සසප පලාත්පාලන මැතිවරන උද්ඝෝෂනය:

සසප කොලොන්නාවේ සාලමුල්ල සහ දහම්පුර වැසියන් සමග සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 ජනවාරි 12

සමාජවාදී සමානතා පක්ෂය (සසප), පෙබරවාරි 10 දින පවැත්වෙන පලාත් පාලන මැතිවරනයේදී අපේක්ෂකයින් 21ක් ඉදිරිපත් කරමින් කොලොන්නාව නගර සභාව සඳහා තරඟ වදියි. පසුගිය සති අන්තයේ දී සසප සමාජික සාමාජිකාවන් කොලොන්නාව සාලමුල්ල මහල් නිවාසයන්හි සහ දහම්පුර ප‍්‍රදේශවාසීන් අතර කල උද්ඝෝෂනයන්හි දී, සසප යේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල පිලිබඳ උද්‍යෝගිමත් සාකච්ඡාවක් අවුලුවාගත හැකිවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු සංස්ථාපිතයේ සියලු ධනපති පක්ෂ සම්බන්ධයෙන් මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම පක්ෂ සම්බන්ධයෙන් ඔවුන් අතර වැඩී ඇති බලගතු විරෝධය මෙම සාකච්ඡාවන්හි දී කැපී පෙනුනි.

ඡන්ද කොට්ඨාස නවයකින් යුත් කොලොන්නාව නගර සභා බල ප‍්‍රදේශය, කොලඹ නගරය තදාසන්නව පිහිටි, දරිද්‍රතාවයෙන් වඩාත්ම ඉහල ප‍්‍රදේශයකි. පසුගිය සියවස තුල රැකියාවන් සොයා ගමෙන් නගරයට ඇදුනු පීඩිතයන්ට අමතරව, තිස් අවුරුදු වර්ගවාදී යුද්ධය හා 2004 සුනාමි ව්‍යසනය නිසා අවතැන්ව කොලඹට සංක‍්‍රමනයවූවන් හා කොලඹ මහ නගර සභා බල ප‍්‍රදේශය තුල පිහිටි දුගී නිවාස කඩා ඉවත් කිරීම නිසා අවතැන්වූ දහස් ගනනක් පීඩිතයෝ කොලොන්නාව නගර සීමාව තුල, ඉතා කටුක ජීවන තත්වයන් යටතේ ජීවත් වෙති. කලක් රාජ්‍ය සේවයේ හා වරාය ආශ‍්‍රිත කර්මාන්තශාලාවන්හි සේවයේ නියුතු කම්කරුවන් බහුතරව ජීවත් වූ ප‍්‍රදේශයක් වූ කොලොන්නාව තුල, පසුගිය දශක දෙක තුල රාජ්‍ය සේවයේ හා නිෂ්පාදන ආර්ථිකයේ කඩා වැටීම නිසා, තරුන විරැකියාව, දරිද්‍රතාව, නිවාස හිඟය හා මන්ද පෝෂනය වැනි සමාජ ගැටලු රාශියක් පැන නැගී ඇත.

පසුගිය වසර දෙක තුල පමනක්, 2016 ගංවතුර, 2017 ගංවතුර, හා 2017 අප්‍රේල් මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම යන ව්‍යසනයන් නිසා කොලොන්නාව ප‍්‍රදේශයේ අවම වශයෙන් පනස් දෙනෙකුවත් මියගිය අතර පවුල් සිය ගනනක් අවතැන් වූහ. මීට අමතරව ඩෙංගු, පාචන හා ශ්වසන රෝග නිසා කුඩා ලමුන්ද ඇතුලුව සැලකියයුතු ගනනක් මියයති. මේ සියලු ව්‍යසනයන් හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට, සමාජ ජීවිතයට හා ආර්ථිකයට වැදී ඇති පහර අතිමහත් ය.

පසුගිය රාජපක්ෂ ආන්ඩුව හා වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මහජනතා විරෝධය නොතකා මීතොටමුල්ලේ ගොඩනැගූ කසල කන්ද නායයාමෙන් අවම වශයෙන් 32 දෙනෙකු මියගිය අතර 100 කට වැඩි ගනනකට තුවාල සිදුවිය. අට දෙනෙක් තවමත් අතුරුදන්ව සිටිති. පවුල් 198කට අයත් දහසකට වැඩි පිරිසක් මින් පීඩාවට පත්වූ අතර ගෙවල් 146 ක් පූර්න හෝ අර්ධ වශයෙන් විනාශ විය. සංකේතාත්මක වන්දියක් පමනක් ලබාදෙමින් ආන්ඩුව පීඩාවට පත්වුවන් නොතකා හැර ඇති අතර පවුල් අතලොස්සකට කුඩා නිවාස ලබාදුන් නමුත් ඒවායේද ප‍්‍රමානවත් පහසුකම් නැත.

මේ තතු තුල ප‍්‍රදේශයේ ජනතාව සිටින්නේ සංස්ථාපිතයේ සියලු දේශපාලන පක්ෂ පිලිබඳව දැඩි කෝපයකින් හා පිලිකුලකිනි. “මීතොටමුල්ල කුනුන්කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය” තුලින් ප‍්‍රදේශ වාසීන් දුෂ්ට දේශපාලන රැවටීමකට ලක් කල පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැනද ජනතාව තුල ඇත්තේ ඊට නොදෙවැනි පිලිකුලකි. පලාත් පාලන මැතිවරනයේදී තමන් චන්දය අවලංගු කරන බව බොහෝ ප‍්‍රදේශ වාසින් සසප උද්ඝෝෂකයන්ට පැවසීය.

කොලොන්නාව ප‍්‍රදේශවාසීන් මුහුන දී ඇති අතිශය කටුක හා අනතුරුදායක ජීවන කොන්දේසි ධනපති ක‍්‍රමය මුහුන දී සිටින ජාත්‍යන්තර පරිමාන අර්බුදයේ ප‍්‍රකාශනයන් බව පැහැදිලි කරමින් සසප සාමාජිකයන් කල සාකච්ඡාවන්ට, ප‍්‍රදේශයේ කම්කරුවන්, ගෘහනියන් සහ තරුනයන් අතරින් උනන්දු සහගත ප‍්‍රතිචාරයන් ලැබුනි.

මීතොටමුල්ල ව්‍යසනයෙන් පසු අවදානම් කලාපය යැයි නම්කල ප‍්‍රදේශයේ පිහිටි තම නිවසින් ඉවත් කල ත‍්‍රිරෝද රථ රියදුරෙකු වන ප‍්‍රියන්ත කියා සිටියේ නිවසක් නැතිව මාස ගනනාවක් බලා සිටීමෙන් පසු තම පවුලද සාලමුල්ලේ පිහිටි අඩු ආදායම් ලාභී තට්ටු නිවසක පදිංචි වුවද අහිමි වූ තම ඉඩම වෙනුවෙන් මෙතෙකුදු වන්දි ලැබී නැති බවයි. පොදුවේ මහජනතාවට එල්ල කරන ප‍්‍රහාරයන්ට අමතරව, ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක දැන දැනම දිගටම කසල කන්ද පවත්වාගෙන ගොස් සිදුකල අපරාධය හේතුවෙන්, දැඩි ජනතා කෝපයට මුහුන දී ඇති ආන්ඩුව, රැවටිලි කාර පිලියමක් ලෙස, මීතොටමුල්ලේ අවතැන්වුවන් පිරිසෙන් තවත් කොටසක් පසුගිය මාසයේදී, ජීවත් වීමට කිසිසේත්ම නුසුදුසු මේ නිවාස වල පදිංචි කරවා ඇත්තේ නිවසට කිසිදු නෛතික අයිතියක් පවා නොමැතිවය.

ඔවුන් ගේ පැරනි නිවාස වල ඔප්පු හා ලියකිවීලි සියල්ල ආන්ඩුවෙන් පවරාගෙන ඇත. “අපි තදින්ම කියා හිටිය, මේ පොඩි ගෙදරක් දීල අපිට වෙච්ච පාඩුව පිරිමහන්න බැහැ, අපි හිටපු ඉඩම වෙනුවෙන් තක්සේරු මුදල වහාම ලබල දෙන්න ඕනේ කියල. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උද්ඝෝෂනයකුත් කරා. එතකොට කිව්වා මේ මාසේ අන්තිමට වචනයක් දෙන්නම් කියල. අපි තාම බලාගෙන ඉන්නවා.”

මෙහිදී අදහස් දැක්වූ ප‍්‍රියන්තගේ මිතුරු ත‍්‍රිරෝද රථ රියදුරෙකු කියා සිටියේ තමන්ට සියලු දේශපාලන පක්ෂ පිලිබඳ විශ්වාසය බිඳවැටී ඇති බවයි. “ ඕගොල්ලෝ විතරයි ඇවිත් මේ ප‍්‍රශ්න ගැන අපිත් එක්ක විවෘතව කතා කරන්නේ. අනිත් අයට එහෙම කතාකරන්න බැහැ, අයිතියකුත් නැහැ; ඒගොල්ලෝ කියන්නේ එකක් කරන්නේ එකක්.”

ප‍්‍රියන්ත

ප‍්‍රියන්ත තව දුරටත් කියා සිටයේ ප‍්‍රධාන ධනපති පක්ෂ බලයේ තබාගෙන සිටින්නේ සුලු පක්ෂ විසින් බවයි. “සමාජවාදී කියාගෙන එන පොඩි පක්ෂ, තමයිමේ ලොකු පක්ෂ බලයේ තියාගෙන, මේ රැවටීම කරගෙන යන්න ඉඩ හදලා තියෙන්නේ. ඉතින් අපි කාවද විශ්වාස කරන්නේ”

තිර රෙදි කම්හලක කම්කරුවෙකු වන ප‍්‍රසාද් කහඳවල, තම දරුවා සහ බිරිඳ සමඟ කුඩා නිවසක වාසය කරයි. ප‍්‍රදේශය ගංවතුරෙන් යටවීමෙන් පසු නිවෙස් අත්හැර දමා ගොස් සිට නැවත එම නිවසේ පදිංචියට පැමින සිටින ඔහු සසප නියෝජිතයන්ට මෙසේ පැවසීය.

“අපි මේ ජීවත්වෙන තත්වය ගැන කොහෙත්ම සතුටු නැහැ. අපිට මුහුන පාන්න වුනු ආපදා වලින් පස්සේ අපිට මුල ඉඳන් හැදෙන්න වුනා. හරියට වන්දියක් ලැබුනෙ නැහැ. දැන් තවත් ඡන්දයක් ඇවිල්ල. මේ ඡන්දෙන් පස්සේ කලින් බලයේ ඉඳපු අයත් පත්වෙයි, අලුත් අයත් පත්වෙයි. ඒත් මගේ අත්දැකීම් වලින් මට කියන්න පුලුවන් අපේ ජීවිත වල වෙනසක් වෙන්නේ නැහැ කියල.”

එසේ වීමට හේතුව කුමක්දැයි ඔහු සමඟ සාකච්ඡා කල පසු ඔහු මෙසේ අදහස් ඉදිරිපත් කලේය. “ආන්ඩු ඉෂ්ට කරන්නේ ධනපතියන්ගේ උවමනාකම් කියල මට පැහැදිලියි. රතුපස්වල සිද්ධියේදී පොලීසිය යොදවල වෙඩි තිබ්බේ පිරිසිදු වතුර ඉල්ලපු මහජනතාවට. ජලය දූෂනය කල ෆැක්ටරිය අයිති කොම්පැනියට කිසි දඬුවමක් නෑ. එතැනින්ම ආන්ඩුව ඉෂ්ට කරන්නෙ කාගෙ උවමනාවද කියල පැහැදිලි වෙනව.”

“කම්කරුවන්ට තමයි හැම ප‍්‍රශ්නයකටම මුහුනදෙන්න වෙල තියෙන්නේ. අපි නය වලට හිරවෙලා, ගෙවල් කුලී බිල්පත් ගෙවාගන්න අමාරුයි. මිනිසුන්ගේ මේ ප‍්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් ධනපති පන්තිය අපිව පාලනය කරන එක නතර කරන්න අවශ්‍යයි කියල ඔබ ඉදිරිපත් කරන අදහසට මම එකඟයි. ධනපති පන්තිය අතේ බලය තිබුනත් කම්කරුවෝ එකතු වුනොත් ඊට වඩා ලොකු බලයක් හදන්න පුලූවන්. කම්කරු පන්තිය නායකත්වය ගන්න අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න සහය වෙන්න කැමතියි.”

චූලනි ජයවර්ධන නම් වයස අවුරුදු 62 ක් වූ දරුවන් දෙදෙනෙකුගේ මවක් කියා සිටියේ ජීවත්වීම දුෂ්කර හෙයින් ආයතනයක තේ පිලියල කරදෙමින් ලබන සුලු වැටුපකින් ජීවිතය ගෙනයන බවය. කසල කන්ද නායයාමේ ඛේදවාචකය මෙනෙහි කරමින්, අවුරුදු 35 ක් වූ ඇයගේ දියනිය, එම දියනියගේ වයස 11 ක් වූ දරුවා, ඇගේ නැගනියගේ දියනිය සහ තම මාමන්ඩිය ද මියගිය බව ඇය පැවසුවාය. “ආන්ඩුව උත්සාහ ගත්තේ මිනී හොයාගන්න නැහැ කියල එහෙමම යට කරලා දාන්න. ඒත් අපේ උත්සාහයෙන් අපි ඒවා සොයා ගත්තා. මිය ගිය එක්කෙනෙකුට ලක්ෂයක් පමනක් දුන්නා”යයි කෝපයෙන් කියා සිටියාය.

ගං වතුරින් 2016 ජුනි මාසයේදී ඇගේ නිවස යටවී සිදුවූ විනාශයද ඇය පැහැදිලි කලාය. “මීතොටමුල්ල කුනු කන්ද හෝදන් ආපු වතුරෙන් අඩි අටක් උසට නිවාස යට වුනා. බඩු සියල්ල නැතිවුනා. නිවාස කැඩී අබලන් වුනා. පලමුව මහජන විරෝධය යටපත් කිරීමට වන්දි දෙන බව පැවසූවත් ලැබුනෙ දෙවරකට රු. 20000යි. මේ මුදල් නිවාස අලුත් වැඩියාවට තියා එයට අලගු තියන්නවත් ප‍්‍රමානවත් නැහැ.

“චන්දෙ ලංවෙලා මේ මෑතකදී වසර එකහමාරකට විතර පසුව රු 150,000 ක මුදලක් ලබාදුන්නා. මේවා චන්ද ගුන්ඩු අපි කව්රුත් දන්නවා. මේ මැතිවරනයෙන් අපේ කිසිම ප‍්‍රශ්නයක් විසඳෙන්නේ නැති බව අපි දන්නවා. රාජපක්ෂගෙ කාලෙදී ඔවුන්ගෙ අය දියුනු වුනා දුප්පතුන්ට කිසිම දෙයක් ලබුනෙ නැහැ. හැදුවෙ ආයෝජකයන්ට අවශ්‍ය පාරවල්, ගුවන් තොටුපොලවල් සහ වරාය පමනයි. මේ ආන්ඩුවෙනුත් වැඩැක් නැහැ.” ඇය අවසානයේ කියා සිටියේ 13 වන දා සසප පවත්වනු ලබන ප‍්‍රසිද්ධ රැස්වීමට සම්බන්ධ වන බවයි.

මොහමඩ්

මොහමඩ් ෆරීඩ් කම්කරු අමාත්‍යංශයේ පනිවිඩකරුවෙකු ලෙස රැකියාව කරයි. ඔහු මෙසේ පැවසීය..

“ගංවතුරින් ඔක්කොම උපකරන කැඩුනත් ලැබුනු රු. 50,000ක වන්දි මුදල සුලු අලුත්වැඩියාවකටවත් ප‍්‍රමානවත් නෑ. පාලකයො ජීවත් වෙන්නෙ මේ තැන්වල නෙමෙයි- ඒක හින්ද මේවා විසඳන්න වුවමනාවක් නෑ. අපේ වුවමනාකම් ගැන නෙමයි බලන්නෙ තමන් ගේ තනතුර රැක ගන්න. කුනු කන්ද නාය යෑම, ගං වතුර, ඩෙංගු ප‍්‍රශ්නය ආදිය පාලකයො සියලු දෙනා වග කියන්න ඕන කාරනා.”

“දැන් ආයෙමත් ලස්සන ගමක් හදමු කියා ගෙන පෝස්ටර් ගහ ගෙන ඡන්දෙ ඉල්ලනවා. මේ දේවල් ගැන නොදන්නව නෙමෙයි. කතා කරල වැඩක් නෑ. කම්කරුවො රට, ජාතිය, සේවා ආයතනය හැටියට බෙදිලා හරියන්නෙ නෑ. යූනියන් කට්ටිය පාලකයො එක්ක එකතු වෙල සටන් පාවාදෙන නිසා මුකුත් කරන්න බෑ. කම්කරු අමාත්‍යංශයේ වැඩ කරන නිසා මම මේ තත්ත්වය හොඳට දැකල තියෙනව.”

Share this article: