ධනවාදයට එරෙහිව වැඩෙන කම්කරු පන්තික විරුද්ධත්වය අවමංගත කිරීමට බර්නී සෑන්ඩර්ස් උත්සාහ ගනි යි

Bernie Sanders seeks to derail growing working class opposition to capitalism

2018 ජනවාරි 17

(එක්සත් ජනපදයේ) වර්මොන්ට් ප‍්‍රාන්ත සෙනේට් සභික බර්නි සෑන්ඩර්ස් වැඩිවෙන ආර්ථික අසමානතාව පරාජය කිරීමේ ගෝලීය ප‍්‍රයත්නයක් සඳහා ඉල්ලීමක් නිකුත් කලේ ය, එය ඉරිදා ගාඩියන් පත‍්‍රයේ පල කෙරුනි. එය ධනය බෙදීයාමේ බරපතල වෙනස්කම් පිලිබඳ සාක්ෂි සඳහන් කරන නමුත්, එය නිර්මානය කර ඇති ආර්ථික පද්ධතියට එරෙහිව අවංක අරගලයක් සඳහා ඉතාමත් සුලු හෝ අපේක්ෂාවක් නො පෙන්වන අතර සැබවින් ම එහි අරමුන එවැනි ව්‍යාපාරයක් වැලක්වීම යි.

සෑන්ඩර්ස් විසින් නිකුත් කරන ලද ප‍්‍රකාශනයෙහි වඩාත් ම කැපී පෙනෙන දෙය වන්නේ, ආසන්න වසයෙන් වචන 1,200ක් වන ලිපිය තුල ධනවාදය හෝ සමාජවාදය ගැන එකදු වචනයක් හෝ නොමැති වීම යි.

“ලෝකයේ පොහොසත් ම පුද්ගලයෝ හයදෙනා ලෝක ජනගහනයේ පතුලේ අඩට, එනම් පුද්ගලයන් බිලියන 3.7ට වඩා වැඩි ධනයකට හිමිකම් කියති. තව ද, ඉහල සියයට 1ට දැන් පහල සියයට 99ට වඩා ධනය ඇත.”

“බිලියනපතියන් අහංකාර ලෙස තමන්ගේ සමෘද්ධිය විදහා පාද්දී, ආසන්න වසයෙන් මිනිසුන් හත්දෙනෙකුගෙන් එක් අයෙක් දිනකට ඩොලර් 1.25ට අඩු (රුපියල් 200ට අඩු) ආදායමක් මත පන ගැට ගසා ගැනීමට සටන් කරන අතර, බියකරු ලෙස, පාචනය, මැලේරියාව හා නියුමෝනියාව වැනි මුලුමනින් ම වලකාලිය හැකි හේතුවලින් දිනපතා ලමයි 29,000ක් පමන මියයති” යි ඔහු තව දුරටත් පවස යි.

ගෝලීය පරිමානයක කම්කරු ජනයා මුහුන දෙමින් සිටින බියකරු යතාර්ථයන් පිලිබඳ යාතිකාවක් සමග සෑන්ඩර්ස් ඉදිරියට යයි. නමුත් ඒ ගැන කල යුතු යැයි ඔහු යෝජනා කරන්නේ කුමක් ද?

සෑන්ඩර්ස් පිරිනමන්නේ හිස් වියුක්තයන්ය, එනම්, “ජාතීන් තුල මෙන් ම ජාතීන් අතර ව්‍යුහාත්මක අසමානතාව සමග පොර බැදීමට” කැප වනු ඇති “නව ජාත්‍යන්තර ප‍්‍රගතිශීලී ව්‍යාපාරයකි.” එය දුප්පතුන් හා කම්කරුවන්ගේ ජීවන තත්වයන් ඉහල දැමීමට අරමුනු කල යුත්තේ “සංගත බලය සීමා කිරීමට” උත්සාහ කරන අතර ය.

මෙම ජාත්‍යන්තර ප‍්‍රගතිශීලී ව්‍යාපාරය සමග එක් ව එය මෙහෙය වන්නේ කව්රුන් විසින් ද? පවතින පක්ෂ, වෘත්තීය සමිති හා දේශපාලන නායකයින් කුමන කාර්යභාරයක් ඉටු කරනු ඇත් දැ යි සෑන්ඩරස් නො පවස යි.?

යුරෝපා සංගමය වෙනුවෙන් සමාජ ශුභසාධන කප්පාදු හා සමාජ අසමානතාවේ පොලිස්කාරයා ලෙස තම පාලනයේ තුන්වැනි වසර නිමා කරමින් සිටින ග‍්‍රීසියේ සිරිසා වැනි ව්‍යාජ වාම කන්ඩායම්වල සිට, 2016දී සෑන්ඩර්ස් එහි ජනාධිපති නාම යෝජනා අපේක්ෂා කල එක්සත් ජනපදයේ ඩෙමොක‍්‍රටික් පක්ෂය වැනි විවෘතව අධිරාජ්‍ය ගැති පක්ෂ දක්වා දිවෙන, “ප‍්‍රගතිශීලී” යැයි කියාගනු ලබන සිය දහස් ගනනක් දේශපාලන කන්ඩායම් තිබේ.

සෑන්ඩර්ගේ තීරු ලිපියේ සඳහන් විනාසකාරී සමාජ තත්වයන් නිර්මානය කර ඇති සමාජ පර්යායේ කුලුනක් මෙන් ම ග‍්‍රහලෝකය මත වඩාත් ම ප‍්‍රතිගාමී ආයතනවලින් එකක් වන රෝමානු කතෝලික පල්ලියේ නායක ෆ‍්‍රැන්සිස් පාප්වරයා හැරුනු විට, ඔහුගේ “ජාත්‍යන්තර ප‍්‍රගතිශීලී ව්‍යාපාරය” තුල හවුල්කරුවන් ලෙස සෑන්ඩර්ස් කිසිවෙකුගේ නම් සඳහන් නො කරන්නේ ප‍්‍රවේසමනි.

සමාජ සාධාරනත්වය ගැන සාඩම්බර ධර්මෝපදේශ පිලිගන්වමින් සෑන්ඩර්ස් ඇතැම් විට මෙම පාප්වරයාගේ අනාගමික අනුවාදයක් වීමට අපෙක්ෂා කරන අතර, දිනපතා දේශපාලන අගාධවල වැඩ කරන්නේ, කොංග‍්‍රසයේ වෙනත් කිසිම සාමාජියෙකුට වඩා වෝල් වීදියේ මුදල් ලබා ඇති, සෙනෙට් සභා ඩෙමොක‍්‍රටික් නායක චාල්ස් ෂූමර් සමග ය.

ඔහු මග හරිමින් සිටින විෂයන් ගැන සෙනෙට් සභිකයා යහමින් දනී. ඔහු ඔහුගේ දේශපාලන වෘත්තිය පදනම් කර ඇත්තේ දේශපාලන “ස්වාධීනත්වය” හා “ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදය” මත ය. මෙම ආස්ථානය 2016 ජනාධිපතිවරනයේ මූලික වටයේ දී මිලියන ගනනාවකගේ සහයෝගය ආකර්ෂනය කර ගත්තේ, ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය පමනක් නො ව, සෙනෙට් සභික සෑන්ඩර්ස් ම ද කම්පා කරවමින් හා බිය ගන්වමිනි.

සෑන්ඩර්ස් කම්කරුවන් හා තරුනයන්ගේ පුලුල් කන්ඩායමක වාමවර්තී ගමනක ප‍්‍රතිලාභියා වූ නමුත්, ඔහු මෙම මනෝගතිය නියෝජනය නො කලේ ය. වෝල් වීදියේ හා මිලිටරියේ මනාප අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් සම්බන්ධ ඔහුගේ අනුමැතිය දීමෙන් කූඨප‍්‍රාප්පත වූ ආකාරයට එම විරුද්ධත්වය නැවත ඩෙමොක‍්‍රටික් පක්ෂයට ගාල් කිරීම ඔහුගේ කර්තව්‍යය විය. ඔහුගේ සේවය වෙනුවෙන් සෑන්ඩර්ස් එක්සත් ජනපද සෙනෙට් සභාව තුල ඩෙමොක‍්‍රටික් පක්ෂ දේශපාලන මන්ඩලයේ ඉහල නායකත්ව තනතුරකට උස්සන ලදී.

පසු ගිය වසර පුරා, සංස්ථා සඳහා බදු කප්පාදු හා සංක‍්‍රමනිකයන් මත ප‍්‍රහාරයන් උත්සන්න කිරීම ඇතුලත් එහි ප‍්‍රතිගාමී දේශීය න්‍යාපත‍්‍රය මත ට‍්‍රම්ප් පාලනාධිකාරය සමග වැඩ කිරීමට ඩෙමොක‍්‍රටිකයන් උත්සාහ දරා ඇත. පසු ගිය සතියේ ඔහු මෙලෙස ප‍්‍රකාශ කල අවස්ථාවේ දී සෑන්ඩර්ස් දෙවැන්න සඳහා තමන්ගේ ම සහාය අඟවා ඇත. “අපට ශක්තිමත් දේශසීමා ආරක්ෂාවක් අවශ්‍ය යන්න සමග එකඟ නොවෙන කිසිවෙකු ඇත යි මම නො සිතමි. අපට ශක්තිමත් දේශසීමා ආරක්ෂාවක් ඇත යි සහතික කර ගනු පිනිස අප සමග වැඩ කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නම්, එය කිරීමට ඉඩ දෙනු මැනවි.”

සෑන්ඩර්ස්ගේ තීරු ලිපියට දවසකට පසු, නිව් යෝක් ටයිම්ස් වාර්තා කලේ, 2008 මූල්‍ය කඩා වැටීමෙන් පසු බැංකු මත පැට වූ බාධාවලින් දැනට ඉතුරු සියල්ල ඉවත් කිරීමේ දී රිපබ්ලිකානුවන් සමග වැඩ කිරීමට ඩෙමොක‍්‍රටිකයන් සූදානම් වෙමින් සිටින බව යි.

බාග වෙලාවට අතිශයින්ම තීරනාත්මක අයුරින්, න්‍යෂ්ටික අවිවලින් ගෙන යාමට ඉඩ ඇති, අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයේ වැඩෙන තර්ජනය ගැන සෑන්ඩර්ස් කිසිවක් නො කියයි. උතුරු කොරියාව, ඉරානය, සිරියාව හා අනෙකුත් ගෝලීයව උනුසුම් වූ ස්ථාන ගැන හෝ ලිබියාව ආක‍්‍රමනය කිරීම, ඇෆ්ගනිස්තානයේ යුද්ධය උත්සන්න කිරීම,හා ඩ්‍රෝන් යුද්ධය ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තියේ මූලික අංගයක් කිරීම ආදියේදී, ඔබාමා යටතේ ඩෙමොක‍්‍රටික් පක්ෂයේ වාර්තාව ගැන හෝ ඔහු සඳහන් නො කලේ ය. “මිලිටරිය” යන්න ගාඩියන් තීරු ලිපියේ සඳහන් නොවන තවත් වචනයකි, එසේ වන්නේ සෑන්ඩර්ස් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධාරකරුවෙකු වන බැවිනි.

එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තර ව කම්කරු පන්තියේ අධිරාජ්‍ය විරෝධී හා ධනේශ්වර විරෝධි මහජන ව්‍යාපරයක් සෑන්ඩර්ස්ට දැකීමට අවශ්‍ය වන අවසාන දෙය වන්නේ ය. “විප්ලවය” ප‍්‍රතික්ෂේප කිරීම සමග ඔහු තම තීරු ලිපිය අරඹන්නේ මේ නිසා ය, විප්ලවය කිසි දෙයක් වෙනස් කර නැත යි ඔහු කිය යි. මෙම වසර මේ වන විටත් ඉරානය, ග‍්‍රීසිය, ටියුනීසියාව, ජර්මනිය හා ඉන්දියාවේ පෙලපාලි හා වැඩවර්ජන ඇතුලුව කම්කරු පන්තික කෝපයේ සැලකිය යුතු ප‍්‍රකාශවීම් අත් දැක ඇත. වාම මනෝගතිය සැලකිය යුතු ලෙස වර්ධනය වීම පිලිබඳ හොඳින් දැනුවත් ඇමරිකානු පාලක පන්තිය එය විප්ලවවාදී දේශපාලනයෙන් ඉවතට හැරවීමට දරුනු උත්සාහයක යෙදී සිටියි.

“ක‍්‍රියාවට” ඔහු කරන ඉල්ලීමේ සුදුමැලි පසුගාමීත්වය එබැවිනි. ඔහු “බිලියනපතියන්ගෙන් බලය ආපසු ඇද ගමු යි” ඉල්ලා සිටී. නැත, තව දුරටත් බිලියනපතියන් නො සිටිය යුතු ය. ජාත්‍යන්තර කම්කරු පන්තිය පාලක පන්තිය පෙරලා දමා එහි ධනයේ භුක්තිය පැහර ගත යුතු ය. යෝධ සංගත හා බැංකු අධි පොහොසත් පුද්ගලයන්ගේ නොව, සමස්ත මහජනයා විසින් අත් කර ගන්නා වූ ද පාලනය කරනු ලබන්නා වූ ද මහජන උපයෝගිතාවන් බවට පරිවර්තනය කල යුතු වන්නේ ය.

හිස් “ප‍්‍රගතිශීලී” කයිවාරු ධනේශ්වර ගැති දේශපාලනය සමග ඒකාබද්ධ කරමින්, සෑන්ඩර්ස් මූර්තිමත් කරන්නේ දීර්ග කාලයත් තිස්සේ ඩෙමොක‍්‍රටික් දේශපාලනය සමග බැඳුනු දේශපාලනික ප්‍රෝඩාවේ ආකෘතියයි. ඔහුගේ සමාජවාදී හා වාමාංශික හපන්කම් ප‍්‍රචාරය කල ජැකොබින් හා නේෂන් යන සඟරා, ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදීන්, ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය හා සමාජවාදී විකල්පය ඇතුලු අය මෙම ප්‍රෝඩාව සමග සම්මුතියෙන් පසුවේ.

සමාජ අසමානතාවට එරෙහි අවංක ව්‍යාපාරයක් පදනම් කල යුත්තේ, සමාජය තුල තමාගේ තත්වය හේතුවෙන්, වෙනස් කල නොහැකි සේ ලාභ පද්ධතියට විරුද්ධ වන එකම සමාජ බලවේගය, එනම් ජාත්‍යන්තර කම්කරු පන්තිය මත ය. ධනවාදයට එරෙහිව සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ලෝක පරිමාන ව්‍යාපාරයක වර්ධනය පිලිබඳ පූර්න විශ්වාසය ලෝක සමාජවාදී වෙබ් අඩවියට ඇත.

තමන්ගේ මිතුරන් ව්‍යාජයෙන් කම්කරු පන්තියට දේශපාලනික නිදි පෙති සපයා දීමට උත්සාහ කරන අයට එරෙහි අරගලය තුල දී මෙම ව්‍යාපාරය දේශපාලනිකව දැනුවත් කල යුතු ය. මෙම දේශපාලන අරගලයට දැනුවත් හවුල්කරුවන් වීමට අපේක්ෂා කරන අය, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ලෙස ඒකාබද්ධ, එක්සත් ජනපදය තුල මෙන් ම වෙනත් රටවල, සමාජවාදී සමානතා පක්ෂවලට එක් විය යුතු යයි ඉල්ලමු.

පැට්‍රික් මාටින් විසිනි

Share this article: