රෙඩ් හෙන් හි ආරක්ෂාව සඳහා

In defense of the Red Hen

2018 ජූනි 26

සිකුරාදා, වර්ජිනියා හී ලෙක්ස්න්ටන් හී පිහිටි ආපන ශාලාවක් වන රෙඞ් හෙන් හී හිමිකරු, එහි සේවකයන් ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරා හකබී හට ආහාර පිලිගැන්වීමට විරෝධය ප්‍රකාශ කිරීමෙන් පසු තම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටියේය.

ජාතික ආරක්ෂාව පිලිබඳ ලේකම් කිර්ස්ට්ජෙන් නීල්සන් වොෂින්ටන් ඩීසී හී පිහිටි ආපනශාලාවක රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී විරෝධතාකරුවන් කන්ඩායමක් “දරුවන් සැනසිල්ලේ ආහාර නොගනීනම් ඔබටද සැනසීමෙන් ආහාර ගත නොහැක” යැයි විරෝධතා සටන් පාඨ කියූ අඟහරුවාදා සිදුවූ සිදුවීමකින් පසුව මෙම සිදුවීම සිදුවිය. දින දෙකකට පසුව දක්ෂිනාංශික න්‍යායාචාර්යවරයෙකු සහ ධවල මන්දිර උපදේශකයෙකු වන ස්ටීවන් මිලර්, වෙනත් ආපනශාලාවකදී අනුග්‍රහයකු විසින් ෆැසිස්ට්වාදියෙකු ලෙස හෙලා දකින ලදී.

එක්සත් ජාතීන් විසින් වධ හිංසා පැමිනවීමක් ලෙස හෙලා දැක ඇති, සරනාගත ලමුන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන්කිරීමේ ට්‍රම්ප් පරිපාලනයේ පිලිවෙත සම්බන්ධයෙන් මිලියන ගනනක් ඇමරිකානුවන් අතර පිලිකුල සහ භීතිය උතුරායාමක් මෙම සිදුවීම් විසින් පිලිබිඹු කරයි. නව ෆේස් බුක් වාර්තාවක් පිහිටුවමින්, ගොදුරු වූ අය සඳහා ආධාර පිනිස අරමුදල් රැස්කිරීමකට ලක්ෂ ගනන් ජනයා ආධාර කොට තිබෙන අතර, කෲර සහ මිලේච්ඡ ක්‍රියාවට එරෙහිව උද්ඝෝෂන රට පුරා පැවැත්වේ. ජනාධිපතිවරයාගේ අපරාධකාරී පිලිවෙත් යුක්ති යුක්ත කිරීමට දිනෙන් දින මුසාවන් වමාරන ට්‍රම්ප්ගේ නින්දිත හොරනෑව සමඟ සිටීමට රෙඞ් හෙන් හී සේවකයන්ට මෙන්ම එහි හිමිකරුට අවංකව පිලිකුලක් ඇතිවීම පිලිබඳ සැකයක් නොමැත. ඔවුන් ඇයට එතැනින් පිටවන ලෙස ආචාරශීලීව පවසා ඇත.

මේ හුදකලා ක්‍රියාවන් ට්‍රම්ප් ට එරෙහිව සටන් කිරීම සඳහා මූලෝපායක් නියෝජනය කරනු ඇතැයි කිසිවෙක් ප්‍රකාශ නොකරනු ඇත. එහෙත් ඒවා, දුගී සරනාගතයන්ට සිදු කරන අමානුෂික ක්‍රියාවන් සම්බන්ධයෙන් පමනක් නොව, අසමානතාවය, යුද්ධය, සමාජය මිලිටරීකරනය සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඇති පලල් සහ තීව්‍ර සමාජ කෝපය පිලිබිඹු කරයි.

ඇමරිකානු ජනතාව අතර රෙඞ් හෙන් සම්බන්ධයෙන් ඇති පොදු අනුකම්පාව සහ සහය මධ්‍යයේ ඩිමොක්‍රටික් පක්ෂයේ සහ සංස්ථාපිත මාධ්‍යයේ ප්‍රතිචාරය, එහි හිමිකරුට සහ සේවකයන්ට “ශීලාචාරබව” පිලිබඳ පුහු සාටෝපී සහ කුහක දේශනාවන් ලබා දීම බවට පත්ව ඇත්තේ මේ හේතුව නිසයි.

සෙනට් සභාවේ සුලුතරයේ නායක චාර්ල්ස් ෂුමර් (නිව්යෝක්හි- ඩිමොක්‍රටික්) පසුගිය සඳුදා සෙනෙට් සභාවේදී මෙසේ ප්‍රකාශ කලේය: “කිසිවෙක් දේශපාලන විරුද්ධවාදීන් හට කරදර හිරිහැර කිරීම ඉල්ලා සිටිය යුතු නැත. එය වැරදියි. ඒ ඇමරිකාව නොවෙයි.”

ඩිමොක්‍රටික් පක්ෂ මන්ඩලයේ සුලුතර නායක නැන්සි පෙලොසි, ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන්ට “හිරිහැර කිරීම” “පිලිගතනොහැකි” දෙයක් ලෙස හෙලාදුටු අතර “අපි එක්සත්භාවය ලඟා කරගතහැකි අයුරින් මැතිවරන පැවැත්විය යුතුයි” යැයි ප්‍රකාශ කලාය.

එලෙසම වොෂින්ටන් පොස්ට් පුවත්පත, “ආවේගයන් ඉහලයමින් තිබුනත් .. හකර්බී මහත්මියට රාත්‍රි ආහාර වේල සැනසිල්ලේ භුක්ති විඳීමට ඉඩ හල යුතුයි” යැයි සඳහන් කල කතුවැකියක් පලකරමින්, තරවටුවකින් මේ පිලිබඳ සිය අදහස් දැක්වීය. “අපි සිටින්නේ විශේෂ අවස්ථාවකයි තරයේ කියා සිටිමින්, අශීලාචාර බව යුක්ති යුක්ත කරන්නන්, ඇමරිකානුවන් කීදෙනෙක් නම් තමන්ගේම විශේෂ මොහොත සොයා ගනීවිදැයි යන්න ගැන මොහොතක් සිතියයුතු” යැයි යනුවෙන්ද සඳහන් කලේය. පොස්ට් හී වෙනත් කොලමක ට්‍රම්ප් කැබිනට් සාමාජිකයන් හට “දාමරිකයන්” විසින් හිරිහැර කිරීම ගැන චෝදනා කලේය.

ට්‍රම්ප්ගේ සහ ඔහුගේ සහායකයන්ගේ සංවේදීතාවන් ගැන ඩිමොක්‍රටිකයන්ට හදිසියේ කනස්සල්ලක් ඇතිවීමට හේතුව කුමක්ද?

පසුගිය වසර දෙක පුරාවට ඩිමොක්‍රටික් පක්ෂය, පොස්ට් පුවත්පත සහ නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත, 2016 එජ ජනාධිපතිවරනයට රුසියානු මැදිහත් වීම පිලිබඳව සහ ට්‍රම්ප්ගේ මැතිවරන උද්ඝෝෂනය සහ මොස්කව් අතර දුස්-සන්ධානය පිලිබඳව චෝදනාවන් කේන්ද්‍ර කරගනිමින් ට්‍රම්ප්ට එරෙහිව කට්ටිවාදී යුද්ධයක් ගෙන ගියේය. විශේෂ නීතීඥයකු පත් කර ඇති අතර, ට්‍රම්ප් ගේ මැතිවරන උද්ඝෝෂන කලමනාකරු සිර ගත කරද, ඔහුගේ නීතීඥයාගේ කාර්යාලය සහ නිවාස එෆ්බීඅයි ය විසින් වැටලීම් කරද ඇත. ඒ සියල්ලට අමතරව, නිල් චිත්‍රපට තාරකාවන් හා ගනිකාවන් සම්බන්ධ ලිංගික සෝලියක්ද මාධ්‍ය විසින් එකතු කර ඇත. ගැටුමේ ස්වභාවය සමග සැලකිල්ලට ගත්විට- පාලක ප්‍රභූව තුල විදේශ පිලිවෙත සම්බන්ධයෙන් ඇති ආරෝව වටා කේන්ද්‍රගත වුන මාලිගා කුමන්ත්‍රනයක් - ප්‍රචාරය කිරීම සදහා පිලිකුල්සහගත බවින් වැඩි යයි සලකා ගත හැකි කිසිදු චෝදනාවක් නොමැත-.

මෙම රුසියානු විරෝධී, ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂනය, දේශපාලන සංස්ථාපිථයේ කොටස් සහ පොහොසත් ඉහල මධ්‍යම පන්තිය සමග අනුනාද වෙත්දී සාමාන්‍ය මහ ජනතාව ආකර්ශනය කරගෙන නැත. එසේ නමුත් දැන්, රුසියානු විරෝධී ආඛ්‍යානය හදිසියේම, ට්‍රම්ප්ගේ ආන්ඩුව සිදු කර ඇති සැබෑ අපරාධ සම්බන්ධයෙන් වර්ධනය වන මහජන කෝපය විසින් අවලංගු කෙරී ඇත: දරුවන්ට වධහිංසා සිරගත කිරීම් පැමිනවීම; සංකේන්ද්‍රන කඳවුරු ඉදිකිරීම; නිසි නෛතික ක්‍රියාවලියට සිදු කරන තර්ජන.

ට්‍රම්ප්ගේ සහායකයන්ට එරෙහි උද්ඝෝෂකයන් ඩිමොක්‍රටිකයන් විසින් හෙලා දකින්නේ, ධනවාදයට හානියක් නැති මාවත් ඔස්සේ හැරවීමට නොහැකි ස්වයංසිද්ධ මහජන වෛරයේ කුමන හෝ ස්වරූපයකට ඔවුන් නෛසර්ගිකවම හතුරු නිසාය. යුදවාදය සහ යුද්ධය, කප්පාදුව, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වලට පහර ගැසීම වැනි මූලධර්මාත්මක ප්‍රතිපත්තිමය ප්‍රශ්නවලදී පක්ෂ දෙක වෙන් වන්නේ ඉතා සුලුවෙන්ය. ඇත්ත වශයෙන්ම ට්‍රම්ප් නිවැරදිව සඳහන් කරන ආකාරයට සහ හිටපු ජාතික ආරක්ෂාව පිලිබඳ ආරක්ෂක ලේකම් ජේ ජොන්සන් ඉරිදා (24 වනදා) පිලිගත් ආකාරයට ඔබාමාගේ පාලන කාලය තුල සංක්‍රමනික දරුවන් ඔවුන්ගේ පවුල් වලින් වෙන්කොට සිරගත කෙරුනි.

ඩිමොක්‍රටිකයන් සහ ට්‍රම්ප් ඇමරිකානු සමාජය මත ආධිපත්‍ය දරන සාපරාධී මූල්‍ය කතිපයාධිකාරීත්වයේ වෙනස් කන්ඩායම් වෙනුවෙන් පෙනී සිටියි.

ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභික මැක්සින් වෝටර්ස් ට්‍රම්ප්ගේ කැබිනට් සාමාජිකයන්ට සහ හිතවතුන්ට එරෙහි උද්ඝෝෂනයන් සඳහා කැඳවුම් කල පසු, පෙලොසි සහ ෂුමර් යන දෙදෙනා විසින්ම ඇයව හෙලා දුටුවෝය. වොර්ටස් ප්‍රතික්ෂේප කර දැමූ පොලොසිගේ කතාවෙන් විනාඩි 90 ඇතුලත ට්‍රම්ප් මෙසේ ප්‍රකාශ කරමින් ටුවිටර් පනිවුඩයක් නිකුත් කලේය:

“අසාමාන්‍ය ලෙස අඩු බුද්ධි මට්ටමක් ඇති පුද්ගලයෙක් වන මැක්සින් වෝටර්ස් සහ නැන්සි පෙලෝසි ඩිමොක්‍රටික් පක්ෂයේ මුහුනත බවට පත්ව ඇත. ඇමරිකාව නැවතත් විශිෂ්ඨත්වයට පත් කිරීමේ ව්‍යාපාරයේ ආධාරකරුවන්ට හානි කිරීමට ඇය කැඳවුම් කර තිබේ. මැක්ස් ඔබ ප්‍රර්ථනා කරන දෙය සම්බන්ධයෙන් ප්‍රවේසම්වන්න!”

දේශසීමාවේදී දරුවන් සහ මවු පියන් වෙන් කිරීමට එරෙහිව ගැඹුරින්ම උපන් මහජන විරෝධය විසින්, ට්‍රම්ප් පරිපාලනය තැතිගැන්වූ බව සම්බන්ධයෙන් සැකයක් නැත. එම විරෝධය ට්‍රම්ප් හට සිය පිලිවෙත අවසන් කිරීම සඳහා පොරොන්දු වීමට බල කලේය. නමුත් වෝර්ටර්ස් ව හෙලා දැකීම හරහා ඩිමොක්‍රටිකයන් විසින් ට්‍රම්ප් හට, සිය ෆැසිස්ට්වාදී පාර්ලිමේන්තු පරිබාහිර බලය (ඇමරිකාව නැවතත් විශිෂ්ඨත්වයට පත් කිරීමේ ව්‍යාපාරය) කොන්ග්‍රස් සභිකයෙකුට සිදු කරන තර්ජනයක් තුල බලමුලු ගන්වා ගනිමින්, නැවත ප්‍රහාරාත්මක වීම සඳහා අවස්ථාව ලබා දුන්නේය.

මෙම සම්පූර්න ජවනිකාව ඇමරිකානු දේශපාලනය ගැන ප්‍රතික්ෂේපකල නොහැකි යථාර්තයන් නිරූපනය කරයි. පාලක පන්තිය තුල ට්‍රම්ප් සහ ඔහුගේ කන්ඩායම්වාදී විරුද්ධවාදීන් අතර බෙදීම් කොතරම් අමිහිරි වුවද, ඔවුන් යෙදී ගෙන සිටින්නේ හිටපු ජනාධිපති ඔබාමා සඳහන් කල පරිදි, “අභ්‍යන්තර පොරකෑමක්” තුලය. ප්‍රති විපාක වලින් තොරව යුද අපරාධ වල යෙදී ගැනීමට හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වල යෙදී ගැනීමට හෝ රාජ්‍යයට පවතින හැකියාව පිලිබඳ වැනි, මූලික පන්තිමය වැදගත් කමක් දරන්නා වූ කාරනා පිලිබඳව, පාලක ප්‍රභූ වේ සියලු පාර්ශ්වයන්, කම්කරු පන්තියට එරෙහිව එකමුතුය.

ට්‍රම්ප් සිය ෆැසිස්ට්වාදී පදනම ධෛර්යමත් කිරීම සඳහා සියලු අවස්ථාවන් යොදා ගනිත්දී ඩිමොක්‍රටිකයන් දිවි ගෙවන්නේ, ඔවුන්ගේ සුරතල් ප්‍රශ්න වන ලිංගිකත්වය සහ යුද පිලිවෙත වෙනුවට විප්ලවවාදී ප්‍රශ්න වටා කේන්ද්‍රගත වූ ව්‍යාපාරයක් පහල සිට වර්ධනය වේයැයි යන සදාතනික භීතියෙනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පසුගිය ජුනි මාසයේ “ මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂිංටනයේ දේශපාලන අර්බුදය සහ කම්කරු පන්තියේ මූලෝපාය” යන සිය ප්‍රකාශනයේ පැහැදිලි කල ආකාරයට රාජ්‍යයෙන් ට්‍රම්ප් හට එන විරෝධය සහ ජනතාවගෙන් ට්‍රම්ප්ට එරෙහිව එන විරෝධය සම්පූර්නයෙන්ම එකිනෙකට වෙනස් ව්‍යාපාර දෙකකි. ඉන් එකක් ඉහලින් එන අතර අනෙක පහලින් පැමිනෙන්නේ රැඩිකල් ලෙස වෙනස් උපක්‍රම, ඉලක්ක සහ චේතනාවන් සහිතවය.

ඩිමොක්‍රටිකයන්ගේ මාලිගා කුමන්ත්‍රන වලට එරෙහිව පන්ති අරගලයේ ක්‍රම පිහිට විය යුතුය. ට්‍රම්ප් පරිපාලනයේ යුදකාමීත්වය සහ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට සිදු කරන එහි ප්‍රහාරයට එරෙහිව සටන් කිරීමට ඇති එකම මග කම්කරු පන්තිය, ට්‍රම්ප්ම අනිටු ප්‍රකාශනයක් වන ධනපති පද්ධතිය, පෙරලා දැමීම ඉලක්ක කරගත් සමාජවාදී මූලෝපායක පදනම මත බලමුලු ගැන්වීමයි.

අන්ද්‍රේ ඬේමන්

Share this article: