වෙලඳ යුද්ධය සහ ආර්ථික ජාතිකවාදයේ පිපිරීම

Trade war and the eruption of economic nationalism

2018 ජුනි 22

නිල නිවේදන හා ප්‍රකාශන තුලට “ආරක්ෂනවාදයට ප්‍රතිරෝධය දැක්වීම” සඳහා කැපවන බව කියන සැඳහුම් ඇතුලත් කිරීම එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කිරීම අරබයා, ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික ආයතනයන් තුල දැනට වසරකට පෙර ගැටුමක් පැවතුනි.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය පුපුරා යාමට ප්‍රතිචාර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ජී20 කන්ඩායම වැනි ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම වාක්‍යාංශය නිරන්තරයෙන් භාවිතා කරනු ලැබ තිබුනි. සත්‍ය වසයෙන් ම, මහා අවපාතයෙන් මෙපිට වඩාත් ම අර්ථභාරී ආර්ථික බිඳවැටීමට ප්‍රතිචාර ලෙස, තමන් 1930 ගනන්වල මාවත අනුගමනය නො කරන බවට ඊට පසු අවුරුදුවල දී ප්‍රධාන ධනේශ්වර බලයන්ගේ නායකයෝ එකිනෙකාට සුබ පතා ගත් හ.

මහා අවපාතය ගැඹුරු කිරීමේ දී හා දෙවන ලෝක යුද්ධය පුපුරා යාමට කොන්දේසි නිර්මානය කිරීමේ දී මූලික භූමිකාවක් ඉටු කල වෙලඳ යුද්ධය හා අනෙකුත් ආරක්ෂනවාදී පියවරයන් පුනර්කරනය නො වනු ඇති බවත් ඉතිහාසයේ පාඩම් ඉගනගෙන ඇති බවත් ඔවුහු කියා පෑ හ.

වචනවල යුද්ධ පුපුරා යාමෙන් මාස දොලහකට පසු ව දැන් තත්ත්වය කුමක් ද?

“ජාතික ආරක්ෂාව” ඉස්මත්තට දමන එක්සත් ජනපදය, යුරෝපා සංගමය, කැනඩාව හා ජපානයෙන් ආනයනය කරන වානේ හා ඇලුමිනියම් මත සියයට 25ක් දක්වා වන බදු පනවා ඇත. අද දින යුරෝපා සංගමය එකට එක කරමින් බදු පනවනු ඇති අතර, කැනඩාව ද ඒ හා සමාන ව එක්සත් ජනපදය මත බදු පැනවීමට සූදානම් වෙමින් සිටී.

ඉහල තාක්ෂනික නිෂ්පාදිතයන් එල්ල කරමින් එක්සත් ජනපදය ලබන මාසයේ ඩොලර් බිලියන 50ක් වටිනා චීන භාන්ඩ මත බදු පැනවීම අරඹනු ඇත්තේ, තවත් ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාන්ඩ මත බදු පැනවීමට තර්ජනය කරමින් වන අතර, ප්‍රතිප්‍රහාරක තර්ජනයන් චීනය පැත්තෙන් ක්‍රියාවට දැමුනහොත් ඩොලර් බිලියන 200ක් වටිනා අතිරේක චීන භාන්ඩ මත ද බදු පැනවීමේ හැකියාව පවතී.

චීනය සමග ගැටුමේ මූලික දෙය වන්නේ, එක්සත් ජනපදයට එරට සමග පවතින වෙලඳ පරතරය නො ව -ඇමරිකාවෙන් කරන ආනයන ඉහල දැමීමට චීනය ගෙන ඇති පියවරයන් එක්සත් ජනපදයෙන් ප්‍රතික්ෂේප කර තිබේ- බීජිනය එහි “චීනයේ සාදමු 2025” සැලසුම යටතේ එහි කාර්මික හා තාක්ෂනික ධාරිතාවන් වැඩි දියුනු කිරීමට ගන්නා පියවරයන් ය. මෙම සැලසුම තමන්ගේ ආර්ථික හා මිලිටරිමය යන දෙඅංශයේ ම අධිපති භාවයට තර්ජනයක් ලෙස එක්සත් ජනපදය දැකගනී.

මේ සතියේ වෝල් ස්ටී්‍රට් ජර්නලය තුල පල කල සටහනක දී ට්‍රම්ප්ගේ ධවල මන්දිර ආර්ථික උපදේශක පීටර් නවාරෝ, “නැගී එන තාක්ෂනික කර්මාන්තයන් තුල ආධිපත්‍යය දැරීමේ බීජිනයේ අවදානම් සහගත සැලැස්ම” යයි ඔහු කියූ දෙය නොඉවසනු ඇති බවත්, “මූලෝපායික තාක්ෂනයන්” තුල චීනයේ ආයෝජන “ඇමරිකාවේ නිෂ්පාදන හා ආරක්ෂක කර්මාන්තමය පදනමට දරුනු ම තර්ජනය” එල්ල කරන බවත්, “ආර්ථික ආරක්ෂාව යනු ජාතික ආරක්ෂාව” බවත් පැහැදිලි කලේ ය.

වෙනත් වචනවලින් කියතොත් එක්සත් ජනපදය විසින් කරගෙන යන ආර්ථික යුද්ධය, චීනය ආර්ථික අර්ධ-කොලනියක තත්ත්වයට සිඳවීමේ ධාවනය සමග බැඳී තිබෙන අතර, අවශ්‍ය වන්නේ නම් එය මිලිටරි විධික්‍රමවලින් පැටවෙනු ඇත.

තමන් “මූලෝපායික හවුල්කාරයන්” යයි හඳුන්වන අයට මෙන් ම, “මූලෝපායික තරඟකරුවා” යයි කියන චීනයට එරෙහි ව පටවනු ලැබෙමින් තිබෙන වෙලඳ යුද්ධය, මිනිසාගේ නිෂ්පාදන බලවේගවල ආස්ථානයෙන් ගත් කල මුලුමනින් ම අතාර්කික ය.

1930 ව්‍යසනකාරී බදු හා මූල්‍ය යුද්ධවලින් දශක අටකටත් වඩා ගෙවී ඇති තැන, නිමිභාන්ඩ අවසන් රූපාකාරයෙන් තැනුම් ලැබීමට පෙර, ඒවායේ බොහෝ සංරචක, ජාත්‍යන්තර දේශසීමා හරහා කිහිප වරක් එහා මෙහා යන ජාත්‍යන්තර ශ්‍රම විභජනයක නිෂ්පාදිතයක් බවට සෑම භාන්ඩයක් ම තථ්‍යසම ව පත්වෙමින්, ගෝලීය ආර්ථිකය වඩාත් ප්‍රගාඪ ලෙස ඒකාග්‍රිත අවයවයක් බවට පත් වී තිබේ.

එහෙත්, “ඇමරිකාව යලිත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු” යන ධජය යටතේ පටවනු ලබන එක්සත් ජනපද පියවරයන්ගේ එම අතාර්කිකත්වය ම, යම් පසුබැසීමක් තිබෙනු ඇතැයි අර්ථවත් නො කරයි.

ඒ වෙනුවට, ට්‍රොට්ස්කි වසර 80කට පමන පෙර නිරීක්ෂනය කල පරිදි, ජාතිකවාදී පදනමක් මත සුසංවාදී ආර්ථික වර්ධනයක අවකාශය මුලුමනින් ම නො විය හැක්කක් බවට පත්වෙද්දී, ආඥාදායක හෝ ෆැසිස්ට්වාදී රාජ්‍යයක ආර්ථික ජාතිකවාදය වනාහි, “නව යුද්ධයකට ජාතිය සූදානම් කිරීමට සියලු ආර්ථික බලයන් සංකේන්ද්‍රනය කිරීම පිලිබඳ ප්‍රශ්නයක උමතු යථාර්ථය යි.” මෙම පියවරයන්ගේ අර්ථය වූයේ නව ලෝක යුද්ධයක් “ගේට්ටුවට තට්ටු කරමින්” සිටි බව යි.

වත්මන් ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය තුල ට්‍රොට්ස්කිගේ අනතුරු ඇඟවීම් අනුනාද වේ. සෑම රටක් තුල ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ කඩතුරාවන් ඉරා දමනු ලබමින් පවත්නේ, 1930 ගනන්වලට ලාක්ෂනික වූ ආඥාදායක හා ෆැසිස්ට්වාදී පාලන රූපාකාරයන් යලි ඉස්මතු වීම මධ්‍යයේ ය. එම අවධියේ මෙන් දැනුදු ට්‍රොට්ස්කිගේ වචන යලි භාවිතා කරන්නේ නම්, “සෑම අයෙක් ම අනෙක් සෑම එකාට එරෙහි ව තමන් ව ආරක්ෂා කරන්නේ, තීරුබදු ප්‍රාකාරයක් හා බයිනෙත්තු වැටක් යොදාගනිමිනි.”

ඊයේ ලෝසවෙඅ ඉදිරිදර්ශන ලිපිය කැටිකොට දැක්වූ පරිදි, දැන් සංක්‍රමනිකයන්ට එරෙහි ව ගෝලීය යුද්ධයක් පවතී; නාසි ජර්මනිය මතකයට නංවන භාෂාව සංක්‍රමනිකයන්ට විරුද්ධ ව පාවිච්චි කරමින් කරන ගෙස්ටාපෝ පන්නයේ කඩාපැනීම් එක්සත් ජනපදය තුල සිදු කරනු ලබමින් පවතී. ජර්මනිය, ඉතාලිය, හංගේරියාව හා තවත් තැන්වල වසයෙන් 20 වන ශතවර්ෂය තුල භයානක ම අපරාධ කලා වූ තැනැත්තන්ගේ හඬින් කතා කරන, වඩ වඩා දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී ව්‍යාපාරවල නැගීම, යුරෝපීය දේශපාලනය මත ආධිපත්‍යය දරයි.

ජාත්‍යන්තර ස්ථාවරත්වයේ සහතිකකරුවා යයි සැලකෙන එක්සත් ජනපදය විසින් මූලිකත්වය ගනු ලබන ආර්ථික පර්යායේ බිඳවැටීම හා එහි සහකාරක දේශපාලන විපාක, වඩාත් ම ප්‍රගාඪ ඓතිහාසික අර්ථභාරයකින් යුක්ත ය.

වෙලඳ යුද්ධය දියත් කිරීම හා ආර්ථික ජාතිකවාදය කරා ආපසු යාම වනාහි, සියල්ලට ඉහලින් ආර්ථිකයේ ගෝලීය ස්වභාවය සහ වෙලඳපොලවල් හා ලාබ සඳහා එකිනෙකාට එරෙහි ව තරඟ වදින මහා බලවතුන් සහිත ප්‍රතිමල්ලව ජාතික රාජ්‍යයන්වලට ලෝකය බෙදී තිබීම අතර පරස්පර විරෝධය මගින් කැටිකොට දැක්වෙන ගෝලීය ධනේශ්වර පද්ධතියේ ගැඹුරු හා සමහන් කල නොහෙන ප්‍රතිඝතිතාවන්ගේ ප්‍රතිඵලය යි.

1930 ගනන්වල අවසන් වසරවල හා යුද්ධයේ වසරවල් තුල, එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ මූලික කොටස් සේන්දු වුනු නිගමනය වූයේ, එම දශකයේ ජාතිකවාදී පිලිවෙත් කරා වන ඕනෑම ආපසු යාමක් ආර්ථික ව්‍යසනයක් ගෙන එමින් සමාජවාදී විප්ලවයට කොන්දේසි නිර්මානය කරනු ඇති බව යි. නිදහස් වෙලඳාම දිරිමත් කිරීම හා ආරක්ෂනවාදය හා නුඹගේ අසල්වැසියා හිඟන්නෙක් කරන්නා වූ ආර්ථික පියවරයන් නිෂ්ක්‍රමනය කිරීම මත පදනම් කල පශ්චාත්-යුද පර්යාය ගොඩනැගීමේ පදනම වූයේ මෙම අවබෝධය යි.

තම පැරනි ආර්ථික හා මූලෝපායික ප්‍රතිමල්ලවයන් තලා දැමීමට මං සොයනු වෙනුවට එක්සත් ජනපදය කලේ, බ්‍රෙට්න් වුඞ්ස් මූල්‍ය එකඟතාව, මාෂල් සැලැස්ම සහ වෙලඳාම හා තීරුබදු සඳහා වන පොදු සම්මුතිය වැනි පියවරයන් හරහා ඔවුන්ගේ ආර්ථික වර්ධනය දිරිමත් කිරීම යි. මෙම පිලිවෙත් ක්‍රියාත්මක කරන ලද්දේ එක්සත් ජනපදයේ කිසිදු පරිත්‍යාගශීලීත්වයක් නිසා නො ව, එක්සත් ජනපදයේ ආර්ථික ඉදිරි ගමන සමස්තයක් ලෙස ලෝක ආර්ථිකයෙහි ප්‍රසාරනය මත රඳා පවතින බවට පැවති ගනන් බලන ලද ස්වයං-අවශ්‍යතාවේ පදනම මත යි.

පශ්චාත්-යුද ආර්ථික පර්යායේ පදනම සැකසුවේ මෙම සංකල්පනයන් විසිනි. එහෙත් ලෝක ආර්ථිකයේ එම වර්ධනය ම, එය තුල එක්සත් ජනපදයේ ආධිපත්‍යධාරී ස්ථානයට අනවරත ව වලකැපී ය. පසුගිය වසර 30 තුල නිෂ්පාදනයේ ගෝලීයකරනය, මෙම ප්‍රවනතාව වේගවත් කර ඇත. දැන් එක්සත් ජනපදය මුහුන දී සිටින්නේ යුරෝපය හා ජපානය යන එහි පැරනි ප්‍රතිමල්ලවයන්ගේ වැඩෙන ආර්ථික බලයට පමනක් නො ව, චීනයේ රූපයෙන් නව “මූලෝපායික තරඟකරුවෙකුටත්” එරෙහි ව යි.

එක්සත් ජනපද පාලක ප්‍රභූවේ කොටස්, එය ගොඩනගා තිබුනු පශ්චාත්-යුද පද්ධතිය එහි තත්ත්වය වැඩි දියුනු කරනවා වෙනුවට එයට වලකපමින් තිබෙන්නේ ය යන නිගමනය කරා පැමිනිය හ. ට්‍රම්ප් පරිපාලනය සමගින් ඇරඹුනු තක්සේරුවක් නො වන මෙය, ඔබාමා පරිපාලනයේ ජාත්‍යන්තර ආර්ථික පිලිවෙත්වල කේන්ද්‍රස්ථානය ද තැනී ය. බහුපාර්ශවීයත්වය නො ව, ගෝලීය ආර්ථික සබඳතා ජාලයක කේන්ද්‍රයේ එක්සත් ජනපදය ස්ථානගත කරන නව තන්ත්‍රයක් ස්ථාපනය කරන නව පද්ධතියක් ගොඩනැගිය යුතු ව තිබෙන බව එය අවධාරනය කලේ ය.

චීනය පිටමං කරන ලද අන්තර්-පැසිෆික් හවුල්කාරීත්වයක් ගැන ඔබාමා පරිපාලනයෙහි යෝජනාවේ ද එවැනි ම වූ යුරෝපය සඳහා වන ඔබාමාගේ සැලසුම්වල ද ජාතිකවාදී අරටුව වූයේ මෙය යි.

ට්‍රම්ප් මෙම සැලසුම් දෙක ම ඉරා දැමූ අතර, ඒවායේ සාරාත්මක අන්තර්ගතය තැනූ ආර්ථික ජාතිකවාදය දැන් වඩා තිත්ත රූපයකින් වර්ධනය කොට ප්‍රසාරනය කරනු ලැබ ඇත. මෙහි ඉලක්කය යන්නේ අවශ්‍ය ඕනෑම ක්‍රමයකින් -වඩ වඩා ආඥාදායක වන පියවරවල් සමග අතිනත ගෙන වෙලඳ යුද්ධය හා ආර්ථික ජාතිකවාදය දියත් කිරීම හා ලෝකයේ සෑම කොනක ම ඇමරිකානු මිලිටරි බලය අවධාරනය කිරීම- එක්සත් ජනපදයේ ආර්ථික ආධිපත්‍යය යලි පිහිටුවීම යි.

එක්සත් ජනපදයේ නැටෝ සහකරුවන් මත ට්‍රම්ප් විසින් බදු පැනවීම හෙලා දැක්ක ද ඩිමොක්‍රටිකයෝ එක්සත් ජනපද ජනාධිපතිවරයා චීනයට එරෙහි වෙලඳ යුද පියවරයන් උත්කර්ෂයට නංවමින්, ඒවා ප්‍රසාරනය කිරීම ද ඉල්ලති. මෙම පිලිවෙත්වලට පවත්නා ද්විපක්ෂ සහයෝගය, වෙලඳ යුද්ධය හා ආරක්ෂනවාදය හුදෙක් ට්‍රම්ප්ගේ පිලිවෙතක් නො ව, ඇමරිකානු ධනවාදයේ පිලිවෙතක් බව පැහැදිලි කරයි.

වෙලඳ යුද්ධයේ හා ආර්ථික ජාතිකවාදයේ උන්මාදය මධ්‍යයේ කෙසේ හෝ, යම් අයුරකින් කාරනා දැකගෙන ගමන් මග නිවැරදි කරගැනීමකට එක්සත් ජනපදය යොමු කල හැකි යයි නිෂ්ඵල ලෙස අපේක්ෂා කරන්නෝ ද සිටිති. මෙම මායාවකි. අතීතය පදනම් කල ආර්ථික පදනම් සුනු විසුනු වී ගොස් ඇති තතු යටතේ එය කරා ආපසු යාමක් තිබිය නො හැක.

ගෝලීය ධනේශ්වර පද්ධතියෙහි බිඳවැටීමේ ද එමගින් නිෂ්පන්න කරමින් තිබෙන සියලු අනුචර සන්ත්‍රාසයන්ගෙන් ද මිදීමේ එකම මග වන්නේ, දේශපාලන බලය සඳහා ද ලෝකය සමාජවාදී ව පරිවර්තනය කිරීම සඳහා ද ජාත්‍යන්තර කම්කරු පන්තිය කරන ඒකාබද්ධ අරගලය යි.

නික් බීම්ස්

Share this article: