ඝන අපද්‍රව්‍ය අර්බුදයේ ජාත්‍යන්තර ස්වභාවය සහ එහි මූලයෝ

විජිත් සමරසිංහ විසිනි, 2018 ජූනි 13

පසුගිය දශකය තුල පමනක්, කසල කඳු කඩා වැටීම හා ගිනිගැනීම් නිසා මිනිස් ජීවිත සිය ගනනින් බිලිගනිමින්, මහජනතාවගේ දේපල විනාශ කරමින් සිදුවූ බරපතල ව්‍යසනයන් ගනනාවක් විවිධ රටවලින් වාර්තා වී ඇත. ඉන් කිහිපයක් පහත පරිදිය:

*2000 ජුලි මාසයේ පිලිපීනයේ මැනිලා නගරයේ, ක්වසෝන් සිටි හි පිහිටි කසල කන්ද කඩා වැටීමෙන් 200 කට වඩා මියගොස් නිවාස 100කට වඩා විනාශ විය.

*2005 පෙබරවාරි මාසයේ ඉන්දුනීසියාවේ බැන්ඩුන් නුවර අසල කසල කන්දක් නාය යාමෙන් 140 ක් පමන මියගිය අතර නිවාස 60 ට වඩා, කසල හා මඩ තුල වැලලී ගියේය.

*2016 ඉන්දියාවේ මුම්බායි හි අක්කර 326ක් පුරා පැතිර ඇති දියෝනාර් කුනු කන්ද ගිනි ගැනීමකින් කලාප පරිමාන මහා වායු දුෂන අනතුරක් මතුකලේය.

*2017 අප්‍රේල් මාසයේ ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර ප්‍රධාන කසල කන්ද කඩා වැටීමෙන් 115 කට පමන ජීවිත අහිමි වී නිවාස 200කට වඩා විනාශ විය.

*2017 ජුලි මාසයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් ආසන්නයේ කසල රඳවනයක දැවැන්ත ගිනි ගැනීමක් ඇති වීමෙන් 4 දෙනෙකු රෝහල් ගත කොට නිවාස 150 කින් නිවැසියන් ඉවත් කර ගැනීමට සිදු විය.

*2017 අප්‍රේල් මාසයේ ලංකාවේ මීතොටමුල්ලේ ව්‍යසනය ඊට එක්වේ.

අප්‍රිකාවේ හා ආසියාවේ නොදියුනු රටවල මෙන්ම, දියුනු ධනපති රටවලද මෑතකාලීනව බහුල වෙමින් ඇති කසල කඳු ආශ්‍රිත අනතුරු අතර සමීප සමාන කම් ඇත. ඒවා සියල්ල පිහිටා ඇත්තේ නගර වල දුගී කම්කරුවන් හා පීඩිත ජන කන්ඩායම් වෙසෙන ප්‍රදේශයන්හි ය.

මේ බොහෝ කසල කඳු හෝ රඳවන ආරම්භ වී ඇත්තේ 1980 ගනන් වල සිට සිදුවූ සැලසුමකින් තොර අවිධිමත් නාගරික ප්‍රසාරනයත් සමගය. දියුනු ධනපති රටවල්ද ඇතුලුව, මේ කසල රඳවන පිහිටුවා ඇත්තේ ඒ සඳහා පාරිසරිකව හා භූ තාක්ෂනිකව යෝග්‍ය නොවන, තෙත්බිම් හෝ කඳු බෑවුම් වැනි ස්ථානවල වන අතර, ඒවාට ඉසිලිය හැකි ධාරිතාව ඉක්මවමින් අපද්‍රව්‍ය ගොඩ ගැසීම හා සිතාමතා පාරිසරික නීති උල්ලංඝනය කිරීම සිදුවී ඇත.

සමස්තයක් වශයෙන් ගත් කල පැහැදිලි වන්නේ ඝන අපද්‍රව්‍ය කලමනාකරනය පිලිබඳ වගකීම ධනපති ආන්ඩු විසින් හිතාමතාම පැහැර හැරීම් නිසා සිදු වූ ඒවා බවයි.

දියුනු ධනපති රටවල ඝන අපද්‍රව්‍ය කලමනාකරනය සීමාසහිත ලෙස හෝ විධිමත් ක්‍රමවේදයක් ඇතිව සංවිධානය කෙරුනේ, පශ්චාත් ලෝක යුද උත්පාත කාලය තුල, කම්කරු අරගල මගින් සමාජ සුභසාධන හා පොදු සේවාවන් සඳහා සැලකිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට ධනපති ආන්ඩු වලට බල කෙරුනු තතු යටතේය. නමුත් 1970 ගනන් වලින් මෙපිට, දියුනු හා නොදියුනු සියලු රටවල ආන්ඩු කම්කරු පන්තිය දිනාගත් මේ සීමිත සුභ සාධන ආපසු හරවන ප්‍රහාර මාලාවක් දියත් කලහ.

රේගන්-තැචර් පිලිවෙත්, නැතහොත් නව ලිබරල්වාදී පිලිවෙත් ලෙස හැඳින්වෙන මේ ප්‍රහාර සංලක්ෂනය වුයේ අධ්‍යපනය, සෞඛ්‍යය ඇතුලු රාජ්‍ය පොදු වියදම් කපාහැරීම, රජයේ දේපොල පුද්ගලීකරනය, රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුව, හා මහා සංගත වලට පැනවෙන බදු හා රෙගුලාසි ලිහිල් කිරීම මගිනි.

1970ට පෙර සියයට 5 කට ආසන්නයේ පැවතුනු ලෝක ආර්ථිකයේ (දල නිෂ්පාදිතයේ) වර්ධන වේගය 1980-90 කාලය තුල සියයට 3 කට තරම් පහත වැටුනි. 1973, 1997-98, හා 2008-2009 වසර වල ඇතිවූවාක් වැනි ලෝක පරිමාන ආර්ථික අර්බුද වල මුලු බර ලෝක කම්කරු පන්තිය මත පටවනු ලැබුනි. විශේෂයෙන්ම 2008 මුල්‍ය කඩාවැටීමෙන් සලකුනුවූ ලෝක ධනපති ආර්ථිකයේ බිඳවැටීමේ සන්තතිය තුල, කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ අයිතීන් උදුරා ගැනීම ලෝක පරිමාන “සමාජ ප්‍රතිවිප්ලවයක්” ලෙස මුදාහරිනු ලැබ ඇත.

2018 වන විට ඇති-නැති අදායම් පරතරය කෙතරම්ද යත් ඔක්ස්ෆාම් සංවිධානය ජනවාරි මස නිකුත් කල වාර්තාවකට අනුව 2017 වසෙර්දී නිෂ්පාදිත ධනයෙන් සියයට 82 ක්ම ගලාගොස් තිබුනේ ලෝකයේ ධනවත්ම සියයට 1 අතටය. 2017 වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ධනවත්ම බිලියන පතියන් තිදෙනා අත, රටේ ජනගහනයෙන් හරි අඩක වත්කමට සමාන වත්කමක් සංකේන්ද්‍රනය වී පැවතිනි. මීතොටමුල්ල ව්‍යසනය සිදුවීමට මාස කීපයකට පෙර පලවූ නයිට්-ෆෑන්ක් වත්කම් වාර්තාවට අනුව, ජනගහනයෙන් සියයට 54 ක් මුඩුක්කු ප්‍රදේශ වල ජීවත් වන ලංකාවේ කොලඹ නගරයේ පමනක්, ඩොලර් මිලියන 10 ඉක්මවා ගිය වත්කමක් සහිත සුපිරි ධනවත්තු 170ක් සිටියහ.

1950-70 කාලයේ කාර්මික ප්‍රසාරනයත් සමග ඇතිවූ පරිසර දුෂනයට හා කාර්මික අනතුරු වලට එරෙහිව ඇමරිකාවේ, ජපානයේ හා යුරෝපයේ පැනනැගුනු මහජන හා කම්කරු උද්ඝෝෂන නිසා යම් පමනකින් ස්ථාපනය කෙරුනු “වැඩබිම් වල සෞඛ්‍යය හා සුරක්ෂිතතාව” හා “පරිසර ආරක්ෂාව” සඳහා වූ නීති රීති ද, ධනපති ලාභ ගැරීම පහසු කරවනු වස්, ලිහිල් කිරීම හෝ දැනුවත්ව පැහැර හැරීම මේ කාලය තුල ඇරැඹුනි.

මෙලෙස දැනුවත්ව සිදුකල සෞඛ්‍යය හා පරිසර නීති උල්ලංඝනය නිසා සිදුවූ මහා පරිමාන අනතුරු වලින් පසුගිය දශක තුන ඇතුලත දසදහස් ගනනක් මියගොස්, යලි හැරවිය නොහැකි පරිසර විනාශයන් සිදුවිය. 1984 දී ඉන්දියාවේ භෝපාල් නගරයේ යුනියන් කාබයිඞ් සමාගමේ කර්මාන්ත ශාලාවකින් විෂ වායුවක් කාන්දුවීමෙන් 3,700 ක් මිය යාම, 2010 ඇමරිකාවේ මෙක්සිකෝ බොක්කේ තෙල් ආකාරයක පිපිරීමකින් කිලෝමීටර 170ට වැඩි වෙරල තීරයක් හායනය වීම, 2015 චීනයේ ටියන්ජින් හි රසායනික බහලුම් අංගනයක ඇතිවූ පිපිරීමකින් 173 දෙනක් මිය යාම, 2014-2017 කාලය තුල ඇමරිකාවේ ෆ්ලින්ට් නගරයේ ජල පද්ධතියට ඊයම් කාන්දු වීම නිසා 6,000-12,000 අතර සංඛ්‍යාවක් බරපතල ලෙස රෝගී වීම හා 2017 බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ග්රෙන්ෆෙල් හි තට්ටු නිවාසයක් ගිනිගැනීමෙන් 70 කට අධික පිරිසක් මියායාම මේ අතරින් සමහරක් පමනි.

මේවා එකිනෙකට අසම්බන්ධිත සිදුවීම් නොව, ලෝකයම වෙලාගෙන ඇති පරිසර අර්බුදයක කොටස් ය. ගෝලීයකෘතවී ඇති ආර්ථිකය තුල කසල ප්‍රශ්නය, වායු දුෂනය, ගෝලීය උනුසුම වැඩිවීම වැනි පරිසර ගැටලු තවදුරටත් තනි ප්‍රදේශයකට හෝ රටකට සීමා නොවන අතර සමස්ත පෘථිවි ගෝලීය පරිසර පද්ධතියම ඒකාබද්ධ ලෙස කලමනාකරනයෙන් විසඳාලිය යුතුය.

නමුත් ලාභය සඳහා ධාවනයේදී එකිනෙකට පසමිතුරු ජාතික රාජ්‍යයන් ලෙස බෙදී ඇති ධනපති ලෝක පද්ධතිය තුල, එය සිදුකල නොහැක. ඒ වෙනුවට සිදුවෙමින් පවතින්නේ, වර්තමාන ලෝක ආර්ථික අර්බුදය තුල අධිරාජ්‍යවාදී රටවල් අතර ලෝකය බෙදා ගැනීම සඳහා කෙරෙන කුලල් කාගැනීම සීමාන්තික ලෙස තීව්‍ර වී, 1914 දී හා 1938 දී මෙන් තවත් ලෝක යුද්ධයක් කරා මනුෂ්‍ය වර්ගයා ඇදගෙන යාමයි.

ලොව පුරා ප්‍රධාන ධනපති රටවල් සමාජ සුභසාදන කපාහරිමින්, ඩොලර් ට්‍රිලියන ගනනින් තම ආරක්ෂක වියදම් ඉහල දමමින් සිටිති. මැදපෙරදිග, කොරියානු අර්ධද්වීපයේ සහ දකුනු චීන මුහුදේ, චීනයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද ධාවනය කොයි මොහොතක හෝ න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් ලෙස පුපුරා යාමේ අනතුර මතුකර තිබේ.

ඇමරිකාවේ ෆ්ලින්ට් නගරයේ ඊයම් හා වෙනත් රසායනික අපද්‍රව්‍ය වලින් දුෂිත වී ඇති ජල මුලාශ්‍ර නිසා දස දහස් ගනන් රෝගාතුර වී දුසිම් ගනනක් මිය යද්දී එයට පිලියම් යෙදීමට අවම ප්‍රතිපාදනවත් වෙන්කිරීම ඍජුව ප්‍රතික්ෂේප කල වොෂින්ටනය, තම අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අවශ්‍යතාවයන් සඳහා මැදපෙරදිග දියත් කර ඇති මිනීමරු යුද්ධ සඳහා පමනක් 2001 සිට ඩොලර් ට්‍රිලියන 5.6 ක් විදම් කර ඇති බව බ්‍රවුන් විශ්ව විද්‍යාලය කල සමීක්ෂනයකින් හෙලි විය(1) .

මීතොටමුල්ල ඛේදවාච්කය සිදුවීමෙන් පසුවත්, 2018 ශ්‍රී ලංකාවේ අයවැයෙන් ආරක්ෂක වියදම් සඳහා රුපියල් බිලියන 260 වෙන් කරද්දී, පලාත් පාලනය, පරිසර ආරක්ෂාව, හා ආපදා කලමනාකරනය යන සියල්ලටම එක්ව වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 10 කට අඩු මුදලකි. පාරිසරික ව්‍යසනයන්ගෙන් සිය ගනන් මියයද්දී, ඒවා විසඳනු වෙනුවට ධනපති ආන්ඩු ආයෝජනය කරන්නේ ඊට එරෙහිව නැගෙන සමාජ විරෝධය මැඩීම සඳහා පොලිසිය හා හමුදාව තර කිරීමටයි.

ධනපති ක්‍රමය විසින් මානව වර්ගයා ඇදගෙන යමින් ඇත්තේ බිහිසුනු ඛේදවාචකයක් දෙසටය. එක් පසකින් ලෝක පරිසර අර්බුදයත් අනෙක් පසින් න්‍යෂ්ටික යුද්ධයත් මගින්, පෘථිවි තලය මත මිනිසාට පමනක් නොව සමස්ත ජීවයටම ඇති කොන්දෙසි අහෝසි වී යාමේ සැබෑ අනතුරක් මතුකර තිබේ.

අපි දෛවවාදින් නොවෙමු. මනුෂ්‍ය වර්ගයාට විසඳුමක් තිබේ. අතලොස්සකගේ ලාභය සඳහා නොව සමාජයේ බහුතරයේ අවශ්‍යතා සන්තර්පනය සඳහා නිෂ්පාදනය හා බෙදාහැරිම තාර්කිකව ප්‍රතිසංවිධානය කිරීම එම විසඳුමයි. තාක්ෂනයේ විප්ලවීය වර්ධනයන් මනුෂ්‍ය වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා යොදාගත හැක්කේ එවන් ප්‍රතිසංවිධානයක් තුලින් පමනකි.

සටහන්:

(1). Cost of War Report 2007- Watson Institute of International and Public Affairs, Brown University (http://watson.brown.edu/costsofwar/)

Share this article: