සංස්ථාපිතයේ දේශපාලන පක්ෂවල, විශේෂයෙන්ම ව්‍යාජ වාම සංවිධානයන්ගේ ක්‍රියා කලාපය

රොහන්ත ද සිල්වා විසිනි, 2018 ජූලි 3

අඩුම ගන්නේ තිස් දෙදෙනෙක් මරනයට පත් කරමින්, කොලඹ මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමත් සමග ප්‍රදේශයේ පමනක් නොව රටපුරා මහජනතාව අතර විශාල විරෝධයක් මතු වූ තතු තුල එය සමනය කිරීමට ආන්ඩුව විවිධාකාර පොරොන්දු දුන්නේය. එහෙත් ගතවූ අවුරුද්ද තුල සනාථවී ඇත්තේ ඒවා හිස් පොරොන්දු බවය.

1987 දී ස්වභාවික තෙත් බිම් කඩක ආරම්භ කල මීතොටමුල්ල කසල කන්ද, අද අක්කර 22 පුරා පැතිර අඩි දෙසීයකට වඩා උස දැවැන්ත කන්දක් බවට පත් ව ඇත. සෞඛ්‍යයට එල්ල වී ඇති තර්ජනය හා කඩා වැටීමේ අනතුර නිසා ජනයා කල උද්ඝෝෂන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය මෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආන්ඩුව පොලිස් ප්‍රචන්ඩත්වය එල්ල කරමින් මර්දනය කලේය.

2015 ජනවාරි 8 බලයට පැමිනි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පසුගිය ආන්ඩුවේ වැඩපිලිවෙල ඉදිරියට ගෙනයමින් කොලඹ හා තදාසන්න පලාත් වලින් දුගී ජනයා පලවා හරිමින් ඔවුන්ගේ ඉඩම් අල්ලා ගැනීම දිගටම සිදු කරයි. එහි අරමුන දුගී ජනයා වෙසෙන ප්‍රදේශ වලින් ජනයා ඉවත් කර කොලඹ කේන්ද්‍ර කරගත් මූල්‍ය හා වානිජ නගරයක් ස්ථාපිත කරගැනීමයි.

2015 ජනාධිපතිවරනයට පෙර මීතොටමුල්ලට පැමිනි වත්මන් අගමැති වික්‍රමසිංහ ප්‍රකාශකලේ, නව ආන්ඩුව බලයට පත් වූ වහාම මෙහි කුනු දැමීම කඩිනමින් නතර කරන බවයි. නමුත්, බලයට පත් වී මෙන් පසුව, කසල කන්දට එරෙහිව නැගුනු විරෝධතා සියල්ලට පහර දුන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, පුද්ගලයන් ගනනාවක් පොලිස් අත්අඩංගුවට ගත්තේය.

මෙලෙස කසල කන්ද කඩා වැටීමට ඉඩ හල ආන්ඩුව, ඉන් පසුව “ජනතාවගේ ආරක්ෂාව” සඳහා යයි කියමින් ප්‍රදේශයට කිසිවකුත් ඇතුලු වීම තහනම් කර සහන සැපයීමේ මුවාවෙන්, අති විශාල පොලිස් හා හමුදා භට පිරිසක් ප්‍රදේශය අවට යෙදවූයේය. මහජනතාවට ඇති කෝපය දන්නා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මෙමගින් බලාපොරොත්තු වූ යේ, මහජනයා ත්‍රස්තයට පත් කර, ආන්ඩුවට එරෙහි පුලුල් ව්‍යාපාරයක් වර්ධනය වීම වලක්වා ගැනීමයි.

මීතොටමුල්ල ව්‍යසනය සිදුවන විට ජපානයේ සිටි වික්‍රමසිංහ ව්‍යාජ ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කලේ කසල කන්ද පිලිබඳ ප්‍රශ්නය විසඳීම සඳහා වැඩ පිලිවෙලක් ක්‍රියාවට දැමීමට පෙරම මේ විපත සිදුවූ බවයි. ව්‍යසනය සිදුවූ ස්ථානයට ගිය නීතිය හා සාමය පිලිබඳ ඇමති සාගල රත්නායක හා ආන්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ද සිදු වූ ව්‍යසනය ගැන කිඹුල් කඳුලු හෙලූහ. නමුත් ජනතාවගේ විරෝධය පෑම් මධ්‍යයේ ඔවුනට ඉවත් ව යාමට සිදු විය.

ව්‍යසනය සිදුවූ වූ වහාම නිවේදනයක් නිකුත් කල නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, කසල කන්ද අසල ජීවත්වූ පවුල් වලට ස්ථානයෙන් ඉවත් වීමට මුදල් ලබාදී තිබුනත්, ඔවුන් ඉවත් නොවූ නිසා ඛේදවාචකය සිදු වූයේය යන අමූලික බොරුව ප්‍රකාශ කරමින් විපතට පත් වූවන් මත ම වගකීම පැටවීමට උත්සාහ කලේය.

බස්නාහිර පලාත් මහා නගර සංවර්ධනය භාර ඇමති හා වර්ගවාදී ජාතික හෙල උරුමය නායකයා වන පාඨලී චම්පික රනවක, මහජනයා සිය අයිතීන් ආරක්ෂා කර ගැනීමට සටන් කිරීම ගැන තමන් තුල ඇති වෛරය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගත්තේ ය. ඔහු කියා සිටියේ පටු සටන් පාඨ මගින් විරෝධතා ගෙන යාම නිසා ප්‍රශ්නය විසඳීමට නොහැකි වූ බවයි.

ජනතා විමුක්ති පෙරමුනේ ක්‍රියා කලාපය

1960 ගනන් වල කස්ත්‍රෝවාදය, මාඕවාදය හා සිංහල ස්වෝත්තමවාදය කලතාගත් දෘෂ්ටිවාදයක් මත පදනම්ව, සන්නද්ධ අරගලයේ මාවතක් ඉදිරිපත් කල ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ධනපති ක්‍රමයට එරෙහි බොරු වාගාලාප පාවිච්චි කලේය. දැන් ඒ සියල්ල ද අතහැර, ධනපති සංස්ථාපිතයට, ස්වීයකරනය වී ඇති අන්දම කසල කන්ද කඩා වැටීමට ප්‍රතිචාරය දක්වමින් ජවිපෙ දේශපාලන මන්ඩලය නිකුත් කල ප්‍රකාශය තුලින් මනාව පැහැදිලි විය.

කසල කන්ද කඩා වැටීම “ස්වාභාවික ඛේදවාචකයක්” නොවන බව සඳහන් කරමින් ජවිපෙ කියා සිටින්නේ එය “සැලසුමක් නැති පරිපාලනය වගකිව යුතු ඛේදවාචකයක්” බවයි. එනම්, කසල ප්‍රශ්නය විසඳා ගැනීම වත්මන් සමාජ ක්‍රමය යටතේ ම සිදු කල හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය වන්නේ වඩා හොඳ “පරිපාලනයක් බවත්”ය. “ආන්ඩුවේ නො තකා හැරීම හා නොහැකියාව නිසා සිදු වූ අපරාධයක්” යන පුහු විවේචනයක් කරමින්, මෙවැනි ඛේදවාචකයක් නැවත වරක් ඇතිවීම වැලැක්වීමට වත්මන් ආන්ඩුව ක්‍රියා කල යුතු බව ජවිපෙ ප්‍රකාශ කලේය. ඔවුන්ගේ සැබෑ උත්සාහය නම්, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ධනපති ආන්ඩු වලට අවශ්‍ය නම්, ධනපති ක්‍රමය තුලම මෙවැනි අර්බුද වැලැක්විය හැකි බවට මිත්‍යාවක් පැතිරවීමයි.

ගිය වසරේ අප්‍රේල් 22 දානේෂන් පුවත්පතට ජවිපෙ නායකයකු වන සුනිල් හඳුන්නෙත්ති දුන් සම්මුඛ සාකච්ඡාවකින්ද ඔවුන්ගේ මේ අරමුන මනාව පැහැදිලි වේ. හඳුන්නෙත්ති සඳහන් කලේ, තිස්සමහාරාම ප්‍රාදේශිය සභාව ජවිපෙ විසින් පරිපාලනය කල සමයේදී, කසල ප්‍රතිචක්‍රීකරනය කල හැකි බවත්, ඒ තුලින් ආදායම් ඉපැයිය හැකි බවත්, ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවයි.

එක්සත් සමාජවාදී පක්ෂය

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා වූ කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) ප්‍රතිමාක්ස්වාදී ස්වභාවය හා කම්කරු පීඩිත මහජනතාවගේ ප්‍රශ්න පිලිබඳ ඇති තුච්ච නොසැලකිල්ල කසල කන්ද කඩා වැටීම තුල මනාව ඉස්මතු විය. අනුප්‍රාප්තික ධනපති ආන්ඩු වලින් සිදුකල දනුවත් සමාජ අපරාධයක් වන මීතොටමුල්ල ව්‍යසනය ගැන ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පවා එසපය වැලකී සිටියේය.

2015 ජනවාරි 8 ජනාධිපතිවරනය දක්වා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම යන කඩතුරාව යටතේ රනිල් වික්‍රමසිංහ සමඟ පෙල ගැසුනු එසපය, තම කම්කරු විරෝධී පිලිවෙත ඉදිරියට ගෙන යන්නේ මෙසේය. මොවුනට අනුව කම්කරු පීඩිත ජනයාට කිසිදු ස්වාධීන ක්‍රියාකලාපයක් ඉෂ්ඨ කල නො හැකිය. කල හැකි එක ම දෙය, ධනපති පන්තියට මුක්කු ගසා ප්‍රතිගාමීත්වයට පාර කැපීම පමනි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අරමුන, ධනපති පන්තියට බලපෑම් දැමීම මගින් මහජන අවශ්‍යතාවයන් සපුරාලිය හැකි බව තහවුරු කිරීමට ය. මධ්‍යම පන්තික දේශපාලනයේ මූලික ලක්ෂනය වන්නේ ධනපති පන්තියෙන් ස්වාධීනවීමට ඔවුනට ඇති නොහැකියා ව යි.

කසල කන්ද කඩා වැටීමෙන් අනතුරුව, එනම් ගිය වසරේ අප්‍රේල් 24 දා, පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පෙසප මධ්‍යම කාරක සභික රවීන්ද්‍ර මුදලිගේ පැවසුවේ “අවුරුද්දකින් දෙකකින් මුදල් වෙන් කරලා කැබිනට් තීරන අරගෙන වැඩපිලිවෙලක් හැදුවා කියලා පෙන්වනවා නම් අපිට පුලුවන් මොකක්ද කරන්නේ කියලා සාකච්ඡා කරන්න” කියා ය.

පෙසප මෙසේ ප්‍රකාශ කරන්නේ ධනපති ආන්ඩු සමඟ ඒකාබද්ධව වැඩ කිරීමට ඔවුන්ගේ ඇති සූදානම ය. මහජනතාව කල යුත්තේ, ඔවුන්ගේ සංවිධානය හරහා ආන්ඩුවට බලපෑම් දමා කසල සම්බන්ධව ස්ථීර ප්‍රතිපත්තියක් සාදවා ගැනීමයි. ධනපති පන්තියට බලපෑම් දමා ඔවුන් මහජන අවශ්‍යතා ඉටු කර ගැනීමට තල්ලු කර ගැනීමට හැකිය යන පරන ප්‍රතිගාමී ප්‍රතිසංස්කරවාදී න්‍යාය හැර මෙය අන් කවරක් ද?

පෙසප යේ නායකයෙකු වන, “මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ” ප්‍රධාන සංවිධායක නුවන් බෝපගේ මෙම ප්‍රෝඩාකාරී විරෝධතා දේශපාලනයෙහි ලා ප්‍රමුඛ කාර්යයක් ඉටු කරයි. ගිය වසරේ මැයි 26 දා ද අයිලන්ඩ් පත්‍රයට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් බෝපගේ කියා සිටියේ, මීතොටමුල්ලේ ව්‍යසනයට පත් පවුල් වලට ප්‍රමානවත් පරිදි වන්දි ලබාදීම සඳහා කොලඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයන්, පාර්ලිමේන්තුව තුල මැදිහත්විය යුතු බවයි. බෝපගේ මෙම ආයාචනය කරනුයේ, මීතොටමුල්ල කසල කන්ද අන්තරායකාරී ලෙස පුරා වසර 22ක් වර්ධනය කල සහ එයට එරෙහිව පැනනැගි මහජන විරෝධතා තලා දැමූ ආන්ඩු නියෝජනය කල සහ කරන ධනපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රොත්තකටයි.

ධනපති පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ බෝපගේ ට දිගු කාලීන සම්බන්ධතාවයක් තිබේ. කොලඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ (එජාප) මන්ත්‍රී හා කොලොන්නාව එජාප සංවිධායක එස්.එම්. මරික්කාර් සමඟ පවතින සම්බන්ධතාවය මීට මනා නිදසුනකි. රාජපක්ෂ පාලන සමයේ දී, බෝපගේ ඇතුලු පෙසප, කසල කන්දට එරෙහි ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ ඔහු සමඟ ඒකාබද්ධවය. එය එජාපය ප්‍රජාතත්ත්‍රවාදී බලවේගයක් යැයි පින්තාරු කිරීම මගින් මහජන විරෝධය ගසාකෑමට ඊට ඉඩසලසා දීමකි. දැන් බෝපගේ කරන්නේ සිරිසේනට බලපෑම් දැමීම මඟින් කසල ප්‍රශ්නය විසඳිය හැකි ය යන මිත්‍යාව පැතිරවීම ය.

වත්මන් ආන්ඩුව පත්වීමට පෙර සිටම පෙසප ප්‍රවේශය වූයේ මෙයයි. 2013 අප්‍රේල් මාසයේ දී, පෙසප නායකයකු වන උඳුල් ප්‍රේමරත්නගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ කුනු කන්දට එරෙහි “සත්‍යග්‍රහයේ” එල්ලය වූ යේ බලධාරීන් විසින් විසඳුමක් සපයන බවට ලිඛිත පොරොන්දුවක් ලබා ගැනීම යි. පැවති රාජපක්ෂ ආන්ඩුව ඊට ප්‍රතිචාර දැක්වූයේ, විරෝධතාවය කඩා දැමීම සඳහා පොලිස් ප්‍රහාරයක් එල්ල කරමිනි. කසල කන්දෙන් ජන ජීවිතයට එල්ල වන අවදානමට එරෙහි මහජනතාවගේ විරුද්ධතාවය වැඩි වර්ධනය වන තත්වයේ දි බෝපගේ ඇතුලු පෙසප සිදු කලේ එය බංකොලොත් විරෝධතා ව්‍යාපාරය තුල දිය කර හැරීමට මැදිහත්වීමයි. එය ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම වැලැක්වීම ඔවුන්ගේ දේශපාලනයෙන් ගලා එයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය, දක්ෂිනාංශික ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) වෙන් වුවද එහි දේශපාලනයෙන් මුලුමනින් බිඳී නැත. දේශපාලන සංස්ථාපිතයේ කොටසක් බවට පත්ව ඇති ජවිපෙට එරෙහිව, විශේෂයෙන්ම තරුනයන් හා ශිෂ්‍යයන් අතර, වර්ධනය වූ විරුද්ධත්වය ගසාකෑම සඳහා වාම පූච්චානම් පාවිච්චි කරන නමුත් ඔවුන් සාරාර්ථ වශයෙන් ගෙනයන්නේ ධනපති ගැති දේශපාලන පිලිවෙතකි. .

දෙවන ලෝක යුද්ධයට පසුව කම්කරු පීඩිත ජනයා තමන්ට එල්ල කල අභියෝගය පීලි පැන්නවීම සඳහා අර්බුද ග්‍රස්ත ධනපති පන්තිය සීමිත ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කරන ලදි. පශ්චාත්-යුද උත්පාදතය තුල දී එවැනි ක්‍රියා මාර්ග සඳහා ධනපති පන්තිය ට හැකියාවත් තිබුනි. නමුත් අද වර්ධනයවන ලෝක ධනවාදයේ අර්බුදය තුල දී, එවැන්නක් සඳහා කිසිදු ඉඩක් නැත. පශ්චාත් යුද කාලීන සමයේ කම්කරු පන්තිය හා පීඩිතයන්, මහජන අරගල මගින් දිනා ගත් සියලු අයිතීන් හා සමාජ සුභ සාධක සේවාවන් කපා දමා කම්කරු පන්තිය රුදුරු ලෙස සූරා කෑම අරමුනු කරගත් සමාජ ප්‍රතිවිප්ලවයක් අද දින ලෝක පරිමානව ක්‍රියාවට දමා ඇත.

බෝපගේ ඇතුලු පෙසප නායකයන් නිරතුරුව පාර්ලිමේන්තුව හා එහි නියෝජිතයන් හෙලා දැකීමට බොහෝ දැඩි වචන පාවිච්චි කරන්නේ දේශපාලන සංස්ථාපිතයට තම අනුගත වීම ආවරනය කර ගැනීම සඳහා ය. මොවුන ට වත්මන් සමාජ ක්‍රමය තුලම වෙනසක් අවශ්‍යය, එනම් දූෂනයෙන් හා නාස්තියෙන් තොර ධනපති ක්‍රමයකි.

මෙය කිසිසේත්ම අහම්බයක් නොවේ. ඔවුන්ද කොටසක් වන ව්‍යාජ වම්මුන්ගේ ස්වරූපය එයයි. කම්කරු පන්තිය, පන්ති අරගලය හා ඓතිහාසික භෞතිකවාදය ප්‍රතික්ෂේප කරන මොවුන් මහජනතාව නොමඟ යැවීම සඳහා ජනප්‍රිය සටන් පාඨ හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන වාගාලාප පාවිච්චි කරයි. අනන්‍යතා දේශපාලනය මත තම වැඩ කටයුතු පදනම් කරන මොවුහු, ධනපති පන්තියට බලපෑම් දැමීම මගින් මහජන අවශ්‍යතා ආරක්ෂා කර ගත හැකි යයි යන මිත්‍යාව වැපිරීම මඟින් කම්කරු පන්තිය හා තරුනයන් දේශපාලනිකව නිරායුධ කිරීමට ක්‍රියා කරති.

Share this article: