පාක්ලෑන්ඩ් ඝාතනය හා ඇමරිකානු සමාජයේ අකර්මන්‍යතාව

The Parkland massacre and the dysfunction of American society

2018 පෙබරවාරි 16

පෙබරවාරි 14දා ෆ්ලොරිඩාහි පාක්ලෑන්ඩ්හි දී සිදු වූ පාසල් වෙඩි තැබීම ජීවිත 17ක් බිලිගත්තේ ය. ඉන් දාහතර දෙනෙක් ම වයස අවුරුදු 14 සිට 18 දක්වා වූ ශිෂ්‍යයන් ය: ඇලීසා ඇල්හාඩෙෆ්, මාටින් ඩියුක්, නිකොලස්ඩ්වෝරෙට්, ජෙම් ගුටන්බර්ග්, ලූක් හෝයර්, කාරා ලවුරාන්, ගිනා මොන්ටැල්ටෝ, ජෝකින් ඔලිවර්, ඇලයිනා පෙටී, මෙඩෝ පොලැක්, හෙලේනා රැම්සේ, ඇලෙක්ස් ෂැච්ටර්, කාමන් ෂෙන්ට‍්‍රප් හා පීටර් වැං යනු ඒ අයයි. තිදෙනෙක් පුහුනුකරුවෝ ය: ක‍්‍රිස් හික්සන්, ආරොන් ෆයිස් හා ජීව විද්‍යාගුරුවරයෙක් ද වූ ස්කොට් බීගල් එම තිදෙනා ය.

වෙඩි තැබූ පුද්ගලයා වන නිකොලස් කෲස් සුදු ස්වෝත්තමවාදී කන්ඩායමක් සමග සම්බන්ධ ය යන චෝදනාවේ සිට ඒආර්-15 රයිෆලයකින් සන්නද්ධ වූ ඔහු මාජෝරි ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාඨශාලාවට පැමිනීමට මාස ගනනකට ඉහත එෆ්බීඅයි වෙත වාර්තා කල ප‍්‍රකාශයක් වන, “වෘත්තීය පාසල් වෙඩි තබන්නෙක්” වීමට අවශ්‍ය ය යනුවෙන් සමාජ මාධ්‍ය මත ඔහු පලකල අදහස දක්වා වන සමූල ඝාතනයේ මෙම කෲර ක‍්‍රියාව තුල පෘථුල විමර්ශන අවශ්‍ය කෙරෙන බොහෝ අංශ තිබේ.

කෲස් පිලිබඳ මූලික තොරතුරු, ඔහුගේ ඉතා කුඩා කාලයේ සිට සිත් සසල කරවන සිද්ධි ගනනාවකට ඔහු මුහුන පා ඇතැයි පෙන්නුම් කරයි. ලදරු වියේ දී දරුකමට හදාගන්නා ලද ඔහුට මුල් අවධියේ ම සිය හදාගත් පියා අහිමි වූ අතර, උන උවදුරකට ගොදුරු වූ හදාගත් මව ද පසුගිය නොවැම්බර් 1දා අහිමි විය. සමස්ත උසස් පාඨශාලා ජීවිතය පුරා පැහැදිලි ව ම මානසික අස්ථායීතාවන්ට භාජනය වූ ඔහු, ප‍්‍රචන්ඩකාරී හැසිරීම කෙරෙහි වූ ප‍්‍රවනතා නිසා අවසානයේ, වසරකට පමන පෙර ඩග්ලස් උසස් පාඨශාලාවෙන් නෙරපා හරිනු ලැබිනි.

ඔහුගේ මනෝවිද්‍යාත්මක රෝගවල ස්වභාවය හා වපසරිය නීර්නය කිරීමට නියමිත ව පවතී. තොරතුරු වැඩි වැඩියෙන් හෙලිදරවු වනවිට ඔහුගේ භාතෘ ඝාතක කෝපය තීන්දු කල හා ජනනය කල සුවිශේෂී කම්පනයන් සවිස්තර ව ඉදිරිපත් කෙරෙනු ඇත. එතෙකුදු වුවත්, ඔහුගේ පවුලට, ඔහුගේ පාඨශාලාවට හා ඔහු දන්නා හඳුනන අයට මානසික ව්‍යාධියක ලක්ෂන පැවතීම පැහැදිලි වන තතු තුල, මෙම පාඨශාලා ශෝකාන්තය සිදුවීමට පෙර ඔහුට අවශ්‍ය වූ සෞඛ්‍ය රැකවරනය සම්පාදනය කිරීම සඳහා මැදිහත් වියහැකි ව තිබූ සමාජීය හා උපකාරක ආයතන පද්ධති නො තිබුනේ මන්දැයි යමෙක් විමසිය යුතු ය.

එහෙත් කෲස්ගේ සිද්ධිය සුවිශේෂී එකක් නො වේ. එක්සත් ජනපදය වනාහි බොහෝසෙයින් කම්පිත හා මානසික ව ආතුර තත්ත්වයට පත් බොහෝ දෙනා නිපදවමින් තිබෙන සමාජයකි. කෲස්ට චෝදනා නැගෙන අපරාධය හුදෙක් ම තනි පුද්ගල මිනුම් දඬුවලින් තේරුම් ගැනීම හෝ විස්තර කල හැකි එකක් නො වේ. අවසාන විග‍්‍රහයේ දී ඊට පෙර සිදු වූ සමූල ඝාතනයන් මෙන් මෙම නවතම ඝාතනය ද ඇමරිකානු සමාජයේ ආන්තික අකර්මන්‍යතාව පිලිබඳ ප‍්‍රකාශනයකි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ගනනයකට අනුව 1999 සිදු වූ කොලොම්බියානු සමූල ඝාතනයේ පටන් මේ දක්වා, 150,000ක් පමන වන ප‍්‍රාථමික හා ද්විතීක පාඨශාලා ශිෂ්‍යයන් තම පාසල්වල සිදු වූ වෙඩි තැබීම් අත්දැක ඇති අතර ඒ සිද්ධි හේතුවෙන් 400කට වැඩි දෙනෙක් මරා දැමී ඇත.

ප‍්‍රසිද්ධ පාසලක් තුල ඉව බව නැති මරා දැමීම් පොදු ප‍්‍රපංචයක් බවට පත් ව තිබේ. “පාසල් වෙඩිතැබීම” යන්න ලෙයින් නැහැවුනු සිරුරු දුසිම් ගනන්, උමතු හා දැඩිලෙස සන්නද්ධ තරුන මිනිසෙක් (හෝ මිනිස්සු) හතර අතේ වෙඩි තැබීම හා ස්වැට් පොලිස් සංචාරක කන්ඩායම් යන අතට විරුද්ධ ව තම දෑත් හිසින් ඉහලට ඔසවාගෙන සිසුන් පලා යාම ආදියේ රූප ක්ෂනික ව මතකයට නංවන සුලභ වැකියකි.

ආත්තම්මා කෙනෙක් තමන් සමග ජීවත් වන තම මුනුපුරා ඔහුගේ පාසලට පහර දීමට සැලසුම් කරමින් සිටින බවට ඉඟියෙන් දැනගෙන පොලීසියට දැනුම් දීම නිසා සියැට්ල්වලින් තරමක් පිටස්තර වොෂින්ටන්හි එවරෙට්හි උසස් පාඨශාලාවක් තුල සිදු වීමට ගිය මේ හා සමාන රුධිර ස්නානයක් යන්තමින් වලක්වා ගත්තේ පාක්ලෑන්ඩ් ඝාතනයට යන්තම් දිනකට පෙර ය. එම මුනුපුරා සතු ව තිබී විශාල මරන ගනනක් සිදු කිරීමට ප‍්‍රමානවත් තුවක්කු හා පතරොම් සොයාගන්නා ලදී.

කෲස් සිදුකලේ යයි චෝදිත අපරාධය ලොමු දැහැගන්වනසුලු ය. බොහෝ ජීවිත අහිමි වී ඇති අතර ඉතිරි ව සිටින පවුල් සාමාජිකයන් හා මිතුරන් තමන් මුහුන දුන් බිහිසුනු අහිමි වීමෙන් කිසි දිනක මානසික ව සුවපත් නො වනු ඇත. ඇමරිකානු බස්වහරේ වැකිවලින් වඩාත් ම ව්‍යාජ ඒවා අතරට අයත් වන එකක් වන්නේ මෙවැනි සිද්ධියකින් පසුව ව්‍යවහාර කෙරෙන “වේදනාවෙන් මිදීම” යන්න යි. මෙවැනි අමානුෂික ක‍්‍රියාවක් පිලිබඳ ව මහජනයාට දැනෙන කෝපය හා කේන්තිය අවබෝධ කරගත හැක්කකි. එහෙත් කෲස් පැමිනියේ අපායේ සිට නො වේ. ඔහු වනාහි ඇමරිකානු සමාජයේ නිෂ්පාදිතයකි.

කෲස් ඉපදුනේ 1998 දී වන අතර, ඒ අනුව ඔහු, කොලොම්බියානු උසස් පාඨශාලා වෙඩි තැබීමට වඩා වයස්ගත වන්නේ යන්තම් මාස ගනනකිනි. ඔහුගේ ජීවිතයේ සමස්ත කාලය තුල ඇමරිකාව කිසිදා අවසන් නො වන “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දියත් කරමින් සිටින අතර එම තතු තුල රටින් පිටස්තර යුද්ධ සමගින් රටතුල අත්වැල් බැඳගන්නේ බිය, සැකය, සමාජ භීතිය අනවරත ව දිරිමත් කිරීම හා මිලිටරි පන්නයේ ප‍්‍රචන්ඩත්වය උත්කර්ෂයට නැංවීම යි.

ඇමරිකානු දෛනික ජීවිතයේ කෲරත්වය මානව වධවේදනාවන් තුල භයානක වන්දියක් උකහා ගනී. මිලියන ගනන් ඇමරිකානුවන් ගොදුරු කරගන්නා මානසික පීඩන රෝගවලට යටින් පවතින්නේ හුදකලා බව හා පරත්වාරෝපනය යි. සමාජ අතෘප්තිය සියල්ලට ඉහලින් සියදිවි හානි කරගැනීමේ ආවේගයන් කරා දුවවයි. ඒ අතර ම, එය, භාතෘ ඝාතක ප‍්‍රචන්ඩත්වයේ සිද්ධි මගින් ද පුපුරා යයි.

කෲස්ගේ තුරුනු වියේ දී වසර පහක් තුල දකුනු හා මධ්‍යම ෆ්ලොරිඩා ප‍්‍රදේශවල සමූහ වෙඩි තැබීම් හතරක් සිදු විය. 2013 දී හියාලේ තට්ටු නිවාස ගොඩනැගිල්ලේ හතක් මරා දැමුනි; ඔර්ලැන්ඩෝහි පල්ස් රාත‍්‍රී සමාජශාලාවේ 2016 සිදු වූ ඝාතනයේ දී 49ක් මැරුනි 2017 ජනවාරියේ ලෝඩඬේල් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිදු වූ සමූහ වෙඩි තැබීමෙන් හයක් මැරුනි; 2017 ජුනි මාසයේ ඔර්ලැන්ඩෝහි පකර්මාන්තශාලාවක සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 6ක් මරුමුවට පත්වුනි. ඔක්තෝබර් 1දා තරම් මෑත දී ලාස් වේගාස්හි තම හෝටල් කාමරයේ සිට තුවක්කුකරුවෙක් කල වෙඩි තැබීමෙන් පුද්ගලයන් 58ක් ඝාතනය වී 851 දෙනෙකුට තුවාල සිදුවුනි.

ප‍්‍රචන්ඩත්වයේ මෙම වටපිටාවට අමතර ව උසස් පාඨශාලාවල හා විද්‍යාල මන්ඩපවල මිලිටරිවාදය අවුස්සන හමුදා ආර්ඕටීසියට ද කෲස් ව බඳවාගනු ලැබිනි. ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ, සිරියාවේ, යේමනයේ, සෝමාලියාවේ හා අනෙකුත් රටවල මුර සංචාරයේ යෙදෙන ඇමරිකානු සොල්දාදුවන් රැගෙන යන ආයුධයේ “සිවිල්” සංස්කරනය වන ඒආර්-15 භාවිතා කරන ආකාරය ගැන එහි දී කෲස් දැනුවත් වන්නට ඇති හැකියාව පිලිබඳ ව සැකයක් නැත.

සෑම විටක ම සිදුවන පරිදි, පාක්ලෑන්ඩ් ඝාතනයේ සමාජ සන්දර්භය දේශපාලන නායකයින් හා සංගත මාධ්‍ය විසින් නො තකා හැරෙනු ඇත. “ප‍්‍රභූ” මාධ්‍යවල හා දේශපාලන සංස්ථාපිතයේ ආධිපත්‍යධාරී කතන්දරය වන්නේ ඇමරිකාව තුල සෑම දෙයක් ම යහපත් ය යන්න යි. සියල්ලටත් වඩා, කොටස් වෙලඳපොල වික්ෂිප්ත මට්ටම්වලට නගිද්දී හා වාසනාවන්ත කිහිප දෙනෙක් මතට සල්ලි වැසි වසිද්දී වැරදි විය හැක්කේ කවරක් ද? අතෘප්තියක් පවතින්නේ නම්, එය වනාහි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අතපෙවීමේ නිෂ්පාදිතයක් විය යුතු ය.

එහෙත් පාක්ලෑන්ඩ් ශෝකාන්තය මේ රටේ තත්ත්වයේ තිත්ත ඇත්තෙන් පාලක පන්තියේ මංමුලා සහගත පලායාම හෙලිදරවු කොට ප‍්‍රතික්ෂේප කරයි.

පාසල් යන දරුවන් ව මරා දැමීම සුලභ සිද්ධියක් වන්නා වූ සමාජයක් ඇමරිකානු ධනවාදය විසින් නිපදවා ඇත. මෙම මිනිස් සංහාරය පිලිබඳ ව සාක්ෂි දුන් ශිෂ්‍යයෙක් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක දී මරාදැමීම් නවතාලිය යුතු බව කීවේ ය. ඔව්, එය නවතාලිය යුතු ය. එහෙත් මේ සඳහා ව්‍යාධිමය ලෙස රෝගී හා අමානුෂික ධනවාදී සමාජය පෙරලා දමා සමාජවාදය විසින් එය විස්ථාපනය කිරීම අවශ්‍ය කෙරේ.

පැට්‍රික් මාටින්

Share this article: