නසසප නායකයා පක්ෂ සංවත්සරයේදී ආන්ඩුව බේරා ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පච අඹරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 ජනවාරි 12

ව්‍යාජ වාම නව සම සමාජ පක්ෂයේ (නසසප) හතලිස් වන සංවත්සරය දෙසැම්බර් 29 වෙනිදා කොලඹ නව නගර ශාලාවේ පැවත් වුනි. “නිර්ධන බලය බහුජන අරගලය තුලින් ගොඩනගමු” යන කම්කරු පන්තිය ධනපති පන්තියට ගැට ගැසීමේ පාඨයක් යටතේ පැවති මෙම සංවත්සරයේදී නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න වැඩෙන මහජන විරුද්ධත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව බේරා ගැනීමේ සූත‍්‍ර ඇඹරීමක යෙදී ගත්තේය.

නසසප නායකයා ඇමරිකානු ගැති සිරිසේන බලයට ගෙන ඒම සඳහා ප‍්‍රතිගාමී බලවේග සමග එක්ව ප‍්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කලේය. පසුව ඔහු ආන්ඩුව ස්ථාවර කිරීම සඳහා සිරිසේන විසින් කැඳවූ “ජාතික විධායක සභාවට” ධනපති පක්ෂ හා කන්ඩායම්වල නායකයන් සමග ඇතුලු වුයේය. තානාන්තරයක් නොලැබුනත් ආන්ඩුවේ පාර්ශවකරුවෙක් ලෙස කරුනාරත්න දැන් භාරගෙන ඇති කාර්ය එය ආරක්ෂා කිරීමයි.

මෙවර පලාත්පාලන මැතිවරනයට නසසපය කොලඹ ඇතුලු ආයතන කීපයකට ඉදිරිපත්වී සිටින්නේ ඒ සඳහා ප‍්‍රචාරය ගෙන යාමේ කොටසක් ලෙසය. “ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනයට සහයෝගය දෙන බලවේග සමග එකතුව යහපාලනයේ ක්‍රියාදාමය ශක්තිමත් කිරීම සඳහා” පලාත්පාලන මැතිවරනයට තරඟ කරන බව කරුනාරත්න සභාවට පැවසීය. පලාත් පාලන මැතිවරනයට තරඟ කිරීමට නසසපය එකතු වී සිටින්නේ මුස්ලිම් ජාතික පෙරමුන හා සමස්ත ලංකා ද්‍රවිඩ ජාතික පක්ෂය යන වාර්ගික පදනමකින් පිහිටුවා ඇති ධනපති කන්ඩායම් ආන්ඩුවට සහ යෝගය දීම සඳහා අටවා ගෙන ඇති “යහපාලනය සඳහා ජාතික පෙරෙමුන” සමගයි.

“යහපාලන” වහන්තරාව තොරොම්බල් කෙරුනේ සිරිසේන බලයට ගෙන ඒමේ ව්‍යාපාරයේත් ඉන්පසු සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේත් ප‍්‍රතිගාමී ක්‍රියා කලාපය ආවරනය කිරීමටයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකීම, ජිවන තත්වයන් නගා සිටුවීම හා යුද ව්‍යසනයට පාත‍්‍ර කල දෙමල ජනයාගේ ප‍්‍රශ්න විසඳීම ආදී බොරු පොරොන්දුවලින් පිරවූ “යහපාලන” කෝම්බය මහජනයාගේ ඇස්පනාපිට පිපිරී ඇතත් සිරිසේන හා වික‍්‍රමසිංහ පමනක් නොව නසසප බඳු අවස්ථාවාදී කන්ඩායම් ඊට පලිප්පු දමමින් පුනරුච්චාරනය කරති.

අද මෙරට තුල තිබෙන “ලොකුම වසංගතය ජාතීවාදී ආගම්වාදී අදහස්” බවත් ඒ තත්වය තුල “සාධාරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් හදා ගැනීම මේ යුගයේ සටනේ අභියෝගය” බවත් කරුනාරත්න රැස්වීමට ප‍්‍රකාශ කලේ ය. ඒ සඳහා ආන්ඩුව තුල සිටින “ජාතිවාදී, ආගම්වාදී හා ෆැසිස්ට් බලවේග” එලිදරව් කරමින් “ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රියාදාමය ශක්තිමත් කලයුතු” බව නසසප නායකයා කියා සිටියේය. මහජනයාට මේ ලනු ගිල්ලවීම සඳහා ඔහු කියා සිටියේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලය තුලින් නිර්ධනීන්ගේ බලය සඳහා ගමන් කලයුතු” බවයි.

ආන්ඩුවේ සිටින “ජාතිවාදී, ආගම්වාදී හා ෆැසිස්ට් බලවේග” කවුදැයි කරුනාරත්න පැහැදිලි කලේ නැත. කෙසේ වෙතත්, ඔහුගේ ඇස්බැන්දුම් කතාවලින් කොටින්ම ප‍්‍රකාශවන්නේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට” හා “ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් හදා ගැනීමට” ආන්ඩුව ආරක්ෂා කලයුතු බවයි. කරුනාරත්නගේ ප‍්‍රචාරය පල්ල ගිය එකකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග තරඟයට සිරිසේන හා වික‍්‍රමසිංහ ද සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කොටස්වලට උඩගෙඩි දීම උත්සන්න කර ඇත.

රාජපක්ෂ හා ඔහු වටා රැලිවී සිටින ජාතිවාදීන්ගේ විවේචනවලට එරෙහිව සිරිසේන හා වික‍්‍රමසිංහ එක දිගට දිවුරන්නේ සිංහල භාෂාවට හා බුද්ධාගමට ප‍්‍රමුඛත්වය දෙන ඒකීය රාජ්‍යයක් සඳහා ව්‍යවස්ථාවකට තමන් කැපවී සිටින බවයි. ආන්ඩුව ක්‍රියා කරගෙන යන්නේ මර්දන නීතිවලින් තවත් විසදල සවිකොට පොලිස් රාජ්‍යයක් තහවුරු කෙරෙන ව්‍යවස්ථාවක් හැදීම සඳහාය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම ආදී වසයෙන් ප‍්‍රචාර ගෙන යමින් නසසපය හා කරුනාරත්න මේ පොලිස් රාජ්‍ය ව්‍යායාමය ආවරනය කරයි.

කරුනාරත්න මෙලෙස ආන්ඩුව ලවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කර ගැනීම ගැන ප‍්‍රචාරය ගෙන යන්නේ රටතුල ගිනියම් වීගෙන යන පන්ති අරගලවලට විරුද්ධවයි.

අවුරුදු තුනක් ගතවන තැන ලංකාවේ ආන්ඩුව ජාත්‍යන්තර ආයෝජකයන්ගේ ද ඔවුන්ගේ තැරැව්කාර ධනපති මහ ව්‍යාපාරිකයන්ගේ ද උවමනාකම් උඩ ජීවන කොන්දේසි හා සමාජ අයිතීන් තලා දමන පාලනයක් ලෙස උතුරේත් දකුනෙත් කම්කරුවන් හා දුගීන් අතර අපකීර්තියට පත්ව ඇත. දුම්රිය, තෙල්, වරාය, තැපැල්, වතුකරය ආදී තැන්වලද ශිෂ්‍යයන්ගේ ද ගම්බද දුගීන්ගේ ද අරගල එක දිගට වැඩෙමින් පවතින්නේ එම ප‍්‍රහාරවලට එරෙහිවය. පොලිසිය, මිලිටරිය, මැරයන් හා රුදුරු නීති උසිගන්වමින් ආන්ඩුව මේ අරගලවලට විරුද්ධව කඩා පනිමින් සිටියි. නසසප ඇතුලු අවස්ථාවාදීන් හා වෘත්තීය සමිති ඊට සහාය දුන්නේය. ආන්ඩුව මෙන්ම මෙම කන්ඩායම් තැතිගැනී සිටින්නේ වර්ධනය වන පන්ති අරගල ධනපති පන්ති පාලනයට අභියෝගයක් වනු ඇත යන්න ගැන හා කම්කරුවන් හා තරුනයන් සමාජවාදී විකල්පය වෙත දිනා ගැනෙනු ඇත යන්න ගැනයි.

මෙම භීතිය ප‍්‍රකාශයට පත් කරමින් කරුනාරත්න රැස්වීමේ සිය කතාවේ දී “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සඳහා මිස “සමාජවාදය සඳහා අද දින ඉඩක් නැත” යි ප‍්‍රතිගාමී ප‍්‍රචාරය ඇදබෑවේය. ඒ පිලිබඳව උදාහරන ලෙස ඔහු මෙසේ සඳහන් කලේය: “කස්ත්‍රෝගේ, චේගුවේරාගේ අදහස් උඩ ජයග‍්‍රහනයන් සිද්ධ වුනා. අධිරාජ්‍ය විරෝධී විප්ලවවාදී නැගිටීම් ඇතිවුනා. ඒ අරගල ලෝකය පුරා ගලා ගෙන ගියත් අද කිසිම තැනක සමාජවාදය නැහැ. ඇතිවුනේ පොල්පොට් වගේ පාලන තන්ත‍්‍රයන්. ඒවාත් අන්තිමේ දී කුඩුපට්ටම් වෙලා ගියා.”

කස්ත්‍රෝ හෝ චේගුවේරා මාක්ස්වාදීන් හෝ සමාජවාදීන් නොවේ. සුලුධනේශ්වර ජාතිකවාදීන් ය. ගරිල්ලාවාදී දේශපාලන විප්ලවයකින් බලය අල්ලාගෙන 1958 කස්ත්‍රෝ විසින් කියුබාවේ පිහිටුවූයේ ධනපති රාජ්‍යයකි. කරුනාරත්න සඳහන් කරන 1950 සහ 1960 දසකයේ ඇල්ජීරියාව, ඊජිප්තුව, ඝානාව හා කොන්ගෝව ඇතුලු රටවල පැතිර ගිය අධිරාජ්‍ය විරෝධී අරගලවල නායකත්වය දරා සිටියේ බෙන් බෙලා, නසාර්, එන්කෘමා සහ ලුමුම්බා ආදී ධනපති ජාතිකවාදී නායකයෝය. මහ ජනතාවන් අතර වැඩුනු අධිරාජ්‍ය විරෝධය ධනපති ක‍්‍රමය තුල රඳවා ගැනීමට මෙම ජාතිකවාදී නායකයෝ සෝවියට් සංගමයේ ස්ටලින්වාදී නිලධරයේ උදවු ඇතිව ක්‍රියා කලහ.

එම කාල පරිච්ෙඡ්දයේ, නසසප නායකයන්ගේ ගුරාලා වූ, හතරවන ජාත්‍යන්තරයෙන් පලාගිය පැබ්ලෝවාදී සංශෝධනවාදීන් මෙම ව්‍යාපාර බදා වැලඳගත් අතර ඔවුන් විසින් කස්ත්‍රෝ හඳුන්වනු ලැබුවේ “අවිඥානික” මක්ස්වාදියෙකු ලෙසයි. මෙම ව්‍යාපාර සමග ගාල්වීම යෝජනා කල ඔවුහු මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂ අවශ්‍ය නැති බව දේශනා කරමින් කම්කරු පන්තිය අවමන්ගත කලහ. 1960 ගනන් වල කරුනාරත්න අවස්ථාවාදී දේශපාලන වැඩ පටන් ගත්තේ පැබ්ලෝවාදයෙන් පිරිහී ධනපති ශ්‍රීලනිපය අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදය වෙත තල්ලු කල හැකි බව කියමින් එය සමග සභාගයට ගිය ලංකා සමසමාජ පක්ෂයෙනි.

ලෝක ධනවාදයේ අර්බුදය තුල පරිහානියට පත් වූ මෙම ජාතික ධනේශ්වර ව්‍යාපාර වඩ වඩා දකුන ට තල්ලු වෙමින් අද සෘජුව ම අධිරාජ්‍යවාදයට යටත් වී ඇත. වඩවඩා දකුනට ගිය නසසපය ඇතුලු ව්‍යාජ වම ලංකාවේත් ජාත්‍යන්තරවත් අධිරාජ්‍යවාදයේ කඳවුරට මාරුවී සිටියි. 1991 සෝවියට් සංගමයේ බිඳවිසිරවීමෙන් පසු සමාජවාදය තවදුරටත් වලංගු නැතිබව ප‍්‍රකාශ දෙමින් අධිරාජ්‍යවාදය හා ධනපති පන්ති පාලනය පෙරලා දැමීමේ සමාජවාදී විප්ලවයට තරයේ සතුරු කන්ඩායම් ලෙස මොවුහු මතුවී සිටිති.

“ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකීම” යනුවෙන් ඔවුන් ප‍්‍රකාශ කරන්නේ පවත්නා ක‍්‍රමයට කම්කරුවන් සිරකර තැබීමටයි. එය නිකම්ම කල නොහැක. මන්ද යත් පන්ති අරගලය ඔවුන්ට නතර කල නොහැකි බැවිනි. එහෙයින් මෙම අවස්ථාවාදීන් කම්කරු පන්තිය පාවාදෙන්නේ තමන් ම අවි ඔසවාගෙන ය.

පසුගිය මාසවල පැන නැගුනු අරගලවලදී නසසපයේ හා කරුනාරත්නගේ මේ ක්‍රියාකලාපය යහමින් දැක ගන්නට හැකිවිය. වර්ජනයට බට වෛද්‍යවරුන්ට කරුනාරත්න පහර දුන්නේ “වෛද්‍ය ත‍්‍රස්තවාදීන්” ලෙස ය. අධ්‍යාපන අයිතිය රැකගැනීමට ඉදිරියට ආ සිසුන්ට එරෙහිව ඔහු කීවේ පුද්ගලිකරනය අත්‍යවශ්‍ය ම බවයි. තවද ඔහු කම්කරුවන්ගේ, සිසුන්ගේ හා වෛද්‍යවරුන්ගේ අරගල රාජපක්ෂ ගේ “ෆැසිස්ට්වාදයට” සහයෝගය දීමක් බවට බේගල් කියමින් ඒවා මැඩීමට සහාය පල කලේය. පොලිස් රාජ්‍ය ප‍්‍රහාර සම්බන්ධයෙන් ගත්කල රාජපක්ෂත් සිරිසේන හා වික‍්‍රමසිංහත් අතර වෙනසක් කම්කරුවන්ට නම් දකින්ට නැත.

කම්කරු පන්තියට එරෙහි බලවේග උත්කර්ෂයට නැංවීමට නසසප නායකයා ඉදිරිපත්වී ඇත්තේ එහිම කොටසක් ලෙසය. අදත් “පෙරලිකාරී ව්‍යාපාරයන්” පැන නගින බවත් ඒවා “ජනතා ක්‍රියාකාරිත්වය” පදනම් කර ගත් ඒවා බවත් පැවසූ කරුනාරත්න එක්සත් ජනපදයේ බර්නි සෑන්ඩර්ස් සහ බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ නායක කෝබින් ඒ සඳහා උදාහරන බව සදහන් කලේ ය.

සෑන්ඩර්ස් සමාජවාදියෙකු ලෙස වෙස්වලාගෙන පසුගිය එක්සත් ජනපද මැතිවරනයේ තරඟ කිරීමට උත්සාහ කිරීම වසර දිගු කලක් පැවති ඩිමොක‍්‍රටික් පක්ෂ පාලනය යටතේ ජීවන තත්වයන්ට සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරුන ප‍්‍රහාර නිසාවෙන් කෝපයට පත් කම්කරුවන් හා තරුනයන් අවමංගත කිරීමට ඇට වූ දේශපාලන උගුලකි. ලේබර් පක්ෂය තුල කොර්බින් ගේ භූමිකාව ද එවැන්නකි. සෑන්ඩර්ස් හා කොර්බින් සිය රටවල අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා රැකීමට කැපවූ ධනපතියන් ය.

නසසපය ආන්ඩුව සමග කෙලින්ම පෙලගැසී සිටින අතර එකසත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, 2015 සිරිසේන බලයට ගෙන ඒමට දායක වී ආන්ඩුව විවේචනය කිරීමට දැන් ඉදිරිපත්වී සිටින්නේ තවත් අතකින් උගුල් අටවන්නන් ලෙසය. සෑන්ඩර්ස් හා කොර්බින් වර්නනා කරන ඔවුන් ලංකාවේ දී විවිධ ධනපති කන්ඩායම් හා වෘත්තීය සමිති සමග “වාම පෙරමුනු” ඇටවීමට වලිකති.

කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීමට තරයේම සතුරු නසසප හා මෙම කන්ඩායම් වලට එරෙහිව විප්ලවවාදී නායකත්වය සම්පාදනය කිරීමට සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනකි. 1968 පිහිටුවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සසප පූර්වගාමියා ය.

සසප පාදක වන්නේ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවවයේ න්‍යාය මතයි. කම්කරු පන්තිය ධනපති පන්තියේ සෑම කන්ඩායමකින්ම ස්වාධීනව ගොවීන් ඇතුලු පීඩිතයන්ගේ නායකත්වය ගනිමින් සමාජවාදී විප්ලවය ජයගෙන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම මගින් පමනක්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කල හැකිය. මෙම සටන ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය සමග අත්‍යන්තයෙන්ම බැඳී ඇත. රුසියාවේ 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ මූලෝපායික පාඩම එයයි.

සසප මෙවර පලාත් පාලන මැතිවරනයේදී අඹගමුව හා කයිට්ස් ප‍්‍රාදේශීය සභාවලට සහ කොලොන්නාව නගර සභාවට තරඟ කරයි. අප මෙම මැදිහත්වීම කරන්නේ කම්කරු පන්තියට, තරුනයන්ට හා දුගීන්ට අවශ්‍ය සමාජවාදී වැඩපිලිවෙල සම්පාදනය කිරීමට සටන් කරන සංවිධානය ලෙසයි.

මෙම අරගලයට සහයෝගය දෙන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන්, දුගීන්ගෙන් හා සමාජවාදයට ලැදි සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමු. අපගේ ප‍්‍රකාශනය වන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියයි. සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සසප තරුන සංවිධානයයි.

Share this article: