ශ්‍රී ලංකාව: කම්කරුවන් හා සිසුන් ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමට ඉදිරිපත්වේ

Sri Lankan workers and students defend Julian Assange

අපගේ වාර්තාකරුවන් විසිනි , 2018 ජූනි 7

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ, ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කර තිබෙන උද්ඝෝෂනය සඳහා කම්කරුවන්, සිසුන්, කලාකරුවන් හා ශාස්ත්‍රාලිකයින්ගේ සහාය දිනා ගනිමින් සිටී.

මෙරට ට්‍රොට්ස්කිවාදීන්, විකිලීක්ස් කතෘ නිදහස් කරන ලෙසට බල කරන රැලියක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ජූනි 19දා පවත්වනු ඇත. එසේම චෙන්නායි ආසන්නයේ ශ්‍රීපෙරුම්බදූර් යන දකුනු ඉන්දියානු නගරයේදී ද රැලියක් සංවිධානය කර ඇත.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන්, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් හා අනෙකුත් කම්කරුවන්ගේ ප්‍රකාශ අපි මෙහි පලකරන්නෙමු.

සසන්ක

සමාජවිද්‍යාව හදාරන සිව්වන වසරේ සසන්ක මෙසේ පැවසීය. “ජුලියන් අසාන්ජ් නිදහස් කරන ලෙසට සසප ගෙනයන උද්ඝෝෂනයට මම දැඩි සහාය පලකරන්නමි. ඇමරිකානු අධිරාජ්‍යවාදයට අසාන්ජ් වැනි අය අල්ලා ගැනීමට අවශ්‍ය කාරනය, ඔවුන්ගේ යුද අපරාධ හෙලිදරව් වීමෙන් ජනතාව රැඩිකලිකරනය වනු ඇති බවට වන බියයි. ධනපති ආන්ඩුවල ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩසටහන් හෙලි කිරීමට ඉදිරිපත්වන අනෙක් අය බියගැන්වීම සඳහා අසාන්ජ් දඩයමට ලක් කරයි. ආන්ඩුව ද සමාජ මාධ්‍යයට එරෙහි වාරනය යොදාගන්නා අතර මෙම උද්ඝෝෂනය මෙරට ජනතාවට ද බෙහෙවින් අදාලයි.”

තෙවන වසර විද්‍යා සිසුවකු වන හෙෂාන් මෙසේ පවසයි: “මම යුද්ධයට විරුද්ධව ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටිනවා. යුද්ධය අපගේ ජීවත් වීමේ අයිතිය විනාශ කරනවා. තවත් ලෝක යුද්ධයක් දිශාවට තල්ලුවෙන ඇමරිකානු අධිරාජ්‍යවාදයට මෙම සත්‍යය එලිකිරීම වැලැක්වීමට අවශ්‍යයි. කිසිම රටකට අපේ කථා කිරීමේ අයිතිය උදුරා ගන්නට ඉඩ දිය නොහැකියි. අසාන්ජ් නිදහස් කිරීම වෙනුවෙන් ගෙනයන මේ උද්ඝෝෂනයත් ධනවාදය හා එහි විනාශකාරී න්‍යායපත්‍රය අවසන් කරන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැඟීමත් මම අගය කරනවා.”

තරිඳු

අසාන්ජ් දඩයම “මාධ්‍ය නිදහසට එල්ල කෙරුනු පහරක්” බව අවසන් වසර සිසුවෙක් වන තරිඳු පැවසීය. “ලංකාවේත් පසුගිය කාලයේ ආන්ඩුව විවේචනය කිරීම නිසා ‘අතුරුදන් කල‘ මාධ්‍යවේදීන් ගේ මල සිරුරක් අද වන විට වත් සොයා ගෙන නෑ. මේ මාධ්‍ය මර්දනය ලෝකය පුරා ම ධනවාදයේ අර්බුදය හා බැඳී එන්නක්. තම න්‍යාය පත්‍රය පමනක් මාධ්‍ය හරහා ලබා දීමේ අරමුනින්, නිදහස් අයිතීන් ආරක්ෂා කරන මාධ්‍යවේදීන් බිය වද්දා ඔවුන් ගේ කට වසා දැමීමට දරන උත්සාහයක් ලෙස අසාන්ජ්ට එල්ල වී ඇති ප්‍රහාරය මම දකිනවා. ශිෂ්‍ය සංගම් තරුන සංගම් අසාන්ජ් රැක ගැනීමේ උද්ඝෝෂනයට සහය පල කල යුතු යි. ඔහු කල වැරැද්ද අධිරාජ්‍යවාදී යුද අපරාධ එලිදරවු කිරීම. එනිසා යුද්ධ නතර කිරීමට තරුනයන් විප්ලවයේ මාවත තෝරා ගත යුතු යි.”

හසිත

සමාජවිද්‍යාව හදාරන හසිත සිසුවිය, “ජුලියන් අසාන්ජ් නිදහස් කරනු” යන පුවරුව දැක සසප උද්ඝෝෂකයින් සමඟ කථාකිරීමට පැමිනියාය.

“මම දන්නවා විකිලීක්ස් ප්‍රධානියා වන අසාන්ජ් ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙක් බව. ඒත් ඔහු ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටින බව මිස සිරගත කර සිටින බව මා දැන සිටියේ නෑ. එවගේම ඔහු බාහිර ලෝකයෙන් හුදෙකලා කර සිටින බවත් මම දැන සිටියේ නෑ. මම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ වලට විරුද්ධයි.” ඇය පැවසුවාය.

සසප උද්ඝෝෂකයින් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් ද හමු විය. අපනයනය සඳහා නිෂ්පාදනයේදී ලාභ ශ්‍රමය සූරාකෑම අරමුනුකරගත් මෙහි බොහෝකොටම ගම්බදින් පැමිනි කාන්තාවන් 40,000ක් පමන සේවයේ යොදවා ඇත.

වසන්ත

අනුරාධපුරයේ සිට මෙහි වැඩ කිරීමට පැමින ඇති වසන්ත:

“ලෝක යුද්ධයට විරුද්ධව සටන් කරන එක වැදගත්. යුද්ධයෙන් වෙන්න පුලුවන් විනාශය අතිවිශාලයි. යුද්ධයට ආන්ඩුවල සූදානම හෙලිදරව් කරන එක අවශ්‍යයි. මම ස්මාර්ට් ෂර්ට් ඇඟලුම් කම්හලේ වැඩ කරන්නෙ. මේ දවස්වල උදේ 7.30 ඉඳලා රාත්‍රී 8.30 වෙනකන් වැඩ. ඒ නිසා වෙන කිසිම දෙයකට හිත යොමු කරන්න වෙලාවක් නෑ. අතිකාල පැයකට රුපියල් 150 ක් දෙනවා. පැමිනීමේ දීමනාව 2500 ක් නමුත් එක දවසක් නිවාඩු ගත්තොත් 1300 කුත් දවස් දෙකක් වැඩට නොගියොත් මුලු දීමනාවම කපනවා. සතියේ දින 6 ක්ම මේ විදිහට වැඩ කරලා ගන්න පුලුවන් රුපියල් 35,000 ක් විතරයි.

“ජාත්‍යන්තර දේශපාලනය ගැන ඔබ සමග කතා කලාට පස්සෙ තමයි දැනගත්තෙ. කලින් වතාවක මම ගත්තු යුද්ධයට එරෙහි සමාජවාදය සඳහා සටන පොත මම කියෙව්වා. ඒ පිලිබඳව මට තවදුරටත් සාකච්ඡා කරන්න අවශ්‍යයයි.”

අම්පාරේ සිට පැමිනි තවත් නිවෙක කම්කරුවෙක් වන මහේෂ්: “අපි යුද්ධයට විරුද්ධයි. ඇමරිකාව දැන් අවුරුදු ගානක් තිස්සේ යුද්ධ කරනවා. මැදපෙරදිග රටවලට විශාල විනාශයක් කරලා තියෙන්නේ. ලෝක යුද්ධයක් ඇතිවෙන්න පුලුවන්. ජූලියන් අසාන්ජ් නිදහස් කල යුතුයි කියලා මමත් කියනවා.”

කසල කන්ද නායයාමෙන් ජීවිත 30ක් විනාශවූ මීතොටමුල්ලේ සපත්තු වැඩපොලක සේවය කරන කෞෂල්‍යා: “දේශපාලඥයින් එලිපිටම දූෂනයට හා අපරාධ වලට සම්බන්ධ වෙලා, ඔවුන් හෙලිදරව් කිරීම නීති විරෝධී නෑ. මෙම දූෂන එලි කරන කව්රුන්හෝ සිටින්නේ ජනතාවගේ පැත්තෙ. ඔවුන් කථාකරන්නේ ජනතාවගේ අයිතීන් ගැන. ඒ අය දඩයම් කර මරා දමන එක බලයේ සිටින අයගේ ක්‍රමවේදයක්.

“කසල කන්ද කඩාවැටීම ආන්ඩුව, පාලක පැලැන්තිය හා ජනමාධ්‍ය කෙරේ ප්‍රදේශවාසීන්ගේ තිබුන විශ්වාසය ද බිඳ දමා තියෙනවා. මූලික දේශපාලන ප්‍රශ්න පැහැදිලිකර දීමට මැදිහත් වන්නේ ඔබලා පමනයි. ජුලියන් අසාන්ජ් කලා වගේ ආන්ඩුවල අපරාධ එලිකරන මාධ්‍යකරුවන්ගේ කටයුතුවල වැදගත්කම මෙයින් පෙනෙනවා. අසාන්ජ් නිදහස් කල යුතුයි. අපි ඔහු වෙනුවෙන් නැඟී සිටිනවා.” ඇය තවදුරටත් පැවසුවාය.

ගනකාධිකාරී තනතුරක් දරන තරුනයෙක් වන අමිල මෙසේ පැවසීය. “අවුරුදු ගානකට ඉස්සර මම ජූලියන් අසාන්ජ්ගේ මූලික මානව අයිතීන් අහිමිව ඔහු ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරන පතා ඇති බව අසා ඇත්තෙමි. දැන් ඔහුට තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය පවා නැතිවීමේ තර්ජනයට මුහුපා සිටිනවා. අසාන්ජ් දැනටමත් දේශපාලන හිරකාරයෙක් වෙලා. මක්නිසා ද කිව්වොත් ඔහු බලයට එරෙහිව සත්‍ය කථාකල නිසා. එක්සත් ජනපදය ඔහුගේ මානව අයිතීන් උදුරා ගන්නේ තමන්ම සිදු කල විවිධ අපරාධ වසාගැනීමටයි.”

ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ ඉංජිනේරුවරියක් වනඉඳුනි: “ජුලියන් අසාන්ජ් ඇමරිකානු යුද අපරාධ පිලිබඳ තොරතුරු සම්පාදනය කල නිර්භීත මාධ්‍යවේදියෙකි. ඔහුගේ කටයුතු පෙන්ටගන් ලියවිලි නිකුත් කිරීමට බොහෝ සමානකම් දරයි. අනෙකුත් අයත් ඔහු වෙනුවෙන් නැඟී සිටිනවාට අපි කැමතියි.” අසාන්ජ් හුදෙකලා කර අන්තර්ජාල පිවිසුම් හරි අමුත්තන් පිලිගැනීමට හරි ඇති ඔහුගේ පහසුකම් කපා හැරීමට ඉක්වදෝරය ගෙන තිබෙන තීන්දුවට ඇය විරුද්ධත්වය පල කලාය. “මෙය වැඩකරන ජනතාව සත්‍ය තොරතුරු කරා එලඹීම වැලැක්වීමට ධනපති ක්‍රමය දරන උත්සාහය ගැන නිදසුනකි.... අසාන්ජ්ගේ නිදහස වෙනුවෙන් හජාජාක ගෙනයන උද්ඝෝෂනයටත් සිඞ්නි නුවරදී ජූනි 17දා පැවැත්වෙන රැලියටත් මම සම්පූර්නයෙන්ම සහාය දක්වනවා.”

ජීවිතන්

කොලඹ මාධ්‍ය සේවකයෙකු වන ජීවිතන්, අසාන්ජ්ට එරෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙහෙයුම හෙලාදැක්කේය. අව්‍යාජ මාධ්‍යකරනයට පහර දෙමින් ඇමරිකාව උත්සාහ කරන්නේ තම කුමන්ත්‍රන හා අපරාධ වසං කිරීමටයි. “මැදපෙරදිගදී ඇමරිකාව සම්පත් කොල්ලකෑම සඳහා යුද්ධයක් ගෙනියනවා. සත්‍ය වෙනුවෙන් පෙනී සිටින අයට හිංසා කර හෝ මරාදැමීමට ඔවුන් වැඩ කරනවා” යයි පැවසීය. “අප එයට අධිෂ්ඨානශීලීව විරුද්ධ විය යුතුයි.”

දෙමල සුලුතරයට අයත් ජීවිතන්, යුද්ධය අවධියේ ආන්ඩුව ද එවැනි ප්‍රහාර මාධ්‍යයට එල්ල කල බව පැවසීය. “යුද කලාපයට ගොස් සත්‍යය වාර්තා කිරීම ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට තහනම් කලා. සත්‍ය පෙන්වා දුන් දේශීය මාධ්‍යවේදීන්ට තර්ජනය කලා නැතිනම් පැහැරගෙන ගොස් සමහරු මරා දැම්මා, මේ දේවල් ආන්ඩුව වෙනස්වුන පලියට නතරවන්නේ නැත.”

Share this article: