ඔහියෝහි සංක්‍රමනිකයන්ට එරෙහිව ගෙස්ටාපෝ පන්නයේ කඩා පැනීම: කම්කරු පන්තියට හදිසි අනතුරු ඇඟවීමක්

Gestapo-style immigration raids in Ohio: An urgent warning to the working class

2018 ජූනි 8

ජුනි 5 දින එක්සත් ජනපදයේ සංක්‍රමනික හා රේගු බලකායේ (අයිසීඊ) සහ රේගු හා දේශසීමා ආරක්ෂක බලකායේ (සීබීපී) නිලධාරීන් 200ක් පමන, උතුරු ඔහියෝවේ කම්හල් දෙකකට ගෙස්ටාපෝ පන්නයේ කඩා පැනීමක් සිදු කලහ. මනාව සන්නද්ධ ව සිටි දේශසීමා බලධාරීහු ලමුන් හා එක්සත් ජනපද පුරවැසියන් ඇතුලු 144 දෙනෙකු අත්අඩංගුවට ගත් හ. විශ්මයට හා කෝපයට පත් සහෝදර කම්කරුවන් අත්අඩංගුවට ගත් අයට නිදහස් වී යාමට ඉඩ දෙන ලෙස දේශසීමා පොලීසියට කෑගැසුව ද ඉන් පලක් නො වුනි.

මහජනයාට එරෙහි ත්‍රස්තය යොදාගත් ත්‍රස්ත මැදිහත්වීම, එක්සත් ජනපද ආන්ඩුව දෙමාපියන්, ලමුන්, සහකාරයින් හා ඥාතීන් සිය ගනනකගේ ජීවිත කඩාකප්පල් කරන ලදී.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිලිටරීකෘත දේශසීමා හමුදාව, පරීක්ෂකවරුන් හා ගොඩනැගිලි කම්කරුවන් ලෙස පෙනී සිටි වෙස්වලා ගත් නිලධාරීන් යොදාගනිමින් නොමිලේ ලබා දුන් උදේ කෑම වේලක් සමගින් සංක්‍රමනික කම්කරුවන් කෝසෝස් ෆ්ලවර් හා ගාඩ්න් සෙන්ටර් පෙර පාසල්වලින් එලියට ඇද දැමී ය. භූමිය නිදහස් කරගත් නිලධාරීහු ප්‍රහාරක රයිෆල, සුනඛයින් හා හෙලිකොප්ටර් යානා යොදාගෙන පෙර පාසල්වලට කඩා පැන්නෝ ය.

එක්සත් ජනපද කාර්මික මධ්‍යස්ථාන වලට මිලිටරි පන්නයේ කඩාපැනීම්වල යෙදීම, සංක්‍රමනිකයන්ගේ ද සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ද අයිතිවාසිකම් මත පාලක පන්තිය එල්ල කරන ප්‍රහාරයේ තීරනාත්මක ලක්ෂ්‍යයක් සලකුනු කරයි. එමගින් පිහිටුවන්නේ සංක්‍රමනික කම්කරුවන් මත පමනක් නො ව ස්වදේශික කම්කරුවන්ට ද එරෙහි ව ප්‍රසාරනය කරනු ලබන පූර්වාදර්ශයකි.

දෙවන ලෝක යුද සමය තුල නීති විරෝධී ලෙස රඳවාගත් ජපාන ජාතිකයින් 120,000ක් පමන දෙනාගෙන් ඉතිරි වී සිටි අයගෙන් රූපික සමාව ඉල්ලමින්, 1988 දී ජනාධිපති රොනල්ඩ් රීගන් සිවිල් විමුක්ති පනතට අත්සන් කලේ ය. තිස් වසරකට පසුව, රඳවා ගැනීමේ කඳවුරු මාලාවක් නැවතත් එක්සත් ජනපදය පුරා විහිදෙමින් පවත්නේ, නව කඳවුරු සැලසුම් කරද්දී හා රැඳවූවන් ප්‍රමානය වඩ වඩා ප්‍රසාරනය වෙද්දී ය.

ෆෙයාවෙල් ටු මැන්සනාර් හා ජර්නි ටු ටොපෑස් වැනි ජපාන-ඇමරිකානු රැඳවියන්ගෙන් පැවත එන්නන්ගේ මතක සටහන් සිහිපත් කරන සංත්‍රාසජනක කතන්දර, දෛනික ව රටපුරා නගර හා මහනගර තුල දිගහැරෙමින් පවතී.

ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට්ගේ 9066 දරන විධායක නියෝගයට ගොදුරු වූ ජපාන ජාතිකයන්ට බන්ධනාගාර නියාමකයන් විසින් නිරන්තරයෙන් රුදුරු ලෙස සැලකුව ද වත්මන් රැඳවුම් කඳවුරුවල කොන්දේසි, ශතවර්ෂ තුන්කාලකට පෙර පැවති කොන්දේසිවලට වඩා බොහෝ අංශවලින් නරක ය.

වර්තමාන කඩා පැනීම් මගින් පවුල් බිඳ විසුරුවා දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ලමුන්ගෙන් උගුලුවා දමනු ලබන්නේ ජාත්‍යන්තර හිංසනයේ අපරාධකාරී පිලිවෙතක් අනුයමිනි. කූඩුවල හෝ සිරමැදිරිවල තබා සිරකාර ඇඳුම් ඇඳීමට බල කෙරෙන රැඳවියන්ට පිටස්තර ලෝකය සමග සන්නිවේදනය කිරීම බොහෝ කොට අහිමි කරනු ලැබේ. ඇමරිකානු සිවිල් විමුක්ති සංගමය මැයි මස නිකුත් කල වාර්තාවක්, සීබීපී හා අයිසීඊ විසින් හිමිකරුවන් අහිමි කෙරුනු ලමා රැඳවියන් ලිංගික, ශාරීරක හා මානසික ලෙස ක්‍රමානුකූල ව අපහරනයන්ට භාජනය කරනු ලැබෙන බව සඳහන් කලේ ය. දිවි නසාගැනීම් සඳහා තැත් කිරීම සාමාන්‍ය දෙයකි.

ඔහියෝ වැටලීමෙන් සමස්ත කම්කරු පන්තියට මතුවන දැවැන්ත අන්තරාය, දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය විසින් ඒවා පිලිබඳව දක්වන මුලුමනින්ම පාහේ නිහඬ පිලිවෙතෙන් අවධාරනය හා උත්සන්න කෙරේ. මේ පිලිබඳව ජාතික මාධ්‍යවල ලිපි පල වී ඇත්තේ අල්ප වසයෙනි.

ඩිමොක්‍රටික් පක්ෂයේ අර්ධ නිල හොරනෑව හා ධනවත් ඉහල මධ්‍යම පන්තිය අතර එහි ප්‍රධාන පදනම ද වන නිව් යෝක් ටයිම්ස් පත්‍රය ජුනි 5 වැටලීම් ගැන එකම ලිපියක් වත් පලකර නැත. එය නිරත ව සිටින්නේ, නිසි ක්‍රියාවලිය හා අහිංසකකම විශ්වාස කිරීම වැනි ප්‍රජාතාන්ත්‍රික මූලධර්මවල වියදමෙන් තමන්ගේ ම වෘත්තීන් පුම්බා ගැනීමට උත්සාහ දරන ධනවත් හා ස්වයං-නියුක්ත සිනමා තරු හා වෘත්තිකයන් වෙනුවෙන් #මීටූ දඩයම දිරිමත් කිරීමෙහි ය.

“අපගේ බිඳවැටී ඇති සංක්‍රමන ක්‍රමය” ප්‍රතිසංස්කරනය කරන ලෙස දක්ෂිනාංශික ආයාචනයක් කල ඔහියෝ සෙනෙට් සභික ෂෙරාඩ් බ්‍රවුන්ගේ ප්‍රකාශනයක් හැරුනු විට ඩිමොක්‍රටික් පක්ෂයේ වෙනත් කිසිදු ජාතික නියෝජිතයෙක් හෝ තේරී පත්වූ නිලධාරියෙක් වේවා ඒඑෆ්එල්-සීඅයිඕ හෝ නාමික ව “ස්වාධීන” බර්නි සෑන්ඩර්ස් වේවා ඔහියෝ වැටලීම ගැන ප්‍රසිද්ධියේ කතාකර නැත.

සෑන්ඩර්ස්ට දුෂ්ට සංක්‍රමන-විරෝධී කොටස් සමග සමීප සබඳතා තිබේ. “රට තුලට පැමිනෙන හා ඇමරිකානුවන්ට නො ලැබෙන ප්‍රතිලාභ ලබන සංක්‍රමනිකයන් හේතුවෙන් අපි හෙම්බත් ව වෙහෙසට පත්ව සිටිමු” යනුවෙන් සෑන්ඩර්ස්ගේ 2016 ජනාධිපතිවරන උද්ඝෝෂනයේ ඉහල මට්ටමේ උපදේශිකාවක් ලෙස සේවය කල හා පසුගිය මාසය වන තෙක් ඔහුගේ “අපේ විප්ලවය” දේශපාලන කන්ඩායම තුල වැඩකල, ෆොක්ස් නිව්ස් ප්‍රවෘත්ති සම්පාදිකා ටෙස්ලින් ෆිගාරෝ 2017 දී ප්‍රකාශ කලා ය.

ෆිගාරෝ 2016 දී එක්සත් ජනපදය හා මෙක්සිකෝව අතර ප්‍රාකාරයක් බැඳීමට ට්‍රම්ප් කල යෝජනාවට හුරේ දැමුවා ය. “කරුනාකර ප්‍රාකාරය ඉදිකරන්න” යනුවෙන් ඇය තම ට්විටර් ගිනුමේ සඳහන් කලා ය.

මෙම සංක්‍රමන-භීතික මනෝගතීන් ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රියාමාර්ගයෙන් සුවිශේෂී ලෙස අපසරනය වීමක් නො වේ. ඒවා හෙලිදරවු කරන්නේ සංක්‍රමනිකයන් පිලිබඳ ඩිමොක්‍රටික් පක්ෂයේ පිලිවෙතේ සැබෑ අරටුව යි. එහි සියලු නරුම සංදර්ශන තිබිය දී ඩිමොක්‍රටික් පක්ෂය ද ට්‍රම්ප් මෙන් ම සංක්‍රමනිකයන් මත එල්ල කරන ප්‍රහාරයන්ට වගකිව යුතු ය.

මාර්තු මාසයේ අවසන් වූ ලමා සංක්‍රමන පිලිබඳ (ඩකා) වැඩපිලිවෙල යටතේ රැකවරනය ලැබීමට සුදුසුකම් ලැබූ ලේඛනගත නො වුනු තරුනයන් මිලියන 1.8ක් ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් ගැනීම ඩිමොක්‍රටික් පක්ෂය විසින් අත්හැර දැම්මේ ය. ඉන් පෙර කිසිදු ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පරිපාලනයක් ඉක්මවා යමින් සංක්‍රමනිකයන් මිලියන 2.7ක් පිටුවහල් කල බැරැක් ඔබාමාගේ ආන්ඩුව, සංක්‍රමනික රැඳවුම් කඳවුරු ජාලය තියුනු ලෙස ප්‍රසාරනය කලේ ය.

ඇමරිකානු ජාතිකවාදයේ පදනම මත ට්‍රම්ප්ගේ මෙක්සිකානු-විරෝධී හා චීන-විරෝධී වෙලඳ පියවරයන්ට සහාය දෙමින් වෘත්තීය සමිති ද එවන් ප්‍රතිගාමී භූමිකාවක් ඉටුකර ඇත. එක්සත් ජනපදය තුල රැකියා හා වැටුප් අහිමිවීම් ගැන විදේශීය කම්කරුවන්ට දොස් පවරමින් ට්‍රම්ප් හා ස්ටීවන් බෙනන් වැනි අනෙකුත් ෆැසිස්ට්වාදීන් කම්කරු පන්තිය බෙදීමට ගන්නා උත්සාහයම ඔවුන් විසින් ද ප්‍රතිරාවය කරයි.

එවැනි උත්සාහයන් තිබුන ද මහා පරිමාන පිටුවහල් කිරීම්වලට එරෙහි ව පුලුල් විරෝධයක් මහජනයා අතර පවතී. එක්සත් ජනපද පුරවැසි කම්කරුවන් සංක්‍රමන නිලධාරීන්ට දොස් පැවරී බව ඔහියෝ වැටලීම් ඇසින් දුටු අය ලෝක සමාජවාදී බෙව් අඩවියට කී හ. එයට ප්‍රතිචාර වසයෙන් නිලධාරීන් එක්සත් ජනපදයේ උපන් කම්කරුවන් බලහත්කාරයෙන් රඳවා ගත්තේ, ඔවුන් සංක්‍රමනික කම්කරුවන්ට අනතුරු ඇඟවීමෙන් වැලැක්වීමට ය.

2018 මාර්තුවේ පැවති ගැලප් මත විමසුමකට අනුව, සංක්‍රමනිකයන් තමන්ගේ රැකියා ඩැහැගැනීම ගැන කනස්සල්ල පල කරන්නේ එක්සත් ජනපද කම්කරුවන්ගෙන් සියයට 12ක් පමනි. එක්සත් ජනපදය තුල ලිපි ලේඛන රහිත ව ජීවත් වන සංක්‍රමනිකයන්ට පුරවැසි භාවය දීමට දල වසයෙන් සියයට 85ක් සහයෝගය දෙති. ට්‍රම්ප්ගේ මුස්ලිම්-විරෝධී සංචාරක තහනමට විරුද්ධ ව 2017 ජනවාරියේ හා පෙබරවාරියේ ක්ෂනික විරෝධතා රටපුරා පිහිටි ගුවන්තොටුපොලවල පැතිර ගිය අතර, මෙක්සිකෝවෙන් හා අනෙකුත් රටවලින් පැමිනි ලේඛනගත නො වූ සංක්‍රමනිකයන් ප්‍රහාරයට ලක්කිරීමට එරෙහි ව වෙනත් විරෝධතා ද පැවැත්වුනි.

විරෝධතා කඩාකප්පල් කිරීමට මැදිහත් වූ ඩිමොක්‍රටිකයින්, එතැන් පටන් කටයුතු කරන්නේ, ට්‍රම්ප් කෙරෙහි විරුද්ධත්වය, විදේශයන්හි යුද්ධ පුලුල් කිරීමත් දේශීය ව අන්තර්ජාල වාරනයත් යන ඔවුන්ගේ දක්ෂිනාංශික වැඩපිලිවෙල පිටුපස ඒවා පෙලගැස්වීමට ය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර නතරකර, සංක්‍රමනික කම්කරුවන් හා තරුනයන් ආරක්ෂා කල හැකි එකම සමාජ බලවේගය කම්කරු පන්තිය යි. එවැනි අරගලයක ආරම්භක ලක්ෂ්‍යය විය යුත්තේ ඔහියෝ සංක්‍රමනිකයන් වැටලීම හුදු “සංක්‍රමනික” ප්‍රශ්නයක් නො ව, සමස්තයක් ලෙස කම්කරු පන්තියේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රශ්නයක් බව අවබෝධ කරගැනීම යි.

රටපුරා කම්හල් හා වැඩබිම් තුල සංගත හිමියන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ආඥාදායකත්වය එක්සත් ජනපද ආන්ඩුව විසින් දැනට මත් ශක්තිමත් කරමින් සිටී. මෑත ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවකට අනුව, අනිවාර්ය බේරුම්කාර වගන්තීන් තිබෙන කම්කරුවන්ට, ඔවුන්ගේ හාම්පුතුන්ට එරෙහි ව පන්ති ක්‍රියා නඩු ගොනුකිරීමට වත් නිදහස නැත.

කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරන වෘත්තීය සමිති, කම්කරුවන් මර්දනය කිරීමට ක්‍රියාශීලී ව සහයෝගය ද පිරිනමයි. සියලු කම්කරුවන්ම පාහේ ශ්‍රමය වගුරුවන වහල් ස්වභාවයේ කොන්ත්‍රාත්තුවල ප්‍රතිඵලයක් ලෙස, කම්කරුවන් තමන්ගේ අයිතීන් තහවුරු කරගැනීමට ගන්නා ඕනෑම පියවරක්, සේවය අවසන් කිරීම ද ඇතුලත් දඬුවම් පැනවිය හැකි වන කොන්ත්‍රාත්තු උල්ලංඝනය කිරීමක් ලෙස ලේබල් කල හැකි ය.

2018 පලමු මාස කිහිපය තුල, එක්සත් ජනපදය ද ලෝකය පුරා ද වැඩෙන වර්ජන හා විරෝධතා දැකගත හැකි විය. පාලක පන්තීහු ජාතිකත්වය, වාර්ගිකත්වය හා ආගම යන පදනම් මත ආධානග්‍රාහීත්වය හා පසුගාමීත්වය අවුලුවාලමින් මෙම අරගල එකිනෙක හා බද්ධ කිරීමේ කිසිදු පියවරක් ගැනීම වැලැක්වීමට උත්සාහ දරමින් සිටිති. ඉතාලියේ, ජර්මනියේ හා ප්‍රන්සයේ මෙන් ම එක්සත් ජනපදයේ ද ආන්ඩු විසින්, බැංකු හා සංගත වෙනුවෙන් ඔවුන් විසින් ම පටවනු ලබන වැටුප් හා ජීවන තත්ත්වයන් පහල දැමීමට සංක්‍රමනිකයන් දඩමීමා කරගනී.

මෙම බෙදා වෙන්කොට යටත් කිරීමේ පොලිස් රාජ්‍යය පිලිවෙත්වලට දක්වන විරුද්ධත්වය, එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තර ව ද කම්කරු පන්තියට ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයකි. ඉදිරියේ එන යෝධ පන්ති අරගලවලට සූදානම් වීම සඳහා, කම්කරුවන් ඔවුන්ගේ සංක්‍රමනික සහෝදර සහෝදරියන් වෙනුවෙන් පෙනී සිටීම හා ආරක්ෂා කිරීම ඉතා හදිසි කර්තව්‍යයකි.

එරික් ලන්ඩන්

Share this article: