යුතුය. යහපාලන ශාස්ත‍්‍රාලිකයන් හා ව්‍යාජ වම මුලු දහිරිය දමන්නේ මෙය වැලැක්වීමටයි.

තමන්ගේ ඇස්බැන්දුම් ව්‍යාපාරය ගෙන යාමේදී මෙම ආචාර්යවරුන් පෙන්නුම් කරන්නේ න්‍යායික හා බුද්ධිමය බංකොලොත්කමකි. ඔවුහු “දුෂිත ක‍්‍රමය” ගැන හඬ තලති. මෙය අහසේ ලඹදෙන ක‍්‍රමයක් ද? දුෂිතයන් පැනනැගී ඇත්තේ පාපිෂ්ටකමින්ද, පුද්ගලික අසාර්ථකත්වයකින් ද? ඔවුන් බලවත් යයි කියන ප‍්‍රදේශබද දූෂිත යාන්ත‍්‍රනය ඇතිවුයේ කෙසේද?

දේවසිරි, අමරසූරිය, අනුර කුමාර දිසානායක සමාගමට මේ ප‍්‍රශ්න පැහැදිලිකල නොහැක. මන්දයත් ඔවුන් පවත්නා ධනපති සමාජ ආර්ථික පර්යාය පිලිගන්නා හෙයිනි. ඔවුහු සිය කතාවලදී ධනපති ක‍්‍රමය යන වචනය පාවිච්චි නොකලේ තහනම් වචනයක් ලෙසය. ධනවාදයේ අසාර්ථකත්වය ගැන මොවුහු කතා නොකරති. මොවුන් නියෝජනය කරන්නේ, 1991 දී ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසු උත්සන්න කෙරුනු ධනවාදයේ සදාතනික බවට මුදා හැරුනු ප‍්‍රතිගාමී දෘෂ්ටිමය ප‍්‍රහාරයට එක්වුවන් ය. ඔවුහු ධනවාදය පෙරලා දැමීමට හා සමාජවාදය සඳහා අරගලයට සතුරුය.

මෙම ප‍්‍රතිගාමී පීලිපැන්වීම් වලට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ලංකාව තුල සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කරයි. පලාත්පාලන මැතිවරනය තුල කොලොන්නාව, කයිට්ස් හා අඹගමුව ආයතනවලට අපේක්ෂකයන් ඉදිරිපත්කර සසප සටන් වදින ක්‍රියාමාර්ගය එයයි.

Share this article: