ශ්‍රී ලංකාව: ආන්ඩු හවුල බිඳ දමන බවට ජනාධිපති තර්ජනය කරයි

Sri Lankan president threatens to end ruling coalition

කේ. රත්නායක විසිනි, 2018 ජනවාරි 23

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 16දා පැවැත්වූ සතිපතා කැබිනට් රැස්වීමෙන් නැගිට ගිය බව පසුගිය සතියේ මාධ්‍ය සිරස්තලයන්හි වාර්තා කෙරුනි. වාර්තාවලට අනුව සිරිසේන, හවුලේ ප‍්‍රධාන පාර්ශවය වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සමහර සාමාජිකයින් ප‍්‍රසිද්ධියේ තමා විවේචනය කිරීම නිසා හවුල් ආන්ඩුව බිඳ දමන බවට තර්ජනය කර ඇත.

අගමැති රනිල් වික‍්‍රමසිංහ හා තවත් ඇමතිවරු ගනනාවක් සිරිසේන යලිත් කැබිනට් රැස්වීමට සහභාගී කරවා ගැනීමට පියවර ගත් බවක් පෙනෙන්නට තිබුනි. ආන්ඩුව බිඳ වැටීමට තුඩුදිය හැකි දේශපාලන ප‍්‍රතිවිපාක ගැන දැනුවත් දෙපාර්ශවයම එම පැලැස්තරය දමා ගැනීමට උත්සුක වූ බව දැකගත හැකි විය. එජාප නායක වික‍්‍රමසිංහ, කිසිදු ආකාරයකින් ජනාධිපති විවේචනය නොකරන මෙන් පක්ෂයේ පාර්ලිමේන්තු සාමාජිකයින්ට අනතුරු අඟවා ඇත.

කෙසේ වුවත් ජනාධිපතිගේ තර්ජනය හුදු ආත්මීය ප‍්‍රතිචාරයක් නොවීය. එය සලකුනු කරන්නේ, සිරිසේනගේ ශ්‍රීලනිපය හා එජාපය අතර හවුලේ පමනක් නොව සමස්ත පාලක පන්තියේම ආන්තික අර්බුදයයි. වැඩෙන පන්ති ආතතීන් ද ගැඹුරුවන ආර්ථික අර්බුදය හා දැවැන්ත මූල්‍ය සෝලි වලින් ද ආන්ඩුව දෙදරුම්කා තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශ්‍රීලනිපයෙන් ඉවත්ව 2015 ජනාධිපතිවරනයේදී ඔහුට විරුද්ධව, ප‍්‍රධානකොටම එවක විපක්ෂයේ සිටි එජාපයේ සහාය ඇතිව සිරිසේන තරඟ වැදුනි. ජනාධිපති වීමෙන් අනතුරුව සිරිසේන, වික‍්‍රමසිංහ අගමැතිකොට සුලුතරයේ එජාප ආන්ඩුවක් පිහිටුවීය.

රාජපක්ෂ කෙරෙහි පැවති මහජන විරෝධය ගසා කමින් සිරිසේන මැතිවරන ව්‍යාපාරය ගෙනයන අතරතුර, තන්ත‍්‍ර මාරු මෙහෙයුමක් දියත් කිරීම පිනිස වොෂින්ටනය මැදිහත් විය. චීනයට විරුද්ධ ඇමරිකාවේ මූලෝපායික හා මිලිටරි පෙලගැස්මට හරස්වන ආකාරයෙන් රාජපක්ෂ, ආයෝජන හා මිලිටරි ආම්පන්න සඳහා බීජිනය වෙත නැඹුරුවිය.

2015 අගෝස්තු මහා මැතිවරනයෙන් පසුව ශ‍්‍රීලනිප හා එජාප, “ජාතික එකමුතුවේ ආන්ඩුවක්” පිහිටුවාගත්තේ, වැඩකරන ජනතාවට එරෙහි දරුනු ආර්ථික ප‍්‍රතිපත්ති ක්‍රියාවට නගමින් ඇමරිකානු ගැති පාලනයක් ස්ථාපිත කර ගැනීමටය. ශ්‍රීලනිපයේ හා එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කන්ඩායමේ කොටසක් “ඒකාබද්ධ විපක්ෂය” වශයෙන්, රාජපක්ෂ නායකත්වය යටතේ සංවිධානය වූහ.

පසුගිය සතියේ සිදුවීමෙහි ක්ෂනික හේතුව, සිරිසේන බලයට පත්වී දෙමසකට පසුව හටගත් බැඳුම්කර මගඩිය පරීක්ෂා කිරීමට පත්කල ජනාධිපති කොමිසම උපයෝගී කර ගනිමින්, තම පක්ෂයේ ප‍්‍රතිරූපය කෙලසන්නේ යයි එජාප සාමාජිකයින් සිරිසේනට ප‍්‍රසිද්ධියේ පහර ගැසීමයි. වික‍්‍රමසිංහගේ සමීප මිතුරෙකු වූ, එවක මහ බැංකුවේ අධිපති ලෙස අලුතෙන් පත්කරන ලද අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් මූල්‍ය සමාගම, අභ්‍යන්තර තොරතුරු රැස්කර ගැනීමෙන් පසුව, රුපියල් බිලියන 10ක් (ඇඩො මිලියන 65) තරම් දැවැන්ත ලාභයක් උපයාගෙන ඇති බව පසුගිය සතියේ නිකුත්වූ කොමිසම් වාර්තාව සඳහන් කලේය. මහේන්ද්‍රන් හා මහ බැංකුවේ සමහර ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට අමතරව හිටපු මුදල් ඇමති රවි කරුනානායකට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමග ගනුදෙනු කල බවට චෝදනා එල්ලවී ඇත.

මහේන්ද්‍රන්ගේ පත්වීම අවසාන වශයෙන් අනුමත කිරීමේ වගකීම පැවරෙන්නේ සිරිසේනටය. කෙසේ වුව ද තම අත් සෝදාගැනීමට වෑයම් කරමින් ඔහු, එජාප නායකයින් ගැන ද සඳහන් කරමින් පසුගිය සතියේ විද්‍යුත් මාධ්‍ය තුලින් ප‍්‍රකාශයක් නිකුත් කලේය. එය වනාහි, තමා ආන්ඩුවේ කටයුතු වලට මුලූමනින්ම වග නොකියන අතර තමා “දූෂන විරෝධී” කුරුස යුද්ධයක් ගෙන යමින් සිටින බව අවධාරනය කිරීමට සිරිසේන විසින් දරන ලද අලුත්ම උත්සාහයයි.

පෙබරවාරි 10දා රට පුරා පැවැත්වෙන පලාත් සභා ඡන්දය මධ්‍යයේ සිරිසේන උපාමාරු දමමින් සිටී. ඔහුගේ ශ්‍රීලනිපය මැතිවරනය තරඟ කරන්නේ එජාපයෙන් වෙන්වය. ආන්ඩුවෙන් ඈත්ව සිටීමට උත්සාහ කිරීමෙන් සිරිසේන බලාපොරොත්තු වන්නේ, ජනතාව අතර වැඩෙන විරුද්ධත්වය පීලි පැන්නවීමටත් මැතිවරනයේදී තම පක්ෂයට ඡන්ද එකතුකර ගැනීමටත්ය.

ජනාධිපතිට තවත් කනස්සල්ලක් ද ඇත. ආන්ඩුව කෙරෙහි ඇති මහජන විරෝධය ගසා කමින් ඔහුගේ ප‍්‍රතිවාදියා වන රාජපක්ෂ, අලුතෙන් පිහිටුවාගත් පොදුජන පෙරමුන මෙහෙයවමින් මැතිවරන කටයුතුවල නිරතව සිටීමයි.

ඔහුගේ ආන්ඩුව, 2009 මැයි මාසයේදී පරාජයට පත්, බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධව රුදුරු යුද්ධයක් ගෙනයාමත්, පොලිස්-රාජ්‍යයට පියවර හා ජීවන හා සමාජ තත්වයන්ට එල්ල කරනු ලැබූ ප‍්‍රහාරයනුත් නිසා රාජපක්ෂ අපකීර්තියට පත්ව සිටියි.

ජීවන හා සමාජ කොන්දේසි වලට එල්ල කරන ආන්ඩුවේ ප‍්‍රහාර ගැන කිඹුල් කඳුලු හෙලන හිටපු ජනාධිපති, දෙමල විරෝධී වර්ගවාදය අවුස්සමින් තම සහයෝගිතා පදනම සවිමත් කර ගැනීමට උත්සාහ දරයි. ආන්ඩු හවුලේ “අභ්‍යන්තර කාකොටා ගැනීම් ආර්ථික සංවර්ධනය අඩාල කරන්නේ” යයි පවසමින් රාජපක්ෂ, තමන් “ශක්තිමත් ආන්ඩුවක්” පිහිටුවීමට සූදානම්ය යන පනිවිඩය ධනපති පන්තිය වෙත යවමින් සිටී. ඔහුගේ අත්තනෝමතික පාලනය පැවති අවධියේ ලාභ ගරාගත් මහා ව්‍යාපාරිකයෝ හා සමහර මාධ්‍ය ඔහු වටා රොක් වෙති.

පලාත් පාලන මැතිවරනය කෙලින්ම ආන්ඩුවේ පැවැත්මට තර්ජනයක් වන්නේ නැත. එහෙත් රාජපක්ෂගේ පක්ෂය සැලකිය යුතු සහායක් දිනාගත්තොත් එය, සිරිසේනගේ පක්ෂයෙන් තවත් අය ඉවත්ව යාමටත් ආන්ඩුවේ පැවැත්ම තවදුරටත් වල පල්ලට යැවීමටත් හේතුවිය හැක.

සිරිසේනට, වික‍්‍රමසිංහට හෝ රාජපක්ෂට සහාය දක්වන පාලක පන්තියේ සියලු කොටස්, කම්කරු පන්තියේ නැගී එන ප‍්‍රතිරෝධය හමුවේ තැතිගෙන සිටිති. වැටුප් වැඩිවීම් හා යහපත් සේවා කොන්දේසි සඳහා අරගල මාලාවක් අලුතෙන් පැනනැගී ඇත. පසුගිය 18දා ලංකා විදුලිබල මන්ඩල කම්කරුවෝ වැඩවර්ජනයක් හා කොලඹදී පෙලපාලියක් පැවැත්වූහ. මෙයට සමගාමීව තැපැල්, දුම්රිය, වරාය, පෙට්ට්‍රෝලියම් හා වතු කම්කරු විරෝධතා හා වැඩවර්ජන පැන නැගුනි.

කැලඹීම් තිබියදී වුවත් මුදල් අර්බුදයකට මුහුනපා සිටින ආන්ඩුවට, මුල්‍ය ආධාර ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් අනකරනු ලැබ ඇති කප්පාදු පියවර තව තවත් පැනවීමට බලකෙරී ඇත. ග්‍රීසිය වැනි අනෙක් රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද 2019 වසරේ මැද භාගයෙන් මෙපිට අවසන් නොවනු ඇති, ජාමූඅ වැඩසටහනේ කොටසක් ලෙස දරුනු ආර්ථික ඉලක්ක සපුරාලිය යුතුව ඇත. විශේෂයෙන්ම ආන්ඩුව, දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අයවැය හිඟය, 2014 පැවතුනු මට්ටමෙන් හරි අඩක් දක්වා එනම්, සියයට 3.5 දක්වා අඩුකල යුතුය.

රටේ ආර්ථිකය ගැන විමර්ශනය කල ජාමූඅ, ජනවාරි 11දා නිකුත් කල මාධ්‍ය වාර්තාවකින්: “රාජ්‍ය නයෙහි ඉහල මට්ටම සැලකිල්ලට ගන්නා කල පතුලෙහි ඇති අවදානම් සැලකිය යුතු තරම්ය. තව තවත් මූල්‍ය සවිමත් කිරීම් අවශ්‍යය. දේශීය ආදායම් පනත කාර්යක්ෂමව ක්‍රියාත්මක නොකිරීම, රාජ්‍ය ව්‍යවසායන් ප‍්‍රතිසංස්කරනය තවදුරටත් පමාවීම හා කාලගුනික කැලඹීම් සඳහා අවශ්‍ය පියවර ගැනීමට අසමත්වීම” ගැන පැවසීය.

ජාමූඅ අවශ්‍ය කෙරෙන බදු නැංවීම, පුද්ගලීකරනය පුලුල් කිරීම හා අනෙකුත් කප්පාදු, දැනටමත් සිය ජීවන හා සමාජ කොන්දේසි කාබාසීනියා කර තිබෙන තතු හමුවේ කම්කරුවන්ගේ, තරුනයින්ගේ හා ගම්බද පීඩිතයින්ගේ දැවැන්ත අරගලයන්ට වේදිකාව සකසනු ඇත. පාලක පන්තිය මුහුනපා සිටින මෙම අස්ථාවර තත්වය ගැඹුරු වන්නේ, ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අරගල පුපුරා යමින් තිබෙන අවධියකය.

මේ තත්වය තුල සිරිසේන, තම හවුල්කාර සහචරයාට අනතුරු අඟවමින් උත්සාහ කරන්නේ, තම අත ශක්තිමත්කර ගැනීමටය. දෙසතියකට පෙර ඔහු තම ධුර කාලයට 2021 දක්වා වසර හයක් ඇත්දැයි ශ්‍රේෂ්ඨාධිකරනයෙන් විමසීය. ඔහු මේ ඉල්ලීම කලේ, ඔහු ද සහාය දුන්, ජනාධිපතිගේ කාලය වසර පහකට සීමාකල, 19 වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තිබියදීමය. ඒ අනුව ඔහුගේ ධුර කාලය ද 2020දී අවසන් විය යුතුය. විනිසුරුවන් පස් කට්ටුව පසුගිය සතියේ සිරිසේනගේ ඉල්ලීම ඒකමතිකව නිෂ්ප‍්‍රභා කලහ.

පසුගිය 17දා සිරිසේන, නීතිපති, මහ බැංකු අධිපති, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් හා තවත් නිලධාරීන් කැඳවා දූෂනයට විරුද්ධව සටන් කිරීමේ සාකච්ඡාවක් පැවැත්වීය. එයට නව නීතිරීති පැනවීම හා වර්තමානයේ හා අතීතයේ සිදුවීම් ගැන විමර්ශනය කිරීමට පොලිස් ඒකකයක් පිහිටුවීම ද ඇතුලත්ය. ඒ කිසිදු ආයතනයක් ජනාධිපතිගේ අනසක යටතේ නොපවතියි. සිරිසේනගේ කටයුතු, ආන්ඩුව කරගෙන යාමට හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවර ගැනීම පිනිස ආඥාදායක ජනාධිපති බලතල යොදාගත් රාජපක්ෂ ද ඇතුලු අතීත විධායක ජනාධිපතිවරුන්ගේ කටයුතු වලට සමානය.

ඒ සමගම සිරිසේන පැවසුවේ, “දේශපාලන මතභේද නොතකා, මව්බිමට ආදරය කරන සියලු දේශපාලඥයින්ගේ දූෂනයට විරුද්ධ ජාතික ව්‍යාපාරයක්” ගොඩනැගීමට කටයුතු කරන බවයි.

පසුගිය තෙවසරක කාලය තුල සිරිසේන හා ඔහුගේ ආන්ඩුව, කම්කරුවන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට හා ගම්බද පීඩිතයින්ට විරුද්ධව පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන් යොදාගෙන ඇති අතර දේශපාලන අස්ථාවරත්වයට හා නැගී එන පන්ති ආතතීන්ට මුහුනදී සිටින ඔහු සූදානම් වෙමින් සිටින්නේ, ආඥාදායක ක‍්‍රමයේ පාලනයකට මාරුවීමටය.

Share this article: