ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ පනස් වසර

සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගයෙන් හා විප්ලවවාදී නායකත්වයෙන් කම්කරු පන්තිය සන්නද්ධ කරනු!

Fifty years of the Socialist Equality Party of Sri Lanka
Arm the working class with the program of socialist internationalism and with revolutionary leadership!

සමාජවාදී සමානතා පක්ෂය(ශ්‍රී ලංකාව), 2018 ජුනි 16

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය හා ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය සඳහා ගෙනගිය අරගලයේ පනස්වන වසර අද දිනයෙන් සපිරෙයි. 1968 ජුනි 16-17 දෙදින පුරා කොලඹ දී පැවැත්වූ සම්මේලනයක දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ලෙස පක්ෂය ආරම්භ කරන ලදී. හජාජාකහි අනෙකුත් ශාඛා සමග 1996 දී විකොස, සසප බවට පරිවර්තනය කරනු ලැබී ය.

ලෝක කම්කරු පන්තියේ වැඩෙන නැගීටීමක් මධ්‍යයේ, කම්කරු පන්ති විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා විකොස පිහිටුවනු ලැබින. එය වනාහි ඒ වනවිට ජාත්‍යන්තර කම්කරු පන්තිය මත ආධිපත්‍යය දැරූ දේශපාලන බලවේග හමුවේ නිර්භීත වු ද ක්ෂනික ව අවශ්‍ය කෙරුනු න්‍යායිකව පදනම් වූ ද අභියෝගයක් විය: දැවැන්ත හා සර්ව බලධාරී යයි පෙනී ගිය ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයන්; ගොවීන් මත පදනම් වුන සන්නද්ධ අරගලය උත්කර්ෂයට නැංවූ මාඕවාදය සහ රාජ්‍යය මූලිකවූ සංවර්ධන ව්‍යාපෘති “සමාජවාදී” ලෙස ඉදිරිපත් කල හා මොස්කෝව, බෙයිජිනය හා ලෝක අධිරාජ්‍යවාදය අතර උපාමාරු දැමූ ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය ද ඇතුලු ඓතිහාසික ව පීඩිත රටවල විවිධාකාර ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර, එම බලවේගයන් විය.

මෙම සියලු බලවේගයන්හි පොදු ලක්ෂනය වුනේ, ජාතිකවාදී ක්‍රියාමාර්ගයකට ඇලී ගැලී සිටීම හා සමාජවාදී ජාත්‍යන්තරවාදය කෙරෙහි දැක්වූ අත්‍යන්ත විරුද්ධත්වය යි.

ඉතා ක්ෂනික අර්ථයකින් විකොස පිහිටුවනු ලැබුනේ, ට්‍රොට්ස්කිවාදී යයි කියාගත් හා ඒ ආසන්නය දක්වාම පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ ප්‍රමුඛ ශාඛාවක් වූ ලංකා සම සමාජ පක්ෂය (ලසසප) විසින් කරන ලද නිර්ලජ්ජිත පාවාදීමට පිලිතුරු වශයෙනි.

අවස්ථාවාදී පල්ලම් බැසීමේ වසර ගනනාවකට පසුව 1964 දී ලසසපය, තමන් නායකත්වයේ සිටි සටන්කාමී කම්කරු පන්ති ව්‍යාපාරය පාවාදෙමින් , සිංහල ජනතාවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) නායකත්වයෙන් යුත් ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු විය. අගමැතිනි බන්ඩාරනායක මැතිනිය, ලසසපයේ සහයෝගය බලාපොරොත්තු වෙමින්, අර්බුද ග්‍රස්ත ධනපති පන්තියට පැහැදිලි කලේ, “කම්කරු නායකයින්” ආන්ඩුවට ඇතුලු කර නොගන්නේ නම්, පවතින එකම විකල්පය, ඇයගේ ම වචනවලට අනුව, “ආඥාදායකත්වය” හා කම්කරුවන්, “තුවක්කුව හා බයිනෙත්තුව යොදාගෙන වැඩට දැක්කීම යි.”

ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු වූ ට්‍රොට්ස්කිවාදී යයි කියා ගත් පලමු පක්ෂය වූ ලසසප, නොනවතින විප්ලව ක්‍රියාමාර්ගය සමග පැවති සෑම හා සියලු සබඳතාවක් ම අත්හැර දැමී ය. 1947-48 සමයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සිය දකුනු ආසියානු අධිරාජ්‍යය මත දේශපාලන ග්‍රහනය නිල වශයෙන් අත්හල විට ට්‍රොට්ස්කිවාදීහු, එම “නිදහස” ව්‍යාජයක් ලෙසත් ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව වර්ගවාදී-ප්‍රජාගන පදනමකින් බෙදා වෙන්කිරීම ඓතිහාසික අපරාධයක් ලෙසත් හෙලාදුටහ. යටත් විජිත ධනේශ්වරයේ එදිරිවාදී කන්ඩායම් වෙත බලය මාරු කිරීම, වඩ වඩා කැරලිකාරී වූ කම්කරු පන්තිය මර්දනය කිරීම සහ ඉඩම් හිමිකාරීත්වය, කුලවාදය හා අනේකවිධ වැඩවසම් සුන්බුන් විප්ලවවාදීව පෙරලා දැමීම වැලැක්වීම ඉලක්ක කරගත්, හුදෙක් අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ ආකෘතිය වෙනස් කිරීමක් පමනක් විය.

වර්ගවාදය කම්කරු පන්තිය බෙදාලීමේ ආයුධයක් යයි අනතුරු අඟවමින්, එවකට කම්කරු පන්තියේ විශාලතම කොටස වූ දෙමල කතා කරන වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධ වූයේ ට්‍රොට්ස්කිවාදීන් පමනි.

එහෙත් 1960 ගනන් මුල වනවිට ලසසප, මුලුමනින් ම ප්‍රතිවිරුද්ධ ඉදිරි දර්ශනයක් වැලඳ ගනිමින් සිටියේ ය. ඒ වනවිට ඔවුන් කියාසිටියේ, රාජ්‍ය රාමුව ඇතුලත හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරන සහ ධනේශ්වර ශ්‍රීලනිපය හා අනෙකුත් විසකුරු සිංහල වර්ගවාදීන් සමග සන්ධානගතව සමාජවාදය සාක්ෂාත් කරගත හැකි බව යි.

1964 “මහා පාවාදීමෙන්” පසුව, අලුතෙන් පිහිටුවාගත් විප්ලවකාරී ලසසප ද ඇතුලු, ලසසපය තුල හා ඒ වටා සිටි බොහෝ දෙනා, එහි ප්‍රතිසංස්කරනවාදී පාර්ලිමේන්තු දේශපාලනයට විරුද්ධ බව කියා සිටියහ. එහෙත් ඔවුන් එලෙස කලේ නොගැඹුරු හා අත්‍යන්තයෙන් ජාතිකවාදී වූ පදනමක් මත ය.

විකොස හා පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි සටන

වියට්නාම් යුද්ධයෙන් හා විජිතහරනය තුලින් මහජනයා මුහුන දුන් කිසිදු ප්‍රශ්නයක් විසඳීමට අසමත් වීම හමුවේ රැඩිකලීකරනය වූ ද ලසසප පවාදීමේ මූලයන් හා අර්ථභාරය සහ ආසියාවේ ද සමස්ත ලෝකය පුරා ද විප්ලවවාදී කම්කරු පක්ෂ ගොඩනැගීම සඳහා එහි පාඩම් උකහා ගැනීම පිනිස ද හජාජාක බලපෑම හා මගපෙන්වීමෙන් දුරදිග යන නිගමනයන් උකහා ගත් තරුනයන් කන්ඩායමක් විසින් විකොස ආරම්භ කරන ලදී.

1970 ගනන්වල විකොස පැවැත්වූ විරෝධතාවක කොටසක්

ලසසපයේ දේශපාලන පරිහානියේ ද එය ධනේශ්වර පාලනයේ වඩාත් ම වැදගත් සමාජ මුක්කුව බවට පත්වීමේ ද මුල් තිබුනේ, පලල් සමාජ ක්‍රියාවලීන් තුල ය: එනම්, ධනවාදයේ තාවකාලික ප්‍රතිස්ථාපනයට ප්‍රතිචාර ලෙස, හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමේ දී ම තහවුරු කොට තිබූ ස්ටැලින්වාදය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී ගුනාංගීකරනය අත්හැර දැමූ, විප්ලවවාදී කම්කරු පන්ති නායකත්වය සඳහා අරගලය ප්‍රතික්ෂේප කල හා “සමාජවාදය” ගොඩනැගීම සඳහා අනෙකුත් සමාජ බලවේගයන් වෙත යොමු වූ සුලුධනේශ්වර දියකරහැරීම්වාදී ප්‍රවනතාවක් හතරවන ජාත්‍යන්තරය තුල ඉස්මතු වීම යි.

මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩල් විසින් නායකත්වය දුන් මෙම ප්‍රවනතාව, “සැබෑ මහජන ව්‍යාපාරය” සමඟ ඒකාග්‍ර වීමේ නාමයෙන්, හතරවන ජාත්‍යන්තරයේ ජාතික ශාඛා ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ තුලට ද ආසියාව තුල ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර “වමට” තල්ලු කිරීමේ අරමුනෙන් ඒවා තුලට දියවී යාම උදෙසා ද පෙනී සිටියේ ය.

පැබ්ලෝවාදී දියකරහැරීම්වාදයට විරුද්ධ ව ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගය හා නොනවතින විප්ලවයේ මූලෝපාය ආරක්ෂා කිරීම සඳහා 1953 දී හජාජාක ආරම්භ කරනු ලැබී ය.

ක්‍රෙම්ලින් ස්ටැලින්වාදී නිලධරය හා එහි අංකුර කොමියුනිස්ට් පක්ෂවල අපේක්ෂිත විප්ලවවාදී භූමිකාව හා ඒවායේ “ස්වයං-ප්‍රතිසංස්කරනය” ගැන පැබ්ලෝ හා මැන්ඩල්ගේ අතිශයෝක්ති ප්‍රකාශයන්ට තමන් විරුද්ධ බව ලසසපය කියා සිටියේ ය. එහෙත්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සාධර්මික ට්‍රොට්ස්කිවාදීන් ගෙනගිය අරගලය, වඩ වඩාත් පන්ති සම්මුතිවාදී වෙමින් තිබූ තමන්ගේ ම දේශපාලනය කපාගෙන යතැයි බිය වූ ලසසප, හජාජාක හා එක්වීම ප්‍රතික්ෂේප කලේ ය.

ඉන්පසු කොලඹ හා පැරීසිය අතර අවස්ථාවාදී ක්‍රියාකාරී සබඳතාවක් වර්ධනය වූ අතර, එහි දී ලසසපය පැබ්ලෝ හා මැන්ඩල්ගේ ව්‍යාජ හතරවන ජාත්‍යන්තරයට සහයෝගය පල කලේ, ලසසපය පාර්ලිමේන්තුවාදය හා වෘත්තීය සමිතිවාදය කරා ලුහුටා යාමට ද කම්කරු පන්තිය බේද කරමින් ධනේශ්වර පාලනයට ගැටගැසීම සඳහා ධනේශ්වරය විසින් සිංහල ජනතාවාදය දිරිමත් කිරීමේදී ඊට අනුගත වීමට ද ඉහත කී ජාත්‍යන්තරය දේශපාලන ආවරනය සම්පාදනය කල තතු තුල ය.

1963 දී නිර්ධන පන්ති පක්ෂයකින් හෝ නිර්ධන පන්ති විප්ලවයකින් තොර ව, සමාජවාදය ගොඩනැගිය හැකි යයි කියුබානු විප්ලවය විසින් සනාථ කර ඇති ය යන කියාපෑමේ පදනම මත “හතරවන ජාත්‍යන්තරය යලි එක්සත්” කරද්දී, එක්සත් ලේකම් මන්ඩලයේ පැබ්ලෝවාදී නායකයෝ, ඔවුන්ට ගොඩනැගීමට අවශ්‍ය “මහජන ට්‍රොට්ස්කිවාදී පක්ෂවලට” උදාහරනයක් ලෙස ලසසපය හුවා දැක්වූ හ.

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය වාත්තු කිරීම -එනම්, එය සූරාකනු ලැබීමේ අවයවයක සිට නව සමාජ පර්යායක නායකත්වය දක්වා පරිවර්තනය කිරීම- පැබ්ලෝවාදයටත් සියලු ආකාරවල ජාතික අවස්ථාවාදයන්ටත් එරෙහි දෘඪතර දේශපාලනික හා න්‍යායික අරගලයක් හා බැඳී තිබෙන බව විකොස ආරම්භ කල පුද්ගලයෝ හඳුනා ගත් හ. නැතහොත් ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ජේම්ස් පී. කැනන් කී පරිදි “සමාජවාදය සඳහා අරගලයෙන් දහයෙන් පංගු නවයක් ම, පක්ෂය ද ඇතුලු ව කම්කරු සංවිධාන තුල ධනේශ්වර බලපෑමට එරෙහි අරගලය යි.”

විකොස ආරම්භක සම්මේලනය

1968 ජුනි මාසයේ ආරම්භක සමුලුව, විකොස, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලයට කැපවූ කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයක් ලෙස පැහැදිලි ව අර්ථදැක්වී ය.

සම්මේලනය යෝජනා තුනක් සම්මත කලේ ය. එය හජාජාක ශාඛාවක් ලෙස විකොස ගොඩනැගීමට සපථ කලේ ය. පන්ති අරගලයේ ජාත්‍යන්තර ස්වභාවය, එම නිසා ජාත්‍යන්තර පක්ෂයක අවශ්‍යතාව, ස්ටැලින්වාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිවිප්ලවවාදී යයි හතරවන ජාත්‍යන්තරයේ ගුනාංගීකරනයෙහි නිරවද්‍යතාව සහ “සියලු ආකාර සංශෝධනවාදයන්ට එරෙහි සම්මුති විරහිත අරගලය” හා පන්ති අරගලය තුල “උපරිම” මැදිහත් වීම අතර “වෙන් කල නො හැකි” සබඳතාව එමගින් අවධාරනය කලේ ය.

1968 මැයි-ජුනි ප්‍රන්ස කම්කරු පන්තියේ විප්ලවවාදී නැගිටීමට ආචාරය පුදකල දෙවන යෝජනාව, ඩි ගෝල් තන්ත්‍රය හා ප්‍රන්ස ධනවාදය ගලවා ගැනීම පිලිබඳ ව ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට චෝදනා කලේ ය. බටහිර යුරෝපය තුල විප්ලවවාදී අරගලයන්හි ආරම්භය සනිටුහන් කල “මෙම යෝධ අරගලය, විප්ලවයේ කේන්ද්‍රය, යටත් විජිත හා අර්ධ විජිත වෙතට මාරු වී ඇති බව හා මහජන පීඩනය යටතේ ස්ටැලින්වාදීන් විප්ලවවාදීන් බවට පරිවර්තනය වෙතැයි යන පැබ්ලෝවාදී සංශෝධනවාදී න්‍යායන් කුඩු පට්ටම් කර ඇතැ” යි ප්‍රකාශ කලේ ය.

තුන්වන යෝජනාව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහි වියට්නාම් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ අරගලයට සහයෝගය පලකලේ ය. අව්‍යාජ ජාතික විමුක්තිය ලඟා කරගත හැක්කේ, ලෝක අධිරාජ්‍යවාදය පෙරලා දැමීමෙන් පමනක් බව අවධාරනය කල එය, ඒ සඳහා යුරෝපයේ, උතුරු ඇමරිකාවේ මෙන් ම ආසියාවේ ද කම්කරු පන්තිය බලමුලුගැන්විය යුතු යයි කියා සිටියේය.

ලසසපය ද දැන් එහි සමීප සගයා වන ලංකා කොමියුනිස්ට් පක්ෂය (ලංකොප) ද විසින් “පලමුව සිංහල ” ප්‍රතිපත්ති වැලඳගැනීමේ ගැඹුරු ප්‍රතිගාමී ගම්‍යයන් ගැන ආරම්භක සම්මේලනය අනතුරු ඇඟවී ය. “සිංහල බෞද්ධ ආඥාදායකත්වයක්” සඳහා “සුදුසු වාතාවරනයක් සභාගවාදී කඳවුර (ශ්‍රීලනිප-ලසසප-ලංකොප) විසින් ගෙනයන ජාතිකවාදී උද්ඝෝෂනය මගින් සූදානම් කර ඇතැයි” සම්මේලනය අනාගත වක්තෘත්වයෙන් යුතුව අනතුරු ඇඟවී ය.

සියල්ලටත් වඩා, හජාජාක ද එහි විප්ලවවාදී ඉදිරිදර්ශනය ද සමඟ සම්මේලනයේ බද්ධ වීම මගින්, ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා පීඩිතයන් අතර නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය සඳහා සටන පුනර්ජීවනය කලේ ය. අධිරාජ්‍යවාදී යුගයේ දී, ප්‍රමාදවූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල නොවිසඳුනු ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් විසඳිය හැක්කේ, කම්කරු පන්තිය නායකත්වය දෙන සමාජවාදී විප්ලවයක් හරහා පමනක් බව අවබෝධ කරගැනීම එයට ඇතුලත් විය.

මෙයට අනුකූල ව, ධනවාදයේ පශ්චාත් යුදකාලීන ප්‍රතිස්ථාපනයේ කොටසක් ලෙස නිර්මානය කරන ලද ජාතික රාජ්‍ය රාමුවේ ප්‍රතිගාමී ස්වභාවය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී ගුනාංගීකරනය යලි තහවුරු කල විකොස, දකුනු ආසියාවේ ද අවසන් වසයෙන් ලෝකය පුරා ද සමාජවාදී විප්ලවයේ වර්ධනයෙන් ස්වාධීන හා වෙන්වුනු ශ්‍රී ලාංකික විප්ලවයක් පිලිබඳ ඕනෑම ජාතිකවාදී සංකල්පයක් ප්‍රතික්ෂේප කලේ ය.

ශ්‍රී ලංකාවේ ධනපති පාලනය බේරාගැනීමේ ලසසප භූමිකාව, ලෝකය පුරා සිදු වූ දේවල පූර්වාදර්ශයක් හා සමාන්තරයක් විය.

පශ්චාත් දෙවන ලෝක යුද්ධ ධනවාදී උත්පාතය බිඳ වැටුනු තතු තුල, 1968 හා 1975 අතර සමයේ කම්කරු පන්තිය ගෝලීය විප්ලවවාදී ප්‍රහාරයක් දියත් කලේ ය. විකොස ආරම්භක සම්මේලනය පෙරදුටු පරිදි, 1968 මැයි-ජුනි ප්‍රන්ස මහා වැඩ වර්ජනය නැගිටීම් දාමයක පෙරමුන ගත්තේ ය. මේ අතරට, 1969 ඉතාලියේ “උනුසුම් ගිම්හානය”, 1974 දී බ්‍රිතාන්‍යයේ හීත්ගේ කොන්සවැටිව් ආන්ඩුව ඇදහෙලූ පතල් කම්කරු වර්ජනය හා ග්‍රීසියේ හා පෘතුගාලයේ ෆැසිස්ට් තන්ත්‍ර ඇදවැටීම ඇතුලත් විය.

එහෙත්, ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල ප්‍රතිවිප්ලවවාදී භූමිකාව හේතුවෙන් ප්‍රහාරය දරා ගැනීමට අධිරාජ්‍යවාදය අවසානයේ සමත් විය. කම්කරු පන්තියේ විප්ලවවාදී අභිලාෂයන් මර්දනය කිරීමේ දී නිලධාරිවාදී “කම්කරු පක්ෂවලට” සෑම හැරීමක දී ම සහයෝගය දුන් පැබ්ලෝවාදීහු, හජාජාක හුදකලා කිරීමට ක්‍රියාකරමින් හා කම්කරු පන්තිය විප්ලවීය ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගයක් වෙත ප්‍රවේශ වීම අවහිර කරමින් ක්‍රමානුකූල ව මිථ්‍යාවන් දිරිමත් කල හ.

1964 කෙටි-කාලීන සභාගයෙන් පසු 1970 සිට 1975 දක්වා “දෙවන සභාගයක්” බලයට පත් වූ අතර, එය, කම්කරු පන්තිය හා ග්‍රාමීය ජනයා සමග වඩ වඩා විවෘත ගැටුමකට පිලිපන්නේ ය. ලසසප සාපරාධී භූමිකාවට 1972 ස්වෝත්තමවාදී ව්‍යවස්ථාව උදාහරනය විය. ලසසප නායක කොල්වින් ද සිල්වා රචනා කල එය, දෙමල සුලුතරය මත වෙනස්කම් කිරීමේ රැකියා හා අධ්‍යාපන කෝටා ක්‍රමයක් පැටවූ අතර බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස ද සිංහල එකම නිල භාෂාව ලෙස ද ස්ථාපනය කලේය.

1970 ගනන්වල විකොස රැස්වීමක්

අලුතින් පිහිටුවන ලද විකොසට යෝධ අභියෝගයන් නිර්මානය කරමින් ලසසපයේ පාවාදීම සකලාකාර දක්ෂිනාංශික බලවේග දිරිමත් කලේ ය.

මහ ව්‍යාපාරික කොංග්‍රස් පක්ෂය සමග පැවති සමීප සබඳතා ද 1962 ඉන්දු-චීන දේශසීමා යුද්ධයේ දී නව දිල්ලියට දුන් විවෘත සහයෝගය ද හේතුවෙන් ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) නින්දිත ලෙස අපකීර්තියට පත් විය. එහෙත්, (ආසියාවේ බොහෝ දුරස්තවූ නමුත් සුප්‍රකට “ට්‍රොට්ස්කිවාදී” පක්ෂය ලෙස) ලසසප ඉටුකරමින් සිටි අපරාධකාරී භූමිකාවට ඇඟිල්ල දිගුකරමින් විප්ලවවාදී කම්කරුවන් හා තරුනයන් අව්‍යාජ ට්‍රොට්ස්කිවාදයෙන් ඈත් කිරීමට ස්ටැලින්වාදීන් ද විශේෂයෙන් මාඕවාදී නැක්සලයිට් ව්‍යාපාරය ද පෙරමුන ගත්තේය.

ලසසපය විසින් ශ්‍රී ලංකාව තුල කම්කරු පන්තිය දේශපාලනික ව මර්දනය කිරීම, සිංහල වර්ගවාදය සුජාත කරමින් හා තම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා කම්කරු පන්තිය වෙත නැඹුරු විය හැකි ව තිබූ දෙමල සුලුතරයේ විශ්වාසය පලුදු කරමින් වාර්ගික දේශපාලනයට නිර්බාධිත ව වර්ධනය වීමට දොර විවර කලේ ය.

සුලු-ධනේශ්වර රැඩිකල්වාදී ජවිපෙට එරෙහි විකොස අරගලය

විකොස වර්ධනයට තීරනාත්මක වූයේ, මාඕවාදය, කස්ත්‍රෝවාදය, සිංහල “දේශප්‍රේමය” හෝ වර්ගවාදයේ අච්චාරුවක් මත පදනම් ව, ශිෂ්‍යයන් හා ගොවි තරුනයන් අතර පුලුල් සහායක් දිනාගත් ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සුලු-ධනේශ්වර රැඩිකල්වාදී දේශපාලනයට විරුද්ධ ව එය ගත් මූලධර්මාත්මක ආස්ථානය යි.

විකොස ආරම්භක සම්මේලනයේ දී එහි ප්‍රධාන ලේකම් ධූරයට තෝරාගෙන තිබුනු 19 හැවිරිදි වියැති කීර්ති බාලසූරිය, 1970 දී ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය නමැති විස්තෘත මාක්ස්වාදී විවේචනයක් ලිවීය. ප්‍රතිගාමී ජාතිකවාදය සහ ජාතික ධනේශ්වරයේ “ප්‍රගතිශීලී” විභවය ගැන ද ගොවියන් මත පදනම් වන සන්නද්ධ අරගලයේ බලය ගැන ද මාරාන්තික මිථ්‍යාවන් වපුරවමින් සිටි ජවිපෙහි පැවති ඓන්ද්‍රීය කම්කරු පන්ති විරෝධය ඔහු හෙලිදරවු කලේ ය. විප්ලවවාදී දේශපාලනයේ සමස්ත සලකුන සන්නද්ධ අරගලය යයි කියා පෑ අය ප්‍රතික්ෂේප කල බාලසූරිය සහෝදරයා, “පන්තීන් හා ඒවායේ ගතිකයන් අතර අන්තර්-සබඳතාව පිලිබඳ අව්‍යාජ වෛෂයික තක්සේරුවකින් තොර ව විප්ලවය පිලිබඳ ප්‍රශ්නය ඉස්මතු කල නො හැක” යයි ලිවී ය.

1970 ගනන් මුල විකොස රැස්වීමක් අමතන කීර්ති බාලසූරිය

“වරප්‍රසාදිත” දෙමල කතාකරන වතු කම්කරුවන් හෙලාදැකීම ද සහිත ජවිපෙ සිංහල වර්ගවාදය, ෆැසිස්ට්වාදයට තුඩු දෙන්නේ යයි විකොස ප්‍රධාන ලේකම් අනතුරු ඇඟවී ය. “ජවිපෙ ලංකාව තුල ගොඩනගමින් සිටින්නේ අනාගතය තුල ෆැසිස්ට් ව්‍යාපාරයකට උපයෝගී කරගත හැකි කම්කරු පන්ති-විරෝධී ව්‍යාපාරයක්” බවට ද ඔහු අනතුරු ඇඟවී ය.

ජවිපෙ දේශපාලනය හෙලිදරවු කිරීම තුලින්, රැඩිකල් සිංහල ජනතාවාදයෙන් ද ලසසප, ලසසප (වි) ඇතුලු එයට අනුගත වූ සියලු පක්ෂවලින් ද තම පන්ති බෙදීම විකොස විසින් ගැඹුරු කලේ ය.

මෙම විප්ලවවාදී දිශානතිය ම, ඊ ලඟ වසරේ ජවිපෙ විසින් දියත් කල දේශපාලනික ව බංකොලොත් “සන්නද්ධ අරගලයකින්” පසු ජවිපෙට ද ගම්බද තරුනයන්ට ද එරෙහි ව ධනේශ්වර සභාග ආන්ඩුව විසින් එල්ල කල කුරිරු ප්‍රහාරයකට විරුද්ධ වීමට විකොසට හැකියාව ලබා දුන්නේ ය. මෙම සප්‍රතිපත්තික ආස්ථානය හේතුවෙන්, 1971 දී විකොස පුවත්පත් නීති-විරෝධී කරන ලද අතර, එක්තරා කාලයකට රාජ්‍ය ප්‍රචන්ඩත්වය යටතේ සැඟවී වැඩ කිරීමට පක්ෂයට සිදු විය. එනමුදු රාජ්‍ය මර්දනයට එරෙහි වන ලෙස කම්කරු පන්තිය අතර උද්ඝෝෂනය කල පක්ෂය, “දේශපාලන සිරකරුවන් නිදහස් කරනු” යන සටන් පාඨය මතු කලේය. අප ඒ සමයේ විස්තර කල පරිදි, ධනේශ්වරයටත් එහි රාජ්‍යයටත් එරෙහි ව ගොවීන් සමග සන්ධානයක් ගොඩනඟා ගැනීමේ කොටසක් ලෙස ගම්බද ජනයා ආරක්ෂා කිරීමට කම්කරු පන්තියට වගකීමක් තිබුනි.

1978 දී බන්ධනාගාරයෙන් නිදහස් වූ ජවිපෙ නායක රෝහන විජේවීරට, විකොස ආරක්ෂක උද්ඝෝෂනයේ වැදගත් කම පිලිගැනීමට බලකෙරුනු අතර ඔහු විකොස කාර්යාලය වෙත පුද්ගලිකවම පැමින ඒ වෙනුවෙන් ස්තුතිය පල කලේය.

ධනේශ්වර ප්‍රතිප්‍රහාරය හා දෙමල-විරෝධී යුද්ධය

1968-1975 ගෝලීය කම්කරු පන්ති නැගිටීම පීලිපැන්නවීම, ආරම්භක අවධියේ සැමදා රොනල්ඩ් රීගන් හා මාග්‍රට් තැචර් යන නම් සමග බැඳී ඇති, 1970 ගනන් අග භාගයේ එල්ල කල ධනේශ්වර ප්‍රති-ප්‍රහාරයකට පදනම සම්පාදනය කලේය.

ධනේශ්වර අර්බුදයේ බර කම්කරු පන්තියේ හා ගම්බද ජනයාගේ කර මත පැටවීමට “සමාජවාදී” ශ්‍රීලනිප-ලසසප-ලංකොප හවුල දැරූ ප්‍රයත්නයන්, ජේ. ආර්. ජයවර්ධනගේ විවෘත දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ආන්ඩුවකට බලයට ඒමට මග සකස් කලේ ය. ගෝලීය ප්‍රාග්ධනය විසින් නිර්බාධිත ව ශ්‍රී ලංකාව සූරාකෑමට විවෘත කල එම ආන්ඩුව, රාජ්‍ය සේවකයින්ගේ 1980 මහා වැඩ වර්ජනය බි ඳ , වැඩෙන සමාජ ආතතීන් හා කෝපය ප්‍රතිගාමී දිශාවන් ඔස්සේ හරවා යැවීමට සිංහල වර්ගවාදය උපයෝගී කර ගත්තේ ය. මෙම ක්‍රියාදාමය එහි හිනිපෙත්තට ලඟා වූයේ කොලඹ පාලක පන්තිය දෙමල සුලුතරයට එරෙහි ව 1983 දී සිවිල් යුද්ධයක් දියත් කිරීමෙනි.

ඊ ලඟ විසිපස් වසර පුරා දිවයිනේ දේශපාලන ජීවිතය මත ආධිපත්‍යය දැරීමට නියමිත වූ යුද්ධයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලුගැන්වීමට සටන් වැදුනේ විකොස/සසප පමනි. දෙමල බහුතරයක් ජීවත් වන උතුරු හා නැගෙනහිරින් කොන්දේසි විරහිත ව සියලු ආරක්ෂක භට හමුදා ඉවත් කරන ලෙස බලකල එය, සමස්ත කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට පහර දීමට යුද්ධය ඉවහල් කර ගන්නේ කෙසේදැයි හෙලිදරවු කලේ ය.

ඒ අතර ම, ශ්‍රී ලංකාවේ රාජ්‍යයට හා ධනවාදයට එරෙහි ව කම්කරු පන්තියේ එකමුතුව ගොඩනැඟීමට සටන් වදිමින් එය, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) ද දෙමල ඊලම් විමුක්ති සංවිධානය (ප්ලොට්) වැනි ජාතිකවාදී සංවිධානයන්ගේ ද ජාතික-බෙදුම්වාදී ඉදිරිදර්ශනයට විරුද්ධ විය.

සහයෝගය හා තමන් ට ආයුධ සම්පාදනය කිරීමේ මූලාශ්‍රයව තිබූ ඉන්දියානු ආන්ඩුව, ඉන්දියානු ධනේශ්වරයේ භූ-දේශපාලනික අවශ්‍යතා සඳහා නරුම උපාමාරුවක් දමමින් මාවත වෙනස් කල විට, දෙමල ජාතිකවාදී ව්‍යාපාරය, අර්බුදයට ගියේ ය. ශ්‍රී ලංකාවේ අර්බුදය සමස්තයක් ලෙස ප්‍රතිගාමී දකුනු ආසියානු ජාතික රාජ්‍ය පද්ධතියට වල කපතැයි බිය වූ නව දිල්ලිය, දෙමල සටන්කාමී කන්ඩායම් වෙත දැක්වූ අනුග්‍රහය හකුලා ගත්තේ ය. මුල දී එල්ටීටීඊය ද ඇතුලු දෙමල කන්ඩායම්වල සහයෝගය ද සහිත ව 1987 ජූලියේ අත්සන් කල ඉන්දු-ලංකා ගිවිසුම යටතේ සාමසාධක හමුදාවක් ලෙස ඉන්දියානු භටයන් මෙහෙයවන ලද අතර එහි සැබෑ අර්ථය වූයේ ශ්‍රී ලංකාවේ ධනපති රාජ්‍යයේ ඒකීය භාවය තහවුරු කිරීම යි.

කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ගේ ආස්ථානයෙන් ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ වූයේ විකොස පමනි.

විකොස නායකත්වය සමග පැවති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරු ව හජාජාක “ශ්‍රී ලංකාවේ තත්ත්වය හා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දේශපාලන කර්තව්‍යයෝ” නමැති පුලුල් ප්‍රකාශනයක් නිකුත් කලේ ය. දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති ව ආසියාවේ, අප්‍රිකාවේ හා මැද පෙරදිග ස්ථාපනය කරන ලද ස්වාධීන රාජ්‍යයන්ගේ අත්දැකීම් විමර්ශනය කිරීමක පදනම මත එය මෙසේ විස්තර කලේ ය: “අධිරාජ්‍යවාදයේ අනුමැතිය ලත් ‘ස්වාධීනත්වයේ’ අර්ථය වූයේ අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍ර මූලධර්ම මාරක ලෙස උල්ලංඝනය කිරීම මත පදනම් කරනු ලැබූ අවජාතක රාජ්‍යයන් බිහි කිරීම ය. මෙම ක්‍රියා දාමයේ දී ජාතික ධනේශ්වර පන්තිය ක්‍රියා කොට ඇත්තේ පීඩිත ජනතාවගේ විමුක්ති දායකයා ලෙස නො ව අධිරාජ්‍යවාදී කොල්ලයේ කනිෂ්ඨ හවුල්කරුවා ලෙස ය. මෙම ක්‍රියාවලිය තුල දී නිර්මානය කරනු ලැබූ රාජ්‍ය වර්ගය නිෂ්පාදන බලවේගයන්ගේ ප්‍රගතිශීලී වර්ධනයක් ඇති කිරීමට අසමත් වූ කුනු වන ධනවාදයේ සිපිරි බිමක් මැ වී ය... මෙබඳු තත්වයක් තුලින් පැන නගින්නේ ධනපති පන්තියේ විකෘති ප්‍රීතියට හේතු භුත වූ අන්තර්-වාර්ගික යුද්ධයන් ය. ධනේශවර පාලනය පවත්නා තාක් මෙම තත්ත්වය වෙනස් කල නො හැකි ය. ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, බුරුමය -සත්තකින් ම ලෝකයේ සෑම පැරනි විජිත රටක ම- ඊනියා ස්වාධීනතාවෙන් පසු ඉතිහාසය විසින් තීරනාත්මකව ඔප්පු කෙරී ඇත්තේ, සැබෑ ජාතික එකමුතුවක් ස්ථාපිත කිරීමට හෝ දේශපාලන ස්වාධීනත්වය ලබා දීමට ධනේශ්වර පන්තිය අසමත් බව ය.”

කීර්ති බාලසූරිය

කොලඹ පාලනය දියත් කල වාර්ගික යුද්ධයට අශමනීය විරුද්ධත්වය යලි තහවුරු කල ප්‍රකාශනය, දෙමල ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් යථාවත් කරගත හැක්කේ සමාජවාදය සඳහා අරගලය තුලින් පමනක් බව පැහැදිලිව අවධාරනය කලේ ය. සිය ප්‍රතිමල්ලව ජාතිකවාදයන්ගේ එල්බ සිටි දෙමල හා සිංහල ධනේශ්වරයේ කන්ඩායම් දෙකට ම විරුද්ධ ව, ශ්‍රී ලංකාවේ හා දෙමල ඊලමේ සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන ඉල්ලීම එය ඉදිරියට ගෙනාවේය.

කීර්ති බාලසූරිය සහෝදරයා වැඩ කල අවසාන ප්‍රධාන ප්‍රකාශය මෙය වීම ඛේදනීය විය. 1987 දෙසැම්බරයේ කිරීටක ශ්‍යානියක් හේතුවෙන් සිදු වූ ඔහුගේ මරනය, ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තියට ලෝක සමාජවාදී විප්ලවයේ දිදුලන මූලෝපාඥයෙක් අහිමි කලේ ය. එවිට ඔහුගේ වයස යන්තම් 39කි.

ඉන්දු-ලංකා ගිවිසුමට ප්‍රතිචාර වසයෙන් නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය වර්ධනය කිරීමට හජාජාක හා විකොස කල වැඩකටයුතුවල පදනම මත, යුරෝපය තුලට සරනාගතයන් ලෙස යාමට බලකෙරුනු තරුන දෙමල සටන්කාමීන් අතර මැදිහත් වීමට විකොසට හැකි විය. මින් වඩා දුරදක්නාසුලු කොටස, දෙමල ජනතාව මත පීඩනය අවසන් කල හැක්කේ හජාජාක ඉදිරිදර්ශනයේ පදනම මත හා ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතට ගන්නා හැරීමකින් පමනක් ය යන නිගමනය උකහා ගත්තෝ ය. යුරෝපය හා දකුනු ආසියාව යන කලාප දෙක තුල ම එහි කටයුතු ශක්තිමත් කරමින් මෙම බලවේග හජාජාක වෙත බැඳුනි.

ජවිපෙ මැරයින් විසින් ඝාතනය කල විකොස සාමාජික ආර්. ඒ. පිටවෙලගේ ඡායාරූපය. 1988 දෙසැම්බරයේ ඔහු ඝාතනය කිරීමට වසරකට පෙර කීර්තිගේ අවමගුලේ දී ගත් එකකි.

මින් පසුව එලැඹි වසර කිහිපය තුල නැවත ඇරඹුනු සිවිල් යුද්ධයේ හා රාජ්‍යය, ජවිපෙ හා එල්ටීටීඊය විසින් යලි යලිත් සිදුකල ප්‍රචන්ඩ ප්‍රහාරයන් යටතේ විකොස/සසප එහි අරගලය තීව්‍ර කලේ ය. දිවයිනේ එල්ටීටීඊය වාඩිලාගෙන සිටි ප්‍රදේශ තුල ආධාරකරුවන් සමග සබඳතා පවත්වාගෙන යාම හා පක්ෂයේ ක්‍රියාමාර්ගය සඳහා උද්ඝෝෂනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, එල්ටීටීඊය විසින් රඳවා ගත් සසප සාමාජිකයන් හතර දෙනෙකු නිදහස් කරගැනීම සඳහා හජාජාක සහයෝගය සහිත ව ජාත්‍යන්තර ආරක්ෂක උද්ඝෝෂනයක් ගොඩනැගීමට හැකි වීම, ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගයේ හා විකොස විසින් ස්ථාපනය කර තිබූ සම්ප්‍රදායේ ශක්තියට දෙස් දෙයි. සිවිල් යුද්ධය අවසන් වීමත් සමග, උතුරු නැගෙනහිර විවෘත දේශපාලන වැඩකටයුතු යලි ආරම්භ කිරීමට ද ධනේශ්වරයේ සියලු කොටස් හා ඔවුන්ගේ ජාතිකවාදී-වර්ගවාදී දේශපාලනයට එරෙහි ව කම්කරු පන්තිය එකමුතු කිරීමේ අරගලය පුලුල් කිරීමට ද සසපට හැකි විය.

අවසානයේ, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ හා ඉන්දියාවේ උදවු ඇති ව, 2009 දී එල්ටීටීඊය පරාජය කොට, සිය ප්‍රතිගාමී පාලනය යටතේ දිවයින “යලි එක්සත් කිරීමට” ශ්‍රී ලංකාවේ ධනේශ්වරය සමත් විය.

සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති 2011 සසප ඉදිරිදර්ශන යෝජනාව, කුරිරු වාර්ගික යුද්ධයේ දශක තුනකට ආසන්න කාලයකට පසුව කම්කරු පන්තිය මුහුන දෙන කර්තව්‍යයන් පිලිබඳ තක්සේරුවක් සම්පාදනය කලේ ය.

යුද්ධයේ අවසානය “සාමය හා සමෘද්ධිය” ගෙන එනු ඇතැයි කොලඹ පාලනයේ ප්‍රකාශයන්හි අත්‍යන්ත ප්‍රෝඩාකාරී ස්වභාවය ගැන සඳහන් කිරීමෙන් හා කම්කරු පන්තියට එරෙහි ව පාවිච්චි කිරීම සඳහා ධනේශ්වරය යෝධ මිලිටරි-ආරක්ෂක යාන්ත්‍රනයක් නඩත්තු කරගෙන යන බවට අනතුරු ඇඟවීමෙන් පසුව, එය මෙසේ ලිවී ය: “එල්ටීටීඊයේ මිලිටරි පරාජය විසින් දිග්ගැස්සුනු සිවිල් යුද්ධයේ කිසිදු මූලික ප්‍රශ්නයක් විසඳා නැත... දශක ගනනාවක් තිස්සේ තහවුරු කරන ලද වෙනස්කම් කිරීම් පිලිබඳව දෙමල ජනතාවගේ සාධාරන දුක්ගැනවිලි හා කෝපය නව රූපයන්ගෙන් අනිවාර්යයෙන් ම පුපුරා යාමට නියමිත ය. එහෙත්, අවශ්‍ය දේශපාලන පාඩම් මින් උකහා ගත යුතු ය. එල්ටීටීඊයේ පරාජය මූලික ව ම මිලිටරිමය එකක් නො ව, එහි දේශපාලන ඉදිරිදර්ශනයේ ආවේනික දුර්වලතාවේ නිෂ්පාදිතයක් විය. මුල පටන් ම එහි ඉලක්කය වූයේ, ඉන්දියාව හෝ අනෙකුත් කලාපීය හා ලෝක බලවතුන්ගේ පිටුබලය සහිත ව, දෙමල ධනේශ්වරය වෙනුවෙන් ධනේශ්වර ඊලම් රාජ්‍යයක් තනාගැනීම යි. මෙම බලවතුන් ම තීරනාත්මක ලෙස එයට එරෙහි ව හැරුනු විට, මිලිටරි සංහාරය නතර කරන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාවට’ ආයාචනා කරන බෙලහීනයෙක් බවට එල්ටීටීඊය ලඝු විය. ශ්‍රී ලංකාවේ ධනේශ්වරයටත් එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ටත් එරෙහි ව අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලයක් දියත් කල හැකි සමාජයේ සිටින එකම බලවේගය කම්කරු පන්තිය යි. එහෙත් දෙමල හා සිංහල කම්කරුවන් පන්ති පදනමක එක්සත් කිරීමේ කිසිදු දිශාවනතියකට එල්ටීටීඊය ඓන්ද්‍රීය ව ම විරුද්ධ විය. කොලඹ සංස්ථාපිතයේ හස්තය ශක්තිමත් , සිංහල සිවිල් වැසියන්ට එරෙහි එහි සාපරාධී ප්‍රහාර, වාර්ගික බේදය ගැඹුරු කලේ ය. එල්ටීටීඊය සිය පාලනය යටතේ පැවති ප්‍රදේශවල, වැඩකරන ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් හා සමාජ අවශ්‍යතාවන් තලා දමනු ලැබී ය.”

විකොස හා හජාජාක

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ කැලඹිලිකාරී කොන්දේසි ද සාරාත්මක ව ප්‍රතිගාමී දේශපාලන වටපිටාවේ ද කොන්දේසි යටතේ, කම්කරු පන්තිය සඳහා විප්ලවවාදී මාවතක් සැකසීමටත් නොනවතින විප්ලවයේ මූලෝපාය ආරක්ෂා කොට වර්ධනය කිරීමටත් විකොස/සසප සමත් වී නම් එසේ වූයේ, හජාජාක න්‍යායික-දේශපාලනික වැඩ කටයුතුවලට එහි වූ තිරසාර කැපවීමත් ඒවාට ක්‍රියාකාරී ව සහභාගි වීමත් නිසා ය.

1950 ගනන් හා 1960 ගනන්වල පැබ්ලෝවාදයට එරෙහි ව ගෙනගිය අරගලය හේතුවෙන් ලබාගෙන තිබූ අධිකාරය, හජාජාක මත පැබ්ලෝවාදී පිලිවෙත පැටවීම සඳහා, දීර්ඝ කාලයක් තිස්සේ උපයෝගී කරගත්, බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) ජාතික අවස්ථාවාදීන් සමග සිදු වූ 1985-86 භේදයේ දී, විකොස නායකත්වය හා කේඩරය ඒකමතික ව හජාජාකට සහයෝගය දුන්නේ ය. කවිප මෙම වැඩ කටයුතුවලට, ලෙනින් ධනපති ජාතිකවාදයේ ක්ෂමාලාපයෙකු බවට හැරවීමට උත්සාහ කරමින්, “දෙමල ජාතික ප්‍රශ්නය ගැන” යන මැයෙන් 1979දී එල්ටීටීඉයේ “න්‍යායාචාර්ය” ඇන්ටන් බාලසිංහම් විසින් ලියන ලද ලිපිය පලකිරීම, එයට අනුබල දීම හා සහයෝගය දීම ද ඇතුලත් විය. අප කලින් විස්තර කර ඇති පරිදි, “මාක්ස්වාදීන් සඳහා ජාතික ප්‍රශ්නයේ වඩාත් ම වැදගත් ප්‍රතිෂ්ඨාව නම්, ‘කම්කරු පන්තියේ ස්වයං-නීර්නය’ යයි ලෙනින් අවධාරනය කර තිබූන ද බාලසිංහම් තර්ක කලේ, මාක්ස්වාදීන් දෙමල ධනේශ්වරයේ බෙදුම්වාදී අභිලාෂයන්ගේ අවිවේචනීය ආධාරකරුවන් විය යුතු බව ලෙනින් පෙන්වා දී ඇති බව යි.”

කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේ ද, 1973-1985 ඇතුලු කවිපය විසින් නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය අත්හැර දැමීම පිලිබඳ මූලික විශ්ලේෂනාත්මක ලේඛන ගනනාවකට ම, විකොස ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය ප්‍රතිපදානයන් කලේ ය.

කවිප භ්‍රෂ්ටයන්ගේ පරාජයත් සමග හජාජාකහි -එනම්, තමන්ගේ ම සංවිධානයේ- මුලුමහත් පාලනය ට්‍රොට්ස්කිවාදීන් විසින් යලි අයත් කරගත් අතර, එමගින් ඔවුන්, නොවැලැක්විය හැකි ලෙස ජාතික වාතාවරනයට අනුගත වීම සමඟ බැඳී තිබුන, පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි දශක තුනක අරගලය සාර්ථක ව අවසානයකට ගෙන ආවේ ය.

මූලික දේශපාලන හා සමාජ-ආර්ථික වෙනස්වීම් පිලිබඳ හජාජාක විශ්ලේෂනය වර්ධනය කිරීමේ දී, එහි නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදී පදනම් ශක්තිමත් කිරීම තීරනාත්මක බව ඉන් අනතුරු ව එලැඹි දශකය තුල සනාථ කෙරී ඇත. ඒවා අතරට, ලෝක ආර්ථිකයේ වර්ධනය සහ ධනවාදය ඓතිහාසික ව මුල්බැස තිබෙන ජාතික-රාජ්‍ය පද්ධතිය අතර පරස්පර විරෝධය නව ගුනාත්මක මට්ටමකට එසැවූ ධනේශ්වර ගෝලීයකරනයේ විප්ලවීය අර්ථභාරය, ගොර්බචෙව්ගේ නායකත්වය යටතේ සෝවියට් ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය ධනවාදය පුනස්ථාපනය කරා හැරීම සහ ධනේශ්වර ගැති වෘත්තීය සමිති කම්කරු පන්තිය සූරාකෑම තීව්‍ර කිරීම සඳහා කලමනාකාරීත්වයේ සංගත ගැති අත්ගෙඩි බවට පරිවර්තනය වීම ඇතුලත්ය.

1968-2018 හා නොනවතින විප්ලවයේ සනාථ වීම

සියලු දෙනා ම පාහේ වයස අවුරුදු 25ට අඩු දුසිම් කිහිපයක් වූ විකොස ආරම්භ කල අය, 1968 දී ගත් ආස්ථානයේ සම්පූර්න අර්ථභාරය අවබෝධ කරගත හැක්කේ, පසුගිය දශක පහක කාලය පෙන්නුම් කර ඇත්තේ කවරක් ද යන්නෙහි ආලෝකයෙන් පමනි.

සසප වත්මන් ප්‍රධාන ලේකම් විජේ ඩයස්, 1977 දී ඔක්තෝබර් විප්ලවයේ 60වන සංවත්සර රැස්වීමක් අමතමින්

1968 දී කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ සහයෝගය ලැබුවා වූ හා තමන් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටි පක්ෂ හා සංවිධාන, වංචනික, කම්කරු පන්තියට සතුරු හා අධිරාජ්‍යවාදයේ දෙවැනි ගනයේ ඒජන්තයන් යයි විකොස විසින් කරන ලද අවධාරනාත්මක අභියෝගයේ නිරවද්‍ය බව සනාථ කෙරී ඇත.

ක්‍රෙම්ලින් ස්ටැලින්වාදී නිලධරය, එහි අවසාන පාවාදීම ලෙස රුසියාව හා අනෙකුත් සෝවියට් සමූහාන්ඩු තුල ධනවාදය පුනස්ථාපනය කල අතර, එම ක්‍රියාවලියේ අවසානය වූයේ, 1991 දෙසැම්බරයේ සෝවියට් සංගමය විසුරුවා හැරීම යි. එමෙන් ම, “තනි රටේ සමාජවාදය” අනුව ගිය මාඕ, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ සන්ධානයකට මුල පිරීය. 1972 දී “ශ්‍රේෂ්ඨ සුක්කානම්කරු” විසින් ම ජනාධිපති නික්සන් හමු වී මුද්‍රා තබා ඇති කරගත් එම සන්ධානය ඉන්පසුව පුලුල් කල ඔහුගේ අනුගාමිකයින්, චීනය ගෝලීය ප්‍රාග්ධනයේ ප්‍රධාන ලාබ-ශ්‍රම නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කල හ.

තමන්ගේ ප්‍රතිසංස්කරනවාදී වැඩපිලිවෙලවල් බොහෝ කලකට ඉහතදීම අත්හල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී හා ලේබර් පක්ෂ, කප්පාදුවේ හා අධිරාජ්‍යවාදී යුද්ධයේ පක්ෂ ලෙසින් ඉස්මතු වී ඇත.

තමන් සමාජවාදීන් ලෙස පෙනී සිටි අනේකවිධ ධනේශ්වර ජාතිකවාදී තන්ත්‍රයන් පසුගිය ශතවර්ෂ කාල ගත කර ඇත්තේ අධිරාජ්‍යවාදය ඉදිරියේ දනින් වැටෙමිනි. ඉන්දියානු ධනේශ්වරය, සිය ප්‍රධාන පක්ෂය බවට හින්දු අධිපතිවාදී බීජේපීය තෝරා ගැනීමට පෙර සිටම, ඉන්දියාව, ජාත්‍යන්තර ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රම තටාකයක් බවට පත්කිරීමේ හා ඉන්දු-එක්සත් ජනපද “ගෝලීය මූලෝපායික” හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීමේ ධාවනය සඳහා කොංග්‍රස් පක්ෂය නායකත්වය දුන්නේ ය.

සීපීඑම් හා සීපිඅයි යන ඉන්දියානු ස්ටැලින්වාදී පක්ෂ සම්බන්ධයෙන් ගත් කල, ඔවුහු නව-ලිබරල් ප්‍රතිපත්ති අනුයන ඉන්දියානු ජාතික ආන්ඩුවලට මුක්කුව දී ඇත. ඔවුන් ආන්ඩු තනා ඇති සෑම ඉන්දීය ප්‍රාන්තයක ම, “ආයෝජන-හිතවාදී” යයි ඔවුන් ම විස්තර කරන පියවරයන් ක්‍රියාත්මක කර ඇත.

ධනවාදය යටතේ අධිරාජ්‍යවාදී සූරාකෑම හා යුද්ධය දහනය කරන ක්‍රියාදාමයක් වුවත්, ලාබය සහ ධනේශ්වර ජාතික-රාජ්‍යය සඳහා කරන නිෂ්පාදනයෙන් නිදහස් කරගත හොත්, සමාජවාදය සඳහා වෛෂයික පූර්වාවශ්‍යතා නිර්මානය කර ඇත්තා වූ, වඩ වඩා ඒකාග්‍රිත ලෝක ආර්ථිකයේ වර්ධනය සමග ප්‍රතිවිරෝධී වන ජාතිකවාදී වැඩපිලිවෙලවල් හා දිශාවනතීන් තුල, මේ සියලු සංවිධානවල කුනුවීම මුල් බැස ඇත.

එම ක්‍රියාවලීන් ම ශ්‍රී ලංකාවේ දේශපාලන දර්ශන පථය ද පරිවර්තනය කර ඇත.

ශ්‍රීලනිපය සමග දශක ගනනාවක් පවත්වාගෙන ගොස් ඇති සන්ධානයේ ප්‍රතිඵලයක් ලෙස, ලසසපය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය, රාජපක්ෂ හා කුමාරතුංග වැන්නන්ට විටින් විට “වාම” මල්මාලා දැමීම සඳහා යොදාගනු ලබන හිස් කෝම්බ බවට ලඝු වී ඇත.

සිංහල ධනේශ්වරය ඉන්දු-ලංකා ගිවිසුමෙන් ඈත් වෙද් දී, විකොස ද ඇතුලු අනෙකුත් වාමාංශික පක්ෂ හා වෘත්තීය සමිතිවලට එරෙහි ව, ෆැසිස්ට්වාදී ප්‍රහාර ඇතුලු ප්‍රචන්ඬත්වය දියත් කිරීමේදී මැරවර ජනාධිපති ප්‍රේමදාස සමග සහයෝගී ව කටයුතු කිරීමෙන් පසුව ජවිපෙ, නව වටයක ප්‍රචන්ඩ රාජ්‍ය මර්දනයකට භාජනය කරනු ලැබිනි. එහෙත්, වහා ම එය ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට ඒකාග්‍ර විය.

එල්ටීටීඊයේ පාර්ලිමේන්තු හොරනෑව ලෙස ක්‍රියාකල දෙමල ජාතික සන්ධානය, දිගට ම වොෂින්ටනයේ ආශීර්වාදය හඹා යමින්, තමන්ට ඔවුන් ඒත්තු ගැන්වූ පරිදි, දෙමල ජනයාට විරුද්ධ ව කොලඹ පාලනය සිදුකල අපරාධවලට සුදුහුනු ගෑම සඳහා සිය සූදානම පලකර ඇත.

චීනය වෙත වඩා සමීප යයි සැලකුනු රාජපක්ෂගේ තැන ගැනීම සඳහා, හදිසියේ තෝරාගත් “පොදු විපක්ෂ” අපේක්ෂකයෙක් යොදාගෙන, 2105 ජනාධිපතිවරනයට වොෂින්ටනය කල මැදිහත් වීමට සහයෝගය දුන් ව්‍යාජ-වාම සංවිධානවලින් වඩාත් ම නිර්ලජ්ජිත සංවිධානය නව සම සමාජ පක්ෂය (නසසප) යි. ජනාධිපති ලෙස සිරිසේන පත්වීමත්, වික්‍රමසිංහ අගමැති ලෙස පත් කිරීමත් “ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක්” ලෙස, නසසප විසින් උත්කර්ෂයට නැංවී ය. මෙහි දී පෙර කී තැනැත්තා රාජපක්ෂගේ හෙන්චයියෙකු වීමත්, පසුව කී තැනැත්තා වාර්ගික යුද්ධය දියත් කල එජාපයේ නායකයා වීමත් ගැන නසසපට වගේ වගක් නැත. ඊටම ගැලපෙන පරිදි නසසප, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මැද පෙරදිග කරන ආක්‍රමනික මෙහෙයුම්වලට විවෘත ව සහයෝගය දී ඇති පැබ්ලෝවාදී ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව ද වේ.

ඒ අතර, ධනවාදයට එරෙහි අරගලය වඩාත් හදිසි වර්ධනයක් අත්කර ගන්නවා පමනි.

ලෝකයේ පොහොසත් ම බිලියනපතියන් අටදෙනා ලෝක ජනගහනයේ දුප්පත් ම අර්ධයට වඩා වැඩි ධනයකට හිමිකම් කියන තතු හමුවේ, සමාජ අසමානතාව පෙර නුවූ විරූ මට්ටම්වලට ලඟා වී ඇත.

ගෝලීය මූල්‍ය අර්බුදයෙන් දස වසරකට පසුව ලෝක ධනවාදය ඓතිහාසික බිඳවැටීමකට මුහුනදී සිටින අතර, එකිනෙකාට සතුරු හා ජාතිකව පදනම් වන ධනේශ්වර කන්ඩායම් විශ්වීය වශයෙන් එයට ප්‍රතිචාර දක්වන්නේ, කම්කරු පන්තියෙන් ලාබ සූරාකෑම සඳහා කඩාපැනීම තීව්‍ර කිරීමත්, ලෝක කරලියේදී, භූදේශපාලනික කුමන්ත්‍රන, වෙලඳ හා මිලිටරි යුද්ධ හරහා සිය කොල්ලකාරී අවශ්‍යතා සඳහා වඩාත් ආක්‍රමනශීලී ලෙස ලුහුබැඳීමත් ය.

මැද පෙරදිග, බෝල්කන් කලාපය හා මධ්‍යම ආසියාව තුල, විනාශකාරී නීති-විරෝධී යුද්ධ මාලාවක් හරහා තම සාපේක්ෂ ආර්ථික ශක්තියේ දැඩි පරිහානිය ජය ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය උත්සාහ කල ශතවර්ෂ කාලකට පසු, “මහා බල තරඟයේ” නව යුගයක් දැන් ප්‍රකාශයට පත්කරන වොෂින්ටනය, දැන් න්‍යෂ්ටික බලවතුන් වන රුසියාව හා චීනය මත මිලිටරි-මූලෝපායික පීඩනය ක්‍රමානුකූල ව උත්සන්න කරමින් සිටී. ජර්මනිය මුල්තැන ගෙන සිටින අනෙකුත් අධිරාජ්‍යවාදී හා මහා බලවත්තු, එය සැලකිල්ලට ගෙන යලි සන්නද්ධ වෙමින් සිටිති.

දකුනු ආසියාව හා ඉන්දියානු සාගර කලාපය මෙම වාසුලියට ඇදගනු ලැබ තිබේ. වෙලඳපොලවල් හා ලාබ සඳහා වන බලුපොරයේ කරත්තයට නැග ගැනීමට වියරු වැටී සිටින ඉන්දියානු ධනේශ්වරය, චීනයට එරෙහි එක්සත් ජනපදයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරයේ “පෙරමුනු රාජ්‍යයක්” බවට ඉන්දියාව පරිවර්තනය කරමින්, වඩ වඩා සමීප ව වොෂින්ටනය සමග පෙලගැසී ඇත. ශ්‍රී ලංකාවේ සිට කුඩා මාලදිවයින ද ඉන්දියාව හා එහි ප්‍රධාන සතුරා වන පාකිස්තානය දක්වා ද වන දකුනු ආසියාවේ සෑම රාජ්‍යයක ම දේශපාලන හා පන්ති සබඳතා, අධිරාජ්‍යවාදී හා මහා බල තරඟයේ කේන්ද්‍රීය පොරපිටියක් ලෙස කලාපයේ ඉස්මතු වීම විසින් අවුලුවාලනු ලැබ තිබේ.

ඉන්දියාවේ 120 ට වැඩි බිලියනපතියන්, ඉන්දියාවේ “නැගීම” සැමරීමට මෝදි සමග එක්වෙද්දී, බිලියන 1.3ක් වන රටෙහි ජනගහනයෙන් හතරෙන් තුන් පංගුවක් ම සිත් කම්පා කරවමින් ජීවත් වන්නේ, දිනකට ඩොලර් 2ක් හෝ ඊට අඩු ආදායමක් ලබමිනි.

කම්කරු පන්තිය සඳහා එකම සක්‍ය ක්‍රියාමාර්ගය වන්නේ, ලොව පුරා කම්කරු පන්තියේ අරගල ධනවාදයට එරෙහි ව, සමාජය සමාජවාදී ව ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන ප්‍රහාරයක් තුලට ඒකාබද්ධ කිරීමේ නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය යි. සසප හා හජාජාක ක්‍රියාමාර්ගය වන්නේ එය යි.

මෙම ක්‍රියාමාර්ගය කම්කරු පන්තියේ වෛෂයික අවශ්‍යතා සමග අනුරූපී වීම නිසා, පසුගිය දශක තුන තුල හජාජාක දැවැන්ත ලෙස ශක්තිමත් ව ඇත.

ජාතිකව පදනම් වන නිලධාරිවාදී සංවිධානවල දේශපාලන හා සංවිධානාත්මක බිඳවැටීමෙන් සලකුනු කරන පන්ති සබඳතාවල මාරුව හඳුනා ගනිමින්, 1995-96 සමයේ හජාජාක හා එහි ශාඛාවන්, පැරනි සංවිධාන හෙලිදරවු කිරීමට යොමුව සිටි ලීගයන්ගේ සිට සමාජවාදී සමානතා පක්ෂ බවට පරිවර්තනය කලේ ය. එමගින් එය, කම්කරු පන්තියට විප්ලවවාදී නායකත්වය සැපයීමේ ඍජු වගකීම බාරගත්තේය.

ඉන් දෙවසරකට පමන පසුව හජාජාක, ලෝකයේ ප්‍රථම හා වඩාත් ප්‍රකට සමාජවාදී වෙබ් අඩවිය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරම්භ කලේ ය. ලෝසවෙඅ හරහා හජාජාක, ලෝක කම්කරු පන්තියට ඉංග්‍රීසි, සිංහල, දෙමල හා අනෙකුත් භාෂාවලින් පන්ති අරගලයේ, ලෝක දේශපාලනයේ හා භූදේශපාලනයේ වඩාත් ම වැදගත් වර්ධනයන් ගැන, තම පන්ති ප්‍රතිචාරය දිශාගත කල හැකි පරිදි, දෛනික විශ්ලේෂනයක් සපයනවා පමනක් නො වේ; ජාතික හා මහාද්වීපික දේශසීමා හරහා විහිදී යායුතු හා යාහැකි අරගලයක් වන, කම්කරු පන්තියේ වර්ධනය වන ජාත්‍යන්තර අරගලයේ ඉහලම සවිඥානික ප්‍රකාශනය ලෙස හජාජාකහි වැඩ කටයුතු ඒකාබද්ධ කර ඒකාග්‍ර කිරීම ද ලෝසවෙඅ විසින් සිදුකරයි.

විප්ලවවාදී අරගලයේ නව අවධියක්

නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය ආරක්ෂා කර වර්ධනය කිරීමේ හජාජාක අරගලය, දැන්, කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරයක් සමග අන්තර්-ඡේදනය වෙමින් තිබේ. වෘත්තීය සමිති සහ ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විසින්, පන්ති අරගලය දශක ගනනාවක් තිස්සේ කෘතිම ව මර්දනය කරගෙන සිටීමෙන් පසු ලෝක කම්කරු පන්තිය, එහි පන්ති අවශ්‍යතා යලි ඉස්මතු කරමින් සිටී. 2018 වසර, එක්සත් ජනපදය, ප්‍රන්සය, ජර්මනිය, බ්‍රිතාන්‍යය හා මැද පෙරදිග තුල සටන්කාමී වර්ජන රැල්ලක් දැකගෙන ඇත.

තමිල්නාඩුවේ ඉන්දියානු බිලියනපතියෙකුට අයත් තඹ කම්හලකින් පරිසරයට විෂ එක් කිරීමට එරෙහි ව පසුගිය මාසයේ විරෝධතා දැක්වූ වැඩකරන ජනයා සංහාරය කිරීම පෙන්නුම් කල පරිදි, මෝදි ආන්ඩුව හා ඉන්දියානු පාලක පන්තිය ලැග සිටින්නේ සමාජ වෙඩිබෙහෙත් ගබඩාවක් මත ය. ශ්‍රී ලංකාවේ ද කම්කරුවන්, තරුනයින් හා ගොවීන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කර ඇති කෲර කප්පාදුව හා මහා පරිමාන පුද්ගලීකරනය ආන්ඩුව විසින් ක්‍රියාවට දැමීමට එරෙහි ව අභියෝග කරමින් සිටී.

සසප හා හජාජාක කර්තව්‍යය වන්නේ, සමාජ අසමානතාවට, දුගී බවට, ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මත පාලක පන්තියේ ප්‍රහාරයට, මිලිටරිවාදයට හා යුද්ධයට එරෙහි කම්කරු පන්තියේ විරුද්ධත්වයේ වෛෂයික තර්කනය, කම්කරුවන්ගේ බලය සඳහා අරගලය බව ඔවුන්ට පැහැදිලි කරදීම යි. ලෙනින් ඔහුගේ කලයුත්තේ කුමක් ද? යන බලගතු කෘතියේ භාවිතා කල වචන වලට අනුව, මේ සඳහා, කම්කරු පන්තිය සමාජවාදී විඥානයෙන් සන්නද්ධ කිරීම අවශ්‍ය කෙරේ.

මෙම ඉලක්කය සහිත ව, සමාජවාදය සඳහා කම්කරු පන්තියේ සටන ගෙන යාමට අවශ්‍ය විප්ලවවාදී පක්ෂය ගොඩනැඟීමේ අරගලයෙහි කොටසක් ලෙස, රැස්වීම් හා දේශන මාලාවක් පවත්වමින් ද ලිපි හා පක්ෂ නායකයන් සමග කරන සම්මුඛ සාකච්ඡා ලෝසවෙඅහි පලකරමින් ද සසප සිය පනස් වසරක අරගලය සලකුනු කරනු ඇත. කම්කරු පන්තියේ වෛෂයික විප්ලවවාදී අවශ්‍යතා පැහැදිලි කරන ක්‍රියාමාර්ගයක් හා ඉදිරිදර්ශනයක් විස්තාරනය කිරීමේ දී මූලික ප්‍රශ්න පැහැදිලි කිරීමේ ආස්ථානයෙන්, පක්ෂයේ ඉතිහාසය විමර්ශනය කිරීම මේවා මගින් කරනු ඇත.

මෙම උද්ඝෝෂනය ගොඩනගනු ඇත්තේ 1938 දී ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමෙන් 80 වන සංවත්සරය සැමරීමට හජාජාක කරන වැඩ කටයුතු හා ඒකාබද්ධ ව එහි කොටසක් ලෙස ය.

■ ශ්‍රී ලංකා ධනේශ්වරයේ සෑම කොටසකට ම එරෙහි ව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදීම සඳහා ගම්බද පීඩිතයන් තමන් වටා රැලි කරගන්නා කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනගනු!

■ ඉන්දියාවේ, පාකිස්තානයේ, බංග්ලාදේශයේ හා දකුනු ආසියාව පුරා කම්කරුවන් වෙත නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය ගෙන යනු!

■ සමාජ අසමානතාවට හා කප්පාදුවට එරෙහි සටන, අධිරාජ්‍යවාදයට හා යුද්ධයට එරෙහි ව ගෝලීය සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරගලයෙහි මුවහත කරගනු!

■ 21වන ශතවර්ෂයේ මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදයේ විප්ලවවාදී ක්‍රියාමාර්ගය, මූලධර්ම හා ඉතිහාසය ආත්මසාත්කරනය කරගෙන, ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනගනු!

Share this article: