ආන්ඩුව අවිශිබම කැඳවුම්කරු යලිත් අත්අඩංගුවට ගනී

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2018 පෙබරවාරි 18

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු ලහිරු වීරසේකර හා අවිශිබමයේ පාර්ශ්වයක් වන අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මන්ඩලයේ (අවිභිබම) කැඳවුම්කරු තැන්පිටියේ සුගතානන්ද භික්ෂුව ලබන 28 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරනය විසින් පසුගිය 15 දා නියෝග කලේ ය.

ඔවුන්ට එරෙහිව පොලීසිය විසින් ගොනුකොට ඇති ප‍්‍රධාන චෝදනාව වන්නේ, අධිකරනය විසින් පනවන ලද වාරන නියෝගය නොතකා, මහජනයාට බාධා වන අන්දමින් කොල්ලුපිටිය මංසන්ධියේ ශිෂ්‍ය විරෝධතාවක් පැවැත්වීමයි. ජනවාරි 25 දා පැවති එම විරෝධතාවයේ දී අගමැති නිල නිවස වන අරලිය ගහ මන්දිරයට බලෙන් ඇතුලුවීමට සිසුන් මෙහෙය වූ බවට ද වීරසේකරට සහ සුගතානන්ද ට එරෙහිව පොලීසිය චෝදනා කරයි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් ගෙන ඇති මෙම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පියවර වනාහි, වැඩෙමින් පවත්නා පන්ති අරගල මාලාව රුදුරුම ආකාරයෙන් මැඩීම සඳහා තම සූදානම පෙන්නුම් කරමින් කම්කරුවන්ට සහ අවශේෂ පීඩිතයන්ට දෙන ලද පැහැදිලි සංඥාවකි.

ආන්ඩුවේ කප්පාදු වලට සහ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පියවරයන්ට එරෙහිව, කම්කරුවන්, තරුනයන් සහ ගම්බද පීඩිතයන් අතරින් පැන නගිමින් පවතින පන්ති අරගල මාලාව, පසුගියදා පැවති පලාත් පාලන මැතිවරනය ආශ‍්‍රිත කාල සීමාව තුල පවා අඛන්ඩව ඉදිරියට වර්ධනය විය. මැතිවරන කාලය තුල වර්ජන සහ විරෝධතා නවතා දමන ලෙස ඉල්ලමින් මැතිවරන කොමිසමේ සභාපති කරන ලද “ඉල්ලීම” නොතකා, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවයේ සහ ජල සැපයුම් මන්ඩලයේ සේවයේ නියුතු කම්කරුවන් මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ද අරගලයේ නිරත විය.

ජනවාරි 25 දා අවිශිබමය සංවිධානය කල විරෝධතාවය සඳහා දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වලින් සිසුන් පන්දහසක් පමන සහභාගීවීම මගින් පෙන්නුම් කලේ ආන්ඩුව විසින් ගෙනයන අධ්‍යාපනයේ පෞද්ගලීකරන පිලිවෙත් වලට එරෙහි පුලුල් ශිෂ්‍ය විරෝධයයි. ජයවර්ධනපුර සරසවියේ සිට කොල්ලුපිටියට ගමන් ගත් එම විරෝධතා පෙලපාලියට එරෙහිව පෙර දිනයේ ම, ආන්ඩුව, ගංගොඩවිල හා කොටුව අධිකරන මගින් වාරන නියෝග දෙකක් නිකුත් කර තිබුනි. ආන්ඩුව, වාරන නොතකා ඉදිරියට ගිය ශිෂ්‍යයන් හට කොල්ලුපිටිය මංසන්ධියේ දී පොලීසිය ලවා රදුරු ජල හා කඳුලු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කොට විසුරුවා හැරියේ ආසන්නයේ පැවති මැතිවරනය පවා නොතකමිනි.

මහජනයාට බාධා කිරීම් සම්බන්ධ ආන්ඩුවේ හා අධිකරනයේ උත්සුකය මුලුමනින්ම ප්‍රෝඩාවකි. ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගැනීම මගින් පෙන්නුම් කරන්නේ, දැවැන්ත මැතිවරන පරාජයක් අත්විඳ තිබිය දී පවා, උසාවි සහ පොලීසි ඇතුලු සියලු මර්දන යන්ත‍්‍ර මෙහෙයවා ගනිමින් පැන නංවා ඇති පන්ති සටන් රුදුරු ලෙස තලා දමා කප්පාදු සැලසුම් ක්‍රියාවට දැමීම හැර වෙනත් විකල්පයක් ආන්ඩුවට නොමැති බවයි.

2015 දී වත්මන් ආන්ඩුව බලයට පැමිනියේ, පැවති රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව වැඩී තිබුනු මහජන විරෝධය ගසා කමිනි. එතැන් පටන් සිදුවූයේ, රාජපක්ෂ ආන්ඩුව නැවතූ තැන සිට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු සැලසුම් වේගයෙන් ක්‍රියාවට දැමීමයි. වසර තුනක් පුරා ක්‍රියාවට නැගුනු මෙම පිලිවෙත් වලට එරෙහිව මහජනතාව අතර වැඩුනු බලගතු විරෝධය මෙවර පලාත් පාලන මැතිවරනයේ දී ප්‍රකාශයට පත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට සුවිසල් පරාජයක් අත්කර දෙමිනි.

ආන්ඩුව තුල මෙන්ම ඉන් පිටතද පාලක පන්තියේ විවිධ කොටස් අතර වැඩෙන කන්ඩායමික කාකොටා ගැනීම් තිබියදී ම, කම්කරු පන්තියට එරෙහි මෙම ප‍්‍රහාර ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් අතර ඇත්තේ පොදු එකඟත්වයකි.

කෙසේ නමුත්, ධනේශ්වර ක‍්‍රමයේ පද්ධතිගත අර්බුදයෙන් පැන නැගී ඇති මෙම ප‍්‍රහාරයන් පරාජය කල හැකි එකම ශක්‍ය වැඩපිලිවෙල වන ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගය මත වර්ධනය වන පන්ති අරගල ඒකාබද්ධ කොට, ආන්ඩුවට හා සමස්ත ධනපති ක‍්‍රමයට එරෙහි ප‍්‍රහාරයක් සඳහා කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් බලමුලු ගැන්වීමට විරුද්ධව අවිශිබමය හා ඊට නායකත්වය දෙන ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) එක දිගටම වැඩ කරමින් සිටිති. අනෙකුත් වාම කන්ඩායම්, වෘත්තීය සමිති නිලධරය හා ධනපති පක්ෂ සමග සන්ධානගත වෙමින්, මෙම අරගල ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය තුල සිර කොට, ආන්ඩුව හා සමස්ත ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කරදීමේ ප‍්‍රතිගාමී කර්තව්‍යයෙහි අවිශිබම සහ පෙසප නිරන්තරව යෙදී සිටිති.

25 දා පැවති විරෝධතාවය ද අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහි අරගලයක් වෙනුවට “ව්‍යාජ නම්වලින් සයිටම් එපා” යනුවෙන් එක් පෞද්ගලික වෛද්‍ය ආයතනයකට එරෙහි සටනකට සීමා කිරීමට අවිශිබමය දැනුවත්ව වගබලා ගෙන ඇත්තේ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවයෙන් සිසුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ය.

මැතිවරනයට පෙරදීම, වර්ධනය වන දේශපාලන අර්බූදය හමුවේ දිගට ඇදෙන විරෝධතා හකුලා ගන්්නැයි ආන්ඩුව කල ඉල්ලීම්වලට කන් දුන් අවිශිබමය නොවැම්බර් 08 දා “සයිටම් විරෝධී” සියලු විරෝධතා නවතා දැමුවේ ආන්ඩුව ලබා දුන් පොරොන්දු ශිෂ්‍යයන්ගේ “ජයග‍්‍රහනයක්” ලෙස හුවා දක්වමිනි. ආන්ඩුව තම පෞද්ගලීකරන පිලිවෙත් ඉදිරියටම ගෙනයාම මගින් යලි යලිත් පෙන්නුම් කර ඇත්තේ ධනපති ආන්ඩුවලට බලපෑම් දමා පුද්ගලීකරන වැඩපිලිවෙල ආපසු හැරවිය හැකිය යන අවිශිබමයේ, පෙසප හා ඔවුන් රැලි වී සිටින වෘත්තීය සමිතිවල විරෝධතා දේශපාලනයේ බංකොලොත්භාවයයි.

ලහිරු වීරසේකර ඇතුලු ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කරන්නැයි බලකර කියා සිටී.

Share this article: