තමන් සමග ම යුද්ධයේ නිරත නැටෝව, ලෝකය සමග යුද්ධය සඳහා යලි සන්නද්ධ වෙයි

NATO, at war with itself, rearms for war with the world

2018 ජූලි 13

පසුගිය මාසයේ ධවල මන්දිරය මගින් දියත් කරන ලද ජාත්‍යන්තර වෙලඳ යුද්ධයේ වැඩීම මධ්‍යයේ, විශේෂයෙන් ම ජර්මනිය ඇතුලු වොෂින්ටනයේ මිලිටරි සගයන් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ගැඹුරු වන ආතතීන් මේ සතියේ නැටෝ සමුලුව පිලිබඳ මාධ්‍ය ආවරනයන් මත ආධිපත්‍යය දැරී ය.

තම “අපරාධකාරී” නැටෝ සගයන් හට, වඩා වැඩි මිලිටරි වියදම් දරන ලෙස ට්‍රම්ප් විසින් කරන ලද මාෆියා සාමාජිකයෙකුගේ වර්ගයේ ඇනවීම් විසින් කුලුගන්වන ලද බෙදීම් ප්‍රදර්ශනය කිරීම් තිබිය දී ම, මහජන යටිතල පහසුකම් අතුගා දැමීම සහ කම්කරු පන්තියේ සමාජ තත්ත්වයට ප්‍රහාර එල්ල කිරීම මගින් ගෙවීමේ අපේක්ෂාවෙන්, යෝධ මිලිටරිමය ප්‍රතිසන්නද්ධ වීමකට ඇති කැපවීම සියලු නැටෝ සාමාජිකයෝ යලි තහවුරු කල හ.

“සහකරුවන් බිලියන ගනන් කපා හරිමින් ගතකල වසර කිහිපයකට පසු, දැන් ඔවුන් බිලියන ගනන් එකතු කරමින් සිටී” යයි සමුලුව අවසානයේ දී නැටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කලේ ය. පසුගිය වසර එකහමාර පුරා, “යුරෝපීය සගයන් හා කැනඩාව ඔවුන්ගේ ආරක්ෂක වියදම්වලට අතිරේක ඩොලර් බිලියන 41ක් එකතු කර ඇතැ”යි ඔහු පාරම්බෑවේ ය.

සමුලුවේ වඩාත් ක්ෂනික හා නිසැක ප්‍රතිඵලයක් වූයේ, මොහොතක දැනුම් දීමකින් රුසියාවට හෝ වෙනත් ඕනෑම රටකට පහර දීම සඳහා, ඉහලින් ම සූදානම් මිලිටරි හමුදාවන් සංඛ්‍යාව ප්‍රසාරනය කිරීමට වන නැටෝවේ සැලැස්ම යි. “දින 30ක් හෝ අඩු කාලයක් සඳහා සූදානම් වීමට හැකියාව ලබා දෙන ප්‍රධාන නාවික සටන්කරුවන් 30ක්, බර හෝ මධ්‍යම උපාමාරු බලඇනි 30ක් හා චාලක ගුවන් හමුදා ඒකක 30ක් සහකරුවන් විසින් අමතර ව ලබාදෙන” බව සමුලු යෝජනාව ප්‍රකාශයට පත්කලේ ය.

රුසියාවේ දෙවන විශාලතම නගරය වන සාන්ත පීටර්ස්බර්ග් සිට සැතපුම් සිය ගනනක් ඇතුලත පිහිටුවන “ජාතික ස්වදේශ ආරක්ෂක හමුදාවන් සමගින් ක්‍රියාත්මක විය හැකි, සන්ධානය විසින් සපයන භටයන් 4,500කට වැඩි ප්‍රමානයක්” ඇතුලු “එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව හා පෝලන්තය තුල සටනට සූදානම් බලඇනියක තරමේ බහුජාතික සටන් කන්ඩායම් හතරක්” දියත් කිරීමට නැටෝව ගන්නා ආරම්භකත්වය, යෝජනාව විසින් යලි තහවුරු කලේ ය.

නව අනදෙන මූලස්ථාන දෙකක් නිර්මානය කිරීමට සමුලුව වැඩිදුරටත් එකඟ විය. ඉන් එකක්, “අන්තර්-අත්ලාන්තික සන්නිවේදනය ආරක්ෂා කිරීමේ අරමුනින්” වර්ජිනියාවේ නෝෆෝක්හි පිහිටුවන අතර, අනෙක, “යුරෝපය තුලට හා යුරෝපය හරහා ද යුරෝපයෙන් පිටතට ද භටයන් හා උපකරන ක්ෂනික ව ගෙනයාමට සහයෝගය ලබාදීම සඳහා පසුපස ප්‍රදේශයේ මෙහෙයුම්වල හා ඒවායේ සංගතික භාවය හා ක්‍රියාන්විත නිදහස තහවුරු කිරීමට” ජර්මනියේ පිහිටැවෙනු ඇත.

“න්‍යෂ්ටික අවි පවතින්නේ යම්තාක් කල් ද එතෙක් නැටෝව න්‍යෂ්ටික සන්ධානයක් ලෙස පවතිනු ඇත. විශේෂයෙන් ම එක්සත් ජනපදයේ හමුදා ඇතුලු සන්ධානයේ මූලෝපායික හමුදා, සහකරුවන්ගේ ආරක්ෂාව පිලිබඳ ඉහල ම සහතිකය යි” යනුවෙන් ප්‍රකාශ කරමින් නැටෝවේ න්‍යෂ්ටික අවි ගබඩාව ප්‍රසාරනය කිරීම, සමුලු යෝජනාව විසින් යලි තහවුරු කරයි.

මැසිඩෝනියාව, යුක්රේනය හා ජෝර්ජියාවට රුසියානු-විරෝධී සන්ධානයට එක්වන ලෙස ආරාධනා කිරීම සඳහා නැටෝවට පවතින සැලසුම් අවධාරනය කරමින්, එහි පෙරදිග කරා වන ප්‍රසාරනය දිගටම පවත්වාගෙන යාමට යෝජනාව වැඩිදුරටත් සපථ කලේ ය.

යුරෝපය සිසාරා යන යෝධ මිලිටරි ගොඩනැංවීමට ගෙවනු ලබනු ඇත්තේ, සමාජ ආරක්ෂන ජාලයන් බිඳදමමින් හා ප්‍රන්ස ජනාධිපති එම්මෑනුවෙල් මැක්රොන්ගේ ආන්ඩුව ප්‍රමුඛත්වය දී කරන්නාක් මෙන්, රාජ්‍ය අංශ කම්කරුවන්ගේ වැටුප් හා ප්‍රතිලාභ කැපීම් හා රාජ්‍ය වත්කම් පුද්ගලීකරනය කරමින් කම්කරු පන්තිය මත ප්‍රහාර වැඩිදියුනු කරමිනි.

යුරෝපීය මිලිටරි පිරිවැය වැඩි කිරීම සඳහා තම ඇනවීම්, චීනය හා එක්සත් ජනපදය ලඟට ලොව තුන්වන විශාලතම අපනයනකරුවා වන ජර්මනිය සමග එක්සත් ජනපදයේ වෙලඳ ශේෂය වැඩිදියුනු කරගැනීම ඉලක්ක කරගත් ඔහුගේ මූල්‍යවාදී ආර්ථික පිලිවෙත්වලින් වෙන් කල නො හැකි බව ට්‍රම්ප් පැහැදිලි කලේ ය.

ජර්මනිය විසින් රුසියාවෙන් ස්වාභාවික වායු මිලට ගැනීම ගැන ට්‍රම්ප් කල හෙලාදැකීම් සමුලුවේ කේන්ද්‍රීය මාතෘකාවක් බවට පත් විය. එක්සත් ජනපදයෙන් කරන ආනයන මෙන් දෙගුනයක් එරටට අපනයනය කරන ජර්මනිය, ට්‍රම්ප්ගේ දැක්මට අනුව, එක්සත් ජනපද මිලිටරියේ “ආරක්ෂාව” ලැබීමට නම්, වැඩි මුදලකට එක්සත් ජනපදයෙන් ස්වාභාවික වායූන් මිලට ගත යුතු ය.

“දෘඪ” බ්‍රෙක්සිට් (බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් පූර්න ලෙසම ඉවත් වීම) සඳහා සහයෝගය දෙමින් ජූලි 12දා ඔහු නිකුත් කල ප්‍රකාශය මෙන් ම, ජර්මනිය සමග ඔහුගේ වෙලඳ ගැටුම් හරහා ඔහු දැනුවත් ව ම උත්සාහ දරන්නේ, යුරෝපා සංගමය අස්ථාවර කිරීමට යි. යුරෝපා සංගමය තුල ප්‍රධාන බලය වන ජර්මනිය සමග වන ජාතික ප්‍රතිමල්ලවතාවන්ට ආවරනයකට වැඩි දෙයක් නො වන, “බ්‍රසල්ස් නිලධරය” හෙලාදැකීම්වලට භාජනය කර ඇති යුරෝපා සංගමය පිලිබඳ සංශයන් සහිත (යුරෝස්කෙප්ටික්) දේශපාලන ව්‍යාපාර, ට්‍රම්ප් විසින් දිරිමත් කර ඇත.

එහෙත් මෙය භයානක ක්‍රීඩාවකි. නැටෝ සමුලුව ගැන කල විශ්ලේෂනයක දී, යුරෝපය වනාහි “ප්‍රතිමල්ලවතාවන් සමගින් ඉරිතලා ඇති මහාද්වීපයක්” බවට ස්ට්‍රැට්ෆෝර් වෙබ් අඩවිය අනතුරු ඇඟවූයේ ය.

“රුසියාව සමග ගනුදෙනු කිරීමේ එක්සත් ජනපද මූලෝපාය, එය යුරෝපා මහාද්වීපය මත බල තුලනය කලමනාකරනය කරගන්නේ කෙසේ ද යන්න සමග නො වෙන් කල හැකි ලෙස රැඳී පවතී” යනුවෙන් එය සඳහන් කරයි. “එක්සත් රාජධානිය සන්ධානයෙන් වෙන්වීමේ ප්‍රශ්නය තුල තදින්ම ගිලී සිටීම නිසා මහාද්වීපයේ සාම්ප්‍රදායික තුලනයේ භූමිකාව අත්කර ගැනීමට අසමත්ය. මහාද්වීපය වඩාත් හුරුපුරුදු වර්ගයේ ගැටුමකට ලුහුටා යාම වැලැක්වීම, ප්‍රන්සය හා ජර්මනිය යන අසීරු ජෝඩුවට අත්හැර දමමින් මහා යුරෝපීය බලයන්ගේ තුන්වන කකුල එමගින් ඉවතට ඇද දමයි.”

ස්ට්‍රැට්ෆෝර් මෙසේ පවසයි; “එහෙත්, ප්‍රධාන විධානය එනම්: රුසියාව හා චීනය ද ඉස්මතු වියහැකි ඕනෑම විකර්ෂනයක් ද සමග වැඩෙන තරඟය කලමනාකරනය කරගැනීමට එක්සත් ජනපදයට ඇති හැකියාව සඳහා, යුරෝපය තුල බලතුලනය පවත්වාගෙන යාම තවමත් අත්‍යවශ්‍ය ය යන්න දැකගැනීමෙන් නො වැලකී, අපහසු යථාර්ථයේ සීමාවන් හඳුනාගෙන එහි එම සීමා තුල ක්‍රියාත්මක වීම, එක්සත් ජනපද ජනාධිපතිවරයාට එක් දෙයකි. මහාද්වීපය මත ජාතිකවාදී ගිනිඅඟුරු ක්‍රියාකාරී ව දැල්වීම සහ වෙලඳ ප්‍රහාර හා ගනුදෙනුමය ආරක්ෂක තර්ජන හරහා දෝෂ සහිත සන්ධානයක් දිරිමත් කිරීම තවත් දෙයකි. පසුව කී දෙය ගින්දර සමග කරන සෙල්ලමකි.”

එහෙත්, දේශීය හා ජාත්‍යන්තර දේශපාලනය යන දෙකේ දී ම ට්‍රම්ප්ගේ මූලෝපාය “ගින්දර සමග සෙල්ලම් කිරීම” යි. අර්ධ-අපරාධකාරී දේපොල වෙලඳාම් සමපේක්ෂකයෙකුගේ සහජාසයන් ප්‍රකාශ කරමින් සිටින ට්‍රම්ප්, මිතුරන් හා හතුරන් යන දෙවර්ගය ම එක හා සමාන ව රවටයි.

“අනෙක් මිනිසුන්ගේ සීමාවන් සහජාසයෙන් වටහා ගන්නා” නිසා “ට්‍රම්ප්ට ඔහුගේ විවේචකයන් ලබා දෙන අගැයීම අබිබවා යන ලෙසින් ට්‍රම්ප් දැනුවත්යැ” යි ජූලි 12දා ෆයිනෑන්ෂල් ටයිම්ස්හි සටහනක් තැබූ එඞ්වඞ් ලූස් සඳහන් කලේ ය. “වඩාත් විෂකුරු වාචාලයා වන්නේ යටින් දිවෙන යථාර්ථය වටහා ගන්නා තැනැත්තා ය. ඇමරිකාවට යුරෝපය අවශ්‍ය වනවාට වඩා යුරෝපයට ඇමරිකාව අවශ්‍ය වන බව ට්‍රම්ප් මහතා දනී” යයි ඔහු තවදුරටත් ලියයි.

“සන්ධාන ‘බිඳදැමීම’ වොෂින්ටනයේ ගෝලීය බලපෑම අඩු කරන” අතර “විශාල පරාජිතයා වන්නේ යුරෝපය යි. එහි නොනැසී පැවැත්ම ඇමරිකාවේ සහතිකය මත රඳා පවතී.”

වෙනත් වචනවලින් කියතොත්, “අසම්ප්‍රදායික” වන ට්‍රම්ප්ගේ ක්‍රියාකාරකම්, ලෝකයේ භූදේශපාලනික හා ආර්ථික පර්යාය තුල එක්සත් ජනපදයේ ස්ථානය පිලිබඳ යම් වෛෂයික දෙයක් පිලිබිඹු කරයි. එක්සත් ජනපදයේ භූමිකාව, ගෝලීය අධිරාජ්‍යවාදයේ ප්‍රතිගාමී මුරගල ලෙස හඳුනාගනිමින්, භූදේශපාලනික පර්යායේ ස්ථාවරත්වයට කවර පිරිවැයක් දැරීමට සිදු වුවත් තම “සහකරුවන්ගෙන්” ට්‍රම්ප් “ආරක්ෂක” මුදල් ඉල්ලමින් සිටී.

ජී-7 සමුලුව කඩාකප්පල් කිරීම, යුරෝපයට හා චීනයට එරෙහි ව වෙලඳ යුද්ධය දියත් කිරීම, චීනයට එරෙහි ව උතුරු කොරියාව හරවා ගැනීම පිනිස එරට සමග සමුලුවක් පැවැත්වීම ආදිය කරමින් අවුල් සහගත ව පසුගිය මාසය ගතකල ඇමරිකානු ජනාධිපතිවරයා, රුසියාව ඉරානයට එරෙහි ව හරවා ගැනීමේ අටියෙන් ව්ලැදිමීර් පුටින් සමග හමුවක් පැවැත්වීමේ අද්දර සිටින්නේ, “මිතුරන්ගෙන්” මෙන් ම “හතුරන්ගෙන්” ද එක හා සමාන ව උපරිම වෙලඳ, ආර්ථික හා මිලිටරි ආධාර උකහාගැනීමේ එල්ලය ඇති ව සියලු ජාත්‍යන්තර සන්ධානයන් පුපුරුවා දමමිනි.

මෙම කැලඹිලිකාරී හා වියවුල් සහගත ලෝක පර්යාය, එක් දිනක නිමක් නැති සන්ධානයන් ප්‍රදර්ශනයක් පවත්වා ඊලඟ දිනයේ ඒවා විසිකර දැමූ 1930 ගනන්වල භූදේශපාලනය තරම් වෙන කිසිවක් යලි මතකයට නොනංවයි. එම කාලපරිච්ඡේදයේ, සෑම සන්ධානයක් ම නිර්මානය කරන ලද තරම් වේගයෙන් ම බිඳ දැමුනේ ලෝක යුද්ධය පුපුරා යාමට පෙරනිමිත්තක් වෙමිනි.

1930 ගනන්වල මෙන් දැන් ද, වෙලඳ යුද්ධය පුපුරා යද්දී හා යුරෝපය පුරා ෆැසිස්ට් ව්‍යාපාරයන් නැගෙමින් හා දිරිමත් කරමින් සෑම රටක් ම අන්තයට ම යලිසන්නද්ධ වී ඇත.

යෝධ යලිසන්නද්ධවීම් හා පුපුරනසුලු බෙදීම්වල සුවිශේෂී ඒකාබද්ධතාව සමගින්, නැටෝ සමුලුවේ ප්‍රතිඵලය, ලෝක යුද්ධයේ අන්තරාය තියුනු ලෙස ඉහල නංවයි. එවැනි ගැටුමක් තුල සටන් වදින්නේ කවුද, කුමන නාමමාත්‍රික හේතුව පිලිබඳවද යන්න පුරෝකථනය කල නො හැක. එහෙත්, සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමත් සමග නැටෝව “සාමකාමී” හා “ප්‍රජාතන්ත්‍රවාදී” සන්ධානයක් බවට පරිවර්තනය වනු ඇතැයි කියාපෑ සියලු දෙනා බකපන්ඩිතයන් බව හෙලිදරවු කෙරී ඇත

ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: