ශ‍්‍රී ලංකාවේ පලාත් පාලන මැතිවරනය: කප්පාදුවට හා යුද්ධයට එරෙහි ව සසපට සහාය දෙන්න! කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදිමු!

Local government election in Sri Lanka: Support SEP campaign against austerity and war! Fight for a workers’ and peasants’ government!

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2018 ජනවාරි 9

පෙබරවාරි 10දා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරනයට සමාජවාදී සමානතා පක්ෂය (සසප) අපේක්ෂකයන් ඉදිරිපත් කරයි. යුද්ධයෙන් පීඩාවට පත් යාපනයේ කයිට්ස්, වතුකරයේ අඹගමුව හා කොලොන්නාව යන පලාත් පාලන ආයතන තුනට පිලිවෙලින් අපේක්ෂකයන් 16ක්, 24ක් හා 21ක් ඉදිරිපත් කරමින් සසප තරඟ වදී.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට හා ජීවන තත්ත්වයන්ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරයන්ට විරුද්ධව යලි යලිත් අරගල කරන කම්කරු, තරුන හා පීඩිත ජනතාවට අවශ්‍ය ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගය වෙනුවෙන් සසප අපේක්ෂකයෝ පෙනී සිටිති.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා විවිධාකාර ව්‍යාජ-වාම කන්ඩායම් ඇතුලු ධනපති පන්තියේ සෑම කොටසකින් ම ස්වාධීන ව, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් වෙනුවෙන් සටන් කිරීම සඳහා කම්කරු පන්තිය බලමුලුගැන්වීමට අපි උද්ඝෝෂනය කරන්නෙමු.

මැතිවරනය නිවේදනය කර ඇත්තේ, දිවයිනේ පුපුරනසුලු සමාජ හා දේශපාලන කොන්දේසි සලකුනු කරමින් වැඩකරන ජනතාව හා තරුනයන් අතර පුලුල් ව පැතිර යන ආන්ඩු විරෝධී උද්ඝෝෂන මධ්‍යයේ ය. වර්ධනය වන මෙම ව්‍යාපාරය ධනපති පාලනයට අභියෝග කිරීම වෙනුවට, බලධාරීන් වෙත පුහු ආයාචනා කරන තැනකට ඇද දැමීම සඳහා දේශපාලන සංස්ථාපිතයේ සෑම පක්ෂයක් ම දැනුවත්ව හා අධිෂ්ඨානශීලීව කටයුතු කරති.

ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන් ජූලි මාසයේ දියත් කල වර්ජනය මුලු රටට ම බලපෑවේ ය. සේවක කප්පාදුවට එරෙහි ව හම්බන්තොට වරාය කම්කරුවන් 2016 දෙසැම්බර් මාසයේ ඇරඹූ වාඩිලා ගැනීමක් නොවැම්බර් මාසයේ යලි ආරම්භ කරනු ලැබිනි. වැටුප් සංශෝධන ඉල්ලා දසදහස් ගනනක් තැපැල් හා දුම්රිය කම්කරුවන් වැඩ වර්ජනවල නිරත විය. වැඩ වේගවත් කිරීම් හා පිරිහී යන වැටුප් අගය පහත වැටීමට විරුද්ධ ව වතු කම්කරුවෝ විරෝධතා පැවැත්වූ හ.

වෛද්‍යවරුන්ගේ ද සහයෝගය ඇතුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමට එරෙහි ව මාස නවයක් පුරා පන්ති වර්ජනයක නිරත වූහ.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව වසර 26ක් පුරා පැවති වර්ගවාදී යුද්ධයෙන් විනාශ වුනු උතුරේ, මිලිටරි ග‍්‍රහනය යටතේ ඇති ඉඩම් ආපසු පැවරීම, සිය ගනනක් වන “අතුරුදන් වූවන්” පිලිබඳ තොරතුරු ලබාදීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා ජීවන තත්වයේ වර්ධනයක් ඉල්ලා, නො නවතින මහජන විරෝධතා පැනනැගී ඇත.

ගම්බද ප‍්‍රදේශවල දහස් ගනන් පීඩිත ජනතාව, වැඩෙන නය බරට, සහනාධාර කැපීමට විරුද්ධ ව අත්‍යවශ්‍ය සමාජ සේවාවන් ඉල්ලා විරෝධතා දක්වති.

මෙම අරගල මැඬීම සඳහා ආන්ඩුව, රුදුරු අත්‍යවශ්‍ය සේවා නියෝග පනවමින් හා වෘත්තීය සමිති ද ව්‍යාජ-වම්මුන්ගේ ද සහාය ඇති ව මිලිටරිය, පොලීසිය හා ඒ සමග එකට වැඩ කරන මැරයින් යෙදවීය. මෙම විරෝධතා කරුවන් මුහුන දෙන අතිමූලික ප‍්‍රශ්නය, ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත පීඩිත ජනතාව රැලි කරගැනීමට අවශ්‍ය කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයක් නැති කමයි.

දිවයින පුරා ජනතාව තුල පැතිර පවත්නා අතෘප්තිය, ජාත්‍යන්තර ව දිගහැරෙන තියුනු පන්ති අරගලයන්හි කොටසකි. ඉරානය තුල මහජන කෝපය පුපුරා යමින් ඇත. ට‍්‍රම්ප් පරිපාලනය විසින් එක්සත් ජනපදය තුල, සංක‍්‍රමනිකයන් ද ඇතුලු කම්කරුවන්ට එරෙහිව එල්ල කරන ප‍්‍රහාරවලට විරුද්ධ අරගල පැතිර යමින් තිබේ. ප‍්‍රන්ස කම්කරුවන් රුදුරු කම්කරු නීතිවලට විරුද්ධ ව සටන් වදින අතර රුමේනියාවේ ෆෝඩ් කම්කරුවෝ වැටුප් හා සේවා කොන්දේසි කැපීමට එරෙහි ව නැගී සිටිති. ඉන්දියාවේ මෑතක දී වෛද්‍ය ක්ෂේත‍්‍රයේ කප්පාදුවලට එරෙහි ව වෛද්‍යවරුන් රටපුරා ගෙනගිය විරෝධතාව හා තමිල්නාඩුවේ බස් කම්කරු වර්ජනය දකුනු ආසියාවේ කෝටි සංඛ්‍යාත කම්කරු පන්තිය අතර වැඩෙන යෝධ සමාජ ආතතීන් පිලිබඳ ප‍්‍රකාශනයන්.

මෙබඳු නැගිටීම් ඇවිල යන්නේ, 2008-09 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු ජාත්‍යන්තර පරිමාන ව ධනවාදයේ වඩ වඩාත් ගැඹුරු වෙමින් ඇති බිඳවැටීමට ප‍්‍රතිචාර වශයෙනි. සෑම රටක ම පාලක පන්තීන්, ආර්ථික අර්බුදයට ප‍්‍රතිචාර දක්වන්නේ සමාජ ප‍්‍රතිවිප්ලවය උත්සන්න කරමින්, සමාජ අසමානතාව පෙර නුවූ විරූ මට්ටම්වලට නංවමිනි. ලෝකයේ පොහොසත් ම සියයට 1 අද වනවිට ලෝක ජනගහනයෙන් අඩකගේ ධනයට සමාන පංගුවක් හිමිකර ගනියි.

මහ බලවතුන් අර්බුදයේ බර සිය ප‍්‍රතිවාදීන් මත පැටවීමට ක‍්‍රම සොයන තතු තුල ආර්ථික බිඳවැටීම, තියුනු වන භූ-දේශපාලනික ආතතීන් ද අවුලුවයි. වසර විසිපහක් තිස්සේ නව-විජිතවාදී යුද්ධයන් දියත් කර ඇති එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, තම ගෝලීය ආධිපත්‍යය යලි වාත්තු කර ගැනීම සඳහා චීනයට හා රුසියාවට එරෙහි ව න්‍යෂ්ටික යුදගැටුමකට සූදානම් වේ. ජර්මනිය හා ජපානය වැනි අනෙකුත් මහ බලවත්තු, තම අවශ්‍යතා රැක ගැනීම පිනිස ඔවුන්ගේ මිලිටරි ව්‍යායාමය දැඩි කරමින් සිටිති.

ආන්ඩුව මෙම භූ-දේශපාලනික ප‍්‍රතිගතිතා හා යුද්ධය කරා සිදුවන මහ බලවතුන්ගේ ධාවනය තුල ගැඹුරින් ම එරී සිටී. වොෂින්ටනයේ පිටුබලය සහිත තන්ත‍්‍ර මාරු මෙහෙයුමක් ඔස්සේ 2105 දී බලයට ආ සිරිසේන, ශ‍්‍රී ලංකාවේ විදෙස් පිලිවෙත එක්සත් ජනපදයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි පෙලගැස්වීය. එහෙත් මූල්‍ය හිඟයකට මුහුනපා ඇති ආන්ඩුවට ඉක්මනින්ම බීජිනයේ නය ආධාර සොයා සිදුවී ඇත්තේ ඒ එක්සත් ජනපදය හා ඉන්දියාව, චීනයෙන් ඈත්වන ලෙස කොලඹ ආන්ඩුවට නො නවත්වා පීඩනය යොදන තත්ත්වයකයි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ අර්බුදය

වසර තුනක් ගෙවී ගිය තැන, වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) හා සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප) යන ධනේශ්වර පක්ෂ දෙකේ හවුල් ආන්ඩුව, බිඳවැටීමේ අද්දරටම පැමින ඇත. අර්බුදයේ හරි මැද ඇත්තේ, සිංහල, දෙමල හා මුස්ලිම් යන සියලු කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන්ගේ රැඩිකලීකරනය යි. රුදුරු කප්පාදු පියවර හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මර්දනය හේතුවෙන් ආන්ඩුව මහජනයා අතර දැඩි ලෙස අපකීර්තියට පත් ව තිබේ.

ආර්ථික පරිහානියට ප‍ිලියම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යුහකරන පියරවර ක‍්‍රියාත්මක කරන ලෙස ආන්ඩුවට නියෝග කරයි. පෙර වසරේ සියයට 4.5ක් ව තිබුන රටේ ආර්ථික වර්ධන වේගය දැන් සියයට 4 දක්වා පහත වැටී ඇත. ගෝලීය ආතතීන් හා ප‍්‍රධාන වෙලඳපොලවල් හැකිලී යාම හේතුවෙන් අපනයනයන් ද පහත බසිමින් තිබේ. දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 79ක් දක්වා විදෙස් නය තියුනු ලෙස ඉහල නැගුනි. සියයට 7ක් වන උද්ධමන අනුපාතය රුපියල අවප‍්‍රමානය වීම නිසා තව දුර ඉහල යාමෙන් කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන කොන්දේසි කාබාසීනියා වෙයි.

ආන්ඩුවේ සහචරයින් ජනතාව අතර පිලිකුලට ලක්ව ඇති පිලිවෙත් පිලිබඳ දෝෂාරෝපනය එකිනෙකා මත පැටවීමට යත්න දරද්දී ආන්ඩුව තුල ගැටුම් හා බෙදීම් පුලුල්වී ඇත. තම සහචර එජාපයෙන් ඈත්ව සිටීමට තැත් කරමින් පලාත් පාලන මැතිවරනවලට වෙන ම තරඟ වදින සිරිසේනගේ ශ‍්‍රීලනිපය, “ජාතික සම්පත් විකිනීමට” හා ඉහවහා ගිය ආන්ඩුවේ දූෂනයට තමන් වගකිව යුතු නැතැයි බොරු වෙස් ගෙන ඇත.

අනෙක් අතට වික‍්‍රමසිංහ සිරිසේනට ප්‍රති උත්තර දීමට තැත් කරන්නේ, ඔහුගේ ආන්ඩුව සමාජ ප‍්‍රශ්න විසඳමින් හා රැකියා මිලියනයක් බිහිකරමින් රට ආර්ථික වර්ධනයේ මාවතට ගෙනැවිත් ඇතැයි යන ප්‍රෝඩාකාරී ප්‍රචාරයක් මගිනි.

ශ‍්‍රීලනිපයේ ප‍්‍රතිවාදී කන්ඩායමකට නායකත්වය දෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් එල්ල වන අභියෝගයට ද ආන්ඩුව මුහුන දී සිටී. මෑත මාස කිහිපය තුල රාජපක්ෂ සමග සාකච්ඡා කරමින් ශ‍්‍රීලනිපය යලි එක්සත් කිරීමට සිරිසේන මංමුලා සහගත ලෙස උත්සාහ දැරුවත් ඒවා බිඳවැටුනේ, එජාපයෙන් හා ආන්ඩුවෙන් ශ‍්‍රීලනිපය බිඳිය යුතු යයි රාජපක්ෂගේ බලකිරීම හේතුවෙනි.

ආන්ඩු විරෝධී මනෝගතිය ගසාකෑම සඳහා රාජපක්ෂ එතැන් සිට ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුන (ශ‍්‍රීලපොජපෙ) දියත් කර ඇත. දෙමල හා මුස්ලිම් ජනතාවට එරෙහි ප‍්‍රතිගාමී වර්ගවාදී උද්ඝෝෂනයක පදනම මත ආන්ඩුව බිඳ හෙලීමට ඔහු කැඳවුම් කරන්නේ, බෞද්ධ භික්ෂූන් ද පෙරමුනේ තබාගෙන ය. ප‍්‍රතිපත්ති පිලිබඳ ව ආන්ඩුව සමග මූලික මතභේදයක් නැති ඔහු බලයේ සිටිය දී ද ජාමූඅ කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීමේ දී වත්මන් ආන්ඩුව මෙන් ම නිර්දය ලෙස කටයුතු කලේය.

2015 දී සිරිසේන බලයට ගෙන ඒමට සහාය දුන් සියලු දේශපාලන බලවේග දැන් ආන්ඩුවෙන් ඈත් වෙමින් වඩ වඩාත් දකුනට තල්ලූ වෙති.

පාර්ලිමේන්තුව තුල විපක්ෂයට නිල නායකත්වය දෙන ධනපති දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ආන්ඩුවේ සහකරුවෙක් වන අතර දෙමල ජනයා අතර දැඩි ලෙස අපකීර්තියට පත් ව සිටී. හමුදාවේ යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් වැලැක්වීමට උදවු දුන් ටීඑන්ඒ, උතුරු හා නැගෙනහිර අඛන්ඩ මිලිටරි වාඩිලාගැනීම යටතේ පාලනය කිරීමට අනුමැතිය පල කරයි. “කොලඹ ආන්ඩුව සමග ගනුදෙනුව” පවත්වාගෙන යාමට “දෙමල ජාතිකයන් අතර සමගිය” අවශ්‍ය බව කියන ටීඑන්ඒ, වැලඳගෙන සිටින්නේ වර්ගවාදයයි.

දෙමල ජාතිකයන්ගේ මූලික අයිතීන් -යථාර්ථය නම් දෙමල ප‍්‍රභූ පැලැන්තිය සඳහා වරප‍්‍රසාද- පිලිබඳ ප‍්‍රශ්න විසඳීම සඳහා පීඩනය යොදා කොලඹ ආන්ඩුව නම්මාගත හැකි යයි කියමින් ද දෙමල වර්ගවාදය අවුස්සමින් ද දෙමල ජාතික ජනතා පෙරමුන හා දෙමල ජාතික විමුක්ති පෙරමුන ටීඑන්ඒ විරෝධී මනෝගතිය ගසා කෑමට වලිකති. එක්සත් ජනපදයේ සහයෝගය ඉල්ලා සිටින මේ සියලු පක්ෂ, වොෂින්ටනයේ භූදේශපාලනික අවශ්‍යතාවන්ට පිටුබලය දෙමින් එයට අනුග‍්‍රහය දක්වති.

වතු කම්කරුවන් අතර ක‍්‍රියාත්මක වන දෙමල පක්ෂ ද මීට වෙනස් නැත. ඔවුන් අතර තිබෙන කට්ටිවාදී ගැටුම් කවරක් වුවත් ඒ සියල්ල රටේ ඒ හෝ මේ ප‍්‍රධාන ධනේශ්වර පක්ෂ සමග පෙලගැසී සිටිති.

වසර තුනකට පෙර සිරිසේන බලයට ගෙනඒමට පිටුබලය දුන් ජවිපෙ, දැන් ආන්ඩුවේ විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටීමට තැත් කරයි. එහි මැතිවරන උද්ඝෝෂනය කේන්ද්‍රගත වී ඇත්තේ ආන්ඩුවේ දූෂනයට පහර එල්ල කිරීම හා “ගම දියුනු කිරීම” වටා ය. යථාර්ථය නම්, ගම්බද ජනයාගේ ජීවන කොන්දේසි ද ඇතුලු ජීවන තත්ත්වයන්ට පහර දීම ගැඹුරු කරමින් සිටින කලින් පැවති හා දැන් තිබෙන ශ‍්‍රීලනිප හා එජාප ආන්ඩුවලට ජවිපෙ සහයෝගය දී තිබීම යි.

ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂය (නසසප) එජාපයේ හා වත්මන් ආන්ඩුවේ කඨෝර ආරක්ෂකයෙකි. “යහපාලනය සුරැකීම සඳහා ජාතික පෙරමුන” තනා ඇති එම පක්ෂය “ෆැසිස්ට්වාදී රාජපක්ෂ කන්ඩායමට එරෙහි ව ආන්ඩුව ආරක්ෂා කරගැනීම” සඳහා උද්ඝෝෂනය කරයි. කම්කරුවන් හා සිසුන් මෑත දී ගෙනගිය වර්ජන හා විරෝධතා “දක්ෂිනාංශික කුමන්ත‍්‍රන” යයි නම්කර ඒවාට පහර දීම පිලිබඳව කුප‍්‍රකට නසසප එමගින්, ආන්ඩුවේ පොලිස් රාජ්‍ය පියවර සාධාරනීකරනය කරයි.

“රාජපක්ෂගේ ආඥාදායකත්වය” පරාජය කිරීමට යයි කියමින් එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද 2015 දී සිරිසේනට සහයෝගය දුන්නේ ය. දැන් වෙනස් තානයකට ගායනා කරන ඔවුහු, තමන් බලයට ගෙන ඒමට උදවු වූ ආන්ඩුව “ආඥාදායක” යයි විවේචනය කරමින් “වමේ ආන්ඩුවක්” පිහිටුවිය යුතු යයි කියා සිටිති. එවැනි දේශපාලන ආකෘතියක සමස්ත එල්ලය වනු ඇත්තේ, ධනවාදය අහෝසි කිරීම සඳහා කම්කරු පන්තියේ අව්‍යාජ ව්‍යාපාරයක් ගොඩනැගීම වැලැක්වීම යි.

කම්කරුවන් හා තරුනයන් අවශ්‍ය දේශපාලන පාඩම් උකහාගෙන ඉදිරියේ එන පන්ති අරගල සඳහා දැනුවත්ව සූදානම් විය යුතු ය. 1948 නිදහසේ පටන් එකකට පසු තවත් ව්‍යසනයකට වගකිව යුතු ශ‍්‍රීලනිපය හා එජායෙන් ද ඒවායේ ව්‍යාජ වාම හෙංචයියන්ගෙන් ද මුලුමනින් ම දේශපාලනික ව බිඳී වෙන්විය යුතු ය. කම්කරු පන්තියට සිය මිතුරන් සොයාගත හැක්කේ කොලඹ ධනපති පන්තියේ ඒ හෝ මේ කන්ඩායමෙන් නො ව, තමන් මුහුන පාන ආකාරයේ ම ප‍්‍රහාරයන්ට මුහුන දෙන ආසියාවේ ද ලෝකය පුරා ද සහෝදර කම්කරුවන් අතරිනි.

කොලඹ දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂවලට විරුද්ධ සසප, එහි අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙසත් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයට සම්බන්ධ වන ලෙසත් කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටී. දෙමල, සිංහල හා මුස්ලිම් යන සෑම වර්ගයක ම කම්කරුවන්ගේ එකමුතුව වෙනුවෙන් සටන් වදින අපි, ධනේශ්වර පාලනයට මුක්කුව දීම පිනිස කම්කරු පන්තිය බෙදාලීම පමනක් අරමුනු කරගන්නා සියලු ආකාරයේ ජාතිකවාදයන්ට හා වර්ගවාදයන්ට විරුද්ධ වෙමු.

සසප ක‍්‍රියාමාර්ගය පහත දැක්වෙන මූලික ස්ථම්භයන් මත පදනම් වේ.

අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධවනු!

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව වැඩකරන ජනයාට හොරෙන් ලංකාව, එක්සත් ජනපද යුද කරත්තයට ගැටගසා තිබේ. දිවයිනේ වරායවල් වෙත නිරතුරු ව එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ යුද නැව් පැමිනෙන අතර එක්සත් ජනපදයේ පැසිෆික් බලඇනිය ශ‍්‍රී ලංකාවේ නාවික හමුදාවට හා මැරීන් භටයන්ට පුහුනුව ලබා දෙයි. නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව යටතේ, ඉන්දියාව චීනයට එරෙහි එක්සත් ජනපද මූලෝපායික වැඩවල පෙරමුනු රාජ්‍යයක් බවට පරිවර්තනය කොට ඇත.

සසප හැරුනු විට වෙනත් කිසිදු පක්ෂයක් මැතිවරනයේ දී යුද්ධය පිලිබඳ ව සඳහන් කරන්නේ වත් නැත. ඒ වෙනුවට ඔවුහු සියලු දෙනා එවැනි අනතුරක් නැති බව විශ්වාස කරවා කම්කරු පන්තිය රැවටීමට උත්සාහ දරති. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) අනෙකුත් සහෝදර පක්ෂ ද සමග සසප සටන් වදින්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව කම්කරු පන්තියේ හා තරුනයන්ගේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට යි.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරනු!

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව වැඩකරන ජනයාට හා තරුනයන්ට එරෙහි ව පොලිස් රාජ්‍ය පියවර ගැනීම වේගවත් කරමින් සිටී. ආන්ඩුව පවත්නා හදිසි නීති කම්කරුවන්ට විරුද්ධ ව පාවිච්චි කර ඇතුවා පමනක් නො ව, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉක්මවා යන රුදුරු නීති සකසමින් හා වෙබ් අඩවි හා සමාජ ජාල වාරනය කිරීමට තර්ජනය කරමින් සිටී.

මෙය ජාත්‍යන්තර ප‍්‍රපංචයක කොටසකි. එක්සත් ජනපදයේ ට‍්‍රම්ප් පරිපාලනය සංක‍්‍රමනිකයන් දඬු ගසමින් හා අන්තර්ජාල ප‍්‍රවේශය කඩාකප්පල් කිරීමේ ක‍්‍රම සොයමින් සිටී. යුරෝපය ගත් කල ස්පාඤ්ඤ ආන්ඩුව, කැටලෝනියානු ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මර්දනය කිරීමට ආඥාදායක ව්‍යවස්ථාව යොදාගෙන තිබේ.

ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ව්‍යාජ ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් නිර්මානය කිරීමට ඒකමතික ව ඡන්දය දී ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට නො ව ආඥාදායක පාලන ආකෘතියකට මගපාදා ගැනීමටත්, බුද්ධාගමට හා සිංහල භාෂාවට ප‍්‍රමුඛත්වය දෙන වර්ගවාදී ව්‍යවස්ථාව පවත්වාගෙන යාමටත්ය.

ආගම, භාෂාව, කුලය හා ලිංගිකත්වය මත පදනම් ව කරන සියලු වෙනස්කම් අවසන් කිරීමත් සියලු මර්දන නීති හා පනත් අහෝසි කිරීමත් සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිනිස සෘජු ව මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා අව්‍යාජ ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් කැඳවුම් කිරීමට කම්කරු පන්තිය මූලිකත්වය ගත යුතු ය.

කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩ නගනු!

විවෘත වෙමින් පවත්නේ පුපුරනසුලු පන්ති අරගලවල නව කාලපරිච්ෙඡ්දයකි. ධනපති පන්තියේ සෑම කොටසකින් ම බිඳී වෙන්විය යුතු ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තිය, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වන තමන්ගේ ම ස්වාධීන දේශාපලන ක‍්‍රියාමාර්ගය සමගින් මැදිහත් විය යුතු ය.

වැඩපොල, නිවහන් ප‍්‍රදේශ හා වතු ආශ‍්‍රිත ව ක‍්‍රියාකාරී කමිටු ගොඩ නගන ලෙස සසප කැඳවුම් කරයි. කම්කරු පන්තියට ගම්බද ජනයාගේ හා තරුනයන්ගේ සහයෝගය රැලි කරගෙන මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා දේශපාලන අරගලයක් දියත් කල හැක්කේ වෘත්තීය සමිති දඬු අඬුවෙන් බිඳී වෙන්වීමෙන් පමනි. සසප ආයාචනයට ප‍්‍රතිචාර දක්වමින් හැටන් ප‍්‍රදේශයේ වතු දෙකක ක‍්‍රියාකාරී කමිටු පිහිටුවීම එවැනි කමිටු පිහිටුවීමට පවත්නා පුලුල් අවකාශය පෙන්නුම් කරයි.

මහ ජනයාගේ බලගතු සමාජ අවශ්‍යතා ඉටුකර ගැනීමට ආර්ථිකය ඉහල සිට පහලට සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප‍්‍රතිසංවිධානය කල යුතු ය. මේ සඳහා වතු, බැංකු, ප‍්‍රධාන කර්මාන්ත හා ව්‍යාපාර කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය යටතේ ජනසතු කල යුතු ය. විදෙස් නය ගෙවීම ප‍්‍රතික්ෂේප කර ගොවීන්ගේ නය බර අහෝසි කල යුතු ය.

ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය පෙරදුටු පරිදි, ශ‍්‍රී ලංකාවේ ධනපති පන්තිය, පසුගිය දශක හත පුරා ඔප්පු කර ඇත්තේ මහ ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අභිලාෂයන් හා සමාජ අවශ්‍යතා ඉටුකිරීම සඳහා ඔවුන් ඓන්ද්‍රීයවම අසමත් බව යි. දකුනු ආසියාවේ ද ජාත්‍යන්තර ව ද සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන අරගලය තුල, මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික හා සමාජ අයිතීන් වෙනුවෙන් ඉදිරියේ එලඹෙන අරගලවල නායකත්වය කම්කරු පන්තිය විසින් ගත යුතු ය.

විප්ලවවාදී පක්ෂය ගොඩනගනු!

සසප මැතිවරනයට මැදිහත් වන්නේ සියල්ලටත් වඩා, මෙම දේශපාලන ක‍්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමට අවශ්‍ය කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට යි. සසප ද එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ද මාක්ස්වාදය සඳහා අරගලය ද ලෝකයේ පලමු කම්කරු රාජ්‍යය පිහිටවූ 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයේ සම්ප‍්‍රදායන් ද නියෝජනය කරති.

අපගේ උද්ඝෝෂනයට සම්බන්ධ වන ලෙස හා එයට මුදලින් ආධාර කරන ලෙසත් දේශපාලන, ආර්ථික, සමාජ, කලා හා සංස්කෘතික ක්ෂේත‍්‍ර පිලිබඳ ව මාක්ස්වාදී විශ්ලේෂනයන් සහ ඉදිරි දර්ශනය සම්පාදනය කරන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප‍්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන ලෙසත් අපි කම්කරුවන්, ගම්බද දුගීන්, බුද්ධිමතුන්, තරුනයන් හා සිසුන්ගෙන් ඉල්ලමු. අපගේ ක‍්‍රියාමාර්ගය ගැඹුරින් හදාරමින් සසපට බැඳී අවශ්‍ය මහජන විප්ලවවාදී පක්ෂය ලෙස එය ගොඩනගන ලෙස අපි කම්කරුවන්, ගම්බද දුගීන්, බුද්ධිමතුන්, තරුනයන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: