විප්ලවය අද්දර: බෝල්ශෙවික් පක්ෂය, කම්හල් කමිටු, සහ කම්කරු පන්තියේ බහුජන ව්‍යාපාරය

On the eve of revolution: The Bolshevik Party, factory committees, and the mass movement of the working class

ටොම් කාටර් විසිනි, 2017 ඔක්තෝබර් 27

ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටු සාමාජික ටොම් කාටර් විසින් ඔක්තෝබර් 21 වන සෙනසුරාදා පවත්වන ලද දේශනයක පෙල මෙහි පල කරන්නෙමු. මෙය, 1917 රුසියානු විප්ලවයේ සියවස් සැමරුම සනිටුහන් කරමින් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කෙරෙන අන්තර්ජාල සජීවී (ඔන්ලයින්* දේශන මාලාවක දෙවැනි කොටසේ දෙවැනි දේශනයයි.

තවත් දෙසුම් දෙකක් ඔක්තෝබර් 28 හා නොවැම්බර් 4 දිනවල පැවැත්වෙනු ඇත. දේශන පහකින් සමන්විත වූ මෙම දේශන මාලාවේ මුල් කොටස පසුගිය වසන්තයේ දී හජාජාකය විසින් ඉදිරිපත් කරන ලදී. මෙම සියලු දේශන ලෝසවෙඅහි සවන් දිය හැකිය.

හැඳින්වීම

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි සමරනු ලබන රුසියානු විප්ලවයේ ශත සංවත්සරය ලොව පුරා නව්‍යය වූ උද්‍යෝගයක් දිනා ගෙන ඇත. එමෙන්ම එය 1917 අවසාන මාසවල සැබවින්ම සිදු වූ දේ පිලිබඳ සියලු පැරනි අපවාද හා මුසාවන් යලි පනගැන්වීමටත් ප‍්‍රචාරය කිරීමටත් සඳහා ද ඉඩ ප‍්‍රස්ථා විවර කර ඇත.

මිලිටරිය හා ඔත්තුසේවා ආයතන සමග සමීප සබඳතා ඇති ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප‍්‍රමුඛ හොරනෑවක් වන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, ”රෙඩ් සෙන්චරි” (රතු ශතවර්ෂය) මැයෙන් යුත් දීර්ඝ ලිපි පෙලක් පල කරමින්, රුසියානු විප්ලවය අපකීර්තියට පත් කරනු පිනිස හැකි සෑම ප‍්‍රයත්නයක්ම දරා ඇත. ලෝකය පුරාම එවැනි ප‍්‍රයත්නයන් දැරෙමින් තිබේ.

බොහෝ අවස්ථාවන්හි දී, නිව්යෝර්ක් ටයිම්ස් විසින් සිදු කෙරෙන්නේ හුදෙක්, වසර සියයකට පසුව රුසියානු සිවිල් යුද්ධ සමයේ සෝවියට් රජය පෙරලා දැමීමට තැත් කල වයිට්ගාඞ්වරුන්ගේ ප‍්‍රචාර වැමෑරීම හා ඒවාට පලිප්පු ලෑමයි: බෝල්ශෙවිකයෝ ”ජර්මන් රත්රන්වලින්” අරමුදල් ලද ”ජර්මානු ඒජන්තයෝ” වෙති, බෝල්ශෙවිකයන්ට මහජන සහයෝගයක් නොවීය, ඔක්තෝබර් විප්ලවය යනු පිටස්තර අන්තවාදීන්ගේ කුඩා කුමන්ත‍්‍රනයක ප‍්‍රතිඵලයකි, ආදී වශයෙනි.

විප්ලවය අද්දර: බෝල්ශෙවික් පක්ෂය, කම්හල් කමිටු, සහ කම්කරු පන්තියේ බහුජන ව්‍යාපාරය

මේ කාරනය සම්බන්ධයෙන් ගත් කල, රුසියානු විප්ලවයේ බලධාරියෙකු ලෙස නිව්යෝර්ක් ටයිම්ස් විසින් අනුග‍්‍රහ දක්වනු ලැබෙන ෂෝන් මැක්මීකින්, “නව වයිට්ගාඞ්වරයෙකු” ලෙස හඳුන්වා දිය හැක. මැක්මීකින් විසින් ඉදිරිපත් කෙරෙන වෘත්තාන්තයට අනුව බෝල්ශෙවිකයන් බලය අල්ලා ගැනීම වූ කලී, යුද්ධයෙන් හා දුෂ්කරතාවයන්ගෙන් දුබල වූ ජාතියකට පසුපසින් සිට පිහියෙන් ඇනීමකි; “සාහසික, අවදානම් හා කරටකර පැවැති කටයුත්තක්”1 ලෙස මැක්මීකින් විසින් විස්තර කෙරෙන “පරසතුරු අත්පත් කර ගැනීමකි”.

මැක්මීකින් සිය දේශපාලන සහානුභූතීන් නොසඟවයි. “වර්ධනය වෙමින් පැවැති දුක් වේදනාවන් ද, අසම ආර්ථික වර්ධනය හා විප්ලවකාරී උද්‍යෝගයේ ආලෝලනයන් ද තිබියදීම; 1900 දී පැවැති රුසියානු අධිරාජ්‍යය ශක්‍ය නොවූවක් නොවීය, එහි ප‍්‍රමානය හා බලයම වුව, සාර්ගේ යටත්වැසියන් - සියලු දෙනාටම නොවීනම් - වැඩි දෙනෙකුට අභිමානය දනවන්නක් විය.”2 මැක්මීකින්ට අනුව රුසියානු අධිරාජ්‍යවාදී ආන්ඩුවේ ගැටලුව වූයේ සාර් රජ, “රස්පුටින් විසින් ඇඟිල්ල දිගු කර පෙන්වා දුන් අනතුරු හැඟවීම්” ලෙස මැක්මීකින් හඳුන්වා දෙන දෙයට නොව, ඔහුගේ “ලිබරල් උපදේශකයන්ට” ඇහුම්කන් දීමයි. ඔහු ලියා ඇත්තේ, සෝවියට් බලය “සමාජ පරිනාමයේ, පන්ති අරගලයේ, ආර්ථික වර්ධනයේ, නොඑසේනම් මාක්ස්වාදී න්‍යායෙහි දක්නා ලද අන් කිසියම් නිර්දය ඓතිහාසික බලවේගයක හෝ නිෂ්පාදිතයක්” නොව, ඔහු ප‍්‍රතිගාමී ඉතිහාසඥ රිචර්ඩ් පයිප්ස්ගෙන් උපුටා දක්වන පරිදි,“තමන්ගේම වාසිය හඹා යන හඳුනාගත හැකි මිනිසුන්ගේ” දුෂ්ඨ ක්‍රියාවක් බවයි. පයිප්ස්ට අනුව, ඔක්තෝබර් විප්ලවයෙන් නිරූපනය වූයේ, “කුඩා සුලුතරයක් ආන්ඩුව අල්ලා ගැනීමකි.” 3

ඔවුන් බැරෑරුම් ඉතිහාසඥයන් ලෙස හුවා දැක්වීම මගින් මෙම කියාපෑම් සරසා කල එලි බැස්සවීමට මැක්මීකින් උත්සාහ කරයි. නිසැකවම, මෙම කියාපෑම්වලට අනුග‍්‍රහ දක්වන ඉහල ශාස්ත‍්‍රාලීය අක්තපත‍්‍රධාරී තනිතනි පුද්ගලයෝ ලොව පුරා සිටිති. කෙසේවෙතත්, සියලු බැරෑරුම් හා අවංක ඉතිහාසඥයෝ - ඔවුන්ගේ දේශපාලන සහානුභූතීන් බෝල්ශෙවිකයන් සමග හෝ ඔවුන්ට එරෙහිව හෝ වේවා - 1917 ඔක්තෝබරය කරා වූ කාල පරිච්ෙඡ්දය තුල බෝල්ශෙවිකයන්ට පැවැති මහජන සහයෝගය පිලිබඳව පවතින ප‍්‍රබල සිද්ධිවාචක සාක්ෂි දෘඩ ලෙස ග‍්‍රහනය කල යුත්තාහ.

ඇමෙරිකානු ට්‍රොට්ස්කිවාදී ජේම්ස් කැනන්ගේ වචනවලින් කිවහොත්, ඔක්තෝබර් විප්ලවය “සචේතනික මෙහෙයුමක්” විය. ඉතිහාසඥ රෙක්ස් වේඩ් නිරීක්ෂනය කල පරිදි:

විප්ලවය ගැන ලියූ බොහෝ ලේඛකයන් විසින් කම්කරුවන් නිරූපනය කෙරී ඇත්තේ, රැඩිකලුන් හා බෝල්ශෙවිකයන් විසින් පහසුවෙන් හසුරුවන ලද්දා වූ අකර්මන්‍යක හා අවිභින්න ජනකායක් ලෙසය. ඇත්තෙන්ම ඔවුහු ඊට හාත්පසින්ම වෙනස් වූවෝය. ඔවුහු කම්හල් රැස්වීම් හා කම්හල් කමිටු හරහා ද, තම විවිධාකාර සංවිධාන හරහා ද, එක් පක්ෂයකට හෝ අනෙකකට දැක්වූ සිය සහයෝගය හරහා ද, සුලබ ලෙස වීථිවල හා කම්හල් ගේට්ටු අසල පැවැත්වූ අවිධිමත් රැස්වීම් හරහා ද විප්ලවයේ සක්‍රීය කාර්යභාරයකට උරදුන්හ. 1917 දී, පෙබරවාරියේ හා ඉන් පසුව, පැවැත්වූ විවිධ මහා පෙලපාලි තුල ඔවුන්ගේ සහභාගිත්වයෙන් පිලිබිඹු කෙරුනේ, එය ඔවුන්ගේ උත්සුකයන්ගෙන් ගලා ආ තීන්දුවක් විනා, හුදෙක් දේශපාලන පක්ෂ විසින් ඔවුන් හසුරුවනු ලැබීමක් නොවේ: සහභාගිත්වය ඔවුන්ගේ තෝරා ගැනීම විය. 4

මෙම දේශනය, රුසියානු විප්ලවය පසුපස පැවැති මහජන ව්‍යාපාරය විසින් අත්පත් කර ගැනුනු වඩාත් වැදගත් රූපාකාරයන් අතරින් සමහරක් පිලිබඳව සාකච්ඡා කරනු ඇත. කම්හල් කමිටු හා කම්කරුවන්ගේ පාලනය පිලිබඳ සංසිද්ධිය ඊට ඇතුලත් වේ. ජූලි දිනවලින් ඉක්බිති බෝල්ශෙවික් නැගිටීමේ එලිපත්ත දක්වා වූ කාල පරිච්ෙඡ්දය තුල, හා විශේෂයෙන්ම කොර්නිලොව් සිද්ධිය සමයේ, ඔවුන් විසින් ඉටු කෙරුනු තීරනාත්මක කාර්යභාරය කෙරේ මගේ අවධානය යොමු වනු ඇත.

බෝල්ශෙවිකයන් හා කම්කරු පන්තිය

1917 වසරේ ආරම්භය වන විට පෙට්‍රොග‍්‍රෑඩය ලෝකයේ විශාලතම කාර්මික බලාගාරවලින් එකක් විය. එය ප‍්‍රාන්තයක පිහිටි නිසංසල, හුදෙකලා ස්ථානයක් නොව, එවකට යුරෝපයේ පස්වන-විශාලතම පුරවරය විය. සාර්ගේ හමුදා සඳහා යුද උපකරන නිපදවීම කම්හල් තුල ක්‍රියාත්මකව පැවති අතර, එම කම්හල්වලින් වැඩි කොටස, ස්වයංක්‍රීය යන්ත‍්‍ර පුලුල් ලෙස භාවිතා කරමින් විදුලි බලයේ නව්‍යතම තාක්ෂනය මත ක්‍රියාත්මකව පැවැති ඒවා විය. රුසියානු අධිරාජ්‍ය යේ වැඩි කොටසක් සැබැවින්ම ග‍්‍රාමීය දරිද්‍රතාවයේ හා පසුගාමිත්වයේ ගොහොරුව තුල එරී තුබූ තතු තුල, පෙට්‍රොග‍්‍රෑඩය සිය දැවැන්ත කම්හල් ප‍්‍රදේශ, මහා කම්කරු හමුදාවන් හා නිෂ්පාදන තාක්ෂනයේ සාපේක්ෂ ඉහල මට්ටම සමග එකී භූදර්ශනයෙන් ඉහලට එසැවී නැගී සිටියේය.

1917 වන විට පෙට්‍රොග‍්‍රෑඩ් අගනගරය තම වටපිටාවේ පැවැති ගම්බද පෙදෙස්වලින් දිලිඳුබවට ඇද දමා සිටි ගොවියන් ලක්ෂ ගනනින් ඒ තුලට ඇද ගනු ලැබ, ඔවුන් වඩ වඩාත් වර්ධනය වන වේගයකින් නිර්ධනීකරනය කරමින් පැවතින. යුද්ධයට පෙර 15 වසර තුල පෙට්‍රොග‍්‍රෑඩය තුල කම්හල් කම්කරු ශ්‍රේනිවලට අයත් සංඛ්‍යාව 73,000 සිට 242,600 දක්වා වර්ධනය විය. 1917 වන විට මෙම සංඛ්‍යාව 417,000 දක්වා වැඩී ගියේය. 5 රුසියාව සමස්තයක් ලෙස සැලකූ කල, කම්කරු පන්තිය 1905 පැවැති දශ ලක්ෂ 1.5 සිට 1917 වනවිට දශලක්ෂ 2 ක් පමන දක්වා වැඩී තිබුනි. 6

පුටිෙලාව් කර්මාන්ත ය, 1917

ලෝහ කම්කරුවෝ පෙට්‍රොග‍්‍රෑඩ් කම්කරු පන්තිය තුල ප‍්‍රමුඛස්ථානය ගෙන සිටියෝය. ඔවුන් ක්‍රියා කරවූ යන්ත‍්‍ර එසමයෙහි පෙනී ගියේ විද්‍යා ප‍්‍රබන්ධයක එන යන්ත‍්‍ර සේය: “නවතම වර්ගයේ විදුම් යන්ත‍්‍ර, ටරට් ලියවනපට්ටල්, සිරස් බෝර්කිරීමේ යන්ත‍්‍ර, ස්වයං-ක්‍රියාකාරී මට්ටම් ගෑමේ යන්ත‍්‍ර, සහ තිරස් ඇලි කැපුම් (මිලිං) යන්ත‍්‍ර.” 7

1917 වසර ආරම්භ වන විට පැවැති පෙට්‍රොග‍්‍රෑඩය, අප‍්‍රමාන අභ්‍යන්තර ආතතීන්හි හා ප‍්‍රතිවිරෝධයන්හි පුරවරයක් විය. පෙට්‍රොග‍්‍රෑඩ්හි පාලක ප‍්‍රභූහු සුරංගනා කථාවල එන ඓශ්චර්යයන් බඳු සුඛෝපභෝගී ජීවිතයක් ගත කලහ. ඔවුහු වංශාධිපති පටිපාටියකින් හොබවනු ලැබ, සිය පදවිනාමවලින් ආමන්ත‍්‍රනය කරන ලද්දාහ. ඔවුන්ගේ රන් පතින් සැරසූ මාලිගා තුල වැඩකාරයින් ද රියදුරන් ද ඔවුන්ට සේවය සලසනු වස් රැඳී උන්හ. එම පුරවරය තුලම, කම්හල් ප‍්‍රදේශ තුල දුම්බටවල සෙවනැලි අතර, යුරෝපයේ බැර කර්මාන්තයෙහි විශාලතම සංකේන්ද්‍රනයන්හි පිලිකන්නේ, දැවැන්ත කුලී නිවාස සමූහයන් තිබිනි. පෙට්‍රොග‍්‍රෑඩ්හි ගෙවල් කුලී මිල අහස උසට නැගී පැවතින. බොහෝ කම්කරුවන් හවුලේ බෙදා ගත් කාමර තුල තනි පටු ඇඳන් සඳහා කුලිය බෙදා හදා ගත්තේ එක් අයෙකු නිදා සිටියදී අනෙක් තැනැත්තා හෝ තැනැත්තිය තම සේවා මුරයෙහි නියැලෙමිනි. 8

වාතය විෂ සහිත වූ ද, සේවා කොන්දේසි අනාරක්ෂිත වූ ද තතු යටතේ කම්හල්වල වැඩ කිරීමමත් කායිකව තලා දමන සුලු කාර්යයක් විය. කාර්මික අනතුරු සාමාන්‍ය දෙයක් විය; කම්කරුවෝ එක්කෝ යන්ත‍්‍රවලට අසු වූහ, නැතහොත් අධික වෙහෙසින් හුදෙක් ඇද වැටුනාහ. පෙට්‍රොග‍්‍රෑඩ්හි කම්හලෙක ඇටකටු කුඩුවනතුරු වැඩ කිරීමෙන් කම්කරුවෙකුට ලැබුනු කොපෙක් කාසි අහුර ඔහුගේ කෑම හා නවාතැන් කුලිය ගෙවීමට යාන්තමින් සෑහින. ඔවුහු නිරතුරුවම, ප‍්‍රමානවත් සනීපාරක්ෂක පහසුකම්, වාතාශ‍්‍රය හෝ ජල සැපයුමක් නොමැතිව පවුල් පිටින් එකට ගුලි වී සිටියෝය. නිර්ධන පන්ති ප‍්‍රදේශවල යටිතල පහසුකම් නොතකා හරිනු ලැබ තිබින, නැතහොත් ඒවා කොහෙත්ම නොතිබින. බොහෝ කම්කරුවෝ තමන්ට ලැබෙන අඩු වැටුපෙන් රූබල් කිහිපයක් ගම්බදව තමන්ගෙන් යැපෙන තැවුලට පත්ව සිටි ඥාතීන් වෙත යවනු වස් හාමතෙන් සිටියාහ. ඉහල ජීවන වියදම හා නිවාස කුලී පියවා ගනු සඳහා දසදහස් ගනන් පෙට්‍රොග‍්‍රෑඩ් ස්ත්‍රීන් තවදුරටත් ශ‍්‍රම බලකායට එක්කර ගනු ලැබුනේ පුරුෂයන්ට වඩා අඩු වැටුපකටය.

පෙට්‍රොග‍්‍රෑඩයේ කම්කරු පන්තියට සියලු ආකාරයන්හි දේශපාලන ප‍්‍රකාශනය සහමුලින්ම පාහේ තහනම් විය. වරෙකට එක් අයෙකු පමනක්, තම දුක්ගැනවිලි පෞද්ගලිකව කලමනාකාරීත්වයට දැනුම් දෙන ලෙස ඔවුන්ට උපදෙස් දී තිබින. යම් හෙයකින් කම්කරුවන් වර්ජනය කිරීමට ප‍්‍රයත්නයක් දැරුවහොත් ඔවුන්ට පොලිසියෙන් ගුටිබැට කෑමේ, සිරගත කිරීමේ හෝ සයිබීරියාවට පිටුවාහල් කිරීමේ අවදානමට මුහුන දීමට සිදුවිය. 1915 ජූනි මස කොස්ට්‍රොනමාහි වැඩ වර්ජිත රෙදි වියන්නන්ට වෙඩි තැබූ පොලිසිය, එයින් සිව් දෙනෙක් මරා දමා නව දෙනෙකුට තුවාල සිදු කලේය. ඉන් මාස දෙකක් ඇවෑමෙන් ඉවානොවෝ-වොස්නේසෙන්ස්ක්හි දී හමුදා භටයන් කම්කරුවන්ට වෙඩි තැබීමෙන් දහසය දෙනෙකු මරනයට පත් වී 30 ක් තුවාල ලැබූහ.

සාර්වාදී අධිපතීහු කම්හල් ප‍්‍රදේශ තුල ඔත්තුකරුවන් හා රහස් පොලිස් නිලධාරීන්ගේ ජාලයක් පවත්වා ගෙන ගියහ. ”දේශපාලනිකයැයි හංවඩු ගැසුනු කම්කරුවෝ අපලේඛනගත කරන ලද්දාහ, ඉන්පසු කිසිදු කම්හලක් ඔවුන් සේවයට බඳවා නොගනු ඇත. යුද ප‍්‍රයත්නයට සම්බන්ධිත කර්මාන්ත, හමුදා විනය යටතේ පවත්වා ගෙන යනු ලැබුනු අතර ඒවායෙහි දී, කවරාකාර හෝ නොඑකඟවීමක් ද්‍රෝහීකමක් ලෙස හංවඩු ගසන ලදී. දහස් සංඛ්‍යාත අවස්ථාවන්හි දී සාර්වාදී අධිපතීහු දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකයට පාත‍්‍ර වූ කම්කරුවන් හමුදාවට බලහත්කාරයෙන් බඳවා ගෙන ඔවුන් යුද පෙරමුනට යැවීමට ක්‍රියා කලෝය.

ලොක්කන් මේ කම්හල් පාලනය කලේ දෙවැනි ඒකාධිපතියන් සේය. වැඩමුරය ආරම්භයේදී ෆෝමන්වරයා, වඩාත්ම අවමන්සහගත ආකාරයෙන් කම්කරුවන් රැස් කොට, ඔවුන් යන්ත‍්‍ර කරා දක්කා හරියි. කම්කරුවන් මෙකී වැඩ මූලිකයන් හඳුන්වා දුන්නේ “පුංචි සාර්ලා” ලෙසය. (එය හරියටම අද දවසේ ඇමරිකානු කම්කරුවන් සුවිශේෂී ආකාරයෙන් අපවාදාත්මක කලමනාකරුවෙකු “පුංචි ට‍්‍රම්ප්” ලෙස හැඳින්වීමට ඉඩ ඇති පරිද්දෙනි).

වැඩමුරය අවසානයේ කම්හලෙන් පිටවන විට ඔවුන් පරීක්ෂාවට ලක් කෙරින. ඒ, ඔවුන් සොරකම්කිරීම වැලැක්වීමටයැයි කියන ලදී. සත්තකින්ම පෙට්‍රොග‍්‍රෑඩ් කම්කරුවෝ අඩු වැටුප් හා අනතුරුදායක සේවා කොන්දේසි හා දේශපාලන නිදහස අහිමි කරනු ලැබීම කෙරේ අප්‍රිය වූහ. එහෙත් ඔවුහු මෙම පරීක්ෂාවන්ට විශේෂයෙන්ම වෛර කලෝය. මක්නිසාදයත් එම පරීක්ෂාවන්, මනුෂ්‍යයන් ලෙස තම සාරභූත අභිමානයෙන් යම් කොටසක් සොරා ගත් බවක් ඔවුන්ට හැඟී ගිය හෙයිනි.

මෙකී මර්දනකාරී තතු පවතිද්දීම, පෙට්‍රොග‍්‍රෑඩය තුල උද්දීප්ත වූ දේශපාලන යටිබිමක් ද පැවැත්තේය. “සමාජවාදය”, “මාක්ස්වාදය” හා “විප්ලවය” වැනි වචන සංසරනය වෙමින් පැවතින. වාසි අවාසි නොතකා කම්හල්වල වර්ජන ඇතිවිය. තවද, වර්ජනයක් ඇතිවී නම්, (1) කම්හල තුල බෝල්ශෙවික් ෙසෙලයක් පැවතීමට, හා (2) ඊට ඉහත වර්ජනවල යෙදී අත්දැකීම් ඇති කම්කරුවන් වර්ජනයට සම්බන්ධ වී සිටීමට, විශාල ඉඩකඩක් පැවතින. 9

කෙසේවෙතත්, බෝල්ශෙවික් පක්ෂය වෘත්තීය සමිති ව්‍යාපාරයක් නොවීය. බෝල්ශෙවිකයෝ ආර්ථික හා වැඩපලේ කාරනා සම්බන්ධයෙන් වර්ජන සංවිධානය කලෝ පමනක් නොවූහ. හැකි සෑම විටෙකදීම ඔවුහු කම්කරු පන්තියේ ආර්ථික අරගලවලට ස්වාධීන දේශපාලන අනුලක්ෂනයක් ලබා දීමට ප‍්‍රයත්න දැරුවෝය. කම්කරුවන්ට ඉතිහාසය, දේශපාලනය හා සංස්කෘතිය පිලිබඳව උගැන්වීමට බෝල්ශෙවිකයෝ ක්‍රියා කලහ. තමන්ගේම අරගලවල ඉතිහාසය පිලිබඳ දැනුම ද, දේශපාලන හා ආර්ථික තතු සහ රුසියාව හා යුරෝපය තුල වර්ධනයන් පිලිබඳ අවබෝධයක් ද, සෙසු පන්ති හා සමාජ ස්ථරවල උත්සුකයන්ට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන හා සමාජ උත්සුකයන් පිලිබඳ ඇගයීමක් ද කම්කරු පන්තිය වෙත ගෙන ඒමට -එනම් වෙනත් වචනවලින් කිවහොත්, කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානය වර්ධනය කිරීමට- ඔවුහු සෑම ප‍්‍රයත්නයක්ම දැරූහ.

බෝල්ශෙවිකයන් හා මෙන්ෂේවිකයන් අතර භේදය ඇති වූ තැන් පටන් බෝල්ශෙවිකයෝ, ස්වයංසිද්ධ විඥානය හා සමාජවාදී විඥානය අතර විලක්ෂනයක් පිලිබඳව අවධාරනය කලහ. “කම්කරු පන්ති ව්‍යාපාරයේ ස්වයංසිද්ධ වර්ධනය විසින් මග පෙන්වනු ලබන්නේ ධනේශ්වර දෘෂ්ටියට යටත්වීම කරා” යයි කල යුත්තේ කුමක් ද කෘතිය තුල ලෙනින් ලිවීය. මක්නිසාදයත්, “ස්වයංසිද්ධ කම්කරු පන්ති ව්‍යාපාරය යනු වෘත්තිය සමිතිවාදයයි.... තවද, වෘත්තිය සමිතිවාදයේ අර්ථය වන්නේ කම්කරුවන් ධනේශ්වර පන්තියේ දෘෂ්ටිවාදී වහලූන් කිරීමයි. ඒ අනුව, අපේ කර්තව්‍යය ....... වන්නේ ස්වයංසිද්ධතාවට එරෙහිව සටන් වැදීමයි, කම්කරු පන්ති ව්‍යාපාරය ධනේශ්වරයේ තටු යටට ගෙන යාමේ මෙම ස්වයංසිද්ධ, වෘත්තීය-සමිතිවාදී ප‍්‍රයත්නයෙන් එය ඉවතට යොමු කිරීමයි,” ඒ වෙනුවට එය විප්ලවවාදී පක්ෂයේ තටු යටට ගෙන ඒමයි. 10

ට්‍රොට්ස්කි සිය රුසියානු විප්ලවයේ ඉතිහාසය කෘතිය තුල පහත දැක්වෙන වගුව ඇතුලත් කරයි. 11 එහි ආර්ථික (ඉල්ලීම් මත සිදු කෙරුනු) වර්ජන හා දේශපාලන වර්ජන අතර විලක්ෂනයක් දැක්වේ. ආර්ථික වර්ජනයක් වැටුප්, වැඩකරන පැය ගනන හෝ සේවා කොන්දේසි පිලිබඳව සැලකිලිමත් වූ අතර, දේශපාලන වර්ජන ආන්ඩුවේ පිලිවෙත්වලට අභියෝග කිරීම, අනෙකුත් කම්කරුවන් හෝ ඔවුන්ගේ නායකයන්ට හිංසා පීඩා පැමිනවීමට එරෙහිව විරෝධය පෑම, එසේත් නැතහොත් - ලේ වැකි ඉරිදා වැනි - කිසියම් වැදගත් ඓතිහාසික සංසිද්ධියක සංවත්සරය සනිටුහන් කිරීම සිදු කලේය. 12 සත්තකින්ම බොහෝ වර්ජනවලදී දේශපාලන හා ආර්ථික යන දෙවර්ගයේ ම ඉල්ලීම් ඉදිරිපත් කෙරුනු අතර, කිසියම් දෙන ලද වර්ජනයක නියැලී සිටි තනි කම්කරුවන්ගේ විඥානය නායකත්වය විසින් මතු කෙරුනු ඉල්ලීම්වලින් ඔබ්බට ගමන් කලා විය හැකිය. කෙසේවෙතත්, දේශපාලන වර්ජනවල වර්ධනයවීම මෙකී කාල පරිච්ෙඡ්දය තුල කම්කරු පන්ති ව්‍යාපාරයේ දේශපාලන විඥානය පිලිබඳ වැදගත් බැරෝමීටරයක් (පීඩනමානයක්) විය.

දේශපාලන වර්ජන, 1903-1917

1905 විප්ලවයෙන් අනතුරුව පැමිනි ප‍්‍රතිගාමිත්වයේ කාල පරිච්ෙඡ්දයෙන් ඉක්බිතිව විප්ලවවාදී කම්කරු පන්ති අරගල යලි පැනනැගීම, අද දින නිශ්චිත ලෙස ප‍්‍රතිරාව නංවන වචනවලින් ට්‍රොට්ස්කි ගෙන හැර දක්වයි.

මහා පරාජයන් විසින් ජනයා දීර්ඝ කාලයකට අධෛර්යමත් කරනු ලැබේ. දැනුවත් විප්ලවකාරී කොටස්වලට මහජනයා මත ඇති බලපෑම අහිමිව යයි. තවමත් මුලූමනින් දවා ලනු නොලැබූ ප‍්‍රාග්විනිශ්චයන් හා මිත්‍යා විශ්වාස යලි ජීවය ලබයි. ... සංශයවාදීහු උපහාසාත්මකව සිය හිස් සලති. 1907-11 අවුරුදු ගෙවී ගියේ එපරිද්දෙනි. එහෙත් මහජනයා තුල ක්‍රියාත්මක සූක්ෂ්ම ක්‍රියාවලීන් විසින් පරාජයේ මනෝමය තුවාල සුවපත් කරනු ලැබේ. සිද්ධීන්හි නව වටයක්, නැතහොත් මතුපිටට යටින් ඇතිවන ආර්ථික ආවේගයක් විසින් නව දේශපාලන චක‍්‍රයක් විවෘත කෙරෙයි. විප්ලවවාදී කොටස්වලට යලිත් සිය ෙප්‍ර්ක්ශාගාරය හිමි වේ. අරගලය වඩාත් ඉහල මට්ටමකින් යලි විවර වේ. 13

විප්ලවයට පෙර ඇත්තෙන්ම පුටිලොව් කම්හලේ සේවය කල බෝල්ශෙවික්වාදී ලෝහ කම්කරුවෙකු වූ ඇලෙක්සැන්ඩර් බුයිකෝගේ නිබන්ධයෙහි කෙටි උපුටා දැක්වීමක් පිලිබඳව සඳහන් කිරීමට මට අවශ්‍යය. මෙම ෙඡ්දය තුල ඔහු, සිය ලෝහ කම්කරු සගයන් දිනා ගැනීමට තමන් දැරූ ප‍්‍රයත්නය විස්තර කරයි. ඔහුට පොර බදන්නට සිදු වූ, එවකට “පුහුනු ශ‍්‍රමිකයන්” ලෙස හඳුන්වනු ලැබූවන් අතර පොදුවේ කලක සිට මුල් බැස පැවැති ඇතැම් ප‍්‍රාග්නිශ්චයන් පිලිබඳව ඔහු ලියා ඇති දේ වලින්, බිම් මට්ටමේදී බෝල්ශෙවිකයන් වසර ගනනක් පුරා සිදු කල ඉවසිලිවන්ත කාර්යභාරය පිලිබඳ යම් අවබෝධයක් ලැබේ. ඔහු මෙසේ ලියයි:

යම් තරුනයෙක් වැඩිහිටි පුහුනු වැද්දුම්කරුවෙකු හෝ ලියවන පට්ටල්කරුවෙකු සමග කථාබහක් ආරම්භ කලහොත් ඔහුට මෙසේ කියනු ඇත: “මුලින්ම නුඹ මිටිය හරිහැටි අල්ලා ගන්නා හැටි සහ කපන කටුවක් හා පිහියක් පාවිච්චි කරන හැටි උගත යුතුය. ඊට පසු නුඹට අනුන්ට ඉගැන්වීමට යමක් තමා සතුව ඇති මිනිසෙකු ලෙස තර්ක කිරීමට පටන් ගත හැක.” අවුරුදු ගනනක් මෙය ඉවසා දරා සිටීමට අපට සිදුවිය. ඔබට සංවිධායකයෙකු වීමට අවශ්‍ය නම්, ඔබ ඔබේ රැකියාව හොඳින් දැනගත යුතුය. ඔබ එසේ කලහොත්, එවිට ඔවුන් ඔබ ගැන මෙසේ කියනු ඇත -ඔහු නරක හාදයෙකු නොවේ- ඔහු හොඳින් වැඩ කරන අතර, දේශපාලනයේ දී ඔහුට හොඳ මොලයක් තිබේ. 14

කම්කරු පන්තිය තුල සිය උද්ඝෝෂනයන්හි දී බෝල්ශෙවික් පක්ෂය අවධාරනය කලේ සියලු ජනවර්ගයන්ට අයත්, සෑම පසුබිමකින්ම පැමිනි ස්ත්‍රී පුරුෂ කම්කරුවන් සැමදෙනා ධනපති ක‍්‍රමයට හා යුද්ධයට එරෙහිව පොදු අරගලයක් තුල එක්සත් විය යුතු බවටය. පැවැති තතු තුල කැපී පෙනෙන සුලු සංඛ්‍යාවක නායිකාවන් පිරිසක් බෝල්ශෙවික් පක්ෂයෙහි වූහ - නදෙස්දා කෘප්ස්කායා, ඇලෙක්සන්ද්රා කොලොන්තායි, එලීනා ස්ටැසෝවා, සහ අනෙකුත් අය- තවද, එය කම්කරු පන්ති ස්තී‍්‍රන්ට ආමන්ත‍්‍රනය කල පුවත්පතක් - රබෝට්නිත්සා - පල කලේය. 15

ක්ලව්දියා නිකොලේවා

කම්කරුවෙකුගේ දියනිය වූ ක්ලව්දියා නිකොලේවා 1893 දී උපත ලැබ, 1909 දී, එනම් අවුරුදු 16 ක පමන වයසේ දී, බෝල්ශෙවික් පක්ෂයට බැඳුනාය. 1917 දී, වයස 24 පමන කාලයේ, ඇය පෙට්‍රොග‍්‍රෑඩයේ පල වූ රබෝට්නිත්සා පුවත්පතේ කර්තෘ මන්ඩලයෙහි සේවය කලාය -මෙය ප‍්‍රමුඛ පෙලේ දේශපාලන වගකීමකි- බෝල්ශෙවික් පක්ෂයට එවැනි, ආශ්චර්යවන්තයන් ලෙස පමනක් විස්තර කල හැකි, තරුන නායක නායිකාවෝ බොහෝ සිටියහ. විප්ලවයෙන් පසු ට්‍රොට්ස්කිට සහාය දුන් නිකොලේවා වාම විපක්ෂයේ සාමාජිකාවක් වූවාය.

සියලු කම්කරුවන් මුලදීම බෝල්ශෙවිකයන් සමග අත්‍යවශ්‍යයෙන්ම එකඟ නොවූව ද දීර්ඝ කාලයක් පුරා අනවරතව කෙරුනු රහසිගත කටයුතු හරහා බෝල්ශෙවිකයෝ, පෙට්‍රොග‍්‍රෑඩ් කම්කරුවන්ගේ මනස් තුල දේශපාලන මුක්තිය, සමාජ ප‍්‍රතිසංවිධානය, සාමය, සමානාත්මතාව හා මානව වර්ධනය පිලිබඳ වඩාත් දුරදිග යන ඉල්ලීම් පැලපදියම් කිරීමට සමත් වූහ. කම්කරුවන්ගේ උත්සුකයන් පිලිබඳ වඩාත්ම බැරෑරුම්, වඩාත්ම ධෛර්යමත්, සහ වඩාත්ම සප‍්‍රතිපත්තික සටන්කරුවන් ලෙස බෝල්ශෙවිකයෝ ගෞරවය දිනා ගත්තෝය.

යුද්ධයට එලැඹීමට ආසන්න සමයේ බෝල්ශෙවිකයන් සම්බන්ධයෙන් වූ පොලිස් වාර්තාවක එන පහත දැක්වෙන වදන් ට්‍රොට්ස්කි උපුටා දක්වයි: “වෙහෙස නොතකා කෙරෙන අරගලයක් සඳහා, ප‍්‍රතිරෝධය හා අඛන්ඩ සංවිධානය සඳහා, සූදානම්ව සිටින වඩාත්ම උද්‍යෝගිමත් හා නිර්භීත කොටස වන්නේ ලෙනින් වටා ඒකරාශී වී සිටින එම කොටසය, එකී සංවිධානයන්ය, එකී මිනිසුන්ය.” 16 1917 මුල් භාගය වන විට, අයිවාස්, බැරනොව්ස්කි, වල්කන්, නොබෙල්, නිව්ලෙස්නර්, ෆීනික්ස්, සහ පුසිරෙව් ආදී කම්හල්වල නාමයන් තුල්‍ය වී තුබුනේ බෝල්ශෙවික් පක්ෂයේ සාමාජිකයන් හෝ එහි සහානුභූතිකයන් වූ සටන්කාමි කම්කරුවන්ගේ ශක්තිමත් බලඇනිවල නාමයන්යටය. 17

1917 පෙබරවාරියේ, අප දන්නා පරිදි, පෙට්‍රොග‍්‍රෑඩයේ කම්කරු පන්තිය සාර් තන්ත‍්‍රය පෙරලා දැමීය. දේශපාලන අධස්ථ භූමියේ බුබුලු දමමින් පැවැති මෙම මහා කැකෑරුම එසේ පුපුරා මතුපිටට පැමිනියේය. පෙබරවාරි විප්ලවය ඇත්තෙන්ම ක්‍රියාවට නංවන ලද්දේ, ට්‍රොට්ස්කි ලියූ පරිදි, “බොහෝ කොටම ලෙනින්ගේ පක්ෂය විසින් අධ්‍යාපනය දෙන ලද, දැනුවත් හා පදම් වූ කම්කරුවන් විසිනි.” 18 කෙසේවෙතත්, කම්කරු පන්තියේ බහුජන විප්ලවවාදී ව්‍යාපාරය පෙබරවාරියේ දී තවමත් බෝල්ශෙවික් පක්ෂය විසින් එක්සත් කරනු ලැබ හා මග පෙන්වනු ලැබ නොතිබින. ආනුෂංගික ලෙස, කම්කරුවන් සාර් පෙරලා දැමීමෙහි ලා සාර්ථක වූ අතරතුරේම, පෙබරවාරි විප්ලවය විසින් පෙට්‍රොග‍්‍රෑඩය පුරාමත් මුලුමහත් රට පුරාමත්, කම්කරු සමිති කම්හල් කමිටු හා සෝවියට් ඇතුලූව, කම්කරුවන්ගේ අරගලවල ද සියලු හැඩතල හා ප‍්‍රමානයන්ගෙන් යුත් ඔවුන්ගේ සංවිධානයන්හි ද විෂමජාතීය ප‍්‍රාගුන්‍යනයක් බිහි කරන ලදී.

කම්හල් කමිටු හා කම්කරුවන්ගේ පාලනය

පෙට්‍රොග‍්‍රෑඩ්හි විප්ලවකාරී කම්කරුවෝ පෙබරවාරි දින වලදී හා ඉනික්බිති කාලයේ, දේශපාලන හා ආර්ථික යන දෙවර්ගයටම අයත් නොමඳ හා විවිධ ඉල්ලීම් ඉදිරිපත් කලෝය. පෙබරවාරි විප්ලවයෙන් පසු ඉදිරිපත් වූ එක් සුවිශේෂී ලෙස විචිත‍්‍ර ඉල්ලීමක් වූයේ කම්කරුවන් සාර් පෙරලා දැමීමට ගත කල දින ගනන සඳහා ඔවුන්ට සම්පූර්න වැටුප ගෙවන ලෙස ඉල්ලා සිටීමයි.

පෙබරවාරි විප්ලවය අතරතුර “දොට්ට දැමීම” යන අර්ථය දෙන carting out නම් සංසිද්ධියක් පුලුල්ව පැතිර ගොස් තිබින. පෙට්‍රොග‍්‍රෑඩ් කම්හල්වල කම්කරුවෝ කලමනාකරුවන් හා ෆෝමන්වරුන් අල්ලා ගෙන, ඔවුන් වීල්බැරෝවල දමා, කම්හල්වලින් බැහැරට ගෙන ගොස් එලියේ අතහැර දැමූහ. මෙම “දොට්ට දැමීමේ” සිරිත වහා පැතිර ගිය අතර ඉක්මනින්ම එය කවුරුත් දන්නා දෙයක් බවට පත්විය. ඉතිහාසඥ ස්ටීවන් ඒ. ස්මිත් මෙසේ ලියයි:

“දොට්ට දැමීම” යනු කම්කරුවන් මනුෂ්‍යයන් ලෙස තමා සතු උදාරත්වය සංකේතාත්මකව තහවුරු කිරීමක් වූ අතර, තම දෛනික වැඩකරන ජීවිතය තුල එම උදාරත්වය ඔවුන්ට අහිමි කලවුන්ට දැක්වූ චාරිත‍්‍රානුකූල නිගරුවක් විය. 19

වෙනත් වචනවලින් කිවහොත්, කම්කරුවෝ හුදෙක් සාර් පහ කර දැමීමෙන් සෑහීමකට පත් නොවූහ, කම්හල් තුල සියලු “පුංචි සාර්ලා” ද පහකර දැමීම අත්‍යවශ්‍ය විය.

බොහෝ කම්හල්වල කම්කරුවෝ තවත් දුර ගියහ. සිය ලොක්කන් “දොට්ට දැමීමෙන්” පසු ඔවුහු තම කම්හල්වල “පාලනය” තහවුරු කර ගත්හ. කම්හල් කමිටු යනු මෙම පාලනය පැවැත්වීම සඳහා කම්කරුවන් භාවිතා කල ආකෘතියයි. පැරනි සාර් අධිරාජ්‍යය පුරා කම්හල්වල කම්කරුවෝ එය අනුයන්නට වූහ. මෙකී කමිටුවල රූපාකාරය හා ව්‍යූහය කම්හලෙන් කම්හලට හා නගරයෙන් නගරයට වෙනස් විය. එහෙත් කම්හල් කමිටු, කම්කරු සමිතිවලින් වෙන්කොට දැක්වුනේ, “කම්කරු පාලනය” පිලිබඳ සංකල්ප යෙනි.

කම්කරු කමිටු සිය කම්හල්වල ගිනුම් පොත් අත්පත් කොට ගෙන ඒවා විවෘත කලහ. සේවයෙන් කම්හල්වල ලාභ නොලැබීම ගැන කියා සිටිමින් වැටුප් අඩු මට්ටමක පවත්වා ගෙන යද්දී ලොක්කන් ලාභ පොදි ගසා ගනිමින් හුන් බව ඇතැම් අවස්ථාවල ඔවුහු සොයා ගත්හ. කම්හල් කමිටු මූල්‍යම හා භාන්ඩ ලේඛන පිලිබඳ තොග ගනන් බැලූහ. ධනපතීන් හා ප‍්‍රතිගාමීන්, නිෂ්පාදනය හා බෙදාහැරීම කඩාකප්පල් කිරීම මගින් කම්කරුවන්ගේ ව්‍යාපාරය අපකීර්තියට පත් කිරීමට දිගටම උත්සාහ ගනිමින් සිටි අතර, කමිටු විසින් එකී ප‍්‍රයත්න නිෂ්ප‍්‍රභ කොට හෙලිදරව් කරන ලදී. සේවයට බඳවා ගැනීමේ හා සේවයෙන් පහ කිරීමේ පාලනය කමිටු ඒකපාර්ශ්විකව තමා අතට ගත්හ. අපවාදාත්මක කලමනාකරුවන් පහ කිරීමේ හා අපලේඛනගත කෙරුනු කම්කරුවන් යලි බඳවා ගැනීමේ අයිතිය තමාට ඇතැයි ඔවුහු නිවේදනය කලෝය.

1917 ඔක්ෙතා්බර්1 7සමස්ත රුසියානු සම්මේලනයේ පෙට්‍රොග‍්‍රෑඩ් කම්හල්කමිටුව සමග ට්‍රොට්ස්කි සහ රියසොනෝව් මැද සිටී

මෙම සංසිද්ධිය ට්‍රොට්ස්කි විසින් 1917 ට පෙරාතුව නිරවද්‍ය ලෙස පෙරදක්නා ලදී. “නිර්ධනීන්ගේ හා ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආඥාදායකත්වය” පිලිබඳ සටන්පාඨය සම්බන්ධයෙන් ලෙනින් සමග තමන්ට පැවැති මතභේදය තුල ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කලේය: “විප්ලවයේ සමස්ත ගමන්මග විසින් නිර්ධන පන්තිය තල්ලු කර දමනු ඇත්තේ.... බලය දෙසටය.”20 සාර් පෙරලා දැමීමෙන් හා ධනපති-ප‍්‍රජාතන්ත‍්‍රවාදී තන්ත‍්‍රයක් නිර්මානය කිරීමෙන් කෘත්‍රිම ලෙස නතරවීමට එයට නොහැකි වනු ඇත. විප්ලවයේ නායක සමාජ බලවේගය ලෙස කම්කරු පන්තිය තම සේවා ස්ථානයෙන් ආරම්භ කරමින්, තම උත්සුකයන් සුරක්ෂිත කර ගැනීම හා ඒවා ප‍්‍රගමනය කිරීම අවහිර කල යුතු නැති අතර, එසේ කල නොහැකි ද වනු ඇත.

1917 වැනි සමාජ අරගල සුලි කුනාටු පිලිබඳව සාකච්ඡා කිරීමේදී යමෙකුට විශ්ව සාධාරන ගුනාංගීකරනයන් සිදු කිරීමේ දුෂ්කරතාවයට මුහුනදීමට සිදුවේ. සෑම පොදු ගුනාංගීකරනයකටම ව්‍යතිරේකයන්, ප‍්‍රාදේශීය ප‍්‍රභේදයන් සහ කාලය ගතවීමේ දී ඇතිවන විතැන්වීම් හා උච්චාවචනයන් පවතී. බෝල්ශෙවිකයන්, මෙන්ෂේවිකයන්, සමාජ විප්ලවකාරීන් (එස්ආර්වරුන්) හා පක්ෂවලට සම්බන්ධ නොවූ කම්කරුවන් ආදී වශයෙන් වූ සියල්ලෝ කම්කරු සමිතිවල සේම, කම්හල් කමිටුවල ද ක්‍රියාකාරීව සිටියෝය.

කොයිහැටිවෙතත්, 1917 රුසියාව සමස්තයක් ලෙස ගත් කල, කම්කරු සමිති වඩාත් ගතානුගතිකත්වය හෝ “දේශපාලනිකව මධ්‍යස්ථතාව” කරා වැඩියෙන් නැඹුරු වූ අතර, කම්හල් කමිටු බෝල්ශෙවිකයන්ට සහාය දැක්වූ බලකොටු බවට පත්ව තිබින. බෝල්ශෙවිකයෝ මෙම කමිටු පිහිටුවීම දිරි ගැන්වූහ. කම්හල් කමිටුවල නියෝජිත සම්මේලනයන්හිදී බෝල්ශෙවික් අභියෝජනා නැවත නැවතත් සම්මත විය.

කම්හල් කමිටුවලට නීත්‍යානුකූල පිලිගැනීම ලබා දෙන අතරම, ඒවා වෘත්තීය සමිතිවල කාර්යභාරයට ඉඳුරාම සීමා කර ගැනීම මගින් කම්හල් කමිටු සමග පොර බැදීමට තාවකාලික ආන්ඩුව තැත් කලේය. ජූනි 13 වන දින කම්හල් කමිටු සම්මේලනයක් අමතා කල සිය කථාව තුල, එවැනි ප‍්‍රයත්න ප‍්‍රතික්ෂේප කරන ලෙස ලෙනින් කම්කරුවන්ට බල කලේය. “සහෝදරවරුනි, කම්කරුවනි, ඔබට කල්පිත ප‍්‍රබන්ධ පාලනය නොව සැබෑ පාලනය ලැබෙන බවට වගබලාගන්නා” ලෙස ඉල්ලා සිටි ලෙනින්, “කඩදාසියේ පමනක් පවතින ප‍්‍රබන්ධමය පාලනය .... ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ගෙන එනු ලබන සියලු යෝජනා වඩාත්ම ස්ථිරසාර ආකාරයෙන් ප‍්‍රතික්ෂේප කරනල ලෙස ද නිවේදනය කලේය. 21

කම්හල් කමිටු ශීඝ‍්‍රයෙන් පැතිර ගියේය. ජූනියේ පැවැති කම්හල් කමිටු සම්මේලනයක දී කම්කරුවන් 5,000 කට වඩා සිටින කම්හල් සියයට 100 ක්ම නියෝජනය විය. මෙම සම්මේලනවලට සහභාගිවීම සඳහා වැඩබිමෙහිදීම සිය සහෝදර කම්කරුවන් විසින් තෝරා පත්කර ගැනුනු නියෝජිතයෝ සිය කම්හල් එකලස් පේලිවල සිට කෙලින්ම එහි පැමිනියෝය.

හාම්පුත්තු ඇත්තෙන්ම මෙකී කමිටු ගොඩ නැගීමට එරෙහිව තමාට හැකි උපරිම වෙර යොදා සටන් කලෝය. කම්කරුවන් 19 දෙනෙකු සේවය කල එක්තරා සම් භාන්ඩ වැඩපොලක කම්කරුවන් කමිටුවක් පිහිටුවීමට ප‍්‍රයත්න දරන ලදුව, එහි හිමියා මුලූ කම්කරු පිරිසම සේවයෙන් පහ කල බවට වාර්තාවක් පවතී. 22 පාලනාධිකාරිය කමිටු නායකත්වය අස් කර දැමීමට උත්සාහ කරන ලද, හා නායකයන් යලි සේවයේ පිහිටුවන ලෙස කම්කරුවන්ට වැඩ වර්ජනය කිරීමට සිදුවූ තවත් අවස්ථා තිබින.

කම්කරුවන් හා ඔවුන්ගේ දරුපවුල් හාමතෙන් සිටින අවස්ථාවන්හි දී කම්හල් කමිටු ආහාර නිෂ්පාදනය කිරීමට හා ආහාර සම්පාදනය සංවිධානය කිරීමට තැත් කලහ. කම්හල් කමිටු කම්හල් තුල කම්කරු විනය කි‍්‍රයාවට නැංවූ අතර, මධ්‍යසාර අනිසි භාවිතයට එරෙහිව ඔවුහු උද්ඝෝෂන ව්‍යාපාරයක් දියත් කලෝය. විප්ලවකාරී යුගයේ ව්‍යාකූලත්වය හා අරාජකභාවය මධ්‍යයේ නිෂ්පාදන දාම කි‍්‍රයාත්මකව පවත්වා ගත් කම්කරු කමිටු, දැවෙන අවශ්‍යතා බවට පත්ව තිබූ ආම්පන්න, ඇඳුම් පැලඳුම් හා පාරිභෝගික භාන්ඩ නිපදවීමට කටයුතු යෙ¥හ.

ඇතැම්විට අධිකාරීන් වඩාත්ම කැලඹීමට පත් කල පියවර වූයේ, තාවකාලික ආන්ඩුවේ සන්නද්ධ හමුදා කෙරේ තමන්ගේ විශ්වාසයක් නොමැති බව නිවේදනය කල බොහෝ කම්හල් කමිටු රතු බලකාය (රෙඞ් ගාඞ්* නම් තමන්ගේම සන්නද්ධ මිලීෂියාවන් ගොඩ නගා ගැනීමයි. රතු බලකායයන් වඩාත්ම ස්ථිරසාර ලෙස ගොඩනංවනු ලැබූයේ හා ඒවා වඩාත්ම සටන්කාමී වූවේ විශේෂයෙන්ම බෝල්ශෙවික් කම්හල්වලදීය.

අපේ‍්‍රල් 26 වන දින පීටර්හොෆ්හිදී කම්කරුවෝ රතු බලකායට බැඳිය හැක්කේ කවරෙකුටදැයි සීමා සලකුනු කලෝය:

කම්කරු පන්ති සේවා පුෂ්පයට අයත්වූන්ට පමනක් බැඳිය හැකිය. නොවටනා හෝ වැනෙනසුලූ අය එහි ශ්‍රේනිවලට ඇතුලූ නොවන බවට අපට සහතිකයක් තිබිය යුතුය. රතු බලකායට ඇතුලත්වීමට අපේක්ෂා කරන සැමදෙනාම සමාජවාදී පක්ෂයක ප‍්‍රාදේශීය කමිටුව විසින් නිර්දේශ කරනු ලැබිය යුතුය. 23

පුරුෂයෝ මෙන්ම ස්තී‍්‍රහු ද රතු බලකායේ සේවය කලෝය. රතු බලකාය කම්හල් ප‍්‍රදේශ ආරක්ෂා කල අතර, කම්කරු නිවාස හා සේවා ස්ථාන අන්ත-දක්ෂිනාංශික බලවේගවල ගෙවල් ගිනි තැබීමේ රැල්ලෙන් රැක ගැනීමට ද ක්‍රියා කලේය. ප‍්‍රතිවිප්ලවයේ බලවේගවලට එරෙහිව රුසියානු විප්ලවයේ ජයග‍්‍රහන ආරක්ෂා කර පෙරට ගෙන යා හැක්කේ කම්කරු පන්තියට පමනෙකැයි රතු බලකාය නිවේදනය කලේය. රතු බලකායන් හෙලා දුටු මෙන්ෂේවිකයෝ ඒවා ගොඩනැගීම සම්බන්ධයෙන් “ලෙනින්වාදී කැලඹිලිකාරීත්වය”ට දෝෂාරෝපනය කලෝය.

වල්කන් කම්හලේ රතු බලකායට අයත් වූවෝ

කම්හල් කමිටු සංස්කෘතික ප‍්‍රශ්න ග‍්‍රහනය කලේ ඉමහත් සැලකිල්ලකින් යුතුවය. පුටිලොව් කම්හලේ කම්කරුවෝ පුස්තකාලයක් හා පොත් බෙදා ගැනීමේ සේවයක් සහිත සංස්කෘතික සමාජයක් ඇරැඹුහ. එම සමාජයට 2,000 ක සාමාජිකත්වයක් තිබින. මෙම සමාජය සිය අරමුන අර්ථකථනය කලේ, “කම්කරු පන්තිය එක්සත් කිරීම ද, එය සමාජවාදී ජීවගුනය තුල මූලික සාක්ෂරතාව සහ සංස්කෘතිය මත රඳා පවත්නා අත්‍යවශ්‍ය සාමාන්‍ය දැනුමෙන් හා පොදු වර්ධනයෙන් වැඩි දියුනු කිරීම ද” ලෙසය. 25

1917 මාර්තුවේ දී, වසිලෙව්ස්කි දූපතෙහි, නව උදාව නමින් යුත් සමාජයක් ආරම්භ වූ අතර, ඉක්මනින්ම පයිප්ප වැඩපලේ කම්කරුවන් අතරින් 800 ක් දෙනා ඊට බැඳුනාහ. මෙම සමාජය කම්කරුවන් වෙනුවෙන් භූගෝල විද්‍යාත්මක ගවේෂනයක්, ධූමයාත‍්‍රා ගවේෂනයක්, දේශන හා පිත්තල සංගීත භාන්ඩ වාදනය කෙරෙන වාදන ප‍්‍රසංගයක් ද සංවිධානය කලේය. 26

තුවක්කු කම්හලේ සමාජය විවෘත වූ කල රුසියානු සංගීත නිර්මාපක මොඩස්ට් මුසෝග්ස්කි විසින් මෙහෙයවන ලද ගායන වෘන්දයක ඔපෙරා ගීත ගායනයක් ඉදිරිපත් කෙරුනු අතර, කම්කරු තූර්ය වාදක කන්ඩායමක් ජාත්‍යන්තර ගීතයේ හා කම්කරු මාර්සියෙස් ගීයේ ප‍්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් ද සිදුකෙරිනි. “මෙම සමාජයට පොත් 4,000 කින් සමන්විත පුස්තකාලයක්, කියැවීම් කාමරයක්, කුඩා රංග ශාලාවක්, සහ පාසැලක් තිබිනි. සාක්ෂරතාව, නෛතික කාරනා, ස්වභාවික විද්‍යාවන්, සහ ගනිතය උගැන්වීමට සන්ධ්‍යා පන්ති පැවැත්වින.” 27

පෙට්‍රොග‍්‍රෑඩ්හි කම්කරු සමාජයන්හි ඇලෙක්සැන්ඩර් ඔස්ට්‍රොලව්ස්කි, ලියෝ ටෝල්ස්ටෝයි, නිකොලායි ගොගොල් වැනි සුප‍්‍රකට රුසියානු ලේඛකයන්ගේ මෙන්ම, ජර්මානු නාට්‍ය රචක ජර්හාඞ් හොප්මන් හා තවත් අයගේ ද නාට්‍ය රඟ දැක්වින. 28

බෝල්ශෙවිකයෝ, අප හොඳින් දන්නා පරිදි, තාවකාලික ආන්ඩුවට හෝ යුද්ධයට සහාය දීම ප‍්‍රතික්ෂේප කලෝය. වසර පුරා ඔවුහු කම්කරු පන්තිය තුල අනෙකුත් සියලූ ප‍්‍රවනතාවලට එරෙහිව දේශපාලන අරගලයක් පවත්වා ගෙන ගියෝය. සිදුවීම්වල පීඩනය යටතේ කම්හල් එකින්එක බෝල්ශෙවික් පක්ෂයේ දිශාවට පැද්දී එන්නට පටන් ගත්තේය. සිය “රුසියානු විප්ලවයේ ඉතිහාසය” කෘතිය තුල ට්‍රොට්ස්කි, පුටිලොව් වැඩබිමේ එක් සංවිධායකයෙකු සෙස්සන්ගෙන් සුවිශේෂී කොට පැසසුම් කරයි:

විප්ලවයේ ප‍්‍රථම මාසවල දී පුටිලොව් කම්හල එහි 40,000 ක් කම්කරුවන් සමග සමාජ විප්ලවකාරීන්ගේ බලකොටුවක් විය. එහෙත් එහි ගැරිසනය (ආරක්ෂක රැකවල) වැඩි කලක් එය බෝල්ශෙවිකයන්ට එරෙහිව ආරක්ෂා කලේ නැත. බෝල්ශෙවික් ප‍්‍රහාරයේ මුදුනෙහි නිරතුරුව දක්නට ලැබුනේ, ඉහතදී ඇඳුම් මසන්නෙකුව සිටි වොලොඩාර්ස්කිය. ඇමරිකාවේ වසර ගනනක් ගත කර තිබූ, හොඳින් ඉංග්‍රීසි බස කථා කල හැකි යුදෙව්වෙකු වූ වොලොඩාර්ස්කි ජන සමූහයන් ඇමතීමෙහි දී තාර්කිකත්වයෙන්, උපායශිලීත්වයෙන් හා ශූරවීරභාවයෙන් යුත් විශිෂ්ට කථිකයෙක් විය. ඔහුගේ ඇමරිකානු ස්වර ගුනය ඔහු සතුව තිබූ නින්නාද නංවන කටහඬට අද්විතීය ප‍්‍රකාශන ශක්තියක් අත්පත් කර දුන්නේය. දහස් සංඛ්‍යාත ජනයා සහභාගී වූ රැස්වීම්වල එම කටහඬ සංක්ෂිප්තව රැව් පිලිරැව් නැංවීය. මිනිචෙව් නම් කම්කරුවා පවසන පරිදි: “නාර්වා ප‍්‍රදේශයට ඔහු පැමිනි මොහොතේ සිට, පුටිලොව් කම්හලේ භූමිය සමාජ විප්ලවකාරී මහත්වරුන්ගේ දෙපාවලට යටින් නාය යන්නට වූ අතර, මාස දෙකක පමන කාලයක් ගතවන විට, පුටිලොව් කම්කරුවෝ බෝල්ශෙවිකයන් වෙත දිනා ගනු ලැබූහ.” 29

වොලොඩාර්ස්කි යුද සමයේ එක්සත් ජනපදය තුල ඇඳුම් මසන්නන්ගේ ජාත්‍යන්තර වෘත්තීය සමිතියේ හා සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකුව සිටියේය. ඔහු නිව්යෝර්ක්හි පුවත්පතකට ලිපි ලිවීය. රුසියාවට සම්ප‍්‍රාප්ත වීමෙන් පසු ට්‍රොට්ස්කිෙග් මෙශ්රායන්සියට එක් වූ ඔහු ඉන් පසු ට්‍රොට්ස්කි සමග බෝල්ශෙවික් පක්ෂයට එක් විය. 1918 දී ඔහු එස්ආර්වරුන් (සමාජ විප්ලවකාරීන්) අතින් ඝාතනය විය.

පුටිලොව් කම්හල් කමිටුව කම්කරුවන් සන්ධ්‍යා පන්තිවලට සහභාගී වීම සඳහා පෙලඹවූහ: “දැනුම යනු සියල්ලයැයි යන අදහස අපේ විඥානය තුලට ගැඹුරින් කිඳා බසින්නට ඉඩ හරින්න. එය ජීවිතයේ හරයයි. ජීවිතයට අර්ථයක් ලබා දිය හැක්කේ එයට පමනෙකි.” 30

දැන් වඩාත් ප‍්‍රානභූත දැවෙන ගැටලු වන්නේ සංස්කෘතිය හා බුද්ධිය ලබා ගැනීම සම්බන්ධ ගැටලුය. ... සහෝදරවරුනි, විද්‍යාත්මක දැනුම ලබාගැනීමට ලැබී ඇති අවස්ථාව ලිස්සායාමට ඉඩ නොතබන්න. නිෂ්ඵල ලෙස එක පැයක්වත් අපතේ නොයවන්න. සෑම පැයක්ම අපට අගනේය. අප සටන් වැදී සිටින පන්තිවල මට්ටමට එලැඹීමට පමනක් නොව, ඒවා අභිබවා යාමට ද අපට අවශ්‍යමය. ජීවිතය විසින් දෙනු ලැබ ඇති නියෝගය එයයි, එහි ඇඟිල්ල දිගු වී ඇත්තේ එදෙසටයි. දැන් අප අපේම ජීවිතවල ස්වාමියා බවට පත්ව සිටින අතර, එබැවින් අපි දැනුමේ සියලු අවිආයුධවල ස්වාමියා විය යුත්තෙමු. 31

එක් සමීක්ෂනයකට අනුව, පුටිලොව්හි වැද්දුම්කරුවන් අතර සාක්ෂරතා අනුපාතය සියයට 94.7 ක පමන ඉහල අගයක් ගත්තේය. පෙට්‍රොග‍්‍රෑඩ් ලෝහ කම්කරුවන් පොදුවේ සැලකූ කල මෙය සියයට 92 ක් විය. මෙය සංසන්දනය වන්නේ යුරෝපීය රුසියාවේ ගම්බද ප‍්‍රදේශවල එම කාල වකවානුව තුලම පැවැති සියයට 17 ක මට්ටම සමගය. 32

බොහෝ ආකාරයන්ගෙන් ගත් කල, පෙබරවාරියෙන් පසුව කම්කරුවන්ගේ පාලනය ප‍්‍රකාශයට පත්වීම දේශපාලන තලයේ පැවැති “ද්වන්ද බලය” වැඩපොල තුල පිලිබිඹුවීමක් විය. පාලනයේ ඇතැම් අංශ තත්ත්වාකාරයෙන් විප්ලවකාරී කම්කරුවන් අතට පත් වූ නමුදු නෛතික හිමිකම හා පවරාදීමේ අයිතිය දිගටම නීතිප‍්‍රකාරව ධනපතියන් අතේ පැවතින.

කම්කරු පාලනයේ සංසිද්ධිය, නිවැරදි කොන්දේසි යටතේ, “සැලසුම්ගත ආර්ථිකය පුහුනුකිරීම සඳහා වූ පාසැලකැ”යි ට්‍රොට්ස්කි හඳුන්වා දුන්නේය. මෙකී දිශානතීන් ඔස්සේ, 1917 දී, පුටිලොව් කම්හල් කමිටුව වෙලඳසැල් කමිටු පිහිටුවීම පිලිබඳව පහත දැක්වෙන සවිස්තරාත්මක උපදෙස් ලබාදුන්නේය:

මූලික මට්ටමේ ජීවිතය බලාහදා ගන්නා මෙම කමිටු හැකිතාක් ස්වාධීනත්වයක් හා මූලිකත්වයක් විදහා දැක්වීම අත්‍යවශ්‍යය. කම්හල්වල කම්කරු සංවිධානයන්හි සාර්ථකත්වය මුලුමනින්ම රඳා පවතින්නේ එය මතය. ස්වයං පරිපාලනයට පුරුදුපුහුනුවීම මගින් කම්කරුවෝ කම්හල් හා වැඩපොලවල පෞද්ගලික අයිතිය අහෝසි කෙරෙන හා, කම්කරු දෑතින් ඉදිකෙරුනු ගොඩනැගිලි ද සමග නිෂ්පාදන මාර්ග සමස්තයක් ලෙස කම්කරු පන්තියේ අතට පත් කෙරෙන එකී කාලය සඳහා අවශ්‍ය පෙර සූදානම අත්පත් කර ගනිති. එනයින්, කුඩා දේ කරන අතරතුරම, කම්කරු ජනයා [රබොචි නරෝද්] ලඟා වීමට මහත් පරිශ‍්‍රමයක් දරමින් සිටින එකී මහා අතික‍්‍රමනයේ පරමාර්ථය අප නිරතුරුව සිත්හි තබා ගත යුතුය. 33

පෙබරවාරි විප්ලවයෙන් සසලව සිටි පාලක පන්තියට කෙටි කලක් සඳහා කම්කරු පාලනයට එකඟ වී සිටීමට සිදු වූ නමුත්, ධනපතියන් සිය තුලනය යලි අත් කර ගත් වහාම තම පරමාධිකාරය යලිත් තහවුරු කර ගැනීමට ඔවුහු අධිෂ්ඨාන කොට ගෙන සිටියෝය.

“කම්කරුවන්ගේ පාලනයෙන් සමන්විත තන්ත‍්‍රයේ පවතින, එහි සාරයෙන්ම අශමනීය වන විසංවාදයන්; එහි විෂයපථය හා කර්තව්‍යයන් විස්තාරනය කෙරෙත්ම, එම ප‍්‍රමානයටම, නොවැලැක්විය හැකි පරිදි තියුනු කෙරෙනු ඇතැ”යි ට්‍රොට්ස්කි පසුව ලිවීය. 34 ට්‍රොට්ස්කි පැහැදිලි කලේ මෙම “ද්වන්දව බලයේ” තත්වයෙන් පිටවීමට ඇත්තේ මාවත් දෙකක් පමනක් බවයි: එක්කෝ කම්කරු පන්තිය විසින් දේශපාලන බලය අල්ලා ගැනීම, නැතහොත් ප‍්‍රතිවිප්ලවවාදී ආඥාදායකත්වයක්.

කොර්නිලොව් සිද්ධිය

1917 දී රුසියාව තුල මෙකී දෙවැනි විකල්පය, “කොර්නිලොව් සිද්ධිය” ලෙස ප‍්‍රසිද්ධියට පත් ජනරාල් කොර්නිලොව්ගේ රජය පෙරලා දැමීමේ ප‍්‍රයත්නයේ රූපාකාරය අත් කර ගත්තේය. මෙකී කුමන්ත‍්‍රනයේ සන්දර්භය දැනටමත්, මීට ඉහත පැවැති දේශනය තුල සාකච්ඡාවට පාත‍්‍ර වී ඇත.

සියලු වාර්තාවලට අනුව ලව්රේ කොර්නිලොව් යනු මැරවර හා සිත්නොගන්නාසුලු චරිතයකි. ඔහුගේ සගයකු වන ජනරාල් එව්ගිනි මාටිනොව් ඔහු “දේශපාලනයේ විෂයපථය තුල පරම වශයෙන්ම මැටිමෝලෙකු” ලෙස විස්තර කරන අතර ජනරාල් මිඛායිල් ඇලෙක්සීව් ඔහු විස්තර කර ඇත්තේ “සිංහයෙකුගේ හදවතක් හා බැටලුවෙකුගේ මොලයක් ඇති මිනිසෙකු” සේය. 35 වාර්ගික නිල ඇඳුම්වලින් සැරැසී අසිපත් ලෙලවමින් පෙලගැසුන හමුදා භට සේනාංක සමග තමා ප‍්‍රදර්ශනය කර ගැනීමට කොර්නිලොව් ලොල් ව සිටියේය. මිටි, බකල කකුල් සහිත මිනිසෙකු වූ ඔහු කායිකව කුරිරු ප‍්‍රහාරක සුනඛයෙකුගේ අනුරුවක් බඳු විය. ඔහු ක්ලූ ක්ලූක්ස් ක්ලෑන් සංවිධානයට තුල්ය රුසියානු සංවිධානය වූ බ්ලැක් හන්ඩ‍්‍රඩ්හි සහානුභූතිකයෙක් වූයේය.

ලව්රේ කොර්නිලොව් 1917 අ ෙගා්ස්තු

හමුදාව තුල කොර්නිලොව්ගේ වෘත්තීය ජීවිතය සුවිශේෂී ලෙස දීප්තිමත් එකක් වූයේ නැත. 1915 දී වන ගැබ තුල ඉබාගාතේ යමින් සිටි අතරතුර ඔස්ට්‍රියානුවන් විසින් ඔහු අල්ලා ගන්නා ලද නමුදු ඉන් මිදී පලායාමට සමත් විය. කෙරෙන්ස්කිගේ අසාර්ථක වූ ප‍්‍රහාරක ව්‍යායාමයේ දී පසුබසින සෙබලුන්ට වගවිභාගයකින් තොරව වෙඩි තැබීමට අන කිරීම මගින් ඔහු වෙසෙසින් කැපී පෙනුනේය. මේ හේතුවෙන් සෙබලුන් ස්වාභාවිකවම ඔහුට වෛර කල නමුදු, අන්ත දක්ෂිනාංශික කවයන් තුල එය ඔහු ජාතික වීරයෙකු බවට ඔසොවා තැබීය. පසුකලෙක යුද්ධයේදී රිගාව අත්හැර යාමෙන් පසුව කොර්නිලොව් මාර්ගයේ පසෙකින් සිටි සෙබලුන්ට බියසුලුවීම පිලිබඳව චෝදනා කරමින් ඔවුන්ට අහඹු ලෙස වෙඩි තැබීමට සිය නිලධාරීන්ට අන කලේ ඇත්තෙන්ම එම සොල්දාදුවන් වික‍්‍රමාන්විත ලෙස සටන් කොට තිබියදී ය. නිලධාරින් ඒ කෲරකම සිදු කිරීම ප‍්‍රතික්ෂේප කල කල්හි කෝපයෙන් වියරු වැටුනු කොර්නිලොව් එම නිලධාරින් ඉහල නිලධාරියාට අකීකරුවීමේ චෝදනා යටතේ යුද අධිකරනය ඉදිරියට පැමිනවීමට තර්ජනය කලේය.

කොර්නිලොව්ගේ දේශපාලන වැඩපිලිවෙල ගොරහැඩි, එහෙත් සරල එකක් විය. දෙපිටකාට්ටුවෙකු වූ කෙරෙන්ස්කි, මෙන්ශේවිකයන් හා එස්ආර්වරුන් වැනි “මධ්‍යස්ථ” සමාජවාදී පක්ෂ සමග සාකච්ඡා පැවැත්වීමට අදහස් කල අතර, කොර්නිලොව් නම් එවැන්නකට නම්මා ගත හැක්කෙක් නොවේ. කොර්නිලොව් සම්බන්ධයෙන් ගත් කල සියලූ සමාජවාදීන් - බෝල්ශෙවිකයන්, මෙන්ෂේවිකයන් සහ එස්ආර්වරුන් - “රුසියාවේ අභ්‍යන්තර සතුරන්” වූ අතර ඔවුහු බොහෝදුරට විදේශීය බලවේගවලින් ගෙවීම් ලබන ඔත්තුකරුවන්යැයි සිතිය හැකි අය වූහ. කොර්නිලොව් අගනුවරට පා ගමනින් පැමින කම්කරු සංවිධාන සුනුවිසුනු කර නායකයන් එල්ලා දමනු ඇති අතර, ඔහුගේ මාවත හරස් කිරීමට තැත් කරන කවරෙකුට හෝ එරෙහිව කාලතුවක්කුව පාවිච්චි කරනු ඇත.

සාර්වාදී ප‍්‍රභූ හමුදා පැලැන්තීන්, ආන්ඩුවේ නිලධාරීන්, ඉඩම් හිමියන්, සහ ව්‍යාපාරික හා බැංකු අධිපතීන් අතර ජාතියේ ගැලවුම්කාරයෙකුගේ ප‍්‍රභා මන්ඩලය කොර්නිලොව්ගේ හිස මත සීඝ‍්‍රයෙන් වැඞී දිදුලන්නට විය. මුඛ්‍යධාරාවේ පුවත්පත් සියල්ලේ සහයෝගය ඔහුට හිමි විය. ඔහුට ප‍්‍රමුඛ එස්ආර්වරුන්ගේ සහයෝගය පවා හිමි වූ අතර, බෝරිස් සැවින්කොව් මෙන්ම කෙරෙන්ස්කිමත් ඊට ඇතුලත් වූහ.

පෙට්‍රොග‍්‍රෑඩය කරා කොර්නිලොව්ගේ පා ගමනට පෙරාතුව කෙරෙන්ස්කි හා කොර්නිලොව් අතර රහස් කුමන්ත‍්‍රන මාලාවක් පැවැත්තේය. කෙරෙන්ස්කි කොර්නිලොව්ට නොදෙවැනි පරිද්දෙන් “කොර්නිලොව්වාදියෙක්” වූයේය. (මෙම) මිනිසුන් දෙදෙනා අතර වූ භේදය පැවතියේ, පෙට්‍රොග‍්‍රෑඩයේ කම්කරුවන් තලා දැමීමට අත්‍යවශ්‍ය බවට ඔවුන් දෙදෙනාම එකඟව සිටි “ලෙයින් සහ යකඩින්” සැදී ආන්ඩුවේ මුල් පුටුවේ ඔවුන් අතරෙන් කවරෙකු වාඩි වෙන්නේ ද යන කරුන සම්බන්ධයෙනි. දේශපාලන සංස්ථාපිතය තුල කොර්නිලොව් කෙරේ වැඩෙමින් පැවැති සහයෝගය තමාගේම වාසියට පාවිච්චි කිරීමට යත්න දරමින් ජූලි 31 වැනි දින (පැරනි ක‍්‍රමයට 18) කොර්නිලොව් යුද හමුදා ප‍්‍රධානියා ලෙස පත් කලේ ද කෙරෙන්ස්කිමය.

අගෝස්තු 24 වැනි දින (පැරනි 11 ද ) කොර්නිලොව් සිය මාන්ඩලික ප‍්‍රධානියා අමතා, “ලෙනින් විසින් නායකත්වය දෙනු ලබන ජර්මානු ඒජන්තයන් හා ඔත්තුකරුවන් එල්ලා දැමීමට” සහ පෙට්‍රොග‍්‍රෑඞ් සෝවියටය “යලි කොතැනකවත් එකලස් කල නොහැකිවන පරිද්දෙන්” විසුරුවා හැරීමට කාලය එලැඹ ඇතැයි පැවැසීය. 36 අගෝස්තු 25 වන දින (පැරනි 12) පෙට්‍රොග‍්‍රෑඞ් කරා ගමන් කරන ලෙස කොර්නිලොව් හමුදාවට අන කලේය. ඔහු මෙසේ නිවේදනය කලේය: ”අගෝස්තු 28 වැනිදා සන්ධ්‍යාව වන විට සේනාංක පෙට්‍රොග‍්‍රෑඩයේ නගරාසන්න ප‍්‍රදේශවල ස්ථානගත වනු ඇත. මා ඉල්ලා සිටින්නේ, පෙට්‍රොග‍්‍රෑඩය යුද්ධ නීතියට යටත් බව අගෝස්තු 29 වැනිදා නිවේදනය කරන ලෙසයි.”

පෙට්‍රොග‍්‍රෑඞ් කරා පිටත් කොට යැවුනු බලඇනිවලට කොකේසියානු ස්වදේශීය අශ්වාරෝහක බලකාය ද, සාර්ගේ “ම්ලේච්ඡ බලකාය” ද ඇතුලත් විය. කොර්නිලොව්ට සහයෝගය දැක්වූ අයට අගනගරයේ ඇතිවන්නට නියමිතව තුබූ රුධිර ස්නානය පිලිබඳව වූ තම අධික ආශාව සඟවා ගැනීමට අසීරු විය. ඔවුහු එලිපිටම මෙසේ පුරසාරම් කීහ: “ඔය කඳුකර වාසීහු තමන් මරා දමන්නේ කවුරුන්ද යන්න තුට්ටුවකට මායිම් නොකරති.” 37 ධවල හමුදාව විසින් පසුකලෙක භාවිතා කෙරුනු සටන්පාඨ පිලිබඳව අයෙක් මෙසේ සිහිපත් කරති: “අපට සීමා කිරීම් කිසිත් නැත! දෙවියන් අප සමගය.... දිගට හරහට කපා දමව්!” 38 ඉරාකයේ ඇමරිකානු ආක‍්‍රමනය හා බැඳී තිබූ පහත දැක්වෙන සටන්පාඨය මීට තුල්‍ය වන අද්‍යතන උදාහරනයක් වෙයි: “සියලු දෙනා මරා දමා ඔවුන් තෝරා බේරා වෙන්කිරීම දෙවියන්ට භාර දෙනු!”.

කොර්නිලොව් පෙට්‍රොග‍්‍රෑඩය තුල සිය හමුදාව සමග කිරීමට සැලසුම් කරමින් සිටියේ කුමක්ද? රුසියාවේ 1905 විප්ලවය පරාජය වූ කල්හි හමුදාව මොස්කව් නගරයේ ප්රෙවස්න්යාය ප‍්‍රදේශයට කාලතුවක්කු වෙඩි තැබීය. කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් තදබදව හුන් සමස්ත කම්හල් ප‍්‍රදේශයම කැබලිති බවට පත්විය. මෙම දන්ඩනීය ප‍්‍රයානය දුම්රිය මාර්ග ඔස්සේ පැතිර ගියේය: ”දුම්රිය ස්ථානයකට පැමිනෙන භට කන්ඩායම් සියලූ දෙනාටම වෙඩි තබන්නට පටන් ගනිති. කිට්ටුවෙන් සිටින කවරෙකු වේවා - ස්තී‍්‍රන්, ලමුන්, දුම්රිය කම්කරුවන්, එහි සිටින කවරෙකු හෝ- වෙඩි තබා දමන ලදී. ඇතැමෙකු මාර්ගය දිගේ එල්ලා දමන ලද්දේ ජනයා ත‍්‍රස්ත කිරීමේ අරමුනෙනි.” 39

1871 වසර හා 1917 වසර අතර වූ පරතරය ද 1971 සිට වර්තමානය දක්වා ඇති පරතරයම බැව් සිහිතබා ගැනීම වටනේය. පැරීසියේදී කොමියුනාර්ඞ්වරුන් සමූලඝාතනය කර දැමීම සිදු වී තිබුනේ බෝල්ශෙවික් පක්ෂයේ බොහෝ සාමාජිකයන්ගේ ජීවිත කාලය තුලදී ම වන අතර, නායකත්වය එකී අනතුර පිලිබඳව කිසිදා අන්ධව නොසිටියේය. 1918 දී ප‍්‍රතිවිප්ලවවාදින් පින්ලන්තයේ බලය අල්ලා ගත් විට ලක්ෂයකට වැඩි පින්ලන්ත කම්කරුවන් පිරිසක් මරා දමනු ලැබූ බවට වික්ටර් සර්ජ් තක්සේරු කරයි.

එමෙන්ම සටහන් කර ගත යුතු කරුනක් වන්නේ කොර්නිලොව් හා ඔහුට සහාය දුන් අය අතර උන්මත්තක මට්ටමේ යුදෙව්-විරෝධයේ බලගතු සංරචකයක් පැවැති බවයි. කොර්නිලොව්වාදී ජනරාල් ඇන්ටන් ඩෙනිකින් සමග යම් කාලයක් ගත කල බ්‍රිතාන්‍ය යුද වාර්තාකරුවෙකු වූ අර්නස්ට් හොජ්සන් පහත දැක්වෙන නිරීක්ෂනයන් සිදු කරයි:

යුදෙව්වන් රුසියානු කැලඹීමේ ඉතා විශාල සංරචකයක් නියෝජනය කලැයි යන නිගමනයට එලැඹීමට බලකෙරෙන විට මා ඩෙනිකින් සමග මාසයකට වඩා ගත කර නොතිබිනි. නිලධාරීහු හා හමුදාකාරයෝ තම රටට පත් හිරිහැර පිලිබඳව ප‍්‍රායෝගිකව සියලූ දෝෂයන් පවරනු ලැබුවේ හීබෘන් මතය. ඔවුන්ගේ මතය වූයේ සමස්ත උපද්‍රවයම ජාත්‍යන්තර යුදෙව්වන්ගේ යම් විශිෂ්ඨ හා අද්භූත රහස් සමාජයක් විසින් සැලසුම් කොට සකස්කරන ලද්දක් ලෙසය. ජර්මානුන්ගෙන් වැටුප් ලබන හා ඔවුන්ගේ අන පිලිපදින මෙකී රහස් සමාජය නියමිත මනෝමය මොහොත හරිහැටි අල්ලා ගෙන ආන්ඩුව හැසිරවීමේ තෝන් ලනුව ඩැහැ ගෙන ඇත. එවකට ලබා ගත හැකිව පැවැති සියලූ සංඛ්‍යා ලේඛන හා කරුනු මෙම තර්කය වඩාත් වර්න ගන්වන සේ පෙනී ගියේය. බෝල්ශෙවික් කොමිසාර්වරුන් අතරින් සියයට 82 කට නොඅඩු ප‍්‍රතිශතයක් කවුරුත් දැන සිටි යුදෙව්වන් විය. ලෙනින් සමග නායකත්වය ඉසිලූ සාහසික හා ක්ෂමා විරහිත “ට්‍රොට්ස්කි” යිඩිෂ් සම්භවයක් සහිත යුදෙව්වෙකු වූ අතර ඔහුගේ සැබෑ නම බ්‍රොන්ස්ටීන්ය. ඩෙනිකින්ගේ නිලධාරීන් අතර මෙම අදහස කෙතෙක් බිහිසුනු තිත්තකටුක බවක හා බලකිරීමක චිත්තාරූඪයක් වී ද යත්, එය ඔවුන් මෙහෙයවූයේ වඩාත්ම වියරුහුනු හා වඩාත්ම මනස්සෘෂ්ටික ස්වභාවයේ ප‍්‍රකාශයන් කිරීමටය. 40

සිවිල් යුද්ධය අතරතුරේදී ධවල හමුදාවෝ යුරෝපියානු රුසියාව පුරා යුදෙව් සංහාරයක යෙදෙමින් “යුදෙව්-කොමියුනිස්ට්වාදීන්ගේ හදවත්වල සැඟවී සිටින නපුර” විනාශ කර දැමීමට සිය අනුගාමිකයන් දිරි ගැන්වූහ. තමන් සුරක්ෂිතව නැගී සිටින උස්බිම්වල සිට රුසියානු සිවිල් යුද්ධයේ ප‍්‍රචන්ඩත්වය හෙලා දැකීමට බොහෝ ඉතිහාසඥයන් ඉදිරිපත් වනු ඇත. එහෙත් ට්‍රොට්ස්කි හා රතු හමුදාව මුහුන දී සිටියේ කුමකටදැයි සිහියේ තබා ගත යුතුය. බොහෝ ධවල හමුදා නායකයන් තම වෘත්තීය ජීවිතවල පසු අවධියේ නාසීන්ට සහාය දෙමින් ඔවුන් සමග සහයෝගීව ක්‍රියාකිරීම මවිත විය යුතු කරුනක් නොවේ. 41 කොර්නිලොව් කැරැල්ල පසුපස පෙල ගැසුනු බලවේගයෝ මෙයාකාර වූහ.

කොර්නිලොව්ගේ ඉල්ලීම් පිලිබඳව ජෝර්ජි ල්වොව් කුමාරයා විසින් මුලින්ම කෙරෙන්ස්කිට දැනුම් දෙන ලද කල්හි, එය විහිලූවකැයි සිතූ කෙරෙන්ස්කි කොක්හඬලා සිනාසෙන්නට විය. එය සිනාවට කරුනක් නොවන බව බැරෑරුම්ව ඔහුට දැනුම් දුන් ල්වොව් කුමරු, කෙරෙන්ස්කිට තම ජීවිතය වටින්නේ නම් ඔහු ද හැකිතාක් වේගයෙන් පෙට්‍රොග‍්‍රෑඩය හැර දා පලා යා යුතු බැව් පැවැසීය. පෙට්‍රොග‍්‍රෑඩය කරා ප‍්‍රයානයට නායකත්වය දීම සඳහා කොර්නිලොව් තෝරා ගත්තේ, අවශ්‍ය වුවහොත් “මුලුමහත් සෝවියට් සභා සාමාජිකත්වයම එල්ලා දැමීමට” තමන් නොපැකිලෙන බව නිවේදනය කල ජනරාල් ඇලෙක්සැන්ඩර් ක‍්‍රයිමොව්ය. 42 අගෝස්තු 28 වන දින, කොර්නිලොව්ගේ ලඟ ලඟ එලැඹෙන ජයග‍්‍රහනය පූර්වාපේක්ෂා කරමින් පෙට්‍රොග‍්‍රෑඞ්හි කොටස් වෙලඳපොල අහස උසට නැගුනි.

ආරංචිය කම්හල් ප‍්‍රදේශ කරා පැතිරයත්ම, කම්හල් එකින්එක තම අනතුරු හැඟවීමේ නලා හඬවන්නට විය. 1905 සිදුවීම් හරහා ගමන් කොට තුබූ පෙට්‍රොග‍්‍රෑඞ් කම්කරුවෝ, කොර්නිලොව්ට නගරය තුලට ඇතුලුවීමට ඉඩ දුනහොත් ඔහු කුමක් කරනු ඇත්දැයි දැන සිටියෝය. කම්හල් ප‍්‍රදේශවල බෝල්ශෙවික් නායකයන් මුලු වසර පුරාම මෙම උවදුර පිලිබඳව අනතුරු හඟවමින් සිට තිබිනි. පාලක පන්තිය හුදෙක් කාලය ලබා ගැනීම සඳහා ලංසු තබමින් සිටින බවත්, ඉක්මනින් හෝ පසු වී හෝ එය එහි ව්‍යාජ ප‍්‍රතිසංස්කරන ද ව්‍යාජ සභාගයන් ද හැර පියා, බලය යොදා කම්කරු පන්තිය තලා දැමීමට ප‍්‍රයත්න දරනු ඇති බවත් බෝල්ශෙවිකයන් ඔවුන්ට පැහැදිලි කර දී තිබින. අනතුරු හැඟවීමේ සංඥා ඇසූ කම්කරුවන් මහමගට බසින විට ද බෝල්ශෙවික් නායකයෝ තම මුරපලවල් කරා එලැඹ නගරය ආරක්ෂා කිරීමට නියෝග නිකුත්කරමින් උන්හ. පැය ගනනක් ඇතුලත නගරය එහි සියලු වැර යොදා ක්‍රියාත්මක වෙමින් පැවැති අතර සංවිධානය වූ කම්කරු පන්තිය මුලූ බලයෙන් යුතුව නැගී සිටියේය.

මැයි මස, මෙන්ෂේවික් නායක ඉරක්ලි ට්සෙරෙටෙලි සහ සෝවියට් සභා නායකත්වය ක්‍රොන්ස්තාද්හි වඩාත් සටන්කාමි නාවුකයන්ට හිංසාපීඩා පමුනුවන විට ට්‍රොට්ස්කි ට්සෙරෙටෙලිට අනතුරු හැඟවූයේ, “ප‍්‍රතිවිප්ලවවාදී ජනරාල්වරයෙකු විප්ලවයේ ගෙල වටා තොන්ඩුවක් ලෑමට තැත් කරන විටෙක කැඩෙට්වරුන් එම තොන්ඩුවට තෙල් ගල්වනු ඇති අතර ක්‍රොන්ස්තාද් නාවුකයන් අප සමග සටන් වැදීමට හා මියයාමට ඉදිරිපත් වනු ඇත,”43 යනුවෙනි. එහිදී ට්‍රොට්ස්කි හැම අතින්ම නිවැරදි විය: ප‍්‍රතිවිප්ලවවාදී ජනරාල්වරුන් ගැන, කැඩෙට්වරුන් ගැන, සහ ක්‍රොන්ස්තාද් නාවුකයන් ගැන - ඔහු කී සියල්ල නිවැරදි විය. කොර්නිලොව් නගර ද්වාරය අසලට පැමින ඇතැයි යන ආරංචිය කන වැකුනු කල්හි ක්‍රොන්ස්තාද් නාවුකයන් හිස සිට දෙපතුලටම සන්නද්ධව නගරය කරා ගමන් කලේ, එය ආරක්ෂා කිරීම සඳහා තම ජීවිත පරිත්‍යාග කිරීමට සූදානම්ව ය.

අවුරෝරාවේ නැවියෝ ට්‍රොට්ස්කි රඳවා සිටි සිරගෙයට විශේෂ නියෝජිත කන්ඩායමක් එවමින් ඔහුගේ උපදෙස් ඉල්ලා සිටියෝය: තමන් හේමන්ත මාලිගය ආරක්ෂා කල යුතුද? නැතහොත් එහි කඩා වැදිය යුතුද? ඔවුන් පලමුව කොර්නිලොව් සමග ගනුදෙනු බේරා ගත යුතු බවත් කෙරෙන්ස්කි සමග ගනන් බේරීම ඉන්පසුව කල හැකි බවත් ට්‍රොට්ස්කි ඔවුන්ට පැවැසීය.

බෝල්ශෙවික් පක්ෂය නගරය ආරක්ෂා කිරීමේ ප‍්‍රයත්නයේ පෙරමුනෙහිම සිටියේය. නගරයේ සමස්ත ජනගහනය යුද අගල් කැනීම, කටුකම්බි ඇදීම, හා ආරක්ෂක ස්ථානවලට සැපයුම් බෙදාහැරීම සංවිධානය කිරීම සඳහා බලමුලූ ගන්වා ගනු ලැබීය. ජාත්‍යන්තරවාදී මෙන්ශේවිකයෙකු වූ නිකොලායි සුඛානොව් පසුව සටහන් කල නිරීක්ෂනවලට අනුව:

ආරක්ෂක විධිවිධාන සූදානම් කරමින් සිටි [ප‍්‍රතිවිප්ලවයට එරෙහිව සටන්කිරීම සඳහා වූ] කමිටුවට කම්කරු-සෙබල ජනයා බලමුලූ ගන්වා ගැනීමට සිදුවිය. එහෙත් ජනයා, සංවිධානය වී සිටි තාක් දුරට ඔවුන් සංවිධානය කර තිබුනේ බෝල්ශෙවිකයන් විසිනි, අනුගමනය කලේ බෝල්ශෙවිකයන්ය. එම අවස්ථාවේ විශාල, ආමූලික විනයකින් එකට පෑස්සී තුබූ, සහ අගනුවර පහලම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මට්ටම් සමග ඈඳී තුබූ එකම සංවිධානය ඔවුන්ගේ පක්ෂය විය. එයින් තොරව කමිටුව කිසිත් කරකියා ගත නොහැකි බෙලහීනභාවයකට ඇද වැටෙනු ඇත. බෝල්ශෙවිකයන්ගෙන් තොරව ඊට කල හැකිව තිබුනේ තම ආධිපත්‍යය ගිලිහී ගිය කථිකයන්ගේ ආයාචනාවන් හා අකර්මන්‍ය දේශන මගින් කාලය කා දැමීම පමනෙකි. බෝල්ශෙවිකයන් සමග ගත් කල කමිටුවට, සංවිධිත කම්කරුවන්ගේ හා සෙබලුන්ගේ සම්පූර්න බලය සතුව පැවතින. 44

කොර්නිලොව්ගේ ආධාරකරුවන් විදුලි පුවත් යැවීමට තැත් කල විට ටෙලිග‍්‍රාෆ් කම්කරුවෝ ඒවා යැවීම ප‍්‍රතික්ෂේප කලෝය. ඔවුන් තම කාර් වලට නැගී රජයේ ගොඩනැගිලි වෙත තමන් ගෙන යන ලෙස ඉල්ලා සිටි විට රියැදුරෝ ඔවුන් ප‍්‍රවාහනය කිරීම ප‍්‍රතික්ෂේප කලෝය. ඔවුන් පත්‍රිකා මුද්‍රනය කිරීමට උත්සාහ කල විට අකුරු අමුනන්නෝ යන්ත‍්‍රවලට අත තැබීම ප‍්‍රතික්ෂේප කලෝය. නිලධාරීන් කොර්නිලොව්ට සහාය දෙන ලෙස තම සොල්දාදුවන්ට අන දුන් කල එකී සොල්දාදුවෝ නිලධාරීන් අල්ලා ගෙන රඳවා තබා ගත්හ. යුද කර්මාන්තය සමග බැඳී තුබූ කම්හල්වල කම්කරුවෝ තමන් සඳහා ආයුධ නිෂ්පාදනය කොට ඒවා රැගෙන සටන් බිමට ගියෝය.

ජූලි දිනවලින් පසු රතු බලකායේ කන්ඩායම් නිරායුධ කිරීමට තාවකාලික ආන්ඩුව තැත් කොට තිබුනු නමුත් එහි ප‍්‍රතිඵලය වූයේ එකී කන්ඩායම් රහසේ ක්‍රියාත්මක වීමට සැලසීම පමනෙකි. පැරනි හා වැඩි ඵල ප‍්‍රයෝජනයක් නැති ආයුධ පවරා ගැනීමට අධිකාරීන්ට ඉඩ හල කම්කරුවෝ වඩාත්ම වටිනා අවි තමන්ට හැකි කොතැනක හෝ සඟවා තැබූහ. මෙම කාල පරිච්ෙඡ්දය තුල බෝල්ශෙවික් රතු බලකාය, කම්කරු ප‍්‍රදේශවල ක්‍රියාත්මක වූ සන්නද්ධ මිලීෂියාවක තත්වයේ සිට බෝල්ශෙවික් හමුදාවක අරටුව බවට වර්ධනය කලෝය. කම්හල් කමිටු මෙන් රතු බලකායේ කන්ඩායම් ද රූපිකව ගත් කල නිර්පාක්ෂිකය. එහෙත් මෙම සෑම කන්ඩායමකම අරටුව මෙන්ම ඒවායේ නායකත්වය ද වැඩිවැඩියෙන් බෝල්ශෙවික් කම්කරුවන්ගෙන් සමන්විත වෙමින් පැවැතියේය. බෝල්ශෙවික් පක්ෂය රතු බලකායේ කාන්ඩවලට මිලිටරි උපදේශකයන් ද හැකි සෑම විටෙකම ආයුධ ද සම්පාදනය කලේය. මිලිටරි සරඹ අභ්‍යාස පලමුව කම්කරුවන්ගේ තට්ටු නිවාස හා කුලීනිවාස සංකීර්නවල ද ඉක්බිති විවෘතවම කම්හල් අංගනයන්හි ද පවත්වන ලදී.

කොර්නිලොව් පෙට්‍රොග‍්‍රෑඩය දෙසට ගමන් කරන තතු තුල රතු බලකායෝ, රයිෆල් හා මැෂින් තුවක්කුවලින් සන්නද්ධව වීථි අරක් ගත්හ. දසදහස් සංඛ්‍යාත බලගතු රතු බලකාය පෙට්‍රොග‍්‍රෑඩ්හි සියලු ප‍්‍රධාන මූලෝපායාත්මක ස්ථානවල පාලනය වහා සියතට ගත්හ. කම්හල් ප‍්‍රදේශවල බඳවා ගැනීමේ ස්ථාන පිහිටුවීමට රතු බලකාය කටයුතු කල අතර, ඒවා අසල ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන්නන්ගේ දිගු පෝලිම් සෑදී තිබින.

දුම්රිය කම්කරුවෝ, කිසිදු සොල්දාදුවෙකු ප‍්‍රවාහනය කිරීමට කවරෙකු හෝ ඉදිරිපත් නොවිය යුතුයැයි අනතුරු හැඟවීම් සෑම දුම්රිය මාර්ගයක් ඔස්සේම යවන ලදී. දුම්රිය පෙට්ටි අනවශ්‍ය ලී දඬු ආදියෙන් පිරවූ ඔවුහු ඒවා දුම්රිය මාර්ග අවහිරවන සේ නවතා තැබූහ, තවද සෑම දිශාවකටම වූ දුම්රිය මාර්ග සැතපුම් ගනන් ගලවා දැමූහ. ඇතැම් අවස්ථාවල දී කොර්නිලොව්ගේ හමුදාංක දුම්රියවලට පටවා ගත් ඔවුහු ඔවුන් ප‍්‍රතිවිරුද්ධ දිශාවට, එනම් පෙට්‍රොග‍්‍රෑඩයට විරුද්ධ දිශාවට, ප‍්‍රවාහනය කලහ. ඉක්මනින්ම ක‍්‍රයිමොව්ගේ බලඇනි සැතපුම් සිය ගනනක දුම්රිය මාර්ග ඔස්සේ අතරමං වී ගියහ.

ඉනික්බිති පෙට්‍රොග‍්‍රෑඩ් සිට පිටත් වූ විප්ලවවාදී කථිකයෝ තැන තැන අතරමං වී ඇති දුම්රිය කරා යමින් ඒවායේ භටයන් ඇමතීමට වන්හ. තමන්ගේ අන යටතේ සිටි සෙබලුන් තමන් කුමක් කල යුතුදැයි තීරනය කිරීමට රාශිභූතව රැස්වීම් පැවැත්වීමට ද, කමිටු පත් කර ගැනීමට ද, නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට ද, යෝජනා සම්මත කර ගැනීමට ද පටන් ගත් කල ක‍්‍රයිමොව්ට ඇති වූ සන්ත‍්‍රාසය යමෙකුට සිතා ගත හැකිය. කොර්නිලොව්ගේ හමුදාංශ එකින් එක මත රතු කොඩි එසැවෙන්නට පටන් ගත්තේය. ම්ලේච්ඡ බලකාය ලෙස හඳුන්වනු ලැබූ හමුදාංශය පවා, සෝවියට් සම්මේලනයට සහභාගී වූ මුස්ලිම් නියෝජිතයන් හා සාකච්ඡා කිරීමෙන් පසුව රතු කොඩියක් එසැවීය. දින කිහිපයක් ඇතුලත කොර්නිලොව්ගේ කුමන්ත‍්‍රනය වාෂ්ප වී ගොස් තිබින.

නිගමනය

ට්‍රොට්ස්කි විසින් පසුව නිරීක්ෂනය කෙරුනු පරිදි: “කොර්නිලොව්ට එරෙහිව නැගී සිටි හමුදාව, ඔක්තෝබර් විප්ලවයේ හමුදාව බවට පත්වීමට නියමිතව සිටි හමුදාව විය.” 45 කොර්නිලොව්ගේ ඉදිරි ගමන නැවැත්වීම මගින් කම්කරු පන්තිය ප‍්‍රථම වරට විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයක නායකත්වය හා මග පෙන්වීම යටතේ සිය ශක්තිය උරගා බැලූහ. ප‍්‍රතිවිප්ලවයේ බලවේග සමග මෙසේ ශක්තිය උරගා බැලීමෙන් ඉක්බිති පෙට්‍රොග‍්‍රෑඩ් කම්කරුවෝ හොඳින් විමසා බලා පැවැති තතු තක්සේරු කොට ගත්හ. බෝල්ශෙවිකයන්ගේ නායකත්වය ලද ඔවුහු කොර්නිලොව්ට වඩා ශක්තිමත් වූහ. එමෙන්ම ඔවුහු කෙරෙන්ස්කිට ද එස්ආර්වරුන් හා මෙන්ෂේවිකයන් අතර සිටි ඔහුගේ ආධාරකරුවන්ට ද වඩා ශක්තිමත් වූහ. ඔවුන් නැවැත්වීමට සමත් සමාජ බලවේගයක් නොතිබින. ප‍්‍රමුදිත මනෝභාවයකින් යුත් කම්කරුවෝ හා සෙබලූ, බිහිසුනු ව්‍යසනයකින් රට ආරක්ෂා කොට ගෙන හුන් තමන් වීරයන් ලෙස සලකා ගත්හ. පැවැති මනෝභාවයන් සන්නද්ධ රථ අංශයේ සෙබලෙකු විසින් පසුව සිහිපත් කෙරුනු ආකාරය ට්‍රොට්ස්කි මෙසේ උපුටා දක්වා ඇත - “එය කවරාකාරදැයි කියතොත්, එවැනි එඩිතර කමක් ඇත්නම් අපට මුලු ලෝකය සමග වුව සටන් කල හැකිය.” 46

ධනපති පන්තිය සමග “සභාගයන්” පැවතිය නොහැකි බවට බෝල්ශෙවිකයෝ නිවැරදි ලෙස අනතුරු හැඟවූහ. ලැබෙන ප‍්‍රථම අවස්ථාවේ දී කම්කරු පන්තිය යලිත් වහල්භාවයට ඇද දැමීමට ධනපති පන්තිය අධිෂ්ඨාන කොට ගෙන සිටියේය. මෙන්ෂේවිකයන් හා එස්ආර්වරුන් ඇතුලුව ධනපති පන්තිය සමග සම්මුතියකට සහයෝගය දක්වා තිබූ සියලූ පක්ෂ අපකීර්තියට පත් වී තිබින. බෝල්ශෙවිකයන් අනතුරු ඇඟවූ පරිදි, තෝරා ගැනීම තිබුනේ ප‍්‍රතිවිප්ලවකාරී ආඥාදායකත්වයක් හා කම්කරු බලය අතරය. තමන් අතට බලය ගැනීම විනා අන් විකල්පයක් නොමැති බව කම්කරුවෝ දුටුවෝය.

ගොවි ජනයා සහ යුද්ධය සඳහා ආසන්න සමයේ බඳවා ගැනුනු සෙබලූන් මත පදනම්ව සිටි එස්ආර් පක්ෂය දැවැන්ත කඩා වැටීමකට ලක් විය. එස්ආර් නායකත්වයේ කොටසක් කොර්නිලොව් කැරැල්ලට ගැඹුරින් ම සම්බන්ධව සිටි අතර, කිසිදු සැලකිය යුතු ඉඩම් ප‍්‍රතිසංස්කරනයක් බලගැන්වීමට අසමත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස පක්ෂයට පැවැති සහාය ඒ වන විටත් පැවතුනේ පහත වැටෙමිනි. “සෝවියට් බහුතරය සැදුම් ලත් පක්ෂ කෙරේ විශ්වාසය බිඳී තුබූ මහජනයා, ප‍්‍රතිවිප්ලවයේ අන්තරාය සිය ඇස්වලින්ම දුටු” බැව්, ඔක්තෝබරයේ පාඩම් කෘතිය තුල ට්‍රොට්ස්කි ලියයි. “දැන් මේ තත්වයෙන් ගොඩ ඒමේ මගක් පාදා ගැනීම බෝල්ශෙවිකයන්ට පැවරී ඇතැයි යන නිගමනයට ඔවුහු එලැඹ ගත්හ.” 47

කොර්නිලොව් කුමන්ත‍්‍රනයේ පරාජය සමගම එලැඹි සමයේ බෝල්ශෙවිකයෝ මොස්කව් හා පෙට්‍රොග‍්‍රෑඩ් සෝවියට් සභාවල මෙන්ම, ප‍්‍රාදේශීය සෝවියට් සභා දිනෙන් දින වැඩිවෙමින් පැවැති සංඛ්‍යාවක ද බහුතර බලය දිනා ගත්හ. කම්කරුවන් 150,000 ක් නියෝජනය කරමින් ඌරල්හි පැවැති වෘත්තීය සමිති සම්මේලනයක දී බෝල්ශෙවික් සමුලූ යෝජනා සම්මත විය. මොස්කව් ගැරිසනයේ එක් සෙබලෙක් සිහිපත් කල පරිදි, “සියලූ භට කන්ඩායම් බෝල්ශෙවික් වර්නය ලබා සිටියෝය. ... ජනරාල් කොර්නිලොව් වැඩි කල් නොයවා පෙට්‍රොග‍්‍රෑඩ් නගර ද්වාරය කරා පැමිනෙනු ඇතැයි යන ... (බෝල්ශෙවිකයන්ගේ) ප‍්‍රකාශය සත්‍ය වූ ආකාරය සියලු දෙනාටම තදින් දැනී තිබින. 48 කම්හල් හා වෙලඳසැල් කමිටුවල සමස්ත රුසියානු සම්මේලනයක්, කම්කරුවන්ගේ පාලනය ”මුලූමහත් රටෙහිම යහපත පිනිස වන බවත්, ඒ සඳහා විප්ලවකාරී ගොවි ජනයා සහ විප්ලවකාරී හමුදාව සහාය දිය යුතු බවත්” නිවේදනය කෙරෙන අභියෝජනාවක් සම්මත කලේය. ට්‍රොට්ස්කි මෙසේ සිහිපත් කරයි: “නව ආර්ථික පර්යායකට දොර විවර කරන මෙම යෝජනාව, රුසියාවේ සියලූ කාර්මික ව්‍යවසායයන් නියෝජනය කල නියෝජිතයන් විසින් සම්මත කර ගනු ලැබුවේ ඊට එරෙහිව ඡන්ද පහක් පමනක් ලබමින් හා නව දෙනෙකු පමනක් ඡන්දයෙන් වැලකී සිටියදීය.” 49

ලියොන් ට්‍රොට්ස්කි

සෝවියට් සභා තුල බෝල්ශෙවිකයන් බහුතර බලය ලෙස මතු වී ඒම, රුසියානු විප්ලවයේ පරිවර්තනීය ලක්ෂ්‍යයක් විය. කොර්නිලොව් සිද්ධියට පෙරාතුව, පෙබරවාරියෙන් පසු ගොඩනගන ලද සෝවියට් සභා පද්ධතිය තුල බෝල්ශෙවිකයෝ සුලුතරයව සිටියාහ. ඔක්තෝබර් 8 වන දින (පැරනි සැප්තැම්බර් 25), විප්ලවකාරී රුසියාවේ වඩාත්ම වැදගත් තනතුර ලෙස තර්ක කල හැකි පෙට්‍රොග‍්‍රෑඩ් සෝවියට් සභාවේ සභාපති ධුරයට නව බහුතරය විසින්, 1905 විප්ලවය සමයේ එකී සෝවියට් සභාවේ ප‍්‍රධාන ප‍්‍රකාශකයා ලෙස කටයුතු කර තිබූ ලියොන් ට්‍රොට්ස්කි තෝරා පත් කර ගන්නා ලදී. ට්‍රොට්ස්කි මේ දිනවලට ආසන්නයේ සිර අඩස්සියෙන් මුදා හරිනු ලැබ සිටි අතර නීත්‍යානුකූලව සැලකූ කල ඔහු තවමත් සිටියේ, කෙරෙන්ස්කි ආන්ඩුව විසින් නගන ලද රාජ්‍ය ද්‍රෝහීත්වයේ අධිචෝදනා යටතේය. ඔහු වේදිකාවට නැගෙන විට කම්කරුවන්ගේ හා සෙබලූන්ගේ නියෝජිතයන් විසින් ඔහු පිලිගනු ලැබුනේ, එක් නිරීක්ෂකයෙක් විස්තර කල පරිදි, “චන්ඩ මාරුතයක් බඳු ඔල්වරසන් හඬක්” නංවමිනි. 50

“බෝල්ශෙවික්වාදය රටෙහි ස්වාමිත්වයට පත්වීයැ”යි ට්‍රොට්ස්කි ලියයි. “බෝල්ශෙවිකයෝ අනභිභවනීය බලයක් බවට පත් වූහ. ජනයා ඔවුන් සමග වූහ.” 51 සුලුතරයේ සිට බහුතරය කරා වූ ශීඝ‍්‍ර පරිවර්තනය, ඊලඟට කල යුතුව ඇත්තේ කුමක්ද යන්න පිලිබඳව තියුනු මතභේදයක් මතු වී ඒම කඩිනම් කලේය. මෙකී මතභේදය මෙම දේශන මාලාවේ ඊලඟ දේශනයට විෂය වනු ඇත.

1917 සැප්තැම්බර් 12 නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කොර්නිලොව් සම්බන්ධයෙන් සිය අනුමැතිය

“පෙබරවාරි විප්ලවය හා කෙරන්ස්කිගේ අහිමි වූ අවස්ථාව” යන මාතෘකාව යටතේ මේ වසරේ පලවූ ලිපියක් තුල නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පහසුවෙන්ම “කොර්නිලොව්” යන නාමය මුලූමනින් අතහැර දමයි. 52 ඔක්තෝබරයෙන් පසු සෝවියට් බලය ගොඩ නැගීම හෙලා දකින අතර, ඊට පැවැති විකල්පය සඳහන් කිරීමෙන් හුදෙක් වැලකී සිටී. එහෙත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මේ ගැන ඊට වැඩි යමක් දනී. මක්නිසාදයත් 1917 දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කොර්නිලොව් සම්බන්ධයෙන් සිය අනුමැතිය පල කලේ ඔහු, “දොස් පවරනු ලැබිය යුතු තරමට දීර්ඝ කාලයක් ශාන්තව සිටීමෙන් පසුව, රුසියාව ශීඝ‍්‍ර ලෙස දියකර හරිනු වැලැක්වීමට, එය ජාතියක් වශයෙන් තබා ගැනීමට, එහි විසුරුවා හැරීම නැවැත්වීමට, තනි වචනයකින් කිවහොත් එය රැකගැනීමට අවසානයේ ඒකාබද්ධ වූ එකී බලවේගවල හුදු නියෝජිතයෙකු පමනෙකැ”යි නිවේදනය කරමිනි. 53

මැක්මීකින්ගේ ප‍්‍රකාශ වඩාත් නිශ්චිතය. කොර්නිලොව් සිද්ධිය පිලිබඳ ඔහු ලියා ඇත්තේ මෙසේය: “දුරදිග නොබලන පියවරක් ගනිමින් කෙරෙන්ස්කි බෝල්ශෙවික් මිලිටරි සංවිධානයට යලි සන්නද්ධවීමට ඉඩ හලේ, එමගින් තවත් දෙමසක ඇවෑමෙන් තමා බලයෙන් පහකර දැමීමට ඔවුන් විසින් භාවිත කෙරෙනු ඇති ආයුධ අත්පත් කර ගැනීමට ඔවුන්ට අවකාශ සලසමිනි.” 54 මෙහි අර්ථය සරලය. බෝල්ශෙවිකයන්ට ආයුධ ගැනීමට “ඉඩ දීම” ප‍්‍රතික්ෂේප කිරීම යනු කොර්නිලොව්ට පෙට්‍රොග‍්‍රෑඩ්තුලට පැමිනීමට “ඉඩ දීම”යි.

කොර්නිලොව් නවතනු ලැබ නොතිබිනි නම්, ස්වාභාවිකවම අද දින අප 1917 ඔක්තෝබර් විප්ලවය පිලිබඳ අධ්‍යයනය නොකරනු ඇත. ඔක්තෝබර් විප්ලවයකින් තොර තතු යටතේ අපේ ලෝකයේ පෙනුම නිසැකවම මීට වඩා බෙහෙවින් වෙනස් වනු ඇත. 1917 වසර ප‍්‍රථම සමාජවාදී කම්කරු රාජ්‍යයේ සංස්ථාපනය සනිටුහන් නොකරනු ඇත. ඒ වෙනුවට 1917 වසර, 20 වන සියවසේ ප‍්‍රථම ජනඝාතක ආඥාදායකත්වයේ සංස්ථාපනය සනිටුහන් කරනු ඇත්තේ එය ස්පාඤ්ඤයේ හෝ, ඉතාලියේ හෝ, ජර්මනියේ හෝ නොව 1917 දී රුසියාවේ පිහිටුවනු ලැබීමෙනි.

1917 අගෝස්තුවේ කොර්නිලොව් කුමන්ත‍්‍රනය, සාර්ථක වී නම්, එමගින් පෙට්‍රොග‍්‍රෑඩය ලෙයින් නැහැවීමට තමන්ගේ ඇති සූදානම පිලිබඳව එලිපිටම කයිවාරු ගසමින් සිටි ව්‍යාකූලත්වයට පත් ජනරාල්වරුන්ගේ, යුදෙව්-විරෝධී උන්මත්තකයන්ගේ හා අන්ත ආගම්වාදීන්ගේ කල්ලියක් බලයට එනු ඇත. සමාජවාදීන් තලා කර දමමින් ඔවුන් තමන්ට සොයා ගත හැකි සෑම ස්ථානයකදී ම සමාජවාදීන් මුලිනුපුටා දමමින්, නැගෙනහිර යුරෝපය හා ආසියාව සිසාරා යනු ඇත. තව ද ඔවුන්ට මෙකී ව්‍යාපෘතිය සඳහා රුසියානු ධනපති පන්තියෙන්, ජනරාල්වරුන්ගෙන්, සහ වංශවතුන්ගෙන් පලවන උද්‍යෝගිමත් සහාය ද ප‍්‍රන්සයේ, බ්‍රිතාන්‍යයේ හා එක්සත් ජනපදයේ සහයෝගය සමගම භුක්ති විඳිය හැකි වනු ඇත.

නිව්යෝර්ක් ටයිම්ස් වැනි පාර්ශ්වයන්ගෙන් බෝල්ශෙවිකයන් පිලිබඳ හෙලාදැකීම් ඇසෙන විට යමෙකු වටහා ගත යුතු දෙයක් වෙයි. එනම්, ඔවුන් සැබවින්ම කියා සිටින්නේ තමන් කොර්නිලොව්ට වඩාත් කැමති වනු ඇති බවය. නිව්යෝර්ක් ටයිම්ස් 1917 දී කොර්නිලොව්ගේ පරාජය සම්බන්ධයෙන් කෝපාවිෂ්ඨ වූ අතර, අවුරුදු සියයක ඇවෑමෙන් ඔවුහු අද ද ඒ පිලිබඳව කෝපයෙන් පසු වෙති. පෙට්‍රොග‍්‍රෑඩ්හි කම්කරු පන්තියේ වාසනාවට හා පෘථිවිය නම් ග‍්‍රහලෝකය මත මානව ශිෂ්ඨාචාරයේ වාසනාවට කොර්නිලොව් 1917 දී නවත්වනු ලැබූ අතර, ඔහුගේ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීමට අවකාශ නොසලසන ලදී.

එක්සත් ජනපදයේ පැරනි දකුනුදිග වහල් ක‍්‍රමය ක්‍රියාත්මක වූ දිනවලදී, වහලෙකුට කියැවීමට ඉගැන්වීම නීතිවිරෝධී විය. වහලූන් අතර දේශපාලන විඥානය වර්ධනය වුවහොත් කුමක් සිදුවනු ඇත්දැයි වහල් හිමියෝ භීතියට පත්ව සිටියහ. එපරිද්දෙන්ම අද දවසේ, 2017 දී, රුසියානු විප්ලවයේ ඉතිහාසය හා සම්ප‍්‍රදායයන්ගෙන් කම්කරුවන් හා තරුනයන් කපා වෙන් කිරීමට සෑම ප‍්‍රයත්නයක් ම දරනු ලැබේ. සංවිධානය වී සිටින හා විප්ලවකාරී මාක්ස්වාදී පක්ෂයක් මගින් න්‍යායික මග පෙන්වීම ලබන දේශපාලනිකව සවිඥානක කම්කරුවන්ට කවරාකාර දේ ඉටු කල හැකිදැයි පීඩිත මහජනයා හා මානව වර්ගයා සොයා ගතහොත් සිදු විය හැක්ක පිලිබඳව පාලක පන්තීහු භීතියට පත්ව සිටිති. 2017 වසරේ බෝල්ශෙවිකයන්ට එරෙහිව එල්ල කෙරෙන බේගල් හා මඩ ප‍්‍රහාරවල නව රැල්ලට හේතුභූත වී ඇත්තේ එයයි.

බෝල්ශෙවික් පක්ෂය නායකත්වය දුන්නේ දේශපාලනිකව සවිඥානක වූ මහජන ව්‍යාපාරයකටය. කාලය හා භූ අවකාශය හරහා වූ මෙම ව්‍යාපාරයේ බලපෑම හා සම කල හැකි අන් කිසිවක් නැත. මේ දක්වා ලෝක ඉතිහාසය තුල බිහි වූ වඩාත්ම බලගතු හා ප‍්‍රගතිශීලි ව්‍යාපාරය මෙය විය. 21 වන සියවසේ අභියෝගවලට මුහුනදීමට නැගෙන කල්හි ජාත්‍යන්තර කම්කරු පන්තියට මීට වඩා දුර යා හැකි අතර, එසේ යා යුතුය.

බෝල්ශෙවික් වැඩපිලිවෙල නියෝජනය කලේ, අධිරාජ්‍යවාදී යුද්ධය හා මිනිසා විසින් මිනිසා සූරාකනු ලැබීම සදහටම අවසන් කර දැමෙන පරිදි මෙම සමස්ත ග‍්‍රහලෝකය මත මානව ශිෂ්ඨාචාරය වඩාත් වැඩි දියුනු හා සහේතුක මට්ටමක් මත ප‍්‍රතිසංවිධානය කිරීමට කිසිසේත් නොඅඩු දෙයකි. ඔවුන්ගේ අරමුන වූයේ සියලු ආන්ඩු බලයෙන් පහ කොට, සියලු දේශසීමා විවෘත කොට, සියලු යුද්ධ නවතාලීමයි. මෙම වැඩපිලිවෙල, හුදෙක් රුසියාව තුල පමනක් නොව, ලොව පුරාම මහජන සහාය ලැබීය. ඒ, එම වැඩපිලිවෙල ලෝක ඉතිහාසයේ වඩාත්ම බලගතු හා ප‍්‍රගතිශීලී සමාජ බලවේගයේ -ජාත්‍යන්තර කම්කරු පන්තියේ- වෛෂයික උත්සුකයන් හා අරගල සමග අන්තර්ෙඡ්දනය වූ නිසාය.

****

සටහන්:

1. සීන් මැක්මීකින්, The Russian Revolution: A New History රුසියානු විප්ලවය: නව ඉතිහාසයක් (නිව්යෝක් බේසික් බුක්ස්, 2017) පි. XV

2. එම, පි. 12.

3. එම, පි. XII

4. රෙක්ස් ඒ. වේඞ්, The Russian Revolution 1917 රුසියානු විප්ලවය 1917 (කේම්බි‍්‍රජ්: කේම්බි‍්‍රජ් යුනිවර්සිටි ප්‍රෙස්, 2017* පි. 97.

5. එස්.ඒ. ස්මිත්, Red Petrograd රතු පේට්‍රොග‍්‍රෑඩය (කේම්බ්‍රිජ්, කේම්බ්‍රිජ් යුනිවර්සිට් ප්‍රෙස්, 1983), පිටු 9-10.

6. ලියොන් ට්‍රොට්ස්කි, History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය (චිකාගෝ: හේමාකට් බුක්ස්, 2008), පි. 26.

7. ස්මිත්, Red Petrograd රතු පේට්‍රොග‍්‍රෑඩය, පි. 29.

8. එම, පි. 14.

9. එම, පි. 38.

10. වී. අයි. ලෙනින්, Collected WorksWhat is to be done,කල යුත්තේ කුමක් ද? (මොස්කව්: ප්‍රෝග්‍රෙස් පබ්ලිෂර්ස්, 1960).

11. ට්‍රොට්ස්කි, History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය, පි. 27.

12. ස්මිත්, Red Petrograd රතු පේට්‍රොග‍්‍රෑඩය, පි. 49.

13. ට්‍රොට්ස්කි, History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය, පි. 28.

14. ස්මිත්, Red Petrograd රතු පේට්‍රොග‍්‍රෑඩය, හි එන උපුටා දැක්වීම පි. 29.

15. වේඩ්, The Russian Revolution 1917 රුසියානු විප්ලවය 1917, පිටු 117-118.

16. ට්‍රොට්ස්කි, History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය, පි. 28.

17. ස්මිත්, Red Petrograd රතු පේට්‍රොග‍්‍රෑඩය, පි. 52.

18. ට්‍රොට්ස්කි, History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය, පි. 110.

19. ස්මිත්, Red Petrograd රතු පෙට්‍රොග‍්‍රෑඩය, පි. 57.

20. පිවිසුම: www.wsws.org/en/articles/2008/10/rrev-o21.html

21. වී.අයි. ලෙනින්, Collected Works, වෙලඳසැල් කමිටු සාකච්ඡාවේදී කල කථාව, එකතුකල කෘති, වෙලුම 24, (මොස්කව්: ප්‍රෝග්‍රෙස් පබ්ලිෂර්ස්, 1964) පි. 557.

22. ස්මිත්, Red Petrograd රතු පෙට්‍රොග‍්‍රෑඩය, පි. 80.

23. එම, පිටු 100-101.

24. එම, පි. 96.

25. එම

26. එම

27. එම

28. එම, පි. 97.

29. ට්‍රොට්ස්කි, History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය, පි. 304.

30. ස්මිත්, Red Petrograd රතු පෙට්‍රොග‍්‍රෑඩය, පි. 95.

31. එම

32. එම, පි. 34.

33. එම, පි. 81.

34. Leon Trotsky, “The Question of Workers’ Control of Production (1931)",

පිවිසුම: https://www.marxists.org/archive/trotsky/germany/1931/310820.html

35. ඇලෙක්සැන්ඩර් රබිනොවිච්, The Bolsheviks Come to Power, බොල්ශෙවිකයෝ බලයේ (චිකාගෝ: හේමාකට් බුක්ස්, 2004), පි. 97.

36. එම, පි. 109.

37. ට්‍රොට්ස්කි, History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය, පි. 506.

38. А. Литвин, Красный и белый террор 1918*1922, Эксмо, 2004, ච. 174. (උපුටා ගැනීම Wikipedia: https://en.wikipedia.org/wiki/White_Terror_(Russia)

39. ෆ්‍රෙඞ් විලියම්ස්, ”1905 උරුමය හා රුසියානු විප්ලවයේ මූලෝපාය, රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද? කම්කරු මාවත ප‍්‍රකාශන.

40. John Ernest Hodgson, “With Denikin~s Armies: Being a Description of the Cossak Counter-Revolution in South Russia, 1918-1920"˜ ^London: Temple Bar Publishing Co." 1932&, පිටු 54-56. (උපුටා ගැනීම Wikipedia: https://en.wikipedia.org/wiki/Anton_Denikin

41. උදාහරනයක් ලෙස නිකොලායි මාර්කොව්, බ්ලැක් හන්ඩ‍්‍රඞ්වරුන් හා අන්ත දක්ෂිනාංශික Union of the Russian People (රුසියානු ජනතා සංගමය) සමග සම්බන්ධකම් පැවැත්වූවෙකි. කොර්නිලොව්ට සහාය දුන් නිකොලායි යුදෙනිච් ජනරාල්වරයාට සමීපව සිටි අතර පසුව ධවල හමුදාවේ නායකයෙකු විය. 1928 දී ඔහු නාසි පක්ෂයේ ආධාරකරුවෙකු වූ අතර, 1930 ගනන්වල දී නාසීන් වෙනුවෙන් ප‍්‍රචාරක සංචාර පැවැත්වීය. දෙවැනි ලෝක යුද්ධයේ දී නාසීහු තමන් අල්ලා ගත් සර්බියාව තුල, රුසියානු විප්ලවයට එරෙහිව විප්ලව සමයේ හා සිවිල් යුද්ධ සමයේ පලා ආ විගාමිකයන් (White émigrés) 11,000 කින් සමන්විත රුසියානු ආරක්ෂක බලකා( Russkii Korpus) පිහිටවූවෝය. මෙම ඒකකයේ අනදෙන නිලධාරියා වූයේ ධවල හමුදාවේ සේවය කල සාර්වාදී ජනරාල්වරයෙකු වූ හා පසුව නාසීන් සමග සහයෝගී වූ බොරිස් ශ්ටෙයිෆොන්ය. ඇනස්ටසි වොන්ස්යාට්සි වූ කලී ජනරාල් ප්යෝතර් රැන්ග්ල් යටතේ ධවල කැරැුල්ලට සහභාගී වූ අන්‍යයන් ද සමග කි‍්‍රමියාවෙන් ඉවත් කර ගනු ලැබූ ධවල නිලධාරියෙකි. එක්සත් ජනපදයට විගමනය වීමෙන් පසු ඔහු රුසියන් ෆැසිස්ට් පක්ෂයේ නායකයෙකු බවට පත්විය.

42. රබිනොවිච්, The Bolsheviks Come to Power, බොල්ශෙවිකයෝ බලයේ, පි. 109

43. ට්‍රොට්ස්කි, History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය, පි. 595.

44. රබිනොවිච්, The Bolsheviks Come to Power, බොල්ශෙවිකයෝ බලයේ , පි. 132.

45. ලියොන් ට්‍රොට්ස්කි, My Life මගේ ජීවිතය (නිව් යෝර්ක්, පාත්ෆයින්ඩර් ප්‍රෙස්, 1970*, පි. 431.

46. ට්‍රොට්ස්කි, History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය, පි. 562.

47. ලියොන් ට්‍රොට්ස්කි, ඔක්තෝබර් විප්ලවයේ ආරක්ෂාව සඳහා, කම්කරු මාවත ප‍්‍රකාශන

48. ට්‍රොට්ස්කි, History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය, පි. 562.

49. එම, පි. 673. ,

50. අයිසැක් ඩොයිශ්චර්ල The Prophet Armed: Trotsky" 1879-1921 සන්නද්ධවූ අනාගත වක්තෘ: ට්‍රොට්ස්කි,1879-1921 (නිව්යෝක්: වර්සෝ බුක්ස්, 2003*, පි. 237.

51. ට්‍රොට්ස්කි, History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය, පි. 672.

52. John Quiggin, “The February Revolution and Kerensky’s Missed Opportunity” නිව්යෝර්ක් ටයිම්ස්, 2017 මාර්තු 6.

53. “Why Korniloff Rebelled” නිව්යෝර්ක් ටයිම්ස්, 1917 සැප්තැම්බර් 12.

54. Sean McMeekin, “Was Lenin a German Agent?” නිව්යෝර්ක් ටයිම්ස්, 2017 ජූනි 19.

Share this article: