මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ නිගමන

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ සභාපතිනි විලානි පීරිස් විසිනි ,මෙම ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව විසින් 2018 අප්‍රේල් 1 දින කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමකදී ය.

2017 අප්‍රේල් 14 දින කොලොන්නාවේ මීතොටමුල්ලේ පිහිටි කසල කන්ද ගිලාබැසීමෙන් 32 කට වැඩි ප්‍රමානයක් මරනයට පත්වී, නිවාස 146 ක් සම්පූර්නයෙන් විනාශ විය. ව්‍යසනයෙන් පසුව ආන්ඩුව විසින් ඒ අවට ප්‍රදේශ කිහිපයක් “අවදානම් කලාප” ලෙස නම් කොට තවත් පවුල් සිය ගනනක් බලහත්කාරයෙන් ඉවත් කරන ලදී.

කසල කන්ද අවට ජීවත්වන මහ ජනතාව, කන්ද යලි ගිලා බැසීමේ අනතුරට මෙතෙකුදු මුහුන දී සිටිති. කසල කන්දේ විටින් විට ඇතිවන ගිනිගැනීම් හේතුවෙන් ප්‍රදේශවාසීන් භීතියට පත්ව ඇති අතර බරපතල වායු දූෂන අනතුරක් ද මතුකර ඇත.

වසර 26 ක් පුරා ජනතාවගේ දැඩි විරෝධතා නොතකා පොලිස් බලහත්කාරකම් යොදවමින් සහ එහි මරනීය බව දැනදැනම පවත්වාගෙන ගිය මේ දැවැන්ත කසල කන්ද හේතුවෙන් සිදුවූ ව්‍යසනය, අනපේක්ෂිත හදිසි අනතුරක් නොව අනුප්‍රාප්තික ආන්ඩු විසින් හිතා මතා සිදු කරන ලද්දකි.

යම් පුද්ගලයෙකු විසින් කරන ලද ක්‍රියාවක් හේතුවෙන් වෙනත් පුද්ගලයෙකු මරනයට පත් වන්නේ නම් හා තම ක්‍රියාවේ මරනීය බව දැන දැනම පලමු පුද්ගලයා විසින් එය සිදු කරන ලද්දේ නම්, එය මිනීමැරුමක් ලෙස සලකනු ලබයි. ඒ අනුව මීතොටමුල්ල ව්‍යසනය වනාහි, ධනේශ්වර සමාජය සහ එහි පාලකයන් විසින් සිදු කරන ලද “සමාජ අපරාධය” කි. නැතහොත් “සමාජ මිනීමැරීම” කි.

මෙම අපරාධය සිදු කිරීමෙන් පසු එයට ගොදුරුවූ මහජනයාට ආන්ඩුව ලබාදුන් සොච්චම් වන්දියෙන් ඔවුන්ගේ කිසිඳු ප්‍රශ්නයක් විසඳී නැත. පවුල් 90 කට පමන කොලොන්නාව සාලමුල්ල අඩු ආදායම්ලාභී මහල් නිවාස සංකීර්නයෙන් ලබාදුන් නිවාස ජීවත්වීමට කිසිසේත්ම නුසුදුසුය. මොවුන්ට ඉඩම් සදහා වන්දි මුදලක් ලබාදීම පසුවට කල්තබා නිවසට පමනක් ලබාදුන් සුලු වන්දි මුදල නව නිවසක් තනාගැනීමට කිසි සේත්ම ප්‍රමානවත් නැත.

සමාජවාදී සමානතා පක්ෂය 2017 මැයි 9 දින පිහිටුවන ලද ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව (ස්කපක) මීතොටමුල්ල ව්‍යසනයට මුහුනදුන් මහජනයාගෙන් ලබාගත් සාක්ෂි ද, අදාල විෂය පිලිබඳ ප්‍රාමානිකයන්ගෙන් සහ අන්තර්ජාලය අතුලු විවිධ මූලාශ්‍රයන්ගෙන් ලබාගත් දැනුමද මත පාදක වෙමින් පරීක්ෂනය සිදු කරන ලදි. ස්කපක මගින් කසල කන්ද ගිලාබැසීමට හේතු වූ විද්‍යාත්මක කරුනු, මෙම ව්‍යසනයේ දේශපාලන මූලයන් හා එමගින් ජනිත කල සමාජ ප්‍රශ්නයන්ද වෛෂයික හා ඓතිහාසික සන්දර්භයක පිහිටුවා විභාග කරන ලදී.

ව්‍යසනය සිදුවීමත් සමග එහි වරද පලාතේ මහජනතාව මත පැටවීමට ආන්ඩුව, පාලක පන්තියේ කොටස්, ධනපති මාධ්‍ය හා සිවිල් සමාජයේ කොටස් දරූ ප්‍රයත්නය ස්කපක එක හෙලා ප්‍රතික්ෂේප කරයි. ජනතාව රැවටීම සඳහා ආන්ඩුව විසින් කසල කන්ද නායයෑම පරීක්ෂා කිරීමට පත් කල ව්‍යාජ ඒකපුද්ගල කොමිසමේ වාර්තාව ජනාධිපතිට ලබා දී ඇතත් එය මෙතෙකුදු ප්‍රසිද්ධියට පත්කර නොමැත. එසේ නමුත්, ප්‍රසිද්ධ නොකල වාර්තාවට අනුවයයි කියමින් කොලඹ නාගරික කොමසාරිස්වරයා පමනක් සේවයෙන් ඉවත්කර ඇත්තේ, ව්‍යසනයේ සැබෑ වගකිව යුත්තන් වහංගු කිරීම් උප්පරවැට්ටියක් ලෙසයි.

ව්‍යසනයෙන් පසු, ධනපති හා ව්‍යාජ-වාම පක්ෂ සියල්ලම ක්‍රියාත්මක වුයේද මහජනතාව නොමග යැවීමටයි. ධනපති සංස්තාපිතයේ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන, ආන්ඩුව සමග කිට්ටුවෙන් ගනුදෙනු කරමින්, ධනපති ආන්ඩුවලට මෙවැනි ප්‍රශ්න විසඳිය හැකිය යන මිත්‍යාව වැපිරීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇත. ව්‍යාජ-වාම පක්ෂයන් වන නව සම සමාජ පක්ෂයද එක්සත් සමාජවාදී පක්ෂයද මීතොටමුල්ලේ කසල කන්ද නායයාමෙන් සිදුවූ විනාශය පිලිබඳ මුනිවත රකිමින්, කම්කරුවන්ට පීඩිතයන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරයන්ට රුකුල් දෙමින් සිටිති.

තවත් ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය කසල කන්ද ඉවත්කල යුතුයයි සටන් වැදුන මහජනතාවගේ අරගලයේ මුදුනට පැන ධනපති ආන්ඩුවලට හුදු බලපෑම් දැමීම තුලට කොටුකොට සමාජවාදී වැඩපිලිවෙලකින් මහජනතාව සංවිධානයවීම වැලක්වීමට කටයුතු කලේය. කන්ද නාය යෑමෙන් පසුද ඔවුන් යෝජනා කරන්නේ ආන්ඩුවට බලපෑම් යෙදීමේ “අරගලයන්” ය. ධනේශ්වර සමාජ ක්‍රමයේ ප්‍රතිඵලයන් වන මීතොටමුල්ල ව්‍යසනය වැනි සමාජ අපරාධ, ධනපති ආන්ඩු වලටම බලපෑම් දැමීමෙන් කිසිසේත්ම විසඳිය නොහැකිය.

ස්කපක විසින්, කසල කන්ද පවත්වාගෙන ගිය භූමි ප්‍රදේශය ඒ සඳහා සුදුුසු ස්ථානයක් ද යන්න විද්‍යාත්මකව විමසා බැලීය. මීතොටමුල්ල කසල කන්ද පිහිටා ඇත්තේ කැලනි ගඟේ පිටාරතැන්නේ වන අතර එම ප්‍රදේශය කලින් පැවතියේ කෙත්යායක් ලෙසය. 1980 ගනන්වල සිට මෙහි කසල දැමීම සුලු පරිමානව ආරම්භව ඇති නමුත් 2009 සිට එය සීඝ්‍රයෙන් වැඩි වී දිනකට කසල ටොන් 700-1200 දක්වා ඉහල ගියේය. මෙයට හේතුව, මහින්ද රාජපක්ෂ ආන්ඩුව තම “කොලඹ සංවර්ධන ව්‍යාපෘතිය” යටතේ ආයෝජකයන් සඳහා බිම් පැවරීමේ කොටසක් ලෙස, කොලඹ බ්ලූමැන්ඩල්හි පිහිටි පැරැනි කසල කන්දට කොලඹ මහනගර සීමාවේ කසල බැහැර කිරීම නතර කොට එම කසල මීතොටමුල්ලට බැහැර කිරීමයි.

මහින්ද රාජපක්ෂ පාලනයේ කොලඹ සංවර්ධන ව්‍යාපෘති යටතේද සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුවේ මහානගර ව්‍යාපෘතිය යටතේද කොලඹ හා ඒ අවට ඉඩම් ආයෝජකයන්ට විකිනීම සඳහා සැලසුම් කරමින් දුගී නිවාස ඉවත්කිරීම සඳහා කටයුතු කිරීමේදී පරිසර විනාශයන් අතුලූ දුගී නිවැසියන්ගේ දුශ්කරතා නොසලකා හරින ලදි.

කසල කන්ද ගිලාබසින විට එය අක්කර 22 ක් පුරා ව්‍යාප්තව අඩි 200 ක් උසට ගොඩ ගැසී තිබුනි. කන්දෙන් සෞඛ්‍යයට එල්ලවුනු බලපෑම් ලෙස මේ ප්‍රදේශයේ ඩෙංගු වසංගතය, මී උන, ශ්වසන පද්ධතියේ රෝග හා වෙනත් පරිසර දූෂනය නිසා පැතිරෙන රෝග තත්වයන් බහුල විය. මීතොටමුල්ල දරිද්‍රතාවෙන් පෙලෙන කම්කරු හා දුගී ජනගහනයකින් බහුල පලාතක් විය. අධික ජනගහනයකින් යුත් ප්‍රදේශයක හෝ තෙත් භූමියක කසල, බහාලීම ධනපති ආන්ඩුවල අවම පාරිසරික නීති වලටද පටහැනිය. 1980 ජාතික පරිසර පනත යටතේ අපද්‍රව්‍ය බැහැර කිරීමද ඇතුලු ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් සඳහාවන අවම හා මූලික කොන්දේසියක් වන “පාරිසරික බලපෑම් අධ්‍යනයක්” (ෑබඩසරදබපැබඒක සපච්ජඑ ්ිැිපැබඑ) වත් මෙහි සිදුකර නැත.

කසල ටොන් මිලියන තුනක් පමන ප්‍රමානයක් ඉතා දුර්වල පසක් ඇති තෙත් භූමියක ඒකරාශී කිරීම කසල කන්දෙන් කොටසක් ගිලා බැසීමට මූලික හේතුව බව පරීක්ෂනයේදී හෙලි විය.

කසල කන්දට එරෙහිව වර්ධනයවූ මහජන විරෝධතාවන්ට වත්මන් ආන්ඩුව ඇතුලු සියලු ආන්ඩු ප්‍රතිචාර දැක්වූයේ පොලීසිය යොදා ඒවා කුරිරු ලෙස මැඩලමිනි. 2014 සිට 2017 දක්වා විරෝධතා උද්ඝෝෂන 18 ක් පමන සිදු කල බව මහජනයා පවසති.

ස්කපක කල පරීක්ෂනයේදී තහවුරුවූයේ මෙබඳු සමාජ ව්‍යසන ජාත්‍යන්තර ප්‍රපංචයක් බවයි. පසුගිය දශකය තුලදී පමනක් පිලිපීනය, ඉන්දුනීසියාව, ඉතියෝපියාව වැනි රටවල මෙවැනිම කසල කඳු බිඳ වැටීමෙන් ජීවිත හානි විශාල ප්‍රමානයක් සිදුවිය.

පාරිසරික සහ අනෙකුත් අහිතකර බලපෑම් නොතකා ලාභය හඹායාමේ ප්‍රතිඵලයක් ලෙස දියුනු ධනපති රටවලද සිදුව ඇති විනාශයන් අපමනය. 2014 සිට 2017 දක්වා කාලය තුල ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලින්ට් නගරයේ ජලයට ඊයම් මිශ්‍ර වීමෙන් දහස් ගනනක් රෝගී වූහ. ලන්ඩන් නුවර ධනවතුන් බහුලව වෙසෙන ග්‍රෙන්ෆෙල්හි දුගී මහල් නිවාස සංකීර්නයකින් නගරයේ ශෝභනත්වය කෙලෙසෙන බව පවසමින් එහි මුහුනත මිලෙන් අඩු ගිනි ඇවිලෙන සුලු ආවරන යොදා අලංකරනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2017 දී ඇති වූ ගින්නෙන් 70 කට අධික ප්‍රමානයක් මියයාම තවත් උදාහරනයකි.

මීතොටමුල්ලේ සිදුවූවා මෙන්ම මේ ව්‍යසනයන් ස්වභාවික ආපදා හෝ හදිසි අනතුරු නොව මහජන ජීවිත නොතකා කෙරෙන ධනපති ලාභ ගැරීම හා පොදු සේවා සඳහා වියදම් කපා හැරීමේ ප්‍රතිඵලයකි. මේ වන විට ධනපති ක්‍රමය 1930 ගනන් වලින් පසුව ඇතිවූ බරපතලම ආර්ථික අර්බුදයට මුහුනදී සිටින අතර අධිරාජ්‍යවාදීන් මෙන්ම ලොවපුරා අනෙකුත් ධනපති පාලකයෝ එහි බර සම්පූර්නයෙන්ම කම්කරු පීඩිත මහජනාව මත පටවමින් සිටිති.

1970 ගනන්වල දල දේශීය නිශ්පාදිතයේ සියයට 5 ක් වූ ලෝක ආර්ථික වර්ධනයේ වේගය 1980 -1990ගනන් වලදී සියයට 3 කට තරම් පහතට වැටුනි. 2008 ඇති වූ වෝල්වීදියේ මහා බැංකු බිඳ වැටීම මෙතෙක් නොවූ විරූ ආකාරයේ ලෝක පරිමාන අර්බුදයකට මුල පිරීය. මෙම අර්බූදය තුල වර්ධනය වූ අති සුලුතර මුල්‍ය කතිපයාධිකාරිත්වයක් සැබෑ වටිනාකම් වර්ධනය කරන නිශ්පාදන අතහැර දමා පරපුටු මුදල් සමපේක්ෂන මත ලාභ ගැරීමට හැරෙමින් සිටිති. සමාජ සේවා කප්පාදු ලෙස අධිරාජ්‍යවාදීන් හා ධනපති පාලකයන් සමාජ ප්‍රතිවිප්ලවයේ කොන්දේසි ක්‍රියාවට දමන්නේ මේ සන්ධර්භය තුලය.

මෙම කොන්දේසි යටතේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ අවශ්‍යතා සම්පූර්නයෙන්ම නොසලකා හැර, ධනපතීන් අතලොස්සක් අත දැවැන්ත ධනයක් ඒකරාශී වී ඇත. ලෝක පරිමානව නිශ්පාදිත ධනයෙන් සියයට 82 ක් ධනවත්ම සියයට 1 ක් අත සංකේන්ද්‍රනය වී පවතින තතු යටතේ ලංකාවේද සුපිරි ධනවතුන් හා මුල්‍ය සමපේක්ෂකයින් අත වත්කම් ගොඩගැසෙමින් ඇත.

1978 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ලංකාව තුල විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට දැමූ අතර, ආයෝජකයන් සඳහා පහසුකම් සැකසීය. රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීම ද, නිදහස් අධ්‍යාපනය හා රෝහල් සේවය හා අනෙකුත් සුබසාධන සඳහා ප්‍රතිපාදන කපා හැරීමද ආරම්භ විය. නාගරික කසල එකතුකිරීම, ප්‍රතිචක්‍රීකරනය හා බැහැරලීම සඳහා මධ්‍යම ආන්ඩුවෙන් ලබාදුන් මුදල් කපා හැරීම ආරම්භ වූයේද මෙහි කොටසක් ලෙසය.

මේ කප්පාදු වලට එරෙහිව කම්කරු පන්තියෙන් නැගුන විරෝධය මැඩලීම සඳහා කම්කරු පන්තිය භේද කිරීමට ජයවර්ධන ආන්ඩුව විසින් වර්ගවාදය උසිගැන්වීය. එය කුලුගන්වමින් උතුරු නැගෙනහිර වර්ගවාදී යුද්ධය 1983 දී ආරම්භ කෙරිනි. ආරක්ෂක වියදම් ඉහල නංවමින් සමාජ සේවා සඳහා වියදම් තව දුරටත් කපා හැරිනි.

2006දී මහින්ද රාජපක්ෂ ආන්ඩුව වඩාත් මුර්ග ලෙස යුද වැඩකටයුතු ඉහල නැංවීමේදී, ආරක්ෂක වියදම් සියයට 45 කින් ඉහල නංවමින් රුපියල් බිලියන 139.6 ක් වෙන්කරනු ලැබිනි. එම අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන්වූයේ රු. බිලියන 43 කි. 2009 වනවිට අය-වැය ලේඛනයේ ආරක්ෂක වියදම රුපියල් බිලියන 200කි.

ලංකාවේ ආර්ථිකය රඳවා ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජමුඅ) ගත් නය මතය. එම නය ලබා ගනු ලැබූයේ බරපතල කොන්දේසි මතය. 2017 අය වැය හිඟය දල දේශීය නිශ්පාදිතයෙන් සියයට 5.4 කි. 2020 වනවිට එය සියයට 3.5 ට කප්පාදු කරන ලෙස ජාමුඅ නියෝග කර ඇත. පොදු සේවා හා සුබසාදන වියදම් කපා හැරීම සිදුවන්නේ මේ තතු යටතේය.

ලෝක ධනෙශ්වර ක්‍රමය මුහුනදී ඇතිමේ ගොඩ ආ ගත නොහැකි අර්බුදය මගින් අධිරාජ්‍යවාදීන් නැවතත් ලෝක යුද්ධයක් දෙසට තල්ලු කරමින් ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීහු චීනය හා රුසියාව යලි අත්පත් කර ගැනීමේ යුද කටයුතු වර්ධනය කරමින් සිටිති. තුන්වන ලෝක යුද්ධයක් ඇවිලී යන්නේ තාප න්‍යෂ්ටික යුද්ධයක් ලෙස වන අතර එමගින් මානව ශිෂ්ටාචාරය පමනක් නොව සමස්ත ග්‍රහලෝකයේ ජීවයටම ඇති කොන්දේසි ද අහෝසි වීමේ සැබෑ අනතුරක් මතුකොට ඇත.

ධනපති ලාභ ගැරීම සඳහා කෙරෙන සැලසුමකින් තොර කාර්මික නිෂ්පාදනය, ඉවක් බවක් නැති නාගරිකකරනය හා සම්පත් අපහරනය නිසා ලෝක පරිමානව පරිසර අර්බුදයක්ද වර්ධනය වී ඇත. ගෝලීය උනුසුම වැඩි වීම, කසල අර්බුදය හා මහා පරිමාන ජල දූෂනය වැනි විවිධ රූපාකාරයන්ගෙන් මතු වෙන මේ අර්බුදය මගින්, සමස්ත පෘථිවි ජෛව-පද්ධතියේම පැවැත්ම තර්ජනයට ලක්කරමින් ඇත.

මානව වර්ගයාගේ අනාගතය වැටී ඇත්තේ ම්ලේච්ඡත්වයද, සමාජවාදයද යන විකල්ප මාවත් දෙකෙන් එකක් මතය. ලෝක යුද්ධය නතර කිරීම ද, සමාජ ව්‍යසන අවසන් කිරීම ද, ලොව පුරා සෑම රටකම කම්කරුවන් හා පීඩිතයන් සඳහා සුදුසු ජීවන තත්වයක් නිර්මානය කිරීම ද ධනේශ්වර ක්‍රමය පෙරලා දමා ලෝක සමාජවාදී ආර්ථිකයක් ස්ථාපනය කිරීමෙන් තොරව සිදුකල නොහැක.

ධනේශ්වර ප්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර පරිමානවද, ලංකාවේ ද වේගයෙන් වර්ධනය වන කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ අරගල ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පාදක විය යුත්තේ එබැවිනි.

ස්වාධීන කම්කරු පරීක්ෂනයේ නිගමන

Share this article: