වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව කම්කරු පන්තියට නව සංවිධාන ක‍්‍රමයක අවශ්‍යතාව මතු කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 පෙබරවාරි 21

වෘත්තීය සමිතිවල මඟ ඇවිරීම් සහ ධනපති ආන්ඩුවේ මර්දනය තිබිය දී පසුගිය වසරේ අග සහ මෙම වසරේ ගත වූ සති කිහිපය තුල එකක් පිටුපස තවෙකක් ලෙස කම්කරු පන්තියේ විවිධ කොටස්වල අරගල මාලාවක් පැන නැගීම සනිටුහන් කලේ පන්ති අරගලයේ නව කාල පරිච්ඡේදයකි.

ඉන් ආසන්නත ම අරගලයන් වූයේ විශ්ව විද්‍යාල අනධ්‍යන හා ජල සම්පාදන හා ජල අපවහන කම්කරුවන්ගේ අරගලයන් ය.

හිලව් දීමනාව සියයට 25 කින් වැඩිකිරීම, අහිමිකල භාෂා දීමනාව යලි ලබා දීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ජනවාරි 25 සංකේත වර්ජනයක ට එලැඹි විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ යලිත් පෙබරවාරි 6-7 දෙදින වර්ජනයක නිරත වූහ. සියලුම විශ්ව විද්‍යාල සහ අනුබද්ධ ආයතන වල 15,000 ක් පමන වන සේවකයන්ගෙන් බහුතරයක් වර්ජනයට සම්බන්ධ වූ අතර පෙබරවාරි 7 වෙනිදා කොලඹ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවති පිකට් උද්ඝෝෂනයට 2000 වැඩි සංඛ්‍යාවක් සහභාගී වුහ.

පලාත්පාලන මැතිවරනයෙන් ප‍්‍රශ්න විසඳන බවට උසස් අධ්‍යාපන ඇමති ලක්ෂමන් කිරිඇල්ල දුන් ව්‍යාජ පොරොන්දුව පිලිගනිමින් අරගලය නතර කල සමිති නායකයෝ සාමාජිකයන් අස්වැසීම සඳහා විසඳුමක් නොලැබුනොත් පෙබරවාරි 28 වෙනිදා සිට “අඛන්ඩ” වර්ජනයක් කරන බව ප‍්‍රකාශ කලහ.

ජල සම්පාදන හා ජල අපවහන මංඩලයේ සේවකයන් 2018 වාර්ෂික වටුප් වැඩි කිරීම ප‍්‍රමාද කිරීමට විරුද්ධව හා සියයට 25 ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් ජනවාරි 30 වෙනිදා පැය හතරක සංකේත වර්ජනයක හා පෙබරවාරි 1-2 දිනයන්හි වර්ජනයක යෙදුනි. “මස් රාත්තලම” ඉල්ලිය නොහැකි බව කියා සිටිමින් සියයට 15 වැටුප් වැඩිවීමකට එකඟ වී වෘත්තීය සමිති අරගලය නතර කලේ ය.

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක හා ජල සම්පාදන සේවකයන්ගේ වර්ජන හා උද්ඝෝෂන පැවැත් වුනේ පලාත්පාලන මැතිවරනය මුවාවෙන් වර්ජන හා උද්ඝෝෂනවලට ආන්ඩුව පනවා තිබුන තහනම නොතකාය.

ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ හෙද සේවකයෝ ජනවාරි 3 සිට 12 දක්වා අඛන්ඩ වර්ජනයක නිරත වූහ. ඔවුන් වර්ජනයේ යෙදුනේ වැඩ වේගවත් කිරීමේ සැලසුම්වල කොටසක් ලෙස සේවයට පැමිනීම හා පිටවීම සටහන් කරන ඇඟිලි සලකුනු යන්ත‍්‍රයක් හඳුන්වා දීමට විරුද්ධව ය. උද්ඝෝෂනයට 600 ක් පමනවූ සේවකයන් ගෙන් බහුතරයක් සහභාගී වුහ. ඇඟිලි සලකුනු යන්ත‍්‍රය ගැන පසුව තීන්දුවක් ගන්නා තෙක් පැරනි ක‍්‍රමයට පොතේ අත්සන් කරන ලෙස රෝහල් බලධාරීන් කල ඉල්ලීම පිලිගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සේවක සංගමය වර්ජනය නතර කලේ ය.

ලංකා විදුලි බල මංඩලයේ (ලංවිම) සේවකයන් වැටුප් විෂමතා ඉවත් කිරීම හා සේවක මර්දනය නතර කරන ලෙස ඉල්ලා ජනවාරි 17 සංකේත වර්ජනයකය හා පිකට් උද්ඝෝෂනයක යෙදුනි. ආන්ඩුව උද්ඝෝෂකයන්ට මෘග පොලිස් ප‍්‍රහාරයක් එල්ල කල අතර ඊට එරෙහිව පසු දින වර්ජනයක් සහ සේවකයන් 2000 පමන සහභාගී වූ දැවැන්ත විරෝධයක් පැවැත්වුනි. මැතිවරනයෙන් පසු ප‍්‍රශ්න විසඳන බවට ආන්ඩුවේ පොරොන්දුව සමිති නායකයෝ පිලිගත්හ. ප‍්‍රශ්න විසඳනු වෙනුවට සමිති නායකයන් 6 දෙනෙකුගේ වැඩ තහනම් කරමින් ආන්ඩුව දැන් ලංවිම කම්කරුවන්ට එරෙහිව දඩයමක් ආරම්භ කර ඇත.

තැපැල් සේවකයන් වැටුප් සහ සේවාකොන්දේසි කප්පාදුවට එරෙහිව දෙසැම්බර් 27 සහ 28 දිනයන්හි පිකට් උද්ඝෝෂනවල නිරත විය. අරගලය පෙරට ගෙනයාමට තැපැල් සේවකයන් අතර බරපතල උවමනාවක් පැවති නමුත් මැතිවරනයක් මැද උද්ඝෝෂන වල යෙදීම සුදුසු නොවන බව කියමින් වෘත්තීය සමිති අරගලයට තිරිංග දැමුවේය.

දොට්ට දැමුනු මාගම්පුර වරාය සේවකයන් 438 ක් නොවැම්බර් 21 දා සිට රැකියා යලි ලබාදෙන ලෙස ඉල්ලමින් දෙමසකට වැඩිකාලයක් අඛන්ඩ උද්ඝෝෂනයක යෙදුනහ. කම්කරුවන්් ඉල්ලා සිටියේ සියල්ලන් ම යලි සේවයේ පිහිටුවන ලෙසයි. එහෙත් මැතිවරනයෙන් පසු “සුදුසුකම්” අනුව 135 ක් පමනක් වරාය අධිකාරියට අනුයුක්ත කරන බවට සහ සෙසු අයට රුපියල් ලක්ෂ දහයක උපරිමයකට යටත් වන්දියක් ලබාදෙන බවට පරිපාලනය දුන් ව්‍යාජ පොරොන්දුවට යටත්ව මාගම්පුර වරාය සේවක සමිතිය කම්කරුවන්ගේ අරගලය නතර කලේ ය.

දුම්රිය සේවකයන් 50,000 ක් වැටුප් විෂමතා ඉවත් කිරීම සහ දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත්කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මත දෙසැම්බර් 6 වන දා සිට දින 7 ක් අඛන්ඩ වර්ජනයක යෙදුනි. වර්ජනය බිඳීම සඳහා ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නියෝග පැන වූ නමුත් ආන්ඩුවේ නියෝග කඩකරමින් කම්කරුවෝ අරගලය පෙරට ගෙන ගියහ. එහෙත් ඉල්ලීම් කැබිනට් මංඩලයට ඉදිරිපත් කර විසඳුම් ලබා දෙන බවට ආන්ඩුව දුන් පොරොන්දුව ට සමිති එකඟ විය.

විවිධ ක්ෂේත‍්‍ර වල සහ කඩින් කඩ මෙම අරගල පැන නැගුන ද ඒවා ජීවන තත්වයන් ට, සේවා කොන්දේසිවලට සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ධනපති ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර වලට විරුද්ධව කම්කරු පන්තියේ දැවැන්ත සමාජ පිපිරීම්වල පෙර ඇඟවුමකි. එමෙන් ම, ඒවා ටියුනීසියාවේ, ඉරානයේ, ග්‍රීසියේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ හා ඉන්දියාවේ තමිල්නාඩුවේ ප‍්‍රවාහන කම්කරුවන් හා ජර්මනියේ කාර්මික කම්කරුවන්ගේ අරගල මගින් සනිටුහන් කෙරුන, ධනපති පාලක පන්තීන් විසින් ක්‍රියාවට දමන සමාජ ප‍්‍රතිවිප්ලවයේ සැලසුම් වලට එරෙහිව වර්ධනය වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ නව අරගලවල ප‍්‍රකාශනයකි.

ගැඹුරු වෙමින් පවතින ලෝක ධනවාදී ආර්ථික අවපාතය තුල බරපතල ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුන දී සිටින ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජආමු) විසින් නියෝග කොට ඇති රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා ප‍්‍රතිව්‍යූහකරනය ඇතුලු ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම තීව‍්‍ර කර ඇත. කම්කරු පන්තියේ ඉල්ලීම් ගැටෙන්නේ පාලක පන්තියේ මේ පිලිවෙත් සමග ය.

පොලිස් රාජ්‍ය විධික‍්‍රම යොදා ගනිමින් මෙම ප‍්‍රහාරවලට විරුද්ධව පැන නගින කම්කරු පන්ති අරගල නිර්දය ලෙස තලා දැමීමට පසු බට නොවන බව කලින් පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව මෙන් ම, වර්තමාන ආන්ඩුව ද පෙන්නුම් කර ඇත.

පලාත් පාලන මැතිවරනයෙන් පසුව පාලක පන්තියේ දේශපාලන අර්බුදය තවත් ගැඹුරු වී ඇත. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ සහ දේශීය මහ ධනපතියන්ගේ උත්සුකතාවයන් ආරක්ෂා කරන ආර්ථික පිලිවෙත් සම්බන්ධයෙන් පාලක පන්තියේ ප‍්‍රධාන පක්ෂ හෝ පෙරමුනු අතර මතභේදයක් නැත. මතභේදය පවත්නේ පන්ති අරගල මර්දනය කරමින් එම පිලිවෙත් ක්‍රියාවට දමන්නේ කෙසේද සහ ඒ සඳහා වඩාත් සුදුසු පාලන තන්ත‍්‍රය කුමක් විය යුතු ද යන්න ගැනය. රට අරාජකත්වයට සහ විනයක් නැති තැනට ඇද දමා ඇතැයි රාජපක්ෂගෙන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට එල්ල වූ චෝදනාවේ අර්ථය එයයි.

ඉදිරි දිනවල කවර ආන්ඩුවක් බලයට පත් වුව ද කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාර තව තවත් තීව‍්‍ර කෙරෙනු ඇත. එහෙත් වෘත්තීය සමිති හරහා කම්කරු පන්තියට එම අභියෝගයට මුහුන දිය නොහැකි ය.

වෘත්තීය සමිති යෙදීගෙන සිටින්නේ කම්කරු පන්තියේ අරගලවලට එරෙහි අතිශය ප‍්‍රතිගාමී භූමිකාවකය. ඔවුහු ධනපති ආන්ඩුවේ ප‍්‍රහාරවලට විරුද්ධව කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීම ප‍්‍රතික්ෂේප කරති. කට්ටිවාදී සහ ශ්‍රේනිවාදී ඉල්ලීම් මගින් කම්කරු පන්තිය භේද කරති.

වෘත්තීය සමිති නිලධරය ක්‍රියා කරන්නේ මුලුමනින් ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආකාරයට ය. ඉල්ලීම් සහ උද්ඝෝෂන වල ස්වභාවය ආදිය සම්බන්ධයෙන් සාමාජිකයන් අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡාවන් ට මොන ම ඉඩක්වත් නැත. සියලු තීන්දු තීරන ගනු ලබන්නේ නායකයන්ට අවශ්‍ය ආකාරයට ය. ආන්ඩුවට සහ ආයතන බලධාරීන්ට බලපෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂන වලට කම්කරුවන්ගේ අරගල සීමා කරනවා පමනක් නොව, කම්කරු පන්තියේ කාර්මික ශක්තිය බලමුලු ගන්වනවා වෙනුවට ඊනියා මාරාන්තික උපවාස, සත්‍යග‍්‍රහ, පොල්ගැසීම, දෙවියන්ට කන්නලව් කිරීම සහ තොවිල් නැටීම ආදී අතිශය පසුගාමී ක්‍රියාවන්ට හා ප‍්‍රතිගාමී දෘෂ්්ටිවාදයන්ට කම්කරු පන්තිය කොටු කිරීමට ද වැඩ කරති.

ඊනියා බහුජන අරගලවල නාමයෙන් වෘත්තීය සමිති කරන්නේ ධනපති දේශපාලන පක්ෂ, ව්‍යාජ වාම සංවිධාන හා ආගමික සවිධාන වල අත යටට කම්කරුවන්ගේ අරගල තල්ලු කරමින් කම්කරු පන්තියේ දේශපාලනික ස්වාධීනත්වයට දැනුවත් ව වල කැපීමකි.

ඔවුහු “මස් රාත්තලම” ඉල්ලන්නේ නොමැති බව කියමින් කම්කරුවන්ගේ ඉල්ලීම් ආන්ඩුව හෝ හාම්පුතුන් සමග සම්මුතියකට ගැලපෙන ආකාරයට කප්පාදු කරති. අවසානයේ සාමාජිකත්වයේ අනුමැතියකින් තොරව එක්කෝ ආන්ඩුවේ හෝ හාම්පුතුන්ගේ ව්‍යාජ පොරොන්දු වලට යටත් කර පාවා දෙති. නැතහොත් ඉල්ලීම් නොලැබුනොත් “දැඩි” ක්‍රියා මාර්ගවලට යන බව ට බොරු ගෝරනාඩු කරමින් අරගල කල් දමති.

එනයින් වෘත්තීය සමිති තවදුරටත් මොන ම ආකාරයකින් වත් කම්කරු පන්තියේ අයිතීන් ආරක්ෂා කරන සංවිධාන නො වේ. වෘත්තීය සමිතිවල මේ පරිහානිය ශ්‍රී ලංකාවට සීමා නොවන ජාත්‍යන්තර ප‍්‍රපංචයකි. ඒවා කම්කරු පන්තියේ සමාජ ප‍්‍රතිසංස්කරන වෙනුවෙන් පෙනී සිටියේ සහ යම් ප‍්‍රතිසංස්කරනයන් දිනා ගැනීමට සමත් වුයේ ධනවාදී ආරථික ප‍්‍රසාරනයේ කාල පරිච්ඡේදයන් තුල ය. නිෂ්පාදනයේ ගෝලීයකරනය සහ ගැඹුරුවෙමින් පවතින ධනවාදී ලෝක ආර්ථික අර්බුදය තුල ජාතිකවාදී ක්‍රියාමාර්ග තුලින් කම්කරු පන්තිය සඳහා ප‍්‍රතිසංස්කරන දිනා ගැනීමට වෘත්තීය සමිතිවලට පැවති එම හැකියාව දැන් අහෝසි වී ඇත.

ශ්‍රී ලංකාව තුල හෝ වෙනත් කවර හෝ රටක් තුල වෘත්තීය සමිති අද ක්‍රියාත්මක වන්නේ ධනේශ්වර ආන්ඩු විසින් ක්‍රියාවට දමන සමාජ ප‍්‍රතිවිප්ලවයේ; එනම් රැකියා, වැටුප්, සේවා කොන්දේසි, ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර වලට කම්කරු පන්තිය යටත් කරන සංවිධාන ලෙසය. අතීත අරගල මගින් කම්කරු පන්තිය දිනා ගත් සකල සියලු අයිතීන් කම්කරු පන්තියෙන් ආපසු උදුරා ගැනීමට ධනේශ්වර ආන්ඩුවලට සහ ධනපති හාම්පුතුන්ට සහය දෙන සංවිධාන ලෙසය.

වෘත්තීය සමිති වල මේ යකඩ සැට්ටයෙන් මිදී ධනේශ්වර ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ ප‍්‍රහාරවලට එරෙහිව සටන් කිරීම පිනිස කම්කරු පන්තියට විකල්ප සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටුවල අවශ්‍යතාවය සමාජවාදී සමනාතා පක්ෂය (සසප) අවධාරනය කරයි. ඒවා කම්කරු පන්තිය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරාපත්කර ගනු ලබන හා පාලනය කරනු ලබන, රැකියා නියුක්ත, රැකියා විරහිත, කොන්ත‍්‍රාත්, දේශීය, සංක‍්‍රමනික, රාජ්‍ය සහ පුද්ගලික කම්කරුවන් සියලූ දෙනා ඒකාබද්ධ කරන හා ධනේශ්වර රාජ්‍යයේ හා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයන් ට එරෙහිව කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධාන කිරීමට සටන් කරන සංවිධාන විය යුතු ය.

ඒවායේ එල්ලය විය යුත්තේ, සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම යි.

Share this article: