කටුනායක හයිඩ්‍රාමනි සමාගම සේවකයන් තිස් දෙනෙකු දොට්ට දමයි

නිහාල් ගීකියනගේ සහ කපිල ප්‍රනාන්දු විසිනි, 2018 ජුනි 15

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටි හයිඩ්‍රාමනි සමාගම පරිපාලන මට්ටමේ රැකියාවේ නිරත සේවකයන් 30 ක් මැයි මස 25 දා රැකියාවෙන් දොට්ට දමා ඇත. රෙදි කැපීම, මැසීම, මැදීම හා ඇසිරීම වැනි අංශවල සේවයකල කලමනාකරුවන් තාක්ෂනික හා අධීක්ෂන නිලධාරී තනතුරු දැරූ අය මෙම තිස් දෙනාට අයත් වේ.

රැකියාවෙන් දොට්ට දැමූ සේවකයන් ප්‍රකාශ කල අන්දමට හයිඩ්‍රාමනි කර්මාන්ත ශාලාවේ විධායක නිලධාරීන් මෙම සේවක කප්පාදුවට හේතු ලෙස දක්වා ඇත්තේ මේ වසරේ ෆැක්ටරියේ ලාභ කඩා වැටීම හා ඍජුව නිෂ්පාදනයට සම්බන්ධ වී සිටින කම්කරුවන්ට සාපේක්ෂව කලමනාකාරීත්වයේ සේවක සංඛ්‍යාව වැඩි වීමයි.

දොට්ට දැමූ සේවකයන් ට ඔවුන්ගේ මාසික වැටුපට අදාලව වසරකට මාස එකහමාර බැගින් සේවය කල වසර ගනනට අනුව වන්දි මුදලක් ගෙවා ඇත. ඉන් සියයට 24 ක් මේ වසරේ ක්‍රියාත්මක ආදායම් බදු පනතින් ආන්ඩුව ඩැහැ ගෙන තිබේ. ඉහල විධායක නිලධාරීන් මසකට රුපියල් මිලියන දෙක ඉක්මවන වැටුප් හා බෝනස් ලබන අතර තුර මෙම තිස් දෙනාගේ මාසික වැටුප් රුපියල් පනස්දාහත් ලක්ෂයත් අතර වේ.

හයිඩ්‍රාමනි ලංකාවේ නිදහස් වෙලඳ කලාපයේ ආරම්භයේ සිට පැවත එන දරුනු ශ්‍රම සූරාකෑමක් සහිත ඇඟලුම් කර්මාන්ත ශාලාවකි. එය, හයිඩ්‍රාමනි මර්කරි, හයිඩ්‍රාමනි ගාර්මන්ට්, ටෙක්ස් වුඞ් වශයෙන් අංශ තුනකින් යුක්ත වේ. දෙදහසක් පමන කම්කරුවෝ රැකියාවේ නිරත වී සිටිති. ලංකාව, ඉතියෝපියාව, වියට්නාමය සහ බංග්ලාදේශය යන රටවල හයිඩ්‍රාමනි සමාගමට අයත් ෆැක්ටරි 38 ක 60,000 අධික ශ්‍රම බලකායක් සිටිති. එහි නිෂ්පාදනයන් මූලිකව අපනයනය කරනු ලබන්නේ එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපයේ රටවලට ය.

අවුරුදු 15 ක් පමන නිදහස් වෙලඳ කලාපය තුල රැකියා කොට තරමක් වැඩි වැටුපක් සහිත රැකියාවක් ලබාගත් පසු මේ ආකාරයට රැකියාවේ දොට්ට දැමීම “ජීවිතේ යලි ආරම්භ කිරීමට සිදු වීමක්” බව දොට්ට දැමූ සේවකයෝ ප්‍රකාශ කලහ. අනෙක් ෆැක්ටරිවල තමන් යෙදී සිටි අන්දමේ රැකියා සියල්ල පිරී පවතින තත්වයක් තුල ඉහල වැටුපක් සහිත රැකියාවක් සොයා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තකි.

වසර 06 ක් පමන බ්රැන්ඩෙක්ස් ඇඟලුම් කම්හලේ මැෂින් ඔපරේටර්වරයෙකු ලෙස රැකියාවේ නිරතව සිට පසුව තවත් වසර 07 ක් හයිඩ්‍රාමනි හි රැකියාව කල එක් සේවකයෙක් රෙදි මැසීම අතිශය දුෂ්කර රැකියාවක් බව පැවසුවේ ය. “අපි එක දිගට මැහුවේ නැත්නම් ලයින් එකේ වැඩ ඇන හිටිනවා. වෙන දෙයක් දිහා බලන්න, හැරෙන්න කාලයක් නෑ. ෆැක්ටරියෙන් එලියට එන්නේ එපා වෙලා. රෑට අත පය කකියනවා. මගේ බිරිඳත් ගාර්මන්ට් යන එක නතර කලේ ඒ දුෂ්කරතාවය නිසයි“. දෙමව්පියෝ පරිගනක හා වෙනත් තාක්ෂනික පාඨමාලා හදාරන්න දරුවන්ව යොමු කලත් පවත්නා රැකියාවල තත්වය වඩාත් නරක බව පැවසූ ඔහු බලයට පත් සියලු ආන්ඩු හෙලා දැක්කේය.

ලෝසවෙඅ සමග අදහස් දැක් වූ තවත් කලමනාකාරවරයෙක් ප්‍රකාශ ආකාරයට හයිඩ්‍රාමනියට අලුතින් බඳවා ගන්න මැෂින් ඔපරේටර්වරයෙකුගේ මාසික මූලික වැටුප රුපියල් 18,200 කි. ඇඳුම් පරීක්ෂා කරන, අසුරන හා හා ඇදුම් මදින කම්කරුවෙකුගේ වැටුප රුපියල් 16,000 කි.

මැෂින් ඔපරේටස්ලා අත්දැකීම හා කාර්යක්ෂමතාවය මත වර්ග කිහිපයකට බෙදා ශ්‍රම ඵලදායීත්වය ඉහල දමා ගැනීමට කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කලේ ය. “අතිකාල කලත් ඔපරේටර් කෙනෙකුට මාසයකට ගන්න පුලුවන් වෙන්නේ 32,000 ක විතර වැටුපක්.. ඒකෙනුත් උත්සව අත්තිකාරම්, සේවක අර්ථාසධක ඇතුලු ඒවාට අඩු කලහම අතට එන මුදල තවත් අඩු වෙනවා. මේ තත්වය උඩ අවුරුද්දක් දෙකක් වැඩ කරලා මීට වඩා හොඳ කොන්දේසි තියෙන ෆැක්ටරියක් හොයලා කම්කරුවන් ඉවත් වෙනවා නැත්නම් ගෙවල්වලට යනවා. ඉවත් වන අයගේ ඇබෑර්තු දැන් මිනිස්බල කම්කරුවන්ගෙන් පුරවනවා. ඒ කම්කරුවෙකුට දිනකට රුපියල් 12,00 ක් පමන ගෙවනවා. අර්ථසාධක හෝ අනෙකුත් දීමනාවන් ඒ අයට ලැබෙන්නේ නැහැ. මිනිස් බල සමාගම් එක කම්කරුවෙක් වෙනුවෙන් දිනකට රුපියල් 300 ක් අයකරනවා.” යයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

රැකියාවෙන් ඉවත් වීමට සිදුවීම පිලිබඳව විස්තර කල ඔහු නිදහස් වෙලඳ කලාපයේ අවුරුදු 15 ක් විවිධ තනතුරු යටතේ වැඩකල බවත් දැන් ජීවිතය යලිත් මුල සිට ආරම්භ කිරීමට සිදුවී ඇති බවත් ප්‍රකාශ කලේ ය. “අපි ගොඩක් දුප්පත් මිනිස්සු. පසුගිය දවස්වල මම ගමේ ගෙයක් හදන්න පටන් ගත්තා. සෑහෙන දුරකට වැඩ ඉවර නමුත් තව ලක්ෂ 10 ක විතර වැඩ තියෙනවා. පුතාගේ පාසල් වෑන් එකට රුපියල් 2500 කුත් ටියුෂන් ගාස්තු 4000 කුත් ගෙවන්න ඕන. නවාතැනට රුපියල් 6000 යි. ගිය මාසේ කඩේ බිල රුපියල් 31,000 යි. මාසෙකට ලොකු වියදමක් යනවා. මගේ වන්දියෙන් රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදලක් බදුවලට කැපුනා.” ඔහු ප්‍රකාශ කලේ ය.

පසුගිය වසර එකහමාරක කාලය තුල එහි සේවයේ නිරත කම්කරු පිරිස 530 සිට 360 දක්වා අඩු වූ බවත් අලුතින් බඳවා ගැනීම් මුලුමනින් නතර වී ඇති බවත් හයිඩ්‍රාමනි ගාර්මන්ට් කටුනායක යන කොටසේ සේවයේ නියුක්තව සිට රැකියාවෙන් දොට්ට වැටුනු කලමනාකරුවෙක් පැවසුවේ ය. ඉතියෝපියාව හා වියට්නාමයේ ෆැක්ටරිවල සේවයේ නියුක්තව සිට මේ වසරේ මුල ශ්‍රී ලංකාවට පැමිනි ප්‍රධාන විධායක නිලධාරීන් හා කලමනාකාර අධ්‍යක්ෂකවරු ඒ රටවල පවත්වාගෙන යන දරුනු සූරාකෑමේ කොන්දේසි දැන් ලංකාව තුලත් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කලේ ය. “ඉතියෝපියාවේ වියට්නාමේ වැටුප් ඉතා පහල මට්ටමක තියෙන්නේ. සේවක කප්පාදුවක් කලේ ලංකාවේ කම්කරුවන්ගේ වැටුප් තව දුරටත් අඩු කරන්න බැරි නිසයි. නිෂ්පාදන ඉලක්ක සම්පූර්න කර ගන්න කම්කරුවන්ගේ වැඩ වේගවත් කිරීම මගින් ශ්‍රම ඵලදායිත්වය වැඩි කරන නව ක්‍රමවේද අනුගමනය කරන” බව ඔහු සඳහන් කලේ ය.

වියට්නාමය සහ ඉතියෝපියාව ඇඟලුම් අංශයේ දරිද්‍ර වැටුප් ඇති රටවල් වෙති. ඉතියෝපියාවේ ඇඟලුම් අංශයේ කම්කරුවෙකුගේ මාසික වැටුප එ.ජ.ඩොලර් 20 (රුපියල් 3200) පමන වන අතර වියට්නාමයේ එය ඩොලර් 150 පමන වේ. පසුගිය වර්ෂයේ වැඩි වැටුප් ඉල්ලා කම්කරුවන් දියත් කල වර්ජන එම රටවල ආන්ඩු විසින් තලා දමන ලදී.

ඔක්ස්ෆාම් ජාත්‍යන්තරයට අනුව වියට්නාමයේ මිලියන 2.5 වන ඇඟලුම් කම්කරුවන් ගේ වැටුප ජීවත්වීමට සරිලන මට්ටමකට වැඩි කිරීමට අවුරුද්දකට වැය වන්නේ එ ජ ඩොලර් බිලියන 2.2 කි. මෙම මුදල 2016 වසරේ ලෝකයේ ප්‍රධාන ඇඟලුම් සමාගම් පහ කොටස්කරුවන්ට පිරිනමන ලද මුදලින් තුනෙන් පංගුවකි. බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරු කාන්තාවක් මුලු ජීවිත කාලයේම උපයන මුදල ලෝකයේ ප්‍රධාන මෝස්තර සැකසුම් සමාගම් 5 හේ විධායක නිලධාරීයෙකු දවස් හතරක දී උපයන බව ඔක්ස්ෆාම් වැඩි දුරටත් සදහන් කරයි.

ශ්‍රී ලංකාව මෙම ජාත්‍යන්තර ලාභ ශ්‍රම තටාකවලින් එකකි. අම්පාරේ සිට පැමිනි තරුන කම්කරු කාන්තාවක් මෙසේ ප්‍රකාශ කලා ය: “මගේ මූලික වැටුප 18,200 යි. පැමිනීමේ දීමනා එක්ක 25,000 ක් විතර වෙනවා. දැන් ගිය ආන්ඩුව කාලේටත් වඩා බඩු මිල වැඩියි. ජීවත් වෙන්න බැහැ. මගේ අවුරුදු පහ සම්පූර්න වෙන්න තියෙන්නේ ටික කාලයයි. ඊට පස්සේ මම ගෙදර යන්නයි හිතන් ඉන්නේ.”

2016 වසරට සාපේක්ෂව 2017 වසරේ දී ශ්‍රී ලංකාවේ රෙදිපිලි ආශ්‍රිත අපනයන සියයට 3.6 න් වැඩි වී ඇතැයි ද ඒ සඳහා ජීඑස්පී ප්ලස් බදු සහනය හේතු වී ඇතැයි ද ආන්ඩුව පම්පෝරි ගසන්නේ කම්කරු පන්තිය ඇට පොත්තටම සූරාකෑමට කොන්දේසි නිර්මානය කර දීමෙනි. කෙසේ නමුත්, ලංකාවේ අපනයන කර්මාන්ත, ආසියානු කලාපයේ අනෙකුත් ලාභ ශ්‍රම තටාක වන බංග්ලාදේශය, ඉන්දියාව, චීනය, වියට්නාමය වැනි රටවල් සමග උග්‍ර තරගයකට හා යුරෝපය හා ඇමරිකා එක්සත් ජනපදය තුල මහජනයාගේ පාරිභෝගික වියදම් කඩාපාත්වීම තුලින් පහල යන ඉල්ලුමට දිගින් දිගටම මුහුන දී සිටී.

ලෝක ධනේශ්වර අර්බූදයේ කොටසක් ලෙස යුරෝපයේ හා ඇමරිකාවේ පාලක පන්තීන් කම්කරු පන්තියේ රැකියා සහ වැටුප් කප්පාදුව ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඉල්ලුම පහත වැටීමට තුඩු දී ඇත. මෙම අර්බුදය තුල හයිඩ්‍රාමනි සමාගම මේ වසරේ මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු හි ෆැක්ටරියක් ආරම්භ කලේ තිස් වසරක යුද්ධයේ ප්‍රතිවිපාකයක් ලෙස අන්ත දරිද්‍රතාවයට සහ විරැකියාවට මුහුන දී සිටින එම ප්‍රදේශවල තරුන ජනයාගේ ලාභ ශ්‍රමය සූරාකෑමේ එල්ලය ඇතිව ය.

ලොව පුරා අතලොස්සක් බිලියනපති මහ සමාගම් හා බැංකු හිමියන් තවත් තර කරන මෙම ප්‍රහාරයේ කොටසක් ලෙස ආසියාවේ අනෙක් පාලක පන්තීන් මෙන් ම ශ්‍රී ලංකාවේ වර්තමාන ආන්ඩුවත් කම්කරු පීඩිත මහජනයා මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත් දියත් කරමින් සිටී.

නවාතැන් ගාස්තු, විදුලිය ගාස්තු හා ගෑස් මිල ඉහල යාම සමග ජීවන වියදම ඉහල යාම හා දරිද්‍රතා වැටුප් හා දරුනු රැකියා කොන්දේසි හේතුවෙන් මේ වන විට ගම්බද තරුන කම්කරුවන් නිදහස් වෙලඳ කලාප තුල රැකියා සඳහා පැමිනීම අඩු වී ඇත. ශ්‍රී ලංකා අපනයන මන්ඩලයේ 2014 වාර්තාවලට අනුව කටුනායක ඇතුලු නිදහස් වෙලඳ කලාප තුල සේවක අබෑර්තු 16,000 ට වැඩි ප්‍රමානයක් ඇත.

මෛත්‍රීපාල සිරිසේන -රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ ඊනියා ආර්ථික සංවර්ධන සහ රැකියා දස ලක්ෂයක් නිර්මානය කිරීමේ සැලසුම් යටතේ කෙරෙන්නේ මෙම ගම්බද දුගී තරුන ජනයාගේ ලාබ ශ්‍රමය සූරාකෑම සඳහා ආයෝජකයන්ට කොන්දේසි සකසා දීමකි.

Share this article: