ඇමරිකාව ඉරානයට එරෙහි යුද්ධය හා තන්ත්‍ර මාරුව සඳහා සූදානම්වේ

US preparing for regime change and war against Iran

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2018 ජූලි 30

“ඉතිහාසය පුරා කවර කලෙකවත් අත් නොදුටු ආකාරයේ ප්‍රතිවිපාක ගෙන එන” යන ඉරානයට විරුද්ධව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කල තර්ජනයෙන් දින ගනනකට පසුව, ඔහුගේ ප්‍රධාන ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්, ඉරානයට මුහුනදීමේ ඇමරිකානු සැලසුම් සාකච්ඡා කිරීම පිනිස රැස්වීමක් පැවැත්වීය.

ඉරානයට එරෙහි ඔහුගේම යුදවාදී තර්ජන පිලිබඳ කුප්‍රකට බෝල්ටන්, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හා ආරක්ෂක ලේකම් ජිම් මැටිස්ගේ සහභාගිත්වයෙන් ජාතික ආරක්ෂාව පිලිබඳ මූලධර්ම කමිටුවේ මුලසුන ගත්තේය. අප්‍රේල් මාසයේ වැඩ බාරගැනීමෙන් පසුව ඔහු පවත්වන ලද එවන් තුන්වන රැස්වීම එය බව වෝල් ස්ට්‍රීට් ජර්නලය සඳහන් කරයි.

මැයි මාසයේදී ට්‍රම්ප් ආන්ඩුව 2015 ඉරානය සමඟ ඇතිකරගෙන තිබුන ගිවිසුම කඩාකප්පල් කලේය. ඒ යටතේ තෙහෙරානය, දැඩි ආර්ථික සම්බාධක ඉවත්කිරීමට හිලව් වශයෙන් සිය න්‍යෂ්ටික පහසුකම් සමීප ජාත්‍යන්තර නිරීක්ෂනය යටතේ තබමින් තම න්‍යෂ්ටික වැඩසටහන් බරපතල ලෙස සීමා කලේය.

ඉරානයේ මෝටර් රථ කර්මාන්තයට මෙන්ම රන් හා අනෙකුත් ලෝහ වෙලඳාමට ද ලබන මාසයේදී ඇමරිකාව යලි සම්බාධක පනවනු ඇත. නොවැම්බරයේදී ඉරානයේ බලශක්ති ක්ෂේත්‍රයට ද සම්බාධක පැනවේ. එය එරට අපනයනයේ හා රජයේ ආදායමෙහි විශාල පංඟුවකට වග කියයි. ඒ සමග නාවික වෙලඳ කටයුතු, රක්ෂන හා මහ බැංකුවේ ගනුදෙනු වලට ද එය පුලුල් කරනු ඇත. ඉරානයේ තෙල් අපනයන 0 බස්සන බවට ඇමරිකාව තර්ජනය කර ඇත.

ට්‍රම්ප් පාලනයේ තීරන ඉරානය සමග ප්‍රකෝපකාරී බිහිසුනු ගැටුමක් අවුලුවා තිබේ. 2015 පටන් තෙහෙරානය සමඟ ආර්ථික බැඳීම් වර්ධනය කරගෙන ඇති ඇමරිකාවේ යුරෝපීය සහචරයින් සමග සම්බන්ධතා ද එමගින් තවත් නරක අතට හැරෙනු ඇත. වොෂින්ටනය සම්බාධක වලින් යුරෝපීය සමාගම් මුදා හැරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා තවදුරටත් ඉරානය සමග ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නේ නම් ඇමරිකානු මූල්‍ය ක්‍රමයෙන් නෙරපා හරින බවට ද තර්ජනය කර තිබේ.

මූලධර්ම කමිටු රැස්වීමෙන් පසුව නිල නිවේදනයක් නිකුත් කර නොතිබුන ද එහි අරමුන ඉරානය මත පීඩනය දැඩි කරන්නේ කෙසේ ද යන්න සැලසුම් කිරීම බව පැහැදිලිය. නිලධාරීන් වෝල් ස්ට්‍රීට් ජර්නලයටපැවසුවේ, මැද පෙරදිග පුරා ඉරානයේ අනුහස පැතිරීම වලක්වන “ශුද්ධමය” මූලෝපායක් රැස්වීමේදී සාකච්ඡාවට බඳුන්වූ බවයි. කුමන මිලිටරි විකල්පයන් සාකච්ඡා කලේ ද යන්න නොපැහැදිලි නමුත් ආරක්ෂක දෙපාර්තමේන්තුව අතීතයේදී “සීමිත මිලිටරි විකල්පයන් ගැන සලකා බැලූ” බව ලිපිය සඳහන් කරයි.

ඒබීසී යන ඕස්ට්‍රේලියානු ගුවන් විදුලිය පසුගිය 27දා පල කල ලිපියකින් ට්‍රම්ප් පාලනය ඉරානයට පහර දීමට සූදානම් වන බවට තවත් සාක්ෂි ගෙනහැර දැක්වීය. “ටර්න්බුල් ආන්ඩුවේ (ඕස්ට්‍රේලියානු) ජ්‍යෙෂ්ඨයින් ඒබීසීට පැවසුවේ, එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට බෝම්බ දැමීමට සූදානම් වන බවයි. සමහර විට ලබන මාසයේ තරම්, එසේම ඉලක්ක හඳුනා ගැනීම පිනිස ඕස්ට්‍රේලියාවේ සහාය ලැබෙනු ඇති” බවයි.

ජ්‍යෙෂ්ඨ රජයේ මූලාශ්‍රයන් උපුටා දක්වමින් ඒබීසීය වාර්තා කලේ, ඉරානයට එරෙහි යුද්ධයකදී ඇමරිකානු මිලිටරියට අවශ්‍ය ඔත්තු සැපයීමේ කාර්යයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යස්ථාන ක්‍රියාකලාපයක් ඉටුකිරීමට නියමිත බවයි. එම මූලාශ්‍ර, “ක්‍රියාශීලීව ඉලක්ක” පෙන්වා දීමට ඕස්ට්‍රේලියාව සම්බන්ධ වන්නේය යන්න ප්‍රතික්ෂේප කල නමුත් මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පයින් ගැප්හි ඇමරිකා-ඔස්ට්‍රේලියා ඒකාබද්ධ ඔත්තු මධ්‍යස්ථානය, මැද පෙරදිග සිට මධ්‍යම ආසියාව දක්වා පුලුල් ප්‍රදේශයක ඔත්තු සම්පාදනය කර ඇතුවාක් මෙන්ම, ඇමරිකාවේ ඩ්‍රෝන් ඝාතන සඳහා ඉලක්ක තොරතුරු ද සපයා ඇත.

ඒබීසීය මෙසේ ද පවසයි: “වැඩිපුර ප්‍රකට නැති ඕස්ට්‍රේලියන් ජියොස්පැෂල්-බුද්ධි සංවිධානයේ විශ්ලේෂකයින් ද ක්‍රියාකලාපයක් ඉටු කිරීමට නියමිතය.” එම සංවිධානය චන්ද්‍රිකා හා ගුවන් යානා ප්‍රතිබිම්බ යොදාගනිමින්, විවිධ මිලිටරි මෙහෙයුම් වලදී ප්‍රයෝජනයට ගත හැකි භූගෝලීය ඔත්තු සම්පාදනය කරනු ඇත.

ඕස්ට්‍රේලියානු අගමැති හා ඇමරිකානු ආරක්ෂක ලේකම් මැටිස්, ඒබීසි වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කලහ. මැටිස්ට අනුව, “එය මේ දැන් සලකා බැලීමට ලක්වී නැති යමක් බව මට විශ්වාසය, එය ප්‍රබන්ධයකි.” කෙසේ වෙතත් අගමැති එය මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමෙන් වැලකුනි. ඔහු පැවසුවේ ඒබීසී වාර්තාව, “මගෙන්, විදේශ ඇමතිගෙන්, ආරක්ෂක ඇමතිගෙන් හෝ ආරක්ෂක හමුදාවෙන් කිසිවක් විමසා නැති” බවයි.

ඉරානයේ තන්ත්‍ර මාරුවක් සඳහා ට්‍රම්ප් ආන්ඩුවේ කිසිදු සැලැස්මක් නැති බව මැටිස් අවධාරනය කලේය. “එවන් කිසිවක් සැලසුම් කර නැත.” එහෙත් ඔහු මෙසේ පැවසීය: “ඔවුන්ගේ මිලිටරිය යොදාගෙන එල්ල කල හැකි තර්ජන ගනනාවක් උපයෝගී කර ගැනීමෙන් ඔවුන් වැලකී සිටීම අපට අවශ්‍යය. එනම් ඔවුන්ගේ ඔත්තු සේවා, කුලී අංශ හා තවත් දේය.”

සැබෑව නම් ඉරානය ඇමරිකාවට තර්ජනය කරනවා නොව, ඇමරිකාවේ පැවති විවිධ ආන්ඩු, තෙහෙරාන තන්ත්‍රය අස්ථාවර කිරීමට උත්සාහ කරමින්, ඇමරිකාවේ පූර්න මිලිටරි ශක්තිය යොදාගෙන ඉරානයට තර්ජනය කර තිබීමයි. 2015 ගිවිසුම ඉරා දැමීමෙන් ඇමරිකාව සිය සෑම විකල්පයක්ම සැලකිල්ලට ගන්නවා නොඅනුමානය. ඒ ඔවුන් මැද පෙරදිග සිය ආධිපත්‍යයට බාධාකාරී යයි සලකනු ලබන බලවතා අඩපන කිරීමටය.

පසුගිය මාසයේ අග ඊස්රායලයේ පල කෙරෙන හැරට්ස් පුවත්පත, බෝල්ටන් ඉරානය තුල සමාජ අසහනය තන්ත්‍ර මාරුවක් සඳහා යොදාගත යුතු යයි අවධාරනය කරද්දී, ඉරානය පිලිබඳව ට්‍රම්ප් ආන්ඩුව සමඟ ඇති උපායික වෙනස්කම් ගැන සඳහන් කලේය. “එක් පුද්ගලයෙක් බෝල්ටන්ගේ අදහස් කැටිකර දක්වමින් ජ්‍යෙෂ්ඨ ධවල මන්ඳිර නිලධාරීන් හමුවේ පැවසුවේ, ‘එක් උත්සාහයකින් සියල්ල කෙරෙනු ඇත.’ අනෙක් අතට මැටිස්, එවන් උත්සාහයන් පූර්න පරිමානයේ යුද්ධයකට තුඩුදෙනු ඇතැයි අනතුරු ඇඟවීය.

ජූලි මුල ඇක්සියෝස් පුවත්පත වාර්තා කලේ, “මාස කිහිපයකට පෙර ඒකාබද්ධ කාර්ය සාධක කමිටුවක්, ඉරානය තුල විරෝධතා රට තුලින්ම දිරිගැන්වීමටත් එමඟින් ආන්ඩුවට පීඩනය යෙදීමටත් යොමු විය.”

ලබන මාසයේ පැනවීමට යන සම්බාධක වලට පෙරාතුව, විදේශ විනිමය වෙබ් අඩවියට අනුව, සති අන්තයේදී ඉරාන රියාල් මුදල ඇ.ඩො. සාපේක්ෂව 97,500 සිට 111,500 දක්වා කඩා වැටුනි. සම්බාධක මඟින් ආර්ථිකය මත ඇතිකල හැකි බලපෑම ගැන පලවන බිය හමුවේ රියාල් මුදල, පසුගිය අප්‍රේල් මාසයේ පටන් සියයට 20න් පහත වැටී ඇත.

කෙසේ වෙතත්, ඉරානය තුල හිතාමතාම සමාජ ආතතීන් ගිනියම් කිරීම, තෙහෙරානයේ ඉස්ලාමීය තන්ත්‍රයට එරෙහි වැඩකරන ජනතාවගේ ව්‍යාපාරයක් ඇවිලවිය හැකිය. වොෂින්ටනය එයට කැමැත්තක් නොදක්වයි. 2017 අග හා 18 මුල, නරක අතට හැරෙන සමාජ කොන්දේසි හා පුලුල් වන සමාජ අසමානතාව මුල්කරගෙන, වැඩකරන ජනතා විරෝධතාවන් හටගත්තේය. එම විරෝධතා, 2009 ජනාධිපතිවරන මැතිවරනය පෙරලා දැමීමට උත්සාහ කල තෙහෙරානයේ වරප්‍රසාදිත මධ්‍යම පන්තියේ, ඊනියා හරිත ව්‍යාපාරයට වඩා මුලුමනින්ම වෙනස් පන්ති ස්වභාවයක් පෙන්නුම් කලේය.

ඉරාන කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක්, සෑම රටකම ගැඹුරුවන සමාජ අර්බුදය තුල, කලාපය පුරා ප්‍රතිරාවය දනවනු ඇත.

Share this article: