ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම ගැන ලංකාවේ පාලක පන්තිය උද්දාමයට පත් වෙයි

ප්‍රදීප් රාමනායක විසිනි, 2018 ජූනි 28

පසුගිය සතියේ ඇමරිකාව එක්සත් ජාතීන්ගේ (එජා) මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම ලංකාවේ ධනපති දේශපාලන සංස්ථාපිතය තුල “මාහැඟි ජයග්‍රහනයක්” ලෙස හුවා දැක්වුනි. ආන්ඩුව මෙන්ම විපක්ෂයේ නියෝජිතයෝ, මධ්‍යම පන්තික “දේශපාලන විශ්ලේෂකයෝ” සහ ධනපති මාධ්‍යයෝ ඇමරිකාවේ තීරනයෙන් ප්‍රමෝදයට පත්වෙමින් ලංකාවේ ආන්ඩු විසින් සිදුකල යුද අපරාධ ඇතුලු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට සුදුහුනු ගා ගැනීමට එයින් අවස්ථාවක් විවර කරගෙන ඇත.

එජා මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපතිනි නිකි හේලි, මානව හිමිකම් කවුන්සිලය “දේශපාලනිකව පක්ෂග්‍රාහී වූ අසූචි වලක්” යැයි චෝදනා කරමින් ඇමරිකාවේ තීන්දුවට හේතු දැක්වූ නමුදු සැබෑ හේතුව එය නොවේ. මෙක්සිකානු සරනාගතයින්ට එරෙහිව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ක්ෂමාවිරහිත අඩන්තේට්ටම්, වොෂින්ටනයේ පිටුබලය ලත් යේමනයේ ජනඝාතක යුද්ධය සහ ඊස්රායල ආන්ඩුව ගාසා තීරුව තුල පලස්තීන වැසියන්ට එරෙහිව ගෙනයන මෘග ප්‍රහාරවලට අනුබල දීම සම්බන්ධයෙන් ඇමරිකාව කවුන්සිලය තුල දෝෂ දර්ශනයට ලක්වීම සැබෑ හේතුවයි.

ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් මෙලෙස ඉවත්වීම ගැන ජුනි 20 වනදා පැවති මාධ්‍ය හමුවකදී ආන්ඩුවේ ප්‍රමුඛ ඇමතියෙකු සහ කැබිනට් ප්‍රකාශක වන රාජිත සේනාරත්න ප්‍රීතිය පලකලේ “ඇමරිකාව අපිට විරුද්ධව යෝජනා දෙකක් ගෙනාවා. එවැනි බලගතු රාජ්‍යයක් යෝජනා ගෙන ආවම අපි දැවැන්ත අර්බුදයකට මුහුන පෑවා. එවැනි බලගතු රාජ්‍යයක් මානව හිමිකම් කමිටුවෙන් ඉවත් වීමෙන් ඒ බලපෑම විශාල වශයෙන් අපිට අඩුවෙයි. ඒකේ වාසියක් තියෙනවා” යනුවෙනි.

ඇමති සේනාරත්නගෙන් ප්‍රකාශයට පත්වන පරිදි, ඇමරිකාවේ ඉවත්වීම ගසා කමින් ලංකාවේ සමස්ත ධනපති පන්තිය මුදුන්පමුනුවා ගැනීමට සැරසෙන අරමුන කුමක්ද?

ඇමරිකාව ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ චෝදනා මතු කරන්නට පටන් ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව චීනය සමග ඇති කර ගෙන තිබු සමීප සම්බන්ධකම් බිඳ දැමීමට පීඩනය යෙදීමේ අරමුනෙනි. එම චෝදනා ගොනු කිරීමේදී සාමාන්‍ය මහජනතාවගේ ජීවිත ගැන කවර හෝ කැක්කුමක් ඇමරිකාවට නොතිබුනි. නමුත්, ඒ හරහා හෙලිදරව් වූයේ දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධයේ අවසන් මාස කිහිපය තුල ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රහාරයන්ගෙන් දෙමල සිවිල් වැසියන් විශාල වශයෙන් ඝාතනය කිරීම ඇතුලු දරුනු අපරාධ ගොන්නකි.

වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවද රාජපක්ෂ විසින් සිය වර්ගවාදී යුද්ධය සඳහා තර කෙරුනු මිලිටරි බලය යොදාගනිමින් උතුරේ සහ නැගෙනහිර හමුදා වාඩිලාගැනීම් ඒ අයුරින්ම පවත්වාගෙන යයි. සිවිල් යුධ සමය තුල ආන්ඩුවේ ආරක්ෂක බලකායන් ඉතා බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා උපයෝගී කරගත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) ශ්‍රී ලංකාව තුල තවමත් එම අයුරින්ම ක්‍රියාත්මක බව, හියුමන් රයිට් වොච් සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

එමෙන්ම පසුගිය නොවැම්බරයේදී, 2016 සහ 2017 වසර දෙක තුල ලංකාවේ පොලිසිය විසින් සිදුකල පැහැරගැනීම්, රඳවාගැනීම් සහ කුරිරු වධබන්ධනයට ලක්කීරිම් පිලිබඳ ලංකාවේ මානව හිමිකම් කොමිසම සහ ජාත්‍යන්තර මාධ්‍යයන් තුල පලකෙරුනු වාර්තා තුලින් වත්මන් ආන්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ලොමුඩැහැගැන්වෙන සාක්ෂි ඉදිරිපත් කෙරින.

ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම නිසා සේනාරත්න ඇතුලු ධනපති පාලක පන්තිය ප්‍රීතිවන්නේ පොලීසිය සහ මිලිටරිය යොදාගෙන වත්මන් ආන්ඩුවද ඇතුලු ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු සාමාන්‍ය මහජනතාවට එරෙහිව මුදාහල මෙම ම්ලේච්ඡ ප්‍රහාරයන් යටපත් කර දමමින් තවදුරටත් එම වැඩකටයුතු නිදැල්ලේ කරගෙන යාමට එයින් ඉඩ ලැබේ යැයි ගනන් බලමිනි.

ආන්ඩුව උග්‍ර ලෙස තියුනුවන ආර්ථික අර්බුදයක ගිලී සිටියි. ඉන් ගැලවීම සඳහා එය මංමුලාසහගත උත්සාහයක යෙදී සිටින ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන් අකුරටම ක්‍රියාවේ යොදවමින් සිටී. ඒ හේතුවෙන් ඉහල යන බදුබර ඇතුලුව සිය ජීවන කොන්දේසි වලට එල්ල වන දැඩි ප්‍රහාර වලට එරෙහිව රටපුරා කම්කරු පීඩිත මහජනතාවන් දිනපතාම අරගල වලට අවතීර්න වෙමින් සිටිති.

එම අරගල මැඩීම සඳහා පොලීසිය සහ මිලිටරි ඇතුලු රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමට ආන්ඩුව දරන ප්‍රයත්නය වෙනුවෙන් පෙනීසිටින සේනාරත්නට, ශ්‍රී ලංකාවට චෝදනා ගොනුකිරීම සඳහා ඇමරිකාව තවදුරටත් මානව හිමිකම් කවුන්සිලය තුල නොසිටීම “මහත් භාග්‍යයකි”.

රාජපක්ෂ යලි බලයට ගෙන එම සඳහා වර්ගවාදී උද්ඝෝෂනයේ නියුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙහි සභාපති ජී.එල්. පීරිස් ඇමරිකාවේ ඉවත්වීම, රාජපක්ෂ ආන්ඩුවේ “නිදොස්භාවය” ඔප්පු කෙරෙන සහතිකයක් බවට පත් කරගැනීමට වහාම පෙරට පැනගත්තේය. “2015 දී ලංකාවට විරුද්ධව පදනම් විරහිත යුද අපරාධ චෝදනා මත යෝජනාවලියක් ගෙන ඒමට නිර්ලජ්ජිත ලෙස මානව හිමිකම් කොමිසම යොදාගත් ඇමරිකාවම එම කොමිසමට උරුම පක්ෂග්‍රාහී ස්වභාවය ගැන අප කියූ දේවල් පිලිගෙන ඇතැ” යි ඔහු ප්‍රකාශ කර ඇත.

යලි බලයට පැනගැනීම සඳහා මාන බලමින් සිටින රාජපක්ෂගේ, එම උත්සාහය සාර්ථක වුවහොත් ඔහු ගොඩනගනු ඇත්තේ තමන්ගේ පෙර තන්ත්‍රයටත් වඩා රුදුරු පාලන තන්ත්‍රයකි. එම ව්‍යායාමය සඳහා කැපවී සිටින්නෙකු වන පීරිස් රාජපක්ෂ ආන්ඩුවේ ලේ සෝදාගැනීම සඳහා ඇමරිකානු පියවරෙහි එල්ලී සිටී.

මධ්‍යම පන්තික ශාස්ත්‍රාලික කවයන් තුල පෙරමුනේ සිටින්නෙකු වන ප්‍රතිභා මහනාමහේවා “ඇමරිකාව ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට ශ්‍රී ලංකාවේ ආන්ඩුවට හිතපක්ෂපාත රටක් පත් කරගැනීම හරහා ඇමරිකාව මූලික වී ඉදිරිපත් කල යෝජනාවන් වෙනුවට විකල්ප යෝජනාවක් සම්මත කරගැනීමට ආන්ඩුවට “ස්වර්නමය අවස්ථාවක්” පවතින බව පවසා තිබුනි.

මේ අතර, ධනපති පුවත්පතක් වන ද සන්ඬේ ටයිම්ස් කතුවැකියක සඳහන් වූයේ “කොයි වෙලේ හෝ ජාතියේ හිසමත කඩාපාත් විය හැකි මෙම විනාශය ඉවත්කර ගැනීමට මෙම අවස්ථාවෙන් ආන්ඩුව කෙතරම් හොඳින් ප්‍රයෝජනගනු ඇත්දැයි දැකගැනීමට හැකිවනුයේ ඉදිරියේදීය” යනුවෙනි.

ධනපති දේශපාලන සංස්ථාපිතයේ, මාධ්‍ය සංස්ථාපිතයේ සහ ධනේශ්වර පද්ධතියට තදින් බැඳුනු ඊනියා ශාස්ත්‍රාලික ස්ථරයක ඉහත ප්‍රතිචාර වලින් පෙන්නුම් කෙරෙන්නේ පාලක පන්තියේ බිහිසුනු අපරාධ සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වසන් කරමින්, කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඔවුන් තුල පවත්නා බලගතු උත්සුකය යි.

Share this article: