බ්‍රසල්ස්හි පැවැත්වෙන නැටෝ සමුලුව ආසන්නයේ ඇමරිකා-යුරෝපා ගැටුම් මතුවේ

US-Europe conflicts erupt in run-up to NATO summit in Brussels

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2018 ජූලි 11

යුරෝ සංඟමය (යුසං) හා වොෂින්ටනය අතර පෙර නොවූ විරූ ආතතීන් මධ්‍යයේ අද නැටෝ සමුලුව ඇරඹීමට නියමිතය. යුසං, කැනඩාව, මෙක්සිකෝව හා චීනයට එරෙහි ඇමරිකානු ජනාධිපතිගේ වෙලඳ යුද්ධයේ පියවර යුසං නායකයින්ගේ විවේචනයට ලක්වීමෙන් පසුව ජූනි 10දා, ජී7 සමුලුව බිඳ වැටීමෙන් මසකට පසුව, නැටෝ බලවතුන් තමන් දියත් කරමින් සිටින දැවැන්ත මිලිටරි බලය සම්බන්ධීකරනයට වෑයම් කරමින් සිටියදී මතභේද යලි හිස ඔසවමින් ඇත.

විශේෂයෙන්ම ජර්මනිය මිලිටරියට සෑහෙන තරම් වියදම් කරන්නේ නැතැයි, මෑත දිනවල ට්‍රම්ප් යලි යලිත් යුසං බලවතුන්ට දෝෂාරෝපනය කිරීමෙන් පසුව, නැටෝ නායකයින් බ්‍රසල්ස් වෙත පැමිනීමටත් මත්තෙන් ගැටුම් හටගන ඇත. බ්‍රසල්හි සිට බ්‍රිතාන්‍යටත් පසුව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට ෆින්ලන්තයටත් ගමන් කරන ට්‍රම්ප්, වොෂින්ටනයෙන් පිටත්වීමට සූදානම්ව සිටියදී යලිත් යුසං පහර දුන්නේය. නැටෝ සමුලුවත් සමඟ සිය යුරෝපීය සංචාරයේදී හා බ්‍රිතාන්‍ය ආන්ඩුවේ අර්බුදය ද සමඟ නොහික්මුනු ගැටලු රාශියකට තමන් මුහුන දෙන්නේ යයි පවසමින් ට්‍රම්ප් මාධ්‍ය වෙත මෙසේ පැවසීය. ”මට නැටෝ හමුව තිබේ. යම් ආකාරයක කැලඹීමකට මුහුනපා ඇති බ්‍රිතාන්‍ය ප්‍රශ්නය ඇත. එසේම මට පුටින් හමුවීමට තිබේ. අවංකවම කිවහොත් ඒ සියල්ල අතුරෙන් පුටින් පහසුම කෙනාය. කවු ද එසේ සිතන්නේ?”

මේ වන විට මිලිටරි ප්‍රහාරයන්ගේ තර්ජනයට මුහුනපා සිටින රුසියාව හෝ චීනයට වඩා සිය නාමික යුරෝපීය මිතුරන් අගය නොකරන බව ඇමරිකානු ජනාධිපති පැහැදිලිවම කියා ඇත. රුසියාව හා චීනය සමඟ “යහපත් ලෙස කටයුතු කිරීම හොඳ” දෙයකි, ට්‍රම්ප් පුටින් හැඳින්වූයේ “සතුරෙකු” ලෙස නොව “තරඟකාරයෙකු” ලෙසය. ඔහු යුරෝපය සම්බන්ධයෙන් ගත්තේ වෙනස් ආස්ථානයකි. “යුරෝපීය සංඟමය අපගෙන් වාසි සලසා ගන්නවා” ඇමරිකාව නැටෝවට කරන වියදමෙන් “අපට වඩා ප්‍රයෝජන ලබන්නේ ඔවුන්” යයි ට්‍රම්ප් පැවසීය.

10දා පැවති නැටෝ-යුසං රැස්වීමෙන් අනතුරුව, වික්ෂිප්තව සිටින බව පෙනීගිය නැටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් හමුවේ යුසං සභාපති ඩොනල්ඞ් ටස්ක් ට්‍රම්ප්ට පහර ගැසීය. ඔහු පැවසුවේ, “බ්‍රසල්ස්හිදී පැවැත්වීමට යන සමුලුවට ඔන්න මෙන්න කියා තිබියදී මට කෙලින්ම ජනාධිපති ට්‍රම්ප්ට මෙසේ පැවසීමට අවශ්‍යය, දිග කාලයක් තිස්සේ ඔහු, තමාගේ අදහස පරිදි, පොදු ආරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් නොකර එක්සත් ජනපදයේ පානෙන් එලිය බලන්නේ යයි දිනපතාම වාගේ යුරෝපය විවේචනය කලේය. දයාබර ජනාධිපති ට්‍රම්ප්: ඇමරිකාවට යුරෝපය තරම් හොඳ මිතුරෙකු නැත, සිටියේ ද නැත. අද යුරෝපියානුවන් රුසියාවට වඩා කිහිප ගුනයකින් ද, චීනය තරම්ම ද ආරක්ෂාව සඳහා වියදම් කරයි. ඔබගේ මිතුරන් අගය කරන්න, අවසානයේ ඔබට බොහෝ දෙනෙක් ඇත්තේ ද නැත.”

යුසං මිලිටරි වියදම් “ඇමරිකානු හා යුරෝපීය ආරක්ෂාව හා සුරක්ෂාව සඳහා වන පොදු ආයෝජනයක්” ලෙස හඳුන්වමින් , ඇෆ්ගනිස්ථානයේ ඇමරිකාව ප්‍රමුඛ නැටෝ යටත් කිරීමේදී යුරෝපය ඉටුකරන භූමිකාව ගැන ටස්ක් කයිවාරු ගැසීය. ඔහු මෙසේ කියමින් නිමා කලේය. “දයාබර ජනාධිපති මහතානෙනි, හෙට දිනයේ අප හමුවන නැටෝ සමුලුවේදී, සියල්ලටත් වඩා හෙල්සින්කිහිදී ජනාධිපති පුටින් හමුවන විට, කරුනාකර මෙය මතක තබාගන්න, ඔබගේ මූලෝපායික මිතුරා කවරෙක් ද යන්න හා ඔබගේ මූලෝපායික ගැටලුවට සම්බන්ධ පුද්ගලයා කවරෙක් ද යන්න දැන සිටීම හැම විටම වැදගත් යන්න.”

වොෂින්ටනය හා යුසං ඩොලර් බිලියන ගනනක් වටිනා එකිනෙකාගේ භාන්ඩ පිලිබඳව වන වෙලඳ යුද්ධයක පැටලී සිටින අතර ලෝකයේ බලගතුම අධිරාජ්‍යවාදී කඳවුරේ සම්බන්ධතාවන්හි මූලික ආකෘතිය බිඳ වැටෙමින් ඇත. දෙවන ලෝක යුද්ධය අවසානයේ, සියල්ලටත් වඩා සෝවියට සංඟමයට විරුද්ධව, 1949දී පිහිටුවාගත් යුරෝ-ඇමරිකානු මිලිටරි සන්ධානය නැටෝවයි. එහෙත් ලෝක ධනවාදය තවත් ගෝලීය යුද්ධයක් වෙත පියනඟද්දී නැටෝව කැබලි වලට ඉරිගොස් ඇත.

නැටෝව තුල ගැටුම් වලට හේතුව යුසං මිලිටරි වියදම් නොවේ. සැබවින්ම ඔබාමා පාලනය සමයේ පටන් පවතින යුසං ආරක්ෂක වියදම් පිලිබඳ ඇමරිකාවේ පැමිනිලි තිබියදීම නැටෝවේ අධිරාජ්‍යවාදීහු එක් දෙයකට මුලුමනින්ම පාහේ එකඟ වෙති. එනම්, යුද යාන්ත්‍රනය ප්‍රවර්ධනය සඳහා ඩොලර් හා යුරෝ බිලියන සිය ගනනක් කම්කරුවන්ගෙන් හා මූලික සමාජ වැඩසටහන් වලින් කොල්ලකා ගැනීමටය. මෙහිදී ඔවුන් මිලිටරි පිරිවැය ඉහල නැංවීම ප්‍රමුඛත්වයේ පිහිටුවාගෙන ඇත.

ජර්මනිය, ප්‍රන්සය, ස්පාඤ්ඤය පමනක් නොව බෙල්ජියම පවා මේ වසරේ යුරෝ බිලියන ගනන් වලින් මිලිටරි පිරිවැය නැංවීමට පොරොන්දු දී සිටිති. 9දා ජාතිය අමතා කල කථාවකදී ප්‍රන්ස ජනාධිපති ඉමෑනුවෙල් මැක්‍රෝන්, මූලික සමාජ වැඩසටහන් කප්පාදුව මත පදනම්ව ඇති ලියවිල්ල වෙත හැරිය යුතු බව යලි සිහිපත් කලේය. මේ වසරේදීම ස්වීඩනය ද 1999 ඉපදුනු අයගෙන් හමුදාවට බඳවා ගැනීම අරඹා ඇත.

නැටෝව තුල පරදුවට තැබී ඇත්තේ අයවැය මතභේද පමනක් නොවේ. වඩාත් දුරදිග යන ගැටුම් ද ඊට මුල්වී ඇති බව වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබේ. නැටෝව “යල්පැන” ඇති බවටත් ඇමරිකාවට කරන ජර්මනියේ මෝටර් රථ අපනයන “නරක” බවටත් ට්‍රම්ප් සිය මැතිවරන ව්‍යාපාරය අවධියේ කල හෙලාදැකීම් ඔහුගේ මොලයේ විකාරයකින් මතුවූ දේ නොවේ. දිග්ගැස්සී යන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආර්ථික පරිහානිය හමුවේ එය වනාහි, දැන් වෙලඳ යුද්ධයක වර්ධනය හා නැටෝව තුල පොදු භේද භින්නවීම් තුලට විහිද යන, වෙලඳපොලවල්, ලාභ හා මූලෝපායික වාසි බෙදාගැනීම මත ඇතිව තිබෙන කටුක අන්තර් අධිරාජ්‍යවාදී අරගලයක ප්‍රකාශනය වේ.

20 වන සියවසේ මාක්ස්වාදීන්ට හුරු පුරුදු මෙම ගැටුම් දෙවතාවක්ම ලෝක යුද්ධ ලෙස පුපුරා ගියේය. ධනවාදය යටතේ නොවැලැක්විය හැකි ආර්ථික හා මිලිටරි ගැටුම් පිලිබඳ සිය අනර්ග කෘතිය වන, 1 ලෝක යුද්ධය අවධියේ 1916දී ලියන ලද අධිරාජ්‍යවාදය කෘතිය තුල ලෙනින්, නැටෝව වැනි අන්තර් අධිරාජ්‍යවාදී සන්ධාන මඟින් කම්කරුවන් හමුවේ මතු කෙරෙන අත්‍යවශ්‍ය පාඩම් ගෙනහැර දැක්වීය. “සාමකාමී සන්ධාන යුද්ධ සඳහා පසුබිම සකස් කරයි, අනෙක් අතට යුද්ධ තුලින් ඒවා මතුව එයි.”

2 වන ලෝක යුද්ධයෙන් නැඟී ආ නැටෝවේ වෙන් වෙන් තරඟකාරී කොටස් නව හා ගෝලීය ගැටුමක් සඳහා විවිධ ක්‍රමවලින් පසුබිම සකසමින් සිටී. මේ කිසිදු කොටසකට කම්කරු පන්තිය වෙත පිලිගැන්වීමට කිසිවක් ඇත්තේ නැත. 1917 ඔක්තෝබරයේ රුසියානු විප්ලවය අවධියේ මතු කලා සේම දැන් ලොව පුරා කම්කරුවන් ඉදිරියේ මතු කෙරෙන ප්‍රශ්නය, ජාත්‍යන්තර ධනවාදී ව්‍යුහය තුලම මුල්බැස තිබෙන යුද්ධයන්ට එරෙහි අරගලයයි.

අත්ලාන්තික් සාගරය දෙපසේ සිටින පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් තවදුරටත් නැටෝව එකට තබාගැනීමේ අරමුන ඇතිව සිටිති. කෙසේ වෙතත් එහි පදනම කම්කරු පන්තියට එරෙහි දරුනු ප්‍රහාර හා රුසියාවට එරෙහි යුද ව්‍යායාමයයි. නැටෝව ඉව බව නැතිව නැගෙනහිර යුරෝපය කරා ව්‍යාප්තවීම තවමත් සිදුවන අතර 10දා ලැට්වියාවට පැමිනි කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, කැනේඩියානු හමුදා එහි වර පත්‍රය අවසන්වන 2019 න් පසුවත් සිව් වසරක් රුසියානු දේශසීමවේ පිහිටි ලැට්වියාව තුල රැඳී සිටිනු ඇති බව නිවේදනය කලේය.

බ්‍රසල්ස් සමුලුව ආසන්නයේ 10දා පැවති මාධ්‍ය හමුවකදී ස්ටෝල්ටන්බර්ග්, ඇෆ්ගනිස්ථානයේ තලිබාන්වරු සමඟ සව්දි අරාබිය ගෙන යන සාකච්ඡා වර්නනා කල අතර පැරනි සෝවියට් සමූහාන්ඩු ලෙස පැවති ජෝර්ජියාව හා යුක්‍රේනය නැටෝවට ඒකාබද්ධ කිරීමේ සැලසුම් පිලිබඳව කථා කලේය. මෙම වගකීම් විරහිත ක්‍රියාවේ දැවැන්ත ඇඟවුම් පවතී. 2008 හා 2014දී කලාක් මෙන් අන්ත දක්ෂිනාංශික ජොර්ජියානු හෝ යුක්‍රේනියානු තන්ත්‍ර, රුසියාව සමඟ යුද්ධයකට පැටලුනහොත් හෝ රුසියානු දේශසීමාවන්ට පහර දුනහොත්, නැටෝවේ සියල්ලන්ම සිය ආරක්ෂාව සඳහා යයි කියමින් න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමඟ යුද්ධ කිරීමේ වගකීමට එම ගිවිසුම මඟින් බැඳී ඇතැයි පවසනු ඇත.

ඒ අතර පාලක පන්තියේ අවශේෂ කොටස් ට්‍රම්ප්ටත් එහා යමින්, ඇමරිකා-යුරෝපා සම්බන්ධතාවන් සමඟ වඩාත් ගැටුම් කාරී පිලිවෙතක් අනුගමනය කරති. සමුලුව පටන්ගැනීමට පෙරාතුව 9දා ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල්, යුසං හා චීන භාන්ඩ වලට එරෙහිව ට්‍රම්ප් පනවා ඇති තීරුබදු පිලිබඳ වැඩෙන විවේචන හමුවේ, චීන අගමැති ලී කෙකුවාන් හමුවූවාය. යුසං හා චීනය අතර වැඩෙන ආතතීන් ද චීන ලෝහ අපනයන මත යුසං වෙලඳ සම්බාධක පැනවීමේ තර්ජන ද තිබියදීම බීජිනය හා බර්ලිනය ඇමරිකාවේ වෙලඳ යුද්ධ පියවරයන් විවෘතව විවේචනය කිරීමේදී අත්වැල් බැඳගත්තේය.

යුසං චීන තානාපති ෂාන් මින් ජර්මනියේ මූල්‍යට සම්බන්ධ දිනපතා පුවත්පතක් වන හැඩෙල්බ්ලාට් වෙත මෙසේ පැවසීය. “එක්සත් ජනපදය සමඟ වෙලඳ ගැටුම වෙලඳ යුද්ධයක් කරා පැතිර යාම වලක්වා ගැනීමට චීනය බෙහෙවින් කටයුතු කර ඇත. එහෙත් තනි අතින් අත්පුඩි ගසන්ට බෑ... මම හිතන්නේ යුරෝපියානුවන් සේම චීන ජනතාව ද සාමකාමීයි. එහෙත් අප පෙන්නුම් කල යුත්තේ වෙලඳ යුද්ධයේ ආරම්භකයාගේ කටයුතු වැරදි බවයි.”

බර්ලිනයේ ගෝලීය මහජන ප්‍රතිපත්ති ආයතනයේ ගැරීමා මෝහන් දකුනු චීන මෝනිං පෝස්ට් පත්‍රයට පැවසුවේ, චීන-ජර්මානු වෙලඳ ගැටුම්, වොෂින්ටනයට එරෙහිව “අත්වැල් බැඳ ගැනීමට චීනයට හා ජර්මනියට අවස්ථාවක් සලසා ඇත” යනුවෙනි. චීන-ජර්මානු සහයෝගිතාව “ආතති” සහගත හා බිඳෙන සුලු එකක් බවට ද ඔහු අනතුරු ඇඟවීය.

මතුව තිබෙන මෙම බෙදීම්, එලඹෙන දින වලදී නැටෝ සමුලුව තුල මතුවිය හැකි යයි පෙනෙන ආතතීන් සලකුනු කරයි.

Share this article: