නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත, වොෂින්ටනයේ චීන විරෝධී න්‍යායපත්‍රය ශ්‍රී ලංකාවට යලි සිහිපත් කරයි

New York Times restates Washington’s anti-China agenda in Sri Lanka

වසන්ත රූපසිංහ විසිනි, 2018 ජූනි 29

“චීනය ශ්‍රී ලංකාවට වරාය පිලිගැනීමට බලකලේ” කෙසේදැයි සඳහන් දිග ලිපියක් ජූනි 25දා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ පල කලේය. වචන 3800ට වැඩි මෙම ලිපිය, ශ්‍රී ලංකාව තුල වැඩෙන චීන ආනුභාවය පිලිබඳව වොෂින්ටනයේ විදෙස් පිලිවෙත් ප්‍රචාරනයේ යෙදී සිටින පුවත්පත හා අනෙකුත් මාධ්‍ය අංශ විසින් සාමාන්‍යයෙන් ගොතනු ලබන චෝදනා පුරුච්චාරනය කරයි.

මෙම ලිපිය පලවූ කාලය හා එහි තානය අනුව එය ඉලක්ක කරන්නේ, “ඇමරිකානු අධිරාජ්‍යවාදය ඔබ සමීපව නිරීක්ෂනය කරන බැවින්, චීනයට එරෙහි යුද්ධය සඳහා වන අපගේ මිලිටරි මූලෝපායික සූදානමෙන් විකර්ෂනය වීමට උත්සාහ නොකල යුතුය” යන පැහැදිලි පනිවිඩය කොලඹ ආන්ඩුවට දැන්වීමයි.

ආසියාව හා අප්‍රිකාව අරා සිටින ඉන්දියානු සාගරයේ ප්‍රධාන මුහුදු මාර්ගයන්ට සමීපව පිහිටා ඇති දිවයිනේ පාලකයින්ට, ඇමරිකාව හා එහි සහචරයින්, දිගු කලක් තිස්සේම පීඩනය යොදමින් සිටී. එහි ප්‍රතිපලය වශයෙන් ප්‍රධානකොටම චීනය හා වොෂින්ටනය අතර ද ඉන්දු පැසිෆික් කලාපය පුරා ද බීජිනයේ ආනුභාවයට වල කපන වොෂින්ටනයේ ඒකාබද්ධ ආර්ථික හා මිලිටරි ආක්‍රමනකාරිත්වයෙන් ගිනියම් කරනු ලබන ගෝලීය භූ-දේශපාලන ආතතීන්ගේ සුලිය තුලට දිවයිනේ ජනතාව ඇදගනු ලැබෙමින් ඇත.

පුවත්පතට අනුව චීනය නය හා ආධාර යොදාගන්නේ, “ලොව වටා අනුහස දිනාගැනීමටය.” එසේම “නිර්දය ලෙස එහි ප්‍රතිපල නෙලාගැනීමට” කැමැත්ත දක්වයි. මෙම අදහස සනාථ කිරීම පිනිස ටයිම්ස් පත්‍රය, චීනය හම්බන්තොට වරායේ වැඩි පංඟුවක් සතුකර ගෙන ඇති බව කියා සිටියි. එම යෝජනා ක්‍රමය ගොඩ නැඟුවේ හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂගේ ආන්ඩු කාලයේය.

දෙවසරක් තරම් කාලයක් දිග්ගැස්සුන සාකච්ඡා වලින් අනතුරුව පසුගිය දෙසැම්බරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ වත්මන් ආන්ඩුව, හම්බන්තොට වරාය චීනයේ මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් වෙත නිල වශයෙන් පවරා දුන්නේය.

මේ ගිවිසුම යටතේ ආන්ඩුව, වරායෙන් සියයට 70ක පංඟුවක් 99 අවුරුදු බද්දකට එම චීන සමාගමට විකුනූ අතර ඉතිරි සියයට 30ක පංඟුව ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීය. රටේ වැඩිවන විදේශ නය හා කලාපය තුල චීනයේ වැඩෙන අනුහස ගැන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බිය, විශේෂයෙන්ම, චීනය හා යුරෝපය සම්බන්ධ කරන වරායන්, දුම්රිය මාර්ග හා මහාමාර්ග ජාලයක් ඉදිකිරීම අරමුනු කරගත්, රෝඩ් ඇන්ඩ් බෙල්ට් වැඩසටහන, ගැන පුවත්පත සඳහන් කරයි.

එය මෙසේ ලියා ඇත: “(වරාය) පැවරුම මඟින් චීනයට, එහි එදිරිවාදී ඉන්දියාවේ වෙරලට යන්තම් සැතපුම් සිය ගනනක් නුදුරින් ඇති භූමිභාගයේ පාලනය හා, තීරනාත්මක වානිජ්‍ය හා මිලිටරි මුහුදු මාර්ගය දිගේ මූලෝපායික අවකාශයක්” හිමිවේ. “නය ගනුදෙනුව ද, ලොව වටා දුබල රටවල් සඳහා නය උගුලකට සමාන වන ගෝලීය ආයෝජන හා නය වැඩසටහන නිසා, දුෂ්කර අඩියකට මුහුනපා සිටින ප්‍රජාතන්ත්‍රවාදයන්හි දූෂනය ද ආඥාදායක හැසිරීම ද අවුලුවාලන බවට ජනාධිපති සී ජින්පිංගේ රෝඩ් ඇන්ඩ් බෙල්ට් ක්‍රියාවලියට එල්ලවී ඇති සමහර තියුනු විවේචන දැඩි කරයි.”

රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ටයිම්ස් පත්‍රයේ කනස්සල්ල ද රැවටිල්ලකි. ඇමරිකානු මිලිටරියේ හා ඔත්තුසේවාවන්හි සෘජු හොරනෑව ලෙස ක්‍රියාකරන ටයිම්ස් පත්‍රය, වොෂින්ටනයේ අපරාධ යුක්තිසහගත කිරීම සඳහා නිරන්තර විකෘතිකරන හා අමූලික බොරු පතුරුවා හරියි. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු ආක්‍රමනික යුද්ධවල සිට සිරියානු පාලන තන්ත්‍ර මාරුවක් සඳහා කුලීකාර යුද්ධය දක්වා ටයිම්ස් පත්‍රය, ඇමරිකානු යුද යන්ත්‍රයේ හා ඔත්තු සේවයේ වැදගත් වාහකයකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිරතුරුව පැහැදිලි කර ඇති පරිදි ඇමරිකාව, 2015 ජනාධිපතිවරනයේදී රාජපක්ෂ ජනාධිපතිකමෙන් ඉවත්කර ඇමරිකානු ගැති සිරිසේනගේ ආන්ඩුව බලයට පත්කිරීමේ තන්ත්‍ර මාරු මෙහෙයුම ක්‍රියාවට නැඟීය.

2015 ජනවාරි 9දා ලොසවෙඅ මෙසේ සඳහන් කලේය: “බලවේගයන් සිරිසේන සමඟ පෙලගැසීමත් මැතිවරන ප්‍රතිපලමත්, තිරයට පිටුපස ඔබාමා ආන්ඩුවේ මැදිහත්වීම පෙන්නුම් කරයි. මිලිටරි බැඳීම් ද ඇතුලු හිටපු ජනාධිපති රාජපක්ෂ ගේ ආන්ඩුව චීනය සමඟ ගොඩනඟාගෙන තිබෙන සමීප සම්බන්ධකම් වෙතින් ශ්‍රී ලංකාවේ විදෙස් පිලිවෙත ඉවතට (බටහිර වෙත) හැරවීම පිනිස, ඔහු ඉවත් කිරීමේ තීන්දු ගෙන ඇත්තේ වොෂින්ටනයයි. එම මැදිහත්වීම සෘජුවම ගලා එන්නේ, ඇමරිකාවේ ආක්‍රමනික ‘ආසියාවට හැරීම‘ තුලිනි.”

ටයිම්ස් පුවත්පත ද 2015 ජනාධිපතිවරනය ගැන විශාල අවධානයක් යොදා ඇත. කොලඹ තන්ත්‍ර මාරු මෙහෙයුම පිලිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු හා ඔත්තු සේවා ප්‍රමුඛ මූලාශ්‍රයන්, පසුබිම් තොරතුරු සම්පාදනය කර තිබේ. මැතිවරන ව්‍යාපාරය පැවති අවධියේ සියලු ප්‍රධාන දේශපාලන වර්ධනයන් එය වාර්තා කර ඇත.

සිරිසේන රාපක්ෂ ආන්ඩුවෙන් දොට්ට බැස විපක්ෂයට එක්වී තමන් “පොදු ජනාධිපති අපේක්ෂකයා” ලෙස ඉදිරිපත්වන බව නිවේදනය කල 2014 නොවැම්බර් 21දාම ටයිම්ස් පත්‍රය ලිපි දෙකක් පල කලේය. ඒවායේ සිරස්තල වූයේ, “හදිසියේම ශ්‍රී ලංකාවේ ජාධිපතිවරනය සැබෑ තරඟයක් බවට පත්වේ” හා “ආධාරකරුවන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ජනාධිපති යලි පත්වීමේ විශ්වාසය කඩාවැටේ” යන්නය.

දෙවැනි ලිපිය උද්දාමයෙන් යුතුව සිරිසේන හුවා දැක්වූ අතර රාජපක්ෂ යක්ෂාවේස ගැන්වීය. ජනාධිපති හා ඔහුගේ නෑදෑයන් විසින් පාලනය කරනු ලබන පවතින ආන්ඩුව “මෘදු ඒකාධිපතිත්වයක්” ලෙස රාජපක්ෂගේ හිටපු සහචරයින් විසින් හඳුන්වාදුන් අතර විපක්ෂයේ රැස්වීම් වලට සහභාගී වන සෙනඟ “උද්වේගයෙන්” යුතුව සවන් යොමුකරන බව එය පැවසීය.

ලිපිය මෙසේ සඳහන් කලේය. රාජපක්ෂ “නව වරායන් හා මහාමාර්ග සඳහා ඩොලර් බිලියන ගනන් ශ්‍රී ලංකාවට සම්පාදනය කරන චීනයට තම රට සමීප කරයි.”

මැතිවරන දිනයේදී ටයිම්ස් පත්‍රය, “තිගැස්සුන අවුලකින් පසුව ශ්‍රී ලංකාවේ ජනාධිපති පරාජය භාර ගනියි” යන හිසින් යුත් ලිපියක් තුල, තම තෘප්තිමත් බව ප්‍රකාශ කලේය. පුවත්පත රාජපක්ෂට “චීනය සමඟ ඇති සමීප සබඳකම්” හා ඔහුගේ අත්තනෝමතික පාලන විධික්‍රමයන් පිලිබඳව පුනරුච්ඡාරනය කලේය.

එහෙත් චීනය සමඟ ඇතිකරගත් වරාය ගිවිසුම ඇඟවුම් කරන්නේ දේශපාලනිකව භේද භින්නවූ පාලක පන්තිය, වොෂින්ටනයේ විදෙස් පිලිවෙත් සංග්‍රහය සමඟ මුලුමනින්ම පෙලගැසී නැති බවයි.

චීනය අරමුදල් සම්පාදනය කරන වරාය ව්‍යාපෘතිය හා තවත් ප්‍රාරම්භකත්වයන් සිරිසේන විසින් අත්හිටුවන ලද නමුත් ඔහුගේ ආන්ඩුව මුහුනපා සිටින ගැඹුරට විහිදෙන ආර්ථික අර්බුදය විසින් බීජිනයෙන් මුලුමනින්ම බැහැර වීම ඔහුට දුෂ්කරවී ඇත. චීනයේ දැවැන්ත නය නොමැතිව ආන්ඩුවට තම විදේශ සංචිත හා ජාතික මුදල පවත්වාගෙන යා නොහේ.

සිරිසේන ආන්ඩුව “ශ්‍රී ලංකාව ඉන්දියාව, ජපානය හා බටහිර වෙත යලි දිශානුගත කිරීමේ උනන්දුවක් දක්වන නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය දරන මූල්‍ය හෝ ආර්ථික තැන” ගැනීමට ඉදිරිපත්වන වෙනත් රටක් නැත.”

රාජපක්ෂ අවධියේ කොලඹ වරායට පැමිනි සබ්මැරීන් යාත්‍රා ගැන ඇමරිකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් කනස්සල්ලට පත්වූ නමුත්, “හම්බන්තොට චීනය වෙත පැවරීම මඟින් එය මිලිටරි කටයුතු සඳහා යොදාගත හැකිවීමෙන් කනස්සල්ල අලුත් කෙරේ. විශේෂයෙන්ම නොකරන බවට පොරොන්දුවී තිබියදීත් චීනය දකුනු චීන මුහුද වටා ඇති දිවයින් මිලිටරීකරනය දිගටම කරගෙන යන තත්වයක් තුල.”

“ශ්‍රී ලංකාව තුල චීනයේ මනාප සහකරු” ලෙස විස්තර කරන රාජපක්ෂ, යලි දේශපාලන කරලියට පැමිනීමේ හැකියාව ගැන ලිපිය අනතුරු අඟවයි. රාජපක්ෂ අලුතෙන් පිහිටුවාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පෙබරවාරියේ පැවති පලාත් පාලන මැතිවරනයෙන් ලබාගත් ජයග්‍රහනය ගැන එය සඳහන් කරයි. “ආන්ඩු වෙනස්විය හැකිය” යනුවෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිලිබඳ රාජ්‍ය ඇමති හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශ ටයිම්ස් පත්‍රය උපුටා දක්වන්නේ චකිතයකිනි.

ලිපිය අවසන් කරමින්, “ජනාධිපතිවරනය ලබන වසරේ පැවැත්වේ. එසේම මහ මැතිවරනය 2020දී පවත්වයි” යනුවෙන් එය කරන සඳහන සැලකිය යුතුය. රාජපක්ෂට යලි බලයට ඒමට ඉඩ නොතැබිය යුතුය යන පැහැදිලි අනතුරු ඇඟවීමකි මේ.

සැබවින්ම නිව් යෝර්ක් ටයිම්ස් මුලු ලිපියම, බීජිනයට නැඹුරු ආන්ඩුවක් යලි බලයට පත්වීමේ හැකියාව ගැන කෙරෙන අනතුරු ඇඟවීමේ සීනු හඬකි. චීනයට එරෙහි යුද්ධය සඳහා වන ඇමරිකාවේ ආර්ථික හා මිලිටරි සූදානම වෙත කොලඹ පාලනය මුලුමනින්ම කැප නොවන්නේ නම්, වොෂින්ටනයේ තන්ත්‍ර මාරු මෙහෙයුම යලි ක්‍රියාත්මක කරන බවට කෙරෙන ඇඟවුමකි මේ.

Share this article: