ආන්ඩුව ලංවිම සමිති නායකයන්ගේ වැඩ තහනම් කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 පෙබරවාරි 20

පෙබරවාරි 16 වෙනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි, ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම*)සමිති නායකයන් හය දෙනෙකුගේ වැඩ අත්හිටුවා ඇත. එසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන ලංකා විදුලි සේවක සංගමයේ (ලංවිසේස) ප‍්‍රධාන ලේකම් සහ ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුනේ සම කැඳවුම්කරු රන්ජන් ජයලාල්, ජාතික සේවක සංගමයේ (ජාසේස) සමුලු ලේකම් කේ.ඒ.ඩී. අජිත් දේවප්‍රිය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ (ශ්‍රීලංනිස) ප‍්‍රධාන ලේකම් ඩබ්ලිව්.ඒ.පී. ප‍්‍රභාත්, උපසභාපති පී.ඩී.එස්. ප්‍රේමලාල් සහ කමිටු සාමාජිකයන් වන ඩී.එස්. විජයලත් සහ ප්‍රියන්ත ගුනසේකර ය.

ලංවිම සාමාන්‍යාධිකාරිගේ අත්සනින් යුතුව 16 වෙනිදා නිකුත් කල වැඩ තහනම් කිරීමේ ලිපියකින් වැඩ තහනමට හේතු වශයෙන් දක්වා ඇත්තේ, ජනවාරි 17 වෙනිදා ලංවිම ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවති ‘නීති විරෝධී හා ප‍්‍රචන්ඩකාරී’ උද්ඝෝෂනයට නායක්ත්වයදීම, අධිකරන නියෝග නොතකා ක්‍රියා කිරීම, ලංවිම විනය නීති සංග‍්‍රහය යටතට ගැනෙන අවිනය, අනිසි හැසිරීම, රාජකාරියට බාධා කිරීම, ලංවිම කීර්ති නාමය කැලැල් කිරීම ඇතුලු බරපතල විෂමාචාර ක්‍රියා සිදු කිරීම හා එසේ කිරීමට අන් අය පෙලඹවීම වැනි චෝදනාවන් ය. 17 වෙනිදා සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල විමර්ශන කමිටුව විසින් මෙම චෝදනා ඉදිරිපත්කොට ඇතිි බව එම ලිපියෙන් දැනුම් දී ඇත. ඒ අනුව ලංවිම විනය නීති සංග‍්‍රහය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කරන බව හා ඒ සම්බන්ධයෙන් යථා කාලයේ දී විධිමත් චෝදනා පත‍්‍රයක් එවන බවත් එහි සඳහන් වේ. සමිති නායකයෝ චෝදනා ප‍්‍රතික්ෂේප කරති.

වැඩ තහනම් කාලය තුල වැටුප් සහ දීමනා ගෙවීම අත්හිටුවා ඇති අතර සාමාන්‍යාධිකාරිගේ නිසි අවසරයකින් තොරව ලංවිම පරිශ‍්‍රයට ඇතුලූවීම හා රටින් පිටව යාම සම්පූර්නයෙන් ම තහනම් කර ඇත. වැඩ තහනම් කල සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමේ හා තවත් අයගේ වැඩ තහනම් කිරීමේ සැලැස්මක් තිබෙන බව 18 වෙනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී රන්ජන් ජයලාල් ප‍්‍රකාශ කර ඇත.

ලංවිම සමිති නායකයන් ට විරුද්ධ මෙම දඩයම ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව මතු වන කවර හෝ විරුධත්වයක් නිර්දය ලෙස මර්දනය කරන බවට ධනපති පාලක පන්තිය විසින් සමස්ත කම්කරු පන්තියට කර ඇති බරපතල අනතුරු ඇඟවීමකි. මෙම දඩයම තරයේ හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය (සසප), කොන්දේසි විරහිතව ඔවුන් යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිමින් සිය කාර්මික ශක්තිය බලමුලු ගන්වන ලෙස කම්කරු පන්තියෙන් හා තරුනයන් ගෙන් ඉල්ලා සිටී.

එහෙත් ආන්ඩුවේ ප‍්‍රහාරයට එරෙහිව සමස්ත කම්කරු පන්තිය බලමුලු ගන්වා ගැනීම වෙනුවට සමිති නායකයන් අනුගමනය කරන්නේ ඊට හතුරු ඇල්මැරුනු පිලිවෙතකි. වැඩ තහනමට විරුද්ධව සියලු කාර්යාල ඉදිරිපිට කලු කොඩි ඔසවන ලෙස සාමාජිකයන් ට දැනුම් දී ඇති සමිති නායකයෝ, පෙබරවාරි 21 වෙනිදා මහනුවරින් ආරම්භ කර ප‍්‍රධාන නගර ගනනාවක ලංවිම කාර්යාල ඉදිරිපිට පවත්වන උද්ඝෝෂන මාලාවකින් පසු මාර්තු 14 වෙනිදා කොලඹ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක් පවත් වන බව සහ අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

ඔවුන්ගේ මෙම කල් මැරීම පිටුපසින් ඇත්තේ ආන්ඩුව සමග ගැටුමකට යාම දැනුවත් ව මග හැරීමේ උත්සාහයකි. ආන්ඩුවේ මර්දනය ඉදිරියේ සලිත වී සිටින සමිති නායකයන් අපේක්ෂා කරන්නේ සම්මුතියක් මගින් ගනුදෙනු බේරා ගැනීමේ ක‍්‍රමයකි. පසුගිය සැප්තැම්බර් මාසයේ සතියක් පුරා පැවති අරගලයේ දී ආන්ඩුවේ මර්දනය ඉදිරියේ නිවට ලෙස යටත් වූ සමිති නායකයෝ, මුලින් ඉදිරිපත් කර තිබු සියයට 10 ක වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම වෙනුවට සියයට 4 දීමනාවක් දක්වා එය කප්පාදු කිරීමටත්, වර්ජනය කල දින ගනන සේවකයන්ගේ හිලව් නිවාඩු වලින් අඩු කිරීමට හා එම ඉල්ලීම් සම්බන්ධයෙන් නැවත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට නොයන බවට එකඟ වූ ගිවිසුමකට අත්සන් කරමින් වර්ජනය නතර කලහ.

ජනවාරි 17 දා යලි උද්ඝෝෂනයක් කැඳවීමට සමිති නායකයන් ට බල කෙරුනේ ආන්ඩුව ගිවිසුම උල්ලංඝනය කරමින් දීමනාව කප්පාදු කිරීම සහ පොරොන්දු වූ පරිදි වැටුප් ගැටලුව විසඳීම සම්බන්ධව පත්කල කමිටුවේ නිර්දේශ ප‍්‍රමාද කරන තත්වය තුලය.

විධායක හා උපකාරක ශ්‍රේනීන් අතර වැටුප් විෂමතා ඉවත් කිරීම ජනවාරි 17 වෙනිදා කොලඹ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂනයේ මුලික ඉල්ලීම විය. උද්ඝෝෂනයෙන් පසු සාමාජිකයන් සමග කාර්යාලය තුලට ගිය සමිති නායකයන් සාකච්ඡාවක් ඉල්ලා ලංවිම සභාපති ඩබ්ලිව්.බී. ගනේගලට බල කර ඇත. සභාපති ට වෙනත් කිසිදු බල පෑමක් නොකල බවත් ඔහු ඉතා ”සුහදව” හැසුරුනු බවත් සමිති නායකයෝ කියති. කෙසේ නමුත් රාත්‍රී 7 ට පමන උසාවි නියෝගයක් සහිතව පැමිනි පොලීසිය සභාපති ඉවත් කර ගැනීමෙන් පසු කාර්යාලය තුලට කඩා වැදුනු පොලිස් විශේෂ බලකාය කාර්යාලය තුල සිටි කම්කරුවන් ට මෘග ලෙස පහර දුන්නේ ය. ප‍්‍රහාරයෙන් කාන්තාවන් ඇතුලු 10 දෙනෙකු තුවාල ලදහ.

පහර දීමට එරෙහිව බරපතල විරුද්ධත්වයක් ලංවිම කම්කරුවන් අතරින් මතු වූ අතර පසුදින පැවති පිකට් උද්ඝෝෂනයට හා පාගමනට 2000 ක් පමන කම්කරුවෝ සහභාගී වුහ. එහෙත් සමිති නායකයන් කලේ ප‍්‍රශ්න විසඳන බවට අගමැති කාර්යාලයෙන් ලැබුනු පොරොන්දුවකට යටත් කොට කම්කරුවන්ගේ විරුද්ධත්වය සමනය කිරීමයි. පෙබරවාරි 7 වෙනිදා වන විට විසඳුමක් නොලද හොත් අඛන්ඩ වැඩ වර්ජනයක් කැඳවන බවට රන්ජන් ජයලාල් පුරාජේරු කතාවක් කල නමුත් එවැන්නක් සිදු නොවීය.

සමිති නායකයන් දඩයම හරහා ලංවිම කම්කරුවන් පමනක් නොව, සමස්තයක් ලෙස කම්කරු පන්තිය ත‍්‍රස්ත කිරීම ආන්ඩුවේ අභිප‍්‍රායයි. ඒ සඳහා ආන්ඩුවේ අත ශක්තිමත් වී ඇත්තේ, ලංවිම මෙන් ම අනෙකුත් සියලු වෘත්තීය සමිති විසින්, කම්කරු පන්තියේ අරගල ගබ්සා කිරීම හරහා, ජීවන අවශ්‍යතාවයන්ට, සේවා කොන්දේසිවලට සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල වන ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ පොදු අරගලයක් ඇතිවීම වැලක් වීමට දැනුවත්ව ක්‍රියාකරන හෙයිනි.

සමිති නායකයන් දඩයම් කිරීම හරහා ලංවිම කම්කරුවන්ට විරුද්ධ ප‍්‍රහාරය තීව‍්‍ර කෙරී ඇත්තේ ලංවිම ඇතුලූ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා ප‍්‍රතිව්‍යූහගත කිරීම කඩිනම් කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් ආන්ඩුව මත යොදන පීඩනය දැඩි කර ඇති තත්වයක් තුලය.

ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය තුල ලංකාවේත් සෙසු රටවලත් පාලක පන්තීන්ට බල කෙරී ඇත්තේ ජාමුඅ විසින් නියෝග කරන කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට ය. රටක් රටක් පාසා කම්කරු පන්තිය මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව අරගලවලට අවතීර්න වෙමින් සිටී.

පලාත් පාලන මැතිවරනය නොතකා ලංකාවේ ජල සම්පාදන හා ජලාපවහන සහ විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන් අරගල වලට ඒමත් ඊට පෙරාතු සති වල දුම්රිය, තැපැල් හා ලංවිම කම්කරුවන්ගේ අරගල පැන නැගුනේත් ජාත්‍යන්තර පරිමානව වර්ධනය වන පන්ති අරගලවල කොටසක් ලෙසය.

මැතිවරනයෙන් පසු ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනයේ අර්බුදය හා දේශපාලන අස්ථාවරත්වය වඩාත් ගැඹුරු වී ඇත්තේ වර්ධනය වන මෙම පන්ති අරගල තලා දමමින් ජාමුඅ නියෝග හා ආයෝජක හිතැති පිලිවෙත් ක්‍රියාවට දැමීම හා ධනපති ආන්ඩුවේ ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම සම්බන්ධ ප‍්‍රශ්න මුල් කර ගෙනය.

ධනපති පන්තියේ කවර කොටසක් විසින් ආන්ඩු බලය අල්ලා ගනු ලැබුවත් සිදුවනු ඇත්තේ වැඩ කරන ජනතාවට එරෙහි ප‍්‍රහාර තීව‍්‍ර කිරීම සහ වඩාත් රුදුරු පොලිස් රාජ්‍ය විධික‍්‍රම යොදා ගනිමින් මර්දනය උත්සන්න කිරීමය.

පලාත් පාලන මැතිවරනය තුල එක්සත් ජාතික පක්ෂය (එජාප), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ ජවිපෙ එක්ව ගෙනගිය දුෂන සහ වංචාවන්ට එරෙහි ප්‍රෝ්ඩාකාරී ඝෝෂාවකින් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පොදු ජන පෙරමුන සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව නව ව්‍යවස්ථාවක් යටතේ රට බෙදීමට සුදානම් වන බවටගෙන ගිය වර්ගවාදී උද්ඝෝෂනයේ දුමාරයෙන් වසා දැමීට තැත් කලේ කම්කරු පන්තිය මුහුන දී සිටින මෙම යථා අන්තරායයි.

ලංවිම වේවා කම්කරු පන්තියේ අවශේෂ කවර කොටසකගේ වේවා ඉල්ලීම් ගැටෙන්නේ ධනපති පාලක පන්තියේ මෙම සැලසුම් සමගය. එම නිසා සම්මුති මගින් ධනපති ආන්ඩුව සමග ගනුදෙනු බේරා ගැනීමට කම්කරු පන්තියට ඉඩක් ඉතිරිවී නැත.

ඒ සඳහා කම්කරු පන්තියේ දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය ය. වෘත්තීය සමිති එවන් දේශපාලන ව්‍යාපාරයකට පරම ලෙස ම සතුරු ය.

එහෙයින් ධනපති රාජ්‍යයේ සහ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ඒජන්ත උපකරන ලෙස ක්‍රියාකරමින් පන්ති අරගලයට වල කපන වෘත්තීය සමිති වලින් බිඳී තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින්, ධනපති පාලක පන්තියේ ප‍්‍රහාර වලට එරෙහිව වැඩ කරන ජනතාවගේ පොදු අරගලයක් සංවිධානය කිරීමට ලංවිම ඇතුලු කම්කරු පන්තියේ සෑම කොටසක් ම නොපමාව පියවර ගත යුතුය.

Share this article: