වැඩ වේගවත් කිරීමේ සැලසුම් වලට එරෙහිව ජයවර්ධනපුර රෝහලේ හෙද සේවකයන් වර්ජනයේ

අපගේ වාර්තාකරුවන් විසිනි,. 2018 ජනවාරි 10

සේවයට පැමිනීම සහ පිටවීම වාර්තා කිරීම සඳහා ඇඟිලි සලකුනු යන්ත්‍ර පිහිටුවීමට එරෙහිව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද සේවකයෝ සතියක කාලයක් මුලුල්ලේ වර්ජනයේ යෙදී සිටිති. 600 කට ආසන්න සමස්ත හෙද කාර්ය මන්ඩලයෙන් අතලොස්සක් හැර අන් සියලු දෙනාම පාහේ වර්ජනයට සහභාගී වී සිටින අතර, ඊට සහය පලකරමින් සඳුදා පැවති විරෝධතාවයට රෝහලේ සාත්තු සේවකයන් ඇතුලු කනිෂ්ට කම්කරුවෝ ද සම්බන්ධ වූහ.

වර්ජනය හේතුවෙන්, නේවාසික රෝගීන් දහසකට ඉඩකඩ පවතින රෝහලේ දැනට රැඳී සිටින රෝගීන් සංඛ්‍යාව 40ක් දක්වා පහල ගොස් ඇති අතර, ප්‍රතිකාර සඳහා බාහිර රෝගී අංශයට පැමිනෙන රෝගීන් ප්‍රමානය ද විශාල ලෙස අඩුවී ඇත. රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න මාධ්‍යයට පවසා තිබුනේ, වර්ජනය හේතුවෙන් රෝහලේ වැඩකටයුතු මුලුමනින්ම ඇනහිට ඇති බවයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමඟ සාකච්ඡා කල හෙද හෙදියන් පැවසුවේ, රෝහල වෙත පැමිනීමට තිබෙන ප්‍රසිද්ධ ප්‍රවාහන සේවයේ පවත්නා අප්‍රමානවත්භාවය හේතුවෙන් නියමිත වෙලාවට ඇඟිලි සලකුන තැබීම දුෂ්කර කාර්යයක් වන බවයි.

වර්ජිත හෙද සේවකයන් ලෝසවෙඅ වාර්තාකරුවන් සමඟ සාකච්ඡා කරයි

එක් හෙදියක් මෙසේ පැවසුවාය: “අපි වැඩ කරන්නෙ ෂිෆ්ට් (වැඩමුර) ක්‍රමයට. අපි කවුරුහරි ටිකක් පරක්කු වුනොත්, කලින් ෂිෆ්ට් එකේ ඉන්න එක්කෙනා අනෙක් කෙනා එනකන් තියෙන වැඩ බලා ගන්නවා. රෝගීන්ට ප්‍රශ්නයක් වෙන්නෙ නැති විදියට අපි සහයෝගයෙන් වැඩ කරනවා. මේ පාරෙ බස් හරි හිඟයි. එකක් මිස් උනොත් ඊලඟ බස් එකට පැය භාගයක් විතර ඉන්න වෙනව. ඇඟිලි සලකුනු යන්ත්‍ර යෙදුවොත් බස් එක මිස් වෙන කෙනෙකුට හාෆ් ඩේ (අර්ධ දින) වැටෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඒ නිසා මේ සැලසුම ක්‍රියාත්මක වුනොත් අපිට තවත් පැයක්වත් කලින් ගෙදරින් පිට වෙන්න වෙනව. ඒ කියන්නෙ අපේ ජීවිතයෙන් තවත් පැයක් රැකියාවට උදුරා ගැනෙනවා.”

නව සැලැසුම, වෘත්තීය ජීවිතයට සහ වැටුප්වලට අහිතකර ලෙස බලපානු ඇති බවට ඔවුහු බිය පල කලහ. 600 ක් වන සමස්ත හෙද කාර්ය මන්ඩලයෙන් නිල නිවාස ලබා දී ඇත්තේ 150 කට පමනක් බවත්, ඉතිරි සියලු දෙනාම මෙම ගමනාගමන දුෂ්කරතාවයට මුහුනදෙන බවත් ඔවුහු තවදුරටත් පැවසූහ.

වර්ජනය දිගටම ඇදී යන තතු තුල, හෙද හෙදියන්ට ඔවුන්ගේ නිල නිවාසවලින් ඉවත්ව යන මෙන්, ආන්ඩුව රෝහලේ පාලනාධිකාරිය හරහා නියෝග නිකුත් කර ඇත. වර්ජිත හෙද හෙදියන්ට ආහාර සැපයීමේ සේවාවන්ද අත්හිටුවා තිබේ. එම තර්ජන සහ ගර්ජන ඉදිරියේ නොපසුබටව කම්කරුවෝ අරගලයේ යෙදී සිටිති.

අධික නය බරකින් සහ දැවැන්ත ගෙවුම් ශේෂ හිඟයකින් මිරීකී සිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, ඉන් ගොඩ ඒමට උත්සාහ දරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අනපනත් අනුව සෞඛ්‍යය ඇතුලු අනෙකුත් සමාජ සුභසාධන ක්ෂේත්‍රයන් තියුනු කප්පාදුවකට ලක් කරමින් සහ එම ක්ෂේත්‍රයන් පෞද්ගලික ව්‍යවසායන් බවට පරිවර්තනය කරමිනි.

සෞඛ්‍ය සේවය පුද්ගලීකරනයේ පියවරක් ලෙස ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ ආන්ඩුව යටතේ, 1983 දී අර්ධ-රාජ්‍ය ආයතනයක් ලෙස ස්ථාපනය කෙරුනු ජයවර්ධනපුර රෝහල තුල ඇඟිලි සලකුනු යන්ත්‍ර ස්ථාපිත කෙරෙනුයේ, එහි සේවයේ නියුතු හෙද හෙදියන් ඇතුලු කම්කරුවන්ගේ වැඩ වේගවත් කිරීමේ නව වටයක වැඩකටයුතු වල කොටසක් ලෙසයි.

රෝහලේ වසර 15 ක් සේවය කරන දිනුෂා වෙල්ලාල නම් හෙදිය, ලෝසවෙඅ වෙත පැවසූ අදහස්, එය සනාථ කරයි: “මම අවුරුදු 15 ක් මේ රෝහලේ සේවය කරනවා. මේ කාලය පුරා රෝහලට ප්‍රරමානවත් තරම් හෙද හෙදියන් බඳවාගෙන නැහැ. ඒ නිසා දැනට සේවය කරන හෙද හෙදියන්ට අනිවාර්යයෙන්ම අමතර වැඩ මුරවල යෙදීමට සිදුවෙලා තියෙනවා.” තමන්ට ලැබෙන රුපියල් 45,000 කට ආසන්න මුලු වැටුප ජීවත් වීමට කිසිසේත්ම ප්‍රමානවත් නොවන බව ඇය පැවසුවාය.

හෙද කම්කරුවන් අරගලයට පිවිසීමට ආසන්න හේතුව ඇඟිලි සලකනු යන්ත්‍ර සවිකිරීම වුවත්, වැඩ වර්ජනය පුපුරා ගියේ ධනපති ආන්ඩුවල කප්පාදු පිලිවෙත් හේතුවෙන් වසර ගනනාවක් මුලුල්ලේ ඔවුන්ගේ ජීවන කොන්දේසි පිරිහෙලනු ලැබීමට එරෙහිව ඔවුන් අතර වර්ධනයවූ අතෘප්තිය යි.

ශ්‍රී ලංකාවේ මෙන්ම, ලොවපුරා වෘත්තීය සමිති සහ ව්‍යාජ වම්මුන් විසින් දශක ගනනාවක් පුරා කෘතිම ලෙස යටපත්කරගෙන සිටි කම්කරුවන්ගේ අතෘප්තිය සහ සටන්කාමිත්වය දැන් නව විභවයකින් ජාත්‍යන්තරව පුපුරා යමින් පවතී. පසුගිය වසර කිහිපය පුරා ලංකාව තුල මතුවූ පන්ති අරගල රැල්ල, එහි ප්‍රකාශනයකි. ඛනිජ තෙල්, දුම්රිය සහ විදුලිබල ආදී ක්ෂේත්‍ර ගනනාවක කම්කරුවෝ ආන්ඩුවේ දැඩි මර්දනය නොතකා එම අරගල තුල දින ගනනාවක් පුරා අධිෂ්ඨානශීලීව රැඳී සිටියහ. එම අරගලයන්හි නායකත්වයට පැනගෙන සිටින වෘත්තීය සමිති නිලධරය ආන්ඩුවත් සමඟ සම්මුතීන්ට එලැඹෙමින් ඇත.

තමන් මුහුන දෙන ප්‍රශ්න, ධනපති ක්‍රමයේ අර්බුදය තුලින් ගලා එන්නේය යන අවබෝධයට කම්කරුවන් ලඟාවීම වලකාලන ඔවුහු, කම්කරුවන්ගේ සටන් ධනපති ක්‍රමය පෙරලා දැමීම ඉලක්ක කරගැනීමෙන් ඉවත හැරවීම සඳහා පෙලගැසී සිටිති.

ජයවර්ධනපුර රෝහලේ වර්ජනයට නායකත්වය සපයන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමස්ත ලංකා හෙද සේවක සංගමය ඉටුකරන්නේ ද එම ක්‍රියාකලාපය යි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ජයවර්ධනපුර රෝහල් ශාඛාවේ සභාපති සමීර රොද්‍රිගෝ වර්ජනයට ප්‍රධාන හේතුව ලෙස දක්වන්නේ, රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ “අත්තනෝමතික ක්‍රියාකලාපය” යි. ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන ඉල්ලීම වන්නේ, එම අධ්‍යක්ෂකවරයා ඉවත් කිරීමයි. අධ්‍යක්ෂවරයා ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයෙන් නිර්නිත ආන්ඩුවේ පිලිවෙත් මතය යන්න වසන් කරන සමිති නිලධරය, එමගින් ආන්ඩුවට සහ සමස්තයක් ලෙස ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් දෙසට කම්කරුවන් යොමුවීම වලකාලයි.

Share this article: