ඥානසාර ට ලබාදුන් සිර දඬුවමට එරෙහිව බෞද්ධ භික්ෂූන් නීතියට ඉහලින් පිහිටුවීමේ ප්‍රතිගාමී උද්ඝෝෂනයක්

සුජීව අමරනාත් විසිනි, 2018 ජූනි 27

උසාවියට අපහාස කිරීම හා කාන්තාවකට උසාවියේ දී මරන තර්ජන එල්ල කිරීමේ චෝදනාව මත බරපතල වැඩ ඇති ව සිර දඬුවම් නියම ව පසුගිය දා ඇප මත නිදහස් වූ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව, දඬුවම් රහිත ව නිදහස් කරගැනීම සඳහා සිංහල-බෞද්ධ අන්තවාදීන් විසින් ගෙනයන උද්ඝෝෂනය බෞද්ධ භික්ෂූන් නීතියට ඉහලින් සහ පිටතින් පිහිටුවීම සඳහා එල්ල කර ගත්තකි.

ඥානසාර යනු සිංහල-බෞද්ධ ෆැසිස්ට් සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානයේ (බොබසේස) මහ ලේකම්වරයා ය. බොබසේස බිහි කෙරුනේ, පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ, විශේෂයෙන්ම එහි ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ ගේ පූර්න අනුග්‍රහයෙනි.

ජුනි 14 දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරනය විසින් ඥානසාරට බරපතල වැඩ ඇති එක් අවුරුද්දක සිර දඬුවමක් හය මසකින් ගෙවී යන ලෙස නියම කලේ ය. ඔහුට මෙම දඬුවම දෙනු ලැබුවේ, 2015 වසරේ ජනවාරි 25 දා එම අධිකරනයේ නඩු විභාගයක් පැවැත්වෙද්දී තවත් භික්ෂූන් නඩයක් ද සමග කඩා වැදී උසාවියට අපහාස වන ලෙස හැසිරීම හා විභාග වෙමින් පැවති නඩුවේ පැමිනිලිකාරිය වූ සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම හේතුවෙනි.

තම සැමියා වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් එක්නැලිගොඩ මෙම නඩුව ගොනුකර තිබුනි. මාධ්‍යවේදියාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පරීක්ෂන පැවැත්වූ පොලිස් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව, සිද්ධියට අදාල ව හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කලේ ය.

උසාවියට කඩා වැදුනු ඥානසාර, නඩුව විමසමින් සිටි මහේස්ත්‍රාත්වරයා වෙත දේශනයක් පවත්වා සිදුවෙමින් පවත්නේ “රනවිරුවන්” -එනම්, අදාල බුද්ධි අංශ නිලධාරීන්- පාවාදීමක් බව කියා සිටියේය. පැමිනිලිකාරිය වෙත ද හැරුනු භික්ෂුව “තොගේ මිනිහ කොටි හිතවාදියෙක්, තෝ ගිහින් හිඟාකාපිය” යයි බැනවදිමින් තර්ජනය කලේය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මේ පිලිබඳ ව හෝමාගම පොලීසියට පැමිනිල්ලක් කල අතර, ඒ අනුව ඥානසාරට එරෙහි ව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරනයේ ම නඩු පවරන ලදී. දිගු කලක් පැවති නඩු විභාගයේ දී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හෙවත් රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් හා එක්නැලිගොඩ ඇතුලු පිරිසක් පැමිනිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් හ. 14දා තීන්දුව දුන්නේ මෙම නඩුව සම්බන්ධයෙන් වන අතර, සිර දඬුවමට අමතර ව එක්නැලිගොඩ වෙත රුපියල් 50,000ක වන්දියක් ද රජයට රුපියල් 3,000ක දඩයක් ද ගෙවන ලෙස ඥානසාරට එහි දී නියම විය.

ඥානසාරට දුන් දඬුවම ගෙවා දැමීමට ඔහු බන්ධනාගාරයට රැගෙන ගිය මොහොතේ පටන් ම සිංහල-බෞද්ධ අන්තවාදී බලවේග, බෞද්ධ ධුරාවලිය, ආන්ඩුවේ ඇමතියන් ආදීහු දඬුවම හෙලා දකිමින්, “බුද්ධ පුත්‍රයකු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී මීට වඩා වගකීමෙන් කටයුතු කල යුතු” යයි ආදිය කියමින් නඩු තීන්දුවට එරෙහි ව වැඩට බැස ගත් හ.

කවර වරදක් කල ද බෞද්ධ භික්ෂූන් නීතියෙන් නිදහස් ව සිටිය යුතුය යන්න මත පදනම් වන මෙම ස්වෝත්තමවාදී පාලියේ පෙරමුනේ ම සිටින ජනාධිපති සිරිසේන, ජුනි 15 දා පොලොන්නරුව ප්‍රදේශයේ පන්සලක පැවති උත්සවයක දී මෙසේ කීවේ ය: “අපේ රට තුල අද යම් යහපත් දෙයක් හොඳ දෙයක් ඉතිරි වෙලා තියෙනවා නම් එයට ප්‍රධානම පදනම බෞද්ධ දර්ශනයයි, අපේ බෞද්ධ සංස්කෘතියයි කියන එක ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා... මම අද කොලඹ ඉඳලා එන්න කලින් උදෙන්ම ගියේ කොලඹ රෝහලක සිටින ඊයේ පෙරේදා වෙඩි ප්‍රහාරයකට ලක් වෙච්ච කිරිවෙහෙර කතරගම නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් බැලීමටයි. උන් වහන්සේ වෙඩි වැදිලා හම්බන්තොට රෝහලට ගෙනාවට පස්සේ මම ගුවන් යානයක් යවලා උන් වහන්සේව කොලඹට ගෙනාවා. ඒ වගේම ඔබ දැක්කා මාධ්‍යයේ අපි කවුරුත් දන්න ගෞරවනීය තරුන භික්ෂූන් වහන්සේ නමක් අධිකරනයෙන් දඬුවමකට ලක්වුනා.”

සිරිසේන කියන “ගෞරවනීය” තරුන භික්ෂුව, මීට පෙර අලුත්ගම, තලංගම හා මෑත දී මහනුවර දිගන යන ප්‍රදේශවල මුස්ලිම් සුලුතර වැසියන්ට එරෙහි ව වාර්ගික ප්‍රකෝපකරනයන් අවුලුවා මෙහෙයවීම ගැන කුප්‍රකට ය. මෙම “ගෞරවනීය” භික්ෂුව දෙස කම්කරු පන්තිය බලන්නේ දැඩි පිලිකූලෙන් යුතු ව ය. ඔහු මැරයෙක් බව කම්කරුවන් හොඳින් දනී.

ආන්ඩුවේ ඇමතියෙකු සහ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී ජාතික හෙල උරුමයේ නායක පාඨලී චම්පික රනවක “භික්ෂූන් වහන්සේලා සම්බන්ධ නඩු විමසීමට වෙන ම අධිකරනයක් ඕනෑ” යයි කියා සිටියේ ය. 1972 දී සිරිමා බන්ඩාරනායකගේ සභාග ආන්ඩුව විසින් ගෙන ආ ජනරජ ව්‍යවස්ථාවෙන් සිංහල රාජ්‍ය භාෂාව කිරීමට අමතර ව බුද්ධාගම රාජ්‍ය ආගම බවට ද පත් කරන ලදී. රනවක කියන්නේ එය දැන් ඇතුලත් වන 1978 ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය යොදා ගනිමින් වෙන ම අධිකරන ස්ථාපිත කල යුතු බවයි.

1972 හා 1978 ව්‍යවස්ථාවල බුද්ධාගම රාජ්‍ය ආගමෙහි ලා ප්‍රමුඛත්වය දෙන ලද්දේ කම්කරු පන්තිය, භාෂාමය හා ආගමික රේඛා ඔස්සේ බෙදා ඔවුන් අසමගි කොට ධනපති පාලනය රැකීමට යි.

“රටේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් වන යම් යම් කරුනු කාරනා වලදී මහනායක හිමිවරුන්ගේ උපදේශය මත ක්‍රියාකල යුතුයි. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නඩු විමසන්න වෙනම අධිකරනයක් ස්ථාපිත කල යුතුයි. ඒ සඳහා අපේ ව්‍යවස්ථාවේත් ප්‍රතිපාදනයක් තියෙනවා” යයි රනවක කීවේ කොලඹ පැවති මාධ්‍ය හමුවක දී ය.

මෙහි අදහස වන්නේ බෞද්ධ භික්ෂූන් කවර නීති විරෝධී ක්‍රියාවක් කල ද එම භික්ෂූන් විසින් ම තෝරා පත්කරගත් ඊනියා මහානායකවරුන්ගෙන් නොවිමසා දඩුවම් කල නො හැකි බව යි. එනම්, කහ සිවුරු දරන්නන් සිටින්නේ නීතියට ඉහලිනි.

බෞද්ධ ධූරාවලියේ නියෝජිතයන් ද මෙම පාලිය ගෙන යමින් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය ඇවිලවීමට කටයුතු කරමින් සිටී. ඔවුන් කියා සිටින්නේ ඥානසාරගේ සිවුර ගලවා සිර ඇඳුම ඇන්දවීමට නීතිය පසිඳලන ආයතනවලට නො හැකි බව යි.

ඥානසාරගේ සිවුර ගැලවීමට එරෙහි ව තිස්සමහාරාමයේ චෛත්‍යයක් අසල පවත්වා ඇති ඊනියා සත්‍යග්‍රහයක දී මාගම මහානාම නමැති භික්ෂුව “ඥනසාර හාමුදුරුවන් අත්අඩංගුවට ගෙන හිරගෙට දාලා තිබුනත් උන්වහන්සේ දරාගෙන හිටපු බුද්ධ චීවරය ගැලවීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් විරෝධතාවයක් අප තුල තිබෙනවා” යයි කීවේ ය.

මහානාම නරුම ලෙස තවදුරටත් මෙසේ කීවේ ය: “අද අපි මෙම ස්ථානයට එකතුවෙලා ඉන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් එල්ල වී තිබෙන අභියෝගයන් පරාජයට පත් කිරීම සඳහාය. ඔබ අපි කවුරුත් දන්නවා මේ මොහොත වන විට විශාල භික්ෂූ දඩයමක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒකේ පෙර ගමන්කරුවෝ කවුද කියන එක පැහැදිලි වෙනවා. මේ පවතින තත්ත්වය වෙනස්කිරීමේ අවස්ථාව මතුවී තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ ඒකරාශී වෙන්නේ.”

තවත් බෞද්ධ භික්ෂුවක් වන ඕමාරේ කස්සප “ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගම ආරක්ෂා කරන බවට දී තිබෙන පොරොන්දු ආන්ඩුව නොසලකා හරිනවා නම් රාජ්‍ය උත්සවවලට මහා සංඝරත්නය වැඩම කිරීම ගැන සිතා බැලීමට සිදුවනවා” යයි ආන්ඩුවට තර්ජනය කර ඇත.

මේ අතර ඥානසාර නිදහස් කරගැනීමේ ප්‍රතිගාමී උද්ඝෝෂනයේ කොටසක් ලෙස, කොලඹ දී ද ජුනි 18 දින සත්‍යග්‍රහයක් ද පැවැත්වුනි. නුවරඑලියේ දී බෞද්ධ භික්ෂූන්ගේ මූලිකත්වයෙන් පාගමනක් පවත්වන ලද්දේ ජුනි 17 දා ය.

ලංකාදීප හා දිවයින ඇතුලු ධනපති පත්තර බිස්ස ද තරඟයට මෙන් මේවා පිලිබඳ වාර්තා පලකරයි. වැලිකඩ බන්ධනාගාරයේ සිට ඥානසාර පොතක් රචනා කිරීමට යන බවත්, “සිංහල බෞද්ධ රටේ භික්ෂුවට සහ බෞද්ධයාට අත්ව ඇති ඉරනම සහ රෝම ලන්දේසි නීතිය අප රටට ගැලපේදැයි යන තේමාවන් එම පොතට පාදක වී ඇති බව වාර්තා වන” බවත් දිවයින පත්‍රය ජුනි 18දා ලීවේ ය.

වෙනත් වචනවලින් කියතොත් ආන්ඩුව ඇතුලු කොලඹ දේශපාලන සංස්ථාපිතයේ හා බෞද්ධ සංස්ථාපිතයේ ඉහල සිට පහලට හැමෙකෙක් ම පාහේ ඥානසාරට දුන් දඬුවම විවේචනය කරමින් එය ආපසු හැරවීමට ක්‍රියාකරමින් සිටිති.

තම ප්‍රජාතන්ත්‍රීය සහ සමාජයීය අයිතීන් වෙනුවෙන් සටන් වදින කම්කරුවන් හා පීඩිත මහජනතාවන් සම්බන්ධයෙන් ධනපති පාලකයන් ක්‍රියාත්මක වන්නේ මීට ඉඳුරාම වෙනස් අයුරකිනි. එවන් අවස්ථාවන්හි දී ඔවුන් කියා සිටින්නේ “නීතිය අකුරටම” ක්‍රියාත්මක කලයුතු බවයි. අරගලයන්හි නියුතු කම්කරුවන් ඇතුලු අනෙකුත් පීඩිත කොටස් වලට පොලීසිය හා මිලිටරිය යොදා කුරිරු ලෙස පහර දී අත්අඩංගුවට ගැනීමෙන් සහ සිරගත කිරීමෙන් ඔවුහු “නීතිය අකුරටම” ක්‍රියාත්මක කරති. ඒ සෑම අවස්ථාවක ම බෞද්ධ සංස්ථාපිතය කටයුතු කරන්නේ ඒ කිසිවක් සිදු නො වන්නාක් මෙනි.

වේගයෙන් වැඩෙන පන්ති අරගල මැඩීම සඳහා, පවත්නා ධනේශ්වර නීතිය ඉක්මවා යන ආඥාදායක පාලන රූපයන් වෙතට ලොවපුරා ධනපති පාලකයෝ මාරු වෙමින් සිටිති. පසුගිය රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ද යෙදී සිටින්නේ එම කර්තව්‍යයේ ය.

කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව කඩා පැන්නවීම සඳහා බොබසේස, රාවනා බලකාය සහ සිහල රාවය වැනි සිංහල-බෞද්ධ අන්තවාදී ෆැසිස්ට් නඩ කොලඹ පාලනය විසින් දැනුවත් ව හදා වඩා පෝෂනය කෙරුනේ එහි අත්‍යවශ්‍ය අංගයක් ලෙසිනි. ධනපති නීතියට අනුව ඥානසාර වැරැදිකරුවෙකු වීමෙන් පසු ධනපති පාලකයන් එම නීතියටම එරෙහි වන්නේ, ඔහු වැන්නන්ගෙන් ඉටු වන සේවය පිලිබඳ ව හොඳින් ම දන්නා නිසා ය.

Share this article: