රුසියානු මැදිහත්වීමේ ප්‍රෝඩාව: මහා ජන සංහාරක අවි දෙස නැවත හරීබැලීමක්

The Russian meddling fraud: Weapons of mass destruction revisited

2018 පෙබරවාරි 20

මීට වසර 15 කට පෙර ඉරාකය ආක‍්‍රමනයට නියමිතව පවතිද්දී, ලෝක පරිමාන මහජනයා එයට එරෙහිව පෙලපාලි යන පසුබිමක, 2003 පෙබරවාරි 5 වන දින, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කොලින් පවල් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ තර්ක කලේ, සදාම් හුසේන් ආන්ඩුව “මහා ජන සංහාරක අවි” වේගයෙන් රැස්කරන බවත්, ඉරාකය අල්කයිඩාව සමග එක්ව එක්සත් ජනපදයට එරෙහිව ඒවා පාවිච්චි කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

යුද්ධය යුක්තිසහගත කිරීමේ බුෂ් පරිපාලන උද්ඝෝෂනයෙහි උච්චතම අවස්ථාව වූයේ, ඇන්ත‍්‍රැක්ස් කුප්පියක ආදර්ශ ආකෘතියක්ද, ගුවන් ඡායාරූප සහ විස්තරාත්මක ස්ලයිඞ් භාවිතා කරමින් “ජංගම නිෂ්පාදන පහසුකම්” යොදාගැනීමේ ඉරාක සැලැස්මක් ඇති බවට මවාපෙන්වීමට ගත් උත්සාහයයි.

පවෙල්ගේ ඉදිරිපත් කිරීමේ එක් ගැටලුවක් තිබුනි: ආරම්භයේ සිට අවසානය දක්වා එය බොරුවක් විය.

එය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඊට පසු දින කතෘ මන්ඩලය ප‍්‍රකාශය තුල මෙම යුද්ධය “නරුමත්වය හා වංචාව සමග එකට බැඳුනු මෑත ම රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රයෝගය” ලෙස සංක්ෂිප්තව හැඳින්විය. ලෝසවෙඅ මෙසේ ලිවීය: ඉරාකයට එරෙහි යුද්ධය “මහා ජන සංහාරක අවි” ගැන නොවේ. “ඉරාක තෙල් සම්පත අල්ලා ගැනීම හා එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය තහවුරු කිරීම මත කේන්ද්‍රගත වූනු ආර්ථික හා භූ-දේශපාලනික අරමුනු මාලාවක් මගින් මෙහෙයවෙනු ලබන, විජිතකරනයේ යුද්ධයකි.”

ඇමරිකානු මාධ්‍යයන්ගේ සහ විශේෂයෙන්ම එහි ලිබරල් අංශයෙහි ප‍්‍රතිචාරය බෙහෙවින් වෙනස් විය. පවෙල්ගේ අසත්‍ය යාඥාවන්, ගලේ කෙටූ සත්‍ය ලෙසද, ඉරාක ආන්ඩුවට කටඋත්තර නැතිවන චෝදනාවක් ලෙසද, ඉදිරිපත් කරන ලදී.

වොෂිංටන් පෝස්ට්හි තීරුලිපි රචකයකු වූ රිචඞ් කෝච්, පවෙල්ගේ චෝදනාවන් ගැන නිසි පරීක්ෂාවකින් තොරවම මෙසේ ලිවීය: “එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඔහු ඉදිරිපත් කරන ලද සාක්ෂි (සමහරක් පරිවේෂ”ය වන අතර, සමහරක් විස්තර සිරුර ලොමුදැහැ ගන්වන ඒවාවේ) ඉරාකය මහා ජන සංහාරක අවි තමන් සතුබව පිලිනොගන්නවා පමනක් නොව, කිසිදු සැකයකින් තොරව තවමත් ඒවා රඳවා තබා ගනිමින් සිටීය, යන්න ඕනෑම අයෙකුට ඔප්පු කර පෙන්වීය. එසේ නොවේයැයි නිගමනය කල හැක්කේ අඥානයෙකුට; හෝ සමහරවිට ප‍්‍රන්ස ජාතිකයෙකුට; පමනි.”

සතියකට පසුව නිව් යෝර්ක් ටයිම්ස්හි කර්තෘ මන්ඩලය (එහි වාර්තාකරු ජූඩීත් මිලර් බුෂ් පරිපාලනයේ අසත්‍ය ප‍්‍රචාරන යාන්ත‍්‍රනයේ මධ්‍යයේහිම සිටි අයෙකි) “ඉහල විෂ සහිත VX ස්නායු වායුව හා ඇන්ත‍්‍රැක්ස් ඉරාකය නිපදවන බවට ප‍්‍රමානවත් සාක්ෂි පවතින බවද එයට විශාල පරිමානයෙන් ඒවා නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇතැයිද, මෙම ද්‍රව්‍ය සැඟවීම, ඒවා ගැන බොරු කීම, මෑතදී පැමිනි පරීක්ෂකයන්ට ඒවා ගැන වාර්තා කිරීමට අසමත් වීම” පිලිබඳව ප‍්‍රකාශ කලේය.

පසුකාලීන වර්ධනයන් බොරුකරන්නේ කවුරුන්ද යන්න ඔප්පුකර ඇත. බුෂ් පාලනාධිකාරය හා එහි මාධ්‍ය හවුල්කරුවන් විසින් මිලියනයකට වඩා වැඩි පිරිසකට මරනය අත්කරදුන් යුද්ධයකට එක්සත් ජනපදය ඇද දැමීමට කුමන්ත‍්‍රනය කලහ; මේ දැවැන්ත අපරාධය සඳහා මෙතෙක් කිසිදු වගකිවයුතු පාර්ශවයක් නම්කර නොමැත.

වසර 15 කට පසුව, එම තිර රචනයම රහස් ගබඩාවකින් එලියට ගෙන දූවිලි ගසා දමා භාවිතයට ගෙන ඇත. මේ වතාවේදී, “මහා ජන සංහාරක අවි” වෙනුවට “එක්සත් ජනපද මැතිවරය තුල රුසියානු මැදිහත්වීම” ය. යලිත් වරක් එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සි සහ ක‍්‍රියාධරයින් විසින් කරන ලද ප‍්‍රකාශයන් සත්‍යය කරුනු ලෙස සලකනු ලැබ ඇත. මාධ්‍ය, නැවත වරක් යුද්ධයගැන බෙරිහන් දීමක නිරත වෙති. ලෝකයේ ඇති සෑම රටකම අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වන සහ නැගෙනහිර යුරෝපයේ සිය මෙහෙයුම් ඉවක් බවක් නැතිව ව්‍යාප්ත කරමින් සිටින, ඇමරිකානු ආන්ඩුවේ නරුමත්වය හා කුහකත්වය යලි වතාවක් නොසලකා හරිනු ලබමින් ඇත.

ඇමරිකානු මාධ්‍ය විසින් ඉදිරිපත් කරන ලද තර්කය නම්, ජනයා කීප සිය ගනනක් යොදාගනිමින් හා එක්සත් ජනපදයේ සමස්ථ මැතිවරන වියදමින් නොසැලකිය හැකි තරම් කුඩා ප‍්‍රමානයක අයවැයක් සහිතව පවත්වාගෙන ගියේයැයි කියන රහස්‍ය මෙහෙයුම් මාර්ගයෙන් “21 වන සියවසේ තොරතුරු හා ප‍්‍රචාරක මෙවලම් යොදාගනිමින් එක්සත් ජනපදයට එරෙහිව අතථ්‍ය යුද්ධයක” නිරතවූ බවය (නිව්යෝක් ටයිම්ස් .

රුසියාවට එරෙහි එක්සත් ජනපද උද්ඝෝෂනය පිටුපස ඇති සැබෑ අභිප‍්‍රායන් පිලිබඳව සොයාබැලීමක් කෙසේ වෙතත්, නිමක් නැති ලිපි සහ මාධ්‍ය අදහස් දැක්වීම් අතර මෙම චෝදනාව පිලිබඳ බරපතල විශ්ලේෂනයක් හෝ සොයා ගත නොහැකිය. ඉහත චෝදනාවට රුසියානු රජයේ හෝ රජයේ නිලධාරීන්ගේ සම්බන්ධක් නැතැයි යන කාරනය ගැටලුවක් නොවන්නක් යැයි සලකා ඇත.

රුසියානු “මැදිහත්වීම” පිලිබඳ වත්මන් උද්ඝෝෂනය හා “මහා ජන සංහාරක අවි” පිලිබඳ චෝදනා අතර බොහෝ සමානකම් පවතිද්දීම, එහි ඇඟවීම් බොහෝ සෙයින් භයානකය. එක්සත් ජනපදය තමන් විසින් සටන් කරන්න්නේයැයි ප‍්‍රකාශිත ඉස්ලාමීය මූලධර්මවාදී සංවිධාන සමග සිරියාවේ හා අන් තැන්වල ඒකාබද්ධව වීමේ කොටසක් ලෙස “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දුර්වල වී ඇත.

ඇතිමූලික වශයෙන්, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව වූ, සියවස් කාලක ආක‍්‍රමන සහ වාඩිලාගැනීම්, න්‍යෂ්ටික සන්නද්ධ මහබලවතුන් අතර වේගයෙන් වර්ධනය වන ගැටුමක් බවට වර්ධනය වේ. සිය ආර්ථික පරිහානිය මිලිටරි බලය මගන් පිරිමැසීමට ඇමරිකානු පාලක පන්තිය දරන උත්සාහය, මානව වර්ගයා තවත් ලෝක යුද්ධයක අද්දරට තල්ලු කරයි. මෙම චෝදනා නිකුත් කිරීමට මාසයකට පමන පෙර, ජාතික ආරක්ෂක උපාය මාර්ගය ලෙස පලකල ලියවිල්ලෙහි “එක්සත් ජනපද ජාතික ආරක්ෂාව පිලිබඳව දැන් තිබෙන මූලික උත්සුකය, ත‍්‍රස්තවාදය නොව, අන්තර් රාජ්‍ය උපාය මාර්ගික තරඟය” බව ප‍්‍රකාශයට පත් කරන ලදී.

මැද පෙරදිග සිය පාලනයට නතු කර ගැනීමේ හා චීනය සමග ගනු දෙනු බේරා ගැනීමේ එක්සත් ජනපද ප‍්‍රයත්නයන්ට, ප‍්‍රධාන බාධාවක් ලෙස රුසියාව, මිලිටරි - රහස් තොරතුරු උපකරනවල ප‍්‍රධාන කොටස් විසින් දැක ගනු ලබයි. ඩිමොක‍්‍රටික් පක්ෂය හා ට‍්‍රම්ප් පරිපාලනය අතර ගැටුමේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ මෙයයි.

දැනටමත්, පසුගිය සති කිහිපය තුල, ලෝකයේ විශාලතම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ගැටුම් මාලාවක් ඇත. පෙබරවාරි 3 දා, බෂාර් අල් අසාද්ගේ ආන්ඩුවට එරෙහිව සටන් වදින, එක්සත් ජනපදය සමග වක‍්‍රව සන්ධානගත වූ අල්-නස්රා මුල්පෙල සටන්කරුවන් විසින්, රුසියානු සමීප ගුවන් සහාය ප‍්‍රහාරක යානයක් බිම හෙලන ලදී . ඉන්පසු පෙබරවාරි 7 සහ 8 යන දිනවලදී, ඩියර් ඉසාර් හිදී එක්සත් ජනපද ගුවන් හා කාලතුවක්කු ප‍්‍රහාරවලින් රුසියානු සොල්දාදුවන් මිය ගියහ. එහිදී දිවි ගලවාගත්ත වුන් එය “සමූල ඝාතනයක්” ලෙස හැඳින්වූහ. එක්සත් ජනපදය හා රුසියානු ආන්ඩුව යන දෙකම ගැටුමේ පරිමාව යටපත් කිරීමට උත්සාහ කර ඇති නමුත්, සමහර වාර්තාවන්ට අනුව මරන සංඛ්‍යාව සිය ගනනක් වෙයි.

එක්සත් ජනපදය හා රුසියානු හමුදා සිරියාවේදී ගැටෙන තතු තුල, ක්‍රෙම්ලිනය හා පෙන්ටගන නියෝජිතයන් න්‍යෂ්ටික අවි භාවිතය හා සංවර්ධනය පිලිබඳ මියුනිච් ආරක්ෂක සමුලුවේදී මෙම සති අන්තයේ මුනගැසෙති. මැදිදුර න්‍යෂ්ටික බලවේග (අයිඑෆ්එෆ්) ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රුසියාවට චෝදනා කරන අතරම, වොෂිංටනය මේ මාසයේ න්‍යෂ්ටික ඉරියව් සමාලෝචනයක් නිකුත් කලේ, යුද පෙරමුනුවල න්‍යෂ්ටික ආයුධ යෙදවීම දැවැන්තව ව්‍යාප්ත කිරීමක් බලාපොරොත්තු වෙමිනි.

මෙම චෝදනාවන් මගින් බලාපොරොත්තු වන්නේ, විවිධ අභිමතාර්ථ වලින් පෙලඹවනු ලැබූ, මිලිටරි ප‍්‍රචන්ඩත්වය සඳහා සුදුසු “ආඛ්‍යානයක්” සැපයීම වේ. ඒ සමගම, “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” රාමුව තුල අනුගමනය කරන ලද අසාමාන්‍ය පියවර ඉක්මවා යන, වාරනය සහ දේශීය මර්දනය සඳහා යොදාගතහැකි කඩතුරාවක් ලෙස ද ඒවා සේවය කරති. ඇමරිකානු ජනයාට විශ්වාස කරන ලෙස නිර්දේශ කර ඇත්තේ, අභ්‍යන්තර සමාජ විරුද්ධත්වය එක්සත් ජනපදය දුර්වල කිරීම සඳහා රුසියාව විසින් භාවිතා කරන හෙයින් දේශපාලන විසම්මුතිය අවසාන විග‍්‍රහයේදී දේශද්‍රෝහීත්වය බවටම පත්වන බවයි.

ප‍්‍රධාන එක්සත් ජනපද තාක්ෂනික සමාගම් විසින් අන්තර්ජාලය මත දේශපාලන කථනය වාරනය කිරීම සඳහා දුරදිග යන පියවර ක‍්‍රියාත්මක කිරීමට දැනටමටත් මෙම උද්ඝෝෂනය හේතු වී තිබේ. මෙම සංගත විසින් වර්ධනය කර ඇති සමාජ සන්නිවේදන මාධ්‍යය ජාලයන්, රාජ්‍ය සුපරීක්ෂාවේ මෙවලමක් බවට හැරවා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් ගූගල් සිය සෙවුම් ප‍්‍රතිඵල හසුරුවන අතර ෆේස්බුක් සිය ප‍්‍රවෘත්ති සංග‍්‍රහයන් හසුරුවයි.

බොරුව වඩාත් විශාල වත්ම, එය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යවන විධික‍්‍රම වඩාත් ආක‍්‍රමනකාරී විය යුතුය යන මූලික මූලධර්මය මගින් අභිෙප්‍ර්රනය වෙමින් වඩාත් ආන්තික පියවර සැලසුම් කිරීම හා ක‍්‍රියාවට නැංවීම සිදුකෙරේ. ඉලක්කය වන්නේ රුසියාව නොව ඇමරිකානු කම්කරු පන්තියයි. විදේශයන්හි යුද්ධයක් දියත් කිරීමේදී, රට තුල සමාජ ස්ඵෝඨනයක් ඉස්මත්තේ තමන් සිටින බව පාලක ප‍්‍රභූව හොඳින්ම දනී.

කම්කරු පන්තිය තම අතීත අත්දැකීම්වලින් අවශ්‍ය නිගමනයන් උකහාගත යුතුය. 2003 දී බුෂ් පරිපාලනයේ ඉරාකය ආක‍්‍රමනය සඳහා ඩිමොක‍්‍රටික් පක්ෂය සහාය දුන් අතර එයට අවශ්‍ය දේශපාලන ආවරනයද ලබා දුන්නේය. ඩිමොක‍්‍රටිකයෝ දැන්, ඉහල මධ්‍යම පන්තියේ සංවිධාන අතර ඔවුන්ගේ උපාංගයන්ද සමග , ට‍්‍රම්ප් පරිපාලනයට පවතින සියලු මහජන විරුද්ධත්වය යටපත් කිරීමට උත්සාහ කරන අතර විරුද්ධත්වයන් නීති විරෝධී අපරාධ ලෙස හුවාදැක්වීම සඳහා නව- මැකාතිවාදී උපක‍්‍රම භාවිතා කරමින්ද, ට‍්‍රම්ප් පරිපාලනයට එරෙහි සියලු මහජන විරුද්ධත්වයන් සිය දක්ෂිනාංශික හා මිලිටරිවාදී න්‍යාය පත‍්‍රයට යටපත් කරමින්ද, යුද්ධය සඳහා වූ උද්ඝෝෂනයේ පෙරමුනේ සිටිති.

හදිසි කර්තව්‍යය වන්නේ, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය ධනේශ්වර පාලක ප‍්‍රභූවේ සමස්ත යාන්ත‍්‍රනයට එරෙහිව බලමුලු ගැන්වීමයි. යුද්ධයට හා ඒකාධිපතිත්වයට එරෙහි සටන, අසමානතාව හා සූරාකෑමට එරෙහිව ධනවාදය පෙරලා දැමීමේ හා ගෝලීය සමාජවාදී සමාජයක් ස්ථාපිත කිරීමේ සටන ද වේ.

අන්ද්‍රේ ඩැමොන් සහ ජෝසප් කිෂෝර්

Share this article: