උසස් පෙල සමත් සිසුන්ගෙන් 130,000 කට සරසවි වරම් අහිමි වෙයි

සකුන ජයවර්ධන විසිනි, 2018 ජනවාරි 13

දෙසැම්බර් 28 වනදා නිකුත් වූ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙල විභාග ප‍්‍රතිඵල අනුව විභාගය සඳහා පෙනීසිටි සිසුන් 253,443 න් 163,104 ක් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. සීමිත ඉඩ පහසුකම් හේතුවෙන් එක් වසරක් සඳහා සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුලුකර ගතහැකි සිසුන් සංඛ්‍යාව 27,000 ආසන්න ප‍්‍රමානයක් බැවින් 130,000 කට අධික සිසුන් සංඛ්‍යාවකට මෙවර සරසවි දොර වැසෙනු ඇත.

උසස් පෙල සමත් ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 80 කට ආසන්න ප‍්‍රමානයකට සරසවි වරමි අහිමිවී යාමේ මෙම තත්වය මගින්, උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් කම්කරු-පීඩිත පවුල්වල තරුනයන් මුහුන දෙන බරපතල අර්බුදය ප‍්‍රකාශයට පත් කෙරෙයි.

මෙය වසර ගනනාවක් පුරා වර්ධනය වන අර්බුදයකි. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සංඛ්‍යා ලේඛන වලට අනුව 2011 දී සිසුන් 141,411 ක් උසස් පෙල සමත් වී ඇති අතර ඉන් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ලබාගෙන ඇත්තේ සියයට 20.44 කි. 2013 වර්ෂයේ දී සිසුන් 144,816 ක් සමත් වී ඇති නමුත් විශ්ව විද්‍යාලයට ඇතුලත් කරගනු ලැබුවේ සියයට 17.53 කි. 2015 වසරේ 160,520 සමත් වුවද ඇතුලත් කරගනු ලැබුවේ සියයට 17.19 කි.

විශ්ව විද්‍යාල ප‍්‍රවේශය දැඩි ලෙස සීමා සහිතවීම හේතුවෙන් උසස් පෙල විභාගය තුල විශාල තරඟකාරීත්වයක් නිර්මානය වී ඇත. මෙම තරඟකාරිත්වයෙන් ජයගැනීම සඳහා පුද්ගලික උපකාරක පන්ති වලට යොමුවීමට සිසුන්ට නිතැතින්ම බල කෙරෙයි. මේ හේතුවෙන් පුද්ගලික උපකාරක පන්ති වලට ඇති ඉල්ලුමද ඒවායේ ගාස්තු ද පසුගිය දශක දෙක තුල දැවැන්ත පරිමානයෙන් ඉහල නැග ඇත.

තම පවුලේ අනෙකුත් වියදම් කපා දමමින් සහ දස අතට නය වෙමින් තම දරුවනට අනාගතයක් සලසා දීමේ අර්ථයෙන් මෙම ගාස්තු සපයා දෙන දෙමාපියන්ගෙන් අතිමහත් බහුතරයක් අවසානයේදී අත්දකිනුයේ තම දරුවන්ට සරසවි වරම් අහිමිවීමයි.

එලෙසම පෞරුෂ වර්ධනයට සහ ජීවන ආහ්ලාදයට අත්‍යවශ්‍ය කෙරෙන, ක්‍රීඩාවන් සහ සෞන්දර්යාත්මක කටයුතුවලින් මුලුමනින්ම පාහේ බැහැරව නීරස විභාග තරගය සඳහා තම නවයොවුන් විය කැප කරන බහුතරයක් සිසුන් සරසවි වරම් අහිමි වීමෙන් ඇද වැටෙනුයේ බලගතු අසාර දර්ශනයකට සහ අනාගතය පිලිබඳ අවිනිශ්චිත තත්වයකටය.

මෙවර උසස් පෙල විභාගයට මුහුන දුන් සිසුන් කිහිප දෙනෙක් තමන් මුහුන දෙන අර්බුදය සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාවකරුවන්ට තම අදහස් ප‍්‍රකාශ කලහ.

හලාවත අධ්‍යාපන කොට්ඨාසයේ බාලිකා විද්‍යාලයක ශිෂ්‍යාවක්: “එක රිවිෂන් (පුනරීක්ෂන) පන්තියකට මාසෙකට රුපියල් 1000 ක් ගෙවන්න වෙනවා. බස් ගාස්තු කෑම බීම වියදම් දරපුවම මාසෙකට රුපියල් 8,000 කට එහා යනවා. අපේ දෙමාපියන් මේ වියදම් දරන්නෙ කිව නොහැකි තරම් අමාරුවෙන්.”

උසස් පෙල විභාගයෙන් සමත්, එනමුදු සරසවි වරම් අහිමි පේරාදනිය ප‍්‍රදේශයේ ශිෂ්‍යාවක් තමාට මුහුන දීමට සිදුව ඇති ආර්ථික පීඩනය සම්බන්ධයෙන් මෙසේ අදහස් පල කලාය. “තව දුරටත් විභාග කරන්න බැහැ. ගෙදරට බරක් වෙලා ඉන්නත් අමාරුයි. ඒ නිසා පුද්ගලික අංශයේ රැකියාවකට යන්නයි අදහස.” ඇය තව දුරටත් ප‍්‍රකාශ කලේ වඩා හොඳ රැකියාවක් සොයා ගැනීම උදෙසා උසස් පෙල සමත් වීමේ අපේක්ෂාවෙන් තමා උසස් පෙල විභාගයට මුහුන දුන් බවයි.

උසස් පෙල සමත්ව තිබියදී සරසවි වරම් අහිමිවීම සම්බන්ධයෙන් දසදහස් සංඛ්‍යාත තරුනයන් අතර වැඩුනු විරෝධය හමුවේ පසුගිය දශක තුන තුල බලයට පැමිනි ආන්ඩු නව විශ්ව විද්‍යාල කීපයක් විවෘත කලද ඒවායේ පවත්නා හීන සම්පත් සහ හීන පහසුකම් සලකන විට එම ආයතන විශ්ව විද්‍යාල ලෙස හැඳින්වීම පවා කල නොහැක. මේවා සියල්ලම පාහේ ආරම්භ කරන ලද්දේ අත්හැර දමන ලද රජයේ ගොඩනැගිලිවලයි. විශ්ව විද්‍යාලයකට අවශ්‍ය පරිදි සැලසුම් නොකෙරුනු මෙම ගොඩනැගිලිවල අධ්‍යාපන කටයුතු සිදු කෙරෙනුයේ බලගතු දුෂ්කරතාවයන් මධ්‍යයේ ය.

උසස් පෙල සමත්වන සියලු සිසුන්ට සරසවි වරම් ලැබෙන පරිදි විශ්ව විද්‍යාලයන්හි ඉඩකඩ ප‍්‍රසාරනය කරනු වෙනුවට, පවත්නා සීමිත ඉඩකඩ බෙදා දීම සඳහා දිස්ත්‍රික් කෝටා ක‍්‍රමය සහ ඉසඩ් අංකනය ආදී විවිධ උපාමාරු යෙදුනි. ඉන් සිදුවූයේ අර්බුදය වඩාත් උග‍්‍ර වීමයි.

විශ්ව විද්‍යාල තුල ඉඩකඩ ප‍්‍රසාරනය නොවීම සහ පහසුකම් කප්පාදුවීම බැඳී පවත්නේ අනුප‍්‍රාප්තික ආන්ඩුවල අධ්‍යාපන වියදම් කප්පාදු කිරීමේ සහ අධ්‍යාපනයේ පුද්ගලීකරන පිලිවෙත් සමගයි. පසුගිය දශක කිහිපය තුල අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත්තේ දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2-3 ක් වැනි ඉතාමත් සීමිත ප‍්‍රමානයකි. 1980 න් පසු අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන් කොට ඇති ඉහලම අගය වාර්තා වන්නේ 1995 දී වන අතර එය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 3.3 ක් විය.

මෙම තත්වයට හේතුවූයේ 1980 ගනන් වල සිට ධනවාදය ලෝක පරිමානව මුහුන දුන් ආර්ථික අර්බුදයයි. මෙතෙක් කල් යම් ආකාරයකින් හෝ පවත්වාගෙන ගිය සුභ සාධන කටයුතු කප්පාදු කරමින්, සුභ සාධන ක්ෂේත‍්‍ර පුද්ගලීකරනය කිරීමට ලංකාව ඇතුලු සෑම රටකම ධනපති ආන්ඩුවලට බල කෙරුනේ මෙම අර්බුදයෙනි. 2008 මූල්‍ය බිඳ වැටීමෙන් ඇරැඹී වඩාත් ගැඹුරු වන ලෝක ආර්ථික අර්බුදය හමුවේ, මහජන අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය ඇතුලු කම්කරු පන්තිය අතීතයේදී දිනාගත් සෑම සමාජ අයිතියක්ම නැවත උදුරා ගැනීමට මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් ලොවපුරා සෑම ආන්ඩුවකට බල කෙරෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට පනවා ඇති විධානයන්ට අනුව, 2020 අවසන් වන විට ලංකාවේ අයවැය පරතරය දල ජාතික නිශ්පාදනයෙන් සියය 3.8 දක්වා පහත හෙලිය යුතු බැවින් ඉදිරි වසර කීපය තුල සිදුවනු ඇත්තේ අධ්‍යාපන වියදම් තවදුරටත් කපා දැමීම සහ පුද්ගලීකරනය වේගවත් කිරීමයි.

පැවති රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් ආන්ඩුව, රජයේ විශ්ව විද්‍යාලයන්හි ඉඩකඩ සීමාසහිතභාවය අධ්‍යාපනයේ පුද්ගලීකරනය වේගවත් කිරීම සඳහා කඩතුරාවක් කර ගනිමින් සිටී. රජයේ සරසවි වලට වරම් නොලබන උසස් පෙල සමතුන් සඳහා හොඳම විකල්පය පුද්ගලික උපාධි ප‍්‍රදාන ආයතනයන් බව මෙම ආන්ඩුවල තර්කය යි. එම ආයතනයන්හි උපාධි හා පාඨමාලා ගාස්තු දැරිය නොහැකි තරමේ අධික මිලක් ගන්නා බැවින් එමගින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද හිමි වන්නේ ධනවත් පවුල් වල සිසුන්ට පමනි.

උසස් පෙලට මුහුන දීමෙන් පසු සරසවි වරම් අහිමි වන තරුනයින් විශාල වශයෙන් මුහුන දෙන අර්බුදය වන්නේ විරැකියාවයිි. සංඛ්‍යා ලේඛන වලට අනුව 2017 වසරේ දෙවන කාර්තුවේදී උසස් පෙල සහ ඉන් ඉහල අධ්‍යාපනය ලබාගත් තරුනයින් තුල විරැකියාව සියයට 8.2 කි. වයස අවුරුදු 20 ත් 24 ත් අතර වන තරුනයින් ගේ විරැකියාව සියයට 18.4 කි. එය 2017 වසරේ පලමු කාර්තුවට සාපේක්ෂව සියයට 1 ක වැඩි වීමක් විය.

ජාත්‍යන්තර ආයෝජකයන් සඳහා “කර්මාන්ත කලාපයන්” නමින් රටපුරා පිහිටුවීමට සැලසුම් කරන ශ‍්‍රම වහල් කඳවුරු වල අවම වැටුප් මට්ටම් සහ උපරිම සූරාකෑම් සහිත රැකියා වලට විරැකියාවෙන් පෙලෙන මෙම තරුනයන් යොමුකර ගැනීම ආන්ඩුවේ අරමුනයි.

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේ මෙන්ම හම්බන්තොට වරාය චීන සමාගමකට පවරා දීමේදී රැකියා අහිමි වූ සේවකයන්ගේ අරගලයේ ප‍්‍රමුඛතම පාඩම වන්නේ ධනපති ආන්ඩුවට බලපෑම් යෙදීමෙන් එහි රුදුරු පිලිවෙත් ආපසු හැරවිය නොහැකි බවයි.

උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සෑම තරුන තරුනියකටම ඒ සඳහා අවස්ථාව ලබාදිය හැකි ගුනාත්මක වශයෙන් ඉහල විශ්ව විද්‍යාල පද්ධතියක් සහ ගුනාත්මක ජීවිතයක් සඳහා සරිලන වැටුප් මට්ටම් මෙන්ම යහපත් සේවා කොන්දේසි සහිත රැකියාවන් තහවුරු කල හැක්කේ, මෙම සියලු අවශ්‍යතාවන්ට එරෙහිව පුද්ගලික ලාභය මත පදනම් වන ධනපති ක‍්‍රමය පෙරලා දමා මහ ජනයාගේ බලගතු සමාජ අවශ්‍යතා ඉටුකර ගැනීමට ආර්ථිකය ඉහල සිට පහලට සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප‍්‍රතිසංවිධානය කල යුතු ය. මේ සඳහා වතු, බැංකු, ප‍්‍රධාන කර්මාන්ත හා ව්‍යාපාර කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය යටතේ ජනසතු කල යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය මෙවර පලාත් පාලන මැතිවරනයට තරග වදින්නේ ඉහත සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නගන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා කරන සටනේ කොටසක් ලෙසයි.

Share this article: