කොලඹ හා අවට පැල්පත්වාසීන් ඉවත් කිරීමේ සැලසුම මුදල් ඇමති අවධාරනය කරයි

විලානි පීරිස් විසිනි, 2018 ජූලි 2

මිවුස් වීදියේ කම්කරු හා දුගී පවුල් ගෙනගිය විරෝධතාවට පොලිසිය බාධක යොදයි

ඉන්දියාවේ මුම්බායි නුවර ජූනි 26 දින ආසියාවේ යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (ඒඅයිඅයිබී) වාර්ෂික රැස්වීම අමතමින් ලංකාවේ මුදල් ඇමති මංගල සමරවීර “නාගරික පුනර්ජීවන වැඩ සටහන” යටතේ කොලඹ නගරය තුල මුඩුක්කු හා පැල්පත්වාසීන් සඳහා මහල් නිවාස ඒකක 50,000ක් ගොඩනගන බව කියා සිටියේය. පැල්පත්වාසීන් ඉවත් කිරීමේ මෙම සැලසුම සඳහා ආධාර දීමට කැපවීම පිලිබඳව ඔහු ඒඅයිඅයිබී ය අගය කලේය.

චීනයේ මූලිකත්වයෙන් පිහිටුවූ ඒඅයිඅයිබී යේ තුන්වන රැස්වීම සඳහා පැමින සිටි රටවල් 80 ක සාමාජිකයන් සාකච්චා කලේ පුද්ගලික අංශය මෙහෙයවා ගෙන යටිතල පහසුකම් ගොඩ නැගීම ගැනයි. සමරවීර තම ආන්ඩුවේ ඊනියා තිරසාර නගර සංවර්ධනය ගැන කතා කලේ වෙසෙසින්ම කොලඹ හා තදාසන්න ප්‍රදේශය වානිජ, මූල්‍ය හා සංචරක කේන්ද්‍රයක් බවට පත්කර විදේශ ආයෝජන කැඳවා ගැනීම මූලික ඉලක්කය කරගෙන ඇති තත්ත්වයක ය.

“නාගරික ප්‍රදේශ වල තිරසාර සංවර්ධනය අත්කර ගැනීම ආන්ඩුවේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් යැ”යි පැවසූ ඔහු “දුප්පතුන්ගේ ජීවන කොන්දේසි ඉහල දැමීම සඳහා ආන්ඩුව නොයෙකුත් ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව” කියා සිටියේය. එසේ වුවත් මෙම ක්‍රියා මාර්ග මොනවාද යන්න පිලිබඳව විස්තර සඳහන් කිරීමෙන් වැලකී සිටි සමරවීර මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ මෙම කටයුතු කලමනාකරනය කෙරෙන බව පමනක් සඳහන් කලේය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන ව්‍යාපෘතිය (මබසව්‍යා ) යටතේ කොලඹ නගරය තුල අඩුආදායම් ලාභී පවුල් 50,000ක් සඳහා නව මහල් නිවාස ලබාදී කොලඹ නිවාස ප්‍රශ්නය විසඳන බවට පාරම්බාන ප්‍රෝඩාකාරී ප්‍රවෘත්තියක් මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමති චම්පික රනවක හා ආන්ඩුව මගින් ප්‍රචාරය කෙරේ.

අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන්ව ඇත්තේ ඇමති පාඨලී චම්පික රනවකගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන “නිවසක් වෙනුවට ජීවිතයක්” නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ මෙම නිවාස සැපයීම ක්‍රියාත්මක කෙරෙන බවයි. ආන්ඩුව හා එම අමාත්‍යාංශය පවසන පරිදි අඩු ආදයම්ලාභි පැල්පත් නිවාසවල ජනතාවට නව නිවසක් ලබාදීම හරහා එම “ජනතාවගේ ජීවන මට්ටම් උසස් කිරීම” ඔවුන්ගේ අභිලාශයයි.

මේ නම් ධනපති ආන්ඩු මගින් ගොතන ලද බොරුවකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවද මෙසේ පවසමින් කොලඹ අඩුඅදායම් පවුල් දාහකට වැඩි ප්‍රමානයක් ඉවත් කරනු ලැබූයේ මිලිටරිය හා පොලීසිය යොදා පහරදී බලහත්කාරයෙන් ය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ 2017 ජනවාරි සමීක්ෂන වාර්තාවකට අනුව 2010 සිට නිවාස වලින් ඉවත් කල ප්‍රමානය පිලිබඳ නිල වාර්තා නොමැත.

කොම්පඤ්ඤවීදීයේ බිමට සමතලා කෙරුනු ගෙවල්

පැවති රාජපක්ෂ ආන්ඩුව යටතේ, කොලඹ නගරය සංවර්ධනය නමින් ද, වත්මන් ආන්ඩුව යටතේ කොලඹ හා බස්නාහිර සංවර්ධනය කිරීම නමින් ද ක්‍රියාත්මක වන්නේ කොලඹ හා ඒඅවට පවතින වානිජමය වශයෙන් ඉතා වටිනා ඉඩම්වලින් දශක ගනනාවක් පදිංචිව සිටි කම්කරු හා දුගී පවුල් ඉවත්කර අයෝජකයන්ට ලාභ ගොඩගසා ගැනීම උදෙසා එම ඉඩම් පවරා දීමටය. පාලක පන්තිය ගනන් බලා ඇති අන්දමට අක්කර 900ක් පුරා ඉතා වටිනා ඉඩම්හි අඩු ආදායම් ලාභී නිවාස පැතිර ඇත. දැනටමත් කොම්පඤ්ඤවීදීයේ අක්කර 8ක් ඉන්දියාවේ ටාටා සමාගමට ද තවත් අක්කර තුනක් පකිස්තාන ඉම්පීරියල් සමාගමට ද වසර 99ක කාලයක් සඳහා බදු දී ඇත.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ, ලෝක බැංකුවේ විධානයන්ට අනුව ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාව මත, දුගී මහජනතාවගේ ඕන එපාකම්වලට හතුරුව ය. මෙබඳු පසුබිමක තම නිවාසයන්ගෙන් ඉවත්කෙරෙන නිවැසියන්ට මෙතෙක් පදිංචියට සුදුසු ප්‍රමිතියකින් යුත් නිවාස ලැබී නැති අතර වර්තමානයේදී ඊටත් රුදුරු කොන්දේසි යටතේ දුගීන් නිවාසවලින් ඉවත් කෙරෙනු ඇත.

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්තාවට අනුව 2016 - 2017 වර්ෂ වලදී නව නිවාස 2,270ක් ජනතා අයිතියට පත් කිරීමට ආන්ඩුව කටයුතු කරමින් සිටියි. “එසේම තවත් නිවාස 9,904ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 49,520ක් ආයෝජනය කර ඇති අතර සියලු ව්‍යාපෘතීන් අවසන් වන විට නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2020 වසරට පෙර ජනතා අයිතියට පත්කරනු ලබන සම්පූර්න නිවාස ඒකක ගනන 20,000 ඉක්මවනු ලබයි.”

එහෙත් කොලඹ නගරය තුල නිවාස ඉවත් කරන ප්‍රමානය මීට වඩා බෙහෙවින් වැඩිය. දැනටම ඉවත්කිරීමට නියමිත පවුල් සංඛ්‍යාව 50,000කි. 2014 දී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කල සමීක්ෂනයකින් පෙන්වා දුන් පරිදි පසු ගිය රජයේ ඇතැම් ගනන් හිලව් අනුව පවුල් 135,000ක් පමන ඉවත් කෙරෙන අතර ඉන් බැටකන මිනිස් ප්‍රමානය 500,000ක් පමනවේ.

මෙලෙස ගොඩ නගනවා යැයි පැවසෙන අඩු ආදායම් ලාභීන් සඳහා වන තට්ටු නිවාස පිලිබඳව ද මහ ජනයාට ඇත්තේ විරෝධයකි. මෙම තට්ටු නිවාස යහපත් දිවි පෙවෙතක් සඳහා පදිංචියට සුදුසු නොවනවා පමනක් නොව නාගරිකව තමන් ගෙන ගිය ජීවනෝපායන්ට හා ලමයින්ගේ පාසැල් යාම් ආදියටද එල්ල වන ප්‍රහාරයන් පිලිබඳව ආන්ඩුව කිසිම තැකීමක් නොකිරීම ඊට හේතුවේ.

දැනට පසුගිය ආන්ඩුව හා වර්තමාන ආන්ඩුව නිවාසයන්ගෙන් ඉවත්කල පවුල් සඳහා ලබාදී ඇති මහල් නිවාස පදිංචියට නුසුදුසුය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ වාර්තාවකට අනුව මාලිගාවත්ත මහල්නිවාස ලබාදුන් නිවැසියන් නිරන්තරව එම නිවාස පදිංචියට නුසුදුසු බවට පැමිනිලි ඉදිරිපත් කරනු ලැබේ. පසුගිය ආන්ඩුව හා වර්තමාන ආන්ඩුව ලබාදුන් මහල් නිවාස පදිංචියට නුසුදුසු බව බොහෝදෙනෙක් චෝදනා නගන බවද එම වාර්තාව පෙන්වාදෙයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට මහල් නිවාසයන්හි මහජනතාව කියා සිටියේ තමන් පදිංචියට පැමිනියේ බල කරනු ලැබූ නිසා පමනක් බවය. වර්ග අඩි 400ක් වූ නිවාස වල ඉඩකඩ ප්‍රමානවත් නොමැත. බොහෝ මහල් නිවාසයන්ගේ බිත්ති පුපුරා ගොසින් ඇති හෙයින් ජීවත්වීම අනතුරු දායක බව ලෝසවෙඅ වාර්තාකරුවන්ට දැක ගත හැකිවිය.

මහල් නිවාසයන්හි පදංචි ජනයා වාර්තා කල පරිදි ඔවුනට මෙම නිවාසයන්හි නීත්‍යානුකූල හිමිකම් ලබාදෙන ලියවිල්ලක් ලබා දී නැත. මෙම තත්වය තුලදී දැනට ඉවත්විය යුතු බවට නාගරික සංවර්ධන අධිකාරිය දැනුම්දී ඇති බොහෝ දුගී නිවැසියන් පවසන්නේ ඔවුන් මහල් නිවාසයන්ට පදිංචියට යාමට සූදානම් නැති බවය.

ආන්ඩුව යලි යලිත් ප්‍රකාශ කරන්නේ නිවාස ලැබෙනුයේ ඔප්පු ඇති නිවැසියන්ට පමනක් බවයි. සමීක්ෂන වාර්තා අනුව කොලඹ පදිංචි අඩු ආදයම් ලාභී නිවාසයන්ගෙන් නීත්‍යානුකූල ලියවිලි ඇත්තේ සියයට 20කට පමනි. මෙහි අර්ථය නම් දුගී මහජනයා මහමඟට ඇද දැමීමට ආන්ඩුව සූදානම් වන බවයි. සමරවීරගේ “තිර සාර සංවර්ධනය” පිලිබඳ කයිවාරු මෙන්ම රනවකගේ “නිවසක් වෙනුවට ජීවිතයක්” යන ආටෝපයන් පිටුපසින් දුගී මහජනතාව මත සියලු බර පටවා ආයෝජකයන්ට ඉඩම් පැවරීමට ධනපති පාලකයන් සූදානම් වන ආකාරය මින් පැහැදිලිය.

මෙම ආන්ඩුව බලයට පැමිනීමේ දී මීට පෙර පැවති රාජපක්ෂගේ ආන්ඩුව බලහත්කාරයෙන් ජනතාව නගරයෙන් ඉවත්කිරීමට එරෙහිව වැඩී ගිය මහජන විරෝධය ගසාකෑවේ යලි එසේ ඉවත් නොකරන බවට පොරොන්දු දෙමිනි. බලයට පැමිනි පසු මෙම ආන්ඩුව බලහත්කාරයෙන් ජනයා පලවා හැරි වාර්තාව පහත සඳහන් පරිදිය.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ වෙරල ආරක්ෂක දෙපාර්තමේන්තුව 2016 පෙබරවාරි 12 වන සිකුරාදා වැල්ලවත්ත පාලම අසල සිට ගල්කිස්ස දක්වා, මුහුදු තීරයේ “අනවසර” ඉදිකිරීම් ලෙස නම්කෙරුනු නිවාස සිය ගනනාවක් දැඩි ජනතා විරෝධතා මැද ඉවත් කරනු ලැබූවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදාගනිමිනි.

කජීමාවත්තේ කඩාදැමූ නිවස යම්තමට යලි සකසාගෙන එම ස්ථානයේ පදින්චිව සිටින ජනයා

පොලීසිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ (නාසඅ) නිලධාරීන් මැදිහත් කරමින්, 2016 පෙබරවාරි 16 දා පෙරවරු 10.30ට පමන, උතුර කොලඹ තොටලඟ ෆර්ගියුෂන් පාරේ කජීමාවත්තේ දුගී නිවාස 250 ක් පමන කඩා ඇත්තේ නිවෙස් වල තිබූ ලී බඩු, ලමයින්ගේ පොත් පත් සහ මුලුතැන්ගෙයි බඩු භාන්ඩ ද විනාස කරමිනි. ඔවුනට නිවාස දෙන බවට ස්ථිර පොරොන්දුවක් හෝ නැත. මෙම ජනතාව කඩාදැමූ නිවස යම්තමට යලි සකසාගෙන අද වෙනකම් එම ස්ථානයේ පදින්චිව සිටියි.

මාර්තු 16 දා, කොලඹ තොටලඟ මුවදොර උයන මහල් නිවාසය හා ජපන් මිත්‍රත්ව පාලම අසල පිහිටි ඇපල්වත්ත තුල නිවාස 9ක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් බුල්ඩෝසර කර බිමට සමතලා කෙරුනි.

මීතොටමුල්ල කසල කන්ද මහජනතාවගේ විරුද්ධත්වය නොතකා පවත්වාගෙන ගොස් ජීවිත 32ක් බිලිගැනීමට සලස්වා නිවාස 146ක් මුලුමනින් විනාශවූ පසු අනතුරුදායක යැයි තවත් අවට ජීවත්වන නිවැසියන්ට ඉවත්වන ලෙසට බල කර ඇත. මෙම මහජනයාගේද නිවාස ප්‍රශ්නය විසඳා නොමැත.

2017 ජූනි මාසයේ නිකුත් කල කොලඹ නගර සංවර්ධන ව්‍යාපෘති වාර්තාවට අනුව මීතොටමුල්ලේ අක්කර 15ක භූමි භාගයක උද්‍යානයක් ගොඩනැගීමට ද තවත් අක්කර 2 ක් ව්‍යාපාරික කටයුතු සඳහා වෙන් කිරීමට ද යෝජනා කෙරී ඇත. ආන්ඩුව සූදානම් වන්නේ මහා ව්‍යාපාරික ආයෝජකයන් සඳහා කොලඹ හා ඒ අවට ප්‍රදේශ ලබා දෙමින් දුගීන් නගරයේ වානිජමය ලෙස වටිනා ඉඩම් වලින් බලහත්කාරයෙන් ඉවත් කිරීම බව මෙම කරුනු වලින්ද යලි යලිත් තහවුරු වේ.

Share this article: