ඩිමොක‍්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් එක්සත් ජනපදය යුද්ධය සඳහා සූදානම් කිරීම පිනිස අයවැය සම්මත කරයි

Democrats and Republicans pass budget to prepare US for war

2018 පෙබරවාරි 10

කොංග‍්‍රසය විසින් සම්මත කරන ලදුව පෙබරවාරි 9දා උදේ ජනාධිපති ට‍්‍රම්ප් විසින් අත්සන් තබන ලද ද්විපාර්ශ්වික අයවැය පනත, සමාජ ප‍්‍රතිවිප්ලවය හා ලෝක මිලිටරි ආධිපත්‍යය සඳහා ඇමරිකානු පාලක පන්තියෙහි ධාවනයේ නව අවධියක් සලකුනු කරයි.

ඩිමොක‍්‍රටික් කොංග‍්‍රස් සභිකයන්ගේ සහයෝගය හේතුවෙන් ම ට‍්‍රම්ප්ගේ මේසයට ආ පනත, ඇමරිකානු සමාජයේ කතිපයාධිකාරී ස්වභාවය ප‍්‍රකාශ කරයි. ඩිමොක‍්‍රටිකයන්, රිපබ්ලිකානුවන් හා ට‍්‍රම්ප් අතර මඩ ගසාගැනීම් සහ අන්‍යොන්‍ය චෝදනා කරගැනීම් තිබිය දී ආන්ඩුවේ ප‍්‍රතිපත්තිය තීන්දු කරන්නේ මහා සංගතයන් හා මිලිටරි-රහස් තොරතුරු ඒජන්සීන් විසිනි. වැඩකරන ජනයාගේ දැවෙන සමාජ අවශ්‍යතාවන් පෞද්ගලික ලාභයට හා ප‍්‍රධාන යුද්ධ සඳහා ඇමරිකානු මිලිටරි යන්ත‍්‍රය සූදානම් කිරීමට යටත් කල යුතු ය යන්න ගැන මූල්‍ය ප‍්‍රභූතන්ත‍්‍රයේ සියලු කොටස් එකඟ වෙති.

එලඹෙන දෙවසර පුරා මිලිටරියට ඩොලර් ට්‍රිලියන 1.4ක් (මෙය 2017 වසරට සාපේක්ෂ ව සියයට 17ක වැඩි වීමක් වන අතර ධවල මන්දරිය ඉල්ලුවාට වඩා සියයට 7කින් වැඩිය) වෙන් කිරීමට අයවැය එකඟ වේ. ඩොලර් බිලියන 80ක් වන පසුගිය වසරට සාපේක්ෂ ව මෙම වසරේ ඉහල යාම, චීනය හැරුනු විට ලොව අන් සියලූ රටවල ඒකාබද්ධ මිලිටරි වියදම්වලට වඩා වැඩි වේ.

දැනට ම පවත්වාගෙන යන යුද්ධ වන ඇෆ්ගනිස්තානයේ 17 අවුරුදු යුද්ධය තවදුර පවත්වාගෙන යාම හා පෙබරවාරි 7දා එක්සත් ජනපද ගුවන් හා කාලතුවක්කු ප‍්‍රහාර විසින් 100කට වැඩි ආන්ඩුවට පක්ෂ භටයන් මරා දැමූ සිරියාවට එරෙහි යුද්ධය තීව‍්‍ර කිරීම ගැන ඉඟිකරමින් “අතිරේක විදෙස් මෙහෙයුම්” සඳහා අමතර ඩොලර් බිලියන 71ක් වෙන්කර තැබේ.

න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රුසියාව හා චීනය වැනි බලයන් සමග වන ගැටුම්වලට තුඩුදිය හැකි එක්සත් ජනපද මිලිටරියේ වැඩිදියුනු කරන මෙහෙයුම් සඳහා සූදානම් වීමක් වසයෙන්, එක්සත් ජනපදයේ සමස්ත න්‍යෂ්ටික අවි ගබඩාව නවීකරනය සඳහා අවශ්‍ය සම්පත් අයවැයෙන් මිලිටරියට ලබා දෙයි. දේශීය සමාජ වියදම් කප්පාදු කිරීම මගින් හා 2013දී ද්විපාර්ශ්වික එකඟත්වයෙන් මිලිටරි වියදම් වැඩි කිරීම මත යෙදූ සීමාවන් ඉවත් කිරීම මගින් පෙන්ටගනයට ලබා දෙන මුදල් දැවැන්ත පරිමානයෙන් ඉහල දමා ඇත.

මෙම පනත සම්මත කිරීමේ දී ඩිමොක‍්‍රටික් පක්ෂය ඉටුකල ක‍්‍රියාකලාපය, ට‍්‍රම්ප්ට එය දක්වන විරුද්ධත්වයේ දක්ෂිනාංශික ස්වභාවය හෙලිදරවු කරයි. රිපබ්ලිකානුවන් කන්ඩායමකගේ හිඟය නියෝජිත මන්ඩලය වෙතින් විරෝධයක් පැනනැංවූ විට, කොංග‍්‍රස් මන්ඩල දෙකේ දී ම පනත සම්මත කරගැනීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබා දීම සහතික කලේ ඩිමොක‍්‍රටිකයන් ය. රිපබ්ලිකානුවන්ට වඩා වැඩි “ඔව්”යන ඡන්ද ගනනක් හා වඩා අඩු “නැත” යන ඡන්ද ගනනක් ලබා දෙමින් සෙනෙට් සභාවේ දී හතරට-එකකින් ඡන්දය දුන්නේ ඩිමොක‍්‍රටිකයන් විසිනි. නියෝජිත මන්ඩලයේ දී ඩිමොක‍්‍රටිකයන් 73 දෙනෙක් පනතට පක්ෂ ව ඡන්දය දුනි. ඔවුන්ගේ ඡන්ද නොමැති වූයේ නම් පනතට අවශ්‍ය බහුතරය නොලැබී පනත පරාජය වනු ඇත.

අයවැය පනත ඩිමොක‍්‍රටිකයන් රැකගත් පසුව ඊට අත්සන් තැබූ ට‍්‍රම්ප් සිය ට්විටර් ගිනුමේ මෙසේ සඳහන් කලේ ය: “පනතට මේ දැන් අත්සන් කලා. දැන් අපේ මිලිටරිය වෙන කවරදාටත් වඩා ශක්තිමත් වනු ඇති. අපිට අපේ මිලිටරිය අවශ්‍යයි අප ඊට ආදරෙයි. ඒ නිසා එයට සෑම දෙයක් ම දෙනවා.” පනත උත්කර්ෂයට නංවමින් ට‍්‍රම්ප් ව ප‍්‍රතිරාවය කල ඩිමොක‍්‍රටික් සෙනෙට් සුලුතර නායක චාල්ස් ෂූමර් “පනතෙන් අපේ සටන් කරන හමුදාවන්ට රට ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සම්පත් දෙනවා” යයි කීවේ ය.

යුද අයවැයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආවරනයක් දීමට තැත් කරමින්, එය සමාජ වියදම් ඉහල දමතියි ෂූමර් කීවේ ය. යථාර්ථය නම්, මිලිටරිමය නො වන වියදම්වලින් බොහොමයක්, ප‍්‍රජා සෞඛ්‍යාරක්ෂන මධ්‍යස්ථාන (සීඑච්සී) පද්ධතිය හා ලමා සෞඛ්‍ය රක්ෂන වැඩසටහන (සීඑච්අයිපී) වැනි දැනට ම පවතින වැඩසටහන් සීමිත ලෙස ප‍්‍රසාරනය කිරීම නිසා ලැබුනු ඒවා බව යි. මෙම අයවැයට පෙර මෙඩිකෙයා හා සමාජ ආරක්ෂාව වැනි වැඩසටහන් හැරුනු විට වූ මධ්‍යම අභිමත වියදම්වලින් සියයට 54ක් ම ගියේ මිලිටරියට යි. දැන් එම අගය සියයට 59 දක්වා ඉහල යනු ඇත.

අවශ්‍යතා වලින් පෙලෙන ජනයාට ලැබෙනු ඇත්තේ නව වියදම්වලින් සොච්චමකි. උදාහරනයක් ලෙස, මාරියා සුලි කුනාටුවෙන් පසු විදුලි බලය නොමැති ව මාස හතරක් කල් ගෙවන පුඑතෝ රිකෝහි ජනයාට විදුලි බලය ලබාදීමට යෙදවෙනු ඇත්තේ ඩොලර් බිලියන 2ක සොච්චමකි. ඊට විපරීත ව, ෆ්ලොරිඩාහි පැඟිරි කර්මාන්තය යලි නගා සිටුවීමට ඩොලර් බිලියන 2.3ක් පනතෙන් සම්පාදනය කරයි. තක්සේරු කෙරී ඇති පරිදි පුඑතෝ රිකෝහි විදුලි බල සැපයුම පුනස්ථාපනයට ඩොලර් බිලියන 17ක් වැයවනු ඇත.

එක්සත් ජනපද ආයු අපේක්ෂාව පහල යාමට දැඩි ලෙස බලපාන ප‍්‍රධාන සාධකයක් වන ඔපියොයිඩ් (අධිමාත‍්‍රා) අර්බුදයට ඩොලර් බිලයන හයක් වෙන් කෙරේ. 2017 දී යෝජනා කල ඩොලර් බිලියන 45 පවා “අතිශයින්ම ප‍්‍රමානවත් නැතැ”යි ප‍්‍රධාන උපදේශකයින් කොංග‍්‍රස් සෞඛ්‍යආරක්ෂක විවාදයේදී පැවසූ අතර මෙවර වෙන් කර ඇති මුදල ඊටත් වඩා බෙහෙවින් අඩුවේ.

ඩොලර් බිලියන 6න් බොහොමයක් යෙදවෙනු ඇත්තේ පොලීසිය සන්නද්ධ කිරීමට හා අධිමාත‍්‍රා භාවිතා කරන්නන්ට චෝදනා නැගීමට ය. නම සඳහන් නො කල ධවල මන්දිර නිලධාරියෙක් පෙබරවාරි 8දා සීඑන්එන් වෙත ඔපියොයිඩ් පිරිවැය “නීතිය බලාත්මක කිරීම පිලිබඳ කරුනක්” යයි කීවේ ය. එදින ම නීතිපති ජෙෆ් සෙෂන්ස්, 2016 දී 63,000ක් ඝාතනය කල ඔපියොයිඩ් අර්බුදය පිලිබඳ ව භාවිතා කරන්නන්ට දෝෂාරෝපනය කලේ ය. “මම කියන්නේ සමහර වෙලාවට මිනිසුන්ට ඇස්ප්‍රින් ගත හැකියි. ඒක දුෂ්කර දෙයක්” යයි සෙෂන්ස් කීවේ ය.

යටිතල පහසුකම් සඳහා අයවැයෙන් සම්පාදනය කෙරෙන්නේ යන්තම් ඩොලර් බිලියන 20කි. මධ්‍යම මහාමාර්ග පරිපාලනයට අනුව එක්සත් ජනපදය තුල බිඳවැටෙමින් තිබෙන පාලම් සවිකිරීමට පමනක් ඩොලර් බිලියන 328ක් අවශ්‍ය වේ.

ඩිමොක‍්‍රටිකයන් කිසිදිනෙක ගැඹුරු විරෝධයක් පල නො කල, දෙසැම්බරයේ සම්මත වූ ධනවතුන් සඳහා කෝටි ගනනක බදු කප්පාදුව සමග එන මිලිටරි වියදම් යෝධ ලෙස ඉහල දැමීම එලඹෙන වසර ගනනක් පුරා අයවැය පරතරය ඩොලර් ට්‍රිලියන 1ක් හෝ ඊටත් වැඩි කරනු ඇත. 1930 ගනන් හා 1960 ගනන්වල දිනාගත් සමාජ ආරක්ෂනය, මෙඩිකෙයා හා මෙඩිකේඩ් යන මූලික සමාජ වැඩසටහන් බිඳ දැමීම සාධාරනීකරනය කිරීම සඳහා එමගින් සිදුවන එක්සත් ජනපද නය ඉහල යාම යොදා ගැනීම දැනට මත් ඇරඹී තිබේ.

නියෝජිත මන්ඩලයේ රිපබ්ලිකානු කතානායකවරයා තම සතියේ මාධ්‍ය හමුවේ දී එම සමාජ වැඩසටහන් බිඳ දැමීමට ඇති පොරොන්දුව අවධාරනය කලේ ය. “අපට මූල්‍ය ගැටලු ගෙනෙන්නේ මිලිටරිය නෙවෙයි. සමාජ සුබසාදනයන්” යයි ඔහු ප‍්‍රකාශ කලේ ය.

පෙබරවාරි 9දා අයවැය පනතට අත්සන් තැබීමෙන් පසු එකඟතාව තුල තිබෙන සමාජීය වියදම් “නාස්තියක්” යයි ට‍්‍රම්ප් කීවේ ය. “2018 හා ඉන් ඔබ්බේ පැවැත්වෙන මැතිවරනවල දී වැඩි වැඩියෙන් රිපබ්ලිකානුවන් පත්කර නො ගතහොත් මිලිටරිමය නො වන පිරිවැය කිසිදා පහල යනු නැතැයි” යනුවෙන් ද ඔහු කියා සිටියේ ය.

පනත සම්මත වීම වටා පැවති දේශපාලන රංගනයේ වඩාත් ම නරුම අවස්ථාව වූයේ, පැමිනෙන ලමුන් පිලිගැනීම (ඩකා) වැඩසටහන යටතේ ලමුන් ලෙස එක්සත් ජනපදයට ගෙන එන ලියවිලි රහිත කුඩා සංක‍්‍රමනියකයන්ගේ කතා කියවූ නියෝජිත මන්ඩලයේ ඩිමොක‍්‍රටික් සුලුතර නායිකා නැන්සි පෙලෝසිගේ පැය අටක කතාව යි. ඩකා වැඩසටහනේ කාලය අවසන් වන මාර්තු 5දා පටන් එම වැඩසටහනේ ප‍්‍රතිලාභ ලබන 800,000කට පනත ආරක්ෂාව සපයන්නේ නැත.

සෙනෙට් සභාව තුල ද්වි-පක්ෂ අයවැය එකඟතාවක් නිවේදනය කිරීමට පෙරාතුව කල පෙලෝසිගේ ඇස්බැන්දුම, නියෝජිත මන්ඩලය තුල පිටමං කිරීමේ පියවරට අවශ්‍ය ඡන්ද ලබා දීමට දැනට මත් තිරයට පිටුපසින් පොරොන්දු වී සිටින ඩිමොක‍්‍රටික් පක්ෂය සඳහා දේශපාලන ආවරනයක් දීමට ගත් පරිස්සම් සහගත උත්සාහයකි. ලාක්ෂනික විලාසිතාවකින් ඩිමොක‍්‍රටික් සභිකයන් කිහිප දෙනෙකුට අනාගත මැතිවරනවල දී ඔවුන්ගේ “ප‍්‍රගතිශීලී” අව්‍යාජ භාවය රැකගැනීම සඳහා අර්ථයකින් තොරව “නැත” යයි ඡන්දය දීමට අවසර දෙනු ලැබිනි.

අයවැය පනත සම්මත වීම ඩිමොක‍්‍රටික් පක්ෂයේ සමාජ ස්වභාවය හා දේශපාලන භූමිකාව පෙන්නුම් කරයි. එය, එහි රිපබ්ලිකන් ප‍්‍රතිමල්ලවයා මෙන් ම යුදවාදී හා සංගත හිතැති පක්ෂයකි. “දේශසීමා ආරක්ෂාව” ඉහල දැමීම, ධනවතුන් මත බදු කැපීම, සංගත ලාබ ඉහල දැමීම හා පූර්න පරිමාන යුද්ධය සඳහා සූදානම් වීම යන ට‍්‍රම්ප් පරිපාලනයෙහි ඉලක්ක එය බෙදාහදා ගන්නේ ඒවායේ දේශීය සංරචකය වන අභ්‍යන්තර මර්දනය ඉහල දැමීම සමගිනි.

නැගෙනහිර යුරෝපය හා මැද පෙරදිග තුල රුසියාවට එරෙහි වඩ වඩා ආරෝවකාරී පිලිවෙතක් අනුයාම සඳහා ට‍්‍රම්ප්ට පීඩනය යෙදීම ඉලක්ක කරගන්නා ඩිමොක‍්‍රටික් පක්ෂයට ට‍්‍රම්ප් සමග පවතින වෙනස්කම් ස්වභාවයෙන් දක්ෂිනාංශික ය. මෙම ධාවනයේ කේන්ද්‍රීය අවයවයක් වන්නේ, ට‍්‍රම්ප්ට රුසියාව සමග පවතින සබඳතා ගැන ව්‍යාජ මුලර් විමර්ශනය ඇතුලු ඩිමොක‍්‍රටික් පක්ෂය විසින් කුප්පන ලද “රුසියානු අතපෙවීම” පිලිබඳ උන්මාදය යි. සමාජ මාධ්‍යයන් මත “ව්‍යාජ ප‍්‍රවෘත්ති” පිලිබඳ ව ගෙන ප‍්‍රතිගාමී උද්ඝෝෂනයක් සමග අතිනත ගන්නා එහි ඉලක්කය, අන්තර්ජාලය වාරනය කිරීමේ රාමුවක් සැකසීම හා නිදහස් ප‍්‍රකාශනය මත ප‍්‍රහාරය තීව‍්‍ර කිරීම යි.

කම්කරු පන්තියට පවතින්නේ දුගී බව, සමාජ අසමානතාව, විෂ සහිත ජලය, ශිෂ්‍ය නය, සෞඛ්‍යාරක්ෂන වියදම් හා පිටුවහල් කරනු ලැබීමේ භීතිය යනාදිය කෙරෙහි කෝපය මත පදනම් වන මුලුමනින් ම වෙනස් වර්ගයේ පෘථුල විරුද්ධත්වයකි. යෝධ ලෙස විභවීය මෙම සමාජ බලය අවදි කරනු ලැබ ස්වාධීන, සමාජවාදී දිශානතියක් එයට ලබාදිය යුතු ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ව්‍යසනකාරී යුද සැලසුම් නවත්වනු ලැබිය හැක්කේ මෙම පදනම මත පමනි.

එරික් ලන්ඩන්

Share this article: