පොලිස් වෙඩි තැබීමකින් උතුරේ තවත් තරුනයෙක් මරා දැමෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 ජූලි 2

ජුනි 17 වනදා සවස උතුරු පලාතේ යාපනයට නුදුරු මල්ලාකම් නගරයේදී පාකියරාසා සුදර්ශන් පොලිස් භටයෙකු විසින් වෙඩි තැබීම නිසා මරනයට පත්විය. අධිකරන වෛද්‍ය නිලධාරීගේ වාර්තාවේ සඳහන් වී තිබුනේ සුදර්ශන්ට ඉතා සමීපව පිටුපසින් වෙඩි තබා ඇති බවයි. වාර්තාවට අනුව එක් උන්ඩයක් පෙනහලු පසාරු කරගෙන ගොස් ඇති අතර තවත් උන්ඩයක් උරහිසට තුවාල සිදුකර ඇත.

කුලමංගල් ග්‍රාමයේ විසූ මෙම තිස් දෙහැවිරිදි තරුන කම්කරුවා, “සංහිඳියාව” හා “ප්‍රජාතන්ත්‍රවාදය” ඇතිකරන බවට ව්‍යාජ පොරොන්දුදී බලයට පත් ඇමරිකානු ගැති මෛත්‍රිපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ගෙවුනු තෙවසර තුල උතුරේදී පොලිසිය විසින් මරා දැමුනු පස්වන තරුනයායි.

2016 ඔක්තෝබර් 2වනදා කොකුවිල් හි දී පොලිසියේ වෙඩි තැබීමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ඝාතනය කෙරුනි. 2017 ජුලි 9 වනදා වඩමාරච්චියේ තුන්නාලෙයි ග්‍රාමයේදී වැලි ප්‍රවාහන ට්‍රක් රථයක ගමන් කල තරුනයෙකු ද, එම වසරේම ඔක්තෝබරයේදී, යාපනයේ මානියන් තෝට්ටම් හි දී තවත් තරුනයෙකු ද විසින් වෙඩි පොලිස් වෙඩි තැබීම්වලින් මරා දැමුනි.

පෙදරේරුවෙකු වූ සුදර්ශන් කටාර් හී සේවයේ නියුතුව සිට මාස දෙකකට පෙර යලි මෙරටට පැමිනියේය. ඔහුගේ පවුල 1995 දී අවතැන් වී මෑතක් වන තුරුම චාවකච්චේරියේ සරනාගත කඳවුරක ජීවත් විය. ඔවුහු තමන් තනාගත් කටුමැටි නිවසක වාසය කරති. සුදර්ශන් පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා විය. ඔහුගේ පියා වන 64 හැවිරිදි ජෝජ් පාකියරාසා මාධ්‍යයට පැවසුවේ “මම හදවත් රෝගියෙක්. මම අධිරුධිර පීඩනයෙන් පිඩා විඳිනවා. මට රැකියාවකට යන්න බැහැ, සම්පූර්නයෙන්ම යැපුනේ මගේ පුතාගෙන්. මම දැන් කබලෙන් ලිපට වැටිලා.”

සුදර්ශන්ට වෙඩි තබනු ලැබුවේ සහයමධා පල්ලියේ වාර්ෂික මංගල්‍යය අතර තුර එල්ල වූ මැර ප්‍රහාරයකින් ඔහුගේ ඥාති සහෝදරයා වූ ඩෙස්මන් ආරක්ෂා කරගැනීමට උත්සාහ කරද්දීය. ඩෙස්මන් පවසන පරිදි කලහකාරීන් කන්ඩායමක් ඔවුන්ගේ ප්‍රහාරයෙන් ගැලවීමට පල්ලිය දෙසට දිවයමින් සිටි දෙදෙනෙකු ලුහුබඳිමින් සිටියේය. ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පවසන අන්දමට වෙනත් පුද්ගලයෙකු සොයමින් මැරකල්ලියේ සාමජිකයින් දෙදෙනෙක් පල්ලිය තුලට දිවගොස් ඇති අතර අනිත් පිරිස ඩෙස්මන් වටකර ඔහුට පහරදී ඇත.

මැරයින් යකඩ පොලු සහ කඩු කිනිසි වලින් සන්නද්ධව සිටියහ. කලහය ඇසී සුදර්ශන් පල්ලියෙන් එලියට පැමින තිබුනි. පොලිස් නිලධාරියෙක් ඩෙස්මන් වෙත තුවක්කුවක් එල්ලකරගෙන සිටිනු දුටු ඔහු ඥාති සහෝදරයා බදාගෙන වහාම එම ස්ථානයෙන් ඉවත්වන ලෙස පැවසුවේය. ඒ මොහොතේ තුවක්කුව එල්ල කරගෙන සිටි පොලිස් භටයා ඔහුට පිටුපසින් වෙඩි තබා ඇත. පොලිස් නිලධාරියා ඔහු විසින් අල්ලාගත් මැරයෙකු නිදහස් කර හැරි බව ඩෙස්මන් මාධ්‍යයට පවසා තිබේ.

පොලිස් නිලධාරියා පවසා ඇත්තේ තමන් තෙල්ලපලෙයි පොලිස් ස්ථානයෙන් බවයි. පොලිස් අංකය පෙන්වමින් තමන් සුදර්ශන්ට වෙඩි තබුවේයැයි කියූ ඔහු තවත් තරුනයෙකුට ද වෙඩි තබන බවට තර්ජනය කර ඇත. පොලිස් නිලධාරින් දෙදෙනෙක් පැමින කෝපයට පත් ජනයාගෙන් පොලිස් භටයා බේරාගැනීම සඳහා එතනින් ඉවත් කරගෙන ගොස් තිබුනි.

ප්‍රදේශවාසීයෝ වෙඩි තැබීම ගැන විරුද්ධත්වය පල කිරීම සඳහා කන්කසන්තුරේ කරා දිවෙන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පොලිසියට එරෙහිව සටන් පාඨ හඬ නැගූහ. ආන්ඩුව උද්ඝෝෂන මැඩීමට විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්) ඇතුලු විශාල පොලිස් බල ඇනියක් යෙදුවේය.

ඉන් පසුව පැමිනි මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ. ජුඞ්සන් මුගුරක් සන්තකයේ තබාගැනීමේ චෝදනා මත ඩෙස්මන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කලේය. සෙනග අතර සිටි අයෙක් මහේස්ත්‍රාත් ජුඞ්සන්ගේ ක්‍රියාවට යුක්ති සහගත කෝපය පල කරමින් කෑ ගැසුවේ, “මුන්ට ඤපොලිසියට% අහසට වෙඩිතියන්න තිබුනා; මේක අසාධාරන වැඩක්. මේක මානව හිමිකම් කඩකිරීමක්. ඔබ ඤමහේස්ත්‍රාත්% ඒක එහෙම නෙවෙයි කියල සධාරනිකරනය කරනවා” යැයි කියමිනි.

චෝදනාවට ලක්වූ පොලිස් නිලධාරියා තවමත් අත් අඩංගුවට ගෙන නැත. ලංකාවේ නීතිය අනුව මෙවන් මිනීමැරීමක් පිලිබඳව චෝදනාවක් එල්ලවූ විට පොලිස් නිලධාරියෙක් වුව ඔහු අත් අඩංගුවට ගත යුතුය.

ඒ වෙනුවට උතුරු පලාතේ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් දඩයමට ලක්වූ තැනැත්තා කලහකාරී කන්ඩායම්වල සාමාජිකයෙකු ලෙස පින්තාරු කොට මරනීය වෙඩිතැබීම සාධාරන බව පෙන්වීමට තැත් කලේය. “මියගිය තැනැත්තාද අතුලත්ව කලහකාරී කන්ඩායම් දෙකක් පල්ලිය අසල ගැටුමක නිරත වූ බව සනාථ වී තිබෙනවා....එවැනි ප්‍රචන්ඩකාරී සිද්ධියකට ප්‍රතිචාර දැක්වීමේදී, නීතියට අනුව, පොලිසියට තමන් සහ මහජනතාව අරක්ෂා කිරීමට උපරිම බලය යෙදිය හැකියි. පොලිසිය කර තිබෙන්නේ එයයි,” ඔහු කිවේය.

”ගම්මුන්ට වෙනත් විධියකට ප්‍රකාශ කරන්න පුලුවන්” යයි කි ඔහු මියගිය තැනැත්තා “මත්ද්‍රව්‍යවල බලපෑමට ලක්ව සිටිබව” අධිකරන වෛද්‍ය වාර්තාවට ද අතුලත් බව ඔහු කීවේය. ලංකාවේ පොලිසිය හා හමුදාව මිනිසුන් ඝාතනයට පමනක් නොව එය යුක්ති යුක්ත කිරීමට බොරු ගෙතීමට ක්‍රියා කිරීම ගැන කුප්‍රකට ය. බලයේ සිටි ආන්ඩු විශේෂයෙන් එල්ටීටීඊයට එරෙහි යුද සමයේ සිට පොලිසියට මිලිටරියට බේරීයාමට අනීතික මුක්තිය ලබාදී ඇත.

සුදර්ශන්ගේ පියා පාකියරාසා සහ සහෝදරිය

පොලිසියේ චෝදනා ප්‍රතික්ෂේප කරන සුදර්ශන්ගේ ඥාතීහු මෙන්ම මිතුරන් ද ඔහුට මැරයින් සමඟ කිසිදු සම්බන්ධයක් නැති බව ද ඔහු කිසිත් නීතිවිරෝධී ක්‍රියාවක නිරත වී නොමැති බව ද කියති.

“ඔහු අපත් සමඟ කුඩා කාලයේ සිටම ජීවත් වී තිබෙනවා. ඔහුට කිසිඳු කල්ලියක් සමඟ කිසිඳු සබඳතාවක් නැහැ. පොලිසියේ චෝදනාවන් එල්ල වන්නේ ඝාතනය සාධාරනීකරනය කිරීමක් හැටියටයි. යාපනයේ සමහර පුවත්පත් පවා පොලීසිය ආරක්ෂා කරමින් අපෙන් නොඅසා ඔවුන් කියන දේවල් ලියලා. ඒක පක්ෂග්‍රාහී වැඩක්. එය විමර්ශනය කලයුතුව තිබුනා. විශ්වවිද්‍යාල සිසුන්ගේ සහ තුන්නාලෙයි ඝාතන වලට මොකද වුනේ. අපිට වෙන්නෙත් ඒ ටිකම තමයි.,” සුදර්ශන්ගේ මාමා කෙනෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට පැවසූහ.

ඔහුගේ 31 හැවිරිදි සොහොයුරිය මෙසේ පැවසුවාය: “මගේ සහෝදරයා නිතරම අපේ පවුල ගැන සොයා බැලුවා. ඔහු කිසිදා අනවශ්‍ය දේවල් කරලා නැහැ. ඔහුට මුදල් ඉපයීම සඳහා විදේශ ගත වීමට අවශ්‍ය වී තිබුනා. අපේ අමාරුකම් වෙනුවෙන් ඔහු මැදපෙරදිග බලා ගියා. ඔහු නය බේරුවා. ඒත් ගෙයක් හදාගන්න බැරි වුනා. අපව පෝෂනය කිරීමට සහ රැක බලාගැනීමට අවශ්‍ය නිසා ඔහු විවාහ වුනෙත් නැහැ. ඔහු ඝාතනය කිරීම ආසධාරනයි.”

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්යාලයේ සම්බන්ධීකාරක ටී. කනගරාජ් මාධ්‍ය වෙත පැවසුවේ පොලිසිය විසින් සැකකරුවන්ගෙන් (දෙමල කතාකරන) “සිංහලෙන්” ලබාගත් ප්‍රකාශ තම ආයතනය විසින් ලබාගත් ප්‍රකාශවලින් වෙනස් වන බවයි. මානව හිමිකම් ආයතනය ඔවුන්ගේ ප්‍රකාශයන් නැවත දෙමලෙන් ලබාගන්නා මෙන් පොලිසියෙන් ඉල්ලා සිටියේය.

උතුරේ මෙවන් සිද්ධි බහුලය. තවත් පුද්ගලයන් දෙදෙනෙක් මානව හිමිකම් ආයතනයට මෑතකදී පොලිස් වධදීම් ගැන චෝදනා ගොනුකර ඇත. සුන්දරලිංගම් කෙන්ගරූබන් සහ කුහතාස් විජයදාස් වෙල්වට්තුරයි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එකිනෙකා අතර ආරවුලක් හේතුවෙනි. පොලිසිය ඔවුන්ට මගදිගට පහර දී පොලිස් ස්ථානාධිපති විසින් යලිත්වරක් පොලිසිය තුලදී බැටන් පොලුවලින් හා පයින් පහර දුන් බවට චෝදනා වල සඳහන්ය. ඉන් පසුව ඔවුන් තුවාල ලබා රෝහල් ගතකර ඇත. අනියම් කම්කරුවකු වන කෙන්ගරූබන් පොලිස් වධබන්ධනයන්ගෙන් පසු තමන්ට හිඳ ගැනීමට පවා නොහැකි බව පවසයි.

ජුනි 22 වනවිට, පොලිසිය ගැටුම්වලට සැකකරුවන් ලෙස 12ක් අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තාවන අන්දමට උද්ඝෝෂන වල නිරතවූයේ යයි තවත් 40කගේ ලැයිස්තුවක් පොලිසිය සකසාගෙන ඇත. ජුනි 20 වනදා රජයේ සේවකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ජුනි 29 පැවති නඩු විභාගයකදී පොලිසිය සැකකරුවන්ට ඇපදීමට විරුද්ධවූ අතර ඊලඟ නඩු වාරය ජුලි 12 වනදා කල්දමා ඇත. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් වෙඩිතැබීම කල පොලිස් භටයා අත්අඩංගුවට නොගත්තේ මන්දැයි ප්‍රශ්නකල විට පොලිසිය කිසිත් කියා නැත. පොලිස් පරීක්ෂනය ගැන සෑහීමකට පත් නොවන බව නීතිඥයන් ප්‍රකාශ කලවිට මහෙස්ත්‍රාත් ගේ පිලිතුර වී ඇත්තේ අවශ්‍යනම් එය වෙනස් පොලිසියකට භාරදෙන බවයි.

අවසානයේ පොලිසිය අධිකරනයේ ද පිටුබලය ලබාගෙන ඇත්ත වසන් කෙරනු ඇතැයි මහජනයා නගන චෝදනාව සත්‍ය ය. සිසුන් ඝාතනය කිරීම ගැන චෝදනා ලැබූ පොලිස් නිලධාරින් පස්දෙනාට ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ රිමාන්ඞ් භාරයෙන් නිදහස් කර සේවයේ පිහිටු වන ලදී. ගිය සතියේ ඉන් නිලධාරින් තිදෙනෙක් නීතිපති විසින් චෝදනා වලින් මුලුමනින්ම නිදහස් කරන ලදී. තුන්නාලෙයි තරුනයා ඝාතනයෙන් පසු මහජන කෝපයෙන් බේරීමට අදාල නිලධාරින් මාරු කල පොලිසිය කලේ ආපස්සට හැරී මහා ජනයාට එරෙහි දඩයමක් දියත් කරමින් 40ක් පමන අත්අඩංගුවට ගෙන මුර්ග ප්‍රහාරවලට ලක් කිරීම හා නඩුවලට ගොදුරු කිරීමයි.

උතුරේ සිදුවන ප්‍රහාරවලට සමගාමීව දකුනු පලාත්වලද ආන්ඩුව රාත්‍රී පොලිස් මෙහෙයුම් උසිගන්වා ඇත. පාතලය මැඩීමේ නමින් නීති නොතකා කෙරෙන පොලිස් ඝාතන ඉහල නගිමින් පවතී. පාතාලය මැඩීම සඳහා පොලිස් මෙහෙයුම් උත්සන්න කරන ලෙස නීතිය හා සාමය පිලිබඳ ඇමති රංජිත් මද්දුමබන්ඩාර සති කිපයකට පෙර උපදෙස් දුන්නේය. මෙම මර්දනකාරී පියවරවලින් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුවේ පිටුබලයෙන් රටපුරා සීග්‍රයෙන් ගොඩනැගෙන පොලිස් රාජ්‍යයක ලක්ෂනයන් ය.

Share this article: