පනස්වන සංවත්සරය නිමිත්තෙන් සසප ගාල්ලේ දී රැස්වීමක් පවත්වයි

නන්දන නන්නෙත්ති විසිනි, 2018 ජුලි 15

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිය පනස්වන සංවත්සරය සමරමින් ජූලි 8 දා ගාල්ල ක්‍රීඩා මන්ඩපයේදී රැස්වීමක් පැවැත්වීය. සිය සංවත්සරය නිමිත්තෙන් දිවයින පුරා සසප පවත්වන රැස්වීම් සහ දේශන මාලාවේ කොටසක් ලෙස පැවති මෙහි මුලසුන දැරුවේ සසප ආරම්භක සාමාජිකයෙකු හා වත්මන් දේශපාලන කමිටුවේ සභිකයෙකු වන රත්නසිරි මලලගම විසිනි.

සසප හි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස), මින් වසර පනහකට පෙර ගොඩ නැගීමේදී එය පාදක වූ මූලධර්ම මලලගම විසින් පෙන්වා දුනි. “1917 දී ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන්, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ආරම්භය ලෙස රුසියාවේ ගොඩ නැගූ කම්කරු රාජ්‍යය තනි රටේ සමාජවාදයේ නාමයෙන් පාවා දුන් ස්ටැලින්වාදයට හා ඊට අනුගත වූ අවස්ථාවාදී ව්‍යාපාරයන්ට එරෙහිව ට්‍රොට්ස්කි දියත් කල අරගලය තුල හතරවන ජාත්‍යන්තරය පිහිටවනු ලැබුවා. එය දිය කර හැරීමට දැරූ පැබ්ලෝවාදී ප්‍රයත්නයට එරෙහි අරගලයේ පදනම මත විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටවනු ලැබුවා.”

තමන් ට්‍රොට්ස්කිවාදී යැයි කියාගත් සංවිධානයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ධනපති ආන්ඩුවකට ඇතුලු වීම සටහන් කරමින් 1964 දී ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හවුලක් ගොඩනැගූ ආකාරයත්, එයට එරෙහිව එම “මහා පාවාදීමේ” දේශපාලන සහ න්‍යායික අන්තර්ගතය වටහා ගැනීමට උත්සාහ කල තරුන කන්ඩායමක් විසින් විකොස ගොඩනැගීමට මූල්වූ ආකාරයත් මලලගම පෙන්වා දුනි.

විකොස හි දේශපාලනික සහ න්‍යායික පදනම් පැහැදිලි කිරීම සඳහා එහි ආරම්භක සම්මේලනයේ දී ඒකච්ඡන්දයෙන් සම්මත කෙරුනු ඉදිරි දර්ශනයේ පහත කොටස මලලගම විසින් උපුටා දැක්වීය:

“මෙම සමුලුව, හතරවන ජාත්‍යන්තරය මධ්‍යගත කම්කරු පන්ති නායකත්වය ලෙස ගෙඩනැගීමේ නව අභියෝගයන්ට මුහුන දීමේදී හතරවන ජාත්‍යන්තරයේ ක්‍රියාමාර්ගය හා විධික්‍රමය සඳහා අනවරථයෙන් ගෙන ගිය සිය අරගලය තුලින් ජාත්‍යන්තර කමිටුව අත් කරගත් අධිකාරිය මත පූර්න විශ්වාසය තබයි. මෙම සමුලුව සියලු වර්ගයේ සංශෝධනවාදයන්ට එරෙහි අශමනීය අරගලයක් තුලින් ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස ලංකාවේ කම්කරු පන්ති විප්ලවයේ පක්ෂය ගොඩනැගීමේ කර්තව්‍යයට පූර්න ලෙසින් කැපවේ. මෙම කර්තව්‍යය හැකි උපරිම දුරටත් සෑම තැනකදීත් සැම අවස්ථාවන්හිදීත් පන්ති අරගලය තුල ක්‍රියාත්මකව මැදිහත් වීම සමග නොවෙන් කල හැකි පරිදි බැඳී තිබෙන බවද එය ප්‍රකාශ කර සිටී.“

ඩබ්ලිව්.ඒ. සුනිල්

ප්‍රධාන කතාව කල සසප දේශපාලන කමිටු සාමාජික ඩබ්ලිව්.ඒ. සුනිල්, පනස්වන සංවත්සරය පිලිබඳ සාකච්ඡාව හුදු ඉතිහාසය සම්බන්ධ කරුනක් නොව වර්තමාන කම්කරු පන්තිය, තරුනයන් හා බුද්ධිමතුන් පරම්පරාවකට අවශ්‍ය ඓතිහාසික අත්දැකීම, ඉදිරි දර්ශනය හා ක්‍රියාමාර්ගය සඳහා පාඩම් උකහා ගැනීමේ ප්‍රයත්නයක් බව අවධාරනය කරමින් සිය කතාව ආරම්භ කලේය.

සැප්තැම්බර් මාසයට යෙදෙන හතරවන ජාත්‍යන්තරයේ අසූවන සංවත්සරය සමරමින් විප්ලවවාදී ක්‍රියාමාර්ගය පිලිබඳ බරපතල සාකච්ඡාවක් ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල ගෙන යාමට ලෝක සමාජවාදී වෙබ් අඩවිය දැනටමත් කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය.

“සම සමාජ පක්ෂයේ මහා පාවා දීම ගැන බොහෝ සංවිධාන, බොහෝ බුද්ධිමතුන් හා උගතුන් කථාකල නමුත් පාවා දුන්නේ කවර මූලධර්මයක් හා ඉදිරි දර්ශනයක්ද යන්න ඒ කිසිවෙකුත් වටහා ගත්තේ නැත. පාවාදෙනු ලැබුවේ බොල්ශෙවික් ලෙනින්වාදී සමසමාජ පක්ෂය විසින් අනුයනු ලැබූ, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වූ මූල ධර්ම හා ක්‍රියා මාර්ගය යි.

“එදා විකොස පිහිට වූ තරුන කන්ඩායමට පමනක් මෙම මූලධර්ම මත පදනම් වීමට හැකිවුයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මග පෙන්වීම නිසයි. පශ්චාත් යුදසමය, එක්සත් ජනපදයේ පැවති සාපේක්ෂ ශක්තිය මත නය සහනාධාර යොදා ගනිමින් ගොඩනැගූ පන්ති සම්මුතිවාදී පාලන තන්ත්‍රයන්ට උදව් දී ගොඩනැගූ අධිරාජ්‍යවාදී පර්යාය හා ඉන් ඇතිකල පීඩනය මගින් හතරවන ජාත්‍යන්තරය තුල පැන නැංවූ, පැබ්ලෝ හා මැන්ඩෙල් නායකත්වය දුන් හා සමසමාජ පක්ෂයේ පාවාදීමට මග පෑදූ, අවස්ථාවාදී ප්‍රවනතාව එය හඳුනා ගත්තා. පාවාදීමේ මෙම පදනම වටහා නොගත් සියලු පක්ෂ ධනවාදය ඉදිරියේ දන ගැසුවා.

1971 කැරැල්ල, තිස් අවුරුදු යුද්ධය මෙම පාවා දීමේ ප්‍රතිඵලයන් බව සුනිල් පෙන්වා දුන්නේය. යුද්ධය යනු ලසසපය පාලක පන්තිය සමග පෙල ගැසී සිංහල, දෙමල සහ මුස්ලිම් ආදී වශයෙන් වාර්ගික රේඛා මත කම්කරු පන්තිය බේද කිරීමට කල වැඩවල ප්‍රතිඵලයක් මිස අනිවාර්ය කාරනයක් නොවන බව ඔහු පැවසීය. 1964 මහා පාවාදීම ඉන්දියානු උපමහාද්වීපයේ කම්කරු පන්ති ව්‍යාපාරය කෙරෙහි ඇතිකල නිශේධනීය බලපෑම සම්බන්ධයෙන් ද සුනිල් දීර්ඝ වශයෙන් පැහැදිලි කලේය.

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, වමේ පක්ෂ සභාගයෙන් දොට්ට බසිනු, වර්ගවාදී යුද්ධයට එක සතයක් එක ලේ බිඳක් නොදෙනු, උතුරෙන් නැගෙනහිරින් හමුදා ඉවත් කරනු යන සටන් පාඨ යටතේ කම්කරු පන්තියේ පන්ති විඤ්ඤානය ඉහල දැමීම සඳහා සටන් වැදුනු එකම පක්ෂය විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය හා එහි අනුප්‍රාප්තිකයා වන සසප පමනක් බව ද සුනිල් සඳහන් කලේය.

“2008 ලෝක ධනවාදය තුල ඉස්මතු වූ අර්බුදය පද්ධතිමය එකක් බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය අවධාරනය කලා. එයින් ගොඩ ඒමට අධිරාජ්‍යවාදී ආන්ඩු ටි්‍රලියන ගනන් වැය කලා. නමුත් වසර දහයකට පසු දැන් සනාථ වී ඇත්තේ කුමක් ද? පාලනය කල නොහැකි වෙලඳ යුද්ධයත් එයින් පැන නංවන ලෝක යුද්ධය සහ මහජනතාවට එරෙහි සමාජ ප්‍රතිවිප්ලවය හැර ධනවාදයට අන් විකල්පයක් නොමැති බවයි.”

සසප විසින් ගෙනයනු ලබන දේශපාලන උද්ඝෝෂන සම්බන්ධයෙන් මහජනයා තුල වැඩෙන උද්‍යෝගය සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය යලි දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙමින් සිටින ආකාරය සුනිල් දීර්ඝ වශයෙන් පැහැදිලි කලේය.

“යුද්ධයට සහ සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිව සටන් කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය යටතේ පමනයි. කම්කරු පන්තියට ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් සම්පාදනය කරමින් යුද්ධයට සහ සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිව කම්කරු පන්තිය ලෝක පරිමානව බලමුලු ගැන්වීමට සටන් වදින්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමනයි. මේ අනුව වසර පනහකට පෙර විකොස පිහිටුවීමේදී පදනම් වූ සහ පසුගිය අඩසියවසේ විකොස ගෙනගිය අරගලයේ නිරවද්‍යතාව සහ අදාලත්වය ඉතා ගැඹුරින් සනාථ වෙනවා.”

විකොස සහ සසප ගෙනගිය න්‍යායික දේශපාලනික අරගලය පිලිබඳව ගාල්ලේදී සහ අනෙකුත් නගරවල ඉදිරි කාලයේ පවත්වන දේශන වලට සහභාගි වී විකොස සහ සසප ඉතිහාසය හදාරමින් සසප ට බැඳී ඉහත විප්ලවවාදී කර්තව්‍යයට උරදෙන ලෙස ඉල්ලමින් සුනිල් තම කතාව අවසන් කලේය.

වර්ජනයේ යෙදී සිටි තැපැල් කම්කරුවන් සහ ධීවරයන් අතර මෙන්ම, ගාල්ල, මාතර, අම්බලන්ගොඩ ප්‍රදේශ වල ජනයා අතරත් ගාල්ල වරාය ඇතුලු කම්කරු නිවහන් ප්‍රදේශ වලත් සංවත්සරය නිමිති කොට ගෙන දියත් කල උද්ඝෝෂනයේදී සසප ඉතිහාසය සහ වැඩ පිලිවෙල දැන ගැනීමට විශේෂ උනන්දුවක් ප්‍රකාශයට පත් වුනි.

සමූපකාර දෙපාර්තුමේන්තුවේ ගාල්ල කාර්යාලයේ සේවක පිරිසක්

ධනේශ්වර ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා සසප ඉදිරිපත් කරන වැඩපිලිවෙල පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටි සමූපකාර දෙපාර්තුමේන්තුවේ ගාල්ල කාර්යාලයේ සේවක පිරිසක් “සමාජවාදී සමානතා පක්ෂයට පනස් වසරක්” නැමැති පොත් පිංච ද මිලදී ගෙන වැඩි දුර සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය ප්‍රකාශ කලහ.

ජාත්‍යන්තර සමාජවාදය යටතේ කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සසප ගෙනයන අනවරත අරගලය සනාථ කරමින්, වර්ජනයේ යෙදී සිටි මාතර තැපැල් සේවක කන්ඩායමක් ස්තුති පූර්වකව කියා සිටියේ පසු ගිය දා පැවති වර්ජනයේදී මෙන්ම මින් පෙර පැවති සිය අරගලයන්හි දී එක දිගටම මැදිහත් වූ පක්ෂය සසප බව යි.

ඩබ්ලිව්.ඒ. ප්‍රේමනන්දන (වම්පස සිට දෙවැනියා)

රු. 7500 ක මාසික දීමනාවක් මත ජීවිතය ගැටගසා ගැනීමට බලකෙරී පවත්නා කුමාරකන්ද දුම්රියපොල අසල දුම්රිය හරස් පාර ගේට්ටු ක්‍රියාකරු ඩබ්ලිව්.ඒ. ප්‍රේමනන්දන හා ඔහුගේ බිරිඳ එල්.එල්. සිරිමතී තම දුෂ්කර ජීවන කොන්දේසි ගැන විස්තර කරමින් කියාසිටියේ “දුප්පතුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන පක්ෂයකට” සහාය දීමට කැමැත්තෙන් සිටින බවයි.

සුලු මත්ස්‍ය වෙලඳාමකින් ජීවත් වන කන්දෙගොඩ පදිංචි රංජනී රාජපක්ෂතම දුෂ්කරතා පවසමින් කියා සිටියේ සුලු ව්‍යාපාරිකයන් නගාසිටුවන බව සෑම රජයක්ම දිවුරා සිටියත් ෆිනෑන්ස් කාරයන් හා බැංකු පෝසත් කිරීම විනා නැගී සිටීමක් සුලු ව්‍යාපාරිකයන්ට නැති බව යි. “අපි ගිය ඡන්දෙදි කිසි පක්ෂයකට ඡන්දෙ දුන්නෙ නෑ. එක පක්ෂෙකටවත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න බෑ. ඔය පක්ෂය මේ ප්‍රශ්න විසඳන්නෙ කොහොමද?“” යනුවෙන් ප්‍රශ්න කල ඇය සසප උද්ඝෝෂකයන් කල පැහැදිලි කිරීමකට සාවධානව සිට සසප සංවත්සර අරමුදලට ද ආධාර කලාය.

වසර කීපයකට පෙර බේරුවල මුස්ලිම් ජනයාට සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී මැරයන් එල්ල කල ප්‍රහාරයේදී එක් පාදයක් අහිමිවූ තරුනයෙකු වන අක්කර් කියා සිටියේ මුස්ලිම් ජනයා සෑම විටම බියෙන් සැකෙන් ජීවත් වන බවයි. අර්බුදයට පත් ධනපති පාලකයන් විසින් කම්කරු පන්තිය බෙදීම සඳහා මෙම වාර්ගික භේදයන් නිර්මානය කරන බව පැහැදිලි කල සසප උද්ඝෝෂකයෝ එයට එරෙහිව කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදය යටතේ බලමුලු ගැන්වීමට සසප-විකොස පනස් වසරක් පුරා ගෙනගිය අරගලය පිලිබඳව සාකච්ඡා කලහ.

පරගහතොට පදිංචිලහිරු උපාධිධාරී තරුනයෙකි. විශ්ව විද්‍යාල සිසුන් මුහුන දෙන කිසිදු ප්‍රශ්නයක් විසඳීමට ශිෂ්‍ය සංගම් සමත්වී නොමැති බව පැවසූ ඔහු තමා අධ්‍යාපනය ලැබූ රුහුනු විශ්ව විද්‍යාලයේ අත්දැකීම් මත ශිෂ්‍ය සංගම්වල, විශේෂයෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් මෙහෙයවෙන ශිෂ්‍ය සංගම් වල බලහත්කාරී දේශපාලනය පිලිබඳව විස්තර කලේය. ඔවුනගේ දේශපාලනයට යටත් නොවුනහොත් ජීවිතය “අල කරන” බවට, එනම් රැකියාවක් ලබා ගැනීමට පවා ඉඩ නොදෙන බවට, එම නායකයන් ශිෂ්‍යයන්ට තර්ජනය කරන බව ඔහු සඳහන් කලේය.

ඒ.පී. ගුනපාල

ලංකා ගමනාගමන මන්ඩලයේ (ලංගම) විශ්‍රාමික ලිපිකරුවකු වන, කරාපිටිය තොටගොඩ පදිංචි 81 වියැති ඒ.පී. ගුනපාල රැකියාවට බැඳී ඇත්තේ 1964 දීය. සමසමාජ පක්ෂයේ සමස්ත ලංකා මෝටර් රථ කම්කරු සමිතිය ඉතා බලවත්ව පැවති එම කාලයේ එහි සාමාජිකත්වය ලබාගත් ඔහු පසුව සමසමාජ පක්ෂයට බැඳී ඇත්තේ සමාජවාදය ගැන පැවති ඇල්ම නිසාය. “පිලිප් ගුනවර්ධන යූඑන්පීයට ගියාම ‘පිලිප් බූරු කෑව පිදුරු’ කියමින් පෙලපාලි ගිය සමසමාජෙ 1971 කැරැල්ල සීඅයිඒ කුමන්ත්‍රනයක් කියල හංවඩු ගහල ඊට විරුද්ධව හංස රෙජිමේන්තුව නමින් බලකායක් හැදුව.”

ලංගම වැඩ කල සමසමාජ නායකයන්ට තුවක්කු දී තරුනයන් ඝාතනය කිරීමට මෙහෙය වූ හැටි ඔහු විස්තර කලේ ය. 87 - 89 කාලයේ කම්කරුවන් ඝාතනය කල මහජන දේපල ගිනි තැබූ ජනතා විමුක්ති පෙරමුනට සමාජවාදය සමග කවර හෝ සබඳතාවයක් නොමැති බව ඔහු පැවසීය. ලසසපයේ පාවාදීමට එරෙහිව සසප-විකොස ගෙනගිය අරගලය පිලිබඳව කල සාකච්ඡාවට පසු ඔහු කියා සිටියේ තරුනයන් සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියා මාර්ගය හැදෑරිය යුතු බවයි.

Share this article: