ලංකාවේ ආන්ඩුව මානව අයිතීන් පාගා දැමු අයුරු පෙන්වන වාර්තාවක්

මිනූෂ ප‍්‍රනාන්දු විසිනි, 2018 පෙබරවාරි 13

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් වසර නවයකට ආසන්න කාලයක් ගත වී ඇතත්, රට තුල සිදුවූ සන්නද්ධ ගැටුම් සමයන් හි “ආන්ඩුවේ ආරක්ෂක බලකායන් ඉතා බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” සිදු කිරීමට උපයෝගී කරගත් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) ශ්‍රී ලංකාව තුල තවමත් එම අයුරින්ම ක්‍රියාත්මක බව, “සාක්ෂි රහිතව සිරගත කර: ශ්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිදුවූ පීඩා කිරීම්” [LOCKED UP WITHOUT EVIDENCE ] යන හිසින් හියුමන් රයිට් වොච් සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

2017 වර්ෂයේ අප්‍රේල් මාසයත් මැයි මාසයත් අතර, පැරනි රැඳවියන් 27ක්, වර්තමාන රැඳවියන්ගේ ඥාතීන් 7ක්, නීතීඥයන් සහ මෙම සිදුවීම් වලට සම්බන්ධව කටයුතු කරන මානව හිමිකම් සුරකින්නන්, සමග කල සම්මුඛ සාකච්ඡාවන් මත මෙම වාර්තාව පදනම් වෙයි.

ශ්‍රී ලංකා ආන්ඩුව විසින් 1979 වසරේ සිට බලාත්මක කල පීටීඒ, “අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට, චෝදනා රහිතව වසර ගනන් පුද්ගලයන් රඳවා ගැනීමට, සිරකරුවන්ට වද බන්ධන පැමිනවීමට, ඔවුන්ව අපයෝජනය කිරීමට මෙන්ම විශේෂයෙන්ම එවැනි ක්‍රියාවලට සම්බන්ධ ආන්ඩුවේ නිලධාරීන්ට එම ක්‍රියා සම්බන්ධයෙන් නීතියේ මුක්තිය සහතික කිරීමට” භාවිතා කල බව, මෙම වාර්තාව විසින් පෙන්වා දෙයි.

මෙම වාර්තාව ප‍්‍රසිද්ධ කර ඇත්තේ සිවිල් යුද්ධය අවසන්වීමෙන් වසර නවයක් පිරීමට ආසන්න තැනදී පමනක් නොවේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය ස්ථාපිත කිරීම සහ මානව හිමිකම් රැකීම තම ප‍්‍රධාන සටන් පාඨයක් කරගත් සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පැමිනීමෙන් වසර තුනක් ගෙවීමට ආසන්නවත්දීය.

2015 දී එක්සත් ජනපදයේ මූලෝපායික අවශ්‍යතාවය සමග පෙල ගැහෙමින් මහින්ද රාජපක්ෂ බලයෙන් පහකර තමන් බලයට පැමිනිම සඳහා, රාජපක්ෂගේ ආන්ඩුව යටතේ වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට එරහි ජනතාවගේ විරෝධය සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මහා පරිමානයෙන් ගසා කෑවේය. එහෙත් එම ආන්ඩුව පීටීඒ දිගටම බලාත්මක ව පවත්වාගෙන යමින් ඒ යටතේ “අඩුම තරමේ 11 දෙනෙකු අත් අඩංගුවට ගත්” බව වාර්තාව සඳහන් කරයි.

මෙම වාර්තාව මගින් සිදු කරන්නේ ශ්‍රී ලංකාව තුල සිදුවන මානව හිමිකම් කඩවීම්, රුදුරු මර්දන නීති සහ ඒවායේ ගම්‍යයන් සම්බන්ධයෙන් සීමිත හෙලිදරව් කිරීමක් වුවත් ඒවා සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මෙන්ම කම්කරු පීඩිත ජනතාවගේ ප‍්‍රතජාතන්ත්‍රීය අයිතීන් සම්බන්ධව එජ අධිරාජ්‍යවාදය ද එජා මානව හිමිකම් කොමිසම ද පලකරන උත්සුකයන්ගේ වංක ස්වභාවය එලිමහනට ගෙන එයි.

වාර්තාවේ ඉදිරිපත් කෙරෙන සිද්ධීන්ට මුහුන දුන් සියලු දෙනාට ම පාහේ පොදු මූලික ලක්ෂන වන්නේ ඔවුන්ව විධිමත් නෛතික ක්‍රියාවලියකින් තොරව පැහැරගෙන අත්අඩංගුවට ගැනීමත් පීටීඒ යටතේ දීර්ඝ කාලයක් චෝදනා ගොනු කිරීමකින් තොරව රඳවාගෙන සිටීමත්‍ය. බොහෝදෙනා හට මෙම “සීමාවක් නැති රඳවාගැනීම අවසන් කරගැනීම” සඳහා තමන් හට එල්ල කරන කුමන හෝ චෝදනාවක් පිලිගැනීම අවසානයේ ඇති එකම විකල්පය බවට පත්ව ඇත.

පීටීඒ යටතේ අත්අඩංගුවට ගැනුනු විවෝදනී ගිවෝෂන් එම පනත යටතේම අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලීනව රඳවාගෙන වද බන්ධනයන්ට ලක් කල සිය සහෝදරයා වන සූරියමූර්ති ගිවෝෂන් හට එම තීරනය ගැනීමට බල කෙරුනු ආකාරය මෙසේ විස්තර කලාය: “පැමිනිලිකාර පාර්ශවයට සාක්ෂි නෑ කියල අපි දැනගෙන හිටියත්, ඔහුට විරුද්ධව ඉදිරිපත් වුන නඩු අටෙන් හයකටම වැරැද්ද පිලිගන්න එක ඔහුට ලේසියි.

එමෙන්ම මෙසේ දීර්ඝ කාලීනව රඳවාගෙන සිටින අතරතුර බහුතරයක් දෙනා අන්ත මිලේච්ඡ ශාරීරික වද බන්ධන වලට ලක් කර ඇත. එසේ නොවූ යමෙක් වේනම් ඔවුන්, ඊට නොදෙවෙනි ලෙස මානසික වද බන්ධන වලට ලක්කර ඇත. වයර් වලින් හා පොලු වලින් පහර දීම, එල්ලා පහරදීම, පොලිතින් බෑග් වලට පෙට්ට‍්‍රල් දමා ඒ හරහා හුස්ම ගැනීමට සැලැස්වීම රැඳවියන්ට ශාරීරික වධ බන්ධන පැමිනවීමට භාවිතා කර තිබූ ක‍්‍රම අතරින් කිහිපයකි. මෙම ක‍්‍රම වධ බන්ධනයට ලක්වූ සෑම රැඳවියෙකු සඳහාම භාවිතා කර තිබුනි.

වාර්තාවේ සඳහන් ගුරුපරන් ගුරුදරන් ගේ අනෙකුත් අත්දැකීම් මීටත් වඩා කම්පනයට පත් කරන ඒවාය. විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් විසින් අත් දෙකින් එල්ලා තමාට සිහි නැති වන තුරු පහර දුන් බවත්, තමන් හට වතුර පානය කිරීමට නොදුන් බවත්, පිපාසය ඉවසා ගත නොහැකිව වැසිකිලි පෝච්චියේ පවා තමා වතුර ඇත්දැයි සොයා බැලූ බවත් එහෙත් එම ජලයද ඉවත් කර තිබූ බවත් ගුරුදරන් පවසයි.

මෙවැනි වද බන්ධනයන්ට ලක්වුවන් ඒවායේ ප‍්‍රතිඵල ලෙස නිදහස ලබා පිටව ගියද සදාකාලික ආබාධයන්ට මානසික කම්පනයන්ට ලක්ව ඇති ආකාරයද වාර්තාව විසින් පෙන්වා දෙයි. වධ බන්ධන වලට ලක් වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ගුරුදරන් හිරු එලියේ සිටීමට නොහැකි වීම, දකුනු අත පන නැති වීම, සෞඛ්‍ය තත්වය පිරිහීම වැනි තත්වයටන්ට මුහුන පා ඇත.

නුවර ප‍්‍රදේශයේ ගුරුවරියක වූ ඇන්ජෙලා කෘස් අත්අඩංගුවේදී සෞඛ්‍ය තත්වය පිරිහීමෙන් පසු නිදහස ලබා මාස කිහිපයකින් මිය ගොස් ඇත. මීට අමතරව අත්අඩංගුවට ගන්න විට 18 හැවරිදි වියේ පසුවූ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ මුරලි රාජලෙච්චමී තමන් මුහුන දුන් අත්දැකීම් වලින් කම්පනයට පත්ව කිසිවක් කරගත නොහැකිව සිටියි.

මෙම මිලේච්ඡත්වයෙන් බැට කෑ සිංහල ජනතාවගේ අත්දැකීම්ද වාර්තාවෙහි ඇතුලත්ය. වාර්තාව විසින් යම් තරමකට වක‍්‍රාකාරව රාජ්‍ය මර්දනයට වාර්ගික ස්වභාවයක් ආරෝපනය කිරීමට උත්සාහ කලද, මෙම අන්තර්ගතයන් රාජ්‍ය මර්දනයේ පන්තිමය ස්වභාවය නොවැලක් විය හැකි ලෙස පෙන්නුම් කෙරේ. වාර්තාවේ දැක්වෙන සහන් කීර්ති සහ සුදේශ් නන්දිමාල් සිල්වා මුහුන දුන් සිද්ධීන් මීට නිදසුන්ය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතියක ලේකම් වරයෙකු වූ සුදේශ් නන්දිමාල් සිල්වා “සිංහල කොටි” චෝදනාව යටතේ පැහැරගෙන ගොස් පහර දීම, පොලිතින් බෑග් වලට පෙට්ට‍්‍රල්දමා ඒ හරහා හුස්ම ගැනීමට සැලැස්වීම, අධි පීඩන ජලය මුව තුලට ඇතුලු කිරීම වැනි වද බන්ධනයන්ට ලක් කරන ලදී. ඉන්පසු මාස දහ අටක් චෝදනා ගොනු කිරීමකින් තොරව රඳවාගෙන සිටි ඔහු, අත්අඩංගුවට ගැනීමට මුල්වූ කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමකින් තොරව වසර හතකට පසු නිදහස් කර ඇත.

වාර්තාවේ සඳහන් වන ආකාරයට “මාක්ස්වාදී වෘත්තීය සමිතියක” පුවත් පතක වැඩ කරමින් සිටි සහන් කීර්ති ද “සිංහල කොටි” චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී එම වරද පිලිගැනීමට බල කරමින් සිදු කල පහරදීම් වල ප‍්‍රතිඵලයක් ලෙස වම් කනේ ඇසීම පවා ඔහුට සම්පූර්නයෙන්ම අහිමි වී ඇත. මීට අමතරව ඔහුගෙන් බලහත්කාරයෙන් පාපොච්චාරනයක් ලබා ගැනීමට පීටීඒ විමර්ශන අංශයේ නිලධාරීන් ඔහුගේ සහෝදරිය දූෂනය කරන බවට තර්ජනය කල බවද ඔහු පවසයි.

කීර්තිගේ හෙලිදරව් කිරීම් වල වඩාත් වැදගත්ම කොටස වන්නේ මර්දනය සඳහා මුලු මහත් රාජ්‍ය යන්ත‍්‍රයම එහි එක්එක් අංශ සමග මනා සබන්ධතාවයකින් යුතුව කටයුතු කරන ආකාරය පිලිබඳ ඔහුගේ අත්දැකීමයි: “මහේස්ත‍්‍රාත්වරිය ඉදිරියට ඉදිරිපත් කලාම මම මගේ කතාව කියන්න පටන් ගත්තා. එවිට ඇය අපිව ඇගේ කුටියට කැඳවාගෙන ගිහින් පීටීඒ යටතේ මට වධ දුන් බව පැවසීම සම්බන්ධයෙන් මට දෝෂාරෝපනය කලා. මම ඇයට මගේ තුවාල පෙන්නුවහම ඇය පැවසුවේ මම මටම ගහගත යුතුයි කියල.”

කෙසේ හෝ උසාවිය තුල සහන් කිර්ති උස් හඬින් කී දේ ඇසුනු නීතීඥයන් පිරිසකගේ සහය මත අධිකරන වෛද්‍ය නිලධාරීවරයෙකු (අවෛනි) හමුවට ඔහුව ඉදිරිපත් කෙරුනු අතර අවෛනි වරයාද තමන්ට ඇහුම්කන් නොදුන් බව ඔහු පවසයි: “අධිකරන වෛද්‍යවරයා මට ඇහුම්කන් දුන්නෙත් නෑ. අධිකරන වෛද්‍යවරයා, මහේස්ත‍්‍රාත්වරිය සහ පීටීඒ අතර ජාලයක් තියෙනවා. මට ඒක සහතිකයි. ඔවුන් එකිනෙකාව ආරක්ෂා කරනවා.” මොහුව ද වසර හතක් සිරගතව තැබීමෙන් පසුව අවසානයේදී චෝදනා වලින් නිදහස් කරන ලදී.

පීටීඒහි මෙම “අති දුෂ්ඨ” ස්වභාවය සම්බන්ධයෙන් මහා ජනතාව අතර ඇති විරෝධය දියකර හැරීමේ උත්සාහයක් ලෙස ආන්ඩුව නව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතක් ගෙන ඒමට සැරසෙන අතර එම පනතද පීටීඒ මෙන්ම “මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට පහසුකම්” සපයනු ඇතැයි වාර්තාව අනතුරු අඟවයි. එම නව පනත කම්කරු පන්තිය නව වටයකින් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ධනපති ආන්ඩුවේ සූදානම පෙනුම් කරයි.

නව පනත තුලින් යම් අයෙකුගේ සාමකාමී දේශපාලන ක්‍රියාකාරීත්වයන් සහ විරෝධතාද ත‍්‍රස්තවාදී අරමුනකින් යුතුව කල කටයුතු ලෙස අර්ථ කථනය කිරීමට ප‍්‍රතිපාදන සපයා ඇති ආකාරය වාර්තාව මෙසේ සඳහන් කරයි: “[නව පනතට අනුව] සැකකරු ත‍්‍රස්තවාදී අරමුනකින් කටයුතු කර තිබිය යුතුයි. නමුත් මෙම වාක්‍ය ඛන්ඩය අපැහැදිලි ලෙස සහ පුලුල් ලෙස ‘ජන කන්ඩායමක් බය ගැන්වීම’ සහ ‘ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට, භෞමික අඛන්ඩතාවයට සහ ස්වාධිපත්‍යට හෝ ජාතික ආරක්ෂාවට හෝ ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනය කිරීම’ අන්තර්ගත කරගනියි. මෙයට සාමකාමී දේශපාලන ක්‍රියාවන් හෝ විරෝධතා ඇතුලත් විය හැක.”

සිය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාකාරිත්වයන් සම්බන්ධයෙන් නීතියේ මුක්තියද ඇතුලු අසීමිත බල තල වලින් පොලිස් නිලධාරීන් සන්නද්ධ කරමින් ආන්ඩුව මිලිටරි-පොලීසී ඇතුලු මර්දන උපකරන වඩා වඩාත් බලවත් කිරීම අහම්බයක් හෝ ශ්‍රී ලංකාවට සීමා වුවක් නොවේ. එය ලෝකය පුරා ධනේශ්වර පන්ති පාලනය අර්බුදයට ගමන්කරත්ම එම පාලනයන් වඩා වඩාත් සිය පැවැත්ම සඳහා මර්දනය මත යැපීමේ ප‍්‍රතිපලයකි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට එරහිව පොලිස්කාරකම් කිරීමට කුප‍්‍රකට ඇමරිකාවේ පොලිස් ප‍්‍රචන්ඩත්වයේ ගාමකයද මෙයයි. ලෝකය පුරා ධනේශ්වර ආන්ඩු, තමන් විසින් කම්කරු පන්තිය මත පටවන කප්පාදුවට, යුද්ධයට එරහිව පුපුරා එන පන්ති අරගල වලට මුහුන දීම සඳහා මෙම මර්දන ක්‍රියාවලිය තව තවත් බල ගන්වමින් සිටියි.

Share this article: