යුරෝපා සංගමය සරනාගතයින්ට එරෙහි ත්‍රස්තය උත්සන්න කරයි

European Union intensifies campaign of terror against refugees

2018 ජූලි 2

පසුගිය සති අන්තයේ පැවති යුරෝපා සංගම් සමුලුව සලකුනු කලේ පශ්චාත් යුරෝපීය දෙවැනි ලෝක යුද්ධ ඉතිහාසයේ භයානක හැරවුම් ලක්ෂයකි. සරනාගතයන් ඉලක්ක කර ගනිමින් බ්‍රසල්ස් හි දි අනුමත කෙරුනු පියවරයන් යුරෝපීය සංගමය (යුසං) කුමක් සඳහා ද යන වග හෙලිදරව් කර ඇත. ඔවුන්ගේ වැඩිවන්නා වු වෙනස්කම් නො තකා, යුරෝපා ආන්ඩු විසින් යුසං ප්‍රයෝජනයට ගැනෙමින් තිබෙන්නේ මිලිටරිවාදය, මර්දනය හා කම්කරුවන් මත සමාජ ප්‍රහාරයන්ගේ ප්‍රතිපත්ති තීව්‍ර කිරීමට යි. බ්‍රසල්ස් සමුලුව සමග, යුස අන්ත දක්ෂිනාංශයට මාරු වී ඇත්තේ, උමතු ජාතිකවාදී හා අන්ත දක්ෂිනාංශික බලවේග න්‍යායපත්‍රය සකස් කිරීම සමගිනි.

සංක්‍රමනිකයන් හට දරුනු ලෙස වධ හිංසා කිරිම ජාත්‍යන්තර ප්‍රපංචයකි. එක්සත් ජනපදය තුල, ට්‍රම්ප් පාලනාධිකාරිය තම දෙමව්පියන්ගෙන් ලමුන් වෙන් කරමින් කූඩුවල හිර කරමින් සිටින්නේ, පුද්ගලයන් 120,000ක් රැඳවීමට මිලිටරි කඳුවුරු ජාලයක් සැලැසුම් කරමින් සිටින අතරතුර ය. ජාත්‍යන්තර කම්කරු පන්තියේ තදින්ම අනතුරට භාජන වන සුලු හා දරිද්‍රාපන්න කන්ඩායම් මත වන මෙම යුද්ධයේ ගෝලීය ස්වභාවය ප්‍රදර්ශනය කරන්නේ එය ලෝක ධනවාදයේ මාරාන්තික අර්බුදයේ නිර්මිතයක් බව යි.

අන්ත දක්ෂිනාංශික නිදහස් පක්ෂය (එෆ්පීඕ) සමග සභාගයකින් වියනාව පාලනය කරන, ඔස්ට්‍රියානු චාන්ස්ලර් සෙබස්තියන් කූර්ස්, ඊයේ යුසං සභාපතිත්වය බාර ගත්තේ ය. ඔවුන්ගේ කම්කරු පන්තික විරෝධී න්‍යාය පත්‍රය වෙනුවෙන් යුරෝපය පුරා අන්ත දක්ෂිනාංශය හා ෆැසිස්ට්වාදී කන්ඩායම් කූර්ස් හා නිදහස් පක්ෂයට ප්‍රශංසා කරමින් සිටිති. සති අන්තයේ ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) පක්ෂ සම්මේලනයේ දී, සමූහාන්ඩු පක්ෂ ජෝග් මියුතෙන් විසින් කූර්ස් විස්තර කෙරුනේ “බලකොටු යුරෝපය” පිලිබඳ ප්‍රශ්නවල සටන් සගයකු ලෙස ය. ඒඑෆ්ඩී නායකයා මෙසේ පැවසී ය: “අප සහාය දැක්වීමට අවශ්‍ය හා සහය දැක්විය යුතු අය වන්නේ හෑන්ස්-ක්‍රිස්ටියන් ස්ට්‍රාක, සෙබස්තියන් කූර්ස්, මටේඕ සල්විනි හා වික්ටර් ඔර්බාන් ය.”

වියනාවේ දී, කුර්ස් අවධාරනය කලේ යුරෝපීය සංගමයේ සරනාගත ප්‍රතිපත්තිය සාරභුතව ම අන්ත දක්ෂිනාංශයේ එකක් බව යි. ප්‍රකාශකයෙකු මගින් ඔහු සඳහන් කලේ තමන් මෙහෙයවන්නේ “පැහැදිලිව ම යුරෝපා-ගැති සමූහාන්ඩුවක්” වන අතර, සරනාගත ප්‍රශ්නයට පුලුල් යුරෝපීය විසඳුමක් සඳහා උත්සාහ ගනිමින් සිටින බව යි. මෙම කාරනයේ දී, තමන්ගේ “ජර්මානු සහකරුවන්” වන්නේ “ඇන්ජෙලා මර්කෙල් හා අභ්‍යන්තර ඇමති හර්ස්ට් සීහෝෆර් විසින් නායකත්වය දෙනු ලබන ආන්ඩුව” බව ද ඔහු තව දුරටත් පැවසී ය. ඔස්ටි්‍රයානු රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවකදී, “තීරනය කෙරුනේ කුමක් ද එය එවිගස ක්‍රියාත්මක කිරීම වැදගත් ය. එය සිද්ධ වීම සහතික කිරීමට අපි දිගටම පීඩනය යොදන්නෙමු”යි පැවසුවේ ය

යෝජිත පියවරයන් මතක් කර දෙන්නේ යුරෝපීයේ ඉතිහාසයේ ම අඳුරු ම කාලපරිච්ඡේද යි. අනෙක් දේවල් අතර, ඒවාට අයත් වන්නේ “බලකොටු යුරෝපය” සම්පූර්නයෙන් සීල් තැබීම, හා මැද පෙරදිග මෙන් ම අප්‍රිකාවේ යුද කලාපවලට සමූහ පිටුවාහල් කිරීම් ය. සිකුරාදා අනෙකුත් සියලු සාමාජික රටවල් විසින් එකඟත්වය පලකෙරුනු නිල සමුලු ප්‍රකාශනය මෙසේ ප්‍රකාශ කලේ ය: “සමාජික රටවල් යුරෝපා සංගමයට මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර සහිතව යුසං දේශසීමාවල පාලනය ඵලදායි ලෙස සහතික කල යුතු යයි යුරෝපීය කවුන්සිලය තරයේ කියා සිටී. අවිධිමත් සංක්‍රමනිකයන් පෙරලා සියරට යැවීම සැලකිය යුතු ලෙස වැඩි කල යුතු බව එය සඳහන් කර යි.”

සංක්‍රමනියන් බිය වැද්දීමට, යූසං දේශසීමා ඒජන්සිය වන ෆ්‍රොන්ටෙක්ස් 2020 වන විට අඩු තරමින් නව භට පිරිස් 10,000ක් එකතු කර ගනු ඇති අතර, එය මිලිටරි පොලිස් හමුදාවක් බවට නිතැතින්ම පත්වනු ඇත. සරනාගතයන් රැඳවීමට උතුරු අප්‍රිකාවේ ද යුසං දේශසීමා අතර ද සමූහ කඳවුරු ස්ථාපිත කිරීමට සමුලුව එකඟ විය. සමුලු ප්‍රකාශනය තුල, මෙම රැදවුම් කඳවුරු මොලොක් වදනින් සඳහන් කෙරෙන්නේ, සරනාගතයන්ගේ “ප්‍රතිවාසනය (නැවත පදිංචි කිරීම) හා නව වාසනය” සඳහා “පිවිසීමේ වේදිකා” හා “පාලන මධ්‍යස්ථාන” ලෙස ය. මෙම මිහිරි වදන් මතක් කර දෙන්නේ යුදෙව්වන්, ජිප්සීන් හා අනෙකුත් “විදේශිකයන්” වෙතට වූ ඔවුන්ගේ ජනඝාතක ප්‍රතිපත්ති විස්තර කිරීමට නාසීන් විසින් යොදා ගැනුනු වචන සමූහයන්ය.

උතුරු අප්‍රිකාවේ සැලැසුම් කෙරුනු කඳවුරු නාසීන්ගේ සමූහ සිර කඳවුරු සිහි ගන්වන භීතිය හා වධ හිංසාවේ කඳවුරු වනු ඇති බව යුසං හොඳින් දනී. 2017 චාන්ස්ලර් හා විවිධ ඇමතිවරුන් ඇමතූ අභ්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික දුරකතන වාර්තාවක් තුල, නයිජීරියාවේ ජර්මානු තානාපති සඳහන් කල පරිදි, “ලිබියාව තුල ඉතාමත් බරපතල හා ක්‍රමානුකූල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් (සිදුවෙමින් තිබේ).” වෙල්ට් ඇම් සොන්ටැග් (ජර්මානු ඉරිදා පුවත්පතක්) ලිපියකට අනුව, වාර්තාව සඳහන් කලේ “අව්‍යාජ ජංගම දුරකතන ඡායාරූප හා වීඩියෝ දර්ශන ඔප්පු කරන්නේ ඊනියා පුද්ගලික සිරකඳවුරු තුල පවතින සමූහ සිරකඳවුරුවල වැනි තතු ය.”

වාර්තාවට අනුව, ලිබියානු කඳවුරුවල, “මුදල් ගෙවිය නො හැකි සරනාගතයන් මරා දැමීම, වධ හිංසා පැමින වීම, ලිංගික ව දූෂනය කිරීම, බිය ගැන්වීම හා කාන්තාරවල අතහැර දැමීම දවසේ පිලිවෙතයි. මානව යෙදවුම වැඩි කර, ඒ මගින් ක්‍රියාකරුගේ ලාභය වැඩි කරනු පිනිස, අලුතින් එන අයට ඉඩ සැලසනු වස්, නිවේදනය කර සිරගෙය තුල සතියකට හරියට ම මරන පහක් සෑම සිකුරාදාවකම සිදු කිරීම ගැන ඇසින් දුටු සාක්ෂිකරුවෝ කතා කලහ.”

ග්‍රීසිය තුල මේ වන විටත් කඳවුරු පවතී. මෙය යුරෝපය පුරා රැඳවුම් කඳවුරුවල ආදර්ශයන් පිහිටවනු ඇති අතර,ඒ ආකාරයෙන් ම සමූහ හිරගෙවලට සමාන වනු ඇත. ග්‍රීසියේ සිරිසා ආන්ඩුව විසින් ලෙස්බෝස් දූපතේ ස්ථාපිත කෙරුනු මොරියා නම් “දරුනු ඉසව්ව” ගැන ඉරිදා ෆ්‍රන්ක්ෆර්ටර් ඇල්ජමේන් සොන්ටාග්ෂේයිතුංග් පත්‍රයේ ලිපියක් “අපායට ගමනක්” ලෙස වාර්තා කලේ ය. රැකවල් ලූ හෙක්ටයාර් එකක, පැරනි හමුදා බැරක්කය, මහා විපත්තිදායක කොන්දේසි යටතේ ජීවත්වන පුද්ගලයන් 7,500කට වාසස්ථානය වෙයි.

“ආරක්ෂක වැටට පිටින් කටුකම්බි අතුරා ඇති”බව ලිපිය පෙන්වා දෙයි. “කඳවුරේ සියලුම බිහිදොරවල් තුවක්කු මානා ගත් ආරක්ෂකයන්ගෙන් යුත් විමසුම් කුලුනු වේ...ඇතුලට ඒමට අවශ්‍ය වන ඕනෑම අයෙකු හැඳුනුම්පත පෙන්විය යුතු ය. විශේෂයෙන් ම මාධ්‍යයට ගේට්ටු පසු කර යෑමට පහසුවෙන් ඉඩ දෙනු නොලැබේ.”

ප්‍රමුඛ ධනේශ්වර රටවල එවැනි ආයතන පිහිටුවීම කම්කරුවන්ට හා තරුනයන්ට බරපතල අනතුරු ඇඟවීමකි. ෆැසිස්ට් තන්ත්‍ර යටතේ මෙන්, සමූහ හිර ගෙවල් දේශපාලන විරුද්ධවාදීන්ට ද , අන්තිමේ දී සමස්තයක් වසයෙන් කම්කරු පන්තියට එරෙහි ව ද යොදා ගන්නවා ඇත.

මිලිටරිවාදයට ද කම්කරු පන්ති විරෝධී ප්‍රතිපත්තිවලට ද එරෙහිව වඩ වඩා පෙරලිකාරී වන, කම්කරු පන්තියට මුහුන දීමට යුසං සූදානම් වෙමින් සිටී. සතියකට අනුමත කෙරුනු පැය 60 ක වැඩ පැය ගනන වැඩි කරමින්, පැය 12ක වැඩ දිනයක් හඳුන්වා දීමේ ආන්ඩුවේ යෝජනාවට එරෙහිව සෙනසුරාදා වියනාවේ දී කම්කරුවෝ හා තරුනයෝ 100,000ක් පමන විරෝධතා දැක්වූහ.

“ආරක්ෂා කරන යුරෝපයක්” යන සටන්පාඨය යටතේ, වර්තමානයේ දී ඔස්ත්‍රියාව විසින් දරන යුස සභාපතිත්වය යුරෝපීය පොලිස් රාජ්‍යක් ගොඩනැගීම වේගවත් කිරීමට අපේක්ෂා කර යි. මෙම අරමුනු වෙනුවෙන්, එය සැප්තැම්බර් 20වැනිදා සැල්ස්බර්ග්හි දී ආරම්භක යුසං සමුලුවක් පවත්වනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා සංක්‍රමනිකයන් හා සරනාගතයන් මත පොලිස් සෝදිසි කිරීම් හා ප්‍රහාරයන්ට එරෙහිව විරෝධතා හා වැඩවර්ජන සංවිධානය කරනු පිනිස වැඩපොලවල, පාසල්, විශ්වවිද්‍යාල හා අසල්වාසයන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. පහත සඳහන් ඉල්ලීම් මතු කල යුතු අතර හැකි පුලුල් ආකාරයෙන් සාකච්ඡා කල යුතු ය:

■ මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ රැඳවුම් කඳවුරු ගලවා දැමීම, මෙම කලාපවලින් යුරෝපීය හා එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීම, හා තමන්ගේ කැමත්ත පරිදි සරනාගතයන්ට යුස රටවලට ප්‍රවේශය සඳහා නිදහස් හා ආරක්ෂාකරී මං සැලසීම.

■ යූසං යේ ෆ්‍රොන්ටෙක්ස් දේශසීමා පොලීසිය අහෝසි කිරීම

■ යුසං පිටුවාහල් කිරීමේ යන්ත්‍රය හා වාර්ගික ශුද්ධ කිරීම සූදානම් කරන සියලු පොලිස් රාජ්‍ය ප්‍රතිපත්ති සමග සහයෝගිත්වය වර්ජනය කිරීම

■ සංක්‍රමනික හා රටෙහි උපන් සියලු කම්කරුවන්ට රජයේ සේවාව හා රැකියා පුහුනුව සඳහා යුරෝ ට්‍රිලියන ගනනාවක ප්‍රතිපාදන. දශකයක් පුරා යුස බැංකු ඇප අරමුදල් මගින් කොල්ල කා ගත් ධනයේ අයිතිය පැහැර ගෙන කම්කරු පන්තියේ හදිසි සමාජ අවශ්‍යතා ඉටු කිරීමට යොදා ගත යුතු ය.

එවැනි කමිටුවල වර්ධනය ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය තුරන් කිරීමේ ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරය සමග සම්බන්ධ කල යුතු ය. ව්‍යාජ වාම සිරිසා ගේ සිට ස්පාඤ්ඤයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පීඑස්ඕඊ පක්ෂය, ජර්මනියේ මහා සභාගය, ඉතාලිය, ඔස්ට්‍රියාව හා නැගෙනහිර යුරෝපයේ අන්ත දක්ෂිනාංශික පක්ෂ දක්වා, යුරෝපයේ සියලු ආන්ඩු පක්ෂ සරනාගතයන්ට එරෙහි භීතිය තීව්‍ර කිරීමට ඉතා කිට්ටුවෙන් සහයෝගය දක්වතැයි යන්න අවධාරනය කරන්නේ කම්කරුවන් විප්ලවවාදී කර්තව්‍යයකට මුහුන දෙමින් සිටින බව යි. යුරෝපීය ධනවාදය හීලෑ කල නො හැක. එය පෙරලා දමා එක්සත් යුරෝපීය සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපිත කල යුතු ය.

දෙවැනි ලෝක යුද්ධයේ මුල් ම අවධියේ දී ලියන ලද, හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක ප්‍රකාශනය තුල ලියොන් ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි, “ඉතිහාසය විසින් මතු කෙරන කර්තව්‍යය වන්නේ අධිරාජ්‍යවාදී පද්ධතියේ එක් කොටසකට එරෙහිව තව කොටසකට සහාය දැක්වීම නොව, සමස්තයක් වසයෙන් මෙම පද්ධතිය අවසන් කිරීම යි. ”

මෙම කර්තව්‍යය අද පැවරෙන්නේ අලුත් වූ හදිසියකිනි. ම්ලේච්ඡත්වයට හා යුද්ධයට ඇද වැටීම වැලැක්වීමට කම්කරු පන්තිය ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලට විරුද්ධ විය යුතු අතර සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන සවිඤ්ඤානිකව බාර ගත යුතු ය.

ජොහනස් ස්ටර්න්

Share this article: