යුද්ධයෙන් බැට කෑ උතුරේ ස්ත්‍රීන් මුහුන දෙන කටුක කොන්දේසි හෙලිදරව් කෙරෙන පර්යේෂන වාර්තාවක්

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජනවාරි 17

”යුද්ධයට ගොදුරු වූ උතුරේ ස්ත්‍රීන්ගේ ජීවනෝපායන් මත සමීප සබඳතාවන්හි බලපෑම” [Impact of Intimate Relationships on Livelihood Activities of Women Affected by War in Nothern Sri Lanka] යන හිසින්, ජනවාර්ගික අධ්‍යනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය පසුගිය නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කර ඇති පර්යේෂන වාර්තාව කොලඹ ධනපති ආන්ඩු විසින් ගෙන යන ලද 26 අවුරුදු වර්ගවාදී යුද්ධය මගින් උතුරේ ස්ත්‍රීන්ට අත්පත් කර දෙනු ලැබ ඇති දුක්ඛිත තත්වය පිලිබඳ සවිස්තර හෙලිදරව්වක් කරයි.

පර්යේෂනය සඳහා 2015 වසර මුල සිට 2016 වසර මැද දක්වා යාපනය, මුලතිව්, වව්නියා, කිලිනොච්චි සහ මන්නාරම යන උතුරු පලාතට අයත් දිස්ත්‍රික්ක පහ තුල වෙසෙන පවුල් 4025 කින් තොරතුරු එක්රැස් කර ඇත. පුලුල් සම්මුඛ සාකච්ඡා 120 කින් උකහාගත් කරුනු එහි වාර්තාවේ අන්තර්ගත වෙයි.

යුද්ධයෙන් අවතැන් වීමෙන් පසු වෙනත් තැනක පදිංචියට පැමින සිටින කාන්තාවන්ගෙන් සියයට 63 ක් වැනි ඉහල ප‍්‍රතිශතයක් තම පවුල්වල මූලිකත්වය දරමින් සිටින බව වාර්තාව පෙන්වා දෙයි. ඔවුන්ගෙන් සියයට 50 - 60 අතර සංඛ්‍යාවකගේ නිවාස යුද්ධයෙන් විනාශ වී ඇත. නැවත පදිංචි වූ ස්ථානයන්හි නව නිවාස තනා ගැනීමේදී ඔවුනට ඉමහත් දුෂ්කර කොන්දේසිවලට මුහුන දීමට සිදුව ඇත.

තම නිවාස ගොඩනගා ගැනීමට ආන්ඩුවෙන් සහ රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබුනු සොච්චම් මුදල් කිසිසේත් ප‍්‍රමානවත් නොවන තතු තුල මුදල් නයට ගැනීමටත්, තමන් සතු ස්වර්නාභරන විකුනා දැමීමට හෝ උකස්කිරීමටත් බොහෝ දෙනෙකුට සිදුව ඇත. මේ හේතුවෙන් අධික නය කන්දරාවක යටවී සිටින මෙම ස්ත්‍රීන්ට තමන් සතු සියලුම වටිනා දේපල අහිමි වී ගොස් තිබේ.

ඔවුනගේ ජීවනෝපායන් යුද්ධයේ බලපෑම යටතේ කඩාකප්පල් වී ඇති අන්දම විශ්ලේශනය කරමින් වාර්තාව ඉදිරියට යයි. එහි සඳහන් වන පරිදි සමීක්ෂනයට ලක්කර ඇති කාන්තාවන්ගෙන් හරි අඩකට ආසන්න පිරිසකගේ රැකියා හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ රැකියා යුද්ධය හේතුවෙන් අහිමි වී ඇත. ඝාතනයට ලක්වීමෙන් හෝ අතුරුදන් වීමෙන් බොහෝ ස්ත්‍රීන්ට තම සැමියා හෝ පවුලේ සාමජිකයින් අහිමිවී ඇත.

පවුලේ පිරිමින් මියයෑම නිසා ස්ත්‍රීන් ඉතා දුෂ්කර අඩියකට ඇද දැමුනු අන්දම වාර්තාවේ මෙසේ සඳහන් වෙයි: “මරන, අතුරුදහන්වීම්, තුවාල හෝ අබ්බගාතවීම් හේතුවෙන් සිය පවුල්වල පුරුෂයෙකුගේ මූලිකත්වය අහිමි වූ ස්ත්‍රීන්ට එහි ප‍්‍රධාන ආදායම් උපයන්නා වීමේ අලුත් මෙන්ම නුහුරු වගකීම දරන්නට සිදුවිය. දරුවන් සිටින ස්ත්‍රීන්ට ඔවුන් රැකබලා ගන්නා අතරම පවුලේ ප‍්‍රධාන ආදායම් උපයන්නා වීමේ වගකීම තුලනය කරගන්නට සිදුවිය.”

දෙමාපිය රැකවරන සහ අධ්‍යාපනය අහිමි වූ දරුවන්, විසිරී ගිය පවුල් සහ අන්ත දරිද්‍රතාවය ඇතුලු යුද්ධයෙන් ජනිත කෙරුනු මහත් සමාජ ව්‍යසනය පිලිබිඹු කරමින් වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ යුද සමයේදී තම සමීපතමයන් අතුරුදහන් වීම අත්දුටු ස්ත්‍රීන් එයින් වියවුලට සහ අනියතභාවයට පත්ව දැඩි මානසික සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින බවයි. අලුතෙන් ජීවනෝපායක නිරතවීමේදී එම පීඩනය ද දරා සිටීමට කාන්තාවන්ට සිදුවී තිබේ.

මිලිටරීකරනය සහ ඒ හරහා නිර්මානය වූ ප‍්‍රචන්ඩ වාතාවරනය තුල ස්ත්‍රීන් ඉතා අමානුෂික අත්දැකීම් වල ගොදුරු බවට පත්කෙරුනු බව ද වාර්තාව පවසයි. “මිලිටරීකරනය සහ ලිංගිකත්වය පදනම් කරගත් අඩන්තේට්ටම් නිසා නිවසින් පිටත රැකියා වලට යෑම සීමා කෙරී ඇති”බව පෙන්වා දෙන වාර්තාව, “දූෂනයට ලක්වීම යුද සමයේදී ස්ත්‍රීන් කැපී පෙනෙන ලෙසම අත්විඳි කම්පනයක් සහ වධ බන්ධනයක් බවත් එල්ටීටීඊ සාමාජිකයන් අතින් සහ හමුදා සාමාජිකයන් අතින් බෙහෝ ස්ත්‍රීන් දූෂනයට ලක්වී ඇති බවත් පවසයි. දූෂනයක ගොදුරක් වීමෙන් පසු ස්ත්‍රීන් සමාජගත වීමට පසුබට වන බැවින් ඔවුහු නිවසෙන් පිටත රැකියාවක නිරතවීමට මැලිකමක් දක්වති.

වාර්තාවට අඩංගු කර තිබෙන සම්මුඛ සාකච්ඡා තුලින් තම සමීපතමයන් අහිමිවීමෙන් ස්ත්‍රීන් අත්විඳින අනේකවිධ චිත්ත පීඩාවන් සහ දුෂ්කරතා එලිමහනට ගෙන එන්නේ කම්පනකාරී අයුරිනි.

සැමියාගේ වියෝවෙන් පසුව පවුලේ ප‍්‍රධාන ආදායම් උපයන්නිය බවට පත්ව සිටින මුලතිව් හි වෙසෙන 52 හැවිරිදි තැනැත්තියක් විසින් ලබා දී තිබූ සම්මුඛ සාකච්ඡාව ඉතා අනාවරනශීලීය. “යුද්ධයක් නොවූයේ නම් ජීවිතය මීට වඩා යහපත් වනු ඇතැයි ඔබ සිතනවාද?” යන පැනයට පිලිතුරු දෙමින් ඇය මෙසේ පවසයි: “අනිවාර්යයෙන්ම, යුද්ධය නොවුනා නම් ජීවිතේ මෙහෙම පැත්තක් තිබෙන බව වත් නොදැන ඉතා සතුටෙන් ඉන්නව වෙන්න තිබුනා. මගේ මහත්තයා මට හැම දෙයක්ම ගොඩක් ආදරෙන් වගේම සැලකිල්ලෙන් කරලා දුන්නා. හමුදාව එයාව අරන් ගියා. ටික දවසකට පස්සේ හමුදාවෙන් ඇවිත් මට එයාගේ ලියකියවිලි බාර දීලා, එයාට එල්ටීටීඊ එකෙන් වෙඩි තිබ්බා කියල කිව්වා. මට මිනියවත් පෙන්නුවේ නැහැ. දැන් මගේ ජීවිතේ ගැන කල්පනා කර කර අඬනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නැහැ.”

යුද්ධයෙන් තම සැමියා සහ පුතුන් දෙදෙනා අහිමි වූ කිලිනොච්චියේ වෙසෙන 47 හැවිරිදි ස්ත්‍රියක් මෙසේ පවසයි: “යුද්ධයක් තිබුනෙ නැත්නම් මට මගේ මහත්තය සහ පුතාල දෙන්න නැති වෙන්නෙ නෑ. යුද්ධයක් තිබුනෙ නැත්නම් මගේ පුතාල දෙන්න මාව හොඳින් බලා ගනීවි. ඇයි අපිට මෙහෙම උනේ. ඇයි අපි මෙහෙම ඉන්නෙ.”

පර්යේෂනයෙන් හෙලිදරව් කරන තවත් ප‍්‍රධාන කරුනක් වනුයේ සමාජ පසුගාමිත්වය හේතුවෙන් මෙම ස්ත්‍රීන් මුහුන දෙන ශෝචනීය තත්වය යි. වැන්දඹුවන් වීමෙන් හෝ තම සැමියාගෙන් වෙන් වීමෙන් පසු ඔවුනට ලැබෙන සමාජමය පිලිගැනීම පහල වැටෙන අයුරුත් විවිධ ලිංගික අතවර සහ යෝජනාවන්ගෙන් නිරන්තරව අපහරනයට ලක්වන අයුරුත් වාර්තාව හෙලිදරව් කරයි.

වාර්තාව මෙසේ පවසයි: “ඉහත පලමු වැන්දඹුව පැහැදිලි කල පරිද යුද්ධයෙන් උදුරාගෙන ඇත්තේ ඔවුනගේ ස්වාමි පුරුෂයන් පමනක් නොව විවාහක ස්ත්‍රීන් ලෙස ඔවුනට තිබූ සමාජමය පිලිගැනීමද ඔවුනට අහිමි කෙරී ඇත. සමාජය තුල ස්ත්‍රීන්ට ඇති යටහත් ස්ථානය සහ සමාජ සබඳතාවන්හි ඌනතාවය හේතුවෙන් ඇති කෙරෙන අසරනභාවයේ හැඟීම ස්වාමි පුරුෂයෙකු නොමැති තතු තුල තවත් වැඩි කෙරෙයි.”

යුද්ධයේ රුදුරු ප‍්‍රතිවිපාකයන්ගෙන් සහ ධනේශ්වර විප්ලවය කල්පමා වූ රටක සමාජ පසුගාමිත්වයෙන් බැටකන ස්ත්‍රීන්ගේ මේ සා දුක්ඛිත ජිවිත සම්බන්ධයෙන් මූලික වශයෙන් වගකිව යුත්තේ අනුප‍්‍රාප්තික ආන්ඩුය.

එමෙන්ම දෙමල ධනපති පන්තියේ වරප‍්‍රසාද සහ උවමනාකම් මිස පීඩිත දෙමල මහජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් මොනම තැකීමක් හෝ නොමැති දෙමල ජාතික සන්ධානය ඇතුලු දෙමල ධනපති පක්ෂද මෙම විනාශයේ හවුල් කරුවන්ය.

ධනේශ්වර විප්ලවය කල්පමා වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුලු පසුගාමී රටවල ධනපති පන්තීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කවර හෝ ප‍්‍රගතිශීලී කර්තව්‍යයක් ඉෂ්ඨ කිරීමට ඓතිහාසිකව අසමත් බව රුසියානු විප්ලවයේ සමනායක ලියොන් ට්‍රොට්ස්කි පැවසුවේ 1905 තරම් ඈතදීය.

මෙම අසමත්භාවය හේතුවෙන්ම ආරම්භයේ සිටම තම පාලනය ගෙනයාමේ ප‍්‍රධානතම අවිය ලෙස දෙමල විරෝධී වාර්ගික ප‍්‍රකෝපකරනය යොදාගත් කොලඹ ධනපති පන්තිය, පන්ති අරගලය වඩාත් තීව‍්‍රවත්ම උතුරු-නැගෙනහිර දෙමල ජනයාට එරෙහි වාර්ගික යුද්ධයක්ම මුදා හැරියේය.

දශක තුනක් ගෙනගිය එම කුරිරු යුද්ධය අවසන් වී වසර අටකට ආසන්න වී ඇතත් ස්ත්‍රීන් ඇතුලු ව්‍යසනයට පත් දෙමල ජනයාගේ කිසිදු මූලික ප‍්‍රශ්නයක් විසඳී නැත. අවතැන් වූවන් දහස් ගනනක් තවමත් සරනාගත කඳවුරු වල සිරවී සිටිති. බන්ධනාගාර ගතකොට තිබෙන දෙමල සිරකරුවන් සංඛ්‍යාව සිය ගනනකි.

උතුරු නැගෙනහිර පලාත්වල හමුදා වාඩිලා ගැනීම දිගටම පවත්වාගෙන යමින් සිවිල් ජන ජීවිතය හමුදා පාලනයට යටත් කර ඇත. ආන්ඩුව සහතික වී සිටින්නේ උතුරු-නැගෙනහිරින් හමුදා ඉවත් නොකරන බවටයි. යුද්ධයේ දී බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් අක්කර දහස් ගනනක් තවමත් තිබෙන්නේ මිලිටරිය අතේ ය. තමන්ගේ ඉඩම් ඉල්ලා උතුරු නැගෙනහිර ජනතාව නිරන්තරව උද්ඝෝෂනවල නිරත වී සිටිති.

උතුරු හා නැගෙනහිර පලාත්වල යුද්ධයෙන් වැනසී ගිය දෙමල මහජනතාවගේ ගැටලූ වලට කවර හෝ විසඳුමක් ධනපති ක‍්‍රමය සහ ධනපති ආන්ඩු යටතේ නොලැබෙනු ඇත. ගෝලීය පරිමාන බිඳ වැටීමකට මුහුන දී සිටින ධනේශ්වර පද්ධතිය තුල, එක්සත් ජනපදය සහ ජර්මනිය ඇතුලූ දියුනු ධනපති රටවල සිට ශ්‍රී ලංකාව වැනි නොදියුනු රටවල් දක්වා වන සෑම රටකම පාලක පන්තීන් විසින් සිදු කරමින් සිටිනුයේ මහජනතාව මෙතෙක් භුක්ති විඳි සියලු සමාජමය සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් උදුරා ගැනීමයි. ධනපති පන්තිය මෙම පන්ති යුද්ධයේ දී කම්කරු පන්තියේ ශක්තිය බිඳීම සඳහා සියලු වාර්ගික, ආගමික, ප‍්‍රාදේශීය සහ ජාතික භේදකරනයන් යහමින් යොදා ගනිමින් පවතී. මේ සියල්ලටමත් වඩා ගෝලීය ධනේශ්වර අර්බුදය විසින් එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් න්‍යෂ්ටික ලෝක යුද්ධයක අද්දරටම තල්ලු කොට ඇත.

යුද්ධය, දරිද්‍රතාව සහ විරැකියාව ඇතුලු සියලු දැවෙන ප‍්‍රශ්න විසඳාගත හැක්කේ සිංහල හා දෙමල කම්කරු පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධ වී ධනපති ක‍්‍රමයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ප‍්‍රතිපත්ති උදෙසා සටන් කිරීමෙන් පමනකි. සමාජවාදී සමානතා පක්ෂය, කොලඹ කොලොන්නාව, වතුකරයේ අඹගමුව මෙන්ම යාපනයේ කයිට්ස් යන පලාත්පාලන ආයතන සඳහා මෙවර පලාත්පාලන මැතිවරනයේදී තරඟ වදින්නේ එම සමාජවාදී පිලිවෙත් මත පිහිටමිනි.

Share this article: