යුද්ධයට එරෙහිව ආසියා-පැසිෆික් කලාපය පුරා සමාජවාදී ව්‍යාපාරයක් සඳහා

For a socialist movement against war throughout the Asia-Pacific region

ජේම්ස් කොගන් විසිනි, 2018 මැයි 11

ගත වූ වසර පුරා, කොරියන් අර්ධද්වීපය තුල න්‍යෂ්ටික ආයුධ යොදාගෙන මිලියන ගනනකගේ ජීවිත විනාශ කරමින් කෙරෙන යුද්ධයක තර්ජනය භයංකරවූ ද, සිදුවීමට හොඳටම ඉඩ තිබෙන්නා වූ ද තර්ජනයක් ලෙස පැවතිනි.

එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ මංඩලය ඉදිරියේ සිට, හුදෙකලාවූ උතුරු කොරියානු රාජ්‍යය සතුව කුඩා න්‍යෂ්ටික අවි කිහිපයක් තිබේ ය යන බොරු හේතුවක් ඉදිරිපත් කරමින්, එම කුඩා රට “මුලුමනින්ම විනාශ කිරීමට” තර්ජනය කරනු අපි දුටුවෙමු. ඊට ප්‍රතික්‍රියා දක්වමින් උතුරු කොරියානු පාලනය කියා සිටියේ, එක්සත් ජනපදයේ බටහිර වෙරලබඩ නගරවලට ද ජපානයට ද න්‍යෂ්ටික අවි එල්ල කිරීමට තමන්ට හැකි බව ය.

2018 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය අමතන ජේම්ස් කොගන්

එන සති වලදී ට්‍රම්ප් ද උතුරු කොරියානු රාජ්‍ය නායක කිම් ජොන්ග් උන් ද අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. මෙවන් සාකච්ඡාවන් “අපගේ ම යුගයේ දී සාමය උදා කරනු ඇති ය” යන අදහස දරන කුමන සංකල්පයක් වුව ද සමාන වන්නේ, චෙකොස්ලොවැකියාවේ සුඬේටන්ලන්ත ප්‍රදේශය නාසීන් විසින් අල්ලා ගැනීම පිලිබඳව [1938] බ්‍රිතාන්‍ය සහ ජර්මානු අධිරාජ්‍යවාදය අතර ඇතිකරගත් ගිවිසුමටය.

දැන් ඇමරිකානු අධිරාජ්‍යවාදය කියා සිටින්නේ ද එකල්හි හිට්ලර්ගේ පාලනය පැවසූ දෙය මයි: තමන් ඉවසන්නට සූදානම් එකම දෙය නම් තමන් ගේ නියමයන්ට මුලුමනින්ම අවනත වීම පමනක් ය යන්න යි, එය උතුරු කොරියාව ඇමරිකානු ගැති රාජ්‍යයක් බවට පත්වීමට සමානය.

පියොංයාං පාලනය මෙය පිලිනොගතහොත්, යුද තර්ජනය උත්සන්න මට්ටමකින් යලි මතුකෙරෙනු ඇත.

කොරියානු අර්ධද්වීපය තුල දැනටම පැනනැඟී තිබෙන තත්වය, එක්සත් ජනපදය සහ චීනය අතර වඩ වඩාත් උත්සන්න වන මූලෝපායික, ආර්ථික හා මිලිටරි තරගය ද එ මගින් ජාත්‍යන්තර කම්කරු පන්තියට එල්ල වන දැවැන්ත තර්ජනය ද පිලිබඳ විශේෂයෙන් තියුනු වූ එක් ප්‍රකාෂනයක් පමනි.

ආර්ථික වශයෙන් තීරනාත්මක ආසියා පැසිෆික් ප්‍රදේශය තුල ගතවූ දශක තුන හෝ ඊටත් වැඩි කාලයක් තිස්සේ වැඩි වර්ධනයවූ චීන ධනපති රාජ්‍යය හා බලයේ එදිරිවාදී මධ්‍යස්ථානයක් ලෙස එහි මතුවීම තුලින් ඇමරිකානු බලපෑම හා අනුහස විස්ථාපනය කරනු ලැබීම ඉවසා සිටින්නට, වෝල් වීදියේ බැංකු සහ මහා සංගත වල අවශ්‍යතා අනුව වැඩ කරන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සූදානම් නැත.

ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීමේ” පිලිවෙත අනුව, කෙන්ද්‍රීය වශයෙන් එහි ප්‍රධාන ප්‍රාදේශීය අධිරාජ්‍යවාදී හවුල් කරුවන් වන ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුලත් සන්ධාන ජාලයක් එක්සත් ජනපදය විසින් වර්ධනය කරගෙන තිබෙන අතර, එහි අරමුන, මිලිටරිමය වශයෙන් චීනයට වල කපා ප්‍රදේශය තුල සිය බලය තව දුරටත් වැඩි කර ගැනීමයි.

අනිවාර්යයෙන් යුද්ධය කරා වන තල්ලුව, 2018 ජනවාරි මාසයේදී ට්‍රම්ප් පාලනාධිකාරය අනුමත කල එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක මූලෝපාය තුල විශදව දැක්විනි.

එම ලියවිල්ල, “චීනය නුදුරු අනාගතයේ දී ඉන්දු-පැසිෆික් කලාපිය ආධිපත්‍ය ද අනාගතයේදී එක්සත් ජනපදය අබිබවමින් ගෝලීය ප්‍රමුඛත්වය ද අරමුනු කරගෙන ඇතැයි” කෙලින්ම චෝදනා කරයි.

එක්සත් ජනපදය, පෘතුවිය කිහිප වතාවක් වනසා දැමීමට දැනටමත් සෑහෙන තරම් වන තමන්ගේ න්‍යෂ්ටික ආයුධ තොග තව තවත් වැඩි දියුනු කර ගනිමින්, “යුද්ධය සඳහා සූදානමට මුල්තැන දියයුතු” යයි එය අවධාරනය කලේ ය.

පලමුවන සහ දෙවන ලෝක යුද්ධවලදී මෙන් දැනුදු දිගහැරෙමින් ඇත්තේ, ප්‍රතිමල්ල මහා බලවතුන් අතර වෙලඳපොලවල්, සම්පත්, අනුහස් කලාප, සහ අන් සියල්ලටත් වඩා ලෝක ලාභ පංගුව වැඩිකර ගැනීම සඳහා අරගලයකි. එය පැන නගින්නේ දේශපාලන නායකයන්ගේ අතාර්කිකත්වයෙන් නොව, ගෝලීය වශයෙන් එකාග්‍රිත ආර්ථිකය, තරඟවැද සිටින ධනේශ්වර රාජ්‍ය අතර බෙදී යාමේ ද බිලියන ගනන් කම්කරුවන්ගේ සාමූහික ශ්‍රමය විසින් නිර්මානය කරනු ලබන දැවැන්ත සමාජීය නිෂ්පාදනය, අතලොස්සක් ධනපතියන්ගේ පුද්ගලික ලාභය ඉපදවීම වෙනුවෙන් යටත් කර තැබීමේ ද අතාර්කිකත්වයෙනි.

උතුරු කොරියාව තම අනුහස් වැයික්කිය තුලට ඇද ගැනීම මගින්, චීනය දුර්වලකොට එය මත සිය පීඩනය උග්‍ර කිරීමට, එක්සත් ජනපදය සහ එහි සහචරයෝ කැසකවති.

කොරියානු අර්ධද්වීපය පිලිබඳ කුමන එකඟත්වයක් වුව ද ප්‍රමුඛ බලවතුන් අතර යුද්ධය පිලිබඳ අනතුර අඩුකරන්නේ නැත; වැඩි කරයි. එය වනාහි බීජිනයට එරෙහිව විවෘත ගැටුම් පුපුරුවා හැරීමට තර්ජනය කරන, සැකසෙමින් ඇති ප්‍රකෝපකාරිත්වයන් ගනනාවකින් එකකි.

අනෙකුත් එවන් ප්‍රකෝපකරන අතර, දකුනු චීන මුහුදේ භූමිභාගයන්ට චීනය දක්වන අයිතිවාසිකම්, එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සැබවින්ම චීන විරෝධී චතුර්පාක්ෂික සන්ධානය, තායිවානය සමග එක්සත් ජනපදය සහ ජපානය සමීප මිලිටරි සබඳතා පිහිටවාගැනීමට කෙරෙන සාකච්චා, “චීන ඇඟිලිගැසීම” සහ ඔත්තු බැලීම ට එරෙහිව ඕස්ට්‍රේලියවේද, නවසීලන්ත්යේ ද, ඇමරිකා එක්සත් ජනපදය තුලද වඩ වඩාත් උග්‍ර කෙරෙන උමතු වැඩසටහන්, “ජාතික ආරක්ෂාවේ” නාමයෙන් චීන ආයෝජන වලකා ලීම, චීනය පදනම් කරගත් ප්‍රමුඛ සංගත වලට වල කැපීම සඳහා මහා පරිමාන වෙලඳ යුද්ධය අවුලුවා ලීම ඇතුලත් වේ.

මෙම මැයි දිනයේ දී, අපි කාල් මාක්ස්ගේ උපතින් අවුරුදු 200 හා ඔහු විසින් අපේ විද්‍යාත්මක සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය වන දාර්ශනික සහ ඓතිහාසික භෞතිකවාදය වර්ධනය කිරීම අනුස්මරනය කරන්නෙමු.

ලෝක යුද්ධ තර්ජනය ට අපේ ප්‍රතිචාරය ගලාඑන්නේ මෙම ඉදිරිදර්ශනයෙනි. යුද්ධය වැලැක්වීමට සමත් එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය හා එහි එක්සත් ශක්තියයි. එකම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය දැන් යලිත් මහා සමාජ අරගලවලට පිවිස සිටි.

බෙලහීන එක්සත් ජාතීන් ගේ සංගමය පසෙක තිබියේ වා, මොනම පාලක පන්තියකට හෝ සාමවාදී ආයචානා කිරීමෙන් යුද්ධය වැලැක්විය නොහැක.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වේවා, වෙනත් බලවතුන් වේවා නැතහොත් චීන ධනේශ්වර රාජ්‍යය වේවා, මේ කවරකුගේ හෝ තුච්ඡ රාජ්‍යතාන්ත්‍රික කූටෝපායන් මගින් කිසිසේත්ම යුද්ධය වැලැක්විය නොහැකිය.

දැන් අවශ්‍ය ව ඇත්තේ, ලෝක සමාජවාදී විප්ලවයේ ධජය යටතේ කම්කරු පන්තිය යුද විරෝධී ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයක් තුලට ඒකාබද්ධ කිරීමයි. එය වනාහි ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සටන්වැදී සිටින ඉදිරි දර්ශනයයි.

තවදුරටත් කල්තැබිය නොහැකි කේන්ද්‍රීය කර්තව්‍ය, ඉන්දු-පැසිෆික් කලාපය පුරා: නවසීලන්තය, පැසිෆික් රාජ්‍ය, තායිවානය, කොරියාව, ජපානය, සහ චීනය, අග්නිදිග ආසියාව ද හරහා ඉන්දියාවේ හා පකිස්ථානයේ ද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් පිහිටුවීමයි.

හතරවන ජාත්‍යන්තරය ගොඩනගමින්, ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා අරගලය, කම්කරුවන් භේදකොට ඔවුන් ජාතිකවාදය, ආගමික නිකායවාදය සහ වර්ගවාදයට යටකර, ජරපත් ධනවාදය දෙසටම ආපසු හරවා යැවීම සඳහා සියලු රටවල පාලක පන්තීන් දරන උත්සාහයන්ට එරෙහිව සටනක් ඉල්ලා සිටී.

චීන විප්ලවය පාවාදුන් මාඕවාදී-ස්ටැලින්වාදී තන්ත්‍රයෙන් උපන් චීන ධනේශ්වර තන්ත්‍රය, චීන කම්කරු පන්තිය යලිත් වරක් සමාජවාදය උදෙසා සටනට එලඹෙති යි කොතරම් බියෙන් පසුවේ දැයි කිව හොත් දැන් චීනය තුලට ලෝක සමාජ වාදි වෙබ් අඩවිය ඇතුලුවීම වැලක්වීමට “ගිනි වැටක්” (firewall) පිහිටුවාගෙන සිටී.

අවුරුදු 80 කට පෙර හතරවන ජාත්‍යන්තරයේ පදනම් ලියවිල්ල තුල ලියොන් ට්‍රොට්ස්කි, එහි කාර්යධරයන් වනාහි “අනාගතය උදෙසා පොරොන්දු” යයි ලිවී ය.

ඔහු මෙසේ ද ලියා තැබුවේය, “මෙම ග්‍රහලෝකය තුල මෙම කාර්යධරයන් ගෙන් පරිබාහිරව, විප්ලවවාදි යන නාමයට සැබවින්ම උචිත වන එකදු හෝ ධාරාවක් ඇත්තේ නැත.”

ගිය වසර 80 මූලෝපායික අත්දැකීම් විසින් එම වචන වල සත්‍යතාව ඔප්පු කර තිබේ. එකම විප්ලවවාදී ව්‍යාපාරය නම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි.

ඉන්දු-පැසිෆික් කලාපයේ හජාජාක සියලු ආධාරකරුවන්ගෙන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ, 2018 මැයි දිනය හජාජාක සාමාජිකත්වයට එක්වීමට තීන්දු කරන දිනය හැටියට යොදාගන්නා ලෙසය.

Share this article: