උතුරේ තරුනයන් සහ ශිෂ්‍යයන්ට එරෙහි දක්ෂිනාංශික උද්ඝෝෂනයක්

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 ජූනි 2

යාපනය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය නිකුත් කල පුවත්පත් නිවේදනයක් දඩමීමා කර ගනිමින් දකුනේ සිංහල වර්ගවාදී නඩ විසින් එම ශිෂ්‍යයන්ට එරෙහි අන්ත දක්ෂිනාංශික උද්ඝෝෂනයක් අරඹා ඇත.

ශිෂ්‍ය සංගමය විසින් නිවේදනය නිකුත්කොට තිබුනේ සිවිල් යුද්ධයේ දී මියගිය උතුරේ දෙමල ජනයා සිහි කරමින් පසුගිය 18 වන දා මුලතීවු දිස්ත්‍රික්කයේ මුල්ලිවායික්කාල් හි පැවැත්වූ අනුස්මරන රැස්වීම සම්බන්ධයෙනි.

“දෙමල ජාතිය මුල්ලිවායික්කාල් භූමියෙහි ව්‍යසනයකට මුහුන දුන්නේ කුමන අරමුනක් වෙනුවෙන් ද එම ශුද්ධ දිනයේ එම අරමුනට කවර හෝ හානියක් සිදු නොවිය යුතු” බවත් “එල්ටීටීඊය මෙන් දෙමල ජනතාව ඒකාබද්ධ කර ඔවුනට නායකත්වය දීමට විශේෂයෙන්ම මේ මුල්ලිවායික්කාල් මහා ඛේදවාචකය පිලිබඳ අනුස්මරනය සංවිධානය කොට මෙහෙයවීම සඳහා නායකත්වය දීමට ඔබ සුදුස්සෙක්ද යන්න සෑම දෙමල දේශපාලනඥයෙක්ම විශේෂයෙන්ම උතුරු පලාත් සභාවේ මන්ත්‍රීවරුන් තම හෘද සාක්ෂියෙන් විමසිය යුතු” බවත් නිවේදනයෙහි සඳහන් විය.

සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධානයක් ලෙස කුප්‍රකට ජාතික හෙල උරුමයේ නායක සහ වත්මන් ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වන චම්පික රනවක, දෙමල ජනයාට එරෙහිව තමා සහ තම සංවිධානය දිගු කාලීනව ගෙනයන වර්ගවාදී උද්ඝෝෂනය නව වටයකින් ඉදිරියට ගැනීම සඳහා වහාම ඉහත නිවේදනය ඩැහැ ගත්තේ ය.

මැයි 23 වන දා මිරර් සිටිසන් රනවකගේ ප්‍රකාශයක් මෙසේ වාර්තා කොට තිබුනි. “තරුනයන්ට රැඩිකල් අදහස් තිබිය හැක. නමුත් අනුන් පාලනය කිරීමට සහ ඔවුන් අතරින් යලි ප්‍රභාකරන් කෙනෙකු නිර්මානය කිරීම සඳහා යත්න දැරීමට ඔවුනට අයිතියක් නොමැත. ....එම නිසා සියලුම නීතිගරුක ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම වන්නේ වෙනත් ප්‍රභාකරන් කෙනෙකු සහ ත්‍රස්තවාදය උතුරේ යලි මතුවීම වැලැක්වීමයි.”

“ත්‍රස්තවාදී ප්‍රවනතාවන්ගෙන් යුත් නිශ්චිත ශිෂ්‍ය කන්ඩායම්” ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආයතනයන් පාලනය කිරීමට උත්සාහ දරන තත්වයන් තුල “උතුරේ දෙමල තරුනයන් අතර යලිත් ත්‍රස්තවාදය හිස එසවීම නතර කිරීමට” අදාල අධිකාරිත්වයන් විසින් නොපමාව ක්‍රියාකල යුතු බවත් රනවක සඳහන් කොට ඇත.

තවත් සිංහල අන්තවාදී සංවිධානයක් වන ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෙනුවෙන් එහි ලේකම් චන්න ජයසුමන යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට ලිපියක් ලියමින් මෙසේ කියා සිටී: “කෑදර දේශපාලනඥයන් විසින් වැරැදි මගට යොමු කෙරුනු තරුනයන් තවත් ඉවබව නැති වැඩපිලිවෙලකට තල්ලු කරමින් සිටින බව අපි නිරීක්ෂනය කරන්නෙමු. තවදුරටත්, ශ්‍රී ලංකාවේ මහජනතාව ඔවුනට ලබාදුන් ස්වර්නමය අවස්ථාවන් ඔවුන් විසින් අත්හැර දමන බවක් අපට හැඟෙයි. අපේ ලිපිය බැරෑරුම්ව සලකා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහ වගකිවයුතු ශාස්ත්‍රාලිකයන් සමග සාකච්ඡා කොට යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ට නිසිමග පෙන්වනු ඇති බවටත් ඔවුනට සාමයේ සහ සංහිඳියාවේ අගය කියාදෙනු ඇති බවටත් අපි බලාපොරොත්තු වෙමු.”

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අගයන එල්ටීටීඊ යේ බෙදුම්වාදී සහ ප්‍රතිගාමී දේශපාලනයට මුලුමනින්ම විරුද්ධ වන අතරේම තමාට අභිමත දේශපාලනයක යෙදීම සඳහා එම ශිෂ්‍ය සංගමයට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරයි. උතුරේ තරුනයන්ට සහ ශිෂ්‍යයන්ට එරෙහිව සිංහල ස්වෝත්තමවාදී නඩ ගෙනයන මෙම දක්ෂිනාංශික උද්ඝෝෂනයට එරෙහිව නැගී සිටින ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාගෙන්ම සසප සහ සසජාතශි ඉල්ලා සිටී.

එක් අතකින්, දෙමල ධනපති දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පලකොට ඇති විරුද්ධත්වය, තම ජීවන කොන්දේසි වලට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට නොකඩවා පහර එල්ල කරන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එම පක්ෂ විසින් ලබා දෙන සහාය පිලිබඳව උතුරේ දෙමල පීඩිත ජනතාව අතර වැඩෙන විරෝධයේ ප්‍රකාශනයකි.

අනෙක් අතට ශිෂ්‍ය සංගමය විසින් එල්ටීටීඊයේ බෙදුම්වාදී දේශපාලනයට දක්වන පක්ෂපාතිත්වය, දෙමල ජනතාවගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සාක්ෂාත් කලහැකි එකම ශක්‍ය ඉදිරි දර්ශනය වන ජාත්‍යන්තර සමාජවාදය ප්‍රතික්ෂේප කිරීමෙන් පැන නගින්නකි. එල්ටීටීඊ යේ පරාජයමත් ජාත්‍යන්තර සමාජවාදයට එරෙහිව ඔවුන් ගෙනගිය ජාතිකවාදී සහ බෙදුම්වාදී දේශපාලනයේ බංකොලොත්බවේ ප්‍රතිඵලයක් බව එම ශිෂ්‍ය සංගමය ප්‍රතික්ෂේප කරයි.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ජාතිකවාදී දේශපාලනයට එරෙහි සටන ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන න්‍යායික සහ දේශපාලනික අරගලයකි. එම අරගලයේ යෙදී සිටින එකම ව්‍යාපාරය වන සමාජවාදී සමානතා පක්ෂය සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, උතුරේ දෙමල තරුනයන්ට සහ ශිෂ්‍යයන්ට එරෙහිව අරඹා ඇති මෙම අන්ත දක්ෂිනාංශික උද්ඝෝෂනයට සපුරා විරුද්ධ වෙමින් ඔවුනගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමට සටන් වදින්නෙමු.

රනවක ඇතුලු නඩයේ මෙම දක්ෂිනාංශික උද්ඝෝෂනයේ ඉලක්කය වන්නේ උතූරේ දෙමල ජනයාට, විශේෂයෙන්ම කම්කරු පන්තියට, එරෙහි රුදුරු පොලිස්-මිලිටරි කඩා පැනීමක් සූදානම් කිරීමයි.

දෙමල පීඩිත ජනතාවගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාගා දමමින්, තම පාලනය ආරම්භයේ සිට ගෙනගිය සිංහල වර්ගෝත්තමවාදී දේශපාලනය දෙමල ජනයාට එරෙහි කුරිරු වාර්ගික යුද්ධයක් දක්වා පරිවර්තනය කල කොලඹ පාලක පන්තියේ සැලකියයුතු කොටසක් දෙමල ජනයාට එරෙහි එවන් කඩා පැනීමක් සඳහා සන්ධාන ගතවෙමින් සිටිති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය මෙම සන්ධානයේ පෙරමුනේම සිටී. රාජපක්ෂ සහ ඔහුගේ සහචරයින් දිගින් දිගටම කියා සිටින්නේ සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය විසින් උතුරේ “ආරක්ෂාව ලිහිල් කිරීම” හේතුවෙන් එල්ටීටීඊ ය යලි හිස ඔසවමින් සිටින බව සහ එයට එරෙහිව වහා පියවර ගතයුතු බවයි.

යුද්ධය හමාර වී වසර නවයක් ගත වී ඇති වුවද එවන් “ආරක්ෂාව ලිහිල් කිරීම” ක් උතුරේ සිදුව නැත. උතුරු නැගෙනහිර දෙමල ජනයා තවමත් ජීවත් වන්නේ මිලිටරි ග්‍රහනයේ හා බුද්ධි අංශවල නිරන්තර සෝදිසිය මධ්‍යයේ ය. මිලිටරිය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් දෙමල පීඩිතයන්ගේ ඉඩම් තවමත් ඔවුනට ලබා දී නොමැත.

“ආරක්ෂාව ලිහිල් කිරීම” වෙනුවට සිරිසේන සහ වික්‍රමසිංහ උතුරේ දී සහ දකුනේ දී මිලිටරිය මත වඩවඩාත් වාරු වෙමින් සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත තම තන්ත්‍රය විසින් එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් සහ පීඩිතයන් අතර වැඩෙන විරෝධය හමුවේ ඒවා කුරිරු ලෙස මැඩීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවිනි. සිරිසේන නිරතුරුව හමුදාව වර්නනා කරන්නේ එබැවිනි.

සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දමමින් හා තවත් තවත් ලක්ෂ ගනනක් මිලිටරි කඳවුරුවල ගාල් කරමින් 2009 දී අවසන් කෙරුනු කුරිරු යුද්ධයේ “ජයග්‍රහනය” සැමරීම සඳහා පසුගිය දා පැවති උත්සවයකදී මිලිටරිය වර්නනා කරමින් ජනාධිපති සිරිසේන මෙසේ පැවසීය: “ශ්‍රේෂ්ඨ රනවිරුවන් නිසා අද අපි නිදහස භුක්ති විඳිමු. ම්ලේච්ඡ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් රටේ ඒකීයභාවය, භෞමික අඛන්ඩතාව, ප්‍රජාතන්ත්‍රවාදය හා මවුබිමේ නිදහස ආරක්ෂා කිරීමට නිර්භීත රනවිරුවන් ඔවුන්ගේ ජීවිත කැප කලා.”

යුද්ධය අවසන් කිරීමෙන් පසුව “නිදහස, සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය” ලැබී ඇතැයි කියන සිරිසේනගේ ප්‍රකාශය පරිපූර්න වශයෙන්ම ප්‍රලාපයකි. ඊට විපරීතව සිරිසේනගේ ආන්ඩුව උතුරේ සහ දකුනේ සමස්ත කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජමය සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එකදිගටම පහර එල්ල කරමින් සිටී.

වොෂින්ටනයේ මෙහෙයුමක් මත, 2015 ජනවාරියේ දී සිදු කෙරුනු තන්ත්‍ර මාරුවේ දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට පැමිනියේ රාජපක්ෂට එරෙහිව වැඩුනු මහජන මතය ගසා කමිනි. නව ආන්ඩුව යටතේ උතුරේ දෙමල ජනතාවගේ ප්‍රශ්න විසඳෙනු ඇතැයි සහතික වූ දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) 2015 ජනාධිපතිවරනයේදී රාජපක්ෂට එරෙහිව සිරිසේනට ඡන්දය දෙන ලෙස දෙමල ජනයා අතර උද්ඝෝෂනය කලේය. තම අවශ්‍යතා සහ වරප්‍රසාද ආරක්ෂා කෙරෙන යම් සම්මුතියක් කොලඹ සමග ඇතිකර ගැනීම සඳහා මැදිහත්වන ලෙස ටීඑන්ඒ ඇතුලු දෙමල ධනපති පක්ෂ එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගෙන් අයැද සිටී.

මෙම තතු තුල යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ට එරෙහිව ගෙනයන දක්ෂිනාංශික උද්ඝෝෂනය පිටුපස පවත්නා කොලඹ පාලක පන්තියේ උත්සුකයන් අතරින් ප්‍රමුඛ වන්නේ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි අරගලයන්හි දී වාර්ගික රේඛා ඉක්මවමින් වැඩෙන කම්කරු පන්තියේ ඒකාග්‍රතාවයි. විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්, විදුලිබල, තැපැල් හා ටෙලිකොම් වැනි විවිධ අංශවල කම්කරුවන් වැඩි වැටුප් ඉල්ලා මෑතදී කල අරගලවලට උතුරු සහ නැගෙනහිර කම්කරුවෝ එකාවන්ව සහභාගි වූහ.

දකුනේ කම්කරුවන් සමග ඒකාග්‍ර වන උතුරේ කම්කරුවන් ටීඑන්ඒ ඇතුලු දෙමල ධනපති පක්ෂවලින් බිඳී කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් දෙසට යොමු වෙතැයි ද එම ව්‍යාපාරය යටතේ උතුරේ සහ දකුනේ තරුනයන් සහ අවශේෂ පීඩිතයන් බලමුලු ගැන්වෙතැයි ද කොලඹ පාලක පන්ති කොටස් බිපත්ව සිටිති.

කම්කරු පන්තියේ එවන් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනයවීම වැලැක්වීම සඳහා වර්ගවාදය රුදුරුම මට්ටමකින් ඉස්මත්තට ගැනීම මෙම ප්‍රතිගාමී උද්ඝෝෂනයේ අරමුනයි.

Share this article: