ඩව් දර්ශකය 25,000ට නැගීම: කතිපයාධිකාරය සඳහා ගජ වාසිය අඛන්ඩ ව පවතී

The Dow at 25,000: The bonanza for the oligarchy continues

2018 ජනවාරි 5

ජනවාරි 4දා ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය 25,000 සීමාව පසුකර යාම, පසුගිය වසර පුරා වෝල් වීදිය ද ගෝලීය කොටස් වෙලඳපොලවල් ද අලලාගෙන තිබෙන සමපේක්ෂනීය බඩජාරීකම මගින් අර්ථවත් කරන, සමාජයේ ඉහල ස්ථරයන් වෙත ධනය මහා පරිමානයෙන් ගලායාම වැඩිදුර තීව‍්‍ර වීමක් සලකුනු කරයි.

ඩව් දර්ශකය 24,000 සිට මෙම නවතම සැතපුම් කරා පැනීමට ගත වූයේ දින 23ක් පමනක් වන අතර එය දර්ශකයේ ඉතිහාසය තුල ලකුනු 1,000ක ආරෝහනයක් සිදු වීමට ගතවුනු කෙටි ම කාලය යි.

2017 දී සියයට 22කින් එස් ඇන්ඩ් පී ගෝලීය පුලුල් වෙලඳපොල දර්ශකය ඉහල නැගුනේ 2008-2009 ගෝලීය මූල්‍ය අර්බුදයේ පටන් විශාලතම නැගීම පෙන්නුම් කරමිනි. වෙලඳපොල අගයෙන් ගත්විට මෙය ඩොලර් ට්‍රිලියන 9.6කට ආසන්න නැග්මක් නිරූපනය කරයි. දෙසැම්බර් මාසයේ දී එෆ්ටීඑස්ඊ සමස්ත ලෝක දර්ශකය සියයට 1.6කින් ඉහල ගියේ, අඛන්ඩ ව දර්ශකය ඉහල ගිය වාර්තාගත 14වන මාසය සලකුනු කරමිනි.

වෙලඳපොල ප‍්‍රසාරනය එය 2018 දීත් අඛන්ඩ ව පැවතෙනු ඇති ය යන පුරෝකථනයන් ජනනය කර තිබෙන්නේ, එලඹෙන කාලය තුල වෙලඳපොල “උනු වීමක්” ගැන සමහරුන් අනාවැකි පලකරද්දී ය.

පසුගිය වසර තුල ගෝලීය වර්ධනය යන්තමින් ඉහල ගියත්, කොටස් වෙලඳපොලෙහි නැගීම මගින් ප‍්‍රකාශ වන්නේ ගෝලීය මූල්‍ය අර්බුදය පුපුරා ගොසින් දස වසරකට පසු ලෝක ආර්ථිකයේ ප‍්‍රකෘතිමත් වීමක් නො වේ. ඒ වෙනුවට, එය වනාහි සමාජයේ ඉහල ස්ථරයන් වෙත ආදායම් මාරු වීම ත්වරනය වීමේ යාන්ත‍්‍රනයකි. උදාහරනයක් ගතහොත් ඇමේසන් අයිතිකාර ජෙෆ් බෙසෝ පසුගිය වසරේ දී ඔහුගේ ධනය ඩොලර් බිලියන 33කින් ඉහල දමාගත්තේ ය.

ආන්ඩුවේ හා මූල්‍ය ආයතනවල සියලු අංශ ව්‍යාපාර වස්තු බුබුල පිපිරී යාම දෙසට යොමු වී පවතී. මෙහි මුලින් ම සිටින්නේ එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් බැංකුව හා ලොව පුරා අනෙකුත් ප‍්‍රධාන මහ බැංකු ය. තක්සේරු කෙරී ඇති පරිදි, ඩොලර් ට්‍රිලියන 15ක් ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් වෙත පොම්ප කර පොලී අනුපාත ඉතිහාසයේ පහල ම මට්ටම්වලට අඩු කර තිබෙන එම බැංකු, කොටස් වෙලඳපොලවල ප‍්‍රසාරනයේ දී අර්ථභාරී කාර්යභාරයක් ඉටුකර ඇති කොටස් ආපසු මිලට ගැනීම් හා මූල්‍ය ආයතන බද්ධ වීම් සඳහා එමගින් කොන්දේසි සකසා ඇත.

මූල්‍ය සහකාරීත්වයේ මෙම දැවැන්තත්වය පසුගිය වසර දෙක පුරා ලෝකයේ විශාලතම ආර්ථිකයන් 10යෙහි ආන්ඩු විසින් නිකුත් කල සියලු ම බැඳුම්කර මහ බැංකු විසින් මිලට ගෙන ඇති ය යන කරුන විසින් නිදර්ශනය කෙරී තිබෙන අතර, යථා අගයන්ගෙන් ගත් කල පොලී අනුපාතික ශූන්‍යයට ආසන්න මට්ටම්වල තබා ගැනීමේ දී මූලික සාධකය වන්නේ එලෙසින් මිලට ගැනීම යි.

1987 ඔක්තෝබරයේ, එක්සත් ජනපද කොටස් වෙලඳපොල කඩා වැටීමට ප‍්‍රතිචාර වසයෙන් වත්කම්වල මිල ස්ථාවර ව තබාගැනීම සඳහා, මූල්‍ය ඇබයන් විවෘත කරන බවට ෆෙඩරල් රිසර්ව් සභාපති ඇලන් ග‍්‍රීන්ස්පෑන් සහතික වීමත් සමග වසර තිහකට පෙර ඇරඹුනු ක‍්‍රියාවලියක අඛන්ඩ පැවැත්ම හා ගැඹුරු වීම මෙම පිලිවෙත් මගින් නියෝජනය කරයි.

1990 ගනන්වල හා 2000 ගනන් මුල සෑම මූල්‍ය කුනාටුවක දී ම ප‍්‍රතිචාරය එක ම විය: එනම්, සමපේක්ෂනයේ ඊ ලඟ වටයට තව තවත් මුදල් සම්පාදනය කිරීම යි. මෙහි කූටය වන්නේ, 2008න් පසු බැංකුවලට ඇප තැබීම හා පසුගිය දශකය පුරා සිදුකල ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ පිලිවෙත යි.

එකකට පසු තවෙකක් වසයෙන් මෙම පිලිවෙත් අනුගමනය කරනු ලැබ තිබෙන්නේ සෞඛ්‍යය හා අධ්‍යාපනය ද ඇතුලු සමාජ සේවා සඳහා වියදම් කපාහරිමිනි. බලයේ සිටින තන්ත‍්‍රයේ දේශපාලන වර්නය කවරක් වුව ද අනෙක් ප‍්‍රධාන ධනේශ්වර ආර්ථිකයන් මෙන් එක්සත් ජනපදය තුල ද ආන්ඩුවේ පිලිවෙත් පදනම් වන්නේ, කම්කරු පන්තියේ ශ‍්‍රමය විසින් නිර්මිත ධනය ආදායම් පරිමානයේ ඉහල සිටින්නන් වෙත මාරු කිරීම ඉලක්ක කරගත් කප්පාදු පිලිවෙත් මත යි.

සංගතවලට හා සුපිරි ධනවතුන්ට ඉතිහාසයේ විශාලතම බදු සහනවල ස්වරූපයෙන් ගජ වාසි පුදදීමෙන් ක්ෂනිකව ඉක්බිත්තේ, එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ සියලු කොටස් සමාජ සේවාවන් සම්පාදනය කිරීම කප්පාදු කරන න්‍යාය පත‍්‍රයක් වර්ධනය කිරීමට එක්සත් ව සිටිති.

කොටස් වෙලඳපොලේ පිම්බීමේ ස්වභාවය මැනිය හැක්කේ වත්මන් තත්ත්වය පූර්ව කාලපරිච්ෙඡ්දයන් සමග සංසන්දනය කිරීමෙනි.

ආර්ථික “ප‍්‍රකෘතියේ” පසුගිය වසර නවය පුරා ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය සියයට 177කින් වැඞී ඇති වුව ද එක්සත් ජනපදයේ දල දේශීය නිෂ්පාදිතයේ යථා වර්ධනය සියයට 19ක් පමනි.

1959 සිට 1968 දක්වා, එනම් වසර 50කට පෙර මේ හා සමාන කාල පරිච්ෙඡ්දයක් තුල, ඩව් දර්ශකය සියයට 22කින් පමනක් වැඩෙද්දී, යථා ආර්ථිකය සියයට 48කින් හෙවත් වර්තමාන අනුපාතයට වඩා දෙගුනයකටත් වැඩියෙන් වර්ධනය වුනි.

කොටස්වල අගයන්ගේ යෝධ වර්ධනය පශ්චාත් යුද කාලපරිච්ෙඡ්දයේ නරක ම ආර්ථික “ප‍්‍රකෘතිමත් වීමේ” සමයේ සිදු වී තිබෙන අතර, ඉතිහාසයේ අඩු ම ආයෝජන මට්ටම්, ඇදවැටෙන ඵලදායීත්වය හා එකතැන පල්වන වැටුප් මගින් එය ලක්ෂනය කරනු ලැබේ.

කොටස් වෙලඳපොල බුබුලේ පරපෝෂිත ස්වභාවයට සාක්ෂි දරන්නේ වෙලඳපොල අගයෙන් ගත්විට මුලූමහත් වර්ධනයෙන් හතරෙන් පංගුවක් ම එක්සත් ජනපදයේ විශාලතම සමාගම් පහ වෙතින් පැමිනීම විසිනි: ඒවා නම්, ඇපල්, (ගූගල් අයිතිකාර) ඇල්ෆබට්, ඇමේසන්, ෆෙස්බුක් හා මයික්‍රොසොෆ්ට් ය.

මෙම සංගතයන්ට ලාක්ෂනික වන්නේ, අතීතයේ කාර්මික දැවැන්තයන් මෙන් වැඩහල්, උපකරන හා විශාල කම්කරු බලකායකට රැකියා සැපයීම සඳහා ආයෝජනය කරනු වෙනුවට, මේවා සිය ලාභ සමුච්ඡය කරනය කරගන්නේ බදු කුලියේ නවීන රූපාකාරයක් වන බුද්ධිමය දේපොල හිමිකම් හරහා වීම යි. අවසානයේ, මේ ආකාරය පරපෝෂිත භාවය පදනම් වන්නේ, චීනයේ හා අනෙකුත් ලාභ ශ‍්‍රම කලාපවල කම්කරුවන් සුපිරි ලෙස සූරාකෑම මත යි.

අනෙකුත් තාක්ෂනික දැවැන්තයන්ට විලක්ෂනික ව ඇමේසන් සමාගම සතුව විශාල ශ‍්‍රම බලකායක් සිටී. එහි කොටස් වටිනාකම් යෝධ ලෙස ඉහල යාම පිලිබිඹු කරන්නේ, ඒකාධිකාරී වෙලඳපොල බලයේ හා දුගී ශ‍්‍රම බලකාය වහල් ශ‍්‍රමයට සමාන ලෙස සූරාකෑමේ ඒකාබද්ධ කිරීමක් හරහා ව්‍යාපාරවලින් කුඩා බෙදාහැරීම් ජාල ඉවත ඇද දැමීමේ දී එය ඉටුකරන භූමිකාව යි.

කොටස් වෙලඳපොල බුබුලේ තීරනාත්මක භාවයෙන් නො අඩු තවත් අංශයක් තිබේ: එනම්, පන්ති අරගලය මර්දනය කිරීම හා මෑත දශකයන් තුල ප‍්‍රධාන වර්ජන ක‍්‍රියා තථ්‍ය ලෙස අතුරුදන් වීම යි.

මෙය කම්කරු පන්තිය තමන් මුහුන දෙන අභියෝගයන්ට ප‍්‍රතිචාර දැක්වීමේ දී දක්වන ඓන්ද්‍රීය අසමර්ථතාවක ප‍්‍රතිඵලයක් නො වේ. ඒ වෙනුවට, එය, දශක ගනනාවක් පුරා කම්කරු පන්තිය මත ආධිපත්‍යය දරා ඇති වෘත්තීය සමිති හා විවිධාකාර ව්‍යාජ-වාම කන්ඩායම්වල සහයෝගය ලබන දේශපාලන පක්ෂවල භූමිකාවේ ප‍්‍රතිඵලයකි.

කොටස් වෙලඳපොල ගජවාසි යථාවත් කිරීමේ දී මෙම සංවිධාන ඉටු කල තීරනාත්මක භූමිකාව “අත්වැරදීම්” හෝ වැරදි තක්සේරු කිරීම්වල ප‍්‍රතිඵලය නො වන අතර, එය පැනනගින්නේ පුද්ගලික ලාභ පද්ධතිය නඩත්තු කරගෙන යාම තුල පදනම් ඇති ද්‍රව්‍යමය අවශ්‍යතා හා වරප‍්‍රසාද වලිනි.

එහෙත් නව වසර ආරම්භයේ දී ම ඉරානයේ මහජන විරෝධතා, රුමේනියාවේ මෝටර් රථ කම්කරුවන්ගේ නවතම වර්ජනය සහ යුරෝපයේ හා මැද පෙරදිග පුරා වර්ධනය වන කම්කරු සටන්කාමීත්වය සාක්ෂි දරන පරිදි, කම්කරු පන්තිය යලි වතාවක් තිගැස්සෙන සුලු අරගලයන්ට එලඹෙන බවට නිදර්ශන පවතී.

ධනේශ්වර ලාභ පද්ධතිය සමන්විත වන්නේ සමාජීය ධනය ඉහල කොටස් හා ඔවුන්ගේ ආවතේවකාරයන් වෙතට මාරු කිරීම මෙහෙයවන උපකරනයකට අඩු දෙයකින් නො වේ. ප‍්‍රතිසංස්කරනයේ ඉදිරිදර්ශනය හරහා එය වෙනස් කල නො හැකි එය, වෙනස් කල හැකි එකම ක‍්‍රමය වන්නේ ලාභ පද්ධතිය පෙරලා දමා සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත සමාජය ඉහල සිට පහලට යලි ගොඩනැගීමෙන් පමනි.

මාක්ස් පැවසූ පරිදි, නිෂ්පාදන බලවේගවල පුද්ගලික අයිතිය අවසන් කිරීමට හා මානව අවශ්‍යතා ඉටුකරන සමාජ-ආර්ථික පර්යායක් ස්ථාපනය කිරීමට “සූරාකන්නන්ගේ බුක්තිය පැහැරගැනීම” හැර වෙනත් මගක් නැත. කොටස් වෙලඳපොල උමතුව ද ඒ හා බැඳුනු දුගී බවේ හා සමාජ කාලකන්නිකමේ වර්ධනයද වෙතින් උකහා ගතයුතු නිගමනය වන්නේ, මෙම ඉදිරිදර්ශනය සඳහා අරගලයට කම්කරු පන්තිය දේශපාලනික ව ප‍්‍රතිසන්නද්ධ කිරීමේ වගකීම භාරගැනීමේ අවශ්‍යතාව යි.

නික් බීම්ස්

Share this article: