මීතොටමුල්ල කසල කන්ද යලි ගිනිගැනීමට එරෙහිව මහජන කෝපය පැතිරෙයි

විලානි පීරිස් විසිනි, 2018 ජනවාරි 6

2018 උදාවත් සමග, ජනවාරි 1 දින, මීතොටමුල්ල කසල කන්ද යලි වතාවක් ගිනි ගැනුනි. 2017 අප්‍රේල් 14, සිංහල හා දෙමල අවුරුදු දින, එම කසල කන්ද නායයෑමෙන් සිදුකෙරුනු විනාශයෙන් පසු නොවැම්බර් 17 දින ගිනි ගැනීමක් සිදුවුන අතර මේ දෙවන වරට ගිනි ගැනීමකි.

ස්ථාවර කිරීම හෝ පාරිසරිකව ප‍්‍රතිස්ථාපනය කිරීමට කිසිඳු පියවරක් ගෙන නොමැති කසල කන්ද

අප්‍රේල් 14 නාය යාමෙන් පසු කසල කන්ද ස්ථාවර කිරීම හෝ පාරිසරිකව ප‍්‍රතිස්ථාපනය කිරීමට කිසිඳු පියවරක් ගෙන නොමැති බව, එම ප‍්‍රදේශයට ගිය මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ (ස්කපක) නියෝජිතයන්ට දැක ගත හැකි විය. 2017 අප්‍රේල් 14 දා මෙම කමිටුව පිහිටුවන ලද්දේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මූලිකත්වයෙනි.

මෙතෙකුදු එම කසල කන්ද, වායු දූෂනයට හා මැසි මදුරුවන් බෝවීමට සෘජුව දායක වෙමින් පවතී. ජලය බැස යාම විධිමත් කිරීමට හෝ කන්ද ස්ථාවර කිරීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත. කන්ද පාමුල ඛාදනය වීම වැලැක්වීමට යයි කියමින් අප්‍රේල් 14 ව්‍යසනයෙන් පසුව, අතුරන ලද පොලිතීන් ආවරන ද ගැලවී ගොස් ඇති අයුරු නිරීක්ෂනය කිරීමට හැකි විය. එබැවින් එය වරින් වර ගිනි ගැනීමේ අවදානමක් පමනක් නොව යලි ගිලා බැසීමේ හෝ නාය යාමේ අනතුරක් ද පවතින බවට ප‍්‍රදේශවාසීහු සැක කරති.

ජනවාරි 1 දා දහවල් එකට පමන දුමක් ඉහල නගිනු දුටු බවත්, ඒ පිලිබඳව බලධාරීන්ට දැන්වීමෙන් පසු ගිනිනිවන හමුදාවේ රථ 3ක්, පොලීසිය හා හමුදාව පැමිනි බවත් පලාත්වාසීහු පැවසූහ. ගින්න නිවීමට පැය තුනකට ආසන්න කාලයක් ගතව ඇත.

මීටර් 20ක් උසට අක්කර 22 ක් පුරා ව්‍යාප්ත කර ඇති මෙම කසල කන්ද තුල අධික මෙතෙන් ප‍්‍රමානයක් ගැබ්වී තිබිය හැකි බැවින්, එය ගිනි ගැනීමේ බරපතල අවදානමක් නිරතුරුව පවතී. පසුගිය රාජපක්ෂ ආන්ඩුව හා සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මෙම කසල කන්ද ජීවිත වලට අනතුරු දායක ලෙස පවත්වාගෙන ගියේ ඊට එරෙහි මහජන උද්ඝෝෂන පොලීසිය යොදා පහරදී මැඩලමිනි.

පෙදරේරු කාර්මිකයෙකු හා තිදරු පියෙකු වන සමන්

පෙදරේරු කාර්මිකයෙකු හා තිදරු පියෙකු වන සමන් කන්ද ගිනි ගැනීමේ අත්දැකීම මෙසේ විස්තර කලේය: “අපේ ගෙදරට දුම නගිනවා පෙනුනා, ගින්දර නම් පෙනුනේ නැහැ. ඊට පස්සේ පැය තුනකින් විතර ගිනි නිවන ලොරි ආවා. මුලින් පොලිසිය දාල හිටිය මේ අවට, හවස හමුදාවත් දැම්ම.”

“මෙතරම් අවදානමක් සහිතවත තමන් මේ ප‍්‍රදේශයේ රැඳී සිටින්නේ, ජීවත් වීමට වෙනත් තැනක් නොමැති නිසා. අපි මෙතනට ආවේ සේදවත්තේ සුදු පාලම ගාව ඉඳල. එහෙ අපි කුලියට හිටපු ගෙවල් ආන්ඩුවෙන් කැඩුවා. ඊට පස්සෙ අපිට දරන්න පුලුවන් කුලියකට ගෙයක් හොයාගන්න පුලුවන් වුනේ මෙහෙන් විතරයි. මේ ගෙටත් අපි 5000ක් ගෙවනවා.”

දුසිම් ගනනින් දේශපාලනඥයන් හමුවී සිය ගානක් ලියුම් දුන් නමුත් ඉන් කිසිම විසඳුමක් ලැබුනේ නොමැති බව සමන් පැවසුවේ කෝපයෙනි. “ඒක හින්ද තමයි මැරෙන්න හරි බලාගෙන මේ කුනු කන්ඳ ගාවම ඉන්න සිද්ද වෙලා තියෙන්නේ.”

පස්දරු මවක හා ගෘහනියක වන කුමුදු පැවසුවේ ගින්න මුලින්ම දුටුවේ තම බාල පුතා බවයි. “මීට මාස කීපයකට කලිනුත් මේ විදියටම ගිනි ගත්ත, එකම දවසේ දෙපාරක් ඇවිලුනා. දැන් අපිට නින්ද යන්නෙත් නැහැ මේක ගැන හිතෙනකොට, රෑකට මේක ඇවිලිලා ගිහින්, කන්දේ හිර වෙලා තියෙන ගෑස් එක පුපුරලා ගියොත් මොකද වෙන්නේ? මේ මොන අපරාධයක්ද? කන්ද කඩාගෙන වැටුනට වඩා භයානකයිනේ මේක?”

ගිනිගැනීම ඇති වීමත් සමග ප‍්‍රදේශයට පොලිසිය යෙදවූ බවත්, ජනතාව පොලිසියට බැන වැදීම නිසා, පසුව හමුදාව යෙදවූ බවත් කුමුදු පැවසුවාය. “මිනිස්සු ඇහුව තවත් අපි මැරෙනකන්ද බලාගෙන ඉන්නේ කියලා. ගිනි ගැනීම උනාට පස්සෙවත්, දේශපාලනඥයෝ කිසිම කෙනෙක් ආවේ නැහැ. ඒ අය දන්නවා මහජනයා කෝපයෙන් පසුවන බව.”

පලාත් පාලන මැතිවරනයෙන් කොලොන්නාව නගර සභාවේ බලයට පත්වන කිසිම කන්ඩායමකට මේ ප‍්‍රශ්නය විසඳිය හැකි දැයි විමසූ විට කුමුදු පැවසුවේ; “මොන පිස්සුද? කවුරුත් කොහොමද මේක විසඳන්නේ නගර සභාවට ගියයි කියල. අපිට ආරංචියි මේ පලාතම ජපන් කොම්පැනි කාරයන්ට විකුනලා කියල. ඔවුන්ගෙන් කාටද උවමනා අපේ ප‍්‍රශ්න විසඳන්න?”

තේ කර්මාන්ත ශාලාවක සේවකයෙකු වන ධර්මලිංගම් සහ ඔහුගේ බිරිඳ කලාවතී ඔවුන් මුහුන දී සිටින අසරන තත්වය පිලිබඳ විස්තර කලහ. කලාවතී මෙසේ පැවසුවාය: “මෙහෙම ඉන්නවා ඇරෙන්ඩ අපි වෙන මොනවා කරන්නද? අපි මෙතනට ආවේ මීතොටමුල්ල ආබෲ වත්තෙන්, මීට අවුරුදු 10 කට උඩදී. එදා ඉඳන් තිබුනු ප‍්‍රශ්න මොකුත් විසඳිලා නැහැ.”

“දැන් මාස 3 කට උඩදී ජනාධිපති කාර්යාලයෙන් කියලා හමුදාවේ මහත්තුරු වගයක් ඇවිත් ගෙවල් ඉවත් කිරීම ගැන කතා කලා, මං කිව්වා ෆ්ලැට් වලින් නම් අපිට ගෙවල් කොහෙත්ම එපා කියලා. ඒවායේ ජීවත් වෙන්න බැහැ, හරිම නරක තත්වයක් තියෙන්නේ. අතේ තියෙන සියලු දේ වියදම් කරලා අපි මේ ගෙවල් හදාගෙන තියෙන්නෙ.”

ධනපති ආන්ඩු යෙදී සිටින්නේ කොලඹ ඇතුලු ඒ අවට ප‍්‍රධාන නගරවල අඩු ආදායම්ලාභීන් ඔවුනගේ නිවාස වලින් ඉවත්කර ආයෝජකයන්ට එම ඉඩම් පවරාදීමේ ක්‍රියාවලියකයිි. දැනටමත් කොම්පඤ්ඤ වීදියේ නිවාස සියගනනක් ඉවත්කර එම ඉඩම් ඉන්දියාවේ ටාටා හා පකිස්තානයේ ඉම්පීරියල් යන සමාගම්වලට පවරා දී ඇත.

මීතොටමුල්ල කසල කන්ද සහ අවට ප‍්‍රදේශය “මනරම් උද්‍යානයක්” බවට පත් කරන බව බස්නාහිර සංවර්ධන ඇමති චම්පික රනවක මෑතකදී ප‍්‍රකාශ කර ඇත. ධනපතියන්ගේ සහ ඉහල මධ්‍යම පන්තිකයන්ගේ මනදොල සපුරාලීම සඳහා මෙවන් උද්‍යාන කීපයක් දැනටමත් කොලඹ නගරය තුල සහ තදාසන්න ප‍්‍රදේශයන්හි ගොඩනගා ඇත. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා මත රාජපක්ෂගේ ආන්ඩුව කොලඹ සංවර්ධන වැඩපිලිවෙල යටතේ නිවාස ඉවත් කිරීම පටන් ගත් අතර සිරිසේනගේ ආන්ඩුව බස්නාහිර සංවර්ධන වැඩපිලිවෙල යටතේ එම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යයි.

ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් මත සිදු කෙරෙන මෙම ප‍්‍රහාරයන් ධනේශ්වර ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් ආපසු හැරවිය නොහැකි බවද, සෞඛ්‍යමත් පරිසරයක පහසුකම් සහිත නිවාසයක ජීවත්වීමේ අයිතිය තහවුරු කල හැක්කේ ධනපති ක‍්‍රමයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමෙන් පමනක් බවද, පෙන්වා දෙමින් සසප සටන් වැදුනි.

ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), සසප ඉදිරිපත්කල වැඩපිලිවෙලට මුලුමනින්ම එරෙහි විය. “මීතොටමුල්ල කුනු කන්දට එරෙහි ජාතික ව්‍යාපාරය” නමින් සංවිධානයක් අටවා ගත් පෙසප, ධනපති ආන්ඩුවලට බලපෑම් යෙදීමේ විරෝධතා දේශපාලනය තුල මීතොටමුල්ල ජනතාව කොටු කිරීමේ වැඩපිලිවෙලේ එක දිගටම යෙදී ගත්තේ ය. මෙම “ජාතික ව්‍යාපාරයේ” ලේකම් ධුරය දරමින් එය මෙහෙයවූයේ පෙසප නායකයෙකු වන නුවන් බෝපගේ විසිනි.

ජනවාරි 1 දින ගිනි ගැනීමට එරෙහිව මහජන කෝපය පුපුරා යත්ම, බෝපගේ සහ “ජාතික ව්‍යාපාරය” යලිත් මැදිහත් වූයේ කොලොන්නාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කරමිනි. මෙහි අරමුන වූයේ මහජන කෝපය දියකර හැරීමයි.

නොවැම්බර් 11 දා ඩේලි මිරර් පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් බෝපගේ ආන්ඩුවට සුදුහුනු තැවරුවේ අප්‍රේල් 14 දින ව්‍යසනයෙන් නිවාස අහිමිවූවන්ට නිවාස ලැබී ඇති බව පවසමිනි. පෙසප යත්න දරන්නේ ආන්ඩුව ලබාදුන් ජීවත්වීමට නුසුදුසු මහල් නිවාස තම “සටනේ” ජයග‍්‍රහනයක් බව පෙන්වමින් විරෝධතා දේශපාලනයේ සාර්ථකත්වය තහවුරු කිරීමටයි.

සසප පරීක්ෂනය මගින් හෙලිදරව්වී ඇත්තේ සම්පූර්නයෙන්ම විනාශ වී ගිය තම ජීවිත යලි සකස් කර ගැනීමට අවශ්‍ය දීර්ඝ කාලීන සහාය ලබාදෙනු වෙනුවට ආන්ඩුව සොච්චම් වන්දියක් දී විපතට පත් ජනයා අමතක කර දමා ඇති බවයි. කොලොන්නාව සාලමුල්ලේ පිහිටි අඩු ආදායම් තට්ටු නිවාස වල පදිංචිකල පවුල්, කිසිදු පහසුකමක් නොමැති එම නිවාසයන්හි හිරවී සිටිති. ඔවුනට එම නිවාස සම්බන්ධයෙන් කවර හෝ නෛතික හිමිකාරිත්වයක් ලබා දී නොමැත. විනාශ වී ගිය තම නිවාස සහ ඉඩම් තක්සේරු කර වන්දි ලබා දෙනතෙක් බලා සිටි පවුල් බොහොමයකට, ආන්ඩුවෙන් තක්සේරු කර ඇති මුදල නව නිවසක් ලබාගැනීමට කිසිසේත්ම ප‍්‍රමානවත් නොවන බැවින් යන-එන මං නැති තැනට පත්වී ඇත. සියල්ලටමත් ඉහලින් තවමත් කසල කන්ද අවට ජීවත්වන ජනයා විශාල අනතුරු දායක තත්වයක පසු වෙයි.

ජීවිත 32 ක් අහිමි කරමින් සහ පවුල් 198 ක් අවතැන් කරමින් අප්‍රේල් 14 වන දා මීතොටමුල්ලේ සිදු වූ දැවැන්ත ව්‍යසනයෙන් සහ ඉන් පසුව නිරතුරුව ඇතිවන ආපදා මගින් තහවුරු කෙරෙනුයේ දුගී ජනයා මුහුන දෙන අති මූලික ප‍්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් ධනපති ක‍්‍රමයට ඇති නෛසර්ගික නොහැකියාව මෙන්ම පෙසප ඇතුලු ව්‍යාජ-වම්මුන් විසින් තොරොම්බල් කරන විරෝධතා දේශපාලනයේ ආන්තික බංකොලොත්භාවයයි.

Share this article: