පාර්ලිමේන්තුවේ ගුටිකෙලිය ධනපති පන්ති පාලනය ජරාජීර්නවීමේ ප‍්‍රදර්ශනයක්

2018 ජනවාරි 15

ජනවාරි 10වන බදාදා පාර්ලිමේන්තුවේදී ආන්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමතියන් ගුටි ඇන ගැනීම ලංකාවේ ධනපති පන්ති පාලනයේ ආන්තික අර්බුදය හා කුනුවීම නින්දිත ලෙස පොදු මහජනතාවට දැකගන්නට අවස්ථාවක් ලබාදුන්නේය. ප‍්‍රදර්ශනය වූයේ ලංකාවේ “පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය” හා රට ආන්ඩු කරවීමේ ලා ඊට ඇති “මහා බලය” පිලිබඳව දේශපාලන පක්ෂ, ජනමාධ්‍ය හා විශ්ලේෂකයන් දෙසාබාන කයිවාරුවලට යටින් වර්ධනය වී පවතින ඇති සැබෑ තත්වයයි.

පාර්ලිමේන්තුව කැඳවන ලද්දේ 2015 පෙබරවාරි මාසයේ මහා බැංකුවේ බැඳුම්කර නිකුතුවක් මගින් සිදුකල මහා මූල්‍ය මගඩියක් පිලිබඳව පරික්ෂා කිරීමට පත්කල ජනාධිපති කොමිසමේ වාර්තාව සාකච්චා කිරීම සඳහා ය. උත්ප‍්‍රාසය නම්, දූෂිත හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී රාජපක්ෂ පාලනය පෙරලා දමා යහපාලනය ඇති කිරීමේ නමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමෙන් යන්තම් මාසයකට පසුව එම උද්ඝෝෂනය ගෙනගියවුන්ගේ මූලිකයන්ම මෙම මූල්‍ය වංචාවට සම්බන්ධවී සිටීම ය. පර්පෙචුවල් ෙට්‍රසරීස් සමාගම විසින් කරන ලද එම වංචාවට ජනාධිපති සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ ඇමතියන්, මන්ත්‍රීන් ඇතුලු ආන්ඩුවේ මුදුන් පුද්ගලයන්, මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා නිලධාරින් අඩුවැඩි වසයෙන් කෙලින්ම හෝ වක‍්‍රව සම්මාදම් වී ඇත.

දෙසැම්බර් 30 දා තමන් වෙත ලැබුනු කොමිසමේ වාර්තාව ගැන ජනවාරි 3 දා ජනාධිපති සිරිසේන කල ප‍්‍රකාශයට අනුව මාස පහක් වැනි කෙටි කාලයක් තුල පර්පෙචුවල් ෙට්‍රසරීස් සමගම ගසාකා ඇති මුදල අවම වසයෙන් රුපියල් බිලියන 11කට වැඩි අතර සේවක අර්ථසාධක අරමුදල ඇතුලු රාජ්‍ය ආයතන පාලනය කරන විශ‍්‍රාම වැටුප් අරමුදල් වලට සිදුකර ඇති පාඩුව බිලියන 8.5කට වැඩිවේ.

මීට ඉහත රාජපක්ෂ ආන්ඩුව බලයේ සිටි 2008-2014 කාලය තුල මහා බැංකුව හරහා කෙරුනු බැඳුම්කර නිකුතුවලට සම්බන්ධිතව සිදුකර ඇති බිලියන ගනනක “මුල්‍ය අක‍්‍රමිකතා” පිලිබඳව නියමාකාරයෙන් දැන ගැනීමට “වෝහාරික පරීක්ෂනයක්” පැවැත්විය යුතු බව කොමිසම රෙකමදාරු කර ඇත. තව ද කොමිසම යෝජනා කර ඇත්තේ හිටපු මුදල් ඇමති රවී කරුනානායක, එවක මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ඔහුගේ බෑනාවන පර්පෙචුවල් ෙට්‍රසරිස් සමාගමේ අයිතිකාර අර්ජුන් ඇලෝසියස් හා තවත් ගනනාවකට එරෙහිව මගඩිය හා ආශ්‍රිතව සිදුකර තිබෙන ගනුදෙනු පිලිබඳව නීති මගින් දඬුවම් කලයුතු බවයි.

මංකොල්ලයේ දිග-පලල හා සැබෑ හොරුන් පිලිබඳව ඡායා මාත‍්‍රයක් පමනක් එලිවී ඇත. ඇලෝසියස්ගේ සමාගම ගසාකෑ බවට එලිවී ඇති දැවැන්ත මුදල් කන්දරාව පමනක් වුව අංග සම්පූර්න රෝහල් හෝ පාසල් කිහිපයක් හැදීමට ඇති තරම් විශාලය. මීට ඉහත, රාජපක්ෂ පාලනය සමයේ සිදුවූ මහා මූල්‍ය වංචාවන් පිලිබඳව වාර්තාවිය. මහා බැංකු බැඳුම්කර හරහා කෙරුනු වංචාවන්ට අමතරව තවත් කොතෙකුත් දැවැන්ත ගසා කෑම් පිලිබඳව සිය කාකොටා ගැනීම් මධ්‍යයේ පාලක පන්තියේ කල්ලි එකිනෙකාට චෝදනා කර ගනිති.

මහා දවල් හොරකම් එලිදරව් වන තත්වයේදී ආන්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීන් පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී එකිනෙකාට “හොරා”යයි කුනුහරපයෙන් බැන ගනිමින් නිරුවත වසා ගැනීමට වියරු සහගත පොරයක් හිතාමතාම අවුලුවා ගත්හ. ඔවුන් දොස් නගා ගත්තේ තමා සුදනා වීමේ අපේක්ෂාවෙනි. සිරිසේන හොරකම් මැඩලන බවට රැස්වීම්වල මොරදෙයි. පසුගිය අවුරුදු තුනේ හොරකම් සිදුවෙද්දී ආන්ඩුවේ නායකයා ලෙස සිටියේ කෙසේදැයි ඔහු කිසිවක් කියන්නේ නැත.

ආන්ඩුවේ නායකයන් හා විපක්ෂයේ කන්ඩායම් තමන්ගේ අවංක කම ගැන කොතෙකුත් බොරු ගොතන්නේ එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමේ සටනක යෙදී සිටින කම්කරුවන්, දුගීන් හා තරුනයන් අතර මේ වංචාවන් ගැන බුරා නැගෙන කෝපය අවමන් ගත කිරීමට හා ඉන් බේරීමටයි. ජීවන හා සමාජ කොන්දේසි ඉහල දැමීමේ නොයෙකුත් පොරොන්දු දෙමින් බලයට පත්ව සිටින පාලකයන්, සැබෑ වසයෙන්ම, ඔවුන්ගේ කොන්දේසි තලා දමමින් පටවන ප‍්‍රහාරවලට එරෙහිව නැගී එන අරගල ආන්ඩුවේ දූෂිතකම හෙලිවීම නිසා තවතවත් ගිනියම්වනු ඇතැයි පාලක පන්තියේ භීතිය දැල්වී ඇත.

මෙම එලිදරව්වන්ගෙන් එල්ලවිය හැකි අන්තරායන් ගැන සිරිසේන-වික‍්‍රමසිංහ බලයට ගෙන ඒමට පෙල ගැසුනු ව්‍යාජ වම, ශාස්ත‍්‍රාලිකයෝ සහ ඊනියා සිවිල් ක්‍රියාකාරිකයෝ තැතිගැනී සිටිති.

ධනේශ්වර පාලනය රැකීමට ව්‍යාජ කතා ගොතන්නෙකු වන රාවය හිටපු ප‍්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් ජනවාරි 14 ඉරිදා කලාපයට බැඳුම්කර මගඩිය සිදුවන්නට ඇත්තේ මන්දැයි යන්න ගැන ඇස්වලට වැලි ගසන “විවරනයක්” සපයා ඇත. බැඳුම්කර වංචාවෙන් මහා බැංකුව ද රටේ දේශපාලන පක්ෂ ද කුනුවී ඇති තරම තේරුම් ගත හැකි බව කියන අයිවන් එක්සත් ජාතික පක්ෂ (එජාප) නායකයන් මෙවැනි වරදක් කරන්නට පෙලඹුනු “මා ගේද විශ්වාසයට හේතුවූ අර්ථකතනයක් මෙසේය” යි විස්තරයක් කර ඇත: පසුගිය ජනාධිපතිවරනයෙන් සිරිසේන බලයට ගෙන ඒමට විශාල වියදමක් දරන්ට සිදුවූ නිසා එජාපයට ඉන් ඇතිවූ ලොකු නය බර පියවා ගැනීමට “මහා බැංකුවට හිතවත් අධිපතියෙකු පත්කොට පක්ෂයට තිබුනු මුදල් ප‍්‍රශ්නය මහා බැංකුවෙන් විසඳා ගැනීම හොඳම මාර්ගය ලෙස සිතුවා විය යුතුය.” රාජපක්ෂ පාලන කාලයේද එසේ සිදුවී ඇති නිසා හොරෙන්ම එය කල හැකි යයි එජාප නායකයන් සිතුවත් “වැඩේ ගැස්සුනේය.”

දකුනු ආසියාවේ දේශපාලන විශාරදයෙක් ලෙස ජන මාධ්‍ය විසින් හැඳින්වෙන මහාචාර්ය ජයදේව උයන්ගොඩ “දේශපාලන දේහයේ වැලඳී ඇති මහා පරිමාන දූෂනය සහ අල්ලස යන පිලිකාව ඉවත් කිරීමට කිසිදු ආන්ඩුවක් පියවර නොගන්නේ ඇයි?” යනුවෙන් ප‍්‍රශ්න කරයි.

මේ ගැටලුව නිරාකරනය කර ගැනීමට “සරත් විජේසූරිය නායකත්වය දෙන පුරවැසි ව්‍යාපාරයත්, අයිවන් මහතා නායකත්වය දෙන පුනරුදය ව්‍යාපාරයත්, අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දෙන ජවිපෙයත් බැරෑරුම්ව සාකච්චා කලයුතු කරුනක්” බව උයන්ගොඩ යෝජනා කර ඇත. එහෙත්, වසර තුනකට පෙර දූෂන විරෝධී යයි ආන්ඩුව වඩම්මා ගත් උයන්ගොඩ ද ඇතුලු මෙම කන්ඩායම එහි ක‍්‍රියාකලාපයට දේශපාලනිකව වගකිවයුතු ය.

තවත් විශ්ලේෂකයෙකු ලෙස ජනමාධ්‍ය වලට ලිපි ලියන කුසල් පෙරේරා නැමැත්තා ඩේලිමිරර් පුවත්පතට කර තිබුනු විවරනය මෙසේය: “අපට ජීවත්වීමට සිදුවී තිබෙන වඩවඩාත් ගැඹුරුවන අර්බුදයන්ට ජාතික වසයෙන් [ඇතිකර ගත යුතු] විකල්පයන් පිලිබඳව බැරෑරුම් කතිකාවක් නැත.” නීති කීපයක් වෙනස් කිරීම සහ වරදකරුවන්ට දඬුවම් දීම බරපතල පිලියම් ලෙස ජවිපෙ ඇතුලු දූෂන විරෝධී කන්ඩායම් ඉල්ලා සිටිති. එහෙත් පාර්ලිමේන්තුව ම අනීතික එකක් බවද වත්මන් දේශපාලකයන්ට විශ්වසනීයත්වයක් නැති බවද කියන පෙරේරාගේ යෝජනාව මෙසේය: “අපට අවශ්‍ය කරන්නේ හොඳින් රෙදි සෝදා වේලා ගැනීමේ බලාපොරොත්තුවෙන් නිතර ලොන්ඩරිවලට නොයා පාර්ලිමේන්තුව නිත්‍යව ශුද්ධ කර තබන නව සහ විකල්ප ක‍්‍රමයක් සම්පාදනය කර ගැනීමයි.” ඔහු මෙසේ අනතුරු අඟවා ඇත: “මෙම සමාජය කෑලි යන්නට පෙර හොඳ ක‍්‍රමයක් සහිත නව සංවර්ධන මොඩලයක් පිලිබඳව වහාම කතිකාව ආරම්භ කලයුතු ය.”

ඔහු ද කරදුන් “යහපාලන මොඩලයේ” පල්ල ගොස් ඇති තත්වයේදී නව සංවර්ධන මොඩලයක් පිලිබඳ කතිකාවතක් නමින් වංක ගිරියක් නිර්මානය කිරීමට පෙරේරා යෝජනා කරන්නේ මෙම වංචාවන්ගෙන් ඔබ්බට මහජනයාගේ අවධානය යාම වැලැක්වීම සඳහාය. ඉහේ සිට පතුලටම තමන්ගේ කුනුවීම නොයෙකුත් අතින් ප‍්‍රදර්ශනය කරන පාලක පන්තියේ කොටස්වල හා ඔවුන්ට කත් අදින්නන්ගේ කකුල් වෙවුලන්නට පටන්ගෙන ඇත්තේ තමන් පය ගසා සිටින ධනපති සමාජ ක‍්‍රමය දෙදරා යන අර්බුදයන් නිර්මානය වීම ගැනයි. දූෂනයට එරෙහිව තඩිබාන මොවුන්ගේ ලිපිවල දූෂනය හා ධනපති ක‍්‍රමය අතර සම්බන්ධය ගැන වචනයක් වත් නැත්තේ අහම්බයෙන් නොවේ. ධනපති ක‍්‍රමයට පිටස්තර ලෝකයක් මොවුන්ට නැත.

පාලක පන්තියේ පක්ෂ හා කන්ඩායම්වල දූෂිත බව කපා ධනපති ක‍්‍රමය සුද්ධ කර පවත්වා ගත හැකි නොවේ. ධනේශ්වරයේ මුදුන්වල දූෂනය හා හොරකම වනාහි, දියුනු රටවල සිට පසුගාමී රටවල් දක්වා සමස්ත ධනපති පද්ධතියේ කුනුවීමෙන් පැනනංවා ඇත. ධනපති පන්තියේ පාලනය ගෙනයන ආයතන සියල්ල ද ජරාජීර්නවී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සංස්ථා බවට පත්වී තිබේ. කම්කරුවන්ට දුගීන්ට ඒවා තමන්ගේ අයිතීන් රකින ආයතන ලෙස පාවිච්චියට ගත නොහැකි ය.

සිය වසකටත් පෙරාතුව මූල්‍ය ප‍්‍රාග්ධනය අධිපතිත්වය දරන ධනවාදයේ අධිරාජ්‍යවාදී යුගයේ පරපෝෂිත ස්වභාවය ගැන පෙන්වා දුන් ලෙනින් මුල්‍ය වංශක්කාර පෙලන්තියක නැගීම විභාග කලේය. මූල්‍ය ප‍්‍රාග්ධනයේ නැගීමට සම්බන්ධිතව “මහා පරිමාන දූෂනය, අල්ලස්දීම හා සෑම වර්ගයකම වන්චාව” එහි ලක්ෂනයයි. “මෙම පද්ධතිය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා රිපබ්ලිකන් සහ ප‍්‍රතිගාමී රාජාන්ඩු අධිරාජ්‍යවාදීන් අතර වෙනස අකාමකා දමමින් ඔවුන් දෙපාර්ශ්වයම හා කුනුවෙමින් ජීවත්වෙති,” යයි ලෙනින් ලීවේය.

එම කාල පරිච්ෙඡ්දයෙන් සියවසකට පසු වත්මනේ ලෝක පද්ධතිය ම මෙම වර්ධනයෙන් මුලුමනින්ම ඇලලී ඇත. නිෂ්පාදන ආර්ථිකයෙන් වඩවඩා ඈත්ව මූල්‍ය සමපේක්ෂනය හා හොරකමෙන් මුදල් හම්බ කිරීම හැම රටකම දකින්නට ලැබීම මේ තත්වය තුල අහම්බයක් නොවේ. ඊට සමාන්තරව ලෝක පරිමානව එක කොනක ධනය ගොඩ ගැසීමත් අනෙක් කොනේ දුප්පත්කම ගොඩ ගැසීමත් සිදුවේ.

කම්කරුවන් දුගීන් හා තරුනයන් ධනපති ක‍්‍රමය සුද්ධ කර පවත්වාගෙන යාම පිලිබඳ එහි ආරක්ෂකයන්ගේ හොර වට්ටටෝරු ඉඳුරාම ප‍්‍රතික්ෂේප කල යුතුය. එහි මූලය වනාහි සියලු වත්මන් සමාජ ව්‍යාධින්ගේ මූලය වන ජරපත් ධනාවාදයමයි. එය වෙනස් කල හැක්කේ වත්මන් පර්යාය වෙනස් කර දැමීමෙනි. එහි අර්ථය නම්, ප‍්‍රධාන ධනපති කර්මාන්ත, ව්‍යාපාර, වතු හා බැංකු කම්කරු පාලනය යටතේ සමාජවාදී ලෙස ප‍්‍රතිසංවිධානය කිරීමයි. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසකි.

පෙබාවාරි මාසයේ පැවැත්වීමට නියමිත පලාත්පාලන මැතිවරනයේ සියලු පක්ෂ කුහක ලෙස උද්ඝෝෂනයේ මුල් තැනට දමාගෙන ඇත්තේ දූෂනය අහෝසිකර දැමීමයි. සමාජවාදී සමානතා පක්ෂය කයිට්ස්, අඹගමුව සහ කොලොන්නාව යන පලාත්පාලන ආයතනවලට ඉදිරිපත් වන්නේ මෙම පක්ෂ සියල්ලටම ඉඳුරාම වෙනස්වූ සමාජවාදී ක‍්‍රියා මාර්ගයක් ඉදිරිපත් කරමින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීම සඳහා ගෙනයන අරගලයේ කොටසක් ලෙසයි.

සමන් ගුනදාස සහ කේ. රත්නායක

Share this article: